“මමත් මුහුණු පොතෙන් බිහිවුණ ලේඛකයෙක්” – රන්දික කඩවතආරච්චි.

රත්නපුර දිස්ත්‍රික්කයේ, කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩලගම කියන සුන්දර ගමේ වෙසෙන රන්දික කඩවතආරච්චි, මඩලගම මහා විද්‍යාලයෙන් සහ කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. සබරගමුව පළාත් රාජ්‍ය කළමණාකරණ සේවා නිළධාරියෙකු හැටියට වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු වර්තමානයේ නිවිතිගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරනවා. රන්දික නවකතාකරුවකු බවට පත්වන්නේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතරමයි. The Asian Review සිංහල අද කතාබහ ඔහු සමගයි.

Q: වෘත්තියක නියැලෙන කෙනෙක් විදියට ලේඛන කටයුතු සඳහා ඔබ කාලය කළමනාකරණය කර ගන්නෙ කොහොමද?

A: ඒක නම් ඇත්තටම ටිකක් අපහසු කටයුත්තක්. සතියේ දින පහම කාර්යාලයට ගොස් නිවසට පැමිණෙන විට බොහෝ මහන්සියි. ඒ නිසා සතියේ දිනවල ලේඛන කටයුතු වලට වෙලාවක් හොයාගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ඒ නිසාම බොහෝ වේලාවට ලේඛන කටයුතු වලට සති අන්තය තමයි යොදාගන්නේ. ඒ නිසා නිර්මාණයක් එළි දැක්වීමට විශාල කාලයක් ගත වෙනවා. කොහොමත් මට පොතක් නිර්මාණය කරන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. එක දිගට විරාමයක් නොතබාම පොතක් ලියනවාට වඩා නිර්මාණය තුල ජීවත් වෙමින් කතාව ගොඩ නඟන එක සාර්ථකයි කියලා මම හිතනවා.

Q: ඔබ මුලින් ම සාහිත්‍යකරණයට ප්‍රවිෂ්ට වෙන්නෙ කවියෙකු විදියට. කොහොමද ඔබ නවකතාකරණයට ප්‍රවිෂ්ට වෙන්නෙ?

A: ඇත්තටම කිව්වොත් මම කවියෙක් කියලා මම පිළිගන්න කැමති නෑ. මම කාව්‍ය නිර්මාණ කරලා තියෙන්නේ බොහොම අතලොස්සයි. ඒ නිර්මාණත් මම මුහුණු පොතට පමණක් ලියූ නිර්මාණ. මම මුලින්ම ලියූ ස්වතන්ත්‍ර නිර්මාණය වෙන්නේ පිරිනිවන් කඳු පාමුලින් කෘතිය. එය මම එළිදැක්වූයේ 2020 වර්ෂයේ. මම මාගරට් කෘතිය ලිව්වේ කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වූ කාලයේ. එතකොට මාගරට් ජනගත වුයේ 2021 වර්ෂයේ. මුහුණු පොතේ වසර කීපයක් තිස්සේ කතා ලිවීමේ අත්දැකීම් මත සහ කුඩා කල සිටම ලිවීමට උපන් ආශාව නිසාම පොතක් එළිදැක්වීමේ අරමුණ හිතේ තදින්ම තිබුනා. ඒ අනුව මුහුණු පොතේ ලියන ලද පිරිනිවන් කඳු පාමුලින් නව කතාව මුද්‍රිත පොතක් වශයෙන් 2020 වර්ෂයේ ජනගත කිරීම තුළින් මා සාහිත්‍යකරණයට පිවිසුනා.

Q: නිර්මාණයක දී ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ මොනවා ගැන ද?

A: ඇත්තටම නිර්මාණයකදී මම සැලකිමත් වන ප්‍රධානතම කාරණය තමයි නිර්මාණයේ මුල, මැද සහ අග එකම සරල රේඛාවක ගමන් කරවීම. ඒකෙන් මම අදහස් කලේ මම යම් නිර්මාණයකින් පාඨකයා වෙත ලබා දෙන පණිවිඩය නිර්මාණයේ මුලදී තිබුනු අයුරින්ම කිසිම ආකාරයකින් වෙනසක් නොවී අවසානය තෙක් සාර්ථකව ගලාගෙන යාමට සැලැස්වීම. එහිදී මම කතා සන්දර්භයට යොදා ගන්නා සියළුම චරිත වලට උපරිම සාධාරණයක් වන අයුරිනුත් ඒ චරිත හා බැඳි අවස්ථා සිද්ධි දම්වැලක පුරුකක් සේ එකිනෙටක බැඳී පවතිමින් පාඨකයාට නිර්මාණයෙන් මිදීමට නොහැකි ලෙස නිර්මාණය තුළ ජීවත් වීමට ඇවැසි චිත්ත රූප සහිත පරිසරයක් ගොඩ නැංවීම පිළිබඳ මම විශේෂ සැලකිල්ලක් දක්වනවා.

Q: ‘මාගරට්’ නවකතාව තුළ අපට දකින්න ලැබෙන්නේ හාස්‍යය සමඟ කැටි වුණු ගැඹුරු කතිකාවතක්. ඔබ ඇයි ඔබ ඊට හාස්‍යය යොදාගන්නට තීරණය කළේ?

A: මාගරට් කියන්නේ මගේ තුන්වෙනි ස්වතන්ත්‍ර නවකතාව. ඒ වන විට මම පිරිනිවන් කඳු පාමුලින් ජනගත කර අවසන්. එම කෘතියේ වස්තූ බීජය වූයේ හැත්තෑව දශකයේ ග්‍රාමීය ප්‍රදේශයක එක්තරා ගැහැනු මිනිසුන් පිරිසක් අතර සිදු වූ සංසිද්ධියක්. එසේම දෙවන පොත ලෙස එලිදැක්වූයේ සහස්සරංසී නම් නවකතාව. ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධව ධර්මය හා අධර්මය ගැටෙන එක්තරා කතාවක් එයින් නිරූපනය කළා. නමුත් මාගරට් ලියවෙන්නෙම මිනිස් ජීවිත බොහෝ අසීරුතා වලට මුහුණ දෙන යුගයක. ඒ කියන්නේ කොවිඩ්-19 රෝගය ලංකාව පුරාම පැතිරිලා තියෙන කාලයේ මිනිස්සු ජීවිතයත් මරණයත් අතර සිරවෙලා නිවාස අඩස්සියේ පහුවෙන කාලෙක. රූපවාහිනිය බැලුවත්, මුහුණු පොත බැලුවත් හැම තැනම මරණ දුක් ඛේදවාචක පමණයි. මට ඒ කාලේ ඕනි උනා ඒ පීඩනයෙන් සුළු මොහොතකට හරි මිනිස්සුන්ව මුදා ගන්න ක්‍රමයක්. ඒ අනුව තමයි මාගරට් මගේ අතින් ලියවෙන්නේ. ඇත්තම කියනවා නම් මාගරට් ගොඩක් මිනිස්සුන්ගේ මුහුණ වලට සිනාව ගේනවා. මිනිස්සුන්ගේ මුහුණට සිනාවක් අවශ්‍යම කාලේ ඒ සිනහව ගෙනත් දෙන්න මාගරට්ට පුළුවන් උනා කියලා මම කියන්නේ බොහොම සතුටින්.

Q: ‘මාගරට්’ නවකතාවේ චිංචිං නෝනාගේ චරිතයෙන් ඔබ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය විවේචනයට ලක් කරනවා. වත්මන් අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ව ඔබගේ ආකල්පය මොන වගේ ද?

A: අසූව අනූව දශක වල ජීවිතේ සුන්දරම ළමා කාලයක් විඳපු ඕනි කෙනෙක් දන්නවා ළමා ජීවිත වල තිබුණු ඒ සරල නිරාමිස සතුට. තාක්ෂණය අතින් දියුණු නොවුනත් මානව සම්බන්ධතා අතින් ඉතාමත් දියුණු කාලයක්. ගහ කොළ, සතා සීපාවා, ඇළ දොළ සමඟ දරුවන්ගේ ජීවිත ගෙවුනේ ඉතාමත් සුන්දර ලෙස. මමත් ඒ සුන්දර කාලය අඩුවක් නොමැතිව විඳපු කෙනෙක්. ඒ නිසා ඒ ජීවිතේ තිබුණු සුන්දරත්වයට මම අදටත් ආදරෙයි. චිංචි නෝනා කියන චරිතය මම මවන්නේ මම ඇතුළු කුඩා කාලයේ මා වටා රැඳී උන් බොහෝ මිතුරු මිතුරියන්ගේ ගති පැවතුම් හා අත්දැකීම් එක්ක. ඒ සියලු දෙනාගේම එකතුවක් තමයි චිංචිං නෝනා කියන්නේ. ඉතිං අපිට කුඩා කාලයේ අපේ අධ්‍යාපනයේ දැනුනු අඬුලුහුඬුකම් සියල්ල මම චිංචිං නෝනාගේ චරිතය හරහා සමාජගත කරන්න බලාපොරොත්තු වුණා. පන්ති කාමරයට කොටු වූ අධ්‍යාපන රටාවෙන් හොද හදවතක් ඇති මිනිසෙක් නිර්මාණය කරන්න බැහැයි කියන කාරණය පෙන්වා දෙන්න මම චිංචිං නෝනාව භාවිතා කලා. චිංචිං නෝනා කියන්නේ චරිත ගොඩක අත්දැකීම් ගොන්නක්. ඉතිං චිංචිං නෝනා ඇතුළේ කොහේ හරි පාඨකයා ඉන්නවාම කියලා මම දන්නවා.

Q: ‘මාගරට්’ නවකතාව සඳහා චිංගීස් ආයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’ නවකතාවේ ආලෝකය ඇති බව පෙනෙන්නට තිබෙන කරුණක්. බුද්ධිකා පලිහවඩන සහ අල්තීනායිගේ චරිත අතර යම් සමානකම් දකින්නට ලැබෙනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

A: සමහරවිට එහෙම වෙන්න පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයි මට උවමනා වුණා අපි හැමෝටම ජීවිතේ එක්තරා ආදරයක් තියෙනවා. ඒක කොයි ආකාරයේ හැඟීමක්ද කියලා කියන්න බැරි. සමහරවිට ජීවිත කාලේම අපිට ඒක තේරුම් ගන්න හෝ තේරුම් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝටම එහෙම තමන්ට ආවේණික වූ ආදර කතාවක් තියෙන්න පුළුවන්. ඉතිං චිංචිං නෝනා කියන්නෙත් අපි වගේම කෙනෙක්. එයාටත් ඒ වගේ නමක් නැති ආදර කතාවක් තියෙන්න පුළුවන් කියලා මම හිතනවා.

Q: සාම්ප්‍රදායික මවකගේ චරිතය  මාගරට්ගේ චරිතයෙන් අපිට දකින්න ලැබෙන්නේ නෑ. මාගරට් චරිතය කොහොමද ඔබ අතින් නිර්මාණය වෙන්නේ?

A: මාගරට් කියන්නේ මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ පොතේ හමුවන අම්මා නෙමෙයි. වෙස්සන්තර ජාතකයේ මන්ද්‍රී දේවිත් නෙමෙයි. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා කියන වෙල් දෙනිවල ඇවිද ගිහින් වෙරළු ගෙනෙන අම්මාත් නෙමෙයි. ඒ හැම අම්මා කෙනෙක්ගෙම සංකලනයක්. ඒ කියන්නේ මාගරට් මේ ගෙන්දගම් පොළොවේ අපිට උදේ හවස හම්බවෙන අම්මා කියන එක. අට ලෝ දහම ඉදිරියේ නොසැලී සිටින ගැහැනියක් නෙමෙයි. අට ලෝ දහමින් තැලී පෙළී එහිම ඉපිදෙමින් මැරෙන ජීවිතයේ සුවහසක් කම්කටොලු විත්ත පීඩා මැද දරුවන් හා ස්වාමියා සමඟ වෙළෙමින් පැටලෙමින් පොළොවේ පය ගසා ජීවත් වන අපේ කාලයේ මව්වරුන්ගේ සැබෑ ස්වරූපය මාගරට් තුළින් විද්‍යාමාන වන බව මගේ පෞද්ගලික මතයයි.

Q: 80, 90 දශකයේ ඔබ අප ගත කළ ළමා කාලය සහ වත්මන් ළමුන් ගත කරන ළමා කාලය අතර පවතින පරතරය ඔබ දකින්නේ කොහොමද?

A: ඇත්තම කිව්වොත් ඒක හාත්පසින්ම වෙනස්. අපි ගත කල ළමා කාලයත් වර්තමාන දරුවන් ගත කරන ළමා කාලයත් දෙස බැලුවාම මම හිතන්නේ අපි තමයි වාසනාවන්තම ළමා කාලය ගත කළේ කියලා. අද පරිගණක තිරයට, දුරකථන තිරයට, අධ්‍යාපන තරගයට හිරවුණු දරුවන්ගේ ජීවිත දැක්කාම ඇත්තටම දැනෙන්නේ අනුකම්පාවක්. අපේ කුඩා කාලය ගමේ පාසලේ අධ්‍යාපනයත් එක්ක බැඳිලා තිබුණා. මේ තරම් අධ්‍යාපන තරගයක් ටියුෂන් රටාවක් අපට තිබුණේ නෑ. දැන් දෙමව්පියන් දරුවන් රොබෝවරුන් තත්වයට පත් කරලා. කිසිදු හැඟීමක් දැනීමක් රසවින්ඳනාත්මක ශක්තියක් නැති දරුවන් පිරිසක් බිහිවෙලා. අපේ කුඩා කාලයේ හවස් කාලය බොහෝ වේලාවට ගත කරන්නේ විවිධාකාරයේ ක්‍රීඩා කරන්න. ඒ කාලයේ ඒ වෙනුවෙන් ඇති තරම් නිදහස තිබුණා. ගහ කොල සතා සීපාවා සමඟ කෙළි දෙලෙන් ගත කරමින් ඇළක දොළක වැටී ඇති වෙනතුරු දිය නෑමෙන් ජීවිතේ සුන්දරම ළමා කාලය ගත කරන්න තරම් අපි වාසනාවන්ත වුණා. අදටත් ඒ සුන්දර ළමා කාලය සිහිපත් කරන විටත් හිත අමුතුම සතුටකින් පිරී යනවා. අවාසනාවකට මේ තරඟකාරී අධ්‍යාපන රටාව හා ආර්ථික රටාව හමුවේ දරුවන්ට ජීවිතේ සුන්දරම අත්දැකීම් මඟ හැරී යනවා.

Q: ‘මාගරට්’ නවකතාව රචනා කිරීමේ දී එහි භාෂා භාවිතය සම්බන්ධයෙන් ඔබ මුහුණ දුන් අභියෝගය මොනවා ද?

A: ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මම මුලින්ම කියන්න ඕනි කාරණාවක් පසුව කියන්නම්. මාගරට් කියන්නේ ළමා නව කතාවක් නොවේ. බොහෝ දෙනෙක් මාගරට් පිටකවරයෙන් මාගරට් කියන්නේ ළමා නවකතාවක් කියලා හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම පිටකවරය නිර්මාණය කිරීමේදී එයට වඩා සැලකිල්ලක් දක්වන්න තිබුණා කියන තැන මම ඉන්නවා. ඒ කවර නිර්මාණය ඉතාමත් දැකුම්කළු ලෙස නිර්මාණය කිරීම නිසාම මට එය කවරයට යොදා නොගෙන ඉන්න හැකියාවක් තිබුණේ නෑ. මම ඒ වෙනුවෙන් විශේෂ ස්තූතියක් මේ වෙලාවේ ඇලානා මදුරාගොඩ සොයුරියට දක්වන්න කැමතියි. ඇත්තටම මම මාගරට් නිර්මාණය කරන්න යොදාගත්තේ ඉතාමත් සරල බස් වහරක්. මම මෙහිදී සම්පූර්ණ වශයෙන්ම භාවිතා කළේ වාචික භාෂාව. සරල වචනයනේ කිව්වොත් අමු සිංහල. මොකද මාගරට් වගේ පොතකට සරල අව්‍යක්ත ගැමි වරහක් භාවිතා නොවුනා නම් මාගරට් වගේම ඒ අනෙකුත් චරිත ජීවමාන නොවෙන්න තිබුණා. ඒ නිසාම පාඨකයන්ට සරලව හාස්‍යය රසය විඳගැනීමේ මූලික අරමුණෙන් මම මාගරට් නිර්මාණය කිරීමේදී අව්‍යක්ත ගැමි වහර භාවිතා කිරීමට තීරණය කළා. මම හිතනවා මම සාර්ථකයි කියලා.

Q: මුහුණු පොතෙහි නවකතා රචනය සම්බන්ධ ව ඔබ දරන ආකල්පය මොන වගේ ද?

A: මුහුණු පොතේ නවකතා රචනය නවක ලේඛකයෙකුට ලොකු වේදිකාවක් කියලා මම හිතන්නේ. මොකද මමත් මුහුණු පොතෙන් බිහිවුන ලේඛකයෙක්. එතකොට අපිට පාඨකයන් අතරට යන්න පුළුවන් පහසුම හා සරළම අවස්ථාව තමයි මුහුණු පොත කියන්නේ. නැත්නම් නවක ලේඛකයෙකුට පොතක් මුද්‍රණය කරලා එය පාඨකයන් අතට පත් කරලා ඒ තුළින් පාඨක ආකර්ශනයක් ලබා ගැනීම ටිකක් අසීරු කාරණයක්. ක්ෂේත්‍රය තුළ ප්‍රවීණයෙකුට ඒ ආකාරයෙන් ස්ථාවරත්වයක් සකස් කර ගැනීමට පුළුවන් උනත් නවක ලේඛකයෙකුට එවැනි අවස්ථා ලැබෙන්නේ නෑ. ඒ වගේම තමන් කරන නිර්මාණය පිළිබඳ බොහෝ දෙනෙකුගේ අදහස් උදහස් දැන හඳුනා ගැනීමටත් තමන්ගේ අඩුලුහුඩුකම් හඳුනා ගැනීමටත් මුහුණු පොත කියන්නේ හොඳ තෝතැන්නක්.

Q: බොහෝ නවකතාවල අවසානය ඛේදාන්තයකින් අවසන් කිරීමට බොහෝ රචකයින් පෙලඹෙනවා. මේ ගැන ඔබ දරන අදහස මොකක්ද?

A: ඔව්, ඒකේ දෙපැත්තක් තියෙනවා. මොකද අපේ සැබෑ ජීවිත වලත් හැම ජීවිතයක්ම සුඛාන්තයකින් අවසන් වෙන්නෙ නෑ. ඛේදාන්තයකින් අවසන් වන්නෙත් නෑ. යම් නිර්මාණකරුවෙක් තමන්ගේ වස්තූ බීජය නිර්මාණය කරන අවස්ථාවේම එහි අවසානයත් තීරණය කරනවා. ඒ ඔස්සේ තමයි සරළ රේඛීයව නිර්මාණය ගලාගෙන යන්නේ. ඒ අතරතුර විවිධ හැල හැප්පීම් වලට නිර්මාණය මුහුණ දුන්නත් අවසානයේ නිර්මාණකරුවාගේ සිතේ බිහිවූ අවසන් ඵලය නිර්මාණය තුළින් එළි දක්වනවා. එය සුඛාන්තයක්ද? ඛේදාන්තයක්ද කියලා කියන්න පුළුවන් නිර්මාණකරුට පමණයි. අපි සැබෑ ජීවිත අත්දැකීමක් නිර්මාණය කරනවා නම් අපිට බෑ අපිට අවශ්‍ය විදියට ඒ නිර්මාණය අවසන් කරන්න. ඒ අවස්ථාවේ එය දුක, සතුට මොන කාරණය උනත් සැබෑ ලෙසම අවසන් කරන්න වෙනවා. නමුත් අපි මන:කල්පිත නිර්මාණයක් කිරීමේදී අපිට ඕනි තරම් අවස්ථාව තියෙනවා අපිට ඕනි විදියට නිර්මාණ කාර්යය අවසන් කරන්න. පෞද්ගලිකව මම හිතන විදියට මම ලියූ පොත් වල අවසානය සුඛාන්තයකින් අවසන් කිරීමට මම පුරුදු වෙලා තියෙනවා. එයට හේතුව මගේ පෞද්ගලික අදහසක්. නොයෙකුත් ජීවන අරගල මැද, හැල හැප්පීම් මැද, ආර්ථික ගැටළු මැද ජීවත් වන මිනිසුන්ට නිර්මාණයක් රස විඳලාත් දැනෙන්නේ දුකක් නම් අපි ලේඛකයෙකු විදියට සමාජයට සේවාවක් සිදු කරලා නෑ. නමුත් නිර්මාණයක් රස විඳලා පාඨකයන්ගේ මුවඟට සිනාවක් ලැබෙනවා නම් ඒ චරිත අනුගමනය කරමින් තමන්ගේ ජීවිත ශක්තිමත් කරගන්නවා නම් මම හිතන්නේ ලේඛකයෙකු විදියට අපිට ලබන්න පුළුවන් උපරිම සතුට ඒක.

Q: ‘මාගරට්’ නවකතාවට විශාල පාඨක ප්‍රතිචාරයක් ඔබට ලැබුණා සහ දැනටත් ලැබෙමින් පවතිනවා. නවකතාකරුවෙක් විදියට ඔබේ පළමු නවකතාව ම ⁣පාඨකයින් අතර මේ අන්දමින් ජනප්‍රියත්වයට පත් වීම සම්බන්ධයෙන් ඔබට දැනෙන හැඟීම මොන වගේ ද?

A: මම මුලින්ම ජනගත කරපු පිරිනිවන් කඳු පාමුලින් නව කතාවට 2020 ස්වර්ණ පාඨක සම්මාන උළෙලේ අවසන් කෘතහස්ථ පොත් දහය අතරට එන්නට තරම් වාසනාව ලැබුණා. මම ලියූ මුල්ම පොත ඒ ආකාරයෙන් ඇගයීමට ලක්වීමම මං ලැබූ එක්තරා ජයග්‍රහණයක්. ඒ ඔස්සේ මට ලැබුනු පාඨක ප්‍රතිචාර සිය දහස් ගුණයකින් වැඩිවුණේ මාගරට් නිසා. මාගරට් අගය කරමින් අදටත් මට දවසකට එක දුරකථන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් හෝ ලැබෙනවාමයි. විශේෂම කාරණය මාගරට් වටා බැඳිලා ඉන්නේ විවිධාකාර වයස් මට්ටම් වල පාඨකයෝ. අවුරුදු අසූ පහ අනූව තරම් උන අම්මලා තාත්තලා පවා මට කතා කරලා පොත අගය කරනවා. ඉතිං මාගරට් කියන්නේ මට මිනිස්සුන්ගේ හදවතේ නවතින්න උදව් කරපු පොතක්.

Q: ‘මාගරට්’ නවකතාව ටෙලිනාට්‍යයකට හෝ චිත්‍රපටයකට නඟන්නට ඔබට අදහසක් තිබෙනවා ද?

A: ඇත්තම කිව්වොත් ඒක මගේ එක්තරා හීනයක්. දැනට මගේ පොත් කිහිපයක්ම තිර රචකවරුන් කිහිප දෙනෙක් අරගෙන තියෙනවා. එක් නිර්මාණයකට හෝ පණ ලැබෙයි කියන බලාපොරොත්තුව හිතේ තියෙනවා. මාගරට් ටෙලි නාට්‍යක් බවට පත් කරනවා නම් ඒ සඳහා දක්ෂ පිටපත් රචකයෙක් හා අධ්‍යක්ෂකවරයෙක් අවශ්‍ය වේවි. මොකද මාගරට් කියවූ පාඨක පිරිස විඳි ඒ රසයම පණ ගැන්වීමට නම් දක්ෂයන් පිරිසක් අවශ්‍ය වේවි. ඒ වගේම එය ප්‍රේක්ෂයන් අතර නොමැකෙන මතකයක් ඇති ටෙලි නාට්‍යක් බවට නම් අනිවාර්යෙන්ම පත්වේවි.

Q: නවකතාකරණයට අවතීර්ණ වෙන්න කැමැත්තෙන් ඉන්න නවක රචකයින්ට ඔබ දෙන්න තියෙන  පණිවිඩය මොකක්ද?

A: මමත් තාම මේ කේෂ්ත්‍රයට නවකයි. ඒ නිසා නවකයෙක් විදියට මට කියන්න තියෙන්නේ ඔබ ඔබේ කතාව, ඔබ නිර්මාණය කරගත් කතාව ඔබව අවශ්‍ය විදියට ගොඩ නඟන්න. මම හැමදාම කියන්නේ මුලින්ම රස සහ ගුණ ගැලපෙන ලෙස කේක් ගෙඩිය නිර්මාණය කරන්න. අවසානයේ ඔබට පුළුවන් ඔබට හැකි ලෙස අයිසින් යොදා ලස්සන නිර්මානයක් කරන්න. ඒ වගේ හරවත් රසවත් නිර්මාණයක් කරන්න. ඉන් පසු නව නළු රසයම නිර්මාණය තුළට යොදමින් සාර්ථක නිර්මාණකරුවෙක් වෙන්න උත්සාහ කරන්න.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment