ගත වන කාලය වෙහෙසකර නමුත් ඉඩක් ලද විගස කියවන එක මගේ පුරුද්දක්. මේ දවස්වල මා කියවන්නේ හරුකි මුරකමි නම් විශිෂ්ට ගත්කාරයාව. COLORLESS TSUKURU TAZAKI and HIS YEARS OF PILGRIMAGE මුරකමිගේ විශිෂ්ට නවකතාවක්. මේ පොත පරිවර්තනය වෙනවා සිංහලට තීර්ථ යාත්‍රාවේ වසර ගණනාවක් කියලා. පරිවර්තනය කරන්නේ මැනුවෙල් ජයසේකර.
පොත කියවන්නට දින ගණනක් ගත වුණේ පොත පිටු 386ක් නිසා. මුරකමිට තිබූ කැමැත්ත නිසා පොත අතට ගත්තත් ආරම්භයේ දැනුණේ නීරසක්. නෙල්ලි ගෙඩියක් වුණත් කන්න ගත්ත ගමන් තිත්තයි. කර්කශයි. කාල ඉවර වුණාම රසවත්. ගුණවත්. මේ පොතත් ඒ වගේ.
පාසල් මිතුරු කණ්ඩායමක්. කොල්ලන් තිදෙනෙක්. කෙල්ලන් දෙන්නෙක්. ඔවුන් එකට කෑවා. බිව්වා. විනෝද වුණා. සමාජ සේවය කළා. සියල්ල කළේ එකට. එක විදිහට හිතන්න උත්සහ දැරුවා. සුකුරු ටසාකි මේ දමේ එක් පුරුකක්. ඔහු තමයි කථානායකයා.
උසස් අධ්‍යාපනයට පිවිසෙනතුරු මේ අය හිටියේ එකට. හදිසියේ සුකුරු මේ පුරුකෙන් ගැළවෙනවා. නැත්නම් මිතුරු නඩය ඔහුව එක්වර ගලවලා විසිකරනවා. ඔහුට දරන්න අමාරුයි ඒක. ඔහු හුදකලා වෙනවා. කෙට්ටු වෙනවා. සාමාන්‍ය සමාජයේ විරහව විඳින අයට මානසිකව වගේම කායිකව වන බලපෑම සුකුරුටත් වෙනවා. අපි කැමති අය අපෙන් වෙන් වෙන එක දුකක්. සුකුරුටත් ඒක එහෙමයි. එතෙනදි ඔහුගේ හැසිරීම හරිම ස්වභාවිකයි. අපිට අපිවම පෙන්න ගන්නවා ඔහු තුළින්. එතනදි මට කැමැත්තක් ඇති වෙනවා තවදුරටත් ඔහුව කියවන්න.
කාලය කියන්නේ පුදුම සහගත බෙහෙතක්. රෝගය මොකක් වුණත්. කාලය ගත වෙන කොට සුකුරු හුරු වෙනවා දුකට. ඔහුට ඕන වෙනවා නවත්තපු තැනින් පටන් ගන්න. ඔහු තේරුම් ගන්නවා ඒ විදිහට ඉදිරියට යන්න බැහැ කියන කාරණය. ඔහුව මිතුරන් ගෙන් අත්හැරිලා අවසන් බව.
සුකුරු කියන්නේ වැසුණු චරිතයක්. තරමක් ගුප්තයි. මිතුර නඩය තම තමන්ගේ අනාගත රස්සාව ගැන කතාවෙන කොට සුකුරු ඒක සඟවනවා. රහස් ගුහාවක් මුලදි. හිතේ තියන දේවල් පිටට හෙළි කරන්නේ අඩුවෙන්. කතාවේ මුල පටන් ඒ ලක්ෂණය පේනවා. මිතුරන්ට වුණත් ඔහු කාරණා හංඟනවා. ඒ හැඟීම ඔහු තුළ තියෙන හින්දම ඔහු මිතුරන්ගෙන් අහන්නේ නැහැ ඔහුව මිතුරු දාමයෙන් ඉවත් කරන්න හේතුව. ඒ වගේම ඔහු පරාජිත ලකුණු පෙන්වන චරිතයක්. තමන් ගැනම ඔහුගේ කියවීම සෘණාත්මකයි.
හැබැයි මේ ඉවත දැමීම ගැන ආරම්භයේ ඉඳලා ඉඟි තියෙනවා. ගසට පොත්ත මෙන් වුණු මිතුරු දාමයෙන් එක් අයෙක් ගලවා දමන්නට අනෙක් මිතුරන් ගත්ත සෘජු තීරණයක්, ඒ වෙනස් නොවන තීරණය පාඨකයාට කුතුහලයක්. එහෙම වුණේ ඇයි කියන ප්‍රශ්නය කියවන්නා කතාව අවසානය දක්වා කියවන්නට පොළඹවනවා. ඒක කදිම උත්තේජනයක්.
පිරිමි තිදෙනෙක් හා ගැහැනු දෙදෙනෙක් වන සංයුතිය, එක්ව යුගල ලෙස එක්කාසු කිරීමේදී එක් පිරිමි ළමයෙකු අත්හැරෙනු ඇත. මේ හිඟය ඒ වන විට එතරම් පුළුල් පරාසයක් ඔස්සේ ඔස්සේ පැතිර නොගිය ද එය විසල් අඩුවක්…(6 පිටුව)
අකා (රතු) සහ ආඕ (නිල්) යනුවෙන් පිරිමි ළමුන් ද, ගැහැනු ළමුන් ෂිරෝ (සුදු) සහ කුරෝ (කළු) ලෙස අමතා ගනු ලැබිණි. එහෙත් ඔහු, සුකුරුම පමණක් විය….(8 පිටුව)
වර්ණවත් මිතුරන් අතර හිටිය අවර්ණ මිතුරා සුකුරු. දක්ෂයන් අතර සුකුරු සාමාන්‍ය කෙනෙක්. කිසි විශේෂයක් නැහැ. මෙය ධ්වනිතාර්ථවත්. මිතුරු නඩයෙන් සුකුරු වෙනස් බව අඟවනවා. අනෙක් අතට සුකුරුගේ චරිතය ගැන කියනවා. ඔහු තුළ තිබුණ ශූන්‍ය හැඟීම වෙන්නත් පුළුවන්. පරාජිත, සාංදෘෂ්ටිකවාදී ලකුණු වෙන්නත් පුළුවන්. මේ කතාව සාංදෘෂ්ටිකවාදී කතාවක් වෙනවා ඒ හින්දාම. කතාව පටන් ගන්නේ මෙහෙම. මිත්‍රත්වයෙන් පැරඳුනු මිතුරෙක්.
මෙතෙක් වියවුලක් බවට පත්ව තිබූ විසඳුම, මරණයට පත්වීම පමණක්ම බව මේ කෙටි කාලපරිච්ඡේදය පුරා නිතැතින් ඔහුට පසක් වී තිබුණි. ඒ උත්කර්ශවත් පියවර ගැනීමට අසමත් වූ හේතුව පවා ඔහුට අභිරහසක්. (පිටුව 1)
ජපන් සමාජයේ සියදිවි නසා ගැනීමට කියන්නේ හරාකිරි කියලා. සමුරායිවරු තම ජීවිතේදී හරාකිරි කරගන්න පෙළඹිලා ඉඳලා තියෙනවා. කලාකාරයන් වගේම සාහිත්‍යකාරයන් මේ ක්‍රමය පිළිගත්ත අය. ජපන් සමාජයේ ඔය කියන ලක්ෂණය ගැන අදහසක් කතාව ආරම්භයේම යෙදෙනවා. ඉන් අපට වැටහෙන්න ගන්නවා සුකුරුගේ මනස කඩා වැටිලා කියන කාරණාව. ඔහු තුළ පරාජිත ස්වරූපය පේනවා.
මුරකමිගේ අනෙක් කතාවල චරිතවලින් සුකුරු වෙනස් වීම කියවන්නාට වෙනසක් එකතු කරනවා. එය කතුවරයාගේ දක්ෂතාව අඟවනවා. කතාවෙන් කතාවට ඔහුගේ කතා තේමා, චරිත වෙනස්. හැබැයි ඔහු ලිංගිකත්වය කියන කාරණාව සෑම කතාවකම ඔබ්බවලා තියෙන්නෙ කතාවට ආභරණයක් විදිහට. ලාඳුරු හැදුණු පිරිමි සහ ගැහැනු වෙනුවට ඔහුගේ කතාවල ඉන්නේ හැඟීම් පිරුණු ගැහැනු, මිනිස්සු. එය බලෙන් කරපු ඇමුණුමක් හෝ විකාරරූපි දෙයක් වෙන්නෙ නැහැ. කතාව සමඟ තදින් බැඳිලා තියෙන්නෙ. වෙන් කරන්න බැහැ.
කතාව මනෝ විශ්ලේෂණවාදී කතාවක්. සංකීර්ණ මනුෂ්‍ය හැඟීම් ගැන කරන කලාත්මක විවරණයක්. පුද්ගල මනස සියුම්ව විවරණයක්. කුරෝ හා ෂිරෝ චරිත නිරූපණය විශේෂ වෙනවා මේ කාරණාවේදි. මුරකමි කියන්නේ බහුශ්‍රැතයෙක්. ඔහුට විශිෂ්ට දර්ශනයක් තියෙන බව පැහැදිලියි. මේ දේවල් එක්ක ඔහුගේ නිර්මාණ කියවීම මට ගෙන දෙන්නෙ නවගත්තේගම කියෙව්වා හා සමාන සතුටක්. මේ කතාවල නැති දෙයක් නැහැ.
මිතුරන්ගේ දරුණු ගණයේ අත්හැරීම සුකුරු තුළ සදාතනික වෙනසක් ඇති කරා. මිත්‍රත්වය කොච්චර බරපතළ ද කියලා දැන ගන්න නම් මේ කතාව කියවන්න ඕන. ඔහුට මරණය සතුටක් කියන සිතිවිල්ල දක්වා ඔහුගේ මනස තුළ වූ වෙනස කියනවා මිතුදමේ දිග පළල. අනෙක් අතට එවැනි පරාජිත මනසක් ඇති වෙන්නේ හේතුවක් නොකියා සියලු සම්බන්ධතා නවතපු හින්දා වෙන්න පුළුවන්. ඇත්ත කියලා අත්හැරිය නම් මෙතන මෙවැනි අපූරු කතාවක් ඇති වෙන්නෙ නැහැ. එයයි කතුවර පරිකල්පනයේ සාර්ථකත්වය. මිත්‍රත්වය, අත්හැරීම, රැවටීම මේ දෙවල් කතාවට ගළපන්නේ කුතුහලය එක්ක. මිතුරුකම ඔහු අල්ලා ගෙන තියෙන්නේ අපට වඩා වෙනස් තැනකින්.
මිතුරන්ගේ වියෝවෙන් පස්සෙ සුකුරුගෙ ජීවිතේ වෙනසක් කරන්නේ සාරා. දැඩි නිහඬ කාලයකට පස්සේ සාරා ඔහුට හමුවෙන විශේෂම තැනැත්තිය. හොඳම හමුවීම. ඇය ඔහුට වඩා අවුරුදු දෙකක් වැඩිමහල් කෙනෙක්. වැඩිමහල් වීම හින්දාම විටෙක සුකුරු මෙහෙයවන්න ඇයට පුළුවන් වුණා. ඇයට යම් පරිණත බවක් තිබුණා වයස විසින් උරුම කළ. එ් වගේම ඒ ගුණය කාන්තාවන්ට ආවේණික එකක්. ඇය ඉදිරිය වගේම හාත්පස හොඳින් දැක්කා. සමාජය, අවස්ථා සමීපව කියෙව්වා.
ඇය ඔහුව පොළඹවනවා අතීතයේ මිතුරන් ඔහුව අත්හැරිය හේතුව හොයන්න. සම්පූර්ණයෙන් ඒ ගැන දැන ගෙන ඉන් මිදෙන්න ඇය ඔහුට කියනවා.
ඔයා හරි, එයා තදින් කිවුවා. මම ම මහන්සිවෙලා උත්තර හොයාගන්න ඕන දේවල් ටිකක් ඉතුරුවෙලා තියෙනවා කියලා. අතීතයට ගිහිං ඒවා පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කරන්න ඕන….(පිටුව 300)
ඔහු වරින් වර තම පැරණි මිතුරු නඩය හමු වෙනවා. ඇත්ත කතාව දැන ගන්න. කුරුරු සමුදීමට හේතුව දැන ගන්න. අවසානයේ සුකුරු ඇත්ත දැන ගත්තද කියලා ඔබට දැන ගන්න ඕන නම් ඔයා මේ පොත කියවන්නම ඕන.
ඔවුන් පෙම්වතුන් කතාව ගලා යාමේදී. ඇය ඔහුට ඇහුම්කන් දුන්නා. මේ දේවල් එක්ක සුකුරු වඩාත් ඇලුම් කරනවා ඇයට. ගරු කරනවා ඇගේ උපදෙස්වලට. කතාව අවසානේ පෙන්න ගන්නවා ඇය ඔහුට හොඳ මඟ පෙන්වන්නියන් කියන එක. ඇය ශක්තියක් ඔහුට. ඇය වටා ඔහු නැවත ගොඩනැඟෙනවා. මේ සියලු තැන් මතු කරන විශේෂ දේ තමයි පුද්ගල මනස.
මුරකමි, චරිතවල මනස කියවන විදිහ පාඨකයාට සමීප වන්නට ඔහුට ඉඩ සලසනවා. අතිශය සංකීර්ණ චරිත ඔහු ගෙන හැර දක්වලා තියෙන්නෙ සරල බවක් එකතු කරලා. බැලු බැල්මට මේ කතාව මිතුරුකම ගැන කතාවක්. ඒත් ඔහුගේ සැබෑ අරමුණ සාංදෘෂ්ටිකවාදී කතාවක් කියන එක, මනෝවිශ්ලේෂණවාදී කතාවක් ඉදිරිපත් කරන එක. මුරකමි කතා කලාව මෙහෙමයි කියලා කියන්න බැහැ. ලෝකයේ බොහෝ කතාකාරයන් අතර ඔහු වෙනස් බව කියන්න පුළුවන්. එ් වෙනස කතා තේමා, චරිත, ආකෘතිය මේ සියලු කතා මූලධර්ම එක්ක ඇති වුණ දෙයක්. ඔහුට තියෙන්නේ නිදහස් මනසක්. විවෘත මනසක්. එතන සම්බාධක නැහැ. ඔහුට හැඟෙන දේ ඔහු ලියනවා. ප්‍රතිචාරය සලකන්නෙ නැහැ. එතනදි ඔහු සාර්ථක කතා කියන්නෙක් බවට පත් වෙනවා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
