‘ඔබ මේ පොත හඳුන්වන්නට කැමති මතක සටහන් සංග්‍රහයක් හැටියටද, නැතිනම් ස්වයං චරිතාපදානයක් හැටියටදැයි මා විශ්නු වාසුගෙන් ඇසූ විට ඔහු කීවේ එය නවකතාවක් ලෙස හඳුන්වන බවයි. එහෙත් සත්‍ය සිදුවීම් ගොන්නක් වූ එහි සැබැවින් ජීවත් වූ චරිත ගැන, ඔවුන්ගේ සැබෑ නම්වලින්ම විෂ්ණු එහි ලියා ඇත. එවැන්නකට නවකතාවක් යැයි කීමට ඔහුට ඔහුගේම හේතු ඇතිවා නිසැකය. එහෙත් මට නම් එය අද්වීතීය ඔටෝබයෝග්‍රැපියකි. ගුරු පඬුරු පිදුමකි, බොහිමියානු නිදහස්කාමය වෑහෙන චාරිකා සටහනකි, ලාංකිකයාගේ දූපත් මානසිකත්වය කුඩු සංසාරවන්නට ගැසූ බෝම්බයකි.
සිම්පල් සයිමන් විෂ්ණු තම ඔටෝබයෝග්‍රැපික නවකතාවට දෙන නමයි. ඕනෑම ඔටෝබයෝග්‍රැපියක් වගේ, සිම්පල් සයිමනුත් පටන් ගන්නේ ළමා කාලයෙන්. දශක ගණනක විචිත්‍ර ජීවිතයක ආරම්භයට පෙර, කාලයේ සහ අවකාශයේ ආරම්භක රේඛාව මත පාඨකයාව තියන්න විෂ්ණු පාවිච්චි කරන්නේ හරියටම වාක්‍ය හතරයි.
මං ඉපදුණේ හැට දෙකේ. පේරාදෙනියේ වළේ ‘සිංහබාහු’ බලනකොට මට අටයි. හැත්තෑ එකේ කැරැල්ල ගැන ප්‍රවෘත්ති අහන්න, අපි අල්ලපු ගෙදර රේඩියෝව ළඟ ඇණතියා ගත්තේ, පන්සලේ බණ මඩුවට ගොඩවෙච්ච සැදැහැවත් පිරිසක් වාගේ. ඒක කටකාර අම්මණ්ඩි කෙනෙක් වාගේ විශාල වෑල්ව් රේඩියෝවක්.
උඩරට උපන් විෂ්ණු වාසු මෙතැන අම්මණ්ඩි කියන වචනය යොදාගන්නේ උඩරට ව්‍යවහාරයේ තියෙන ගෞරවාන්විත බවින් යුතුව නෙවෙයි, දකුණේ ව්‍යවහාරයට අනුවයි. ඒ විදියට, විෂ්ණු තමන්ගෙ අනන්‍යතා රාමුව කුඩුකරන වැඩේ පටන් ගන්නේ පළමුවැනි ඡේදයෙන්මයි. අනන්‍යතාව පිලිබඳව මිනිහෙකුට අතහැරගන්න බැරි තරම් තදයැයි සිතා සිටින බැඳීම් එකින් එක කඩා දමමින් යන විෂ්ණුට ඉන්දියාවේදී තම හදවතේ ජීවත්වන පියා හමුවීම සිද්ධිය සැබැවින්ම පුදුමාකාරයි.
වික්කු විනායක්රාම් ගුරුජී යටතේ දින 1000ක ගුරුකුල වාසයක් තුළ ඝටම් වාදනයෙහි ප්‍රවීණයකු වීමට විෂ්ණුට හැකිවෙනවා. සිම්පල් සයිමන් අපට මේවා හෙළිකරන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඒ වගේම ඉන්දියානු සංගීත ප්‍රවීණයන්, ලෝකයේ වෙනත් සංගීත ශානර කෙරෙහි කෙතරම් විවෘත මනසකින් බැලුවාද කියලත් ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රවීණ වයලීන වාදකයකු වන විද්වාන් ලාල්ගුඩි ජයරාමන් මයිකල් ජැක්සන්ගේ Beat It ගීතය රසවිඳි අයුරුත් එය ඔහුගේ ශිෂ්‍යයන්ට ආදර්ශයට ගතයුතු දෙයක් හැටියට පෙන්වාදුන් බවත් පැවසීමෙනුයි.
ජැක්සන් ගායනා කරනකොට ඔහුගේ ආත්මය සංගීතය බවටත්, ඔහුගේ මුළු ශරීරයම රිද්මයක් බවටත් පරිවර්තනය වෙනවා. ඔහුගේ ගායනයත් රිද්මයත් වෙන්කර හඳුනාගන්නට අපහසු වෙන තරමටම ඔහු සංගීතය සමග සංගත වෙනවා. ඒ තමයි නිරන්තරයෙන් සතත අභ්‍යාසයන්ගේ යෙදීමේ ප්‍රතිඵලය.
විෂ්ණු බොහෝ තැන්වල තමන්ට ඇතිවූ සිතිවිලි අව්‍යාජව ලියලා තියෙන බව පේනවා. බොහෝවිට ලේඛකයෝ මෙහෙම ලියන්න බයයි, තමන් ගැන පාඨකයෝ මොනවා නොහිතාවිද කියල හිතලා ඒවා නොලියා ඉන්නවා. ප්‍රසිද්ධියේ හෙලුවෙන් යන්න තියෙන ආසාව මුදුන්පත් කරගන්න ඉන්දියාවෙදි රිෂිකේෂ් ගිය හැටි, ඔස්ට්‍රියාවෙදි සල්ලි ඉතිරි කරගන්න ට්‍රෑම් රථවල හොරෙන් ගිය හැටි ඔහු කියනවා.
හැබැයි රටින් පිටවෙන්න ඉස්සර අන්තිම දවස් තුනේදි සිංහයා වාගේ ටිකට් එක මැසිමට දානවා හැමෝටම පේන්න. මම පල් හොරෙක් අනේ.
විෂ්ණු මෙහෙම ස්වයං විවේචනාත්මකව කියනකොට කාටද ඒ අවංකකම ගැන ආදරය නොහිතෙන්නේ!
සංගීතයට ඇති මහත් ආශාව නිසාම පහත් යැයි සම්මත, මළබෙර වාදක දකුණු ඉන්දියානු කුලයක් ජීවත්ව ගමකට ගිය හැටි විෂ්ණු කියනවා. ඒ වගේම විවිධ කුලවලට වෙන්වූ සංගීතයක් තිබෙන බවත්, විශ්ව සංගීතයේ චමත්කාරජනක උප කොටස් වන ඒ සංගීත සම්ප්‍රදායන් රැකගන්න ඒ කුලවල ජනයා කැපවෙන හැටිත් සිම්පල් සයිමන් දැනගන්නේ ඔහුගේ ඉන්දියානු පවුලේ සාම්ප්‍රදායික හින්දු කුලවාදී රාමුවට හොරෙන් පැනලා ගිහින් ඒ ඒ ජනකොටස් හමුවෙලා ලබාගත් දැනුම ආශ්‍රයෙන්. ගව ඝාතනය තදින්ම ප්‍රතික්ෂේප කරන උසස් හින්දු කුලයක ජනයා තමන්ගේ බෙරවාදන සම්ප්‍රදාය රැකගැනීමට යාමේදී මුහුණදෙන ආචාරධාර්මික ගැටලුව ගැන ඔහු කියද්දී පාඨකයාට එය කියවන්න සිදුවෙන්නේ දුක්වෙන්නද, නැතිනම් හිනාවෙන්නද කියා සිතාගන්නට බැරිවයි: ගව ඝාතනය නොකරනවානම් බෙරය හදන්න හම් කොහෙන් හොයන්නද!
සිම්පල් සයිමන්ට රස්තියාදු ගහන්න තියෙනවානම් ඒ මොන විදියෙන්ද කියන එක වැඩක් නෑ. ගුරුජී රටවල් ගානේ ප්‍රසංගවලට සහභාගි වෙන්න යෑම ඔහු දකින්නේ ඒ විදියටයි. මගේ මංගල වාදන ප්‍රසංගයෙන් අනතුරුව, මමත් දිදුලන තරුවක් වාගේ ඝටම් වාදකයෙක් ලෙසට රූපාන්තරණය වූ දවසක, ගුරුජී වාගේ රස්තියාදුවේ යන්නයි කල්පනාව කියලා සිම්පල් සයිමන් හිතනවා. ඔහොම හිතමින් ඉන්න අතරවාරේ ඔස්ට්‍රියාවේ සංගීත සම්මන්ත්‍රණයකට යන්න සූදානම් වෙන්න කියලා ගුරුජීගෙන් දැනුම්දිමක් ලැබුණාම තමන්ගෙ හිතේ ඇතිවුණු ප්‍රීතිය ඔහු ප්‍රකාශ කරන්නෙ මෙහෙමයි:
දිදුලන තරුවක් වෙන්නත් ඉස්සරම මෙවැනි අවස්ථාවක් උදා වුණා නම් දිදුලන්න ගත්තම කොහොම හිටීද කියලා අප්‍රමාණ සන්තෝෂයකින් මගේ හිත පිරුණා. පිරිලා ඉතිරිලා දෝරේ ගලලා ට්‍රිප්ලිකේන් පාරවලුත් යටවුණා. ඇත්තමයි.
එක පැත්තකින් තරුවක් වෙන්න තිබුණ තදියමයි, තවත් පැත්තකින් ‘ගුරුජීට කරන්න හොඳනම් අපි කළාම මොකෝ’ වගේ හැඟිමකුයි හින්දා, ජෝන් මැක්ලෝෆලින් එක්ක වික්කු විනායක්රාම් (ගුරුජී) ඇතුළු පිරිසක් එකතුවෙලා 1974දි හදාපු ශක්ති සංගීත කණ්ඩායමට සමාන එකක සාමාජිකයෙක් වෙන්න සිම්පල් සයිමන්ටත් ඕන වුණා. සිම්පල් සයිමන්ගේ ගුරුවරයා තරුණ කාලේ බටහිර-පෙරදිග සංකලනයක් වූ Fusion Band එකක සාමාජිකයකු වීම සිම්පල් සයිමන්ගේ පුළුල් ලෝක දෘෂ්ටිය සකස් වෙන්න අනිවාර්යයෙන්ම බලපාන්න ඇති.
විෂ්ණුට මුලින්ම සාරි ඇඳපු පිරිමි මුණගැහෙන්නේ ඉන්දියාවෙදි වෙන්න ඕන. හිජ්රාවන් ගැන, ඒ කියන්නේ ඉන්දියාවේ සංක්‍රාන්ති ලිංගිකයන් ගැන සිම්පල් සයිමන් නවකතාවේ පරිච්ඡේද හතරකම බොහොම සවිස්තරාත්මකව ඔහු කතා කරනවා. මේක ලංකාවේ දූපත්වාසී මනසට මහා ලොකු සිද්ධියක් වුණාට මොකද ලෝකය පුරා ජීවත්වන සාරි, ගවුම් වගේ ස්ත්‍රී ඇඳුම් අඳින ස්ත්‍රීමය පුරුෂයන් ගැන පොත් පවා ලියැවී තියෙනවා. Susan Aldous සහ Pornchai Sereemongkonpol එක්ව 2008දී ලියූ ‘Lady Boys: The Secret World of Thailand’s Third Gender’ කියන පොත ඒ වගේ එකක්. සිම්පල් සයිමන්ගේ මේ සවිස්තරාත්මක හිජ්රා අත්දැකීම් පස්සෙ කාලෙක ඔහුට ලංකාවේ අත්දැකීම් ඇසුරෙන් සාරි ඇඳපු පිරිමි නවකතාව ලියන්න පොළඹවන්න ඇති. සිම්පල් සයිමන් පොතේ එක් පරිච්ඡේදයක නම, වෙනම නවකතාවක් බවට පත් වෙන්නේ එහෙමයි. ඒක ගැන වෙනම කතා කරන්න ඕන.
‘මේ මගේ රස්තියාදු මතක සංචිතයයි. ඔබත් මේ සත්ප්‍රසාදයෙන් ගෙන පානය කරන්න’ කියලයි විෂ්ණුගේ මේ රහම රහ ජීවන අත්දැකීම් ටික කියන්න ඔහු පටන් ගන්නේ. ‘මට ඕනේ බස් එකේ යනකොට, උණ හෙම්බිරිස්සාව හැදිලා නිවාස අඩස්සියේ ඉන්නකොට, මූණත් එක්කලා තරහ වෙලා නහය කපාගන්න හිතෙනකොට කියවන්න කථා ලියන්න,’ කියලා විෂ්ණු කියනවා. ඒකට ඔහු ළඟදි කයිවාරුවක් ගහන අතරේ තවත් එකක් එකතු කළා: මට ඕනේ කිසිම විචාරකයෙකුට විචාරය කරන්න බැරි කතාවක් ලියන්න.
මං හිතනවා, ඔහු ඒක තවම ලියලා නැහැ. හැබැයි ළඟදිම ලියන්න ඉඩ තියෙනවා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
