‘කොන් කොක්ල්’ ධනූ ජයසුන්දරගේ, රහස් පරීක්ෂක ශානරයේ සිව්වන ග්‍රන්ථය යි. එම ශානරයෙහි ම ඩිප්‍රෙශන්, ජෝකර් සහ විකෘති නමින් ග්‍රන්ථ ත්‍රිත්වයක් එළි දැක් වූ, ඈ ඒ ඔස්සේ සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමාරච්චි පාඨකයා වෙත හදුන්වා දුන්නා ය. ඒ ‘කේතකීගේ විමර්ශන’ නම් තේමාව පෙරදැරිව ය. කොන් කොක්ල් ද සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමාරච්චිගේ ජීවිතය ඉලක්කගතව, ඔට්ටු සෙල්ලම් කරන මාරයා හා ඇය එකා පසු පස එකා ලුහු බඳිමින් වෘත්තයක හැල්මේ දුවන ගමනක්, පිටු දෙසිය පනහකට නොඅඩුව ප්‍රබන්ධයකට ගොනු කිරීමට ධනූ ජයසුන්දර දැරූ පරිශ්‍රමයක ප්‍රතිඵලයකි.
සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමාරච්චිට සිය කාර්යාලයේදී අනපේක්ෂිත ලෙස එල්ල වන වෙඩි ප්‍රහාරයත් සමඟ නවකතාව ඇරඹෙන්නේ පාඨකයා කුතුහලයේ උච්චත්වය කරා රැගෙන යාමෙනි. නවකතාව ආරම්භයේදී ම ලේඛිකාව සංයමයෙන් සිදු කර ඇති චිත්ත රූප මවන සරල පසුබිම් වර්ණනය ආකර්ශණීයත්වයෙන් පෝෂිත ය. අවස්ථා හා සිද්ධි සංයමයෙන් සෘජුව ඉදිරිපත් කර තිබීම පාඨක කුතුහලය තීව්‍ර කරීමට සේම, කෘතිය රසවත් සීඝ්‍ර කියවීමක් බවට පත් කිරීමට ද හේතු වී තිබේ. නවකතාව පුරාවට ම ප්‍රබලව දැකගත හැකි ධනූ ජයසුන්දරගේ රචනා උපක්‍රමය ලෙස ප්‍රබල අවස්ථා සිද්ධි නිරූපණය හා ආකර්ෂණීය පසුබිම් වර්ණනා හඳුනාගත හැකි ය. පළමු පරිච්ඡේදය තුළ සිට ම ලේඛිකාව එම උපක්‍රම යොදා ගෙන ඇති ආකාරය අගය කළ යුතු ය.
“වෙලාව මධ්‍යම රාත්‍රියටත් ආසන්න වෙමින් පැවතිණි. දහවල කුහුඹු ගුලක් සේ ඇවිස්සුණු කොළඹ නගරය සන්සුන් වෙමින් පැවතිණි. එයට අනුරූප වන සේ කොළඹ පිහිටි පොලිස් අපරාධ විමර්ශන කාර්යාලයේ විවිධ කාර්යයන්හි නිරත වෙමින් සිටි පිරිස ද ක්‍රමයෙන් අඩු වෙමින් නිශ්ශබ්දතාවය කාර්යාලය පුරා පැතිරෙමින් පැවතිණි. දිගු වේලාවක සිට ලිපි ගොනුවකට මුහුණ හොවාගෙන සිටි සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමාරච්චිට කළු කෝපි කෝප්පයක අවශ්‍යතාවය තදින් ම දැනුණ ද ‘කාව්‍යා පෙරේරා’ නීතිඥවරියගේ අතුරුදහන් වීම පිළිබඳ පරීක්ෂණය සම්බන්ධව කිසිඳු ප්‍රගතියක් අත් කර ගැනීමට නොහැකි වීම ඇයව දැඩි සේ නොසන්සුන් කිරීමට සමත් ව තිබිණි” (09 පිට).
සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමාරච්චි, ඇගේ සහයක පොලිස් පරීක්ෂක මහේෂ්, වෛද්‍ය විදූෂා සහ අනෙකුත් අවශේෂ චරිත කතා ගර්භය තුළ සීරුමාරු කරමින් ධනූ ජයසුන්දර ගොඩනංවා ඇති කොන් කොක්ල්, කේතකීට එල්ලවන අනපේක්ෂිත වෙඩි පහර සමඟ ආරම්භ වේ. අනතුරුව එක පෙළට සිදුවන අපරාධ දාමයක් තුළ පාඨකයා වික්ෂිප්ත කරවීමට කතුවරිය සමත් වී ඇත. එකිනෙක සබඳතා නොදක්වන එම ඝාතන දාමය පිහි පහරවල්, වෙඩි ප්‍රහාර, විෂ ශරීරගත කිරීම් මෙන්ම සියදිවි නසා ගැනීම් ලෙස විවිධ ස්වරූප ගෙන ඇත. ඒ සෑම අවස්ථාවක ම කතාංගයේ ප්‍රධාන චරිතය වන සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමාරච්චි මුහුණ දෙන ගැටුම ඉතා තාත්විකව හා විශ්වසනීය අන්දමින් කතුවරිය ඉදිරිපත් කර ඇත. පුද්ගලාන්තර, පුද්ගලානුබද්ධ ලෙස ප්‍රධාන වශයෙන් ද්විත්ව ආකාරයකට කේතකී කතාංගයේ විවිධ අවස්ථාවල, අපරාධ පරීක්ෂණ කෘතියක ප්‍රධානම අංගයක් වන, ගැටුමට මැදි වේ. එහි දී අත්විඳින කායික මෙන්ම මානසික පීඩනය හා ව්‍යාකූලතාව පාඨක මනස ද එලෙසම කැළඹීමට ලක් කිරීමට සමත් වේ. අපරාධ පරීක්ෂණ ශානරයේ නවකතාවක් ඔස්සේ එය වැළඳ ගන්නා පාඨකයා ප්‍රධාන වශයෙන් ම කුතුහලය, ආතතිය, ත්‍රාසය, භීතිය හා කතාව අවසානයේ ප්‍රහේලිකාවක් විසඳීම හා සමානව ලබන තෘප්තිමත් බව ඔස්සේ තම මනස සන්තර්පණය කරගැනීමට නිරායාසයෙන් ම සමත් වේ. කොන් කොක්ල් ඔස්සේ ද කතුවරිය ඉහත දැක්වූ පාඨක අපේක්ෂා ඒ ආකාරයෙන් ම සාක්ෂාත් කරලීමට සමත් වී ඇති බව දැකගත හැකි ය.
“විවර වූ නෙතට හසු වූයේ ගිනි අවියක හැඩයකි. හඬක් නොනගා පැමිණි යමක් දකුණු උරහිසෙහි තදින් ගැටෙනු දැනිණි. එතැනින් පැන නැගුණු දැඩි වේදනාවත් සමඟ ඇගේ දෑස් පියවී ගියේය. දෑස් පියවෙන්නට මොහොතකට පෙර, වෙඩි හඬක් ඇගෙ සවන වැකුණි” (10 පිට).
සිද්ධි අතර පවතින ව්‍යාකූල බව අවසානයේ තාර්කිකත්වයෙන් යුතුව විසඳීම, පුද්ගල මනෝභාවයන්ගේ වෙනස්වීම්වලට ඔවුන්ගේ සැඟවුණ පසුබිම එල්ල කරන බලපෑම මෙන්ම ප්‍රධාන වශයෙන් කතාංගයේ චරිත මුහුණ දෙන අභියෝග පාඨකයාට විශ්වසනීය ලෙස තාත්විකව ඉදිරිපත් කිරීම කොන් කොක්ල්හි මැනවින් දැකගත හැකි ය.
“මහේෂ් මිනීමරුවා දැනටමත් අපේ ඇස් ඉස්සරහා ඉන්නවානේ. ඔයාට තවමත් පැහැදිලි නැත්තේ මිනීමැරුම් සිද්ධ වුණ රටාව එහෙම නේද?
ඇත්තටම මැඩම් හැම ජාවාරමක් ම කළේ හසංජය නම් සංජය අැයි මේ මිනීමැරුම්වලට පැටලෙන්නේ?
කවුද කියන්නේ මහේෂ් සංජය මේ මිනීමැරුම් කළා කියලා?
කේතකී ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළා ය. නිහඩව ම අසුනෙහි පසුපසට බර වූ යුවතිය මොහොතක් දෑස් වසා ගත්තාය. තමා මේ පවසන දෑ පිළිබඳ ව 100%ක් විශ්වාසය තැබිය හැකි ද?
කේතකී සෙමෙන් නැඟී සිට නැවතත් සංජය පෙරේරා සිටි කුටිය වෙත පිය නැගීය. සංජයගේ දෙනෙත් දෙස මොහොතක් ඍජුව බලා සිටියාය.
මිනීමරුවා සංජය නෙමේ සර්…” (225 පිට).
කවර හෝ ප්‍රබන්ධයක් ගොඩනැඟීම කිසිසේත් ම පහසු දෙයක් නොවේ. අපරාධ පරීක්ෂණ ශානරයේ ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමේ දී මෙන්ම එය පාඨකයා අතර ජනප්‍රිය වීමට නම්, නිර්මාණකරු ප්‍රබන්ධගත කරන සෑම කරුණක් ම විශ්වාසනීයත්වයෙන් යුතුව රචනා කළ යුතුය. ධනූ ජයසුන්දර, තම ප්‍රබන්ධය පොලිස් අපරාධ විමර්ශන කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කර තිබේ. එහිදී ඇය ඒ ආශ්‍රිත සිදුවන ක්‍රියාකාරකම් හා ඒවා සිදුවන පටිපාටි, විවිධ ශිල්ප ක්‍රම මෙන් ම ඒ ඒ අවකාශ තුළ භාවිත වන වාග්මාලාව පිළිබඳව ද සූක්ෂම ගවේෂණයක් සිදු කර ඇති බව මැනවින් අවබෝධ කරගත හැකි ය. අපරාධ පරීක්ෂණ ප්‍රබන්ධයක්, සාර්ථක දැයි නිර්ණය කිරීමට නම් නිර්මාණකරු සිදු කර ඇති, නවකතාවේ ඇතුළත් කර ඇති ක්ෂේත්‍ර ආශ්‍රිත පර්යේෂණ ඉතා ප්‍රබල සාධයක් ලෙස සැළකේ. ධනූ ජයසුන්දර ද එවැනිම ලෙස පර්යේෂණ සිදු කරමින් තම ප්‍රබන්ධය විශ්වසනීයත්වයෙන් යුතුව ගොඩනැංවීමෙහි ලා ගෙන ඇති උත්සහය අගය කළ යුතුය.
“කෙනෙක් මැරුණ ම ඒ මළ සිරුරේ සිදුවෙන ප්‍රධානම වෙනස්කමක් තමයි මාංශ පේශිවල තද වීම. ඒක වෙන්නේ මරණයට කලින් මාංශ පේශී සෛලවල තියෙන මයිට්‍රොකොන්ඩියාවල ඒකරාශී වෙලා තියෙන ශක්තිය මරණයෙන් පස්සේ පාලනයකින් තොරව මුදා හැරීම නිසා. මෙහෙම මුදාහැරෙන ශක්තිය මාංශ පේශිවල අන්තර්ගත වෙලා තියෙන Actin and Myosin තන්තු අතර සිද්ධ වෙන රසායනික සංකෝචනවල ප්‍රතික්‍රියාවන්වලට පාලනයකින් තොරව යෙදවෙනවා. එතකොට ඒක බාහිරින් අපි නිරීක්ෂණය කරනකොට පේන්නේ කෙනෙක් මැරුණු වහා ම මෘදු නම්‍යශීලී ස්වභාවයක් ගත්තු සන්ධීන්වල පියවරෙන් පියවර තද වීමක් සිද්ධ වෙන විදිහට. මුලින් ම මුහුණ, යටි හනුව සම්බන්ධ පේශී තද වෙන්න පටන් අරන් ඊට පස්සේ තමා උරහිස් සන්ධිය, උකුල් සන්ධිය, දණහිස,වැලමිට වගේ සන්ධීන් ක්‍රම ක්‍රමයෙන් තද වීමක් වෙන්නේ. මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්න පැය 12 ක් විතර ගත වෙනවා” (61 පිට).
කේතකීගේ සැඟවුණ මාරයා මෙන්ම එක පෙළට ඝාතනය වූ මිනිස් ජීවිත ගණනාවක ප්‍රධාන ඝාතකයා පාඨකයාට හෙළිදරව් වන්නේ අවසාන පරිච්ඡේදයේදී ය. එහෙත්, ලේඛිකාවගේ දක්ෂතාව පිටු දෙසිය පනහකට නොඅඩු පරිචයක කැපී පෙනෙන්නේ, පාඨකයාගේ සැකය ප්‍රබන්ධයේ විවිධ චරිත වෙත යොමු කරවීමෙනි. අපරාධ පරීක්ෂණ ශානරයේ ප්‍රබන්ධයක විශේෂව ම දැකගත හැකි, පාඨකයා තුළ ඇති කරන සැකය හා කුතුහලය ධනූ ජයසුන්දර කොන් කොක්ල් ඔස්සේ ආයාසයකින් තොරවම චරිත අතර ගලා යෑමට සලස්වා තිබීම පැසසිය යුතු ය.
“පොලිස් කොස්තාපල්වරියගේ මරණය සමඟ පසෙකින් ඇඳී මැකී යන මහේෂ්ගේ රුව ද තමාට දැනෙන මේ සිතුවිලි ද සිතින් ඉවත් කර දැමීමට ඈ උත්සහා කළා ය. එම සිතුවිල්ලටත් ඈ බිය වූවා ය. තමන් අපමණ විශ්වාස කරන එකම මිනිසා එම විශ්වාසය බිඳ හෙළූ බව පිළිගැනීමට ඈ අකමැති වූවා ය…” (36 පිට).
ධනූ ජයසුන්දර ඇගෙ මින් පෙර කෘති ත්‍රිත්වය ද කේතකීගේ විමර්ශන තේමාව ඔස්සේ පාඨකයා වෙත තිළිණ කළ අතර, ඒ ඔස්සේ ඇය සමාජයේ බහුලව සංවාදයට ලක් නොවන මානසික රෝග පිළිබදව නවමු අත්දැකීමක් පාඨකයා වෙත ලබා දීමට උත්සුක වී ඇත. කොන් කොක්ල් ඔස්සේ ඇය විවිධ සමාජ පසුබිම් මෙන්ම විවිධ මානසික මට්ටම් සහිතව සමාජයේ අප අතර ම ජීවත්වන එහෙත් අප නොදකින පුද්ගලයන් පාඨකයා වෙත ගෙන ඒමට පරිශ්‍රමයක් දරා ඇත.
නවකතාව තුළ පාඨකයා රඳවා තබාගැනීමට ධනූ ඉතා හොඳ උත්සාහයක් ගෙන තිබුණත්, අතරින් පතර විසිරී තිබෙන ඉංග්‍රීසි අක්ෂරවලින්ම ලියූ ඉංග්‍රීසි වචන සහ, පොදු පාඨකයාට දුරවබෝධ වියහැකි බරපතල විද්‍යාත්මක විග්‍රහයන් හැකිතාක් සරලව සහ ඉංග්‍රීසි අක්ෂර භාවිතයෙන් තොරව ඉදිරිපත් කළේ නම්, කියවාගෙන යාමේදී එක්වරට සිදුවන රිද්මය බිඳීයාම් නවතාගත හැකිවන්නට තිබුණා යැයි සිතේ.
පුද්ගලයෙක් තම ආත්ම ලාභය පිළිබදව පමණක් සිතා, ගනු ලබන එක් තීරණයක් වුවද, අවසානයේ නිමක් නොවන වැරදි දාමයක ගෙල සිර වීමක් බව කොන් කොක්ල් ඔස්සේ ධනූ ජයසුන්දර පෙන්වා දී තිබේ. කේතකීගේ සිව්වන විමර්ශනය ලෙස පාඨකයා වෙත පැමිණෙන කොන් කොක්ල් කුතුහලය, ත්‍රාසය එක්ව ඈදෙන රසවත් කියවීමක් බව පැවසිය හැකි ය.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
