ඇය මංජුලා පියුමාලිද සොයිසා වෘත්තියෙන් වෛද්‍යවරියක්. පළමු කාව්‍ය සංග්‍රහය තිත් සහ කොමා නමින් 2022දී පල කළ ඇයට කවිය ආගන්තුක නැහැ. මුහුණු පොතෙන් කවි ලිවීම ආරම්භ කළ ඈ සමාජ මාධ්‍ය අවභාවිත වන මෙවැනි සමයක, එයම කවි ලියන්නට වේදිකාවක් කර ගත්තා. ඇගේ බන්ධන කාව්‍ය සංග්‍රහය ගැනයි අද අප කතා කරන්නේ.
නිර්මාණකරුවෙකුට සීමා නොමැති මුත් සංයමයක් තිබීම යුතුයි. කවියෙකුටද එසේමය. ඇය, එවැනි සුදක්ෂ කිවිඳියක්. තිත් සහ කොමා තම කුළුදුල් කාව්‍ය නිර්මාණයට කොමාවක් තබමින් කාව්‍යක්කාර දොස්තර නෝනා මංජුලා පියුමාලි ද සොයිසා ලියූ දෙවන ස්වතන්ත්‍ර කාව්‍ය සංග්‍රහය බන්ධනයි. පිටු පනස්හයකින් යුත් කාව්‍ය නිර්මාණ හතලිහක එකතුවක් ලෙස මෙය පබඳා ඇත. ස්වකීය මුල් කාව්‍ය සංග්‍රහය ඔස්සේ කෙටි කවි ප්‍රිය කළ ඇය දෙවන කවි පොත තුළින් දිගු කවි මඟක් අනුගමනය කරයි. ඉඳ හිට කෙටි කවි මඟක් ගන්නටද ඇය අමතක නොකරයි.
හිරුට පෙර සුබ දිනට
ආවඩා ළඟ ම සිට
තරුවක් ව කළුවරට
කලින් අත වනයි මට
නුඹ මෙම කාව්‍ය සංග්‍රහයේ පළමු කවි නිර්මාණයෙ. නුඹ කියන්නේ කථක බිරිඳගේ සැමියා. විවාහ ජීවිතයේදී ස්ත්‍රිය හා පුරුෂයා එක යහනක් බෙදා හදා ගන්නවා. බිරිඳ උදෑසන අවදිවන විට හිරුටත් ප්‍රථමයෙන් සුබ දිනකට ආශිර්වාද කරන ස්වාමි පුරුෂයා, සඳක් මෙන් සෞම්‍ය නොවුණද තරුවක් වී රාත්‍රියේද ළඟ හිඳිනවා. සතුට සැනසුම ගෙන එමින් තනිකම හුදකලාව නසන ස්වාමියා බිරිඳකට ප්‍රාර්ථනා ගෙන එනවා.
සුදු ඔයා දන්නවද
පඬු පොවන විට අහස
මුදු හැඟුම් මවනවා
නුඹෙ සොඳුරු පෙම් පහස
අහස පඬු පෙවීම යනුවෙන් අහස නෙක වර්ණ ගැනීම අරුත් ගන්වනවා. මෙහි කථක බිරිඳ ස්වාමියාව අමතන්නෙ සුදූ යන හුරතල් නාමයෙන්. ඇය පවසන්නේ අහස ඉතාම සුන්දරව නෙක පාටින් පෙනෙන වෙලාවට ස්වාමියාගේ ප්‍රේමයේ පහස මෘදු හැඟීම් ජනනයට සමත් බවයි.
ගහ කොළ
අත වනද්දිත්
සිලි සිලිය විඳින්නට
විදුලි රැහැනක් ම
තෝරා ගත්තේ ඇයි
ලඟින්නට..
“කරුමේ”
කියනවා ඇර ඒකට,
වෙන මොකක් කියන්න ද..
වවුලෝ..
කරුම, මෙය කෙටි කවියක්. වවුලන් විදුලි රැහැන්වල පැටලී දිවි තොරවීම සුලබ සිදුවීමක්. එහෙත් එය එසේ සිදු වූයේ කරුමය නිසා බව ඔබ කෙදිනක හෝ සිතුවාද? ඔබට මට පෙනෙන දේම වෙනස් ව දකින කිවිඳිය පරිකල්පන විෂයෙහි සොඳුරු හදවත් ඇත්තියක්. එහෙත් අවසානයේ දී වවුලෝ ලෙස යෙදෙන වචනය සෘජුව නොපවසා අඟවන්නට තිබුණි. එය කාව්‍ය රස වඩා වර්ධනයට හේතු වේ. පාඨකයන්ට සිතන්නට යමක් ඉතිරි කරයි. අර්ථ රස වැඩි කරයි.
තරුණියක පසුපස තරුණයකු පැමිණීම, තරුණියකට තරුණයෙක් ප්‍රේම ආරාධනාවක් සිදු කිරීම සාමාන්‍ය ජීවිතයේ සරල සහ සුලබ සිදුවීමක්. වැඩිවිය පැමිණි තරුණයන්ට සහ තරුණියන්ට හෝර්මෝන බලපෑමත් සමග ආදර සිතිවිලි ඇති වීම ඇත්තටම සරල කාරණාවක්. දැන් ඇද්ද නම් කවියේදී කිවිඳිය වස්තු විෂයට ගන්නේ මෙම ප්‍රස්තුතය.
වසරක් ම පසු පසින්
ගාටද්දි නුඹ එහෙම
උණු වේවි ගල් වුණත්
හා නැද්ද..
තරුණයා තරුණියගේ ආදරය ඉල්ලන්නට පටන්ගෙන වසරක් ඉක්මවා ගිහින්. තරුණයා පවසනවා, ගලක් වුණත් උණු වී වැක්කෙරෙන්නට ඒ කාලේ ප්‍රමාණවත් බව. ඉන් ඔහු ව්‍යංගයෙන් ඇයගේ සිත එතරම් දැඩි බවට චෝදනා කරනවා. ඉන් නොනැවති ඔබගේ මුවෙහි සිනහව නැති වන්නට සෙනසුරු විස කැවූ ප්‍රශ්න විද්ද යනුවෙන් තරුණයා තරුණියව ප්‍රශ්න කරනවා, හිස කකියන තුරු තමා කල්පනා කළ බවත් දැන් මෙම සිදුවීමට නැවතීමේ තිත තබන්නද යනුවෙන් තරුණයා තරුණියව තවදුරටත් ප්‍රශ්න කරනවා. අවසානයේදී තරුණයා තම ශෝකය මෘදුව ප්‍රකාශ කරනවා මෙහෙම,
විසඳුමක් ඕනි මට
දන්නවද මහ රෑට
දනව හරියට ම මගේ
පපු මැද්ද
සාමාන්‍යයෙන් කවීන්ට වස්තු විෂය නොවන අන්දමේ වස්තු බීජයක් තෝරා ගනිමින් සරල සුගම සුන්දර කවියක් නිර්මාණයට කිවිඳිය සමත්වෙලා තියෙනවා. මෙහිදී විශේෂ වන්නේ කිවිඳිය තුළ පවතින අව්‍යාජ බව සහ නිහතමානී බව, මෙතෙක් කවීන්ට ප්‍රස්තුත නොවූ තේමාවක් පාඨක හමුවේ තබන්නට ඇය සතු උක්ත ගුණාංග හේතු වී තිබෙනවා. සාමාන්‍ය ජීවිතයේ පාඨක ඔබ, මම මෙන්ම කවියන්ද මෙම සුලබ සංසිද්ධිය කොතෙකුත් දැක තිබෙනවා. දකිනවා. එමෙන්ම දකීවි. සුලබ සිදුවීමක් නමුත් අපූර්ව ආකාරයට දකින්නට, මින් පෙර සිදු නොවූ ලෙස විශේෂ කොට දකින්නට නිර්මාණකරුවන්ට පුළුවන්. ඒ බව පසක් කරන්නට මෙම කවිය නිදසුනක්.
සාම්ප්‍රදායික සමාජයේ දියණියක දීගය හැර තම දෙමාපියන් වෙත ඒම, දික්කසාදය ලැජ්ජාවට කරුණක්. අවනම්බුවට කරුණක්. මෙම කාරණය තේමා වූ නිර්මාණයක් ලෙස සෙනෙහස පරාද ද සිරිතට පැවත එන කවිය දක්වන්න පුළුවන්. කාව්‍ය නිමිත්ත දිඹුල් ගස මත තනි වූ උදුම්බරාවගෙන් පියතුමාණන් වෙත මැසිවිලි.. . උණුහපුළුවාට උගේ පැටියා මැණිකක්. කුරුලු මවකට වුවද සිය පැටවා වටින බව කියන උදුම්බරා අද ඇය මිලින වූ මලක් වුවද පෙරදී ඇයව ඔහු දෙව්ලියක ලෙස අභිමානයෙන් ඇමතූ බව තම පියාට මතක් කර දෙනවා. එහිදී කසාදය දුක් කසාදයක් බවට පත්ව දික්කසාදය දක්වා වර්ධනය වූ ආකාරය ඇය සැකෙවින් විස්තර කිරීමට අමතක කරන්නේ නැහැ.
කාන්තාව ගෙයි ගිනි පිට නොදී යුතුය, පැමිණෙන සියලු දුක් පැන් රස සේ අනුභව කළ යුතුය, සැමියා බිරිඳගේ දෙවියා බවට ඇදහිය යුතුය යනාදිය ආසියාතික රටවල කාන්තාවට ලැබෙන පරමාදර්ශි උපදෙස්. උදුම්බරාද එකී රාමුවෙන් ජීවිතය දකින්නට උත්සහ කළ නමුත් ඇයට එය කරන්නනට හැකි වෙන්නෙ නැහැ. ඇය දීගය හැර යන්නට තීරණය කරනවා. පියාගේ සහාය පතනවා. එහෙත් ආසියාතික දෙමව්පියන්ට දීගය හැරුණු දියණියක කියන්නේ විශාල බරක් මෙන්ම ලැජ්ජාවට කරුණක්. මෙහි එන උදුම්බරාගේ පියාද පෙර සිරිත අගයන්නෙක්. එනයින් කථක උදුම්බරා ඔහුගෙන් දරු සෙනෙහසේ ගැඹුර විමසනවා. මෙය උදුම්බරා කතාවෙන් ඔබ්බට ගිය වත්මන් දියණිවරුන්ගේ කතාව කියන්න පුළුවන්. අනෙකා ගැන අහිතක් නොසිතෙන අන්දමින් සමාජ ගැටලුවක් විවරණයට කිවිඳිය ඓතිහාසික කතා පුවතක් යොදා ගන්නවා. ඇයගේ එම වෑයම සාර්ථක බව කියන්න පුළුවන්.
නැතිවට ඇවිත් පියතුම ඔබ කුසින් පැන
නුවෙ ද දියණි මා සිනහව කඳුළ දෙන
පෑවෙ ද මාව අත පය දෙක වාරු මැන
සෙනෙහස පරාද ද සිරිතට පැවත එන
නිර්මාණයේ උපහාසය උක්ත කවියෙන් දකින්න පුළුවන්. ඔබගේ කුසින් නොවැදුවද මා ඔබට සිනහව සහ කඳුළ දෙන දියණිය නොවේද යනුවෙන් දියණිය උදුම්බරා පියාගෙන් විමසනවා. පියෙකුගේ සෙනෙහස ගනින්නට බැහැ. එවැනි අමිල සෙනෙහසක් පෙර සිරිත ඉදිරියේ වලංගු නැතිද යනුවෙන් ඇය ප්‍රශ්න කරනවා.
ඔබත් මමත් දන්නා ලාංකේය ඉතිහාසය අනුව කුවේණි වූ කියලා කියන්නේ යක්ෂණියක්. කුවේණිය නම ඇසු සැණින් අපට හිතෙනවා ඇය අවලස්සන තැනැත්තියක් කියලා. එහෙත් කුවේණිය කියන්නේ රූමත් තැනැත්තියක්. ඒ නිසයි විජය වාගේ කෙනෙක් ඇයව බිසව කර ගන්නේ. උපත්ති කේන්දරේ තිබුණ වරදක් නිසා ඇය කුඩා කල පටන් නිවසින් වෙන්කර තබනවා. ඇය හැදෙන්නේ වැඩෙන්නේ තනිව වගේම ආදරයක් නොමැතිව. මාපිය සෙනෙහස, ආදරය මෙන්ම සහෝදර සෙනෙහස කුඩා කළ පටන් අහිමිව ගිය තැනැත්තියකට තමා දුටු කඩවසම්ම පුරුෂයා කෙරෙහි ආදරයක් ඇතිවීම වරදක්ද? ඉතිහාසය කියන අන්දමට ඇය මන්ත්‍ර ගුරුකම් කෙළ පැමිණි අයෙක්. ඊටත් ඇය යක්ෂණියක්, යක්ෂ ගෝත්‍රික කාන්තාවක්. ඇත්තටම කිවිඳිය කියන අන්දමට මෙතරම් මන්තර ගුරුකම් දන්න කුවේණියට තමාට එරෙහි වන අයව පාලනය කරන්න බැරි වුණාද? තමන්ගේ විනාශය දැක දැක ඇය නිහඬ පිළිවෙතක් අනුගමනය කළාද? නැත. ඊට දිය යුතු පිළිතුර නම් එය ඇයගේ ඉරණමයි.
මං අහන්නෙ
ඔච්චර යක්ක හමුදාවක් ඉද්දි..
තනිවෙන්ඩ විජය යටතේ..
සාමාන්‍ය ගෑනියක් වගේ
හීන දැක්කෙ
තිබිල ඇද්ද අපලයක්වත්
ඉපදිච්ච නැකතෙ
කුවේණියගෙ..?
අපලය අන් කිසිවක් නොව ආදරයයි. ආදරය හිතට දැනීමයි. සිතේ උපරිම තැනට දැනෙන ආදරය ඉදිරියේ කවුරුන් වුවත් බොළඳයි. ආදරය අන්ධය. ඇය සතුව යම්කිසි බලයක් තිබුණා හෝ නොතිබුණා වෙන්න පුළුවන් ඇය, ඇයට වු සියලු අසාධාරණ මෙන්ම පීඩන දරා ඉන්නට එකම සාධාරණ හේතු වන්නේ ආදරයයි. ඕනෑම තරාතිරමක අයෙකු වුවත් ආදරය ඉදිරියේ සාමාන්‍ය හැඟීම් දැනීම් සහිත තැනැත්තෙකු බවට පත්වෙනවා. අනෙකාගේ සතුට අපේක්ෂා කරනවා. තමාට එරෙහිව තම ආදරය අවි අමෝරාගෙන පැමිණියත් තම ප්‍රේමය මරා දමන්නට, ඊට අහිතක් කරන්නට සැබෑ ප්‍රේමයට බැහැ. ආදරය යනු ආදරයම පමණයි. ඊට හේතුව විමසන්නට බැහැ.
මොකටද ඔහොම
බලයකින්..!
බැරි නං තමන් ව,
තමන්ගෙ තැනවත්
රැක ගන්ට..
ඕනෑම අයෙකුට ප්‍රශ්නය තමාගේ වනතුරු දාර්ශනික වෙන්න පුළුවන්. එය ඔබට සහ මටත් පොදුයි. හිතට වඳින ප්‍රේමයක් හමු වූ තැනදී මෙය කියවන පාඨක ඔබත් මමත් දෙදෙනාම තවත් එක් කුවේණියක බවට පත්විය හැකි.
කුවේණි බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වස්තු බීජ සැපයූ මාතෘකාවක්. එහෙත් බොහෝ නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ කුවේණිය සිංහලයට සාප කිරීම පිළිබඳ කතා පුවත පමණයි. එහෙත් මෙම නිර්මාණයේදී පියුමාලි ස්ත්‍රියක ලෙස, ස්ත්‍රීවාදී දෘෂ්ටියක් හෙළමින් කුවේණිය දකින්නට උත්සාහ ගෙන තිබෙනවා. කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික කාන්තාව තුළ තිබූ භාවමය හැඟීම් සියුම්ව පෙන්වා දී තිබෙනවා. එහෙත් කිවිඳිය කුවේණියගේ නිහඬ ප්‍රතිපත්තියට හේතුව ආදරය බව සෘජුව පවසා නැහැ. ව්‍යංගයෙන් හඟවා තිබෙනවා.
කවිකාර දොස්තර නෝනා ලියූ බන්ධනය කවි පොතෙහි එන කාව්‍ය නිර්මාණ අප පෙර නොඇසු සිදුවීම් මත නිර්මිත ඒවා නොවන නමුත් ඒවා පාඨකයා වෙත ඉදිරිපත් කරන ආකාරය, භාෂාව හා කාව්‍ය අලංකාර තුළින් පාඨකයා අමන්දානන්දයට පත් කිරීමට සමත් වන බව කියන්න පුළුවන්. එසේම යෝජිත කවි කියවීමෙන් පාඨකයා ලබන සංතුෂ්ටිය හෝ කම්පනය එකී තේමාවලට පාඨකයාගේ ඇති ඥාතිත්වය, සමීපතාව අනුව වෙනස් වන්න පුළුවන්. එහෙත් ඉන් නිර්මාණයේ කලාත්මක බවෙහි වෙනසක් වන්නේ නැහැ. කෙසේ නමුත් කිවිඳිය පොළොවේ පය ගසා ජීවත්වන්නියක් බව නො රහසක්. තේමාව, භාෂාව මේ සියල්ල ඇය සපයා ගන්නෙ ජීවන අත්දැකීම්වලින්. ඒ නිසාමයි මේ කවි සරල, සුන්දර වෙමින් පාඨක සිත් ඇද බැඳ ගන්නේ කියන්න පුළුවන්.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.

One thought on “සඳක් මෙන් සෞම්‍ය නොවුණද රැයේ තරුවක් ව ළඟ ඉන්න…”