හරුකි මුරකමි: පරිපූර්ණත්වය යනු කුමක්ද?

අලියා අතුරුදන් පරිවර්තන කෙටිකතා එකතුවක්. හරුකි මුරකමි කියන විශිෂ්ට ජපන් සාහිත්‍යකරුවාගේ The Elephant Vanishes කියන කෙටිකතා පොතේ තෝරගත්ත කෙටිකතා දහයක් තමයි ඒ නමින් පරිවර්තනය වෙලා තියෙන්නෙ. ඒ 2020 වසරේ දී. 2021 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබපු පරිවර්තන කෙටිකතා එකතුව වුණ අලියා අතුරුදන් පොත සත්‍යපාල ගල්කැටියගේ පරිවර්තනයක්.

පොත අතට ගත් සැණින් මතක් වුණේ අලි බබා සහ හොරු හතලිහ. ඒක අරාබි නිසොල්ලාසයේ එක්දහස් එක් රැය කතා මාලාවේ එන කතාවක්. නම් දෙක සමානයි වගේ පෙනුණට කතා දෙක වෙනස්. හැබැයි මේ කතා දෙකම කොට කතා වර්ගයට අයිතියි.

පරිපූර්ණ බව කියන්නෙ මොකක්ද? කියලා ඇහුවොත් ඊට දෙන්න තියෙන උත්තරය තමයි ඒ සම්බන්ධ මතය කෙනාගෙන් කෙනාට වෙනස් කියන එක. පරිපූර්ණ කියන එකේ අදහස සමාජයෙන් සමාජයට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් කියන්න පුළුවන්. මට පරිපූර්ණයි කියලා හිතෙන දෙයක් කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන්. කාන්තාවක් පරිපූර්ණයි කියලා කිව්වොත් ඒකේ අදහස තවත් සංකීර්ණ වෙනවා. පරිපූර්ණ බව ඇතුළේ අපි සොයන යමක් තියෙනවා. ඒක හරිම විවාදාත්මකයි. ඉන් අදහස් වෙන්නේ රුපයෙන් පරිපූර්ණ වීම, ගුණයෙන් පරිපූර්ණ වීම, ධනයෙන් පරිපූර්ණ වීම, උගත්කමින් පරිපූර්ණ වීම හෝ මේ සියල්ලෙහිම එකතුවක් වෙන්න පුළුවන්. මුරකමි මේ පරිපූර්ණකම කියන ගුණය අපූරුවට කොට කතාවකින් ගොඩනඟලා තියෙනවා.

එක් අලංකාර උදෑසනක 100%ක් පරිපූර්ණ ගෑනු ළමයා දකිමින් තමයි කතාවේ නම. හැබැයි මේ කතාවේ දී කථකයා දකින ගෑනු ළමයා සමාජය දකින පරිපූර්ණ බව තියෙන ගෑනු ළමයෙක් නෙවෙයි. එයා වෙනස්. එයා සාමාන්‍ය සරල ගෑනු ළමයෙක්. ඒ නිසයි කතාව ආරම්භයේ දී ම කථකයා කියන්නේ ඔහුගේ සිත් ගත් පරිපූර්ණ තැනැත්තිය එසේ නොවන බව.

ඇත්තට ම කියන්නේ නම් ඇය ඔය කියන්නා වූ ලස්සන පෙනුමකින් යුක්ත නොවේ. මොනම ආකාරයකින්වත් ඈ කැපී පෙනෙන්නියක් නොවේ. ඇය හැඳ සිටිනා ඇඳුමෙහි ද කිසිදු විශේෂත්වයක් නැත. ඇය ඇඳ සිටිනා… (12 පිට)

ලෝකයේ බොහෝ රටවල මෙන් ම ජපන් සමාජයේ ද පරිපූර්ණ බව මනින එක් මිනුමක් වන්නේ, ලස්සන බව මින් ඇඟ වෙනවා. කතාව කියවන විට හැඟෙන දෙයක් තමයි කථකයා සම්බන්ධකම්වලට ආධුනික කෙනෙක් කියන එක. ඔහු පුරුදු වෙනවා, හිතනවා, ඇයට කිවයුතු දේවල්.

මේ කතා තේමාව අපට හුරු පුරුදු සහ සුලබ තේමාවක් නෙවෙයි. වර්තමානයේ සිංහල කෙටිකතාකරුවන් දේශපාලන සහ සමාජ ප්‍රස්තුතවලට වැඩි නැඹුරුවක් දැක්වීම ඊට බලපාන එක් හේතුවක්. හැබැයි ඉන් අදහස් වෙන්නේ නැහැ එවැනි තේමා සිංහල කෙටිකතා සාහිත්‍ය තුළ ද නැති බව. ඒ වගේ ම මේ කතාවල යම් දේශපාලනයක් තියෙනවා. ඒත් මේ කෙටි කතාවල තේමාව වගේ ම දේශපාලනය වෙනස් එකක්. විශේෂ එකක්. මුරකමි පරිපූර්ණ බව කියන වචනයක් කතා තේමාත්මකය බවට පත් කර ගත් ආකාරය අපූරුයි.

ඒ වාගේ ම අතුරු කතා සහිත ආකෘතිය වෙනසක් බව කියන්න පුළුවන්. කතාවේ එන අතුරු කතාව පටන් ගන්නකොට හිතෙන්නේ කථකයා කියන්නේ වෙන කෙනෙක් ගැන කියලා. ඒත් අවසානයේ පේනවා ඒ ඔවුන්ගේ කතාව බව. ඔහුට ඇයට කියන්න ඕන වුණ නමුත් කිව නොහැකි වූ කතාව.

මුරකමි නිස්සාර බව සහ යථාර්ථය වටහා ගත් කෙනෙක්. පැහැදිලි ජීවිත අවබෝධයක් වගේ ම දැක්මක් ඔහු සතු බවට මේ කතා දෙස් දෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් කතාවල එන පෙම්වතා සහ පෙම්වතිය අතිශය කඩවසම්, රූමත්. පෙම්වතා වීරයෙක්. ඔහුට කළ නොහැක්කක් නැහැ. එහෙත් මුරකමි රටාව වෙනස්, තෝරා ගන්නා චරිත වෙනස්. ඔහු ලියන්නේ යථාර්ථය තුළ ඉන්න සාමාන්‍ය මිනිස්සු ගැන. උන්ගේ ජීවිත ගැන. එය අව්‍යාජයි. පාඨකයාට හුරු පුරුදුයි.

මුරකමි ලියූ මේ කතා බොහොමයක් ප්‍රමාණයෙන් කුඩා ඒවා. නමුත් කතා අවසානයේ දී මුරකමි දර්ශනය තරමක් දුරට අවබෝධ කර ගන්නට පුළුවන්. ජපානය බෞද්ධ ආභාසයක් සහිත රටක්. මා හිතනා හැටියට මුරකමිගේ ඇතැම් ලියවිලිවලට එකී ආභාසය ලැබෙන්නට ඇති.

පුංචි හරිතවර්ණ රාස්සයා මේ කතා පොතේ එන තවත් එක් කෙටි කතාවක්. රාස්සයා කියූ සැණින් එන්නේ බියක්. කටවහරේ විදිහට රස්සයා කළුයි, කැතයි, බලන්න බැහැ. අප්‍රසන්නයි. මිනිසුන් මරලා කනවා. හැබැයි මේ කියන රාස්සයා කොළපාට එකෙක්. ඌ තවම ළපටි එකෙක්. ඒ වගේම කුඩායි. රාස්සයා ඉන්නේ කථකයාගේ ෆැන්ටසිමය ලෝකය ඇතුළේ. මේ කතාවේ රාස්සයාට වඩා මනුස්සයා දරුණුයි. මනුස්සයා විසින් රාස්සයාව මරා දානවා. සත්‍ය නොවන නමුත් අසත්‍ය සේ නොදැනෙන සිදුවීම් සමඟ කතාව පුරා මායාමය ලක්ෂණ දැකගන්න පුළුවන්.

එසැණින් පොලොව විවර වූ අතර ගොඩ ගැසුණු පස් එහේ මෙහේ විසිර ගියේ, එතැනින් සතෙකුගේ උල් නිය පහරවල් දර්ශනය වන්නට පටන් ගත්තේ ය. (148 පිට)

රාස්සයාගේ හැඩරුව වෙනස්වන්නට විය. උගේ කොලපාට නාසය පණුවකුට වඩා විශාල නොවන සේ සිහින් විය. (153 පිට)

කතාව කියන්නේ එක්තරා බිරිඳක්. සැමියා නිවසින් බැහැරව රැකියාවට ගිය පසු ඇය නිවසේ තනිව හුදකලාව ඉන්න කෙනෙක්. ඇය තුළ පවතින මානසික පීඩනය, තනිකම, හුදකලාව, පාළුව මුදා හරින විදිහ තමයි පුංචි හරිතවර්ණ රාස්සයාගේ පැමිණීම.

ඇයට අවශ්‍යයි සැමියාගේ ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, අවධානය, ආරක්ෂාව. නමුත් ඇයට ඒ දේවල් අහිමියි. නැත්නම් සුළු හෝ අඩුවක් තිබෙනවා. ඇය සොයනවා ඒ හිඩැස මකන්න විදිහක්. එහි පළයක් විදිහට රාස්සයා පැමිණෙනවා. එතනදී ඇය බයයි රාස්සයා පිළිගන්න. ඇය දැඩිව ප්‍රතික්ෂේප කරනවා රාස්සයා. ඇය තම අත්වලින් කෘර අයුරින් මරා දමනවා රාස්සයාව. ඇය ගැටෙනවා තමන්ගේ හිත එක්ක. ඇය ගරු කරනවා සැමියාට. ඒ හින්දා ආශාව හා සදාචාරය අතර ඇය දෝලනය වෙනවා. මේ සියලු කතා අවසානයේ කතුවරයා හෙළි කර තිබෙන්නේ ශූන්‍යත්වය ගැන ගැඹුරු දර්ශනයක්. එහෙත් ඒ කතාව කියන්නට යොදා ගත්ත තේමාව සහ සිදුවීම පහසු එකක්.

කතා සංග්‍රහයේ එන සුවිශේෂ ම කතාව අලියා අතුරුදන්. කතාව අලියකු අතුරුදන් වීම පිළිබඳ පුවතක්. ආරම්භය වාර්තාමය ස්වරූපයක් පේනවා. මේ කතාවේ වැදගත් වන්නේ අලියා අතුරුදන් වූ විදිහ. එහෙම දෙයක් විය හැකි ද යන වග. එය විය නොහැක්කක්. විශ්වාස කළ නොහැකි අවස්ථාවක්. යථාර්ථය ගැඹුරින් දකින්නට කතුවරයා ගත් උත්සහය ඒ අභ්‍යත්වය ඔස්සේ මතු කර පෙන්වනවා.

ඇත්තටම මම ඒ වෙලවෙ පුදුමයට පත්වුණේ මගේ ඇස් දෙක මගෙත් එක්ක ප්‍රයෝග සෙල්ලම් කරනව ද කියල. මම ඇස් වසමින් අරමින් හිස සොලවමින් ඔවුන් දෙස බැලුව. (143 පිට)

“එහෙනං ඔයා විශ්වාස කරන්නේ යකඩ කඳන් අතරින් රිංගා යාමට තරම් අලියා කුඩා වුණා. “එහෙම නැත්නම් ඌ ශුන්‍යත්වය කරා අතුරුදන් වී ගියා. ඒක එහෙම ද?”

ඕනෑම දෙයක් වෙන රටාවක් තිබෙනවා. ඒකට අපි කියනවා ඒකත්වය කියලා. මේ කතාවේ අලියා අතුරුදන් වෙන්නෙ ප්‍රමාණයෙන් කුඩා වෙලා. ඒක ඒකත්වයට පිටින් යමක් විය හැකි බවට දෙන ඉඟියක්. කතාව ගොඩනඟන්නේ ඒකත්වය වටා. සමාජය බලාපොරොත්තු වන ආකාරයෙන් ඔබ්බට යමක් දකින්නට උත්සහ ගෙන තිබෙනවා. කතාව පටන් ගැන්මේ දී කතුවරයාගේ රචනා ආර තරමක් නීරසයි. ඒ නීරස බව කතුවර බලාපොරොත්තු ඉටු වීමේ සලකුණක්. අවසානයේ දී කතුවරයා පුරුදු රටාවට එනවා. කුතුහලය රඳවා ගන්නවා.

ජනේලයක් මේ කෙටිකතා පොතේ එන තවත් එක් කොට කතාවක්. ජනේලයෙන් අපට එළිය නැත්නම් රාමුවෙන් පිටත දකින්න පුළුවන්. ඒ වගේම ජනේලයට පුළුවන් අඳුර දුරු කරන්න. මේ කොට කතාව කියන්නෙත් ඒ වගේ කතාවක්. අප රාමුව ඇතුළේ තියෙන දේ බලාපොරොත්තු වුණත් අපට සිදු වෙනවා උරුම දේ වැළඳ ගන්න. අප පතන ජීවිතය හමු නොවන තැන උරුම දේ දරා ගත යුතු බව මේ කතාවෙන් කියනවා.

සමස්තයක් වශයෙන් මුරකමි කෙටිකතා එක් විශේෂ සංකල්ප හෝ සිද්ධි අරමුණු කර ගෙන ලියවෙනවා. ඒත් ඒ සංකල්ප ඔස්සේ කතා ගොඩනැගීම රසයට බාධාවක් වන්නෙ නැහැ. කලාත්මක ගුණය ආරක්ෂා කරමින් ලියවෙනවා. ඒ කෙටිකතා නිදර්ශනාත්මක සංකල්ප විවරණයක් වගේ. උපදේශාත්මක සාහිත්‍යයක් වගේ. උපදේශාත්මක වූ පමණින් සාහිත්‍යයක් සාර්ථක බව මින් අදහස් වන්නේ නැහැ. ඒත් මුරකමි අලුත් සංකල්පමය තේමා ඇතුළේ කියූ කතා සාර්ථකයි. පාඨකයා නොහිතන මාන විවර කරනවා. සිතන්නට පොළඹවනවා.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment