“වෙනස හැඳින ගැනීම කාර්ය පහසු කළා” – ශාන්ති දිසානායක.

අද අපේ කතා බහට එකතු වන්නේ රටක් ආදරය කරන සම්මානීය ලේඛිකා ශාන්ති දිසානායක. ඇය විශිෂ්ට නවකතාකාරියක්. ඇය රචනා කළ නවකතා නොදන්නා අයෙකු නොමැති තරම්. එමෙන්ම ඇය සහ ඇයගේ පෞද්ගලික තතු බොහෝ දෙනෙක් දැනුම්වත්. අද අපේ සාකච්ඡාව ඇය ගැන හෝ ඇයගේ නවකතා පිළිබඳව නොවේ. ඇය රචනා කළ කැදැල්ලක නෙත තීරු ලිපි සංග්‍රහය පිළිබඳයි.

Q: කතාබහ ආරම්භයේදී ප්‍රවේශයක් ලෙස මං කැමතියි පුවත්පත්  රචනය සහ නවකතා රචනය අතර ඔබ දකින වෙනස මොන වගේද කියලා දැනගන්න?

A: නවකතා රචනයේදි ලේඛකයාට ලොකු නිදහසක් තියෙනවා. අසීමිත අවකාශයක් තිබෙනවා. චරිත, කාලය සීමාවක් නෑ. නමුත් පුවත්පතකට ලියද්දි ඒ පුවත්පතේ සමස්ත අන්තර්ගතය පිළිබඳව යම් අවබෝධයක් තියෙන්න ඕනෑ. ඒ වගේම ඉඩ කඩ සීමා සහිතයි. සීමිත ඉඩක, විවිධ වයස් මට්ටම්වල, විවිධ තරාතිරම්වල පාඨකයන් උදෙසා ලියන බව සිහි තබා ගත යුතු වෙනවා. පුවත්පතකට ප්‍රසිද්ධියේ විදහා දක්වන අරමුණු හැර සැගවුණු න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ බව හෙළි කර ගන්නට හෝ එයට අනුගත වන්නට විශේෂ උත්සාහයක් දැරිය යුතු නැතත් අතුරේ ගමන් කරනවා වගේ, ඉතා පරිස්සමෙන් කටයුතු කරන්නටත් රචකයාට සිද්ධ වෙනවා.. පුවත්පතේ කර්තෘ මණ්ඩලයට එක් නොවි නිදහස් ලේඛකයකු ලෙස බාහිරව හිඳ ලියන්නට මම වඩාත් කැමති ඒ හේතු කාරණාත් එක්කයි. පුවත්පත් කලාව සතු ශක්‍යතා වගේම දුබලතාත් හැඳිනගත යුතු වෙනවා. පත්තරයක් බත් ඔතන්නත් පාවිච්චි කරන බව මතක තියා ගැනීම අවශ්‍යයි.

Q: ඔබ කොහොමද ඒ වෙනස වැළඳ ගත්තේ, එය අභියෝගයක් වුණාද, එසේ නම්, මොනවද ඒ අභියෝග?

A: වෙනස හැඳින ගැනීම කාර්ය පහසු කළා. නමුත් ඇතැම් පුවත්පතකදී අභියෝග එල්ල වුණා. සාමාන්‍යයෙන් මම නිදහස් අදහස් දරන ගතානුගතිකත්වය ප්‍රශ්න කරන, පසුගාමිත්වයට පහර දෙන ලියන්නියක් නිසා බලපෑම් ආවා. එක එල්ලේ මගේ ලිවීමට වාරණ තහංචි නොදැමුවත් සංස්කාරකවරයාට ගැටලු ඇති වුණා. මගේ කොලම සති පතා පළ වෙනවා වෙනුවට ඉඳහිට පළ වෙන්න පටන් ගත්තා. එහිදී මගේ කොලම කියවන පාඨකයන් නඟන ප්‍රශ්න මට ළතැවුලක් වුණා. සංස්කාරකවරයා මගේ කොලම නිසා පීඩාවට පත් වෙන බවත් රැකියාව පවා අනතුරේ බව වැටහුණු වහාම මම ඒ පුවත්පතට ලියන එක නැවැත්තුවා. එයින් අසාධාරණයක් සිද්ධ වුණේ මගේ කොලම ආශාවෙන් කියවු පාඨකයන්ට. තවත් පුවත්පතකදී  අලුතින් පැමිණි කර්තෘ මගේ නවකතාව නවතා දමා, මට කතා කරන්න කියා පණිවුඩයක් තබා තිබුණා. ඇත්තටම ඔහුට මා සමඟ කතා කරන්න තිබුණේ කතාව නවතා දමන්නට පෙර. කතාව නවතා සිදු කරන සාකච්ඡාවේ අරුත කුමක්ද? ඒ නිසා මම ඔහු සමඟ කතා කරන්නට උත්සාහ දැරුවේ නැහැ. පුවත්පතට නව මුහුණුවරක් දෙන්නට අලුත් කර්තෘට අවශ්‍ය නම් මා සමඟ සාකච්ඡා කර මගේ කතාව ඉක්මනින් හමාර කරන්න කියා කියන්න තිබුණා…එයිනුත් සිදු වුණේ මා ලියු නවකතාව කියවමින් සිටි පාඨකයන්ට අසාධාරණයක්. වරක් මගේ නවකතාවක් විශාල පාඨක ප්‍රසාදයට ලක් වූ නිසා අවසාන කිරීම පමා කරන මෙන් ඉල්ලා සිටියා පුවත්පතින්. එවැනි ඉල්ලිම් අසාධාරණ බව මා හිතන්නේ නැහැ. මොකද පුවත්පතකට නවකතාවක් ලිවීමේදිත් සාමාන්‍යයෙන් නවකතාවක් ලිවිමේත් ලොකු වෙනසක් තියෙන නිසා. පාඨකයන් හා පුවත්පතේ ඉඩකඩ ගැන අවධානය යොමු කළ යුතු බැවින් පුවත්පතකට මහා ගැඹුරු නවකතාවක් ලියන්න අපහසුයි.

Q: මම කැමතියි දැනගන්න, ඒ දෙකෙන් ඔබ වඩාත් ප්‍රිය කරන ක්ෂේත්‍රය සහ ඊට හේතුව කුමක්ද යන වග?

A: පුවත්පතකට ලිවීමත් නවකතා ආදිය ලිවීමත් අතරේ වෙනස්කම් වගේම ඒ මාධ්‍යයන් දෙකටම අනන්‍ය ගති සොබා එක්ක ඒ දෙකම ආශ්වාදජනකයි. පුවත්පත් කියවන පිරිස අතරින් සමහරු නවකතා කියවන්නේ නැහැ. ඒ නිසා ඒ පිරිස වෙත මට මගේ නිර්මාණ රැගෙන යමින් ඔවුන්ට සමීප වෙන්න පුලුවන්. ඒ වගේම කාලීන උණුසුම් සංසිද්ධීන් පාදක කරගන්න පුලුවන් පුවත්පත් ලිවීමේදි. ප්‍රතිචාර වුණත් නොපමාව ලැබෙනවා. ඒ දෙවිධියම ලියන්නියක් විදියට මා පුබුදුවාලන නිසා මට එකක් අනෙකට වඩා හොඳ බවක් එක එල්ලේ කියන්න අපහසුයි.

Q: ඔබගේ පුවත්පත් රචනා සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් ද, වෙනස් විය යුතු  තැන් තිබෙනවාද, ඒ ගැන අදහසක් දැක්වුවහොත්?

A: පුවත්පත් හෝ එසේ නොවන හෝ ඕනෑම ලිවීමක් සම්බන්ධයෙන් තෘප්තිමත් වෙන්න බැහැ. අතෘප්තියම තමා නිර්මාණයක් බිහි කරන්නේ. නිරන්තරයෙන් හැඟෙන්නේ මීට වඩා හොඳට ලියන්න තිබුණා නේද කියලා. පුවත්පතට කොලම හෝ නවකතාව යැවූ පසුත් මම සමහර වෙලාවට පිටුවේ සංස්කාරකවරයා හෝ කර්තෘ අමතා වෙනස් කරනවා. අලුතින් වැකි එකතු කරනවා. මගේ ලිවීම සම්බන්ධයෙන් මගේ පාඨකයාට තමා අවංකවම ප්‍රතිචාර දැක්විය හැකි වන්නේ.

Q: තීරු ලිපි සහ පුවත්පත ගැන එහි කාර්යභාරය ගැන ඔබේ අදහස මොනවගේද?

A: තීරු ලිපිය පුවත්පත වඩාත් අර්ථවත් කරනවා වගේම එය ඊටම සුවිශේෂී අංග ලක්ෂණයන්ගෙන් අලංකෘතයි. එයින් කළ හැකි කාර්යභාරයේ සීමාවක් නැහැ කියලයි මට හැඟෙන්නේ. එය එක එල්ලේ ළය විනිවිද යන හීසර පහරක් වගේ. පුවත්පත, පුවත්පත හිමිකරුගේ ප්‍රාග්ධනය යෙදවු කෙනාගේ හෝ පිරිසගේ හෝ අභිලාස අනුව හසුරුවන බව ඇත්ත. ඒත් පුවත්පතක් කියන්නේ ආකර්ෂණීය විද්‍යුත් මාධ්‍ය අතර පොදු ජනතාවට සමීප නොනැසෙන මාධ්‍යයක්. රූපවාහිනිය එද්දි සිනමාව ඉවරයි කිව්වා. නමුත් එක් මාධ්‍යයක් නිසා තවත් මාධ්‍යයක් මුළුමනින්ම අහෝසි වන්නේ නැහැ. බලපෑමක් නැතුවා නොවේ. නමුත් පාඨකයා දිනාගන්නටත් රැක ගන්නටත් නිර්මාණශීලි අන්දමින් තාක්ෂණය සමඟ වෙර දැරිය යුතුයි, කවර මාධ්‍යයක් වුණත්. පරිකල්පනය හා සත්‍යය මුසු මෙවලමක් ලෙස පුවත්පත අනාගත ලෝකයේත් රැදී තිබෙන බව මට විශ්වාසයි.

Q: ලාංකේය පුවත්පත් තීරු ලිපිය සහ එහි සමාජීය මෙහෙවර ගැන ඔබේ අදහස ගැන කිව්වොත්?

A: අපේ තීරු ලිපි පුරාණයේ දීප්තිමත් තාරකාවන්හී මතකයත් ආශ්වාදජනකයි. චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ වගතුග. ‘ඇත්තේ සිරා’, බී. ඒ. සිරිවර්ධනයන්ගේ තීරු ලිපිය වගේම චින්තන ජයසේනයන් අපට අමතක කරන්නට බැහැ. දයාසේන ගුණසිංහයන්ගේ ‘උකුස්සා’ තීරු ලිපිය වගේම සුන්දර නිහතමානී ද මැල් තවමත් සම්පාදනය කරන ‘මානිගේ තීරුව’ ජන ප්‍රසාදය දිනා ගත්තා වගේම දේශපාලනමය හා සමාජීය වශයෙන් විශාල මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළා.  පටු පරමාර්ථයන්ගෙන් තොරව කාලීන සිදුවීම් වගේම ආසියාතික රටක ජනතා නියෝජිතයන්ගේ කල් ක්‍රියාව හාස්‍යජනක අන්දමින් ප්‍රශ්න කරන්නට අපේ තීරු ලිපි රචකයා දක්වන කුසලතාවය විශිෂ්ටයි. කාටුන් ශිල්පියා වගේම තීරු ලිපි රචකයාත් පටු ඉඩක සීමිත වචන සමඟ  දැවැන්ත කාර්යභාරයක් කරන බවයි මම දකින්නේ.

Q: පොතක නම කියන්නේ ඉතා වැදගත් දෙයක්. කැදැල්ලක නෙත කෘතියේ නාමකරණය ගැන ඔබේ අදහස, එය හිතාමතා කළ දෙයක්ද, එහි පසුබිම මොනවගේද?

A: ඇත්තටම පොතක චිත්‍රපටයක ටෙලි නාට්‍යයක විතරක් නෙවෙයි දරුවෙකුට පවා තබන නම ඉතා වැදගත්. දිනමිණ පත්තරයේ නිවන්ති තිලකරත්න ‘බද්දර මල්ල’ තීරු ලිපි අතිරේකයට මගෙන් තීරු ලිපියක් ඉල්ලා සිටි විට කුහුලක් උපන්නා. මොකද සාමාන්‍යයෙන් තීරු ලිපියක් කියන විශේෂාංගය පත්තරයකට එකතු වන්නේ පත්තරයක හිස්තැන පුරවන උපායක් විදියට‍. ෙහිස් ්තරයකට එකතු වන්නේ ඉතිං තීරු ලිපිවලින්ම සමන්විත අතිරේකයක් තීරු ලිපියේ මුලාරම්භයට එහි උපතට එහි අනන්‍යතාවයට කොහොම බලපෑමක් කරයිද කියන විචිකිච්ඡාව එක්ක වුණත් මම ‘බද්දර මල්ලේ’ තීරු ලිපි රචකයන් අතරට එකතු වුණා. මම ලේඛිකාවක් විතරක් නෙවෙයි මවක් බිරිදක් විදියට කුටුම්බය තුළ ගත කරන ජිවිතය පාදක කර ගනිමින් නිර්මාණයක් නොකරන්නේ ඇයි කියා ප්‍රශ්න කළා වරක් අනුරාධ කපුකොටුව, රන්ගිරි ශ්‍රී ලංකා එෆ් එම් ගුවන් විදුලියේ නිවේදක සොයුරා විසින්. ඉතිං දිනමිණ නිවන්ති කළ ඇරයුම එක්ක මට මතක් වුනේ අනුරාධ කපුකොටුව නිවේදක සොයුරාගේ ඒ චමත්කාරජනක  ප්‍රශ්නය. මම කැදැල්ල නමින් තමා මගේ තීරු ලිපිය නම් කළේ. නමුත් ‘බද්දර මල්ල’ සංස්කාරකවරිය නිවන්ති යෝජනා කළා කැදැල්ලක නෙත. එය වඩා අර්ථවත් හා නිර්මාණශීලි නිසා මාත් එකඟ වුණා.

Q: මෙම කෘතියේදි ඔබ වඩාත් සැලකිලිමත් වු කරුණු මොනවාද කියන එක මම දැනගන්න කැමතියි?

A: තීරු ලිපි සමුච්චයක එකතුවක් තමා ‘කැදැල්ලක නෙත’. එදිනෙදා ජීවිතය පමණක් නොවේ සමාජමය සංසිද්ධීන් මුසු කරමින් හා දරුවන් සමඟ කටයුතු කරන ගෘහනියකගේ අත්දැකීම් පාදක කර ගනිමින් නිර්මිත කෘතියක්. මම සැලකිලිමත් වුණා දරුවන් අනාගතයට යා යුත්තේ අතීතයේ හර පද්ධති අත නොහැර වුණත් ගතානුගතික හා පසුගාමිත්වය ඉවත හෙලීමෙන් අනතුරුව බව ඒත්තු ගන්වන්නට. ආදරය, දයාව සහ කරුණාව වගේ මිනිස් ගුණ ධර්ම හුදෙක් මිනිසා වෙතින් ඔබ්බට සියලු සත්වගට දැක්විය යුතු බව. මොකද මේ ලෝකය මිනිසාගේ පමණක් නොවේ. අපා දෙපා සිව්පා සකළ සත්වග අතරේ එක් සත්ත්වයෙක් පමණයි මිනිසා. නමුත් අධිපති බවින් සහ පාරිභෝජනත්වයේ සංයමයක් විනයක් නැතිකමින් ලෝකය අනතුරට විපතට හෙලන්නේ මිනිසා විනා අන් කිසි සතෙක් විසින් නොවෙයි. ඒ බව හඟවන්නට එය පිටු දකින්නට අපේ දරුවන්  ප්‍රයත්න දැරිය යුතු, බව අවධාරණය කරන්නට මම කැදැල්ලක නෙත තුළින් වෑයම් කළා.

Q: සමාජිය කරුණු බොහොමයක් ඔබ ලියා ඇති බව පේනවා. තීරු ලිපි තේමා ගැන ඔබේ අදහස කිව්වොත්, තේමා තෝරා ගැනීමේදි වඩාත් සැලකිලිමත් වු කරුණු මොනවාද?

A: ඇත්තටම තේමාව තෝරා ගන්නේ ලියන්නා නොවේ. සමාජය විසින් නිර්මිත සිදුවීම් මතින් තමා තේමාව පැන නඟින්නේ. දියුණු නැති සමාජයක ගැටුම් සුලබයි. අධ්‍යාපනය, සාහිත්‍ය කලාව, කෘෂිකර්මාන්තය, සෞඛ්‍යය, ක්‍රීඩාව මේ හැම ක්ෂේත්‍රයක් තුළම අනේක ඝට්ටන මෙන්ම ඛේදවාචක තිබෙනවා. ඉතිං ලියන්නට තේමා ඕනැ තරම්. වඩාත් සැලකිලිමත් වන්නේ නුතනවාදි වඩා යහපත් සමාජයක් බිහි වන්නට තුඩු දෙන ආකල්ප ගොඩ නැංවීම සම්බන්ධයෙන්.

Q: තීරු ලිපි සංග්‍රහයක් වුවත් ඔබ එහි අත්හදා බැලිම් සිදු කර තිබෙනවා. එය අභියෝගයක්. කොහොමද ඔබ එයට මුහුණ දුන්නේ?

A: ඇත්තටම අපි කවර මාධ්‍යක නිරත වුණත් ඒ තුළ අපේ සලකුණ අපේ මුද්‍රාව තැබිය යුතු බව මම විශ්වාස කරනවා. තීරු ලිපියක හැඩ රුව අපි උකහා ගන්නවා. තීරු ලිපියක ගති සොබාවට අනුගත විය යුතුයි. නමුත් ඒ තුළින් අපට අනන්‍ය වු අපේ ශෛලියක් ගොඩනඟා ගත හැකියි. ඒ වෙනුවෙන් අත්හදා බැලිම් කරන්නට, එය අභියෝගයක් සේ සලකන්නට ලියන්නෙකු වගබලා ගත යුතුයි. හරියට නිවසක් ඉදි කිරීම, ඇඳුමක් ආහාරයක් සකස් කිරීම වැනි කාර්යන්ට සම්මත පටිපාටියක් ඇතත් එහිදී නිර්මාපකයාගේ ස්වාධීනත්වය සහිතව කිසියම් සෞන්දර්යාත්මක බවක් එක් කළ හැකිවා වගෙයි.

Q: තීරු ලිපි රචනයේදි ශෛලිය සහ ආකෘතියේ වැදගත්කම ගැන කිව්වොත්?

A: ඔව් ශෛලිය වගේම ආකෘතිය වැදගත්. හැබැයි නොවැදගත්ද විය හැකියි. රචකයා ඒ මතම රඳා පැවතීම තීරු ලිපියේ සජීවි හා තියුණු බව පළුදු කරනවා කියා මට හිතෙනවා. වැදගත්ම දේ වැඩි වචන ප්‍රමාණයක් නැති නාස්ති නොකර ඊතලය ඉලක්කයට විදීමයි.

Q: තීරු ලිපි රචනයේදි භාෂා භාවිතය පිළිබදව ඔබ දක්වන සැලකිල්ල කවරාකාරද කියනවානම්?

A: භාෂාව භාවිතය ගැන උපරිමයෙන් සැලකිලිමත් වෙනවා. ඒත් එයින් අදහස් කරන්නේ නෑ භාෂාවට යටහත් පහත්ව ශුද්ධ වු වස්තුවක් මෙන් තැති ගැන්මකින් පසුවන බවක්. භාෂාව මැටි පිඩක්. එය නිසි පරිදි හසුරුවාගන්නට එයින් ලියන්නාට ඇවැසි රූපය නිර්මාණය කරගන්නට පරිචයක් තිබිය යුතුයි. භාෂාව බුහුටි ලෙස භාවිත කිරීමෙන් තීරු ලිපි රචකයාගේ සමස්ත කාර්යයෙන් අඩකටත් වඩා අවසන් වනවා.

Q: තීරු ලිපි රචනයේදි ඔබ යොදා ගත් කිසියම් උපක්‍රම තිබෙනවාද?

A: කවියක් ලියද්දි වචන සකසුරුවම්කමින් ලෝබකමින් නිසි රිසි පරිදි භාවිත කරනවා වගේ තමා තීරු ලිපියකදීත් භාෂාව ඔස්සේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන වටපිටාව එක්ක කරන අරගලයේදි උපක්‍රමශිලි වෙන්න සිද්ධ වෙනවා. මම දරුවන්, ගෘහනිය, පරිසරය මේ හැම දෙයක්ම උපක්‍රමශිලිව පාවිච්චි කළා. ඒවා වෙන් වෙන් වශයෙන් දක්වන්න උවමනා නැහැ කියා මා සිතනවා. කාලගුණය සහ සම්ප්‍රදායිකත්වය පවා මා යොදා ගත් උපක්‍රම කියලා කියන්න පුළුවන්.

Q: ලේඛිකාවක් විදියට නවකයන්ට ඔබ කිසියම් අදහසක් දක්වනවානම්?

A: මම අදහස් කරනවා නවකයන් වැඩි වැඩියෙන් කියවනවා නම් සාහිත්‍යයට පමණක් සීමා නොවී වෙනත් කලාංග ඇසුරු කරනවා නම්, සංචාරය සහ පිහිනීම මෙන්ම පරිසරය එක්ක සාමදානයකට එළැඹෙනවා නම් අගෙයි කියා. ඒ වගේම ජීවයට සරිලන සියලු සාධක සපිරි ග්‍රහ ලෝකයක වෙසෙමින් අනේක බේද කර පින්නාගෙන ජීවිතයට අවමන් නොකරනවා නම් හොඳයි කියලා. මොකද නිදහස් නිවහල් මනසක් පරිකල්පනයෙන් පොහොසත් වනවා වගේම මනුෂ්‍යත්වයෙන් යුක්තයි.

Q: අවසාන වශයෙන්, ලේඛිකාවක් විදියට ඔබගේ අනාගත අපේක්ෂා මොනවාද, නවතම වැඩ කටයුතු ගැන කිව්වොත්?

A: ලේඛිකාවක විදියට මම කැමතියි පහසු මිලට පොත් ගත හැකි වැඩි වැඩියෙන් පොත් කියවන සමාජයක් දකින්නෙ. අවාසනාවකට අපිට තවමත් සාහිත්‍ය ජීවිතයට බද්ධ වු කලාව ආත්මය කර ගත් රටක් ගොඩ නගන්න බැරි වෙලා තියෙනවා. කියවීමේ සංස්කෘතියක් අපට  නැති බවයි මට පෙනෙන්නේ. පොතක්, ගීතයක්, වේදිකා නාට්‍යයක්, චිත්‍රපටයක් අපට නැතුවම බැරි වෙලා තියෙනවා ද? පුරවැසියෙක් විදියට මගේ අපේක්ෂාව වඩා යහපත් සාධාරණ හා යුක්ති ගරුක රටක්. ඒ  පුරවැසි අපේක්ෂාව ඵල දැරුවොත් ලේඛිකාවකගේ අපේක්ෂාව සාක්ෂාත් වනවා නිසැකයි.

මේ දිනවල මගේ වේතරණි නවකතාව ඇසුරින් තිර නාටකයක් ලියමින් ඉන්නවා. ළමා කෘතියක් රචනා කළා. එය  කිංකිණි නමින් සමුද්‍ර ප්‍රකාශනයක් ලෙස ළඟදී එළි දකීවි. ළමා සාහිත්‍ය සම්බන්ධයෙන් අවංක උනන්දුවක් දක්වන ළමා කෘති රචිකාවියකද වන සමුද්‍රිකා සිල්වා සමුද්‍ර ප්‍රකාශන අධිපතිනියට ස්තුතිය හා ගෞරවය පිරිනමන්නට කැමතියි.

අවසන් වශයෙන් තීරු ලිපි සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරන්නට ප්‍රමුඛ පෙළේ ප්‍රකාශන ආයතන පවා මැලි වෙද්දී රීඩින් ප්ලැනට් ආයතනය  සහ එහි නදීරා කුරුප්පු  දිසානායක ප්‍රකාශිකාව මගේ තීරු ලිපි එකතුවක් කැදැල්ලක නෙත නමින් පළ කිරීම සම්බන්ධයෙන් විශේෂ හා හද පිරි ස්තුතියත් ආචාරයත් පුද දෙන්න කැමතියි. කැදැල්ල පොත් පෙළ වගේම රාවයේ පළවු ලිපි සමුච්චය රාන්චි අම්මා හා කළු කුම්බරී යනුවෙන් තීරු ලිපි සංග්‍රහ කීපයක්ම සරසවි ප්‍රකාශන ලෙස ඊට පෙර පළ වී තිබුණත් රීඩින් ප්ලැනට් ප්‍රකාශන ආයතනය යම් අවදානමක් දරමින් තීරු ලිපි සංග්‍රහයක් පළ කිරීම, නදීරා දිසානායකගේ දෘඩතර කැපවීමත් අභියෝගයන්ට අභියෝග කිරීමත් සේ මම දකිනවා සහ ප්‍රශංසා කරනවා.

අවසාන වශයෙන් The Asian Review Sinhala අපි ඔබට බොහෝමත්ම ස්තුතිවන්ත වන අතරම ඔබගේ අනාගත බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රාර්ථනා කරනවා. නැවත වරක් ඔබට අපි සුබපැතුම් එක්කරනවා. ඒ වගේම ප්‍රවීණ ගත්කතුවරියක් වන ඔබගේ වටිනා කාලය කැප කරමින් අපට දැක්වූ සහයෝගය අගය කොට සලකනවා.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment