“නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන පැටලිලි සහගත මාවත් වගේ” – මොහාන් ධර්මරත්න

අද අපේ කතා බහට එකතු වන්නේ කතුවරයකු මෙන්ම පරිවර්තකයකු වන මොහාන් ධර්මරත්න. ඔහුගේ ස්වතන්ත්‍ර කෘති තුනක් සහ පරිවර්තන කෘති හතරක් මේ වන විට පාඨකයන් අතරට ගොස් තිබෙනවා. මැදපෙරදිග වැඩබිම් සාහිත්‍ය කෘතියක් වන කැකෑරෙන වැලි ඔහුගේ එක් ස්වතන්ත්‍ර නිර්මාණයක්. අද අපේ සාකච්ඡාව ඔහුගේ අළුත්ම පරිවර්තනවලින් එකක් වන මුළා මංසල පිළිබඳවයි.

Q: අපි දන්නා පරිදි දීපා අනප්පරාගේ පොතක් සිංහල භාෂාවට පරිවර්තනය වෙන්නේ පළමු වරට. ඇයි ඔබේ පළමු නවකතා පරිවර්තනය ලෙස දීපා අනප්පරාගේ Djinn Patrol on the Purple Line කෘතියම තෝරාගත්තේ? එහි ඔබ දකින විශේෂතා මොනවාද?

A: ඇත්ත වශයෙන්ම මගේ පළමු පරිවර්තිත නවකතාව වෙන්නේ ආතර් මේසන්ගේ Wide Seas and Many Lands. එය ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අත් පිටපත් තරගයෙන් තේරිලා 2018 දී ‘දසදිග සැරිය’ නමින් ප්‍රකාශයට පත්වෙනවා. ඉන් අවුරුදු කීපයකට පස්සේ රුසියානු ලේඛකයන් දෙපළක් වන ඩී. එන්. ට්‍රිෆොනොව් සහ වී. ඩී. ට්‍රිෆොනොව් ලියපු Chemical Elements – How They Were Discovered කෘතිය ‘මිනිසා මූලද්‍රව්‍ය සොයාගත් හැටි’ නමින් මා පරිවර්තනය කරනවා. ‘මුළා මංසල’ නමින් කළ දීපා අනප්පරාගේ Djinn Patrol on the Purple Line මගේ තුන්වැනි පරිවර්තනය කියා කියන්න පුළුවන්.

දීපාගේ පොතක් මුල් වරටයි සිංහලට පරිවර්තනය වෙන්නෙ. මම දීපාගේ මේ කෘතියම තෝරාගත්තේ ඇයි කියන ඔබේ ප්‍රශ්නයට උත්තරය නම්, මේ තමයි දීපාගේ මුල්ම නවකතාව. ඇය මේ කුළුදුල් නවකතාව වෙනුවෙන් අන්තර්ජාතික සම්මානයක් දිනාගෙන තවත් සම්මාන ගණනාවකට නිර්දේශ වෙන්න පවා සමත් වුණා. සුභාවි ප්‍රකාශන ආයතනයේ නිශාන්ත පරණගම මහතා මට මේ නවකතාව කියවලා බලන්න කියලා දුන් වෙලාවේ, පිටු කීපයක් විතරක් කියවීමෙන් පස්සෙ මට තේරුණා දීපා අනප්පරා මේ නවකතාව කරලා තියෙන්නෙ අපි මෙතෙක් කල් සිංහලෙන් නොකියවූ අමුතුම ආඛ්‍යානික රටාවකින් බව. වැඩිහිටියන්ගේ ලෝකය කුඩා කොලුවකුට පෙනෙන හැටි තමයි මේ නවකතාවෙ තියෙන්නේ. වැඩිහිටියා වැඩිහිටි ලෝකය දිහා බලන්නේ රාමුවකට කොටුවෙලා, ඒත් ළමයෙකුට එහෙම රාමු හැදිලා නැහැ. ඔවුන්ට වැඩිහිටි ලෝකය ගැන තියෙන්නෙ වෙනම, නැවුම් අර්ථදැක්වීමක්. හුඟක් වෙලාවට වැඩිහිටියෝ හිතනවා තමන් කරන දේ ළමයින්ට තේරුම්ගන්න බෑ කියල. ළමයි තමුන් තරම් දන්නෙ නෑ කියලත් හිතනවා. ඒවා කොයිතරම් වැරදිද කියල දීපා අනප්පරා පෙන්නලා දෙන්නෙ අරිම අපූරු විදියට. මට ලැබුණ ඒ අපූර්ව අත්දැකීම හැමෝටම දෙන්න, දෙවරක් නොසිතා එය පරිවර්තනය කළා.

Q: ජින් පැට්රෝල් යන්න පදගත අරුතට ගත් විට එය භූත සංචාර හෝ පිශාච සංචාර වගේ අදහසක් දෙන්නක්. එසේ තිබියදී එය ලංකාවේ සිංහල පාඨකයන් වෙත රැගෙන එද්දී ඔබ එයට මුළා මංසල ලෙස නම තබන්නේ ඇයි?

A: මුල් ඉංග්‍රීසි කෘතියේ නමම පරිවර්තනය කළොත්, ‘දම්පාට දුම්රිය මාර්ගයේ භූත (හෝ පිශාච) සංචාරය’ වගේ එකක් තමයි ලැබෙන්නෙ. Purple Line කියන්නෙ ඉන්දියාවේ තියෙන, වර්ණ කීපයක නම්වලින් හඳුන්වන මෙට්රෝ දුම්රිය මාර්ග කිහිපයෙන් එකක්. ඒක ලංකාවේ පාඨකයාට ගෝචර මදි. ඒ නිසා මුල් නම අතහැර දමලා අලුතින්ම නමක් හොයන්න වුණා.

මේ නවකතාවේ මුඛ්‍ය කථා ශරීරය තුළ දැක්වෙන ළමුන් අතුරුදහන්වීම සිද්ධවෙන පාළු තැනක් රහස් පරීක්ෂක භූමිකාවක ඉන්න ළමුන් තුන්දෙනෙකු විසින් සොයාගනු ලබනවා. මේ අතුරුදහන්වීම් යක්ෂ, භූත, හෝ පිශාච බලවේගයක් විසින් සිදුකරන බවට ඔවුන් තුළ සැකයක් තියෙන නිසා, ඔවුන් මේ ස්ථානයට උර්දු භාෂාවෙන් ‘යක්ෂ තිප්පොළ’ කියන තේරුම ඇති ෂෙයිතානි-අඩ්ඩා කියා නමක් තබනවා. ඉතින්, මගේ හිතට මුලින්ම ආවේ ‘යක්ෂ තිප්පොළ’ කියන නම. මොකද, ඒක මුළු නවකතාව පුරාම මතුකරන අද්භූතබව එක්ක හොඳින් ගැළපෙන නිසා. ඒත් මගේ ඉතා කුළුපග මිතුරන් කිහිපදෙනෙකු ඒ නමට අකැමැති වුණා. ඔවුනුත් විවිධ නම් යෝජනා කළා. අවසානයේදී මිතුරන් දෙදෙනෙකු ඉදිරිපත් කළ නම් දෙකක මුල් කොටසත් අග කොටසත් එකතු කරගෙන තමයි ‘මුළා මංසල’ කියන නම සකස් කළේ.

නවකතාව පුරාම විහිදී යන මනුෂ්‍යයාගේ මුළාව, පැල්පත් ජනාවාසයක් ඇතුළේ තියෙන අගක් මුළක් හිතාගන්න බැරි තරම් පැටලිලි සහගත මාවත් වගේ නොවේද කියන අර්ථයෙන් ‘මුළා මංසල’ මේ කෘතියට වඩාත් ගැළපෙනවා කියා මා හිතනවා.

Q: Djinn Patrol on the Purple Line කියවද්දි පාඨකයෙකුට දැනෙන රූපකාර්ථ බාහුල්‍යය මුළා මංසලේදිත් ඒ විදියටම දැනෙයි කියලා ඔබ හිතනවද?

A: දීපා ඇගේ කෘතියේ යොදාගන්නේ ඉන්දියානු සමාජයට හොඳින් තේරෙන රූපක. උදාහරණයක් විදියට ඈ නවකතාව පුරාම විවිධාර්ථ දීම සඳහා බහුලව පාවිච්චි කරන වචනයක් තමයි smog, එහෙම නැතිනම් මා පරිවර්තනයේදී යොදාගත් ‘ඝන මීදුම් දුමාරය’. මේක උග්‍ර පරිසර දූෂණය නිසා ඇතිවන විකෘති කාලගුණ තත්වයක් කර්මාන්තශාලා, රථවාහන, ගිනිගැනීම් ආදියෙන් වායුගෝලයට නිකුත්වන කාබන් අංශු වගේම තවත් අධික විෂ සහිත රසායන ද්‍රව්‍ය මීදුම සහිත කාලගුණයකදී අර මීදුමේ තියෙන කුඩා ජල බිඳිති උඩ තැන්පත් වෙලා විෂ සහිත ඝන අඳුරු පැහැති දුමාරයක් හටගන්නවා. ස්මොග් කියන්නේ ඒකට. පරිසරය දූෂණය වුණ ඇතැම් බටහිර රටවලත් ස්මොග් දකින්න පුළුවන්. දීපා මේ ස්මොග් එක, නැතිනම් ඝන මිදුම් දුමාරය පරිසරයේ දූෂිතබව වගේම මිනිසුන්ගේ මෝඩකම, නූගත්කම, වංචනික ස්වභාවය ආදිය මතුකරන්නත් පාවිච්චි කරනවා. ලංකාවේ පාඨකයන්ට ඝන මීදුම් දුමාරයක සැබෑ අත්දැකීම නැති වුණත්, දුමාරය හෝ ඝන මීදුම යන වචනවල අර්ථ වැටහෙන නිසා පරිවර්තනයේදී ඒ ඒ අවස්ථාවල දී ඉන් මතුකෙරෙන රූපකාර්ථ වටහාගන්න බාධාවක් නැති බවයි මා විශ්වාස කරන්නේ.

ඒ වගේම djinn කියන වචනයත් හින්දුන්ගේ සහ අරාබීන්ගේ විශ්වාසයන්ගෙන් සම්භවය වුණ පිශාචයා, භූතයා වගේ මිථ්‍යාමය ආත්ම විශේෂයක්‍. හින්දුන් ‘ජින’ යනුවෙන් හඳුන්වන්නේ ලෝකෝත්තර ආත්ම. අරාබි නිසොල්ලාසයේ එන ඇලඩින් සහ පුදුම පහන කථාන්තරයේ ඇලඩින්ගේ උදව්වට එන පහනේ භූතයා ‘ජින්’ කෙනෙකු හැටියටයි හැඳින්වෙන්නේ. මොවුන් මතුවන්නේ දුමාරයකින් බවක් බොහෝවිට කියැවෙනවා. මුළා මංසලේ ඉන්න මෙන්ටල්, හන්දියේ රැජින ආදී භූතාත්ම කරදරේ වැටුණ අසරණයන්ට උදව් කරනවා. ඒ වගේම පෞරාණික භූත මාලිගයට මිනිස්සු යන්නෙත් පිහිටක් ඉල්ලාගෙන. ආගම්වලින් මිනිස්සු සූරාකනවා, එකිනෙකා කොටවනවා, ඒ නිසා මිනිස්සු භූතයන්ට කිට්ටු වෙනවා. ඝන මීදුම් දුමාරයෙන් ඇස් වැහුණ මිනිස්සුන්ගේ පිහිටට දෙවි දේවතාවුන් එන්නේ නැතිවෙනකොට දුමාරයෙන්ම මතුවුණ රස්තියාදුකාර භූතයෙක් තමයි ඔවුන්ට පිහිට වෙන්නෙ. ඒ උදව් වෙනුවෙන් පෙරළා භූතයන් ඉල්ලන්නේ ඉතා සුළු දෙයක් පමණයි, ආගම් වගේ ඔවුන්ව සූරාකන්නේ නෑ. මේ වගේ භූතයන් ලංකාවේ සංස්කෘතියේ නැති වුණත්, සංකල්පයක් හැටියට එය තිබෙන නිසා සහ අරාබි නිසොල්ලාසය වගේ කථාන්තරවලට හුරු පුරුදු බවක් තිබෙන නිසා සිංහල පාඨකයාට එය අවබෝධ කරගන්න අපහසුවක් නැති වේවි කියා මා හිතනවා.

Q: ප්‍රබන්ධමය නොවන කෘතියක් පරිවර්තනය සහ ප්‍රබන්ධමය සාහිත්‍ය කෘතියක් පරිවර්තනය පිළිබඳ වෙනස ගැන යම් අදහස් දැක්විමක් කළොත්?

A: ප්‍රබන්ධමය නොවන කෘතියක්, බොහෝවිට විෂයානුබද්ධ කෘතියක් පරිවර්තනය කරනකොට ඒ මුල් භාෂාව සහ විෂය සම්බන්ධයෙන් පරිවර්තකයා සතු දැනුමයි උපයෝගී කර ගැනෙන්නේ. මා Chemical Elements – How They Were Discovered කෘතිය පරිවර්තනය කරද්දි රසායන විද්‍යා දැනුම පිටිවහලක් වුණා. එවැනි පොත්වල භාෂා ප්‍රයෝග නැහැ. කිවයුතු දේ කෙලින්ම සරලව කියා තිබෙන නිසා රසායන විද්‍යාව හා පාරිභාෂික පද දැනගැනීම පමණයි අවශ්‍ය. විෂයානුබද්ධ පොතක් වුණත් යම් විදියකින් සංස්කෘතියකට බැඳී තිබෙනවා නම් මුල් කෘතියේ කියන දේ ගැන කිසියම් ගැඹුරු දැනුමක් තියෙන්න අවශ්‍යයි. නයිජීරියාවේ මිනිස්සු කරවල කෑමට ගන්නවා, හැබැයි ඒවාට කියන්නේ stockfish කියල. ඒවා නිශ්පාදනය කරන්නේ අපි කරවල කියල හඳුන්වන දේ නිපදවන විදියට වඩා හාත්පසින්ම වෙනස් විදියකට; සීතල හුළඟින් වේලෙන්න ඇරලා මුහුන් වර්ගයක් දාලා චීස් පදම්කරන විදියට තමයි ඒවා සකස් කරන්නේ. ඒවායේ දුර්ගන්ධයත් අපි දන්නා කරවලවල ගඳට වඩා වැඩියි. මේ වගේ දෙයක් ගැන පරිවර්තනය කරද්දි අපට අධ්‍යයනයක යෙදෙන්න වෙනවා, පරිවර්තනයෙදි ‘කරවල‘ කියා ලිව්වත් පාදක සටහනක් මගින් එය පැහැදිලි කරන්න පුළුවන් සාහිත්‍ය නොවන කෘතියකදි. සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කරද්දි වුණත් විශේෂ අවස්ථාවලදි අප‌ට ගැඹුරු අධ්‍යයනයක යෙදෙන්න වෙනවා. Wide Seas and Many Lands නවකතාව පරිවර්තනය කරද්දි මට සිදු වුණා 1850 ගණන්වල භාවිත වුණු රුවල් නැව් ගැන, පැරණි නාවික උපකරණ, නාවිකයන්ගේ විශ්වාස සහ සිරිත් විරිත් ගැන අධ්‍යයනය කරන්න.

සාහිත්‍ය කෘතියක් පරිවර්තනය කරද්දි අප කරන්නේ මුල් කෘතියේ භාෂාව පමණක් නොව ඊට අදාළ සංස්කෘතිය පවා ඉලක්ක භාෂාවට සහ සංස්කෘතියට පරිවර්තනය කිරීමයි. භාෂාවක් කියන්නේ වචන විතරක් නෙවෙයි, සංස්කෘතියක්. භාෂාව ගොඩනගන්නේ මිනිසා සහ සංස්කෘතිය විසින්. ඒ නිසා තමයි 1920 ගණන්වල රිචඩ්ස් සහ ඔග්ඩන් කීවේ ‘අර්ථ තිබෙන්නේ වචනවල නොව මිනිසා තුළය’ කියලා. මේ සම්බන්ධයෙන් මෑතකදී මා කරුණාරත්න අමරසිංහ මහතා එක්ක කතා කළ වෙලාවකදි ඔහු පෙන්වා දුන්නා, ‘තිඹිරි පකක් දුන් අඟනක් සඟන දැක – ඉතිරි සැපත් ලැබ ගෙන රන් විමානෙක’ කියලා ගුත්තිල කාව්‍යයේ සඳහන්වන බව. මෙතැනදි ‘තිඹිරි පකක්’ යැයි කීවේ තිඹිරි ගෙඩියකට. කාව්‍යශේඛරයේ කවියක එන, ‘ගෙට ගිය කල බැමිණි – අතොබා පයිය සපැමිණි’ යන්නෙහි පයිය යැයි කීවේ මල්ලට. එකම භාෂාවේ පවා අර්ථ මේ විදියට සංස්කෘතිය සහ කාලය අනුව වෙනස් වෙනවා. වචන ඇතුළේ අර්ථ හොයන්න බැහැ. මේ නිසා පරිවර්තකයාට මුල් කෘතියේ භාෂාව විතරක් නෙවෙයි ඊට අදාළ සංස්කෘතියත් නියමාකාරයෙන් දැනගත යුතු වෙනවා සාර්ථක පරිවර්තනයක් කරන්න.

දැන්, සිංහල කියමනක් තියෙනවා ‘අපි නගින්න ගියොත් පුවක් ගහෙත් දෙබලක්’ කියලා. මේක අපේ සංස්කෘතියට ආගන්තුක විදේශිකයෙක් වචනාර්ථයෙන් පරිවර්තනය කළොත් කොහොමද? ‘When we try to climb an Areca nut tree, we will find a branch on it’ කියලා කිව්වොත් සිංහලෙන් ඉන් අදහස් කළ දේ ඉංග්‍රීසියෙන් කියවන පාඨකයාට තේරෙයිද?

‘Once more I fell for him, and went along, on a short but perilous trip that was to bring me within plain sight of Davy Jones’ locker’ කියන ඉංග්‍රීසි වාක්‍යය වචනාර්ථයෙන් පරිවර්තනය කළොත් කිසිම තේරුමක් නැහැ. ඔය වගේ ඒවා වචනාර්ථයෙන් පරිවර්තනය වීම අද වෙනකොට ඇතැම් අසාර්ථක සිංහල පරිවර්තනවල දකින්න පුළුවන්. අද අපට ඉන්න ජ්‍යෙෂ්ඨ පරිවර්තකයෙක් චූලානන්ද සමරනායක මහත්මයා. අතිශය නිහතමානී පුද්ගලයකු වන ඔහු වතාවක් මා සමග කිව්වා ඔහු අතින් එක්තරා ඉංග්‍රීසි රූඪියක් (idiom එකක්) වැරදි ලෙස පරිවර්තනය වීම ගැන අදටත් දැඩිසේ කනගාටුවන බව.

Q: Djinn Patrol කෘතියේ දීපාගේ භාෂාව සහ ඇය එය ඉදිරිපත් කරන්නේ අවුරුදු නමයක දරුවෙකුගෙ සංකථනයක් ඔස්සේ. එහි රිද්ම රටාව හරි අපූරු එකක්. එය දරුවෙකුගෙ කුතුහලය, භය, වීරත්වය, විවේචනය සහ ස්වයං විවේචනය සියල්ල කැටිකරගත් අපූරු ආඛ්‍යාන රටාවක්. එහි රිද්මීය ලක්ෂණ සෑහෙන දුරට රැකගන්න ඔබ සමත් වෙලා ඇති බවක් පේනව. මේ ගැන ටිකක් විස්තරාත්මකව කතා කළොත්?

A: මෙතැනදි මට ඇත්තෙන්ම ලොකු ආයාසයක් දරන්න උවමනා වුණේ නෑ. දීපාගේ ආඛ්‍යානය කුඩා පිරිමි ළමයාගේ අභ්‍යන්තර ඒකභාෂණ සහ දෙබස්වලින් පිරුණ එකක්. එය මට හරිම ආකර්ශණීය දෙයක් වුණා. මගේ ක්‍රමවේදය දෙබස් හැකිතරම් ස්වාභාවික කිරීම. එක්තරා විදේශීය ලේඛකයෙක් කියලා තිබුණ දෙයක් තමයි ඔහු දෙබස් ලියන විට ඒවා ස්වාභාවිකද කියලා බලන්න ශබ්ද නගා කියවන බව. මා එහෙම නොකළත්, අත් පිටපත දෙවනවර කියවීමකදි පරිවර්තිත දෙබස් සහ ළමයෙකුගේ අභ්‍යන්තර ඒකභාෂණය අතිශය ස්වාභාවික මට්ටමට ගෙනාවා මට දැනුණ විදියට. එතැනදි මම මතකයට නගාගත්තේ මගේ පුත්‍රයාත්, මගේ සොහොයුරාගේ සහ සොහොයුරියගේ කුඩා දරුවනුත් කතාකරන විදිය. ඔවුන් ප්‍රශ්න අහන හැටි, ඔවුන් එකිනෙකා සමග විවිධ අවස්ථාවල කතා කරන හැටි, දබර කරගන්න හැටි මම අනුගමනය කළා. කියවීමේදී පාඨකයාට ඒ ළමා ස්වරය දැනෙනවාද කියා මම මගෙන්ම ප්‍රශ්න කළා.

Q: දීපා අනප්පරා මේ පොත ලියන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා ලංකාවෙ පාඨකයන්ට මෙය අතරමැදි බසකට නොගොස් දීපා මුල් බසින් ලියූ පොතේ පරිවර්තනය ලෙස කියවන්න අවස්ථාවක් ලැබෙනවා. මුල් භාෂාවෙන්ම කෘති කියවන පාඨකයන්ගෙන් හුඟාක් විට නැගෙන චෝදනාවක් තමයි ඒ පොත් සිංහලට එන්නෙ මුල් කෘතියෙ පදාස පිටින් හැළිල කියලා. මේ ගැන ඔබේ අදහස දැන ගන්න කැමතියි.

A: පරිවර්තනයකදි මුල් කෘතියේ කොටස් පරිච්ඡේද ගණන් කපාහැරීම සාහසික අපරාධයක්. මෙය චිංගීස් අයිත්මාතව්ගේ First Teacher කෘතිය ගුරු ගීතය නමින් සිංහලට නැගීමේදී සීදුවී තිබෙන බව කියැවෙනවා. එය පැරණි සෝවියට් සංගමයේ දේශපාලන උවමනාවල් සමග නවකතාව ගලපාගැනීමටයි කර ඇත්තේ. ඒත්, භාෂාවකින් තවත් භාෂාවකට කෘතියක් පරිවර්තනය වෙනකොට ඊට සපුරා වෙනස් ආකාරයක සංස්කෘතිකමය සහ චිත්තවේගීය ‘අගය හීන වීමක්’ අනිවාර්යයෙන් සිදු වෙනවා. අති විශිෂ්ට පරිවර්තනයකදි වුණත් මේ ආකාරයේ අගය හීනවීමක් සම්පූර්ණයෙන් වළක්වාගන්න පුළුවන්කමක් නැති බවයි මා හිතන්නේ.

හැබැයි, ගැටලුව තියෙන්නේ යම් කෘතියක් එහි මුල් භාෂාවෙන් – අපි හිතමු ස්පාඥ්ඥ, ප්‍රංශ, පෝලන්ත, ජර්මානු, ඉතාලි වගේ – ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා, ඒ පරිවර්තිත ඉංග්‍රීසි කෘතියෙන් සිංහලට පරිවර්තනය වුණා කියල. එතැනදි අර මුලින් කී අගය හීනවීම වැඩියි. මේ තත්වය ගැන ප්‍රසිද්ධ ලේඛකයන් ගණනාවක්ම කතාකරලා තියෙනවා. ඉන් කෙනෙක් තමයි ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස්. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුව හිටපු කාලේ කෆ්කාගේ Metamorphosis මුලින්ම කියවලා තියෙන්නේ ස්පාඥ්ඤ පරිවර්තනයකින්. එය කෆ්කා මුලින් ජර්මානු භාෂාවෙන් ලියූ කතාව පසුව ඉංග්‍රීසි හෝ වෙනයම් භාෂාවකට පරිවර්තනය වී, එයින් ස්පාඥ්ඥ බසට පරිවර්තනය වූ එකක්. මාකේස් කියනවා පස්සෙ කාලෙක ඔහු මුල් ජර්මන් බසින් ඒ නවකතාව කියවද්දි දැනුණ හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි බව. බොහෝ කෘතිවල ස්පාඥ්ඥ පරිවර්තන කසිකබල් ඒවා බවත් ඔහු කියනවා. මේ චෝදනාව ඉදිරිපත් කරපු තවත් ලේඛකයෙක් තමයි මිලාන් කුන්දෙරා. ඔහු කියනවා තොල්ස්තෝයිගේ ආන්නා කරේනිනා ඉංග්‍රීසි පරිවර්තනයේ, ආන්නා සියදිවි හානිකර ගන්නට පෙර ඈ තුළ සිදුවන විකාරරූපී අභ්‍යන්තර ඒකභාෂණය ඉතා හොඳට පිලිවෙලට සකසා ලියා තිබෙන බව. එහෙත් තොල්ස්තෝයි එය රුසියානු මුල් පිටපතේ ලියා තිබෙන්නේ අපිලිවෙල, විකාරයක් විදියට. එතකොට, ඒ ඉංග්‍රීසි පරිවර්තනයෙන් සිංහලට පෙරළෙන ඇනා කැරනිනා නැමැති කතාවේ මේවා කොහොම තියෙනවා ඇත්ද කියා අපට හිතාගන්න පුළුවන්.

ඒ නිසා අප පරිවර්තනයේදී නිතරම උත්සාහ කරන්න ඕන අතරමැදි පරිවර්තනවලින් තොරව කෘතිය ලියැවුණු මුල් භාෂාවෙන්ම කෙලින්ම සිංහලට ගන්න. අද අපට ඒ හැකියාව තිබෙනවා. අශානි රණසිංහ ජර්මන් කෘති මුල් බසින් සිංහලට පරිවර්තනය කරනවා. නිරෝෂිනී ගුණසේකර ප්‍රංශ කෘති මුල් බසින් සිංහලට පරිවර්තනය කරනවා. සාමිනාදන් විමල්, නිලාර් එන්. කාසිම් ද්‍රවිඪ මුල් කෘති සිංහලට නගනවා. මේ වගේ ඉංග්‍රීසි නොවන යුරෝපීය භාෂා, චීන, හින්දි වගේ ආසියානු භාෂා හදාරපු අය තව ඉන්නවා, ඉදිරියේදී ඔවුන් ඍජු පරිවර්තනයට පිවිසේවි. එහෙම කළත්, අර මා මුලින් කී ‘අගය හීනවීම’ නම් සීයට සීයක් නවත්තන්න බැහැ, අවම කිරීම පමණයි කළ හැක්කේ. නමුත් පරිවර්තකයන් එකී අගය හීනවීම අවමකරණය වෙනුවෙන් කැපවිය යුතුය කියා මා විශ්වාස කරනවා.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment