ජීවත් වනවාද නැතිද, එයයි ගැටළුව

ග්‍රීක් මිත්‍යා විශ්වාසයන්හි එන ටාටරස් හි සදාකාලික දණ්ඩනයට නියම වූ මහා පව්කාරයින්ගෙන් සිසිෆස්ද එකෙකි. ඔහුට මහදෙවි සීයුස් විසින් නියම කර ඇති දඬුවම වන්නේ මහ ගලක් කඳු මුදුනකට තල්ලු කර ගෙන යෑමයි. කෙසේ නමුත් සිසිෆස් මහ ගලද තල්ලු කරගෙන කඳු මුදුනට ලඟා වූ විට එය ඔහුවද තලා දමමින් නැවතත් කඳු පාමුලට පෙ‍රැළී යයි. දැන් සිසිෆස් නැවතත් කඳු පාමුල සිට කඳු මුදුනට මේ මහ ගල පෙරළාගෙන යෑමේ දුෂ්කර කර්තව්‍යය කළ යුතු වෙයි. මෙය කාලය පවත්නා තුරුම සිදු කළ යුතු වෙයි.

වර්තමාන කොරින්ත් හෙවත් ආදි එ‍ෆිරාවේ රාජත්වය දරා සිටි සිසිෆස් හට මේ සා දඬුවමක් ලැබීමට හේතුව කුමක්ද? කොටින් පවසන්නේ නම් සිසිෆස් යනු පෘතුවියේ සිටිනා සටකපටම තක්කඩියා ලෙසින් කුප්‍රකටව සිටි රජෙකි. ඔහු සිය රාජත්වය තුළදී මෙම සටකපට භාවය උපයෝගී කරගනිමින් සිදුකළ අපරාධයන්ද බොහෝ වෙයි. ඔහු තම වාසිය සඳහා මහදෙවි සීයුස්ගේ රහස් පවා හෙළිදරවු කර සිටී. කෙසේ නමුත් එක් මොහොතකදී සිසිෆස් ඔලිම්පස් මහ දෙවියෙකුද උපායෙන් ‍රැවටීමට සමත් වෙයි. එනම් සිසිෆස්ව ටාටරස් වෙත ‍රැගෙන යෑමට මාරයා හෙවත් තෙනටෝස් පැමිණි විට සිසිෆස් ඉල්ලා සිටින්නේ ටාටරස් හි යදම් ක්‍රියා කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන ලෙසටයි. තෙනටෝස් එම ඉල්ලීම ඉ‍ටු කරන්නට යන විට සිසිෆස් කරන්නේ උපායෙන් තෙනටෝස්ව යදමින් බැඳ සිර කිරීමයි. තවත් කතාවක දැක්වෙන්නේ සිසිෆස් විසින් උපායෙන් රවටනු ලැබුවේ තෙනටෝස් නොව පාතාලයට අධිපති හේඩීස් බවයි.

කෙසේ හෝ මරණය ටාටරස් හි සිරගත වීමත් සමගින් මනුලොව මිනිසුන් මිය යෑම නවතී. මෙයින් වඩාත්ම අසතුටට පත්වන්නේ යුද්ධයට අධිපති ඒරීස් වේ. එබැවින් ඒරීස් කරන්නේ වහාම පැමිණ තෙනටෝස්ව මුදවා ගනී. දැන් මරණය ආසන්න බව දැන සිටිනා සිසිෆස්ට වුවමනා වන්නේ සිය ‍රැජිණ තමන්ට සැබවින්ම ආලය කරන්නේද යන්න පිරික්සීමටයි. එබැවින් සිසිෆස් ඇයට පවසන්නේ තමන් මියගිය විට තම ප්‍රාණ නිරුද්ධ ශරීරය නගර චතුරශ්‍රයට විසි කරනා ලෙසයි. ඇය එම නියෝගය පිළිපදී. පාතාලයේදී අවදි වන සිසිෆස් නොසතු‍ටු වන්නේ සිය බිරිඳ තමන්ට ඇති ආලය අභිබවා තමන්ට කීකරු වීම ‍තෝරාගත් බැවිනි. එබැවින් ඇයට දඬුවම් දීම සඳහා තමන්ව නැවත මනුලොවට එවන ලෙසට පාතාලයේ රාජිණිය පර්සෙෆොනීට ඔහු ඒත්තු ගැන්වීමට සමත් වෙයි. කෙසේ හෝ නැවතත් මනුලොවට එන සිසිෆස් නැවත නිරයට යෑම ප්‍රතික්ෂේප කර සිටී. අවසානයේ හර්මීස්ට පැමිණ සිසිෆස්ව බලයෙන් ටාටරස් වෙත ඇදගෙන යෑමට සිදුවේ. මෙසේ දෙවියන්ව පවා කපටකමින් මුලා කිරීම නිසා සීයුස් විසින් සිසිෆස් හට සදාකාලිකව කඳු මුදුනකට මහ ගලක් පෙරළාගෙන යෑමේ දඬුවම ලබාදෙයි.

සිසිෆස්ට එම දඬුවම ලැබීමට හේතු වූ කරුණු කාරණා පසෙක තබා ඔහුගේ දඬුවම දෙස බැලූ විට, එය සැබවින්ම මිනිසාගේ පැවැත්ම සම්බන්ධයෙන් දාර්ශනික කතිකාවකට මග පාදයි.

සිසිෆස් විසින් එම මහ ගල කඳු මුදුනට මහත් අසීරුවෙන් පෙරළා ගෙන යන නමුත්, ඔහුගේ කාර්යය මස්තකප්‍රාප්තියේදී එය ව්‍යර්ථ වී යන්නේ ගල නැවතත් ඔහුවද තලාදමමින් කඳු පාමුලට පෙ‍රැළී එන බැවිනි. එය සිසිෆස්ද දනී. නමුත් ඔහුට නැවත නැවතත් කඳු මුදුනට එම මහ ගල තල්ලු කරගෙන යෑම ඇරෙන්නට වෙනත් විකල්පයක්ද නොමැති වේ. කෙසේ නමුත් සිසිෆස් හට කෙදිනක හෝ සතු‍ටු වීමට හැකි නොවනු ඇතිද? ජීවිතයට අර්ථයක් නොතිබුණත්, එම අර්ථ විරහිත භාවය තුළම සතුටින් ජීවත් වීමට නුඹට හෝ මට හැකි නොවනු ඇතිද? නැවත නැවතත් අප තල්ලු කරගෙන යන මහා ගල කඳු මුදුනට ලංවූ විට අපව තලා දමමින් පහතට පෙ‍රැළී යනු ඇති බව, එවිට නැවතත් අප එම ගල කඳු මුදුනට තල්ලු කරගෙන යෑමේ දුෂ්කර කර්තව්‍යය ඇරඹිය යුතු බව දැන දැනම වුවද, එම මහ ගල කඳු මුදුනට තල්ලු කරගෙන යෑමේ කාර්යයම ප්‍රමෝදයක් කර ගැනීමට අපට නොහැකි වනු ඇතිද?

“ජීවිතයේ පවත්නා සැබෑ බරපතලම දාර්ශනික ගැටළුව වන්නේ ජීවත් වනවාද, මරණය සොයනවාද යන්න තීරණය කිරීමයි. ඇල්බෙයා කැමූ මෙය ගවේෂණය කිරීම සඳහා සිසිෆස් පුරාවෘත්තයම ‍තෝරාගනී. සැබවින්ම ජීවිතය ජීවත් වීමට තරම් නොවනා බවට වන වටහා ගැනීමක් නිසා මරණය සියතින්ම සොයා යන අයෙකු සැබවින්ම අත්විඳින්නේ ජීවිතයේ ‘නිරර්ථක භාවය’ යැයි කැමූ පවසා සිටී. සැබවින්ම අපගේ ජීවිතය, අපගේ තීරණයන්, අපගේ ගතිගුණ, අපගේ යහපත් ක්‍රියා ඈ කිසිවක් තේරුමක් ඇති දේ නොවන බව, ව්‍යාකූල විශ්වය තුළ අපගේ ජීවිත අර්ථ විරහිත බව එක් මොහොතක හැඟී යෑමම ජීවිතය අවසන් කර ගැනීමට ප්‍රමාණවත් වේ. එනමුත් සැබවින්ම පිළිතුර එයද? ජීවිතයේ එම නිරර්ථක භාවය තුළ පවා ජීවත් වීමෙන් ප්‍රමෝදය සොයා ගැනීමට නොහැකි වනු ඇතිද? සිසිෆස් එම ප්‍රමෝදය සොයා ගන්නට සමත් වූවා නම් අපටද එය නොහැකි නොවනු ඇත.

සිය ජීවිතය කෙළවර කරගැනීම සඳහා නගරය අතැර දමා යන කාර්ලෝස් රෙගෙඩාස්ගේ “හාපෝන්” චිත්‍රපටයේ චිත්‍ර කාරයාට පවා අවසානයේ නිරර්ථක ජීවිතයේ ප්‍රමෝදය මුණගැසෙයි. නුඹ හෝ මම එක්කෝ ජීවිතයේ නිරර්ථක භාවය වටහා නොගෙන සිටිය යුතුය. එසේත් නැතිනම් ජීවිතයට අර්ථයක් ලබාදීම සඳහා දෙවියෙකු හෝ මවා ගත යුතුය. එසේත් නැතිනම් ජීවිතයේ නිරර්ථකත්වය තුළම අවසානය තෙක් ජීවත් වීමට වටිනා ප්‍රමෝදයක් සොයාගත යුතුය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment