ගාලු සාහිත්‍ය උළෙල පසුගියදා නිමා විය! කෙසේ නමුත් පසුගිය වසරේ අගභාගයේ සිට දැල්වුණු බව පෙනී යන සාහිත්‍ය ප්‍රබෝධය නම් දැන්මම අඩු වී නොයන බව පෙනේ. ඊට, පෙබරවාරි 08 වන දින සිට පුරා දින පහක් පුරා මහනුවර සහ කොළඹ හරහා හමා යන්නට නියමිත ලංකා සාහිත්‍ය උළෙල ද හේතු වනු ඇත! මෙම උත්කර්ෂවත් බවකින් ආරම්භ වීමට නියමිත බව පෙනී යන නවමු සාහිත්‍ය උළෙල සම්බන්ධයෙන්, ඒෂියන් රිවීව්, මෙම ලංකා සාහිත්‍ය උළෙලේ ප්‍රධාන සංවිධායක, ශ්‍රී ලංකාවේ ප්‍රකට ග්‍රන්ථ කතුවරයකු වන අශෝක් ෆෙරී සමඟ සිදුකළ කතාබහකි මේ.
Q: ලංකා සාහිත්‍ය උළෙල ගැන අදහස පහළ වුනේ කොහොමද? ගාළු සාහිත්‍ය උත්සවයත් ඉවර වුණා විතරයිනේ.
A: පහුගිය අවුරුදු කිහිපයේ හරියට සාහිත්‍ය උත්සවයක් තිබුණේ නැහැනේ. මම මුලින් කටයුතු කළේ ගාලු සාහිත්‍ය උත්සවය පණ ගන්වන්න. මම වගේම තවත් බොහෝමයක් දෙනෙක් ගාලු සාහිත්‍ය උළෙලට පණ දෙන්නට දැඩි වෙහෙසක් ගත්තා. අන්න එතකොට එක තැනකදී අපි හැමෝම කරමින් හිටපු වැඩකටයුතු වල ප්‍රතිඵල පෙනෙන්නට පටන් ගත්තා. අපිට තේරුණා එකම දෙයක් සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් අය කටයුතු කරනවා කියලා. එ නිසා අපි වෙන වෙනම වැඩ කරන්න තීරණය කළා. ඉතින් ඊට පස්සේ මම සහ මගේ හවුල්කරුවන් තීරණය කළා, අපි වෙනස් දෙයක් කරමු කියලා. ඇත්තටම ජනාධිපතිතුමා තමයි යාපනය සහ මහනුවර ඒකාබද්ධ කෙරුණු සාහිත්‍ය උළෙලක් කරන්න යෝජනා කළේ. හැබැයි අපිට තිබුණු කාලයත් එක්ක යාපනය අමාරු වැඩි ඉලක්කයක්, ඒ නිසා අපි හිතුවා මේ මොහොතේ පහසු ඉලක්කයන්ට අවධානය යොමු කරන්න. ඒ කියන්නේ කොළඹ සහ මහනුවර. සමහර විට අවුරුද්දකට විතර පස්සේ යාපනයට අවධානය යොමු කරන්න අපිට පුලුවන් වේවි!
Q: මහනුවර ලංකාවේ දෙවන විශාලතම නගරය කියන්න පුලුවන්. ඒත් කොළඹට සාපේක්ෂව සෑම විටම මහනුවරට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි.ඉතින් අපි ඒ නිසා ලංකා සාහිත්‍ය උළෙල මෙවර මහනුවරින් ආරම්භ කරනවා! පෙබරවාරි 8 සහ 9 මහනුවර, පසුව 10, 11 සහ 12 කොළඹ.
A: ගාලු සාහිත්‍ය උළෙල පටන් ගත්තේ මගේ කෑම කාමරයෙන් කියන්න පුලුවන්; මම මුල් කමිටුවේ ආරම්භක සාමාජිකයෙක්. ගාලු සාහිත්‍ය උළෙල ගැන අදහස ජෙෆ්රි ඩොබ්ස්ගේ. ලිබී සවුත්වේල්, නස්රීන් සන්සෝනි, අමීනා හුසේන් සහ මම කියන පස් දෙනෙක් තමයි මුල් කමිටුවේ සාමාජිකයන් වුණේ.ඉංග්‍රීසි සාහිත්‍ය උළෙලක අවශ්‍යතාවක් ශ්‍රී ලංකාවට තිබෙන බව එදා අපට වැටහුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමාණවත් පිරිසක් ඉංග්‍රීසි කතා කරනවා. ඒක ප්‍රතිශතයක් විදියට ඉන්දියාවත් එක්ක සසඳා බැලුවොත්, ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි කතා කරන ප්‍රමාණය ඉන්දියාවට වඩා වැඩියි කියන්න පුලුවන්. හැබැයි ඉන්දියාවේ සාහිත්‍ය උත්සව 300කට අධික ප්‍රමාණයක් තිබෙනවා.
Q: මෙම ලංකා සාහිත්‍ය උළෙල ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට දායකත්වයක් වෙන්නේ කොහොමද?
A: මෙතන ප්‍රායෝගික කාරණයක් තියෙනවා. සාමාන්‍යයෙන් මම යන ජිම් එකේදී එහෙම කෙනෙක් සතියකට සැරයක්වත් ඇවිත් අහනවා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කියලා. ඉතින් මේ ලංකා සාහිත්‍ය උළෙල සංවිධානය කරන්න, සැලසුම් කරන්න එක ප්‍රධාන කාරණයක් වෙන්නේ, ඉංග්‍රීසි කියන්නෙ අපිට හතුරු භාෂාවක් විදියට හිතන්නේ නැතුව, ලෝකයේ බොහෝ දේවල්, ලියවිලා තියෙන පතපොතට ප්‍රවේශය ලබාදෙන අපූරු දොරටුවක් විදියට හිතන්න විශේෂයෙන්ම තරුණ පරම්පරාව දිරිමත් කිරීමයි. ඉංග්‍රීසි තියෙන්නෙ තවදුරටත් එංගලන්තයේ විතරක් නෙවෙයි. ඉංග්‍රීසි කියන්නේ අද වෙනකොට ලෝකෙ පුරාම පැතිරුණු ලෝක භාෂාවක්. අපි ඉංග්‍රීසි යටත් විජිත භාෂාවක් විදියට හිතන එක නවත්තන්න ඕන.
මා කිව් විදියට, ඉංග්‍රීසි ඉගෙනීමට කැමති තරුණ තරුණියන් දන්නවා ඉංග්‍රීසි භාෂාවට වඩා හොඳ රැකියා සහ අවස්ථා සඳහා දොරටු විවර කළ හැකි බව. නමුත් මම මෙතනදී දෙයක් කියන්න කැමතියි. ඉංග්‍රීසි කියන්නේ නිකම්ම හොඳ රැකියා ලබා ගැනීමට දොරටුවක් හෝ තමන් උසස් කියලා හැඟීමක් ඇති කරගන්න අවස්ථාවක් නෙවෙයි; අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන ඒ භාෂාව වින්දනය කරන්නටයි.
Q: තම ඉංග්‍රීසි දැනුම මුවහත් කර ගැනීමට ආශාවෙන් සිටින වර්තමාන තරුණ පරම්පරාව ගැන අපි කතා කළා. එහෙමනම් ලංකා සාහිත්‍ය උළෙලේ තියෙන තරුණ වැඩසටහන් ගැන කතා කරමු.
A: ඉතාම සරලයි. සාහිත්‍ය උළෙලකට එන්න තරුණ පරම්පරාව පහසුවෙන්ම දිරිමත් කරන්න පුලුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි නොමිලේ ලබාදෙන්නට ටිකට් පත්! සිසුන් සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ විවෘත වෙන ශ්‍රී ලංකාවේ පළමු ඉංග්‍රීසි සාහිත්‍ය උළෙල මෙයයි කියලා මම විශ්වාස කරනවා. ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් කියමු, විශ්වවිද්‍යාල උපාධිධාරියෙක් කියමු, එහෙමත් නැති නම් පශ්චාත් උපාධි අපේක්ෂකයෙක් කියමු. ඔබ මොන විදියකින් හෝ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් නම් ඔබට ලංකා සාහිත්‍යය උළෙලේ සියලුම සැසි වලට ප්‍රවේශය නොමිලේ. හැබැයි ඔබ ඔබේ ශිෂ්‍ය හැඳුනුම්පත හෝ අදාළ ඉගෙනුම් ආයතනයේ ලිපියක් හෝ ඉදිරිපත් කරලා ඔන්ලයින් ලියාපදිංචි විය යුතුය. මම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියන්නේ ශිෂ්‍යා හැඳුනුම් පතක් පිනට ඉල්ලගෙන හරි, ණයට ඉල්ලගෙන හරි, හොරකම් කරගෙන හරි ලංකා සාහිත්‍ය උළෙලට එන්න කියලා තමයි!
Q: ලංකා සාහිත්‍යය උළෙලේ, එකිනෙකාට ගැලපෙන සාහිත්‍යවේදීන්ගෙන් හෙබි බොහොම ආකර්ෂණීය සංවාද සැසි ගණනාවක් තියෙනවා කියලා බැලූ බැල්මට පේනවා. මම හිතනවා මේ එක් එක් සංවාද සැසියකට ගැලපෙනම අය තෝරා බේරා ගන්න වැඩේත් බොහොම විනෝදජනක වෙන්න ඇති කියලා!
A: විනෝදය කොහොම වෙතත් ඒක බොහොම අමාරු කාර්යයක් වුණා. ඔබ දන්නවානේ මට ගණිතයට සම්බන්ධ ජීවිතයකුත් තිබුණා කියලා. ඉතින්, මට මේ කාර්යය ඉතාම සංකීර්ණ ප්‍රහේලිකාවක් විසඳනවාට සමාන වුණා. හිතලා බලන්න. කාඩ් සෙල්ලම් කරන්න ගියාම ඔබට ලැබෙන කාඩ් අත අනුව තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. ඔන්න ඔබට ලැබෙනවා රුවිත ආසියයි, හාරත හේරයි. දැන් කොහොමද ඔය කාඩ් දෙක එකතු කරලා වාසි අතක් හදාගන්නේ?
මට හිතෙන විදියට සාහිත්‍ය උළෙලක තියෙන විනෝදම වැඩේ තමයි, හරි තේමාව ඇතුළේ හරි පුද්ගලයන්ව එකතු කරන එක. අපිට අහඹු ලෙස දෙන්නෙක්ව තෝරලා, ඒ කසාදේ දුරදිග යැයි කියල හිතන්න බැහැ. අපිට මෙතනදි වෙන තැන් වලටත් වඩා අභියෝගයක් එල්ල වෙනවා. ඒ තමයි ලංකා සාහිත්‍ය උළෙල මේ පටන් ගත්තා විතරක් වීම. එතකොට මේකට ලේඛකයින්ව සහ තවත් අදාළ අයව ගෙන්න ගන්න එක තවත් අමාරුයි. හැබැයි ආරාධනා කරපු බොහෝමයක් සුන්දර මිනිස්සු එන්න කැමැති වුණා. ආවේ නැත්නම් වෙඩි තියනවා කියලා මම පුද්ගලිකව ඒ අයට තර්ජනය කරපු එක වෙනම කතාවක්!
හරි දැන් හැමෝම එන්න එකඟ වෙලා තියෙන්නේ. දැන් ඊළඟට තියෙන්නේ කලිනුත් කිව්වා වගේ හරි පුද්ගලයන්ව හරි තේමාවට ගලපන එක. මම තමයි මෙතන මඟුල් කපුවා. කොයි කෙනා එක්ක කොයි කෙනාවද පෝරුවට නග්ගන්නේ, කාගෙ අදහස් කවුරු එක්කද සමපාත වෙන්නේ? මේ ඔක්කොම හිතන එක ලෙහෙසි නැහැ. ඊට පස්සේ මේ දෙන්නට ගැලපෙන තේමාවක් සහ මාතෘකාවක් හිතන්නත් ඕන. දැන් දෙන්නව පෝරුවට නැග්ගුවා කියලා මංගල්ලේ ඉවර වෙන්නෙත් නැහැ, හනිමූන් එකට කලින් එක්කෙනෙක් පැනලා යන්නත් පුළුවන්, හනිමූන් එකේදී දෙන්නා මරාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් මඟුල් කපුවට දෙන්නව ගලපලා පෝරුවට නග්ගනවාට වඩා දෙයක් කරන්නත් බැහැ. කසාදේ කොහොමද වෙන්නේ, කොහොම දීග කයිද කියලා දැනගන්න, හැම දෙනාටම ලංකා සාහිත්‍යය උළෙලට ඇවිල්ලම බලන්න වෙනවා.
හැබැයි ලංකා සාහිත්‍යය උළෙලේ සංවාද සැලසුම් කරනකොට හොඳ සමානකම් දකින්න ලැබුණා. නිදසුනක් විදියට කිව්වොත්, ක්‍රීඩා පිළිබඳ පොත් ලිවූ ලේඛකයින් හතර දෙනෙක් සාහිත්‍ය උළෙලට සහභාගී වෙන ලැයිස්තුවේ ඉන්න බව මම දැක්කා. ටාන්යා වර්ණකුලසූරිය අංගම්පොර ගැන ලියනවා. අපිට ක්‍රිකට් ගැන කතා කරන්න ෂෙහාන් කරුණාතිලක ඉන්නවා, ඊට පස්සේ බොක්සිං ගැන කථාව කරන්න තව ලේඛකයෙක් ඉන්නවා. මෙන්න මේ වගේ. එනිසා මම හිතුවා ක්‍රීඩා සාහිත්‍ය ගැන සංවාදයක් තියෙන්නම ඕන කියලා. මේ එක උදාහරණයක් විතරයි.
Q: මේ සංවාද සැසි වලට එකතු කරලා තියෙන මාතෘකාත් සිත් ගන්නා සුළුයි!
A: මම උත්සාහ කළා පුළුවන් තරම් ලංකා සාහිත්‍ය උළෙලේදී කතා කරන්න රසවත් මාතෘකා හොයාගන්න. ඒක සාහිත්‍ය උළෙලට සම්බන්ධ වෙන හැම දෙනාටම රසවත් වෙන්න ඕන. උදාහරණයක් විදිහට ඔබට ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න බැරිවුණත්, ඔබ උනන්දුවෙන්නේ නැද්ද අද දවසේ කෘත්‍රිම බුද්ධිය නිසා මොනවද වෙලා තියෙන්නේ, අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය නිසා ඔබේ රැකියා නැතිවෙයිද කියලා දැනගන්න? කෘත්‍රිම බුද්ධිය නිසා ලේඛකයන්ට රස්සාව දමලා ගහලා පැත්තකට වෙලා ඉන්න වෙයිද? ChatGPT භාවිතා කරලා පොතක් ලියලා සාහිත්‍ය සම්මාන දිනාගත්තු ජපන් ලේඛකයෙකු ගැන මම අන්තර්ජාලයෙන් කියෙව්වා. ඉතින්, ඒ වගේ මාතෘකාවක් ගැන කතා කතා කරන එක රසවත් නැද්ද?
Q: යම් කෙනෙක් ලේඛකයෙක් වෙන්න, අඩුම ගානේ යමක් ලියන්න ආසාවක් දක්වනවා නම්, එහෙම කෙනෙක් ලංකා සාහිත්‍යය උළෙලට එන එක වැදගත් වෙනවද? ඒ අයට ලංකා සාහිත්‍ය උළෙලේ සංවාද සැසිවල කතාබහ වෙන දේවල්, වැඩමුළු ප්‍රයෝජනයක් වෙයිද?
A: ඔව්, ලංකා සාහිත්‍ය උළෙල ඇතුළේ වැඩමුළු තියෙනවා. හැබැයි අපිට තියෙන සම්පත් ප්‍රමාණයක් එක්ක ඒ වැඩමුළු වල ප්‍රමාණය ඉතාම කුඩායි. කොහොම උනත් මම කියන්නේ, වැඩමුළුවකට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැතිනම් ඒ ගැන කරදර වෙන්න එපා. අඩුතරමින් සාහිත්‍ය උළෙලට එන්න. සාහිත්‍ය උළෙලේ සිද්ධවෙන කතාබහට ඇහුම්කන් දෙන්න.
උදාහරණ විදිහට කිව්වොත් මම කෙටි කතා ගැන සංවාද සැසියක් සංවිධානය කරලා තියෙනවා. ඒකට ඉන්නවා ලාල් මැදවත්තේගෙදර, සේනක අබේරත්න, කියාරා මනදුලී මෙන්ඩිස්, එතකොට මේ පාර ග්‍රේෂන් සම්මානය ලබාගත් චිරන්ති රාජපක්ෂ වගේ ලේඛක ලේඛිකාවෝ. මේ ශ්‍රී ලංකාවේ ඉන්න ඉංග්‍රීසි භාෂාවෙන් ලියන හොඳම කෙටිකතාකරුවන්ගෙන් කොටසක් කිව්වොත් වැරදි නැහැ. ඉතින් මේ අයව එකට එකතු කරලා මම කතා කරනවා කොහොමද හොඳ කෙටි කතාවක් ලියන්නේ කියන කාරණාව. මොකද කිව්වොත් හොඳ කෙටිකතාවක් ලියන එක අතිශයින්ම අමාරු කාර්යයක්. නවකතාවක් ලියනවාට වඩා අමාරුයි කෙටි කතාවක් ලියන එක. ඒක ඕනෙම ලේඛකයෙක් කියයි. කෙටි කතාවකදී ඔබට හැම දෙයක්ම සාරාංශගත කරන්න වෙනවා.
ඊට පස්සේ කවි සැසියක් තියෙනවා. ඔබ අංකුර කවියෙක් හෝ කිවිඳියක් නම්, එන්න, ඇවිත් ඇහුම්කන් දෙන්න. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් කවි ලියන හොඳම කවියන් පස් දෙනෙක් ඉන්නවා කවි ගැන කතා කරන්න. විවිමරී වැන්ඩර්පුට්න්, රම්‍යා ජීරසිංහ, මේඝන් දක්ෂිණී සහ තවත් අය. මේ අතරේ බංග්ලාදේශ කවියෙකුත් ඉන්නවා. නිසා මම බලාපොරොත්තු වෙනවා තරුණ අය ඇවිත් සවන් දෙයි කියලා. ඉංග්‍රීසි සම්පූර්ණයෙන්ම නොතේරුනාට කමක් නැහැ. ඇවිත් මේ සංවාද වලට සවන් දෙන්න. කවියක සංගීතය රස විඳින්න.
එසේනම්, ලංකා සාහිත්‍ය උළෙලට එන්න, සාහිත්‍යයේ සහ කලාවේ විවිධ වර්ණ එකතුවෙන් නිර්මාණය වෙන අපූරු අත්දැකීමක් රසවිඳින්න! පෙබරවාරි 8 සිට 12 දක්වා මහනුවරදී සහ කොළඹදී හමුවෙමු.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න: http://ceylonliteraryfestival.com/
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
