කැදැල්ලෙන් ලොවට හෙළන ශාන්තිමත් බැල්මක්

ශාන්ති දිසානායක කියලා කියන්නේ ඔබ අප කවුරුත් හොඳින් දන්න දක්ෂ ගත් කතුවරියක්. විශේෂයෙන් ම ඒ නවකතාකාරියක් විදිහට. හැන්දෑව, වාලුකා, ගිරිකුළ, ගිරිදේවි,  වගේ අති විශිෂ්ට නවකතා ඒ අතර සුවිශේෂ වැදගත්කමකින් යුක්ත වෙනවා. බාල මහලු පාඨක ප්‍රජාව අතර ඇය නොහඳුනන අයෙක් නොමැති තරම්. ගැමි පරිසරය ගැන ලියවුණු  නවකතාවක් කියූ සැනින් අපට මතක් වන නවකතාකාරිය ඇයයි. විශේෂයෙන් රජරට ගැමි සුන්දරත්වය, දූවිලි සුවඳ ඇයගේ නවකතා කියවන පාඨක ප්‍රජාවට මේ දැනුත් වින්දනය කළ හැකි තරමට ඇයගේ ලියවිලි  ප්‍රබලයි. ගැමි පරිසරය සමඟ බද්ධ වූ සාමාන්‍ය මිනිස් ජීවිතය ලියන්න ඇය උපන් හපන් තැනැත්තියක්. අද අප කියන්නේ එවැනි වූ නවකතාවක් සම්බන්ධයෙන් නෙවෙයි. ඇය අතින් ලියැවුණු පුවත්පත් තීරු ලිපි සංග්‍රහයක් ගැන. ඒ 2021 දී ශාන්ති දිසානායක විසින් රචිත කැදැල්ලක නෙත තීරු ලිපි සංග්‍රහය ගැන.

මේ පොත නාමකරණය වෙනස් වගේම අර්ථ මතු කරන්නට සමත් වෙනවා. කැදැල්ල කියන්නේ නිවහන‍, නිවස හා පවුල. නෙත කියන්නේ ඇස. ඇසෙන් අපි ලෝකය දකිනවා. ඒ අනුව කැදැල්ලක නෙත, පවුලක දැක්ම යන අර්ථයෙන් යෙදී තිබෙනවා. ඒ පවුල ශාන්ති දිසානායකගේ ආදරණීය කැදැල්ල. ලිපි ඉදිරිපත් කෙරෙන්නේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් මම නැමැත්තා මූලිකව. ශාන්ති දිසානායක නැමැත්තිය  තීරු ලිපි සංග්‍රහය පුරා ම ප්‍රධාන චරිතය බවට පත්ව තිබෙනවා. ඇයගේ දරුවන් පස්දෙනා සහ ස්වාමියා එම ලිපිවල අතුරු චරිත බවට පත්ව තිබෙනවා. එම ලිපිවල පවුලක අභ්‍යන්තරයේ දිගහැරෙන සංවාද ස්වරූපයක් හඳුනා ගන්න පුළුවන්.

අප දකින තීරු ලිපිවල ආකෘතියෙන් මෙම ලිපි වෙනස් මෙන් ම විශේෂ වෙනවා. කතුවරිය ඇයට අවශ්‍ය අයුරින් පසුබිම සකස් කර ගනිමින් සාර්ථක ලියවිලි ඉදිරිපත් කර තිබෙනවා. ඕනෑම ලේඛනයක දී ලේඛකයාට පූර්ණ නිදහසක් තිබිය යුතුයි ඔහුට හෝ ඇයට අවශ්‍ය දේ ගෙනහැර දක්වන්න, අත්හදා බැලීම් සහ විවිධත්වය ඔස්සේ පාඨක ජනාදරයට පත් වන්නට. ශාන්ති දිසානායකට එකී නිදහස ලැබී තිබෙනවා. ඇයගේ ලේඛන දිවියේ පරිචය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ණ විශ්වාසය ඊට ඉවහල් වන්නට ඇති.

ඇයගේ අනෙකුත් කෘති මෙන් ම ගැමි සුවඳ වහනය වන පොතක් විදිහට කැදැල්ලක නෙත හඳුනා ගන්න පුළුවන්. රජරට ගැමි සුන්දරත්වය සමඟ මුසු කරමින් සමාජ යථාර්ථය කියන්නට උත්සහ කර තිබෙනවා. සියුම් සමාජ යථාර්ථයන් ඉදිරිපත් කරන්නේ සංවාද ස්වරූපයෙන්. එම ලිපි කතාවක් කියනවා වැනි හැඟීමක් සහ සතුටක් ඇති කරන්නට සමත්.

ඇය නිරන්තරයෙන් ම සමාජයේ සියුම් තැන් ස්පර්ශ කිරීමට උත්සාහ දරා තිබෙනවා. රිය අනතුරු, තාක්ෂණය, සත්ව සම්පත, පරිසරය සහ ජනවාර්ගික ගැටලු ඇතුළු කාලීන තේමා මෙන් ම සමාජ සත්කාර, කලාකාරයන් සහ භික්ෂු දිවිය වැනි පැතිකඩ අනාවරණය කර තිබෙනවා. එම අනාවරණය තුළින් සමාජය සහ මිනිසා කෙරෙහි එකිනෙකා අතර වෛරී සිතිවිලි ඇති නොකරන්නට ඇය ප්‍රවේශම් සහගත වෙලා තිබෙනවා. ඇය ගහ, කොළ, සතා, සිව්පාවුන්ට ද ආදරය කරන්නට කියා දෙනවා.

“මරන්න එපා…. මරන්න එපා….” මා බෙරිහන් දුන්නේ එහෙයිනි.
“ගෝනුස්සා විසයි නෙ අම්මේ…”
“විස කියන්නේ ඒ ගොල්ලන්ගෙ ආරක්ෂාවට ලැබිච්ච දෙයක්. විසයි කියලා සත්තු මරන්න බෑ එහෙම. ඒක හරි වැරදි නේ” (61 පිටුව)

මෙහි දී ගෝනුසු විස ගැන කියමින් මිනිසා සම්බන්ධයෙන් කියන සැටි අපූරුය. “ගෝනුස්සාගේ නං වලිගේ විතරලු විස තියෙන්නේ. හැබැයි මිනිසාගේ සියොලඟ ම විස කියලා කවියකුත් තියෙනවා නේද?” (62 පිටුව) ඇය මිනිසාගේ රුදුරු බව සෘජුව කියන්නෙ නැහැ. නමුත් අඟවනවා. ඉන් කිසිවෙකුටත් හානියක් හෝ සිත් රිදීම් ඇති වන්නේ නැහැ. අමු අමුවේ ඇති සමාජ යථාර්ථය පත අට එකට හිඳ කියන්නට රුචි බව දැක ගන්න පුළුවන්.

වසංගත, දිළිඳුබව ඇතුළු කාලීන නොයෙක් තේමා සහකම්පනයෙන් යුතුව සමාජය ඉදිරියේ ගෙනහැර පෑමට ඇය සමත්ව තිබෙනවා. බිලි පූජා නම් තීරු ලිපිය වත්මනෙහි වඩාත් පැතිර යන මිථ්‍යා දෘෂ්ටීන්, අවිද්‍යා මත පිළිබඳව සිදු කරන අනාවරණයක්. දියණික යකැදුරියකගේ වේවැල් පහර කා මිය යාමේ පුවතක් ඊට වස්තු බීජ සපයා තිබෙනවා. හද සසල කරන එම සංවේදී පුවත සංවේදීව විවරණය කරන ඇය ඊට වගකිව යුතු සියලු මැදිහත්කරුවන් විමසනවා. දරුවන් සිටින මවක ලෙස මෙන් ම සමාජයේ පිළිගත්, වගකිවයුත්තෙකු ලෙස කටයුතු කරනවා.

අධ්‍යාපන ඇමතිතුමනි, සියලු රෝහල්වල වෛද්‍යවරුන්, හෙදියන් ඉවත් කර මේ ඊනියා මන්තරකරුවන්ට භාර දුන මැනව…(100 පිටුව)

කතුවරියගේ අව්‍යාජභාවය සහ නිහතමානිභාවය කෘතිය පුරාම හඳුනා ගන්නට පුළුවන්. ඇත්ත ඇති සැටියෙන් සියුම්ව මෙන් ම නිර්මාණශීලීව ගෙනහැර පාන්නට ඇය තරම් සමත් අයෙක් නොමැති දැයි සිතෙනවා. ඇය කියන සියලු කරුණු හැමෝම දන්න ඇත්ත යුත්ත. එහෙත් එම සත්‍ය පවසන ආකාරය වෙනස් වීම නිසයි මේ පොත වැදගත් වෙන්නේ වගේ ම පාඨක ආවධානයට ලක් විය යුත්තේ.

ඕනෑම පරිත්‍යාගයක් සැබෑ හා සුවඳවත් පරිත්‍යාගයක් වන්නේ පෙරළා කිසිවක් අපේක්ෂා නොකරන්නේ නම් නොවේදැයි සිතන්නට අපි වගබලා ගරන්නේ නම් නොවේදැයි සිතන්නට අපට න්නේ නම් කොපමණ අපූරුද?… (83 පිටුව)

ඇය මෙසේ සඳහන් කරන්නේ පරිත්‍යාගය නම් ලිපියේ දී. පරිත්‍යාගය නැතහොත් දීම ගැන ඇය කිසිදු යෝජනා හෝ චෝදනා  නොකරමින් සිතන්නට පොළඹනවා. උත්තමාචාරය තවත් වැදගත් තීරු ලිපියක්. එහි අවසානයේ දී පොතපත කියවීම සම්බන්ධයෙන් මෙවැනි අදහසක් දක්වනවා.

ඔවුන් හඬනගා හිනාහෙන කල මට මා පෙළන්නා වූ ශාරීරික වේදනා සියල්ල අතුරුදහන් වූ සෙයක් හැ‍ඟෙයි. අපේ මේ කොල්ලන් වගේ ම රටේ ම කොලු කෙල්ලන් අකුරට පෙම් බඳින්නේ නම්, මේ රට කොතරම් සුන්දර වනු ඇත් ද? (25 පිටුව)

සූක්ෂමශීලිව, වක්‍රව හෙවත් ව්‍යංගයෙන් ඇය සමස්ත සමාජය ම ස්පර්ශ කරන්නට සමත් වෙනවා. ඇයගේ රචනාවලට පාඨක හදවත්වලට අමතන්නට පුළුවන්. එය සුහදශීලී සහ හෘදයාංගම බව කිව යුතුමයි. ඇය ලිවීමේ කලාව තුළ දීර්ඝ කාලීනව නියැළීමෙන් ලද ශික්‍ෂණය කෘතිය පුරාම වහනය වන්නට සලස්වා තිබෙනවා. ඒ නිසයි ඇයගේ ලියවිල්ල මේ තරම් බුහුටිභාවයට පත්ව තිබෙන්නේ.  එය කිසිවකුටත් දෝෂාරෝපණය කරන්නේ නැහැ. විවේචන එල්ල කරන්නේ නැහැ. වරද පටවන්නේ නැත. ප්‍රශ්න කරන්නේ  නැහැ. හේතු කියන්නේ ද නැහැ. එය ඉතා විචක්ෂණශීලිව හාත්පස විවරණය කරනවා. එම විවරණය සබුද්ධික පාඨක පිරිසගේ අවධානය දිනා ගන්නවා. ඇය තම මතය ඉදිරිපත් කරමින්, පාඨකයාව නැවත සමාජය දෙස බලන්නට පුරුදු පුහුණු කරනවා. පොළඹවනවා.

තීරු ලිපි සංග්‍රහයක් නමුත් ඇගේ ලිවීමේ ශෛලිය අතිශයින් ම සිත් ගන්නා සුළුයි. ළගන්නා ස්වභාවයක් පෙන්වනවා. ඇය ඉදිරිපත් කරන්නේ සමාජ තොරතුරු, සමාජ ප්‍රශ්න ආදිය නමුත් ඒවා කාලීන තොරතුරු සමඟ බද්ධ කරමින් යාවත්කාලීන අන්දමට ඉදිරිපත් කරන්නට උත්සහ දරා තිබෙනවා. හරවත් නමුත් රසයෙන් අඩු ලියවිලි අතර ඇගේ ලියවිලි රසවත් බව මෙන් ම හරවත්භාවයත් ආරක්ෂා කර ගන්නට සමත් වෙලා තිබෙනවා. කියවන පාඨක ප්‍රජාවට කිසිවිටකත් එපා වීමක් වෙන්නේ නැහැ. තීරු ලිපි සංග්‍රහය ආරම්භයේ පටන් අවසානය දක්වා ම කුතුහලය මෙන් ම රසවත්භාවය නො අඩුව රඳවා තබා ගන්නට ඇයට පුළුවන් වෙලා තිබෙනවා.  පිටු සීයකට අධික ප්‍රමාණයක් පුරා ගලා යන තීරු ලිපි සංග්‍රහය එක හුස්මට කියවා නිම කිරීමට පුළුවන්.

එමෙන් ම ඇය සඳහන් කරන කිසිදු යමක් පාඨකයාට ආගන්තුක වන්නේ නැහැ. අලුත් තේමා වන්නේ ද නැහැ. ඒ සියලු කරුණු සමාජයේ එදා තිබුණ, අදත් පවතින, අනාගතයේ දී ද තිබිය හැකි ප්‍රශ්න හෝ සමාජ කාරණා වෙන්න පුළුවන්. එම ප්‍රශ්න මිනිස්සුන්ට නිරන්තරයෙන් ම මතක් කර දීම අවශ්‍ය වෙනවා. ඒ නිර්දය ලෙස හෙළා දැකීමක් අරමුණු කර ගනිමින් නොවේ. සමාජීය කාරණා සම්බන්ධයෙන් මිනිසාගේ දැනුම්වත්භාවය ඇති කරනු වස් එය සිදු කළ යුත්තේ සදයභාවය සමඟින්. එකී සදය ගුණය ඇයගේ ලියවිල්ල පුරා ම අපට දැක ගන්නට හැකියාව පවතිනවා.

ඇය සැබැවින් ම දක්ෂ කතාකාරියක්. ඒ ඔස්සේ ඇයට ආවේණික ශෛලියක් ගොඩනඟා ගන්නට පුළුවන් වෙලා තිබෙනවා.  එකී ශෛලිය සියලු තීරු ලිපි ලිවීමේ දී ද ආදේශ කර ගන්නට ඇය සමත් වෙලා තිබෙනවා. සංකීර්ණ බවින් තොර සරල බව, අව්‍යාජත්වය, නිහතමානීත්වය, නිර්මාණශීලිත්වය ලියවිල්ල පුරාම අපට දැක ගන්න පුළුවන්.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment