“සිම්පල් සයිමන්” නවකතාව කියවමු

"සිම්පල් සයිමන්" විෂ්ණු වාසුගේ පළමුවන නවකතාවයි. විෂ්ණු වාසු විසින්ම නවකතාවක් ලෙස හඳුන්වනු ලැබුවද, "සිම්පල් සයිමන්" හරහා ගලා බසින්නේ ඔහුගේම විසිතුරු ජීවන ප්‍රවෘත්තියේ ආහ්ලාදනීය ගංගාවය, අනාදිමත් කාලයක පටන් ලෝකයට මුළුමනින්ම විවෘතව තිබූ නමුදු මානසික පටුබව නිසාම දූපතක් වූ මේ දිවයිනෙන් තරුණ වියේදීම පිටවී ලෝකය පුරා කරක් ගසමින් ජීවිතයේ අරුත වටහා ගන්නට උත්සාහ දැරූ‌ බොහීමියානු දිවි පෙවෙතක අන්දරයය. දැන් ඉන් කුඩා කොටසක් කියවීමට ඔබටත් ඇරැයුම් කරමු. මේ එහි එන මහාරාජපුරම් සන්තානම් නැමැති පරිච්ඡේදයයි.

දවසක් මහාරාජපුරම් සන්තානම් සර් ගුරුජී මුණගැහෙන්න පැමිණියා. 1920 මැයි මාසයේ 20 වැනිදා උපත ලද මහාරාජපුරම සන්තානම්, දකුණු ඉන්දියාවේ විසූ, අති විශිෂ්ට කර්ණාටක ශෛලියේ ශාස්ත්‍රීය ගායකයෙක්. ඔහු ඉන්දියානු රජය පිරිනමන පද්ම ශ්‍රී සම්මානයෙන් (1990) සහ මදුරාසි සංගීත ඇකඩමිය පිරිනමන සංගීත කලා නිධි සම්මානයෙන් (1989) පුද ලද, පූර්ණත්වයට පත් වූ සංගීතඥයෙක්. ගුරුජී මගේ ලාංකේය සම්බන්ධකම ඔහුට දැන්වූ විට ඔහු මට වඩාත් ලෙන්ගතුව මේ කතාව කීවා.

“මට 1962දී පත්වීමක් ලැබුණා ලංකාවේ යාපනයේ රාමනාදන් සංගීත විද්‍යාලයේ සංගීත ගුරුවරයකු ලෙස සේවය කරන්න. ඒ කාලේ යාපනේ හරි සාමකාමීයි. මම සේන්දු වූ මුල් කාලයේ එතරම් යාළු මිත්‍රයෝ ගොන්නක් නොසිටි නිසා හැම හවසකම වාගේ යාපනය පුස්තකාලයට ගොඩ වදින්නට පුරුදු වුණා. ඒ පුස්තකාලයේ පොත් දස දහස් ගණනක් තිබුණා. ඒවා ලෝකේ කොහේවත් හොයාගන්නට නැති දුර්ලභ ග්‍රන්ථ. ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ පෞද්ගලික ග්‍රන්ථ එකතුව පරිත්‍යාග කොට තිබුණේ මේ පුස්තකාලයට. භගවත් ගීතාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ ඉතාලියානු ජාතික දේව ධර්ම ආචාර්ය ජුවාන් මස්කාරෝගේ පෞද්ගලික ග්‍රන්ථ එකතුව පරිත්‍යාග කොට තිබුණේත් මේ පුස්තකාලයට. මේ සුවිශාල පුස්තකාලයේ පොත් අතර තිබී මට හමු වුණා හීනි අකුරින් ලියාපු අත්පිටපත් ගොන්නක්. ඒවායේ සටහන් වී තිබුණේ ශාස්ත්‍රීය කර්ණාටක සංගීත තනු සහ ඒවාට අදාල ස්වර ප්‍රස්ථාර.

මං හැමදාම හැන්දෑවට පුස්තකාලයට ගිහින් මේ දුර්ලභ සංගීත රචනා පිටපත් කර ගත්තා. නවාතැනට ඇවිත් ඒවා අභ්‍යාස කළා. ඊළඟ නිවාඩුවට මදුරාසියට ගිහින් මගේ ගුරුවරු ඉදිරියේ මේ ගීත ගායනා කළාම, ඒ මහානර්ඝ සංගීත තනු පිළිබඳව ඒ අය මවිතයට පත්වුණා. මම සංගීත සමාජ විද්‍යාව පිළිබඳව ආචාර්ය මහාචාර්යවරුන් මුණගැසී මේ පිළිබඳව විමසුවත් ඔවුන් කිසිවෙකු මේ අත් පිටපත් වල මූලාශ්‍ර පිළිබඳව දැන සිටියේ නැහැ. මගේ අවුරුදු දෙකක සේවා කාලය තවත් අවුරුදු දෙකකට දීර්ඝ කරගත්තා මේ අත්පිට පත් අධ්‍යයනය හමාර කර ගන්නා අදහසින්. අවුරුදු හතරක් පරිශීලනය කරලත් මට බැරි වුණා මේ අත්පිට පත් ගොන්න කියවා අහවර කරන්න. මං තවත් අවුරුදු දෙකක සේවා දිගුවක් අයදුම් කරලා 1968 වෙනකල් අවුරුදු හයක්ම යාපනයේ ජීවත් වුණා.

මම නැවත මදුරාසියට ඇවිත් මේ තනු ගායනා කළ සෑම අවස්ථාවකම සංගීත ඥානය සහිත ප්‍රේක්ෂකයින් මා හමුවී මගෙන් ප්‍රශ්න කළා, කවමදාකවත් අසා නොතිබුණු මේ තනු කොහෙන් හොයාගත්තද කියලා. ඒ මහානර්ඝ අත්පිටපත් මගේ සංගීත ජීවිතය ඔපමට්ටම් කළා. මම යාපනයේ ගතකළ අවුරුදු හයට පින් සිද්ධ වෙන්නට මේ සුවිශාල කර්ණාටක සංගීත අවකාශයේ විශේෂණයක් වෙන්නට මට හැකි වුණා.

යාපනය පුස්තකාලය ගිනිබත් කළා කියන ආරංචිය ලැබෙන කොට මං හිටියේ මදුරාසියේ මවුන්ට් පාරේ, රාජා අන්නාමලෙයි රංගශාලාවේ. මම ප්‍රසංගයකට සහභාගී වෙන්න ඔන්න මෙන්න. එවේලේ මට දැනුනු කනගාටුව මේ යැයි වචනයෙන් විස්තර කරන්න බැහැ. මේ ආරංචියෙන් මම කම්පාවට පත්වුණා. මම තීරණය කළා එදා ප්‍රසංගයේදී යාපන අත්පිටපත් පරිශීලනයෙන් මා දැන උගත් ගීත පමණක් ගායනා කරනවා කියලා. දෙවැනි ගීතය ගායනා කරනකොට මගේ හෘදය වස්තුව උණු වෙන්න ගත්තා. මගේ පපුව හිර වුණා. මගේ ඇස් වලට කඳුළු ඉනුවා. මට ප්‍රසංගය මැද්දෙ මහා හයියෙන් ඇඬුණා. මං පොඩි ළමයෙක් වාගේ ඇඬුවා. නොනවත්වාම ඇඬුවා.

මගේ කනගාටුවට හේතුව සංනිවේදනය කලාම ප්‍රේක්ෂකාගාරය නිශ්ශබ්ද වුණා. ඒක අප්‍රමාණ ශෝකයෙන් පිරුණු නිහඬතාවක්. සංවිධායකයින් මගෙන් ඉල්ලා සිටියා මේ සිදුවීමට ශෝකය ප්‍රකාශ කිරීමක් ලෙස අපි ප්‍රසංගය නතර කරමු කියලා. ප්‍රේක්ෂකයින් එය තීරණයට එකඟ වුණා. ඉන් පස්සේ මට අවස්ථා ගණනාවකදී ලංකාවෙන් ආරාධනා ලැබුණා ප්‍රසංග සඳහා සහභාගී වෙන්න කියලා. මං ඒ සියළු ආරාධනා ප්‍රතික්ෂේප කළා. මගේ හෘදය වස්තුව ඉඩ දෙන්නේ නැහැ නැවත ලංකාවට පය තියන්න.”

මහාරාජපුරම් සන්තානම් ඒ සිදුවීමෙන් හරියටම වසර දහයක් ගත වුන තැන, 1992 ජුනි මාසය විසි හතර වැනිදා, ප්‍රසංගයකට සහභාගීව නිවසට එන අතරේ හදිසි අනතුරකට ලක් වී මිය ගියා. එතුමන්ගේ ආත්මය සුවපත් වේවා.

වගකීම් රහිතයි: © විෂ්ණු වාසු, 2020. මෙය ප්‍රකාශන හිමිකම් ඇවිරුණු ලියවිල්ලකි. කතුවරයාගේ නිසි අවසරයකින් තොරව උපුටන යොදාගැනීම, සහ/හෝ මුද්‍රිත/නිර්ස්පර්ශ මාධ්‍ය ඔස්සේ නැවත පළකිරීම සපුරා තහනම් වන අතර, එසේ කිරීමෙන් නීතිමය ගැටලු ඇතිවිය හැකිය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment