හරුකි මුරකමි : පුද්ගල හුදෙකලාව සහ දූරස්ථභාවය

හරුකි මුරකමිගෙ ‘ගැහැනු නැතිව’ (Men Without Women) කෙටිකතා සංග්‍රහය පළ වෙන්නෙ 2017 වර්ෂයේ දි. මුරකමිගෙ නවකතා බොහොමයක් සිංහල භාෂාවට පරිවර්තනය වී තිබුණ ද, ඔහුගේ කෙටිකතා අප රටෙහි පාඨකයින් අතර එතරම් ප්‍රචලිත වී නැත. මෙම කෙටිකතා සංග්‍රහය 2020 වර්ෂයේ දි නිමල් ජයරත්න විසින් සිංහලට පරිවර්තනය කරනවා.

මිනිස් ජීවිතවලට අරක් ගෙන තිබෙන ඛේදනීය මනෝභාවයක් වශයෙන් තනිකම හෙවත් හුදෙකලාව හඳුන්වන්න පුළුවන්. පුද්ගලයා හුදෙකලා වීමත් සමග ඔහු හා සමාජය අතර සම්බන්ධතා දුරස් වෙනවා. මෙම කෙටිකතා සංග්‍රහයේ ඇතුළත් කෙටිකතා 07 තුළින් ම මුරකමි අපට පවසන්න උත්සාහ කරන්නේ හුදෙකලාව පිරිමි ජීවිත කේන්ද්‍ර කරගැනීමේ විශේෂත්වය යි. ඒ අනුව ආදරයෙන් පැරදුණු වෛද්‍යවරු, ශිෂ්‍යයන්, රියැදුරන්, අනියම් විවාහක පෙම්වතුන්, නළුවන්, තැබෑරුම් හිමියන් සහ කෆ්කාගේ ග්‍රෙගෝර් සම්සා වැනි චරිතත් අපට හමුවෙනවා.

  1. ගමනක් අතර (Drive My Car)

කෙටිකතාව ආරම්භ වෙන්නේ මෙහි කථකයා වන කෆුකු තුළ ඇතිවන ගැහැනු රිය පදවන්නියන් පිළිබඳ ආකල්පයකින්. නමුත් කතාවේ ගලායාමත් එක්ක කෆුකු තේරුම් ගන්නව තමන් පැමිණි නිගමනය නිවැරදි නොවන බව.

“කොහොමහරි අන්තිමේ දී ඈ මට නැති වුණා. මුලදි ටිකෙන් ටික, පස්සෙ සම්පූර්ණයෙන් ම, හරියට සමහර දේවල් අංශුවෙන් අංශුව සෝදාගෙන යනවා වගෙ ඔක්කොම ගසාගෙන ගියා, මුල් සහ හැමදේම…” (51 පිටුව)

තම බිරිඳගේ මරණයෙන් පසු ඇයගේ අනියම් සම්බන්ධතා පිළිබඳ ව තැවෙමින්, ඇයගේ අවසන් පෙම්වතා ලුහුබඳිමින් දරුණු පලිගැනීමක් සඳහා සූදානම් වුව ද, කෆුකු අවසානය එම උත්සාහය අත්හරිනවා. ඔහු ව පරිණත මානසිකත්වයකින් ඔප් නැංවීමට ඔහුගේ රියදුරුවරිය වන මිසකිගේ චරිතය ඉවහල් වී තිබෙනවා.

  1. ඊයේ (Yesterday)

සංගීතය සහ මුරකමි අතර පවතින ගැඹුරු සම්බන්ධය ගැන ඔහුගේ නවකතා කියවා ඇති සියලු දෙනා ම හොඳින් දන්නවා. මුරකමි මෙම කෙටිකතාවට පාදක කරගන්නේ ‘The Beatles’ සංගීත කණ්ඩායම ගායනා කරන ‘Yesterday’ ගීතය. ඔහු මෙතන දි මතකයන් ආවර්ජනය කිරීමට සංගීතයෙහි පවතින බලය ගැන පාඨකයාට හෙළි කරනවා.

“මට ඕන වුණා ඒ සියල්ලෙන් නිදහස් වෙලා අලුත් තලයක අලුත් ම මිනිහෙක් විදියට නව ජීවිතයක් පටන් ගන්න. අලුත් මට අලුත් හැකියාවල් මොනවද කියල අත්හදා බලන්න. මේක කරන්න තියෙන හොඳ ම ප්‍රායෝගික විදිය තමයි කන්සයි භාෂාව අයින් කරල දාන එක. මොකද අවසාන විග්‍රහයෙදි අපි කතා කරන භාෂාව කියන්නෙ, මිනිස්සු විදියට අපි කවුද කියන එක ස්ථාපිත කරන එක.” (69-70 පිටු)

මුරකමි මෙම කෙටිකතාවේ දී ජපානයේ පවතින භාෂාව සම්බන්ධ අර්බුදය හෙළි කරනවා. මේ කෙටිකතාවේ අපට හමුවන සුවිශේෂ චරිතය තමයි කිතරු කියන්නෙ. ඔහු තමන්ගෙ පෙම්වතියට යෝජනා කරනවා තමන්ගෙ හොඳ ම මිත්‍රයා එක්ක ඇවිදින්න යන්න. ගිහින් ආවට පස්සෙ ඔහු මිතුරාගෙන් අහන්නෙ “උඹ එයා ව සිප ගත්ත ද?” කියලා. කිතරුගේ චරිතයේ පවතින සංකීර්ණත්වය අපට මේ කතාවෙන් හෙළි වෙනවා. ඔහු තමන්ගේ පෙම්වතිය නිසියාකාරයෙන් තේරුම් ගන්නෙ නෑ. ඔහු උත්සාහ කරන්නෙ සියල්ලෙන් ඈත් වෙලා ගුහාගත වෙන්න.

  1. නොදැමුණු ඉඳුරන් (Independent Organ)

මේ කෙටිකතාවෙ දි අපට හමුවන සුවිශේෂ චරිතය වෙන්නෙ දොස්තර ටෝකයි. මිනිස්සු කැමතියි තමන්ගෙ ඉඳුරන් පිනවන්න. දොස්තර ටෝකයි කියන්නෙත් ඒ විදියට නොදැමුණු ඉඳුරන්ගෙන් යුක්ත ව දිවි ගෙවපු මනුස්සයෙක්. නමුත් එක්තරා මොහොතක දි ඔහු තමන් සමග යහන්ගත වූ කාන්තාවකට ප්‍රේම කරන්න පටන් ගන්නවා. එතනින් තමයි ඔහුගේ ජීවිතයට ආගාධයකට ගමන් කරන්න පටන් ගන්නෙ.

“මම පෞද්ගලික ව ම හිතනව, මේ ලෝකෙ බොහොමයක් ගැහැනුන්ට; විශේෂයෙන් ආකර්ෂණීය ගැහැනුන්ට තමන් සමග යහන්ගත වෙන්න හතිලන මිනිස්සු එක්ක ඉඳල ඇතිවෙලා තියෙන්නෙ කියලා.” (118 පිටුව)

  1. ෂෙහෙරාසාදි (Scheherazade)

අරාබි නිසොල්ලාසයේ එක්දහස් එක් රැයේ කතා පුවතේ සිටින ෂෙහෙරාසාදි බිසවගේ චරිතය පාදක කරගෙන තමයි මුරකමි මේ කෙටිකතාව නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මේ කතාවෙ ඉන්න හබරා, රජතුමා වගේ පසු දා උදෑසන ඇයගේ හිස ගසා දමන්න සැලසුම් කරන්නෙ නෑ.

“මට ඕන කළා ඔහුගේ යම් යම් දේවල් ටිකක් ගෙදර අරන් යන්න. සමහර ඒව ඔහු එදිනෙදා පාවිච්චි කළ දේවල්. එහෙම නැත්නම් ඔහුට සමීප දේවල්. නමුත් ඒ කිසිවක් ඔහුගෙන් මඟ හැරෙන්න පුළුවන් වැදගත් දේවල් නෙවෙයි කියන්න බැහැ. ඒ නිසා මම ඔහුගෙ පැන්සල් අතරින් එකක් හොරකම් කළා.” (177 පිටුව)

මේ කතාවෙ අපට හමුවෙනවා තමන් ආදරය කරන කොල්ලගෙ ගෙට හොරෙන් පැනලා ඔහුගෙ දේවල් සිහිවටන විදියට ගෙනියන, තමන්ගෙ දෙයක් ඔහු වෙත තබා එන ආදර හෙරක්. ඒ වගේ ම ඇය නොනවතින කතා තෙපලන්නියක්. ඇය අතීත කාමයත් එක්ක ජීවත්වන තරුණියක්. ඇය හබරා සමගින් ලිංගික ව සංසර්ගයේ යෙදෙද්දි මතකයට නඟා ගන්නෙ කොල්ලගෙ ගෙට පැනපු අතීතයෙ දවස්.

  1. කිනෝ (Kino)

සංඥාර්ථ සහ සංකේතාර්ථ භාවිතය සම්බන්ධයෙන් වැදගත් කෙටිකතාවක් වශයෙන් ‘කිනෝ’ කෙටිකතාව හඳුන්වන්න පුළුවන්. මේ කතාව පුරාවට ම අපිට දකින්න ලැබෙන නිරන්තරයෙන් ඇදහැලෙන වැස්ස ප්‍රබල සංකේතයක්. මෙම වැස්ස තුළින් නිරූපණය කරන්නේ හැඟීම්වල ක්‍රෑරත්වය යි. ධාරාණිපාත වැස්සත් සමග කිනෝගේ භාව හැඟීම් අවදි වෙනවා. වැස්ස, අඳුර, පාළුව, ගණිකා හමුව සහ පරපීඩක ලිංගික හැසිරීමක් ආදි මේ සියල්ලෙන් සංකේතවත්නේ නපුර යි.

“නමුත් මේ ලෝකෙ සමහර වෙලාවල් තියෙනවා වැරැද්දක් නොකර ඉන්න බැරි, වැරැද්දක් වෙන එක වළක්වන්න බැරි. සමහර මිනිස්සු මේ නිදහස ප්‍රයෝජනයට ගන්නව එතනින් රිංගල යන්න.” (234 පිටුව)

අප ජීවිතයේ සබඳතා බිඳ වැටෙද්දී සංවේදනා මඟ හරිමින්, ඒවාට මුහුණ නොදී පලා යාමෙන් ඔහුගේ හෝ ඇයගේ හදවත හිස් වන්නට පටන් ගන්නවා. මෙම හිස්තැන පුරවන්නට පැමිණෙන්නේ නපුර නැමැති නාගයින්. මුරකමි මෙහි දි ජීවිතය පිළිබඳ ගැඹුරු චින්තනමය මානයක් එළිපෙහෙළි කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.

  1. සම්සාගේ ආලේ (Samsa in Love)

ෆ්‍රාන්ස් කෆ්කාගේ ‘රූපාන්තරණය’ (The Metamorphosis) කතාවෙ අපට හමුවන ග්‍රෙගෝර් සම්සා මේ කෙටිකතාවෙත් අපට හමුවෙනවා.

“අප වටා තියෙන හැම දෙයක්ම අපෙන් ඈත් වෙලා යනව. නමුත් කැඩුණු යතුරු තහඩු ගැන සැලකිල්ලක් දක්වන අයත්, ඒ වගේම ඒව හදාගන්න උත්සාහ කරන හිතවත් අයත් තවම ඉන්නවා. ඒ කොහොම නමුත් ඒව සිද්ධ වෙන්නෙ එහෙම තමයි. මේ ලෝකෙ කඩා වැටුණත් අපිට හැකි ආකාරයට විශ්වාසීව සහ අවංකව සුළු වැඩක් කරගෙන ඉන්න එක යුක්තිගරුකයි.” (277 පිටුව)

දරුණු යුද පසුබිමක් වටා දිවෙන කතාවක් වන මෙහි සම්සාගේ ආලයට පාත්‍ර වෙන්නෙ යුද ගැටුම් මැද නිවසේ දොරේ යතුරු තහඩුව හදන්න ආව කුදු තරුණිය. ලිංගික ආශාව යනු හුදෙක් ශාරීරික සංතර්පණයකට එහා ගිය හදවතට සම්බන්ධ භාවමය කාරණාවක් බව මුරකමි මෙහි දී ඉස්මතු කරනවා.

  1. ගැහැනු නැතිව (Men Without Women)

කෘතියේ නාමයට පාදක වන කෙටිකතාව තමයි මේ. මෙම කෙටිකතාවෙ කථකයාට තමන් සමග කාලයකට පෙර ආදරයෙන් බැඳුණු යුවතිය අහිමි වෙනවා. ඒ නිසා ඔහුට ඇති වන බලවත් වේදනාව සහ ඔහුට දැනෙන මහා තනිකම තමයි මේ කතාවට පාදක වෙන්නෙ.

“එක්තරා මොහොතක දි ගැහැනියක් නැති වෙනව කියන එකේ තේරුම හැම ගැහැනියක් ම නැති වෙනව කියන එකයි. අන්න එහෙමයි අපි ගැහැනු අහිමි වෙච්ච මිනිස්සු වෙන්නෙ.” (300 පිටුව)

කතාව ආරම්භ වෙන්නෙ නාදුනන දුරකථන ඇමතුමකින්. ඇමතුමෙන් පවසන්නෙ කාන්තාවකගෙ මරණයක් සම්බන්ධ ව. ඔහුට ඇයගේ නම පවා මතකයට නඟා ගන්න අපහසුයි. ඒ නිසා ඔහු ඇය ව ‘එම්’ නමින් හඳුන්වනවා.

මෙම කෙටිකතා සංග්‍රහයේ විශේෂත්වය පිළිබඳ ව කතා කිරීමේ දි රූපාකාත්මක භාෂාවකින් කතා ඉදිරිපත් කිරීම කැපී පෙනෙන කාරණයක්. හුදෙකලාව, තනිකම, සාංකාව වැනි භාවයන් මිනිස් ජීවිත තුළට මුල් බැසගෙන ඇති ආකාරය විශිෂ්ට අන්දමින් නිරූපණය කිරීමට මුරකමි සමත් වී තිබෙනවා.

කතා සංග්‍රහයේ එන සියලු පිරිමි චරිත පිළිබඳ ව අවධානය යොමු කිරීමේ දී ඔවුන් තුළ පවතින පොදු ලක්ෂණයක් දකින්නට ලැබෙනවා. ඒ ඔවුන් තමන් විසින් ම එක්තරා කොටු වීමකට ලක්වෙමින්, වේදනාවෙන් පසුවෙන්න උත්සාහ කිරීම යි. මෙහි බොහෝ චරිත ලෝකයෙන්, සමාජයෙන් වියුක්ත ව නිවස තුළට කොටු වූ චරිත ලෙසින් දිවි ගෙවන්න උත්සාහ කරනවා.

මෙහි සෑම කතාවක ම පාහේ ලිංගික ජීවිතය පිළිබඳ ව කතා කරනවා. මුරකමිගෙ නවකතා තුළත් මේ පොදු ලක්ෂණය දකින්නට ලැබෙනවා. ලිංගික ආශාව, කාමුකත්වය, බෙලහීනත්වය, ස්වයංවින්දනය, ලිංගික ඊර්ෂ්‍යාව වැනි ගූඪ චර්යාවන් ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

මේ කෙටිකතා සංග්‍රහයේ දක්නට ලැබෙන තවත් සුවිශේෂ දෙයක් තමයි සංකේත භාවිතය. මෙහි දි හිමවලින් සැදුණු සඳ, ලැම්ප්‍රේ මාළුවන්, බළලුන්, නාගයන් සහ කඟවේනුන් බහුල ව යොදාගෙන තිබෙනවා.

මුරකමිගෙ නවකතා ලෙසින් ම කෙටිකතාත් ඉතා ම සිත්ගන්නා සුලු යි. ඔහුගේ කෙටිකතා දිගු කෙටිකතා වශයෙන් හඳුන්වන්න පුළුවන්. මෙම කෘතිය සිංහලට නැඟූ පරිවර්තකයා කෘතිය සාර්ථක ව පරිවර්තනය කර ඇති බව පවසන්න කැමතියි. ඉතින් පාඨකය, ඔබත් මුරකමිත් එක්ක හුදෙකලාව, තනිකම විඳගන්න ‘ගැහැනු නැතිව’ (Men Without Women) පොත කියවන්න.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment