ජෙරුසලෙම් දූවරුන් ගැන ලියන තරංගනී රෙසිකා “තරුරසී” ප්‍රනාන්දු
ජීවිත කුරුසිය ළය දරා
කල්වාරි ගිර තරණය කරනා
සියළුම ගැහැනුන්ට
ප්‍රේමයෙනි…
යේසුස් ක්‍රිස්තුස් යනු විප්ලවවාදියෙකු බව අසන්නට ලැබෙන්නේ අද ඊයේක නොවේ. යම් විටක දැඩි මතධාරී ක්‍රිස්තු භක්තිකයෙක් මේ මතයට විරුද්ධ වනු ඇත. එසේ වුවත්, යේසුස් ක්‍රිස්තුස් චරිතය මෙන්ම ගෞතම බුද්ධ චරිතය වටාද නිර්මිත දිව්‍යමය ආලවට්ටම් ගලවා දමා, එම චරිත මහපොළොවට ගෙනැවිත්, ඔවුන් නියෝජනය කළ, ඔවුන් දේශනා කළ අදහස්, මතවාදයන් පිළිගැනීමට කැමති වූ පරපුරක් සිටින බව දැකීම සැබවින්ම මෙම ග්‍රහලෝකයේ අනාගතය සම්බන්ධයෙන් බලාපොරොත්තු දල්වනු ඇත.
‘ජෙරුසලෙම් දූවරුනි’ නවකතාව ආරම්භ වන්නේම, රාජ්‍ය නොවන සංවිධානයක් හා එක්ව පීඩාවට ලක්ව සිටිනා කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරනා කතා නායිකාවගේ උත්තම පුරුෂ දෘෂ්ටියෙන් වන ආත්ම කථනයෙනි. කථාව ඇරඹෙන්නේම විවිධ ගී සිත්තම්, නාද සිත්තම් සහ චිත්‍රපට ඔස්සේ කථා නායිකාවගේ සංස්කෘතික ජීවිතයේ සහ රසවින්දනයේ හැඩරුවත්, ඇයගේ සහකම්පනීය සිතුවිලි සහ භාවයන් ඔස්සේ ඇගේ මානව භක්තියෙන් පිරි ලතෙත් චරිතයත් මොනවට දක්වමිනි. ආරම්භයේදී කථාව මඳක් කියවන්නා කථාවට ඇද බැඳ තබාගැනීමට අපොහොසත්ව මන්දගාමී විලාසයකින් ගලා යන බව පෙනී යයි. නමුත්, කතාවේ ආරම්භයේ සිටම අපට කතාවේ පෙළ පුරා නින්නාද වෙමින් ඇසෙන එස්.පී.බාලසුබ්‍රමනියම්ගේ මායාත්මක හඬ සහ රහුමාන් සංගීතයත්, දමිළ සිනමා සිත්තම් ද නිසාවෙන්ම කියවන්නා ‘ජෙරුසලෙම් දූවරුනි’ දූවරුන් කියවීම අත්හැර නොයනු ඇතැයි සිතිය හැක.
වැළපෙනා…විඳවනා…උහුලනා…ගැහැනු
‘ජෙරුසලෙම් දූවරුනි’ ඇරඹුමේ සිටම රටේ නන් දෙස වසනා පීඩනයට, කොන් වීමට ලක්ව සිටිනා, නොයෙක් ජීවන ගැහැට මැදින් ඉදිරියට යන නොයෙක් වෙස් ගත් ගැහැනිය කතුවරිය කථාවට ගෙන එන්නේ, මෙම කෘතියේ තේමාව වන්නේ වැළපෙනා…විඳවනා…උහුලනා…ගැහැනුන් වග කියා පාමිනි. සැබවින්ම කථාව නිශ්චිතවම ඇරඹෙන්නේ ද දිවි තොරකරගැනීමෙකින් කථා නායිකාවගේ ලොකු අක්කාගේ ස්වාමි පුරුෂයා අන්තරා වී ඇති එන පණිවුඩයකිනි. එතැන් පටන් කතුවරිය විසින් කියවන්නාට නොයෙකුත් පසුබිම් තුළ ස්ථානගත වූ, නොයෙකුත් ජීවිත කතාවන් ඇති ගැහැනුන් ගණනාවක් මුහුණට මුණගස්වයි. ජීවිතයේ සියලු දුක් උසුලමින්, තමන්ගේත්, තම දරුවන්ගේත්, තම ජීවන සහකරුවන්ගේත්, ඇතැම් විටක මුළු මහත් සමාජයේත් පාපයන් දරමින්, ජීවන කුරුසියන් ළය දරමින් කල්වාරිය තරණය කළ යුත්තේ කාන්තාවන්ම දැයි ඇය කියවන්නාගෙන් අසයි. සැබවින්ම විඳවීම සහ ඉහිලීම සමාජ-ආර්ථික කරුණු කාරණා නිසාවෙන් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මිනිසුන්ට මුහුණ දීමට සිදුවන ඉරණමක් වූවත්, කාන්තාවට කාන්තාව වීම නිසාම එහි වැඩි බරක් නොපැටවෙන්නේදැයි, කාන්තාවට කාන්තාවක්ව ඉපදීමමට වීම නිසාම වැඩි පාප දෝෂයකට මුහුණ දීමට සිදුව තිබීම කෙතරම් සාධාරණදැයි ඇය අපෙන් අසයි.
ලාංකේය සැබෑ ක්‍රිස්තියානුවා
ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ආරම්භ වන්නේ යටත් විජිත සමයෙන් බව පොදු විශ්වාසය වුවත්, යටත් විජිත යුගය ආරම්භයට පෙර සිටම නෙස්ටෝරියානු සහ ශාන්ත තෝමසු කිතුනුවන් මෙරට සිටි බව ඉතිහාසය පවසයි. කෙසේ වුවත්, මෙරට කිතුදහම වඩාත් ක්‍රමිකව ස්ථාපනය වූයේ, සිලෝනයට පැමිණි යුරෝපීය ආක්‍රමණිකයින් සමඟ පැමිණි පෘතුගීසි ධර්මදූතයන්ගෙන් බව නොරහසකි. මෙසේ යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත යුගයන් හිදී සිලෝනයේ පැතිර යන්නට වූ කිතුදහම, විශේෂයෙන්ම බටහිර සහ වයඹ වෙරළබඩ පෙදෙස් වෙතට සාන්ද්‍රණය වීමත් සමඟ, ශ්‍රී ලංකාවේ කිතුනුවා සම්බන්ධයෙන් සිත් තුළ මුල් බැසගත් ඒකාකෘතීන්, එම වෙරළබඩ පෙදෙස් නියෝජනය කරන්නා වූ ජනතාවගේ ආකල්ප, ජීවන රටා සහ සිරිත් විරිත් වල ප්‍රතිබිම්බයක් වීම වැළැක්විය හැකි නොවේ.
කෙසේ නමුත්, සත්‍යය වන්නේ, ශ්‍රී ලංකාවේ සිටින සමස්ත සිංහල කිතුණුවන් හෝ දමිළ කිතුණුවන් එම ඒකාකෘතික රූපයට ලඝු කළ හැකි නොවේ. නිදසුනක් ලෙසට, ඇතැම් විට වෙරළබඩ තීරයෙන් ඔබ්බට රට තුළට වෙන්නට සිටින කතෝලිකයා, බොහෝ විට ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පරිසරය හා සිය කිතුණු සංස්කෘතික උරුමය මනාව අනුවර්තනය කොට ගෙන සිටී. මෙසේ සැබෑ ශ්‍රී ලාංකික කිතුණුවා ලෙසින් පෙරකී ආකාරයේ ඒකාකෘතික රූපයක් නිර්මාණය කොට ගෙන තිබීමේ එක් ගැටළුවක් වන්නේ, එමඟින් ශ්‍රී ලාංකික කිතුණු ආගමික-සංස්කෘතියේ දාර්ශනික පාර්ශවය යටපත් වී යෑමයි. ‘ජෙරුසලෙම් දූවරුනි’ කෘතිය ශ්‍රී ලංකාවේ වයඹදිග කොටසේ ජීවත් වන ග්‍රාමීය සිංහල කිතුණු ප්‍රජාවගේ හැඩතල විසිතුරුව මවා දක්වන්නේ, එම කී දාර්ශනික පසුතලය ද ඉස්මතු කොට දක්වමිනි.
යහපත් සමාරිතානුවරිය
සමාරිතානුවන් ජීවත් වූයේ ආදි යුදා දේශයේ උතුරු දිගට ආසන්නවය. නමුත්, යහපත් සමාරිතානුවන් මුළු මහත් ලෝක ජනගහණය හා සමඟින් සසඳන විට අති සුළුතරයක් වුවත්, නන් දෙස වෙසෙති. යේසුස් විසින් යහපත් සමාරිතානුවාගේ උපමාව ගෙන හැර දැක්වූයේ යෙරුසලමේ සිට යෙරිකෝවට යන අතරමග කොල්ලකරුවන්ට හසුවී අසරණව හුන් යුදෙව්වෙකුට දයාර්දව සැලකූ සමාරිතානුවෙකු පෙන්වා දෙමිනි. එය සැබෑ කථාවක් වූවත්, නොවූවත්, තමන්ගේ ජාතියට හෝ අයත් නොවූ අනෙකෙකුට වුවත් දයාගුණය දක්වමින්, තමන්ගේම අසල්වැසියා ලෙසින් සලකමින්, තමන්ගේ සුවපහසු සීමාවෙන් එපිටට ගොස් සහකම්පනයෙන් යුතුව යහපත සලසන අයෙකු යහපත් සමාරිතානුවෙකු බව යේසුස් කියා සිටි සේක.
‘ජෙරුසලෙම් දූවරුනි’ කෘතියේ එන ලොකක්කාත්, කිසිදු වෙනස් කොට සැලකීමකින් තොරව, කිසිදු කොන් කිරීමකින් තොරව තමන් වෙත එන සිය පවුලේ සහෝදරියක්ට වුවත්, ලේ නෑකමකින් තොර ගැහැණියකට වුවත් සම සිතින් සැලකුම් කරයි. ඇය බාල කාලයේ සිටම හදවතින් ගලා ආ මනුස්සකමින් සහ ස්වර්ණමය සිනා කිරණින් සජ්ජින්න වූයේ යැයි කතුවරිය ලොකක්කාව අපට හඳුන්වා දෙමින් පවසයි.
‘ජෙරුසලෙම් දූවරුනි’ තුළ විඳින විඳවන කෙතරම් ගැහැණු චරිත අපට සම්මුඛ වුවත්, සැබවින්ම ජීවිතය තමන්ගේ මුහුණට දමා ගසන ලෙමන් එක් කොටගෙන ග්‍රීෂ්මයේ සරතැස නිවන ලෙමන් දෙහි පානයක් සාදා ගමටම සංග්‍රහ කිරීමේ වීර්යය, දයාව සහ දිදුලීම ඇත්තේ ලොකක්කාටම පමණක් බව අපට හැඟී යයි. ‘ජෙරුසලෙම් දූවරුනි’ කියවන අපගේ සිත්, එක් ආකාරයකට ‘සොර්බාමය’ ජීවන දෘෂ්ටියකින් සහ ‘අවලෝකිතේෂ්වර’ මානව දයාවකින් පිරිපුන් ලොකක්කා ‘උත්තරා’ කෙරෙහි ඇතිවූ පහන්මය ප්‍රේමයකින් පිරී යයි.
වැළපෙන, විඳවන, උහුලන ගැහැනුන්ගේ කුරුස කර ගසා ගත් කල්වාරි ප්‍රයාණය මෙතැනින් නිම කිරීමට ගැහැනුන් අතද වගකීමක් ඇති නියාව බුලත් පුවක් ආරාමයේ ලොකක්කාගේ චරිතයෙන් කතුවරිය ඉඟි කරන සැටියකි.
පාරාදීසයක නොනිවෙන ෆැන්ටසියක්
සෑම ආගමකටම නැතිනම් සෑම දර්ශනයකමට අයත් වන ඕනෑම අයෙකු තුළ දැන හෝ නොදැන පාරාදීසයක් සම්බන්ධයෙන් නොනිවෙන ෆැන්ටසියක් තිබේ. මෙම පාරාදීසය ඒදනයක්, දෙවිපියන්ගේ දිව්‍යමය රාජධානියක්, එලීසියානු බිමක්, යුතෝපියාවක්, රාම රාජ්‍යයක්, ඉකාරියාවක්, ඩයොනීසියාවක් නැතිනම් තමන්ගේම චිත්ත නිර්මිත දිව්‍ය බිමක් විය හැක. එය කෙසේ වුවත්, සෑම අයෙකුම කන්ද මුදුනට මහා ගල් කුළක් තල්ලු කරගෙන යන්නේ කඳු මුදුනෙන් එහා තිබෙනා බවට විශ්වාස කරනා පාරාදීසයක් බලාපොරොත්තුවෙන් නොවේද?
එම පසුතලය තුළ කතුවරිය දැන හෝ නොදැන ආදර දිය කඳුර නිසලව ගලා බසින බුලත් පුවක් ආරාමයක වේශයෙන්, මෙම කුඩා කිතුණු ගම්කඩ තුළ පාරාදීසයක් මවයි. මේ පාරාදීසයේ අභිරක්ෂක පාලිකාව වන්නේ ලොකක්කායි. ඇය මව් දෙවඟනක් මෙන්, බුලත් පුවක් ආරාමයේ සරණ සොයා එන ගැහැණියකට මෙම ගැහැණුන්ට වෙන්වූ පාරාදීසයෙන් දිය දෝතක් බොන්නට ඉඩ සදා දී නිරාමිස ප්‍රීතියක් අත්විඳී.
කෙසේ නමුත්, අපගේ කතා නායිකාවට බුලත් පුවක් ආරාමයෙන් සැනහීමට බැරි සැටියකි. එනිසාවෙන් ඇය සිය සිහින භුවන තුළ ඇගේම පාරාදීසයක් ගොඩනංවයි. දිව්‍යමය ප්‍රහසනය තුළ දාන්තේව ඉන්ෆර්නෝවෙන් හා පර්ගොතොරියෙන් එතෙර කරන්නට මං උපදෙස් සැපයූ මහා කවි වර්ජිල් නැතිනම් බියට්‍රීසයන් මෙන්, කතා නායිකාවගේ සිහින පාරාදීසයේ ඇයට සන්දර්භය සපයන්නේ මීරියම් විසිනි. කුඩා කළ සිටම කතා නායිකාවගේ නැතිනම් කතුවරියගේ පවා සිහින ලෝකය තුළ දිව්‍යමය භාවය නිරූපණය කළ ප්‍රපංචය යැයි පෙනී යන මේ මීරියම් යනු, දෙව් මවයි, යේසුස් මාතෘ මරියාවයි.
ඇය හා මෙම පාරාදීසයේ මං ඔස්සේ ඇවිද යන අපට ජෙරුසලෙම් දූවරුන්ගේ සිට කතා නායිකාවගේ පවුලේ සියළු ගැහැනුන් දක්වා, හයිපේෂියාගේ සිට මායා ඇන්ජෙලෝ දක්වා, බයිබලීය ගැහැනු චරිත වල සිට බුද්ධ කාලීන ගැහැණු චරිත දක්වා සහසකුත් එකක් ගැහැනුන් හමුවෙයි. සැබවින්ම මෙය ගැහැනුන්ට වෙන්වූ පාරාදීසයකි. ලෝකාරම්භයේ සිට අද දිනය දක්වා වන වැළපෙන, විඳවන, උහුලන ගැහැනුන්ට අයත් වූ ක්ෂේම භූමියකි. එය ඇතැම් විට ගැහැනුන්ටද සමතැනක් ඇති පාරාදීසයක් පහළ නොවන්නේ නම්, ගැහැණියට පමණක් වෙන්වූ පාරාදීසයක් පහළ කර ගත යුතු බවට ප්‍රකාශ කිරීමක් විය හැක. එය ගැහැනිය සහ පිරිමියා අතර ආගාධය තවත් ගැඹුරට හාරා දමන මතවාදයක්ද යන්න වෙනම කතා කළ යුතු වේ.
මම ෂාරොන් හි සෙව්වන්දියක් වෙමි
‘ජෙරුසලෙම් දූවරුනි’ හි කතා නායිකාව ප්‍රේමවන්තියක්ද වෙයි. කෙසේ නමුත්, අයිති කර ගැනීමෙන්, වෙළී පැටලී හිඳීමෙන්, හෝ අල්වා ගැනීමෙන් එපිටට ගිය නිදහස් ප්‍රේමයක් හඳුන්වා දීමෙන්, කතුවරිය එම පෙම් පුවත කතා තේමාවට මනාව පුරුද්දාගෙන ඇත. එසේ නොවී බදා අල්වා ගත් ප්‍රේමයක් තොරම්බල් කරන්නට ගියා නම්, ඇයට පරමාදර්ශයට ආසන්න වූ ‘පෙම්බරෙකු’ මවන්නට නොහැකි වන්නට ඉඩ තිබිණි. නමුත් කතුවරිය විසින් කතා නායිකාව දිව්‍යවරයට ඔසවා නොතමින්, ඇය සිය පෙම්බරා සමාජ වගකීමට හෝ නොදෙමින් තනිසම්බුද්දියේම තබා ගන්නට තැත් දරන මනුෂ්‍ය දූහිතෘවක් ලෙසින් අපට පෙන්වා දෙයි. අනෙක් අතට ‘ජෙරුසලෙම් දූවරුනි’ හි පරමාදර්ශයට ආසන්න වූ පෙම්බරිය වන්නේම තවමත් සිය යුධයට ගිය පෙම්වතා නැති සොවින් තැවෙන ලොකක්කායි. මරණ ගෙදරක් වෙනුවෙන් දවස් කිහිපයකට ගමේ ආ කතා නායිකාවත්, මරණ ගෙදරට එන්නට ආ පෙම්බරාත්, බුලත් පුවක් ආරාමය නම් වූ පාරාදීසයේ මොහොතකට තනි කරමින් කතුවරිය බයිබලීය ප්‍රේම ගී උල්ලාසය අපට මවා පෙන්වයි.
අපරිමිත ප්‍රේමයම ආගම නොවූයේද?
කාන්තා විමුක්තිය මෙන්ම ‘ජෙරුසලෙම් දූවරුනි’ තුළට කටින ලද හුයක් සේ පෙනෙමින් නොපෙනෙමින් ඇදී යන තවත් තේමාවක් වෙයි. එනම්, ක්‍රිස්තියානි දේවධර්මයේ පවසන අපරිමිත ප්‍රේමයයි. ප්‍රේමය විශ්වීය බවත්, මිනිසා කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය මැවුම් කතාවේ සිටම විද්‍යමාන වූ බවත් බයිබලයේ කොරින්ති පොතේ සඳහන් වෙයි. ඒ ආකාරයටම අපගේ කතා නායිකාවද දයාවෙන් තෙත්වූ හදවතින් යුතුව අසරණ වූ ගැහැනුන්ට ප්‍රේමයෙන් සංග්‍රහ කරමින්, ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් හෙට දිනකට උත්ථානය කිරීමට රාජ්‍ය නොවන සංවිධානයක උපකාරයෙන් කටයුතු කරයි. මෙහිදී අසරණ වූ ගැහැනුන් පමණක් ද ප්‍රේමයට පාත්‍ර විය යුත්තේ, පිරිමින් එම ප්‍රේමයට උරුම නොවන්නේදැයි ‘ජෙරුසලෙම් දූවරුනි’ කියවා ගෙන යන අපට ඇතැම් විටක සිතේ. එනමුදු කතුවරිය එම දෝෂදර්ශනය මඟහැර යාමටද කතාව තුළ සමර්ථ වී ඇති සැටියකි. ඇය කතා නායිකාව දිව්‍යත්වයට ඔසවා කැනනීකරණය නොකරමින්, ඇය කෙතරම් දයාර්ද වූවත් එක් පසෙකට බරවූ සිතීමක් ඇති මිනිස් දුවක් බව කියවන අපට යළි යළින් ඇඟිල්ලෙන් ඇන පවසයි. එසේම තමන් පටු ලෙසින් ද සිතීමට හැකි බව කියමින්, ඊට දෝෂාරෝපණයද කතාව තුළින්ම එල්ල කර ගනු ලබයි.
විමුක්ති දේවධර්ම සාහිත්‍යයේ තරු සලකුණක්
තරංගනී රෙසිකා “තරුරසී” ප්‍රනාන්දු විසින් ‘ජෙරුසලෙම් දූවරුනි’ රචනා කිරීමට සැබවින්ම ඇය වැනිම වූ ගලා යන මට සිළුටු බස් වහරක් භාවිත කරයි. එසේම විමුක්ති දේවධර්මයත්, ස්ත්‍රීවාදී දේවධර්මයත් රැගෙන විත්, සෘජුවම සිය කතාව හා පෙළට තබා, එතුළින් ‘පීඩිත” “ගැහැනියගේ” පාරාදීසය කොතැනකද කියා අසා සිටී. විමුක්ති දේවධර්මය සහ ස්ත්‍රීවාදී දේවධර්මය වහල් කොට ගනිමින් පීඩාවට පත් සමාජ කොටස් තුළ ආන්තීකරණයට ලක්වූ ගැහැනිය වෙනුවෙන් කතා කරන සුවිශේෂී කතිකාවක් කිතුණු සාහිත්‍යයට එක් කරමින්, තරුරසී සැබවින්ම ශ්‍රී ලාංකේය විමුක්ති දේවධර්මය තුළ තරු ලකුණක් සනිටුහන් කර සිටී.
නොහැකි නම් දුර අහස ඉගිළෙන්න…
එන්න, කිරිල්ලනේ අපි ඇවිද යමු හෙමිහිට…
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
