පොඩි නළ ඉෂ්ක මිටා හේ… හේ… හෙවත් චිංචිං නෝනාගේ කතාව.

රන්දික කඩවතආරච්චි වත්මන් නිර්මාණ ක්ෂේත්‍රයේ සිටින තරුණ මෙන් ම දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහුගේ පළමු ස්වතන්ත්‍ර නවකතාව වන මාගරට් මුල්වරට ප්‍රකාශයට පත් වන්නේ 2021 වර්ෂයේ දී. පිරිනිවන් කඳු පාමුලින් කාව්‍ය සංග්‍රහයෙන් පාඨක අවධානය දිනා ගත් ඔහු මේ වන විට පවුරු බිඳ, සහසසරංසි, භද්‍ර සහ වරවණ්ණනී නමින් කෘති කිහිපයක් ම පළ කර තිබෙනවා. පාඨක හද බැඳගත් රන්දිකගේ මාගරට් නවකතාව The Asian Review සිංහල නවම් මහේ පුස්තකය ලෙස තෝරාගනු ලැබ තිබෙනවා.

සෑම පුද්ගලයෙක් ම තමා ගත කළ ළමා කාලයට බොහෝ සෙයින් පෙම් කරනවා. ඒ අතීතය අතීත කාමයෙන් යුක්ත ව සිහි කරන්න අපි හැමෝම කැමති යි. 80 සහ 90 දශකයේ ඉපදුණු ඔබට සමීප ළමා විය ගැන තමයි ‘මාගරට්’ නවකතාවේ අන්තර්ගත වෙන්නේ. නවකතාව ආරම්භ වන්නට පළමු ව අපේ සිත් ආසක්ත වන්නේ එහි අන්තර්ගත පිදුමට යි. හැන්දෑ ඉරගල කන්දට පාත්වන තෙක් ගමේ යහළු මිත්‍රයින් සමග පාසල් පිට්ටනිවල ක්‍රිකට් සෙල්ලම් කළ අතීතයක් අපි හැමෝටම තියෙනවා. ජීවිතය ගැන ලොකු බරක් පතලක් නොහිතා ගත කළ ඒ කාලය ඉතා සොඳුරු යි. වර්තමානයේ මෙන් විදුලි බලය නොතිබුණු වකවානුවක බැටරියෙන් වැඩ කරන කළු සුදු ටීවී එක ළඟට අපි දුවගෙන ආවෙ එවක ජාතික රූපවාහිනියේ විකාශය වුණු ‘රොබින්සන් අන්දරය’  (The Adventures of Swiss Family Robinson), ‘රොබින් හුඩ්’, ‘ගිගුරුම් දනව්ව’ (Thunder Stone), ‘මායා බන්ධන’ (Spellbinder)විදේශීය ටෙලිනාට්‍ය නැරඹීමට යි. සරුංගල්, කිරිල්ල බට තුවක්කු සැකසීම, ටයර් රෝද පැදීම එකල අපගේ විනෝදාංශ බවට පත් වූවා. වර්තමානයේ මෙන් තාක්ෂණික වශයෙන් නොදියුණු එවක ජංගම දුරකථන හෝ පරිඝණක තිබුණේ නැත. ගහකොළ, සතාසීපාවුන් සමග කතා කරමින් ගස් මත, තේ ඉඩම්වල ගත කළ ඒ සොඳුරු අතීතයට නැවත ගමන් කරන්නට අපට නොහැකි යි. වර්තමානයේ ළමුන් ක්‍රමයෙන් සමාජයෙන් වියුක්ත වෙමින් ජංගම දුරකථනවලට කොටු වී සමාජ මාධ්‍යවල හැසිරෙමින් කල් ගත කරයි. පරිඝණක ක්‍රීඩා හෝ සමාජ මාධ්‍ය නොතිබුණු එකල ළමුන් සාමූහික ක්‍රීඩාවල නියැලුණා. එතුළින් අප තුළ සාමූහිකත්වය වර්ධනය වූවා. මාගරට් නවකතාව ඔස්සේ අපට නැවත ගමන් කළ නොහැකි අතීතය වෙත අප ව ගෙනයන්නට කතුවරයා සමත් වී තිබෙනවා. 

රතු කිකිළි දත් මැද මැද
දීසි දෙකට හොදි බෙද බෙද
අම්මා ගැහුවා හැඳි මිටෙන්
තාත්තා ගැහුවා කොහු මිටෙන්
දඩිං බිඩිං ඩොන්
චීන වලල්ලේ
අතරින්
පතරින්
පාන්
පුකෙන්
චූස්………. (242 පිටුව)

බොහෝ පොත්පත්වල ගැමි සමාජයේ පවතින අහිංසක බව, අවංක බව පිළිබඳ ව කතා කළත්, මෙම නවකතාව ඔස්සේ අව්‍යාජ ගැමියාගේ කළු-සුදු මිශ්‍රිත සැබෑ දිවි පෙවෙත අපූරුවට පාඨකයා වෙත තිළිණ කරන්නට කතුවරයා උත්සාහ කර තිබෙනවා. නවකතාව ආරම්භයේ සිට අවසානය දක්වා ම ඛණ්ඩනය නොවන හාස්‍ය රසයක කිමිදෙන්නට පාඨකයාට අවකාශ සලසන අතර ම, මනුෂ්‍ය ජීවිතයේ පවතින සංකීර්ණතාවන් මෙන් ම සමාජීය විෂමතාවන් ද සියුම් ලෙසින් ඉදිරිපත් කර තිබෙනවා.

යොවුන් ප්‍රේමයෙහි පවත්නා චමත්කාරය, වංක බව, ඊර්ෂ්‍යාව සහ විරහව අනෝමා, රත්නේ, රතන හාමුදුරුවෝ සහ ජයන්තා වැනි චරිත ඔස්සේ ද, මැදි වියෙහි පසුවන පුද්ගල සිතෙහි පහළ වන රාගය පිළිබඳ ව තෙපානිස්, මිලි නෝනා, ලූජින්, මාගරට් වැනි චරිත ඔස්සේ ද විග්‍රහ කර තිබෙනවා.

මෙම නවකතාවේ අපට හමුවන අම්මා මහගමසේකරගේ වෙල් දෙණිවල ඇවිද ගොසින් වෙරළු ගෙනත් දුන් අම්මා නොවේ. නන්දන වීරසිංහගේ දුම්මල ගලට ගිය අම්මා ද නොවේ. මෙම නවකතාවේ අපට හමුවන්නේ අපේ නිවෙස්වල සිටින ඇත්ත ම අම්මා ය. මාගරට් අඩු වයසින් විවාහ වී දරුවන් වැදූ විධිමත් අධ්‍යාපන රාමුව යටතේ අධ්‍යාපනය නොලත් ගැහැනියකි. සමාජයේ ජීවත් වීමෙන් ලද පන්නරයෙන් තැලී පොඩි වී මුවහත් වුණු චරිතයක් ලෙසින් මාගරට්ගේ චරිතය ගොඩනැඟී තිබෙනවා. ඉහත දැක්වූ අම්මාවරුන් තුළ පවතින පොදු ලක්ෂණය මාගරට් තුළ ද පවතිනවා. ඒ තම දරුවන්ගේ යහපත, අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම. තම වැඩිමහල් දියණිවරුන් දෙපළට අඩු වයසින් ම හඳ පානේ දීගෙක යන්නට ඇය උඩගෙඩි දෙන්නේ ඒ නිසා ම තමයි. ඇය අසභ්‍ය වදන් පවසමින්, පහරදෙමින් සිදු කරන්නේ ඇගේ ආදරය ප්‍රකාශ කිරීම යි. ඒ මාගරට්ගේ විදිය යි.

පොඩි නල ඉෂ්ක මිටා
හේ හේ
පොඩි නල ඉෂ්ක මිටා
රබ්බා
ජක ජක ජක ජාහේ
පොඩි නල ඉෂ්ක මිටා (69 පිටුව)

නවකතාවේ නාමය ‘මාගරට්’ වූවාට මෙහි ප්‍රධාන චරිතය මාගරට් නොවේ. මෙහි ප්‍රධාන චරිතය වන්නේ චිංචිං නෝනා ය. චිංචිං නෝනා දඩබ්බර, දඟකාර චරිතයක්. නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වා ම පාඨකයා සිනා සාගරයේ ගිල්වන්නේ ද ඇය යි.  ‘පොඩි නළ ඉෂ්ක මිටා… හේ… හේ…’ යැයි පවසන සහ ඇසෙන සෑමවිටක ම චිංචිං නෝනා ඔබට සිහිවනු ඇත. එම ගීතය අප ද කුඩා කාලයේ මිමිණූ ගීතයක් වන බැවින් අපට එය ඉතා සමීප යි. අප ද එය උච්චාරණයේ කළේ වැරදියට. චිංචිං නොනා මේ ගීතය නිතර ගායනා කරන්නේ විකෘති කරමින්.   චිංචිං නෝනාගේ දඟ වැඩ කියවන විට මට සිහිවුණේ අපි හරි ආසාවෙන් නරඹපු ‘දඟයා’(Dennis the Menace) කාටූනය යි. දඟයා නිසා විල්සන් මාමාට විඳින්නට සිදු වුණු ගැහැට වගේ ම චිංචිං නෝනා නිසා නවකතාවේ චරිතවලට විඳින්නට සිදුවන ගැහැටත් අපමණ යි. චිංචිං නෝනාගේ චරිතය මා මින් පෙර කියවූ කෘති දෙකක් ද සිහිපත්  කළා. ඒ සුප්‍රකට ළමා කෘති රචිකාවියක වන එනිඩ් බ්ලයිටන් රචනා කළ Naughty Amelia Jane’ (1939) කෘතිය සහ වික්ටර් ඩ්‍රැගන්ස්කිගේ ‘The Adventures of Dennis’ (1959) කෘතිය යි. නමුත් ඒ කෘති ද්විත්වය ම ළමා සාහිත්‍ය කෘති වුවත් ‘මාගරට්’ කෘතිය ළමා සාහිත්‍යය හෝ යොවුන් සාහිත්‍ය කෘතියක් ලෙසින් නිර්ණය කරන්නට මා ඉක්මන් වන්නේ නෑ. ළමා සහ යොවුන් සාහිත්‍ය කෘතියක නොතිබිය යුතු භාෂා ව්‍යවහාරයන් සහ සිද්ධි දාමයන් මෙහි අන්තර්ගත වී තිබීම ඊට හේතුව යි.

ගණිතය නම් චිංචිං නෝනාට වහ කඳුරු වගේ ය. මේවා මහ මෝඩ ප්‍රශ්න ය. උන් බෙදා ගත්තා නම් උන්ම කන්න එපැයි. අපිට මොනාට ද උන්ගේ අඹ. චිංචිං නෝනාට එහෙම හිතෙයි. (275 පිටුව)

චිංචිං නෝනා වෙනස් ම දැරියක්. ඇය කියනා දේ නාහන දඩබ්බර චරිතයක්. ගස් නගින, අසත්‍ය පුවත් ගම පුරා පතුරුවන, තම සහෝදරයින්ට කුණුහරුප කියා දෙන, පාසල් යන්නට අකැමැති දැරියක්. සාම්ප්‍රදායික අධ්‍යාපන රාමුවට අනුව ඇය අදක්ෂ සිසුවියක්. ඇය ශිෂ්‍යත්ව විභාගය පවා අසමත් වූ සිසුවියක්. නමුත් නවකතාව අවසානයට යන විට පාඨකයා පුදුමයට පත් කරමින් ඇය ජපානයේ විශ්වවිද්‍යාලයක ස්වකීය ආචාර්ය උපාධිය හදාරනවා. මෙය පුදුම විය යුතු දෙයක් ද? නැත. ඇය මුල සිට ම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය උපහාසයට ලක් කරන්නියක්. පාසලේ උගන්වන ගණිතය පාඩම්, කෙටි යෙදුම් සම්බන්ධ පාඩම්වල දී ඇය ඒ දේවල් නිසරු දේ ලෙස සලකනවා. ඇයගේ අධ්‍යාපනික ආයතනය පාසල නොවේ. ඇගේ පාසල බවට නිතැතින් පත් වන්නේ ගම, වෙල් දෙණිය, ගහකොළ, සතා සීපාවුන් සහ ගැමි ජීවන චරිත යි. කුඩා කළ සිට ඉගෙනුමට දස්කම් පෑ චූටි මැණිකේ සහ උක්කු ගුරු පත්වීම් අසල නතර වෙද්දී චිංචිං නෝනා (ආචාර්ය බුද්ධිකා පලිහවඩන) මහාචාර්යවරියක් වීමට ආසන්න වීමේ රහස මෙය යි. තත්කාලීන අධ්‍යාපන ක්‍රමයෙහි පවතින අඩුලුහුඬුකම් කතුවරයා මෙහි දී ඉස්මතු කොට තිබෙනවා. පොතපතට පමණක් සීමා වූ කඩපාඩම් ගිරා පෝතකයෙකු තනන්නට වෙර දරන සාම්ප්‍රදායික යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමයට අභියෝග කරන්නට කතුවරයා උපයෝගී කර ගන්නේ චිංචිං නෝනා නම් වූ කුඩා දැරියගේ චරිතය යි.

“ඔයා කොහොමද මේ නම් දන්නේ..?”
“මං දන්නවා.”
“කොහොම ද?”
“මං ආසයිනේ හොයන්න.”
“ඉතින් හොයන හන්දා ගොඩක් දේවල් දන්නවා.”
“ඔව් මං දන්නවා.”
“ඉතින් ඉස්කෝලේ උගන්වන ඒවත් මේ වගේ නේද?”
එවෙලේ චිංචිං නෝනා බිම බලා ගත්තා ය.
“අපි ආසාවෙන් දෙයක් කරොත් ඒ දේ මතක හිටිනවා. ඉස්කෝලෙත් ආසාවෙන් යන්න පුළුවන් ද?”
ඇගෙන් ලැබුණේ නිහඬතාවයකි.
“ඔයා ඉස්කෝලේ ගිහින් ආසාවෙන් ඉන්න. ඔයාට හැමදාම ඉස්කෝලේ යන්න හිතෙයි.” (285 පිටුව)

ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කරන්නේ රත්නේ අයියා විසිනි. දස හැවිරිදි දැරියක වන චිංචිං නෝනාගේ සිත තුළ රත්නේ අයියා කෙරෙහි පවතිනුයේ දුයිෂෙන් කෙරෙහි අල්තීනායි තුළ පැවති සෙනෙහස වැනි දෙයක් බව කතුවරයා අපට පවසන්නේ ද එබැවිනි.

කෘතියක පිට කවරය පාඨකයා කෘතිය වෙත ආකර්ෂණය කර ගැනීමට බෙහෙවින් ඉවහල් වන්නක්. කෘතියක් මිල දී ගන්නට හෝ කියවන්නට පළමු ව පාඨකයාගේ නෙත ගැටෙන්නේ කෘතියක පිටකවරය යි. පොතට කලින් අපි පිටකවරය වෙත අවධානය යොමු කරන බැවින් කෘතියක පිට කවරය සම්බන්ධයෙන් කතුවරයා සහ ප්‍රකාශන ආයතන සැලකිලිමත් විය යුතු බව මගේ පෞද්ගලික අදහස යි. මාගරට් කෘතිය අතට ගන්නා පාඨකයෙකු මෙය ළමා හෝ යොවුන් සාහිත්‍ය කෘතියක් යැයි වරදවා වටහා ගැනීමට ඉඩ තිබෙනවා. එසේ සිතමින් කුඩා දරුවන්ට අතිරේක කියවීම් පොතක් වශයෙන් තෑගි කිරීමටත් ඉඩකඩ තිබෙනවා. පිට කවරයෙහි පවතින චිත්‍රය සහ අකුරු ෆොනුරුව එයට උදව් කරනවා. මෙහි සිටින කුඩා දැරිය මාගරට් නොවන බව නවකතාව කියවීම ආරම්භ කරන විට ම පාඨකයාට වැටහෙන්නට ගන්නවා. එසේ නම් මේ ඉන්නෙ චිංචිං නෝනා බව ඔහුට හෝ ඇයට වැටහෙන්නට පටන් ගන්නවා.

කෙසේ වුවත් කෘතියේ ආරම්භයේ සිට අවසානය දක්වා පාඨක රුචිය ඛණ්ඩනය නොවන අයුරින් පවත්වාගෙන යාමට කතුවරයා සමත් වී තිබීමෙන් ම ඔහු සතු ව පවතින ග්‍රන්ථකරණයෙහි නිපුණතාව හෙළි වෙනවා. කෘතිය කියවන ඇතැම් පාඨකයෙකුට මෙහි භාෂා ව්‍යවහාරය සහ දෙබස් භාවිතය සම්බන්ධ ව නොපැහැදීමක් ඇති වන්නට පුළුවන්. නමුත් මෙහි සිදුවීම් සහ දෙබස් ගමෙහි අප අසා ඇති, දැක ඇති සාමාන්‍ය ව්‍යවහාර සහ සිද්ධි දාමයන්. ස්වභාවික භාෂාව කෘතියට යොදා නොගනිමින් අනවශ්‍ය ආකාරයේ සංවර භාෂාවකට කතුවරයා මුල පිරුවේ නම් මෙතරම් රසවත්, සාර්ථක කෘතියක් පාඨකයින්ට කියවන්නට නොලැබෙන්නට ඉඩ තිබිණි. එබැවින් මෙහි ඇත්තේ කෘතිය විසින් කතුවරයාගෙන් ඉල්ලා සිටින භාෂාව බව අප වටහා ගත යුතු යි.

සාහිත්‍ය කෘතියක් පිළිබඳ ව විමසා බැලීමේ දී අදාළ කෘතිය රචනා වූ සමාජ පසුබිම පිළිබඳ ව ද අවධානය යොමු කිරීම වැදගත්. මාගරට් කෘතිය ප්‍රකාශයට පත් වන්නේ කොවිඩ්- 19 වෛරසය මෙරට තුළ ව්‍යාප්ත ව පැවති කාලවකවානුවේ දී. නිවසට කොටු වී දිවි ගෙවූ ජනතාවගේ මානසික ආතතිය දුරු කරලීමට මෙම කෘතිය සමත් වූ බව නොරහසක්. මේ අනුව මාගරට් නවකතාව වර්තමානයටත් වඩා තත්කාලීන වශයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කළ කෘතියක් වශයෙන් ද අපට හඳුන්වන්නට පුළුවන්. මාගරට් නවකතාව සෑම පාඨකයෙකු විසින් ම කියවා රසවිඳිය යුතු කෘතියක් වශයෙන් හඳුන්වන්නට මා කැමති යි. එවිට  ඔබට ඔබ ව ම හමු වේවි. එමෙන් ම එවිට නිරුත්සාහක ව ඔබ ඔබගේ බාල වියට ගමන් කරනු නිසැක ය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment