හරුකි මුරකමි 1987 දී රචනා කළ ‘Norwegian Wood’ නවකතාව ඔහුගේ නොමැකෙන සලකුණු සහිත අද්විතීය නවකතාව වශයෙන් සැලකෙනවා (මෙය සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන ‘හිරු නැගෙන රටේ පෙම් පුවතක්’ නමින් සිංහලට නගා තිබෙනවා). මේ ඔහු විසින් රචිත පස්වන කෘතියයි. ‘Norwegian Wood’ කිව්ව ගමන් අපට මතක් වෙන්නෙ බීට්ල්ස් (The Beatles) කණ්ඩායමේ ‘𝙉𝙤𝙧𝙬𝙚𝙜𝙞𝙖𝙣 𝙒𝙤𝙤𝙙 (𝙏𝙝𝙞𝙨 𝘽𝙞𝙧𝙙 𝙃𝙖𝙨 𝙁𝙡𝙤𝙬𝙣) ගීතයයි. මේ ගීතයේ නම තමයි මුරකමි තමන්ගෙ නවකතාවේ නාමය බවට පත් කර ගන්නේ. නවකතාවේ ප්‍රධාන චරිතයක් වන නයෝකෝගේ ප්‍රියතම ගීතය බවට පත් වන්නේත් මෙයයි.
ටෝරු වටනාබේ තමයි අපේ කථා නායකයා බවට පත් වෙන්නේ. අතීතාවර්ජනයක ස්වරූපයෙන් රචනා වන මෙම නවකතාව අහිමිවීම් සම්බන්ධව ලියවුණු නොස්ටැල්ජික මතක එකතුවක් විදියටත් හඳුන්වන්න පුළුවන්. වසෙඩා විශ්වවිද්‍යාලයේ ඔහු ඉගෙනුම ලබන 1969 වර්ෂයෙන් තමයි කතාව ආරම්භ වෙන්නෙ. මේ කාලය පිළිබඳ ව අපි කල්පනා කළොත් අදින් දශක පහකට පෙර කතාවක් තමයි කතුවරයා අපට කියන්නෙ.
ලෝක යුද්ධයෙන් බැට කෑ ජපානය යළි හිස ඔසවන්න පටන් ගන්නේ 1960 දශකයේ දි. ජපානය ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන කාලය තුළ තමයි ටෝරු ඔහුගේ කතාව අපට කියන්නේ. තමන්ගෙ හොඳම මිත්‍රයාගේ (කසුකිගේ) මිය යාමෙන් පසුව තමයි ටොරු සහ නයෝකෝගේ ප්‍රේම සම්බන්ධය ආරම්භ වෙන්නෙ. දෙවෙන්දොරා සං සහ නොරිකෝගේ ආදර සම්බන්ධය දන්නා අපට මෙම සම්බන්ධය දැනෙන්නෙ වෙනස් ම ආරකට.
“...හරිම ගැඹුරු ළිඳක්. ඒත් කවුරුත් දන්නෙ නෑ තියෙන තැන. ඔබ සමහර විට වැටෙන්නට පුළුවන්. ඒ තමයි ඔබේ අවසානය…” (12 පිටුව)
කතුවරයා ආරම්භයේදීම අපට ලබා දෙන්නේ නවකතාවේ අවසානය පිළිබඳ ඉඟියක්දැයි සිතෙනවා. ජපානය හා සම්බන්ධ ආදර කතා ඛේදාන්තයකින් අවසන් වන බවට අප මනස තුළ තැන්පත්ව ඇති මතය මෙහිදී කරළියට පැමිණෙනවා. නමුත් කතුවරයා නවකතාව අවසන් කරන්නේ පාඨකයා බලාපොරොත්තු නොවන අවසානයකින්. මුරකමි යම් සුබවාදී ආකල්පයකින් නවකතාව අවසන් කරන සෙයක් පෙනෙනවා.
”රාත්‍රියේ ජාතික ධජය උඩු සුළඟේ ලෙළ දෙවන්නේ නැත්තේ ඇයි දැයි මම නොදනිමි. එහෙත් ජාතිය රාත්‍රී කාලය තුළත් පවතිනවා නේද? මුළු රාත්‍රිය පුරා රටට සේවය කරන මිනිස්සු එමට සිටිති. පාරවල් හදන අය, ටැක්සි රියදුරෝ, බාර් සේවිකාවෝ, ගිනි නිවන හමුදා භටයෝ, රාත්‍රී මුර සේවකයෝ. මේ අයට ජාතික ධජයේ පිහිට නොදීම අසාධාරණයක් ලෙස මට සිතේ.” (24 පිටුව)
රටක සියලුම වෘත්තීන්ට අනන්‍ය වූ වටිනාකමක් සහ ගරුත්වයක් පවතින බවත්, එබැවින් කිසිදු වෘත්තියක් පහත් කොට නොසැලකිය යුතු බවත් කතුවරයා මෙහි දී අවධාරණය කරනවා. මුරකමිගේ බොහෝ නිර්මාණවල දකින්නට ලැබෙන පොදු කරුණක් වන්නේ ජපානයේ නගර කේන්ද්‍රීයව ගොඩනැඟී ඇති දුප්පත්-පොහොසත් බව සහ ජපානයේ එවකට පැවති විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය සහ අරගල සම්බන්ධව කතුවරයා එල්ල කරන විරෝධයයි. විශ්වවිද්‍යාල දේශපාලනය සම්බන්ධව ස්වකීය විරෝධය සඳහා කතුවරයා තම අවිය බවට පත් කරගෙන ඇත්තේ මිදෝරිගේ චරිතයයි.
“අනිත් අය මාළු බිත්තරයි, සැමනුයි, බැදපු බිත්තරයි දමාගෙන ආවා කියා මාව පාච්චල් කෙරුවා. උන්ට කටගැස්මට හොඳ දේවල් තිබිය යුතුයිලු. අහරේ ඉන්දියාවේ හාමතේ ළමයි මැරෙනවා. මුන්ගේ විප්ලවය ඕකයි. කෝ වනිතා විමුක්තිය? කෝ සමාජවාදය?” (266 පිටුව)
මුරකමිගේ කෘතිවල පවතින තවත් පොදු ලක්ෂණයක් තමයි අන්තර්පඨිතත්වය (Intertextuality) බහුලව පැවතීම. ඉන් අදහස් වන්නේ කතුවරයා පරිශීලනය කළ අනෙකුත් සාහිත්‍යාංග පිළිබඳව තම කෘතිවල සඳහන් කිරීමයි. මෙම නවකතාව තුළත් එවැනි නවකතා, ගීත බොහොමයක් අපට හමුවෙනවා.
නවකතාවේ හමුවන ප්‍රධාන චරිත දෙකට අමතර ව සිටින සෙසු චරිත වෙතද පුළුල් අවධානයක් නවකතාව තුළ කතුවරයා ලබා දී ඇති බව පෙනෙනවා. මිදෝරි, නගසාවා, හත්ෂුමී, රේකෝ වැනි චරිත මෙහිදී ප්‍රධානයි. මිනිස් චරිතවල පවත්නා අඩුලුහුඬුකම් සහ එක් එක් චරිතවල මනෝභාවයන් ක්‍රියා කරන ආකාරය කතුවරයා සූක්ෂමව ඉදිරිපත් කර තිබෙනවා. නවකතාවේ චරිතවල පවත්නා විශේෂම ලක්ෂණය වන්නේ විවෘතභාවයයි. අපි හැමෝම සමාජීය සත්වයන්. නමුත් අපි හැමෝටම ආවේණික වෙච්ච පෞද්ගලිකත්වයක් තියෙනවා. කෙනෙක් එහෙම නෑ කියනවනම් ඒක විශ්වාස කරන්න අමාරු දෙයක්. අපිට කෙනෙක් සමග අපි ගැනම කතා කළ හැකි සීමාවක් තියෙනවා. නමුත් මේ නවකතාව තුළ අපට ඒ විවෘතභාවය හොඳින් ම දැකගන්න ලැබෙනවා. විශේෂයෙන් ලිංගිකත්වය සම්බන්ධ කාරණාවලදී. ස්ත්‍රී-පුරුෂ ලිංගිකත්වය සම්බන්ධව සමාජයේ විවෘතව කතා නොකරන දේ පවා නවකතාවේ චරිත ඔවුනොවුන් විෂයෙහි හෙළිදරව් කර ගන්නවා. මෙහිදී මිදෝරි සහ රේකෝ කියන ස්ත්‍රී චරිත දෙක විශේෂ තැනක් ගන්නවා. ස්ත්‍රී සමලිංගිකත්වය රේකෝගේ චරිතයට සිදු කළ බලපෑම ඇය ටෝරුට විස්තර කරන ආකාරය සහ මිදෝරි ස්වයං වින්දනය සම්බන්ධව ටෝරු සමග විවෘතව කතා කිරීම මීට නිදසුන් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්.
“ඇය මැරුණ එක ගැන මට ඇති සතුටක් නැහැ. හැබැයි ඕනෑවට වඩා දුකකුත් නැහැ. ඇත්ත කියන්නම්. එක කඳුළු බින්දුවක්වත් මම සැලුවේ නැහැ. පුංචි කාලයේ මගේ පූස් පැටියා මැරුණ වෙලාවේ මම මුළු රැයක්ම ඇඬුවා.” (125 පිටුව)
නවකතාවේ අපට හමුවන දඟකාර, හිතුවක්කාර චරිතයක් තමයි මිදෝරි කියන්නේ. හැබැයි ඇයගේ චරිතය බෙහෙවින් සංකීර්ණයි. කුඩා අවදියේ පටන් මව්පියන්ගේ සෙනෙහස නිසියාකාරව නොලැබීම හේතුවෙන් ඇය දරදඬු වී ඇති ආකාරයත්, ඇය ටෝරුගෙන් තමා කෙරෙහි ආදරය, රැකවරණය සහ අවධානය ලබා ගැනීමට උත්සාහ කරන ආකාරයත් අපට පෙනෙනවා. ලිංගිකත්වය සම්බන්ධයෙන් ඇය තුළ පවතින විවෘතභාවය පුදුම සහගතයි.
නයෝකෝ සහ රේකෝ ප්‍රතිකාර ලබා ගන්නා ‘අමී නිවහන’ නවකතාවේ අපට හමුවන සුවිශේෂ ස්ථානයක්. විටෙක එවැනි තැනක් පැවතිය හැකිද යන්න සිතා බලන්නට ඇරයුම් කරන, බාහිර සමාජයෙන් වියුක්ත වුණු මේ බිම්කඩ වෙත ටෝරු අපව ගෙන යනවා. සංගීතයත් සමග මිනිසාගේ පවතින සම්බන්ධය ද අපට නයොකෝ, රේකෝ සහ ටෝරු වැනි චරිතවලින් හෙළි වෙනවා.
“කිසුකිගේ මරණයෙන් මම එක් දෙයක් උගත්තෙමි. එය දර්ශනයක් ලෙසින් මගේ ජීවිතය තුළට ඇතුල් වූයේ ‘මරණය යනු ජීවිතය යන්නේ විරුද්ධාර්ථය නොවේ. එය ජීවිතයට උරුම වූ කොටසකි’ යනු හඬගා කියමිනි.”
ටෝරුගේ හොඳම මිතුරා වූ කිසුකි සහ පෙම්වතිය වූ නයෝකෝ යන දෙදෙනා ම සියදිවි නසා ගන්නවා. ජපානය හා සියදිවි නසා ගැනීම අතර පවතින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. ලෝකයේ වැඩිම සියදිවි නසාගන්නන් සිටින රට වන්නෙත් ජපානය. ජපානයේ ඔකිගහරා වනාන්තරය සහ ෆූජියාමා කන්ද තමයි එහි ප්‍රසිද්ධම ස්ථාන. නවකතාවේ සඳහන් වන විදියට නයෝකෝ සියදිවි නසා ගැනීමට යන්නෙත් වනාන්තරයකට. වනාන්තරයේ නම සඳහන් නොවුණත්, අපට අනුමාන කරන්න පුළුවන්, ඇය යන්න ඇත්තෙත් ඔකිගහරා වනාන්තරයට කියලා.
“මේ ලෝකයේ මට ඕනෑ කරන්නේ ඔයා විතරයි. ඔයාව දැක, කතා කරන්නට ඕනෑ. අප දෙදෙනාම හැම දෙයක්ම නැවත ආරම්භයේ සිට පටන් ගත යුතුයි.” (428 පිටුව)
තම මිතුරාගේ මරණයෙන් සිත් තැවුලට පත්ව සිටි ටෝරුගේ චරිතය නයෝකෝගේ මරණයත් සමග සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. ඔහුව යළි යථාතත්වයට පත් කරන්නේ ටෝකියෝවට පැමිණෙන රේකෝ විසින්. ඔවුනොවුන් අතර අවසානයේ දී ආරම්භ වන ලිංගික සම්බන්ධය ටෝරුගේ චරිතයේ පවතින සංකීර්ණත්වය පෙන්වන්නක්. අවසානයේ ඔහු මිදෝරි වෙත නැඹුරු වන්නට උත්සාහ කළද, ඔහු සිටිනුයේ අවිනිශ්චිත තත්වයක බව ඔහු සිටිනා ඉසව්ව අමතක වීමෙන් ම ප්‍රකට වෙනවා.
“ඊළඟ ඉරිදා මම නයෝකෝට ලිපියක් ලියුවෙමි. නොරිකෝගේ තාත්තා ගැන එහි සඳහන් කළෙමි.” (290 පිටුව)
නවකතාව සිංහලට පරිවර්තනය කරන පරිවර්තකයා මෙහිදී තමාගේ මනසේ ඇඳී පවතින සරච්චන්ද්‍රගේ ‘මළගිය ඇත්තෝ’ නවකතාවේ එන නොරිකෝගේ චරිතය මෙම පරිවර්තනය තුළට නොදැනුවත්වම රැගෙන විත් තිබෙනවා. ඒ ‘මිදෝරි’ යන නාමය වෙනුවට වැරදීමකින් ‘නොරිකෝ’ ලෙස යෙදීමෙන්. පරිවර්තන කාර්යයේ දී මෙවැනි දෑ සුළු කොට නොසැලකිය යුතු බවයි මගේ හැඟීම. මෙය පරිවර්තකයාගේ මනසේ රැඳී පැවතුණක් විය යුතු බව මා සඳහන් කළේ කෘතිය ආරම්භයේ පරිවර්තක සටහනේදී හෙතෙම සරච්චන්ද්‍රගේ නවකතා ද්විත්වය පිළිබඳව පවසන බැවිනි. පරිවර්තනය පුරාම දැක ගන්නට ලැබෙන දෝෂ කිහිපයක් තිබෙනවා. ඒ අතර අක්ෂර වින්‍යාසයෙහි පවත්නා වැරදි ඉහළින්ම පවතිනවා. පද බෙදීම, පිල්ලම් යෙදීමේ පවා අඩුපාඩු රැසක් හමු වූවා. 2016 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ පරිවර්තන නවකතා අංශයේ අවසන් වටයට නිර්දේශිත වූ නවකතාවක් වන මෙහි තුන්වන මුද්‍රණයේ දී පවා සෝදුපත් පරික්ෂාවකට ලක් කර නොතිබීම කනගාටුවට කරුණක්.
කෙසේ වෙතත්, මුරකමිගේ නවකතා ලෝකයේ භාෂා පනහකට පමණ පරිවර්තනය වී තිබෙනවා. ඔහුගේ නවකතා බෙහෙවින් ම ජනප්‍රිය වී ඇත්තේ තරුණ ප්‍රජාව තුළයි. ඊට හේතු වී ඇත්තේ ඔහු ස්වකීය කෘති ඔස්සේ ඒ ඒ චරිතවලට අනන්‍ය ව ඉදිරිපත් කරන අව්‍යාජත්වය විය යුතු ය. ‘Norwegian Wood’ නවකතාව ඔස්සේ ප්‍රේමයේ දුක්ඛ පක්ෂය වෙත අප ගෙන යන මුරකමි ජීවිතය, මරණය සහ ආදරය පිළිබඳ පාඨකයාට නැවත නැවතත් සිතා බලන්නට ආරාධනා කරනවා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
