ගැටුම්වලින් ඔද්දල් වූ දේශයක ගැයෙන සෙත් කවියක් – “ජෙරුසලෙම් දූවරුනි”

මම නවකතාවක් හෝ කවියක් හෝ ඕනෑම නිර්මාණයක් කියවද්දී, එහි වින්දනීය කාර්යයයට එහා ගොස් සිදු කරන සමාජ කාර්යයභාරය ගැන මම හිත යොමු කරනව. කියවන්නා තුළ තමන්ගේ අවබෝධය, තමන්ගේ තියෙන පදනම් එක්ක විචාරයේ යෙදෙන, ඒවා කළඹන, වෙනස් කරන පොත් කියවද්දී ඒ දෙය දැනෙනවා, මම ඒ දෙය මේ පොතින් දකිනවා. මිනිසුන් පුරවන, වෙනස් කරවන ප්‍රබන්ද, සමාජය වෙත සහවේදනය, සහ යතාර්ථය පිළිබඳව අවබෝධය ඇති කරනවා කියා මට හිතෙනවා. 

මේ පොතේ හැම පරිච්ජේදයකම හමුවෙන හැම චරිතයක්ම, හැම දෙබසක්ම අපට බොහෝ වේලා සංවාද කළ හැකි, බොහෝ දුර සිතිය හැකි හෝ කතා කළ හැකි මාතෘකා ගෙන දෙනවා. මොකද මේ පොත මහ පොළොවේ මට මුණගැහුණු දේවල්, මගේ අත්දැකීම් සමඟ මේ පොතේ සම්මුඛ වෙන චරිත සහ කතිකාවන් එක්ක අපි තර්ක කරන්න පෙළඹෙනවා.  මේ පොතේ මම දකිනවා ස්ත්‍රීන් පිරිසක්, තමන් ජිවන අරගලයක යෙදී ඉන්නා ගමන් අනුන්ගේ දුක දකින,  දුක් ගන්නා දුක් අසනා දුක ට හේතු සොයා එය නැති කිරීමට මාර්ගය සොයනා බොහෝ ගැහැනුන් මිනිසුන්ගේ සංවේදනා එකට කැටි කරලා මේ පොත ලියලා තියෙනවා. මම සාහිත්‍යවේදිනියක් නොවේ, එනමුත් මම කැමතියි මේ පොත මට දැනුණු ආකාරය සහ මේ පොතෙන් මතුකරන සමාජ කාරණා කිහිපයක් ගැන කතා කරන්න්න 

ජීවිතේ වැඩි කාලයක් මට හමුවුණේම ගැහැනු සහ ගැහැනු ප්‍රශ්න. මට තිබුනෙත් ගැහැනු ප්‍රශ්න. ගැහැනු පිරිමි කියල බෙදා වෙන්කර ඉරි ගැසූ ලෝකයක ඉඳලා, gender neutral ලෝකයක, ‘ගැහැනු පිරිමි නෙමෙයි අපි සේරම මිනිස්සු’ කියලා හිතන්න උගන්වන දේශයක ඉඳන් මං අද මේ කතාව කරන්නේ. එහෙම නොවන මගේ දේශය ගැන මට අප්‍රමාණ දුකක් දැනෙනවා. ඒ දුක මට මේ පොතේ අකුරු අතර හමුවෙනවා. 

“ඔය හැටි දුෂ්ට වෙන්න එපා චුට්ටි. ප්‍රශ්නයක් දිහා බලන්න එක විදිහක් නෙවෙයි දහස් ගාණක විදි තියෙනවා…. මනුස්සකමින් ප්‍රශ්න දිහා බලන්න පුරුදු වෙන්න”
මරා දැමීම් අතුරුදන් කිරීම් , සියදිවි නසා ගැන්නීම් දැන් මට පත්තියම් වී ඇතුවාවත් ද ?

මේ නවකතාවේ චුට්ටි සිතයි. කිසිවක් නොවිසඳුනු නමුදු තුවක්කු නිහඬ වුණු පිපිරීම්, සහ වෙඩි උණ්ඩ නිද්‍රාවක සිටි යුද්ධය අවසානයේ, උතූරේ වැඩ කරන්න ගිය අපටත් මේ සියල්ල කොයි තරම් පත්තියම් වුණාද කියලා මට හිතෙන්න ගත්තේ මේ පොත කියවාගෙන යද්දී තමන්ගේ හිත තුළ නොමළ සැමියා වෙනුවෙන් නොනිමී දැල්වෙන පහන් අතැති ගැහැනුන් මට හමුවුනේ වන්නියේදී ය.  තමන්ගේ අතුරුදන් වූ සැමියන්, පුතුන් සොයමින් අදත් නොවිසිඳුණු ප්‍රශ්න රාශියක් පපුවෙහි දරාගෙන ජීවත් වෙන හඬ නඟන ස්ත්‍රීන් මට හමුවුනේ උතුරේදී ය.

ජෙරුසලලෙම් දූවරුනි කෘතිය තුළින් එබී බලන ගෞරි අක්කා , වගේ බිරින්දෑවරු මට අනන්තවත් හමුවෙනවා. ඔවුන්ගේ දුක් දෝමනස්සයන් වාට්ටුවේ සායනික වටය පුරා අපි අහනවා. සායන වලදී ඔවුන්ගේ කේඩෑරි මැණික්කටු අල්ලා නාඩි වැටෙන වේගය ගණන් කළාට හදවත් ගැහුනාට ඔවුන් සිටියේ ආත්මය බොහෝ සෙයින් අබලව දුබලව මිය යමින්. 

සමහර පවුල්වල ඉතිරි වුණේම ගැහැනු විතරයි. ඔවුන් කොහොම හරි තමන්ගේ ඉඩම් සොයාගෙන කඩන් වැටුනු ගෙවල් සොයාගෙන ඔවුන් නැවත පදිංචි වෙද්දී අපි දැක්කා, ඔවුන් තුළ තිබුණු අයෝමය හැකියාව. ජීවිතේ මොන තරම් කඩා වැටිලා තිබුනත් තමන්ගේ දරුවන් නෑසියන් වෙනුවෙන් ජිවත් වෙන ගැහැනුන් වන්නියෙදි මම දුටුවා. 

තමන්ගේ දියණිවරු සංවිධානයට බඳවා ගනීවි යැයි බියෙන් ඔවුන් කා වෙත හෝ සරණ බන්ධනය කර දී දරුවන් හදන්නට ගැබ්බර කරන්නට පෙළඹෙවූ කතා මට ඇසේන්නේ වන්නියේ දීය. දන්නවද මේ කුඩා දැරිවියන් සරණ කරගත්තේ ඇතැම් විට තම මව් පස ඥාතී වැඩිහිටි පිරිමින් බව මට කියා තිබෙනව. මට හමුවූ එවන් බොහෝ ළමා මව්වරුන් බොහෝමයකට සැමියා අහිමිව තිබුණා. 

මේ වගේ කතා අඩු වැඩියක් නැතිව රටේ අනෙක් තැන් වලදිත් අත් දුටුවා. 

යුද්ධයෙන් පසු අහිමි වුණු දෑ දරාගෙන ඉතිරි වුණු ගැහැනුන් මිනිසුන් දරුවන් අපමණ මට උතුරෙදි හමුවුනා. ඒ කතා සහ කම්පන හමුවේ අපිත් බිඳී වැටුනා. ගෞරි අක්කා වගේ ස්ත්‍රීන් තවමත් එහි ඉන්නවා. අතුරුදහන් වූවන්ගේ බිරින්දෑවරුන් මව්වරුන් තවමත් ඔවුන්ගේ දුක පපුවේ තියාගෙන එකම ප්‍රශ්නයක් අහනවා ! 

“හැමෝම විරු සමරු උත්සව තියනවා ඉහළින්. ඒත් ඒ කාටවත් මතක නෑ ඒ හැම විරුවෙක් පිටිපස්සෙම කඳුළු උහුළන ගෑනු
ඉන්නවා කියලා. දරුවො ඉන්නවා කියලා. ඒ ගෑනු දරුවො අදටත් දුක් උහුළනවාත්‍ව වෙලාවකට මටත් මහ වරදකාරී හැඟීමක් දැනෙනවා.” ඇගේ ඇස් කඳුළින් බර වී තිබිණි (ජෙරුසලමේ දූවරුනි – තරංගනී රෙසිකා ප්‍රනාන්දු)

මට මතක් වෙනවා අම්මලා දෙන්නේක්. මං මීට කළින් ලියලා තියෙනවා ඔවුන් දෙදෙනා ගැන. එක්කනෙක් මුලතිව් වනයේ මිය ගියා යැයි හිතන විරුද්ධ පාර්ශවයේ අවි දරපු තමන්ගේ පුතා වෙනුවෙන් පූජාවක් පවත්වනකම් තමන්ගේ ආත්මයට නිදහසක් නැතැයි හිතුව අම්මා සහ මැදවච්චිය ප්‍රදේශයෙන් ආපු  යුද්ධෙට ගිය හමුදා සෙබලෙක් වූ පුතා අතුරුදහන් වූ අම්මා. මේ අම්මලා දෙන්නගේම දුක එකම ආකාරයෙන් දකින්න සමාජය හුරු වෙලා තිබ්බ නැති, ජයග්‍රාහි සැමරුම් පිරුණු කාලයක මේ අම්මා කියන්නේ අම්මාට, ඒකට ජාතිබේද ආගම් බේද නෑ කියලා උතුරේ අම්මාගේ දුක, දරු අහිමි වීම් නෑසියන් අහිමි වීම්, දුකක් මිස සැමරුමක් නොවන පෙන්වා දුන්නේ මගේ ගුරුතුමා වෛද්‍ය සිවදාස්. ඔහු අපේ ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා. 

එකම භූමියක සතුරන් ව, ආතුර වූ හිත් ඇතිව අදටත් මේ වෛරය වපුරන්න මිස නිවන්න උත්සහ ගන්නා අය විරල වූ සමයක ජෙරුසලෙම් දියණිවරු පොත මේ මත ගැටුම් විසඳන්න විවිද ආකාරයෙන් උත්සහ කරන සෙත් කවියක් සේ ඇහෙනවා මට. උතුරට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් දුක් වින්දා යැයි පවසන්න කිරා බලන්න මේ අම්මලාගේ දුක මනින තරාදියක් නිර්මාණය කෙරුවේ කවුරුන්ද? එනිසා හැම අම්මා කෙනෙකුගේම දරු දුක වියෝ දුක, එකම ආකාරයෙන් බලන්න හැකි ලෙස ඔබේ මනස සකස් විය යුතුම යැයි මම කියමි. තරු අක්කා මේ උතුරත් දකුණත් එකට අරගෙන සාකච්ජා කිරීම තුළින්ම සමාජ කාරණා ගොඩක් ගැන තර්ක කරනවා. 

උතුරේ දක්ෂ සිනමා නිර්මාණකරුවෙක් වන ගොඩ්ෆ්‍රි මලර්නේසන් ඔහුගේ මුහුණු පොත මත තැබූ සටහනක් මම මීට කලින් බෙදාගත්තා. එහි ඉංග්‍රිසි පරිවර්ථනය මට වැටහුණු ලෙස සිංහලෙන් කීවොත්. 

“මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ, එක පැත්තක් නෙමේ මේ මුළු රටටම නිවෙන්න සුවපත් වෙන්න අවශ්‍යයි කියලා. එහෙම වුනොත් පමණයි අපිට අවශ්‍ය සමාජීය සහ පාරිසරික වෙනස්කම් , වර්ධනයන් සිදුවෙන්නේ. ගොඩක් වෙලාවට සාධාරණය ඒක පාර්ශවීයයි. දෙමළ මිනිස්සු තමන් යුද වැදුනු හේතු සාධාරණීකරනය කරනවා වගේම සිංහල මිනිස්සු හෙවත් සොල්දාදුවෝ පවා තමන්ගේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැදුණු බව හිතනවා. ඒ වෙනුවෙන් හැලූ තම තම පාර්ශව වල රුධිරය පාරිශුද්ධයි කියා හිතනවා. 

එහෙම හිතුවිලි දිහා බැලුවම තමා හිතෙන්නේ, ඉස්සෙල්ලා තමන් සාමය සුවපත්වීම සොයාගන්න ඕනේ තමන්ගේ තුළම කියලා. ඒ වුනාට මේ පැති බෙදිලා ඉන්න පිරිස් ඒකට ලෑස්ති නෑ. තමන්ට වගේම අහිමි වීම් අනෙකාටත් වුණා කියලා තේරුම් ගන්න ලෑස්ති නෑ. මේක තමා සහවේදනයක් නැති කම.”

සිංහලෙන් මේ ලියන ජෙරුසලෙම් දූවරුනි පොතෙහි පණිවිඩය හා සමාන සහවේදනය පිළිබඳ අපූරු පාඩමක් මා උතුරේ තරුණයෙක්ගෙන් කියැවූයේ එලෙසයි. යුද්ධයෙහි ජයග්‍රාහකයෝ නැත, දරුවනි යුද්ධ නොකරන්න කියලා ලියපු මට, විවිධ පාර්ශව වෙතින් දොස් අහන්න සිදුවුණා මට මතකයි. කරුමය නම් පසුගිය අවුරුදු කිහිපයේ මහ පොළොවේ වැටෙන්න ඕනේ අන්තෙටම ජීවිතේ අතහැරුණු නමුත් තවමත් මේ යථාර්තය වැටහෙනා පිරිස අල්ප බවයි. ඒ නිසා කියවන්නා තුළ තමන්ගේ අවබෝදයන් ගැන ස්වයං විවාදයක විචාරයක යෙදෙන බවක් මම මේ පොත තුලින් දකිනවා. 

මේ පොතේ මතුකරන මම කතා කරන්න හිතුව දෙවෙනි කාරණාව මතුවෙන්නේ මේ ආකාරයෙන්: ගැහැනුන්ට අරමුණු නැද්ද ජීවිතේ ගැන? ඒත් ඒවා තමන්ගේ දරුවෝ වෙනුවෙන් පිරිමි වෙනුවෙන් ලෙහෙසියෙන් අත අරිනවා කැපවෙනවා. අපි හැදුනේ වැඩුනේ එහෙම සමාජයක. අම්මෙක් උනාම එහෙම ද? කියලා අහලා මා ඇසු දුටු අත් දුටු මාතෘත්වයේ නොයෙක් සංවේදනා අකුරු කළා පසුගිය කාලයේ.

එහෙත් මා දැන් දකිනවා. මව්වරුන්ට හෝ පියවරුන්ට හැකි බව මාතෘ නිවාඩුව අරගෙන දරුවා වෙනුවෙන් කාලයක් ගෙදර ඉන්නේ කවුද කියා තීරණය කළ හැකි රටක. මේ රටේ පියවරු මව්වරු වෙනුවට නිවසක නැවතී ළදරුවන් ඇතිදැඩි කරද්දී මවුන් රැකියාවට යනවා. හරි පුදුමයි නේද කියා හිතෙනවා.

“මේ රටේ පිස්සු නොහැදී ජීවත් වෙන්න නම් ඉතින් පිස්සෙක් ම වෙන්න ඕන. මිනිස්සු ඉන්නෙ හැම පැත්තෙන්ම හිරවෙලා. ආර්ථිකය, සංස්කෘතිය, ආගම, පවුල මේ හැමදේම මිනිස්සුන්ව නිදහස් කරනව වෙනුවට තව තව හිර කරනවා. ඉතින් කොන්ද කෙලින් තියන් ජීවත් වෙනවට වඩා බෙල්ල කඩන් මැරෙන එක සැනසීමක් කියල හිතෙනව ඇති”

මේ පොතේ තවත් මතුකරන වැදගත්ම කාරණාවක් තමා, මානසික රෝග හෝ ඒ සඳහා වෛද්‍ය උපදෙස් උපකාර ප්‍රතිකාර ගැනීම කෙරෙහි මතුකරන සාකච්ජාව. දෙයක් සිදු වූ පසු ඒ කෙරෙහි නොයෙක් කළ හැකි දේ ගැන කියමින් දුක් වෙන ලියන පෝස්ටු දමන පිරිවර අපමණ යි. පහසුවෙන් උදව් කර රඳවා ගත හැකි ජීවිත අහිමි වෙන්නේ හිතාගන්නට බැරි තරම් ඉක්මනින්. ඒ බව මේ පසුගිය කාලය පුරා දැක්කා. ඒක ජෙරුසලෙම් දියණියෝ පොතේ තරු අක්කා බොහොම අකුරු කරනවා. 

නිරවුල් නොවන මනස නිවැරදි උපදෙස් සහ ඖෂධවලින් සුවපත්කර ගැනීමේ හැකියාව තිබිය දී මිනිස්සු වෛද්‍යවරයකු වෙත යාමට
අකමැත්තෙන්, ඊට වඩා පහසුවෙන් මරණය කරා යති
– ජෙරුසලමේ දූවරුනි කෘතියෙන්

ඇය ඉතා පොඩි වචන ප්‍රමාණයකින් සමාජයට අත්‍යාවශ්‍ය කාරණාවක් මතක් කරනවා. මේ පොතේ අපූරු යෙදුමක් හමුවෙනවා. ‘දෙමාපියන් ඇඹුල් කද්දි දත් හිරි වැටෙන්නෙ දරුවන්ගේ’ කියලා. මට ඒවගේ දරු හිත් වේදනා මේ පොතේ අකුරු මත හමුවෙනවා. සඳරු, සුදූ හෙවත් අසෙලිය සහ කුඩා සිඟිතිය සහන්‍යා තුළින් හමුවෙන්නේ එවන් දරුවන්ගේ මනෝ කම්පනයන් ය. 

‘මම ගිය ආත්මේ ගොඩක් ලොකු පවක් කරලා ඇති ඒකනේ මගෙ තාත්තා මට නැත්තේ…’ කියල හිත හදාගත්තු දියණියකගේ කතාවක් මට මතක් වෙනවා. මම දැන් ඉන්න යුරෝපය ආශ්‍රිතව පවා මම දකිනවා, තමන්ගේ ජීවිතේ අවශ්‍ය නිදහස සොයා යන වැඩිහිටි පිරිස්. ඒ එක්කම ලෝක දෙක තුනක් අතරේ දෝලනය වෙන දරුවන් ගැන ඔවුන්ගේ තැලුණු බිඳුනු අහිමි වීම් වැඩි ජීවිත ගැන කතිකාවක් මේ සමාජ තුළ ඉන්නව. කතුවරිය මේ පොතෙන් ඒ ගැනත් කාරණා මතක් කරනවා. 

“අපිට? අම්මට? අපිට විතරක් නෙවෙයි සුදූ. ගොඩක් පවුල්වල මේ වගේ ප්‍රශ්න තියෙනවා. ගොඩක් ගෑනුන්ට මේ වගේ තනිවෙන්න සිද්දවෙනවා. ආදරේ හින්ද… ආදරේ හින්ද විතරක්ම නෙවෙයි අත්හරින්න බැරි තෘෂ්ණාව හින්දා ගෑනු ගිනි ගොඩවල්වලට පනිනවා දන්නෙම නැතුව. ඒවාට මුහුණදෙන එක තමයි ජීවිතේ කියන්නෙ. අඩුතරමෙ මොන ප්‍රශ්න ආවත් අපිට අපි ඉන්නවනෙ.” (ජෙරුසලමේ දූවරුනි කෘතියෙන්)

අපි තනිවෙන්න අකමැති මිනිස්සු. තනිකමද මුනිවර සැනසුමකි කියලා කතුවරිය ඇගේ කවි පොතක ලිව්වත් ඇගේ පොතේ, තනිව විවිධ බර පොදි  දරාගෙන බොහොම  අපහසු කාර්තු වෙර වීර්යයෙන් තරණය කළ ගැහැනුන් මිනිසුන් අපි බොහෝම කෙනෙක්. ඉතින් මේ පොතේ මරියා ගේ පටන්, ගෞරි අක්කා, ලොකූ චුට්ටී දක්වා මේ කියවෙන කතාවෙන පණ ගැහෙන චරිත ඔස්සේ අප වෙත කියන්නේ සමාජයේ අඩු නැතිව පවතින චිත්ත සංවේදනාවේ කතාවයි. 

සමාජය කියවිය යුතු නේක බර දරන් ජීවින ගමනෙහි කල්වාරි කන්ද තරණය කරන ගැහැනුන් ගේ කතාව සමාජය කියවිය යුතුම කතාවක් !


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment