“හැම කාන්තාවකම තුළ ඉන්න ඒ ශක්තිමත් ගැහැනියට මම කේතකී නමින් පණ දුන්නා.” – ධනූ ජයසුන්දර

ලංකාවේ සිංහල පාඨකයන්ට අපරාධ පරීක්ෂණ ශානරයේ නවකතා පෙළක්ම ලියා තිබෙන ඇය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ලේඛිකාවක්. නවකතා ලියන්නට මුහුණු පොතෙන් අතපොත් තබන ඈ අද වන විට සුවහසක් පාඨක ජනාදරය දිනා ගන්නට සමත් වෙලා තිබෙනවා. ඒ ඇය විසින් නිර්මාණය කරන ලද අපරාධ පරීක්ෂක කේතකී වික්‍රමාරච්චි චරිතය හරහායි. අද අපේ කතා බහ දිග හැරෙන්නේ ජෝකර්, කොන්කොක්ල්, 5D මිරකල් ආදී නවකතා රචනා කළ ධනූ ජයසුන්දර සමගයි.

Q: ධනූ ජයසුන්දර, ඔබ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?

A: මම ඉපදුනේ කුරුණෑගල පැල්ලන්දෙණිය ප්‍රදේශයේ. පාසල් අධ්‍යාපනය පාසල් කිහිපයකින්ම ලබාගෙන තියෙනවා. දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙන කෙනෙක්.

Q: ඔබ ලේඛන දිවිය ආරම්භ කරන්නේම අපරාධ ශානරයේ නවකතාවලින්ද? ඒ ආරම්භය සිදුවුණේ කොයි විදියටද?

A: ලියන්න හිතලවත් නොතිබුණ කාලයක අහම්බෙන් තමයි මම ලිවීමට යොමු වෙන්නේ. මුහුණු පොතේ මම පළකරපු කවි කිහිපයක් දැකලා මගෙ මුහුණු පොතේම මිතුරෙක් වුණ චන්දන කැකුලන්දර මහතා මට කිව්වා කතාවක් ලියන්න කියලා. ඒ ඉල්ලීමට කොටස් කිහිපයකින් යුතු කතාවක් ලිව්වා. ඊට පස්සේ අපරාධමය කතාවක් විදියට කේතකී කියන චරිතය දාලා මාංචු කියන කතාව ලිව්වා. මගෙ අක්කා නදීරා, කේතකී කියන චරිතය එතනින් වියැකෙන්න නොදී මේ තාක් දුර අරගෙන ආවා. ඇත්තටම එයා නැත්නම් අපරාධමය නවකතා ලියන ධනූ ජයසුන්දරත් නැහැ.

Q: ඇත්තටම, කේතකීගේ උපත සිදුවන්නේ කොහොම ද?

A: ‘නිබුනාන්’ කියන දමිළ චිත්‍රපටිය නරඹමින් ඉද්දි මට හිතුණා ලංකාවේ කාන්තාවක් පාදක කරගෙන ලියපු රහස් පරීක්ෂක ශානරයෙ කෘතීන් අඩුයි නේද කියල. මුහුණු පොතට කේතකී කියන චරිතය දාලා කොටස් කිහිපයකින් යුතු කතාවක් ලිව්වා. නමුත් කේතකී කියන චරිතයට බොහෝ පිරිසක් ආදරය කළා. මම කලින් කිව්වා වගේ නදීරා අක්කා තමයි ඒ චරිතය දිගින් දිගටම ලියන්න වගේම, මෙහෙම පොත් පෙළක් දක්වා ගේන්නත්, කේතකී කියන චරිතය ශක්තිමත් කාන්තාවක් විදියට ගොඩනගන්නත් මට සහාය වුණේ. මම ලියන සෑම අකුරකම අඩු පාඩු බලමින් කේතකී ජීවමාන චරිතයක් කරන්න මටත් වඩා උත්සාහ කරන්නේ එයා. ඇත්තටම කාන්තාවක් කියන්නේ ශක්තිමත් උපායශීලී කෙනෙක්. තීක්ෂණ බුද්ධියක්, ඉවක් කාන්තාවක් සතුව තියෙනවා. ඒ දේවල් උපයෝගී කරගෙන මම හැම කාන්තාවකගේම ශරීරයෙ ඇතුළෙ ඉන්න ඒ ශක්තිමත් ගැහැනියට කේතකී නමින් පණ දුන්නා.

Q: නිර්මාණාත්මක අදහසක් කෘතියක් ලෙස නිමා කිරීමේ පරිශ්‍රමය ගැන ඔබ දකින්නේ මොන විදියටද?

A: යම් වස්තු බීජයක් අපේ සිතට පිවිසි වහාම ඒක පොතක් කරන්න බැහැ. අපි විශ්වසනීය ලෙස චරිත, සිදුවීම් ගොඩනගන්න ඕන. ඒ කතාවට අදාලව අපි කරුණු ගවේෂණය කරන්න ඕන. ලියා අවසන් කළ කතාවක් කෘතියක් ලෙස නිමා කිරිම කොහෙත්ම ලෙහෙසි නැහැ. සෝදුපත් බැලීම, කවර නිර්මාණය, සංස්කරණය වගේ ක්‍රියාවලීන් බොහොමයකට පස්සෙ පොතක් නිමා වෙලායි පාඨකයෙක් අතට ලැබෙන්නේ. ඉතින් මට නම් ඒක සුන්දර වගේම භාරදූර කාර්යයක්.

Q: ඔබ මේ දක්වාම අපරාධ පරීක්ෂණ ශානරය ඔස්සේ පමණක් කෘති රචනා කිරීමට විශේෂ හේතුවක් තියෙනව ද?

A: ඔව්. ලංකාවේ දිනකට බොහෝ අපරාධ සිදුවෙනවා. ඒ වගේම දිනෙන් දින මානසික රෝගත් ඉහල යනවා. අපරාධ බොහොමයකට මේ මානසික රෝග හේතුකාරකයක් වෙනවා වගේම, අපරාධකරුවන් බිහිකිරීමට අපිත් වක්‍රව හෝ දායක වෙලා තියෙනවා. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නෙවේ. මට අවශ්‍යයි මිනිසුන් යම් තරමකින් හෝ මේ අපරාධ සිදුවෙන්න හේතු කාරක වගේම, අපරාධයක් කරලා නීතියෙන් ගැලවෙන්න බැහැ කියන පණිවුඩයත් සමාජගත කරන්න. ඉතින්  ඒකට මම කැමතිම ශානරයකින් ලිවීම ආරම්භ කළා..

Q: විවිධ සමාජ ගැටළු පිළිබඳ කතා කිරීමට අපරාධ පරීක්ෂණ වැනි ශානරයක් ඔබ තෝරා ගන්නේ ඇයි?

A: සමාජය තුල අපරාධකරුවෙක් බිහි වෙන්න අපිත් වක්‍රව හෝ දායක වෙලා තියෙනවා. අනික බොහෝ ගැටලු අවසන් වන්නේ කුමන හෝ අපරාධයකින්. මනුෂ්‍ය ඝාතන නොවන බොහෝ අපරාධ තියෙනවා. අනික් කාරණය රහස් පරික්ෂක ශානරය බොහෝ පිරිසක් කැමති ශානරයක්. ගැටලු කතා කිරීමට පහසු මාධ්‍යක්.

Q: ඔබගේ සෑම කෘතියකම දැකගත හැකි, විවිධ විෂයන් ආශ්‍රිත දැනුම ඔබ උකහා ගන්නා, ඔබගේ පර්යේෂණ ක්‍රියාවලිය සිදුවන්නේ කොහොමද?

A: පොතක් ලියන්නට පෙර සාමාජීය ගැටලු, මානසික රෝග පිළිබඳව මම හොයලා බලනවා. ඒ වගේම මානසික රෝග නැත්නම් මනෝ විද්‍යාව පිළිබඳව මම හදාරලා තියෙනවා. කතාවක් ගොඩ නැගීමට පෙර මම ඒ සඳහා අවශ්‍ය මරණ පරීක්ෂණ නරඹනවා. ඒ පිළිබඳව පොත් කියවනවා. මානසික රෝගීන් පිළිබඳව හැදෑරීම් කරනවා. ඒ කතාවෙ සිද්ධි ගොඩ නැගීමට අවශ්‍ය ස්ථාන නරඹනවා. වෛද්‍ය මංජුලා, වෛද්‍ය ප්‍රියන්ත බංඩාර වගේ අදාල විෂය ක්ෂේත්‍රයේ මගෙ කල්‍යාණ මිතුරන්ගෙ සහය මට නිරන්තරයෙන් ලැබෙනවා.

Q: ඔබ කේතකීගේ සෑම විමර්ශනයක් ඔස්සේම අභිරහසකට වඩා සෘජු කියවීමක් පාඨකයාට ලබා දී තිබෙනවා කියල මට හිතෙනවා. එය යම් ඒකාකාරී බවක් කෘතියට එක් කර තිබෙනවා යැයි මම කිව්වොත්?

A: මට විවිධාකර වයස් සිමාවල, රැකියාවල සිටින පාඨකයන් සිටිනවා. ඔවුන් එකිනෙකා පොතක් කියවගන්න අකාරය, ඔවුන්ට දැනෙන ආකාරය විවිධයි. ඒ වගේම කේතකීගෙ සම්පුර්ණ කතා මාලාවම නිමා වෙන විට  තවත් ප්‍රධාන රහසක් ඒ කතාවෙන් හෙලිදරව් වෙනවා. කෘතියට ඒ කරුණු නිසා යම් ඒකාකාරි බවක් ඇති වේනම් මම හැම තිස්සෙම උත්සාහ කරනවා ඒවා මගහැරගෙන ලියන්න.

Q: ඔබ ‘කේතකීගේ විමර්ශන’ ඔස්සේ ලාංකීය පාඨකයාගේ නැතිනම්, සාමාන්‍ය ජනතාවගේ දැනුවත් බව ඔප් නංවනවා සේම ආරක්ෂක අංශවල කාර්යක්ෂම බවත් බලාපොරොත්තු වෙනවා නේද?

A: ඔව් අනිවාර්යයෙන්ම. නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නෙවේ වගේම, නීතීය රකින්නට ආරක්ෂක අංශ බැදී සිටිනවා. ජනතාව ඒ අංශ මත විශ්වාසය තබා සිටිනවා. මම වගේම මහජනතාව එහි කාර්යක්ෂමතාව බලාපොරොත්තු වෙනවා.

Q: අපරාධ පරීක්ෂණ ශානරයේ ඔබව අතරමං කළ හැකි වූ ලේඛකයෙක් සිටිනව ද?

A: ඔව්, අගතා ක්‍රිස්ටි මහත්මිය. ලංකාවේ නම් ලසිත රවීන් උමගිලිය මහත්මයා.

Q: කතා වින්‍යාසයේ පැවතිය යුතු අහඹු වෙනස්වීම් (Plot twists and turns) අපරාධ පරීක්ෂණ කෘතියකට සිදු කරන දායකත්වය ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

A: අපරාධ පරීක්ෂණ කෘතියක අහඹු වෙනස් වීම් තිබිය යුතුයි. කෘතියෙහි සාර්ථකත්වය එතැනයි රදා පවතින්නේ. පෞද්ගලිකව මට නම්, යම් කෘතියක  අපරාධකරු මුලදිම අනුමාන කල හැකි වුවහොත් ඉන් එහාට කියවන්නේ මන්දගාමීව. ඒ නිසා මම විශ්වාස කරනවා අහඹු වෙනස්වීම කෘතියකට බොහෝ වැදගත් කියල.

Q: මෙම ශානරයේ කෘතියක පැවතිය යුතු ම අංග ලෙස ඔබ දකින්නේ මොණවා ද?

A: කුතුහලය, විශ්වසනීයත්වය, සිද්ධි ගොඩ නැගීම් අතර සම්බන්ධතාවය නොනැසීම, අපරාධකරුගේ මෙන්ම වින්දිතයාගේද අනෙක් චරිතවලද මනෝභාවයන්, පරිවේශණීය සාක්ෂිවල නිවැරදි බව වගේ දේවල් තමයි.

Q: අපරාධ පරීක්ෂණ ප්‍රබන්ධ ආශ්‍රිතව වර්තමානයේ දැක ගත හැකි නව ප්‍රවණතා සහ ඌනතා මොණවාදැයි ඔබට යම් අදහසක් දක්වන්න පුළුවන්ද?

A: ඒ ප්‍රශ්නයට උත්තරයක් ගොනු කරන්න තරම් මම මේ ශානරය තුළ මේරූ චරිතයක් නෙවේ කියලා හිතනවා.

Q: ලේ ගැලීම්, වෙඩි තැබීම් නැතිව පාඨකයා කුතුහලයෙන් ත්‍රාසයෙන් මත්කළ හැකි අපරාධ පරීක්ෂණ කෘතියක් ලියන්න බැරිද?

A: අනිවාර්යයෙන් පුළුවන්. බොහෝ විට මගේ ඊලඟ කෘතිය තුළ වෙඩි තැබීම් ලේ ගැලීම් කිසිවක් නොමැති වේවි.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment