මම ‘මුළා මංසලේ’

‘ඔබ ළමයෙක් ලෙස මියැදුණොත්, ඔබේ ජීවිතය ඔබ ගත කර ඇත්තේ පූර්ණවද, අර්ධ වද නොඑසේ නම් ශූන්‍යයක් ලෙසද?’

දීපා අනප්පරා ගේ ඉහත කියමන, ‘Djinn Patrol ON THE PURPLE LINE’ නමැති ඇගේ කෘතිය විවරණයට ඇති අනගි ප්‍රවිශ්ටයකි.

එහෙත් මා කියැවුයේ මොහාන් වීමත්, මොහාන් ධර්මරත්න, දීපා අනප්පරා ගේ එම කෘතියේ සිංහල පරිවර්තකයා වීමත්, එම ‘දම් රේඛාව’ තුල මට මුණ ගැහෙන කදිම පරිවර්තනය ගැනත් කෙටු වදන් ටැටූවකි මෙය…

මොහාන් ධර්මරත්න ‘මුළා මංසල’ මඟින් යම් නිශ්චිත වෙනසක් කර ඇතැයිද මා එයට බැඳුනු බවද මුලින්ම නොකියා මඟ අරින්නේ ඇයි?

පරිවර්තනයක, පරිවර්තකයා යනු ඉතා වෙහෙසකර කර්තව්‍යයක නියැළි අතරමැදියාය. කතු වරයාගේ රිද්මය හසු කර ගැනීමත්, එම අකුරු පෙළහර සිය පරිවර්තිත භාෂාවට නිසි ලෙස පදම් කර ගැනීමත්, එම නිමැවුමෙන් අතර මැදි සීමාවන් බිඳ හෙලීමට තරම් උපාය මාර්ගික වීමත් ඇත්තෙන් ම එකම අසීරු පැකේජයකි. ඇතම් විට එම සීමා තරණයෙන් මුල් කෘතියට දියාරු හා අනුචිත ස්වභාවයක් උරුමකර දිමේ වරදකරු වන්නේ ද පරිවර්තකයාය.

දැන් ‘මුළා මංසල’ ට යමු. මට එය හැඟෙන්නේ, කොටස් වශයෙනුත් (ඒ කොටස් පරිඡේද ලෙස හැඳින්විය හැකිද?) ඒ ඒ කොටස් තනිවමත් ගත හැකි කතන්දර මාලාවක පැහැදුල් මූර්තියකි. ඒ අතර සබැඳියාව, නොබිඳෙන, නොපෙනෙන සියුම් හුයකින් ඇමිණු දීපාගේ මැජික් යෂ්ටිය, මොහාන් අතට කෙසේ හෝ ලැබී ඇත.

දිල්ලියේ දම් මෙට්රෝ මාර්ගය හා සමාන්තරව දිවෙන මෙම කතාවට ‘Basti’ නම් යම් මනඃකල්පිත ඉන්දියානු නගරයක මුඩුක්කු වාසින් මඟින් එසැවෙන සේ පසුබිම සුසැදේ. කතාව, යථාර්ථය සම්මුඛ වීමේ කාච පැළැඳි හුරුබුහුටි අණ්වීක්‍ෂයකි.

ඇවැසි නම් ගැඹුරු ගවේෂණයකට ද යා හැක. එතරම් ම ඒ හැම සමරුවක් ම; සුවඳක් ම; රස විඳුමක් ම; වේදනාවක් ම ප්‍රබල සංවේදනා වල සම්මිශ්‍රණයකි. ඔබට ඇත්තේ නිවීසැනසිල්ලේ එය දිග හැරුම පමණි.

අපේ කතා නායකයා ‘ජායි’ ය. ඔහු වෙසෙන මුඩුක්කු නිවාස වලින් ළමුන් අතුරුදන් වේ. ඔහු පොත් ගුල්ලී මිතුරිය පාරී ද, අත්තේවාසික ෆායිස් ද කැටුව රහස් පරීක්ෂණ කටයුතු අරඹයි. එහෙත් ඔබ ඉන්නේ ‘ෆේමස් ෆයිව්’ වලින් ලබා ගත් අනුභූතින් වල නම්, නැහැ එය මුලින් ම ඉවතට දමන්න. ජායිට අවුරුදු නවයයි; පොඩි කොළුවෙක්. එයම නොවේ අරුමය… කතාව, හිත් තැළුම් වලින් ද; කඳුළුවලින් ද ගෙතෙන වීරත්වය අභිබවා යන මානුෂීය අරගලයක් වීමයි.

ජායි, සිය සොයුරිය රූණු ද එම අතුරුදන් වීම් වලට එකතු වූ බව දැන ගැන්ම ම ‍ඛේදවාචකයක්! සිය එකම සොයුරිය ඉන්ද්‍රිය ජාවාරමක ගොදුරක් බවට පත්වීම වැනි ශාපයක් හැර අන් ඛේදාන්තයක් පවුලකට තිබිය හැකි ද?

නමුත් මා මෙය කියවන්නට පවන් ගත්තේ යම් ‘Slumdog millionaire’ වැනි රොමැන්තික බවකින් වීම මා, මා ගැනම සිතහ ඉපද වූ අයිරනියයි. එයට ‘මෙන්ටල්’ ට සෙනෙහසින් දොස් පවරමි.

මේ නගරයේ මෙන්ටල්ලා හුඟක් ඉන්නව. අපි උන්ට බය වෙන්න ඕන නෑ. අපේ දෙවිවරුන්ට අපි කියන යාඥා අහන් ඉන්න තරම් වෙලාවක් නෑ, ඒත් භූතයෝ – උන් බලා ඉන්නවා – රස්තියාදු ගහනවා, රස්තියාදු ගහනවා – බලා ඉන්නවා, ඒ ඇරෙන්න කරන්න වෙන වැඩක් නෑ. උන් හැමතිස්සේ ම අපි කතා කරන දේවල්වලට ඇහුම්කන් දෙනවා, මොකද, උන් කම්මැළිකමේ ඉන්න හින්දා, කාලෙ කන එක විදියක් තමයි ඒ.

මෙම පරිවර්තනයේ ප්‍රණීතතැන් බොහෝය. ඇත්තටම මොහාන්ගේ බස් හැසිරුම් හා ඇසිරුම් හිතට සුවදායී කළාපයක් ලබා දෙයි. මෙන්න මෙතන කියවන්න.

“නගරේ හැම මුල්ලකම දොදොල් වගේ පැතිරිලා ගිය, දිවට අළු රහ දැනෙන ඝන මීදුම් දුමාරය මැදට අපි අඩිය තියනවා. ආයෙත් නාඳුනන අයගෙන් තොරතුරු අහන්න අපට සිද්ධ වෙනවා. කෝච්චි ස්ටේෂම තියෙන්නේ පාරෙන් එහා පැත්තේ කියලා අපට කියන මිනිහෙක්, එතැනට යන්න නම් පොලිස් මුර පොළටයි. ඔටෝරික්ෂෝ නැවතුම් පළටයි එහායින් තියෙන ගුවන් පාලම උඩින් යන්න කියලා උපදෙස් දෙනවා. නරක් වුණ වාතය හුස්ම ගන්න එක වළක්වා ගන්න දාගෙන ඉන්න සුදු පාට මිනී ඔළු ඇඳපු කළු පාට මුහුණු ආචරණය හින්දා, මිනිහාගේ කට හඬ දුෂ්ටයෙකුගේ වගේ ගොරෝසුයි. නගරෙ තියෙන මුහුණු ආවරණත් හයි-ෆයි. කළු බොත්තම් අල්ලපු රෝස පාට ඒවා, කොටු ඉරි තියෙන රතුයි කොළයි ඒවා, කහ පාට හොඹුයි රැඳවුම් පටියි තියෙන සුදු ඒවා. ඒවා ඇඳපු මිනිස්සු පේන්නේ කකුල් දෙකේ යෝධ කෘමි සත්තු වගේ.”

මෙය කීප වතාවක්ම කියවා ඉන් මැවෙන පරිකල්පනයන් තුල උවමනාවෙන්ම අතරමං වූවෙක්මි මම.

ශාන්ති නැන්දගෙ කකුලෙ දාපු නුපුර හෙලවෙනවා අපේ ගෙදර පැත්තට. මං ඇඳෙන් පැනලා බාගෙට වහපු දොර ඉස්සරහ හිට ගන්නවා. එයාට ඇතුළ පේන්නේ නැති වෙන්න.
රූණු අක්කට ගෑනු-අසනීප, මං කියනවා. එයාගේ බඩ රිදෙනවාලු. දවසක් අක්කට බාධා කරන්න එපා කියපු වෙලාවක දි අම්මා තමයි මට එහෙම කිවේ.
‘ඔ-හෝ, නැන්දා කියනවා. කෝ බලන්න.’
‘එයා දැන් නිදි. එයා ක්‍රෝසින් එකක් බිව්වා.’
‘එයාට මොනවහරි ඕන නම්…’
‘එයා ඔයාට කියාවි.’
‘උඹට කම්මැළි ඇති, මෙතනට වෙලා බලාගෙන ඉඳලා.’
‘මං පාඩම් කරනවා.’
ශාන්ති නැන්දගෙ මූණ සැකෙන් කළු පාට වුණාට, එයා යන්න යනවා. එයාගෙ හැන්දෙන් හට්ටියක හැඳි ගානවා ඇහෙනකොටම, මං දොර ඇදලා වහගෙන භූත කඩපොළ පැත්තට දුවනවා.
‘මේ බලපල්ලකො. එයා ඇවිල්ලා, නෝනාවරුනි මහත්වරුනි. භූත කඩ පොළේ මහාරාජා අන්තිමේ දී උන්නාන්සේගේ පැමිණීමෙන් අප ප්‍රීතියට පත්කර තිබේ’ කියලා මාව දැක්ක හැටියෙම දත්තාරාම් කියනවා.

මුළා මංසලේ මා සිත් ගත් චරිතය ‘ජායි’ බව අවිවාදිතය. ඔහු ඒ හැටි කලබල නැති; අනුකූලව හාස්‍ය මතු කරන; බලාපොරොත්තු දල්වන; කතාවේ අඳුරු තද බද ඉහිල් කරවන අයිඩියල් පන්නයේ කතා නායකයාය. සම්ප්‍රදායික ජන කතාවල එන ආරක්ෂණවාදී ආත්මයන් ද, වින කටින භූතයන් ද කතාව අවුළුවන්නේ අධි මාත්‍රාවෙනි. එක අතකට එය නූගත්, මුඩුක්කුවාසින්ගේ ජීවන තානය කැඳවන හද ගැස්මකි.

මොහාන් මිතුරකු බව අමතක කර, ඔහු ස්වතන්ත්‍ර ලේඛකයකු වීම ද ඉවතට දමා, මොහාන් නමැති පරිවර්තකයා උණුසුම් ව පිළිගැනීමට ‘මුළා මංසල’ ඔබට කොළ එළි දල්වයි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment