…මරියාගේ සුමුදු දේහය තුරුල්ලට ගෙන සිටින දේවදූතයාගේ මුහුණ කල්පකාලාන්තරයක් පුරා නොතිබි නන්නාදුනන හැගීම් සමුදායකින් රත් පෑ ගැන්වී ඇත. ඔහු හිඳින්නේ දැඩි අපහසුවෙනි. තටු යුගල සසැලෙන රිද්මය එයට සාක්ෂිය සපයයි.
මගෙ නිරුවත මත හීන් දාඩිය නැගෙයි. තොල කට උගුර ඉරිතලා යනු හැගේ.
එකෙනෙහිම සාතන් ඉදිරියට පැන ග‍්‍රාබියෙල් ඔසවා පොළොවෙ ගසයි. අති මහත් වූ ආනන්දයක කිමිදී සිටි ග‍්‍රාබියෙල් ද කෝපාග්නියෙන් දැවෙමින් වහ වහා නැගිට සාතන් කඩා පනී. ධර්ම යුද්ධය ඇවිලේ. දෙදෙනා එකම පොදියක පෙරලේ.
මුඛ කුහරය බලියා ගත් සාතන් ගාබ‍්‍රියෙල් ගේ දෙකකුල් ඩැහැ ගනී. එකට අඹරා මුඛයේ රුවාගෙන හැපීමත් ගිලීමත් පටන් ගනී. මුව දෙකොනින් ලේ බෙරෙ. වෙදනාවෙන් වියරු වැටෙන ගාබ‍්‍රියෙල් ගේ අතට හසුවන දිගු උල් නිය ඇති සාතන්ගේ වසුරු ගඳ දෙකකුල් මුවෙහි රුවා ගත් ඔහු ඒවා වෑයමින් විකමින් ගිල දමයි. මෙලෙස දෙකොණින් හපමින් විකමින් ගිලගන්නා දෙදෙනා ඔවුනොවුන් තුළ ගිලී අන්ත‍්‍රස්දාන වී යනු පෙනේ…
ශ්‍රී ලංකාවේ දැඩි මතභේදයකට තුඩු දුන් සිය මේරි නොහොත් මරියා කෙටිකථාව ඔස්සේ මංජුල වෙඩිවර්ධන විසින් යේසුස් සම්බන්ධව වන බයිබලීය පුරාවෘත්තය සහ අන්ත ක්‍රිස්තුන් සම්බන්ධයෙන් වන වෘතාන්තයන් එක් කොට ඒ වෙත නවමු දෘෂ්ටියක් ලබාදෙමින් කථාන්තරයක් ගොනු කොට සිටී. එහි සඳහන් වන උක්ත උපුටනය සංකේතාත්මකව කෙටිකථාවේ පෙළ උදෙසා වැදගත් වන අතර, එම සංකේතය පාඨකයා හට වැදගත් වෙයි. මේ ඔරෝබොරෝසයයි. එනම් සිය වලගයේ සිට ගිලින්නට පටන් ගන්නා සර්පයාගේ සංකේතයයි!
ලෝකයේ පුරාණ සංකේතයන් අතුරින්ද වඩාත් පෞරාණිකම සංකේතයක් වන ඔරෝබොරෝස් යන්න ග්‍රීක් වදනකින් පැමිණි අතර, එහි අර්ථය වන්නේ “වල්ගය ගිලදැමීම” යන්නයි. කෙසේ වෙතත් ඔරෝබොරෝස් යන වදනින් හැඳින්වෙන සංකේතය, එනම් සිය වලිගය භක්ෂණය කරනා සර්පයාගේ සංකේතය මුලින්ම දක්නට ලැබුණේ ක්‍රිස්තු පූර්ව 1600 වසරේ තරම් ඈතකදී ඊජිප්තුවේ බව කියැවෙයි. එතැනින් එම සංකේතය ආදි ෆොනීෂියානුවන් වෙතටත්, එතැනින් ග්‍රීකයින් වෙතටත් පැමිණෙන අතර, ග්‍රීකයින් විසින් එය ඔරෝබොරෝසය ලෙසින් නම් කරයි.
පුරාණ මිත්‍යා විශ්වාසයන්ට අනුව ඔරෝබොරෝස් යනු ක්ෂීර පථය නියෝජනය කරනා සංකේතයයි. ඊට අනුව දිව්‍ය තලයක සිට පැමිණෙන ආලෝකය නම් සර්පයෙකුගේ වේෂය ක්ෂීරපථයයි. සර්පයා විසින් සිය වලිගය අනුභව කිරීමෙන් විශ්වීය සහ පෘතුවීය චක්‍රයන් නියෝජනය වෙයි.
මෙයම ඇල්කෙමි ශාස්ත්‍රඥයින් අතරද වෙනත් සමකාලීන කොටස් අතරද පැවතුණු අතර, සෑම විටකම ඔරෝබොරෝසයෙන් නියෝජනය වූයේ සදාකාලිකව සිදුවන චක්‍රීය ක්‍රියාවලියයි. එනම් ජීවිතයේ චක්‍රය, මරණයේ චක්‍රය, විශ්වයේ චක්‍රය, ස්වභාව ධර්මයේ චක්‍රය යනාදී දේ වුණි. ඇල්කෙමි ශාස්ත්‍රයට අනුකූලව ඔරෝබොරෝසය මගින් සංකේතවත් වන්නේ රසදිය හෙවත් ඇල්කෙමි ශාස්ත්‍රයේ මූලික තැනක් ගත්, අනෙක් සියලුම ලෝහයන් විනිවිදිය හැකි බව පැවසුණු ලෝහයේ ආත්මය විණි. එසේම, එයින් නොනවතින ප්‍රතිසංස්කරණය ද සංකේතවත් කෙරිණි. මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණු දෙකක් ඇත. එකක් නම් ඇල්කෙමි විද්‍යාඥයෙකුගේ මූලික අරමුණු දෙකෙන් එකක් වූයේ ඕනෑම ලෝහයක් රන් බවට හැරවිය හැකි දාර්ශනිකයාගේ පාෂාණය සොයා ගැනීමත්, සදාකාලික ජීවිතය ලබාදෙන අමෘත පානය සොයාගැනීමත් බවයි. එහිදී රසදිය ප්‍රධාන තැනක් ගෙන තිබිණි. ඔරෝබොරෝසයේ දැක්වෙන්නේ සර්පයෙකු වීම අනෙක් සැලකිල්ලට ගත යුතු කරුණයි. ඈත අතීතයේ සිටම සර්පයාගෙන් සංකේතවත් වූ එක් කරුණක් වූයේ නැවත නැවත සිදුවන පුනරුත්ථානයි. මෙය සදාකාලිකත්වයට එක් මාර්ගයක් වූ අතර, සර්පයෙකු හැව ඇරීම තුළින් මරණය සහ උත්ථානය ආදිතමයින් විසින් සංකේතවත් කොට ගැනිණි. එකිනෙකාව වලිගයේ සිට ගිලදමනා සර්පයන් දෙදෙනෙකුගෙන් යනුද මෙම පෞරාණික ඔරෝබොරෝසයේම දිගුවකි.
කෙසේ වෙතත් ඉපැරණි ඇල්කෙමි පාඨ ග්‍රන්ථයක් වූ ක්‍රිසෝපියා (Chrysopoeia) හි වන චිත්‍රණයක ඔරෝබොරෝසය දැක්වෙන්නේ අර්ධයක් ආලෝකයෙන් සහ අනෙක් අර්ධය අඳුරින් සැදි සර්පයෙකු ලෙසිනි. මේ නයින් නැවත නැවත උත්ථානය වෙමින් සදාකාලිකත්වය දක්වා යන චක්‍රයක් මෙන්ම, සෑම දෙයකම පවත්නා ද්වෛත ස්වභාවයද එක් මොහොතක ඔරෝබොරෝසයෙන් නිරූපණය වූයේ දැයි ඇසීමට හැක.
ඔරෝබොරෝසයේ එන සර්පයා විසින් තමන්වම සහමුලින් ගිල දැමූ පසු කුමක් සිදුවෙයිද? ඔරෝබොරෝසය දෘෂ්ටියෙන් ඉවත් වෙයි. නමුත් එය පවතියි. එවිට එය පවතින්නේ වෙනත් තලයකද? එය වෙනත් දිනයක් සඳහා වන ප්‍රශ්නයකි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
