ඉවාන් තුර්ගිනිෆ් රුසියානු සාහිත්‍යයෙහි පුරෝගාමී ලේඛකයන් කිහිප දෙනාගෙන් අයකු ලෙස පිළිගැනේ. 1818 රුසියාවේ ඔර්යොල් පළාතෙහි උපන් ඔහු 1883 දී මිය ගියේය. දඩයක්කාරයකුගේ සටහන් ඔහුගේ පළමු කෘතියයි. ඔහුගේ සමකාලීන සාහිත්‍යකරුවන් අතර ඔහු විවාදාපන්න චරිතයක් වූයේ පළමු කෘතියෙන්මය. ඔහු සාහිත්‍ය කෘති 15ක් රචනා කර ඇත. ඒ අතරින් මුමූ කෙටිකතාව ලොව හොඳම කෙටිකතා කිහිපය අතර මහඟු මිණක් වැන්න. මුළු රුසියාව වසා පැතිර පැවති වංශවතුන්ගේ පාලනයෙහි කෘරත්වය හා අමානුෂිකත්වය ගොවිපළක් හිමි වංශවත් මැහැල්ලක, ගොළු දාසයකු සහ බැල්ලකගේ චරිත කේන්ද්‍රනය කරගනිමින් විදාරණය කර ඇති අයුරු විශිෂ්ටය.
ඔහු ලියූ පියවරු සහ පුත්තු නවකතාව ලෝක සාහිත්‍යයෙහි අමරණීය නවකතාවක් වනවා පමණක් නොව එහි ප්‍රධාන චරිතයක් වූ බසරොව්ගේ චරිතාභාසයෙන් රුසියාවේ සීමාවෙන් මිදී ලංකාවද ඇතුළුව ලෝක සාහිත්‍යයෙහි ද විශිෂ්ට නවකතා බිහිව ඇත.
දඩයක්කාරයකුගේ සටහන් කෘතිය තුර්ගිනිෆ්ගේ පළමු නවකතාව වීම නිසාම නවකතාව සම්බන්ධයෙන් පැවති සමකාලීන විඥානය ඔහුට බලපෑම නොවැළැක්විය හැක්කකි.
මෙය ලියැවී ඇත්තේ දඩයක්කාර වංශාධිපතියකුගේ දෛනික අත්දැකීම් සටහන් මාලාවක් වශයෙනි. ඒ අනුව මෙහි කතාංග 25ක් ඇතුළත් වෙයි.ඒ හැම ඡේදයකදී ම අලුත් චරිත ගණනාවක් හමුවෙයි.ඒ ඒ චරිතවල ස්වභාවය, සිතුම් පැතුම්, චර්යා, මුහුණ දෙන සිදුවීම් විවිධ ය. ඒවා අතර පොදු සත්තාවක් ද හඳුනාගත හැකි ය. මේ සෑම කතාංගයකම අඛණ්ඩව රැඳී සිටින චරිත ය වංශාධිපති දඩයක්කරුවාය. මුළු කතාව ම කියවෙන්නේ ඔහුගේ දෘෂ්ටිකෝණයෙනි.
මෙහි ඇති එක් විශේෂත්වයක් වන්නේ ප්‍රාග් විප්ලවීය රුසියන් ජනදිවියෙහි තතු නිර්ව්‍යාජ ලෙස චරිත මගින් අනාවරණය කිරීම ය.තමන් බැඳි යදම්වල පීඩාකාරී බව නොවැටහෙන ප්‍රවේණිදාසයන්ගේ, සුළු ගොවීන්ගේ, මෙහෙකරුවන්ගේ ජීවන විලාසය මනරම් අයුරින් නිරූපිතය. බොහෝ විට ඔවුහු තම ඉරණම දෙවියන්ට හෝ පාරභෞතික බලවේගවලට පවරා නිහඬ වෙති.එමෙන් ම විවිධ මට්ටමේ වංශාධිපතියෝ, ප්‍රජා පීඩකයෝ, නිලධාරියෝ, ගොවියෝ, කුලීකරුවෝ සහ වෙළෙන්දෝ මේ කතාවෙහි දී හමුවෙති.
මෙහි එක් කතාංගයක දඩයක්කරුවා රාත්‍රියේ වනගැබෙහි අතරමංවූ මොහොතක වාඩියකදී හමුවන ගැටවර කණ්ඩායෙමහි හැසිරීම ඊට නිදසුනකි. යෞවනයන්ගේ ස්වභාවය වන්නේ වැඩිහිටියන්ගේ මිථ්‍යා ඇදහිලිවලට සරදම් කිරීම ය. එහෙත් මේ ගැටවරයන්ගේ සිත් නිතර පෙලන්නේ අවතාර පිළිබඳ භීතියයි. වනගහනයේ අඳුර, වනසත්ව උවදුරු, අශ්වයන් එක ගැනීමේ අභියෝගය යන මේ සියල්ල සමග යව්වනත්වයට මුහුණ දෙන ඔවුහු නිරන්තරයෙන් බියට පත්වෙති. කථානායක දඩයක්කාරයාට මෙය අපූරු අත්දැකීමකි. එකල රුසියාවේ ජනදිවියෙහි ස්වරූපය රාත්‍රි කාලයෙහි නිවෙසින් බැහැරව රාත්‍රී කාලයෙහි වාඩියක හිඳ අසුන්ට කවාපොවා රැක බලාගන්නා ගැටවරයන්ගේ සිදුවීම් දාමයෙන් පෙනේ. එම කතාංගය අවසන් වන්නේ අසුපිටින් වැටී මිය යන 14 වියැති පවුලූෂා නමැති ජවසම්පන්න යෞවනයා පිළිබඳ ප්‍රබල කම්පනයක් ඇති කරවමිනි.
එය වහල් සේවය ක්‍රියාත්මක වූ අවධියකි. දඩයක්කරු දිනක් දඩයමේ යන අතරතුර රාත්‍රියෙහි ඇඹරුම්හල් හිමියෙකුගේ පියස්සෙහි නවතැන් ගන්නට සූදානම් වෙයි. ඔහු සහ ඇඹරුම්හල් හිමියාගේ බිරිය අතර පැවති සංවාදය මෙසේය.
“ඔයාගෙ මහත්තයා කොහේ කෙනෙක්ද?
“එයා බෙලෙව් නගරෙ කෙනෙක්.”
“එතකොට ඔයත් බෙලෙව්වලද?”
“නෑ.මම ප්‍රවේණිදාසියක්.මම ප්‍රවේණිදාසියක් වෙලා හිටියා.”
“කාගෙද?”
“මගේ ස්වාමියා තමයිස්වේර්කොව්.දැන් මම නිදහස්”
“මොන ස්වේර්කොව්ද?”
“අලෙක්සාන්දර් සිලිච්.”
“ඔයා ඔහුගෙ බිරිඳගෙ මෙහෙකාරි නේද?”
“ඔබ කොහොමද දැනගත්තෙ? ඔව්”
වහල් යුගයෙහි ඇතැම් අවධියක වහලා කස පහර කමින් වධ විඳින ජීවිතයේ මන්ද මාරුතයක් වැදී නැති යන්ත්‍රයකි. එහෙත් තවත් අවධියක තවත් දේශයක වහලා,විකිණෙනවාට අමතරව ඇතැම් විට අර්ධ නිදහසක් විඳිමින් වහල් බව තවදුරටත් පිළිගනී.
ස්වාමියාට මුදල් ගෙවා වහල්බවින් නිදහස් වූ අයද එකල සිටියහ. නිකොලොයි ගොගොල්ගේ මළ මිනිස්සු නවකතාවෙහි වීරයා වන චිචිකොව් යනු වහල් වෙළෙඳාම ආදායම් මාර්ගය බවට පත්කරගත් අයෙකි. වංශාධිපතියන් කරා යන ඔහු මියගිය වහලුන්ගේ ලැයිස්තු සොයාගෙන සටකපට ලෙස වෙනත් ඔවුන් රවටා ජීවමාන වහලුන් ලෙස විකුණා මුදල් උපයාගෙන මුළු රුසියාවෙහිම සැරූ අයෙකි.ගොගොල් මේ ලියන්නේ සත්‍ය සිදුවීමක් ඇසුරිනි.
තුර්ගිනිෆ්ගේ නවකතාවට විෂය වන්නේ දඩයක්කරුවකු ලෙස ගත කළ දිවියෙහි දී හමුවන විවිධ චරිතවල අත්දැකීම්ය. වහලුන්ගේ විචිත්‍රවත් දිවියෙහි අත්දැකීම් ද කතා මාලාවෙහි අන්තර්ගත වන්නේ ඒ අනුව ය.
පරිසරය භාෂාවෙන් චිත්‍රණය කිරීමෙන් නවකතාවට ආලෝකයක් ලබාදුන් ලේඛකයන් අතර තුර්ගිනිෆ් විශිෂ්ටයෙකි. සෑම කතාංගයක ම වාගේ පරිසරයෙහි සියුම් නාදය මිනිස් හඬ සමග මුසුවේ. තත්යානා බොරිසොව්නා සහ ඇගේ බෑනා කතාංගය ඇරඹෙන්නේ මෙසේය.
“ආචාරශීලී පාඨකය, ඔබේ අත මට දෙන්න.මා සමග පියමනින්න. කාලගුණය සොබාමත්ය. මැයි මාසයේ ඇත්තේ ළා නීල පැහැයකි. සිනිඳු විලෝ තුරු ළපලු ඔප දැමුවාක් මෙන් දිදුලයි. බැටළුවන් උලා කෑමට රුචි වූ, සිහින් රතු පැහැ දඬු සහිත ප්‍රනීත තණකොළවලින් පුළුල්, සමතල මාවත මුළුමනින් ම වැසී ඇත. වම් පසත් දකුණු පසත් කඳු ගැටවල දිගු බෑවුමෙහි කොළ පැහැ රයි පැළපත රැළිති නගයි. කුඩා වලා කැටිතිවල සෙවණැලි තුනී ව ඒ මතින් ඇදී යයි.”
ඔහු භාෂාවෙන් චිත්‍ර අඳින්නෙකි. හිමිදිරියෙහි තණබිම්, ගොවිබිම්, පැල්පත් හා මන්දිර අතරින් ඇවිද යන දඩයක්කාර වංශාධිපතියකු දකින මනරම් දසුන් පාඨකයාගේ මනසෙහි ද ඒ අයුරින් ම සිතුවම් කිරීමට දක්වන ප්‍රතිභා මහිමය මෙයින් පෙනෙයි.
මේ ඔහුගේ උදානයයි.
“ඇසල මාසයේ ගිම්හාන උදෑසනක්! අරුණෝදයේ තුරු යටිවියනක සැරිසැරීමේ මිහිරියාව දන්නේ දඩවක්කරුවකු හැර අන් කවුරුද? පින්නෙන් සුදු ගැසුණු නිල් තණ පත් මත මගේ පා බරින් සටහන් ඇඳේ. මම තෙත් පඳුරු ඉවතට තල්ලු කරමි. රෑ පුරා එක්කාසු වුණු උණුසුම් සුවඳ හුස්ම හිර කරන තරම් ය. අරූද පැළෑටිවල නැවුම් සැර ගන්ධය, කරාබු නැටි හා යව තිරිඟුවල සුගන්ධය වා තලයට මුසුව ඇත.”
මෙහිදී පරිවර්තකයා ගැන ද යමක් කිව යුතු ය. ගහකොළ, සතාසීපාවා ගැන විඳීමක් මෙන්ම අවබෝධයක්ද ඇති ලේඛකයා සිංහල භාෂාවෙහි රමණීයත්වය තම පරිවර්තන කාර්යෙහි දී මුස කරන්නේ මුල් කෘතියෙහි අර්ථෝද්දීපනය පිණිසය.
ජීවිතයෙහි අභිරහස උසස් සාහිත්‍යකරුවාට හමුවෙයි. ඔහු එය වටහාගෙන පාඨකයා හමුවේ තබයි. සංතාප, වේදනා, ගැටුම්, ළතැවුල් මැදින් පිපෙන රත්මලක් බඳු එය වින්දනය කරවීම විස්මය දනවන්නකි. දිස්ත්‍රික් වෛද්‍යවරයා කතාංගය එක් අවස්ථාවකි. කතා නායකයා අසනීප වෙයි. දිස්ත්‍රික් වෛද්‍යවරයා හමුවෙයි. මේ ඔහුගේ ස්වභාවයයි.
ඔහු මට සුපුරුදු දහදිය අවුස්සන බෙහෙත නියම කළේය.අබ ප්ලාස්ටරයක් පැලඳීමට අණ කළේය. ඉතා දක්ෂ ලෙස රූබල් පහේ නෝට්ටුව සාක්කුව තුළට ඔබා ගත්තේය.
ඉතා දක්ෂ ලෙස යන යෙදුම වෛද්‍යවරයාගේ ධනකාමය පිළිබඳ හැඟීමක් ඇති කරවයි. එහෙත් මොවුන් දෙදෙනා අතර සාමීචිය දිග හැරෙන අතරතුර හමුවන්නේ වෙනස් මිනිසෙකි.
කටුක දිවියක් ගත කරන වැන්දඹු කතකගේ ඉල්ලීමක් අනුව වෛද්‍යවරයා ඇගේ දියණිය බැලීමට යයි. ඇය මරණාසන්නව, උණ රෝගයෙන් වැතිරී සිටී. උගත් පවුලක් වුවද එය අගහිඟකමින් පිරී ඇත. වෛද්‍යවරයාට දින කිහිපයක් එහි නැවති ප්‍රතිකාර කිරීමට සිදුවෙයි. ඊට හේතුව මංමාවත් පවා හරිහැටි නොමැතිකමින් බෙහෙතක් ගෙන්වා ගැනීම ද දුෂ්කර වීමය.
මරණය සමග පොරබදමින් සිටි සුන්දර යුවතියගේ පවුලේ විස්තරය මෙසේය.
එයාලගෙ තාත්තා උගත් මනුස්සයෙක්.පොත් කතුවරයෙක්.එයා මැරිල තියෙන්නෙ, ඇත්ත වශයෙන්ම, දුප්පත්කමෙන්. නමුත් එයා මැරෙන්න ඉස්සර දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න කටයුතු කරල තියනව. එයා පොත් ගොඩකුත් ඉතිරි කරල ගිහිං තියනවා. එක්කෝ මම ලෙඩාව පරිස්සමින් රැකබලා ගත්ත නිසා හරි නැත්තං වෙන හේතුවක් නිසා හරි, කොහොම හරි, පවුලෙ හැමෝම තමන්ගෙ ගෙදර කෙනෙකුට වගේ මට ආදරේ කරපු බව කියන්න පුලුවන්….. (49,50 පිටු)
මෙය ඒ මොහොත ගැන පැහැදිලි චිත්‍රයකි.
වෛද්‍යවරයා අසීරුවට ලක්වන අවස්ථාව මෙසේය.
අලෙක්සන්ද්‍රා අන්ද්‍රයෙව්නාගේ පවුලෙ හැම දෙනාටම මං ගැන තිබ්බෙ අන්ධ විශ්වාසෙ විතරයි.එයාලගෙ ලෙඩා අසාධ්‍ය වෙලා හිටිය බව එයාලට අමතක වුණා…
මෙය අනුවේදනීය අවස්ථාවකි.රෝගී යුවතිය වෛද්‍යවරයා සමග බොහෝ දේ කියයි. තමා මිය යන බව ඔහුගෙන් හරියටම දැනගෙන ඇය පවසන වදන් මෙසේය.
“ඔබට ඇහෙවද,මම ඔබට ආදරෙයි.!”
“ඇලෙක්සන්ද්‍රා,මම කොහොමද සුදුසු වෙන්නෙ…”
“හදිසියෙම එයා අත දික් කරලා මගේ හිස අල්ලගෙන සිපගත්තා…”
ඇය තම ආදරය ප්‍රකාශ කිරීමෙන් පසු මිය ගිය අයුරු මෙහි විස්තර කෙරෙයි. මේ කතාංගය කෘතියෙහි සුවිශේෂ ම තැනකි. තුර්ගිනිෆ්, ඇන්ටන් චෙකොෆ්, දොස්තයෙව්ස්කි, ගොගොල් යනාදී රුසියානු ලේඛකයන්ට පොදු ලක්ෂණයක් වූ මානව දයාව, මානව බන්ධුතාවල ගුප්ත බව සහ ගම්භිර බව, ජීවිතයේ සැඟවුණු අභිරහස පාඨකයාගේ මනස විස්මයෙන් පුරවා ලයි.
ඉවාන් තුර්ගිනිෆ්ගේ මෙම කෘතිය නවකතාව පිළිබඳ නූතන මාන අනුව විවිධ ර්ථකතනවලට ලක් කළ හැකි ය. මෙය නවකතා ෂානරයට අයත්දැයි විමතියක් ද කෙනෙකුට ඇති විය හැකිය. ඒ කුමක් වුවද මේ කෘතිය පාඨකයාට අපූර්ව සාහිත්‍යමය අත්දැකීමකි.එය පූර්ව විප්ලවීය රුසියානු සමාජයෙහි හරස්කඩකි.
–තිඹිරියාගම බණ්ඩාර.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
