සිය ජීවිතයේ නිමග්න වූ හැම ක්ෂේත්‍රයකම ඔහු පරමාදර්ශි ලෙස සිය වගකීම් ඉටු කළේය අද අප ජීවත් වන්නේ පරමාදර්ශ විරල සමාජයකය. උදාර පරමාර්ථ, උදර පරමාර්ථයට යටවේ. මිනිසා වෙනුවට ඉතුරුව තිඛෙන්නේ මිනිස් සෙවැණැලිය. බැලු බැලූ අත රජයන්නේ අන්ධකාරයයි. අවිද්‍යාවයි. අවරසිකත්වයයි. මෝහයයි. අන්ධකාරයෙන් ආලෝකය සොයා යාමටත් අවිද්‍යාවෙන් විද්‍යාව මතු කර ගැනීමටත් අවරසිකත්වයයෙන් රසිකත්වය පාදා ගැනීමටත්, මෝහයෙන් ප්‍රඥ්‍යාව කරා ගමන් කිරීමටත් තවමත් මානව සාමාජයට ආලෝක ධාරා මුදාහරින අප හැර දමා ගිය චරිත පිළිබඳ ආවර්ජනයක යෙදීමෙන් උත්තේජනයක් ජනිත වෙයි.
(මහාචාර්ය ජයන්ත අමරසිංහ, 2020 ජනවාරි 26 වැනි ඉරිදා)
සිඑමිණ පුවත් පතේ ‘සැමරුම් කිත් රැස’ තීරු ලිපියේ මහාචාර්ය ජයන්ත අමරසිංහයන් එලෙස සැමරුමක් එක්කරනු ලැබුවේ ප්‍රවීණ පුවත්පත් කතුවර එමෙන් ම කීර්තිධර සාහිත්‍යවේදී දයාසේන ගුණසිංහ වෙනුවෙනි.
1974 දී පළවූ ‘රන් තැටියක කඳුළු’ දයාසේන ගුණසිංහගේ කුළුඳුල් නිර්මාණ ප්‍රයත්නයයි. එම වසරේ හොඳම පද්‍ය කෘතිය ලෙස ‘රන් තැටියක කඳුළු’ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබීම සුවිශේෂි සිදුවීමකි. කෘතියේ හරවත්භාවයට විද්වත් පැසසුම් ලැබීමද ඔහුගේ කවීත්වයට ලැබුනු අවසෙස් සම්මාන බඳුය.
එහෙත් සිංහල පද්‍යය ඊට වඩා වෙනස් මගක ගමන් ගත්තේය. මෑතදී හොඳ කවි පොත් කීපයක්ම පළ විය. විශේෂයෙන්ම දයාසේන ගුණසිංහ ලියූ ‘රන් තැටියක කඳුළු’ හරවත් කෘතියකි.
(මාර්ටින් වික්‍රමසිංහ – දිනමිණ 1974.5.29)
දයාසේන ගුණසිංහගේ ‘රන් තැටියක කඳුළු’ නමැති මෙම කාව්‍ය සංග්‍රහය කවි බස අතින් ලද විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකීමට මම කැමැත්තෙමි. ඔහු මේ අතින් පියවර කීපයක්ම ඉදිරියට ගොස් ඇත. මෙය අපගේ නොමඳ අවධානයට යොමු විය යුත්තකි. කුකවි පදරුත් ඔස්සේ අප ගෙන ගොස් මඬිනු වෙනුවට භාව පූර්ණ ව්‍යංගාර්ථයෙන් සැදි යානයක් මගින් චමත්කාර ලෝක යකට අප කැඳවාගෙන යාමට ඔහු සමන් වී ඇති බවට ඉහතින් දැක් වූ නිදසුන් ප්‍රමාණවත් වේ. මේ යානය සඳහා අර්ථ ධ්වනිය මෙන්ම ශබද ධ්වනිය ද කවියා උපයෝගි කර ගන්නා සැටි අපට පෙනී යා යුතුය. ගුණසිංහ තමන්ට අවශ්‍ය ශබ්ද ධ්වනිය ළං කර ගන්නේ සිංහල කවි බසට උරුම සඳැස නොහොත් විරිත රැකීමෙනි.
(ගුණදාස අමරසේකර – දිනමිණ 1974.3.19)
‘රන් තැටියක කඳුළු’ is a very interesting collection. I count two or three poems contained in it as the best among the best written in recent times… His is a delicately precise language. He has succeeded as few other contemporary poets have in creating a language medium vibrant with rich metaphor.
Prof. Wimal Dissanayake-East West Centre, Hawaii
Ceylon Daily News-3.5.1974
දයාසේන ගුණසිංහ කවි වරම් ලබන්නේ 1974 වර්ෂයේ දී ‘රන් තැටියක කඳුළු’ කාව්‍ය සංග්‍රහය එළි දක්වමිනි. එය එම වසරෙහි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනාගත් කාව්‍ය කෘතිය විය. ඔහු නිදහස් කවියේ ද්විතීය තරංගය නියෝජනය කරන කවියෙකි. දයාසේනයන් සිය කාව්‍ය නිර්මාණ තුළින් සමාජ – පුද්ගල සබඳතා පිළිබඳ අර්ථකථන නවමු ඉසව්වලට ගෙනයාමට සමත්විණි. කුමාරතුංගයන් පැවසූ ලෙස ‘හද පබඳ හා පද පබඳ’ යන්න නිවැරදි මානයකට යොමු කළ දයාසේනයන් ඉන් පාඨකයාට ලබා දුන්නේ අපූර්ව වින්දනයකි. කලා කෘතියක් ලෙස කවිය විසම විශ්වයක් (heterocosm) වන බැව් පැවසේ. එමෙන්ම සමකාලීන කවිය පිළිබඳ විද්වතකු වන බ්‍රයන් මැක්හේල් පැවසූ බහු විධ සත්භාවී ස්වභාවය දයාසේනයන් ගේ කාව්‍ය වල නිරූපිතය.
ඔහුගේ ගැඹුරු වාග් ව්‍යවහාරය, දැඩි ශික්ෂණයකින් මෙන්ම ඒ පිළිබඳ ඇති විසල් කැපවීමක ප්‍රතිඵලයක් වන අතර 1981 දී රචිත ‘නොවඳිම් සිදුහත්’ කාව්‍ය සංග්‍රහය වඩා ගැඹුරු සාකච්ඡාවකට බඳුන් විය.
ඇත්තෙන්ම ඔහුගේ කාව්‍යාගමනය සිදුවන්නේ යම් යම් අර්බුද පැවැතී වකවානුවකදීය. ඉතා සීඝ්‍රයෙන් වෙනස් වන දෛනිකත්වය පිළිබඳ සීමා නොවූ අනුභූතින්වල ඇසුර ලබමින් කලාත්මක සන්නිවේදනයකට නිර්මාණ යොමු කිරීම දයාසේන ගුණසිංහගේ විස්කමක් විය.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බිහි වූ ද්වි භාෂාවෙහි ම පරිණත බුද්ධිමතෙකු වීම ද සුවිශේෂි ය.
දයාසේන ගුණසිංහ සිය කාව්‍ය රචනයන් තුළින් සමාජ යථාර්ථයන් විනිවිද දුටුවෙකි. ඒ ඇසුරෙන් සමාජයේ යම් ප්‍රගමණයක් සිදුකිරීමට දායක වූ වෙකි. ඔහු සිය ‘රන් තැටියක කඳුළු’ යන ප්‍රථම කාව්‍ය සංග්‍රහයෙන් ධ්වනිත කරන්නේ විසිතුරු දුහුල් පටල අතර රැඳුණු සැබෑ මිනිසුන් හා ගැහැනුන්ගේ ජීවිතවල යථා ස්භාවයයි. එඩ්වින් ආරියදාසයන් ඔහු පිළිබඳව ‘රන් තැටියක කඳුළු’ කෘතියේ සිය පෙරවදනෙහි මෙසේ පවසයි.
ගුණසිංහයන්ගේ කවි එම අන්ත වලින් බැහැර ය. බුද්ධි ගෝචරවන පද ව්‍යවහාරයෙන් හා රූපක යෝජනයෙන් ඔහු භාව වේග බාහුල්‍ය පිළිබඳ අන්තයට යාමෙන් වළකියි. හදවත ඉකි බිඳවන වේදනා සිය කවියට නඟා ලීමෙන් ඔහු අනික් අන්තයෙන් ඈත් වන්නේ ය. ඔහුගේ පද්‍යයන්හි බුද්ධිය හා භාව වේග එකිනෙක නිසි පරිදි සසැඳෙති.
(ගුණසිංහ;1974:3)
ඇත්තෙන්ම දයාසේන ගුණසිංහගේ එම මුල්ම කාව්‍ය සංග්‍රහය ඇතුළුව අනෙකුත් නිර්මාණ ප්‍රකාශනයන් බහුතර ප්‍රසාදය හිමිකර ගත්තේය. සඳැස්, නිසඳැස් දෙ අයුරින්ම කාව්‍යකරණයට ඇති සහජ, මහඟු කුසලතාව සැලකිල්ලෙන් හසුරුවමින් පවතින සමාජ ක්‍රමය පිළිබඳ යථාර්ථරූපී සංකල්පයක් ඉදිරිපත් කළ ඔහු පෙරගමන් කරුවෙකි.
ඔහු පුවත්පත් කලාවේදියෙකු, කවියෙකු, කෙටි කතා කරුවෙකු මෙන්ම පරිවර්තකයෙකු ලෙස ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් කළේය. කවියා නූතනත්වය සමඟ අත්වැල් බැඳගත යුතුයි. විශේෂයෙන්ම කවියෙකුගේ නිර්මාණශීලීභාවය තුළ ඇති වෙනස නම් ඔහු හෝ ඇය විමසන දෙය නොව එය පවසන ආකාරය වේ. නූතනත්වය (modernism) කවියෙකුගේ කවීත්වය දල්වන්නට ඇවැසි තරම් කලමණා, අමුද්‍රව්‍ය ඇති අවකාශයකි. විශේෂයෙන් වත්මනේ අප ජීවත් වන්නේ සංත්‍රාසනික සංස්කෘතියක (panic culture) වීම නිසා ඇතැම් විට කවියෙකුට නිසි කල් පිරි එළැඹෙන රූපාන්තරණයකට වේලාව මදිවන්නටත් පුළුවන්ය. එතරම් අද කාලය වේගවත්ය, සිදුවීම් බහුලය, විවිධත්වයන් අනූනය. අජිත් තිලකසේනයන් වරක් සඳහන් කළ අයුරින් මුද්‍රිත වචනවල දෘෂ්‍ය ශක්තිය ඉතා වැදගත්ය.
කවියාගේ හද බස සමඟ පාඨකයාගේ හදවත එක්ව කම්පනය වේ නම් එය පරිසමාප්තියට පත් නිර්මාණයකි. නූතන කවියන්ගෙන් එම සහකම්පනය ඇති කිරීමට පුරෝගාමී වූ අරටුවක් බඳු කවියෙකි දයාසේන ගුණසිංහ.
රන් තැටියක කඳුළු
ඔහුගේ ස්ත්‍රීත්වය නිරූපණය කරන කාව්‍යන් අතර සැබෑ ජීවිත අත්දැකීමක් ඇසුරෙන් ලියූ ‘රන් තැටියක කඳුළු‘ කෙනෙකුගේ හෘද ස්ඵන්දනයටම ආසන්න ලෙස ගැගෙන්නක් වීම අපූරු කරුණකි. එය විරල හා ප්‍රබල අනුභූතියක හද පසාරු කරවන ප්‍රභල කම්පනයකි. සිය කුළුඳුල් දියණිය, බිරිඳ ගේ කුස තුළදීම මියගොස් දෝතට වඩන්නට වූයේ අජීවි සිරුරක් බවත් ඇය මිහිදන් කරන්නට තනිවම යාමත් යන කරුණු ද්වය අතර පෑරුණු සංවේදි වපසරියක් කවියක් නිර්මාණයට ගැනීම ද හද රිදවා ගනිමින් කරන අසීරු වෑයමකි.
මා පමණි ඔබ කැටුවාවේ
මම ද යමි දියණියනි
ඔහු අරඹන්නේ එලෙසිනි.
මරණය, පියා සහ දියණිය අතර ප්‍රබල විය හැකිව තිබූ බැඳීම ඇතිවන්නත් පෙර සඟවා දැමුවද ඉන් ධ්වනිත වූ ශෝකය ගුණසිංහයන් ද මිය යන තෙක් දරන්නට ඇත.
‘කෙසේ වෙතත් තාත්තා විසින් අප හැම දෙනාටමත් වඩා අමරණීය කර ඇත්තේ මවගේ ඇකයෙහි පහස නොදැනම මරුතුරුලට ගිය මගේ වැඩිමහල් සොයුරිය යැයි මට සිතේ. ‘මා පමණි ඔබ කැටි ව ආවේ මම ද යමි දියණියනි, මොහොතකින් සඳ ඒවි තනියට, රන් තැටිය පුරවා කඳුළින්‘ යැයි තාත්තා ලිවේ ඇය ගැනයි. ඇය කිරි ගරුඬ කොත් අතර සැතපී වසර 30 කට ආසන්න කාලයක් ගතව ඇති අද පමණක් නොව තව බොහෝ කාලයක් ගත වන තුරු ද අනේක සංඛ්‍යාවක් ඇය වෙනුවෙන් කඳුළු හෙළනවා ඇත. (සිරිවර්ධන;2019:පි.621)
මෙම කාව්‍යයේ ‘රන් තැටිය‘ මගින් සංකේත වත් කරනුයේ ප්‍රබල අරුතකි. එය කිරි පැණි පුරවාලූ ජීවියෙකුට ජීවයක් දෙන්නට පැමිණෙන්නක් නොවේ. අජීවි යමක් වෙනුවෙන් වැළපෙන රූපකයකි.
ඩබ්. ඒ. අබේසිංහ මේ නිර්මාණයේ මුල්ම විචාරකයාය. ඔහු සඳහන් කරන්නේ සිංහල හෝ අන් බසකින් ප්‍රකාශිත කවි අතර මෙබඳු නිර්මාණයක් බිහිවී නැති බවය.
Bells for John Whiteside’s Daughter නම් John Crowe Ransom ගේ කාව්‍ය ද සිඟිත්තියක ගේ අකල් වියෝවක් ගැන වුවද, අනුභූතිය අතින් එතරම් සමානත්වයක් නොගත්ත ද මරණයේ ඇති අනපේක්ෂිත බව ඒ කාව්‍යයෙන් ද ඇඟවේ.
Bells for John Whitesides’s Daughter – John Crowe Ransom
In one house we are sternly stopped
To say we are vexed at her
Lying so primly proppedඅප නවතින්නෙමු තිරව එක් නිවසක,
ඇගේ දැඩි නිහඬත්වයෙන්,
වැතිර සිටින කළ,
අප විශ්මයට පත් වූ බව කියන්නට.
පෙර අපර දිග මේ කාව්‍යයන් දෙක තුළනාත්මකව නොබැලූවද Elegy (මරණයක් උදෙසා වැළපෙන) යන කාව්‍ය සම්ප්‍රදායට අයත් වන රැන්සම් ගේ කවියත්, ගුණසිංහයන් ගේ කවියත් අකල් මරණයෙන් කම්පිත හදවත් වල උතුරන සොව යම් උපේක්ෂා සහගත දයාවක පෙඟී ඇති බවයි.
සෙමෙන් තව සෙමෙන්
පස් පිඬැලි පෙරළන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති
‘මාපිය දෙදෙනාගේ ඒකායන ප්‍රාර්ථනය වූ දරු සිහිනය තිඹිරි ගෙයි දීම මිය යයි. මව සිහි විසඥව පසු වෙයි. ප්‍රාර්ථනා කළ දාරක ස්නේහය විප්‍රයෝගය බවට පෙරලී ගොසිනි. මේ සියල්ල හමුවේ පියාගේ හද මනස වෙලාගත් ශෝකය, වියෝ දුක, අසරණ බව කවියා සහෘදය මුවට පමුණුවයි.‘ (ජයන්ත අමරසිංහ-සිව්දෙස-1997-ඔක්තෝබර්)
දස එකඩ මසක් රැකි
සෙනෙහසේ නිදානය
වෙස් මුහුණු තුළට වූ බහිරයින්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඩු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොණක
ගොළු වෙමින් අසරණව
මෙම කව් පද පෙළ ඉතා සංවේදි වන්නේ ස්ත්‍රීත්වය ගැන යම් අරුතක් එක් කරමිනි. මවක් වීම මානව ඉතිහාසය සිටම තෝරාගැනීමක් හෝ අහඹුවකි. කෙසේ හෝ කුස හොත් දරුවා යනු සිය ජීවයට තවත් ප්‍රාණයක් මත යැපෙන්නෙකි. බොහෝ මව් වරු සිය ගැබ රකින්නේ තමන්ගේ ප්‍රාණය පවා දෙවැනි කොට සිතමිනි.
මියැදුනු සිඟිත්තිය ගැන නොදත් බිරියට කවියා දයානුකම්පිතව අමතයි. මෙය සදාකාලික වේදනාවක් බවටද, කවියාගේ අනුභූතිය හා පාඨකයා ගේ පරිකල්පනය එක් රේඛාවක හමු වී නැගෙන ප්‍රබල කාව්‍යානන්දනයක් බවට ද මෙය පත්වේ.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
