ඔබට මා මතක නම්
කමක් නැහැ මට
අන් සියල්ලෝ ම
අමතක කළාට මා.
හරුකි මුරකමි ගැන ගොනුවන අදහස් තුළට ඔහුගේම කියමනකින් ප්‍රවිෂ්ටය ගනිමින් මා අඟවන්නට උත්සාහ ගත්තේ සරලත්වය තුළින් අවුළුවන සංකීර්ණත්වය පිළිබඳ ප්‍රබන්ධකරණයේ මුරකමි සලකුණය.
1949 ජනවාරි 12 වන දින ජපානයේ කියෝතෝවේ උපත ලබන මුරකමි, නවකතා ; කෙටිකතා ප්‍රබන්ධයට ද, පරිවර්තනයට ද ලෝ සුපතලයෙකි. Raymond Chandler සහ Kurt Vonnegut සිය සාහිත්‍යයම ආශාවන් දැල් වූවන් බව ඔහු පවසයි. ඔහුම කියන පරිදි මුරකමි ‘තනි පාඩුවේ’ ජීවත් වන්නට කැමැති චරිතයකි.
මුරකමි සිය සාහිත්‍යකරණය තුළ එසැවූ අනන්‍යතාවය ඉතා මනහරය. එය මූලිකවම සාහිත්‍ය ශානර තුනක් පුරා විහිදෙන විසල් වපසරියකි. විද්‍යා ප්‍රබන්ධ, මනඃකල්පිතය හා අපරාධ ප්‍රබන්ධයන් ශානර මෙන්ම ඉන්ද්‍රජාලික යථාර්ථය ඔස්සේ යමින් ඔහු සිය සිතියම සලකුණු කරන්නේ උචිත බස් වහර මගින් සිය කලාපයන් තෝරා බේරා ගනිමිනි.
ඔහුගේ ලේඛනයන් යථාර්ථය හා මනඃකල්පිතයන් අතර යම් තැනක දිසේ. මුරකමි සිය කෘති හරහා මුහු කරන ‘පොප්’ සංස්කෘතිය (popular culture) ගැන කිව යුතුය. එය කලවම් වන්නේ සංගීතය, කෑම බීම වැනි දෑ මතින්ම නොවේ. මායාකාරී යථාර්ථය මගින් තවරන පසුබිම් වර්ණයන් ද ප්‍රබල ලිංගිකත්වය හරහා කියවා ගත හැකි දෘශ්‍යයන් ද සුලභ බැවින් ඔහුගේ පාත්‍ර වර්ගයා එකම එක චැප්ටරයක් තුළ පවා ආදරය, අහිමිවීම්, සංකාව හෝ වින්දනයන් වැනි බහුවිධ හැඟීම්වල ජන්මය ලබයි.
ඇත්තෙන්ම මුරකමි සම්පූර්ණයෙන්ම නොකළවම් සම්භවයකි. ඔහු පාඨකයා වෙත ආගමනය වන්නේ මඳ පවනක සුවයෙනි. ‘Norwegian Wood’ එයට කදිම නිදසුන් සම්මුඛ කරවයි. එම කෘතිය එළිදැක්වෙන්නේ 1987 වසරේදීය. එය අහිමිවීමක නොස්ටැල්ජියාවකි. ‘ටෝරු වටනාබේ’ මතින් දිග හැරෙන සෞන්දර්යාත්මක වියමන තුළ සිහිනමය සේයාවන් රඳවා ඇත. බැරෑරුම්වාදී සාහිත්‍ය ප්‍රවේශවල සලකුණු ඉතිරි වෙද්දී පාඨකයාගේ මනසට කිඳා බසින්නේ අම්යුරු ඛේදාන්තයක සුමියුරු ස්කීමාටාවකි. ආදරය, තාරුණ්‍යය, මරණය හා හුදකලාව වැනි පින්සල් පහර මතින් ඇඳෙන නෝවීජියානු වනන්තර, මිනිස් හැඟීම්වල අනන්තයන් කැප්සියුල ගත කර ඇති අයුරු වෙනම විමසිය යුතුය.
ඔහු 2002 වර්ෂයේදී එළිදක්වන ‘Kafka on the shore’ ඔහුගේ සාහිත්‍යයමය පෙරහන තුළින් පෙරී ආ ඉස්තරම් මුද්‍රික පානයක් බඳුය. ඔහු ඉන් මතු කරන ඉන්ද්‍රජාලය තුළ අතරමං වීම එම ඉන්ද්‍රජාලය සොයා යාමට වඩා අගනේය. ඒ මෝහනයකි. වරෙක එහි කතා නායකයා ‘කෆ්කා ටමුරා’ වෙමින් ද තවත් විටෙක ‘නකාටා’ වෙමින් ද ‘පොප්’ සංස්කෘතියේ ඔබ මොබ විසිවෙමින් පැටලෙමින් නැවත නැගිටිමින් ඔබ ඒ මායාකාරී දැලේ උවමනාවෙන් ම රැඳේ.
මුරකමිගේ මා කියවා ඇති පොත් ත්‍රිත්වය තුළින් පෞද්ගලිකවම මා ප්‍රිය කරන්නේ ‘Kafka on the shore’ කෘතියයි. එය දෛනිකත්වය ස්පර්ශ කරන යථාර්ථය ඔබට මේ දැන් හමුවුණා වැනි හැඟීමකින් පෙළෙන මාවත් නිමාවන කෙළවර (cul-de-sacs) සළකුණු කෙරෙන දැවැන්ත සිහිනයකි. නමුත් ඔබ එය දකින්නේ මද්දහනක අන් සියල්ලන් සිය වැඩවල නිරතවන හෝරා තුළය. එහිම සාන්ද්‍රණය වී ඇති යම් නිස්කලංක බවක් තුළ ද රැඳෙමින් හිරිගඩු පිපෙන හැඟීමක වැඩෙමින් ‘Kafka on the shore’ සමඟ ඔබට යම් සාහිත්‍යමය අල්තාරයකට පිවිසිය හැකිය. මා එය අල්තාරයක් යැයි කියන්නේ නූතනත්වය හා යමින් වුවද මුරකමි සිය සාහිත්‍ය රඳවන සීමාව දිව්‍යමය වන බැවිනි.
ටෝරු ඔකඩා පළමුව සිය බිරියගේ නැතිවුණු සුරතල් පූසා සොයමින් ද පසුව බිරිඳ සොයමින් ද යන සෙවීම් පිළිබඳ කතන්දර ‘The wind up bird cronicle’ පළවන්නේ 1994-1995 අතර දී ය. අධි යථාර්ථවාදය මෙන්ම යම් සමාන්තර විශ්වයන් තුලින් මතු කරන සිදුවීම් පාඨක පරිකල්පනයට හසු නොවන යම් තීර්ථයක රඳවා ඒ වෙත ගමන් කිරීමට කුතුහලය මගින් ලබා දෙන උත්තේජනය මුළු කතාව පුරා දිස්වේ. ටෝරු ඔකඩා සිය විසංයෝජනය වන විවාහය හා ජීවිතය තුළින්ම අල්වා ගන්නා අනාවරණයන් මතින් දිවෙන ජයග්‍රාහී සැරියක් ලෙස (tour-de-force) එය හැඟේ. එහි ඇති ප්‍රහේලිකා මෙය බව දිස්නයක් කොට මුළු කතාව පුරාම විහිදුවා ඇත්තේ අප ඒ දිස්නය දිගේ දිව යාමට සලස්වමිනි. යම් නිශ්චිත විසඳුම් නොමැති බව තුළ තනිකමක් දැනුන ද බියක් මතු නොවේ.
මා කියවූ මුරකමි කතා ත්‍රිත්වයම අනගි ශ්‍රී ලාංකික පරිවර්තකයන් දෙපළකගේ වාග්මය චමත් කාරයෝ වෙති. ඒ සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන හා ගාමිණී වියන්ගොඩයි. මා විශ්වාස කරන අන්දමට පරිවර්තනයකට තුන් ඈඳුතු භූමිකාවක් ඇත. මුල් කෘතිය පරිවර්තකයා වටහා ගත යුතු අතර එයම පෙළඹවීමක් ලෙසට ක්‍රියා කළ යුතුය.
දෙවැන්න පළමුවැන්නට වඩා අසීරුය. එතැනදී ඔහු අන් සංස්කෘතික පරිස්ථිතියක් (context) අඩංගු බසක්, වෙනත් බසක් හා පරිස්ථිතියක් තුළ බිහිකළ යුතුය. එය ආවේගයක් මෙන්ම ආවේශයක් ද වේ. තෙවනුව පරිවර්තකයා සිය අධ්‍යනය මගින් බිහිකරන කෘතිය තුළ මුල් ලේඛකයෙකුගේ කාර්යයට අවතීර්ණ විය යුතුය. එම නිසා පරිවර්තනයක් යනු ඉතා බැරෑරුම් කාර්යයක් බව වැටහේ.
පරිවර්තනයක් යනු ප්‍රතිනිර්මාණයකි. මුරකමිගේ මුල් කෘතීන් මා කියවා නැති අතර එතුළින් උකහාගත් පරිවර්තනයන් තුළින් දුටු මුරකමි ඇතැම්විට යම් වෙනසක් දරන්නකු ද විය හැකිය. වාච්‍යාර්ථය ඉක්මවන ඇතැම් වචනවල සුවිශේෂාර්ථ මගින් කතාවකට දල්වන ආලෝකය සුළුපටු නොවන නිසා යාන්ත්‍රික පරිවර්තනයක් යනු ටිකිලාවක් බීමට කැමැත්තෙකුට සෝඩා වතුර ස්වල්පයක් දීම වැනි කාර්යයක් වේ.
මම මුරකමි ට කැමැත්තෙමි. ඔහු කල්ට් නවකතාකරණයෙන් බැහැර වූ අන්තර්ජාතික ෆෙනොමෙනාවකි. එමෙන්ම ලෞකිකත්වය මායාවකට ද මායාව ලෞකිකත්වයට ද නිර්මාණය කරන අපේ කාලයේ සාහිත්‍ය හෙජමොනිය ඔහු යැයි කීමේ අතිශයෝක්තියක් මට නොදැනේ.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
