හජිමෙ නිරූපණය කරන්නේ ජපන් නිර්ව්‍යාජත්වයද?

මේ කතාව හජිමෙ ගැන. හජිමේ මට හමු වෙන්නේ ජපන් නවකතාවක එන චරිතයක් විදිහට. හජිමෙ අපූරුවට ගොඩනඟන්නේ හරුකි මුරකමි. ඔහුගේ South of the border, west of the sun කියන නවකතාවෙදි. මේ පොත, දුමින්ද බොරළුගොඩ පරිවර්තනය කරනවා මම නොවන මම කියලා.

හරුකි මුරකමි ජපන් සාහිත්‍යයේ පමණක් නොව ජගත් සාහිත්‍යයේත් අමරණීය ලේඛයෙක්. සම්මානනීය ලේඛයෙක්. ඔහුට තියෙන්නේ ඔහුටම ආවේණික ආරක්. ඒ වගේම වෙනස් රහක්. කතාව කියන්නේ හජිමෙ. ඔහුගෙම කතාව. ඒ හින්දා මේ කතාව ඔහුගේ ජීවන කතාව කිව්වත් වැරදි නැහැ. හැබැයි මේක සාම්ප්‍රදායික චරිත කතාවක් නෙවෙයි. ජීවිතය දිනපු කෙනෙක් ඒ ගැන කියන කතාවකුත් නෙවෙයි. එක්තරා ආදරණීය කතාවක්. ආදරය ගැන කතාවක්. තව පැත්තකින් සමාජ, සංස්කෘතිය ගැන කතාවක් කියන්නත් පුළුවන්. ඔය කොහොම කිව්වත් සාධාරණයි කියලයි මට හිතෙන්නේ.

මේ කතාව කියවීමේ ලොකුම සතුට යම් තරමකින් ජපානය අත්දැකීම. ආගන්තුක සංස්කෘතියක, පරිසරයක සරන්නට ඉඩ ලැබීම. ඒත් ඒ ආගන්තුක බව කතාවට බාධාවක් වෙන්නේ නැහැ. රසය නැති කරන්නෙත් නැහැ. මුරකමි ඒ සියල්ලටම වඩා ශක්තිමත් කතාවක් ගොඩනඟනවා. කතාව බලවත් වීම තුළ අනිත් නවකතා ශිල්පීය අංග නැත්නම් නවකතා මූලධර්ම අමතක වන බවක් ඉන් අදහස් වෙන්නෙ නැහැ. සියල්ල එකිනෙකට ගැළපී තිබෙනවා.

යුරෝපය එක්ක සැලකීමේ දී ආසියාතික සමාජය තුළ ලිංගිකත්වය, සාකච්ඡා කළ යුතු වුණත් කතා නොකරන සංකල්පයක්. ගැඹුරු අධ්‍යාත්මික හැසිරීමක්, ප්‍රසිද්ධියේ කතා නොකරන සංකල්පයක්. සඟවන සංකල්පයක්. ඒත් මුරකමි එම විරෝධය සැලකුවේ නැති ලේඛකයෙක්. ඔහු නිදහස් ස්වාධීන අදහස් දරන්නෙක්.

කතාව පටන් ගන්නේ අවුරුදු දොළහක් වයස හජිමෙගෙන්. අවුරුදු දොළහක් කියන්නෙ නව යොවුන් වියේ පටන් ගැන්ම කියන්න පුළුවන්. ඔහුගේ හොඳම යහළුවා ෂිමමොටෝ කියන සමවයස ගැහැනු ළමයා. ඇය ආබාධිතයි. ඔහුගේ මිතුරුකමට ඇයගේ ආබාධ තත්ත්වය බාධාවක් වුණේ නැහැ. නව යොවුන් වියේදී දරුවන් මිතුරු කමෙන් එහාට ඇති කරගන්න ආකාරයේ ඇල්මක් ආකර්ශනයක් ඔවුන් අතර තිබුණා. ළමයින් සතු ළාමක බව වෙනුවට පරිණත බව හා ලිංගිකත්වය ගැන කුතුහලය ඔවුන් දෙදෙනාට පොදු තත්ත්වයක් වුණා. ඒ හින්දම ඔහුට ඇය විශේෂ කෙනෙක්. කතාව පුරාවටම හජිමෙ හසුරවන නොපෙනෙන බලවේගය ඇය.

එයාගේ අතේ ස්පර්ශය කවදාවත් මාව අතෑරලා ගියේ නෑ. ඒක මං අල්ලපු අනිත් හැම අතකට ම වැඩිය වෙනස්… (පිටුව 19)

ඇය විශේෂ ලස්සනක් තියෙන එකියක් නෙමෙයි. ඔබේ අම්මා පංතියේ… (පිටුව 25)

උසස් අධ්‍යාපනයත් එක්ක ෂිමමොටෝගේ වෙන්වීම හජිමෙගේ ජීවිතේ හැරවුමක් වෙනවා. ඒ ඉසුමිගේ හමුවීම හා එකතුව එක්ක. විශ්වවිද්‍යාලයට යන්න කලින් ඉසුමි අත්හරිනවා. ඒත් ඒ සිද්ධි සියල්ල වැදගත්. කියවන කොට පැහැදිලියි, ෂිමමොටෝ වගේම ඉසුමි දෙන්නම රූප සුන්දරියන් නෙවෙයි. හජිමෙගෙ ඒ තේරීම යම් ඉඟියක් දෙනවා. ඔහුගේ රස වෙනස් කියන එකට.

වරින්වර ඔහුට තවත් සම්බන්ධකම් ගාණක් තියෙනවා. ඔහුට ඔවුන් එක්ක ලිංගික එකතුවීමට ඕන වෙනවා. ඔහු යමක් සොයනවා. ඒ ආදරය නෙමෙයි. තෘප්තියක්. ඒත් ඒ ලිංගික තෘප්තියක්ම නෙවෙයි. වෙනසක්. ඔහු දැඩි අතීතකාමීයෙක්. කතාව පුරාම තියෙන ඒ අතීතකාමය ඔහුට හැම සම්බන්ධයකදිම බලපානවා. අඩු වැඩි වශයෙන්.

ඉසුමියි මායි එකට ගත කළ කාලයේ වටිනාකම මගේ හිතේ වැඩෙන්න වුණා. ඒත් ආයේ හැරෙන්න විධියක් නෑ…(53 පිටුව)

මේ වෙනස් දැක්ම තුළින් මුරකමිගේ විශේෂත්වය පේන්න ගන්නවා. ලිංගිකත්වය, ලිංගික හැසිරීම ඔහු වර්ණනා කරන්නේ නිදහස් බවකින්. එහි සීමා හෝ බයක් නැහැ. බොහෝ කතාකරුවන් දේශපාලන තේමාවලින් ඇති කරන සතුට, උපතින්ම මිනිසා තුළ පවතින කැමැත්තක් වන ලිංගිකත්වය ඔස්සේ ගෙන එන්නට කතාකරුවා සමත්.

මං ඇයව තදින් බදාගෙන සිප ගත්තා. ඈ නොසෙල්වී ඇස් පියා ගත්තා. අපේ දිවවල් එකිනෙකට එතුණා…” (පිටුව 194) සිදුවීම් චිත්තරූප මවනවා. ඒත් යථාර්ථවාදී සීමා ඉක්මවන්නෙ නැහැ. තාත්විකයි. යථාර්ථවාදියි. මුරකමි කතා කලාව අමුයි. භාෂා රටාව අමුයි. “ඈ මා ළඟට ඇවිත් සෙමින් මගේ වෘෂණ අතගාමින් මගේ දෙතොල් සිප ගත්තා…ඈ මගේ නාභිය මත කන තබා වෘෂණ කෝෂ කටේ රුවා ගත්තා. ඈ මගේ මුළු සිරුරම සිප ගත්තා. (පිටුව 196)

අපේ ලොකෙත් හරියට ඒ වගේ. වැස්ස වැටුනාම මල් පිපෙනවා. වැස්ස නැති කොට ඒවා පරවෙලා යනවා. කටුස්සෝ  කෘමියන්ව කනවා, කටුස්සන්ව කුරුල්ලන් කනවා…(පිටුව 86.)

මේ උපුටන කොටස වැදගත්. සදාතනික සත්‍යය. බුදු දහම ඇතුළු ආගම්වල ලෝකයේ විනාශය කියන ආකාරය මීට සමානයි. තරඟකාරීවය තුළින් ශක්තිවන්තයෙකු තෙරීම ලෝක පැවැත්මේ ස්වභාවය. ලෝක විනාශයෙන් පසු ලෝකය කාන්තරයක් වෙනවා. බොහෝ ආගම්වල එකම සිදුවීම වෙනස් චවනවලින් කියලා තියෙනවා.

හජිමෙට බාර් දෙකක් තියෙනවා. එකක වැඩ කරන බාමන්ගේ හැකියාව ගැන ඔහුගේ  තේරුම් ගැනීම විශේෂයි. ව්‍යාපාරිකයෙකු ලෙස තම සේවකයන් රඳවා ගන්න ඔහු කපටියි, උපක්‍රමශීලියි. අගය කිරීම, දීමනා දීම සිදු කරනවා. හජිමෙට ආවේණික ව්‍යාපාර දැක්මක් සහිතයි. සේවාදායකයන්ටත් ඔහුගේ සැලකිල්ල ඒ වාගේ.

මං එයාට හොඳට ගෙවනවා… බාමන් කොලුකාරයෙක්, ඒ හින්දා සමහර වෙලාවට කොලුකාරයෝ බාර් එකට එකතු වෙන්න ගත්තා…(පිටුව 111)

බාමන්ගේ සමලිංගිකත්වය හජිමෙ අඩුවක් විදිහට දකින්නෙ නැහැ. වෙනසක් විදිහට දකින්නෙත් නැහැ. එය සාමාන්‍ය තත්ත්වයක් විදිහට සලකනවා.

ජීවිතේ කුඩා කල පටන් පුරුදු පුහුණු කරන දේවල් මිනිස්සුන්ට එක්වර අමතක කරන්න බැහැ. ජීවිතේ සමහර අවස්ථා ඒ දෙවල් යොදවන්න උවමනා වටපිටාව සකසලා දෙන්න පුළුවන්. පුරුද්ද එක්ක ඒවා සාර්ථක වෙන්න තියෙන ඉඩ වැඩියි.

මේ මුළු ක්‍රියාවලියම මං පුංචි කාලේ ඉඳන් කර කර හිටපු දෙයක් : හැම දෙයක් ගැනම හිත හිත, මගේ ඔළුවෙ මැවෙන දේවල් වලට ඉඩ දෙන එක. (පිටුව 212)

මේ අදහස් කතුවරයා ගැන යම් දැක්මක් නිර්මාණය කරනවා. ඉන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් ලියන දේවල් සියල්ල ජීවිතයට සමීපයි කියලා. මුරකමි කියන්නේ සූක්ෂම අදහස් දරන කෙනෙක්. ඇසූ පිරූ දැනුම, අදහස් එක්ක අත්දැකීම් සහිත කෙනෙක්. ඔය කියන දේවල් සාර්ථක කතුවරයෙකු සතු විය යුතු දේවල්. විශේෂත්වය වන්නේ ලිංගිකත්වය තේමා කර ගත් කතාව හසුරවන්න කතුවරයාට අවට ගැන නිසි කියවීමක් තිබීම. නැත්නම් තමා දන්නා දේ මනාව හසුරවන්නට තියෙන හැකියාව.  

ජපන් අර්ථයෙන් හජිමෙ කියන්නේ ඇරඹුම. ඇත්තටම ඔහුගේ දෙමව්පියන් හරියටම ඔහුට ගැළපෙන නම දාලා කියන්න පුළුවන්. ඔහු නිරතුරුව අලුත් පටන් ගැන්මක් බලාපොරොත්තුවෙන් සිටිය කෙනෙක්. නියම ආරම්භය කතාව අවසානයේදී සිදු වුණා කිව්වොත් හරි. ඒක අපට තේරෙන්න පටන් ගන්නෙ කතාව අවසාන හරියෙදි.

අපි හෙට ඉඳන් පටන් ගමු. අද සෑහෙන ප්‍රමාද වැඩියි. මට ඕන අළුත්ම දවසකින් අළුත්ම විදියට පටන් ගන්න. (පිටුව 227)

මුරකමි බස අමුයි. ඒ අමුබවම රහයි කියන්න පුළුවන්. ඒ එක්කම භාෂාව සංකේතාත්මකයි. නැට් කින්ග් කෝල් දකුණු මායිමේ ගීතය, ස්ටාර් ක්රොස්ට් ලවර්ස් ගීතය, තට්ට ගිජු ලිහිණියා, කපුටන්, වැස්ස මේ දේවල් ඉඟි දෙනවා. කතාව පුරාම සංකේතවලින් අර්ථ මතු කරනවා.

හැබැයි කතාවට අපූරු ගුණයක් එකතු කළේ ෂිමමොටෝ. හජිමෙ නිතරම සෙව්වෙ ඇයව. අවසන ඇගේ හමුව ගැටලු රැසක ඇරඹුම වෙනවා. බලාපොරොත්තු බිඳ වැටීම ඇයගේ ජීවිතය ගිල ගන්නවා. ඇයගේ ධනවත් ස්වරූපය ඇයට ප්‍රශ්නයක් තිබුණු බව සඟවනවා. ඒත් අවසන එය පුපුරා යනවා.

කතාවේ හජිමෙ බිරිඳ යුකිකො. යුකිකො බිරිඳක ලෙස ඉවසිලිවන්ත ගැහැනියක්. හජිමෙගේ හැඩයක් නැති ජීවිතයට හැඩයක් දෙන්නේ ඇය. ඔහු දරන් ඉන්නට ඇයට තරම් කාටවත් බැහැ.

කතාව අවසානයේ හජිමෙ යමක් තේරුම් ගන්නවා. “සමහර වෙලාවට අපි කරන මේ රඟපෑම මට ඉවසන්න බැරි වුණා. අපිට තීරණාත්මක දෙයක් අහිමි වෙලා තිබුණත්, අපි ඉස්සර වගේ ජීවිතය ගෙන ගියා.” (පිටුව 214)

ඔහු නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා පවුල එක්ක. ඔහු එතෙක් ජීවත් වෙන්නේ ඔහු වෙනුවෙන්. ඒත් ඔහු අවසන අනිත් අය වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. හැබැයි එතන යම් හිස් කමක් තියෙනවා. ක්‍රියාශීලි නැහැ. මගේ ශරීරයේ සියලු ශක්තිය නැතිවෙලා ගිහින් කව්රු හරි මගේ පිටිපස්සෙන් ඉඳන් මාව අඳිනවා වගේ. (පිටුව 229)

හජිමෙ අපි හැමෝම දන්න පිරිමියා. විවාහයට කලින් ආදර සම්බන්ධතා කිහිපයක් තියෙන, විවාහයෙන් පස්සේ අනියම් සම්බන්ධකම් තියෙන සාමාන්‍ය පිරිමියා. බිරිඳ ගැබ්ගත්තාම මුදලට ලිංගික උවමනා සම්පූර්ණ කර ගන්න පිරිමියා. හැබැයි හජිමෙ අමුයි. අව්‍යාජයි. කරන දේ පිළිගන්නවා. අපි ලෝකෙට හොරෙන් දේවල් කරලා එහෙම කරේ නැහැ වගේ ඉන්නවා. සුද්දවන්තයෙකු වගේ ඉන්නවා. හැබැයි කතාව කියවන කොට මට මාවම පේන්න ගන්නවා. ඒ පෙනීමට අපි කැමතියි. මම නොවන මං ඇතුළේ ඉන්න මම මට පේන්න ගන්නවා. මම නොවන මම ඒ හින්දා අපිට සමීපව දැනෙනවා.

මුරකමි කතා කලාව  බැලු බැල්මට සරලයි. ඒත් එ්වා කියවන කොට පේන්න ගන්නවා සරල බවට එහා ගිය ගැඹුරක්. ආදරය ගැන කතාවක් වුණු South of the border, west of the sun නවකතාවට ආදරයට එහා ගිය හරයක් තියෙනවා. ආදරය, ලිංගිකත්වය, අහිමිවීම, දරා ගැනීම, ශෝකය, සතුට මේ සියල්ල කැටි වූ රසයක් දැනෙනවා. සමාජය, ආර්ථිකය ගැන ඉවසිලිවන්ත, දැක්මක් ඇති ජපනෙකු පේන්න ගන්නවා. එසේම අව්‍යාජ දේශීය සුවඳක් දැනෙනවා. එය මිශ්‍ර නොවු එකක්. නිර්ව්‍යාජ එකක්.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment