මම මීට වසර ගණනාවකට කලින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බෙදාගත්තා “my dear friends we are deeply sorry” කියන මාතෘකාව යටතේ “කළු ජූලිය” පිළිබඳව මතක සටහන් සහ, ඇයි අපි සමාව ගැනීම කළ යුතු හෝ, වගකීම සහ වගවීම ගැන හෝ ඒ ඉල්ලීම තුළින් බලාපොරොත්තු වෙන දේ ගැන. එතනදී බොහෝ වැඩිහිටි පිරිස මා එක්ක තර්ක කළේ ඒ කාලයේ ඒ සිදුවීම් වලට මූණ නොදුන්න කිසිවක් නොදුටු අත දරුවෝ වුණු අපිට එහෙම කියන්න ලේසි වුනාට ඔවුන්ට ඒවා අමතක කරන්න බැරි බව. මට ඒ සටහන නැවත මතක් වුණා සිංහලට පරිවර්ථනය වූ දීපචෙල්වන් ලියූ කවි පොත කියවන විට. මම දීපචෙල්වන්ගේ කවි පොත දකින්නේ සමාජ කාර්යයක් ඉටු කළ පොතක් ලෙස. මේ රටේ ප්‍රශ්න බොහෝමයකට හේතුව අපි අනෙකා නොදැනීම විතරක් නොවේ නොසලකා හැරීම, හෙවත් ignoring කියන එක කියල මං හොඳාකාරවම අත් විඳලා තියෙනවා.
යුරෝපයේ රටක තරුණ කාලයේ ඉගෙනීම පිණිස ජීවත් වෙලා, ඉන්පසු පළමු පත්වීමෙන්ම උතුරට ගිය කෙනෙක් හැටියට මම එහේ ගියේ ඒ යුද්ධය ඉවර වෙනවත් එක්කම. ඒ වෙනකම්ම මට රටේ අර්බුදය හෝ යුද්ධය මට හමුවුනේ මම දැකපු දේවල් සහ, මට කතා කළ අය කියපු පැත්තෙන් විතරයි. නමුත් කාසියේ අනිත් පැත්ත ඇත්තටම දකින්න හැකිවුණ නිසා සහ එහිදී සුළු කාලයක් තුළ ඒ බස කතා කරන්න පුළුවන් වුණු නිසා උතුර ගැන වගේම මගේ රටේ දේශපාලනික ස්වභාවය ගැන මට තිබුණු වැටහීම සහ දැනුම වෙනස් වුණා.ං
මම උතුර ගැන ලිව්ව කතාවක් සහ කවියක සඳහන් වෙන ගීතා නම් අනවර්ථ නමින් සඳහන් කළ හිටපු එල්ටීටීඊ සොල්දාදුවෙක් වුණ තරුණියක්, තමන්ගේ මල්ලි ගැන “තම්බි කුට්ටි, තම්බි කුට්ටි” කියමින් දුක් වීම පිළිබඳව මා ඇය ගැන දුක් වෙද්දී, “අනේ පව් ගීතා, හරි අමාරුයි ඇය දුක්වෙන හැටි බලන්න,” කියද්දී මායිම් ගම්මානෙක වැසියෙක් වෙච්චි රෝහලේ සේවය කළ මැදිවියේ සාත්තු සේවිකාව මට දුකෙහි ප්‍රභේද ගැන වෙනම මානයක් පෙන්නුවා. ඇය කීවේ, ඔය කොච්චර පව් කියලා හිතුනත් ඒ එක්ක මතක් වෙනවා සංවිධානේ අය එයාලගේ ගමේ එක දිගටම සිදුකළ මරා දැමීම් ගැන කියල.
ඔන්න ඕකයි අපේ රටේ ඇත්ත තත්ත්වය. අපි හැමෝම අපේ ඇතුලේ තියෙන පොදි වල බර පෙන්වන්න උත්සහ කරනවා. නමුත් අපි අනෙකා උසුලන බර ගැන සංවේදී වෙන්නෙ නෑ, empathy හෙවත් සහවේදනයක් නැහැ. මේ අද පවතින බොහෝ ප්‍රශ්නවලට හේතුවක් වෙන්නේත් එයමයි.
අපි එකිනෙකාට වෙනස් වූ අත්දැකීම් සහ විඳීම් සමුදායක් තියෙනවා. ඒවා අපි අපට කැමැති ලෙස හෝ, අපිව පුරුදු කළ ලෙස හෝ, අපේ පැවැත්ම පිණිස අවශ්‍ය ලෙස අපි ඉදිරිපත් කරනවා. අන්න ඒ පොදු ධර්මතාව වටහා ගෙන තමා මම අද මේ ගැන කතා කරන්නේ.
මම මේ පොත ගැන විවිධ විචාර කියෙව්වා. ඒවායේ බහුතරය සාකච්ජා කරලා තිබුණේ උතුර ගැන සහ මේ පොතේ මතුකරන සංවේදනා, දකුණේ සිංහලයා හෝ රටේ අනෙකුත් ප්‍රදේශවල මිනිසුන් කියැවීම තුළින් ඇතිවන සංස්කෘතික සබැඳියාව සහ වටහාගැනීම කියන දේ ගැන. සංහිඳියාව කියන්නේ ව්‍යාපෘති වල ඇහෙන ජනප්‍රිය වචනයක් බවට පත්වෙච්ච කාලෙක, පුපුරා ගිය උතුරට ගිහින් නිරන්තරයෙන් සමාජයේ සියළු ස්ථරයන් එක්ක වැඩ කරපු නිසාත්, ඉන්පසු කොළඹ, ආර්ථික වශයෙන් අවම පහසුකම් යටතේ ජීවත්වෙන බොහොම පීඩිත මිනිසුන් යන එන රෝහල්වල වැඩ කරලා, විවිධ සමාජ විපර්‍යාස රැසක් දැකලා අහලා, අද මේ පොත කියවන මම, මේ පොතෙන් උතුර පැවතුණු හැටි හෝ යුද්ධය එහි අතුරු ප්‍රතිඵල ගැන කියනවාත් එක්කම, වඩාත් අහිතකර සමාජ ක්‍රමය හෝ බලය විසින් ඇති කරන ලද පීඩන සහ ජීවිතය ගැන විවෘත කියැවීමක් මම දකිනවා.
කවියේ අරමුණ ජිවිතාවබෝදය බවත් එය ලබන තැනැත්තා යහපතට පෙළඹෙන බවත් සර් ෆිලිප් සිඩ්නිගේ An Apology for Poetry නම් පොතේ සඳහන් වෙනවා.
හැම කවියෙක්ටම තමන්ගේ කවි තුලින් වින්දනයට එහා ගිහින් ඊට වඩා සමාජ සාධනීය යමක් කළ හැකි බව මීට අවුරුදු 73 කට පෙර ටී. එස්. එලියට්ගේ Social Function of Poetry යන දේශනයේදී පැහැදිලි කරනවා. මෙහිදී ඔහු කියන්නේ වින්දනීය බවට එහා කවියකින් කරන්න හැකි කාර්යය ගැන එකිනෙකා අතර සංනිවේදනය කිරීමේ ක්‍රියාව මෙන්ම, ස්වකීය භාෂාවට එකතු කරන්නාවූ සරු බව සහ සමාජ සාධනීය බව පිළිබඳ ඔහු විස්තර කරනවා.
කවියක සමාජ කාර්යය භාරයක් තිබිය යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඒකට හේතුව පැහැදිලි කරන්න මම පරාක්‍රම කොඩිතුවක්කු මහත්මයාගේ ‘ආලෝක මිනිසා’ කාව්‍ය ග්‍රන්ථයේ තියෙන ‘කවි නොවේ නයි’ කියන කවිය මතක් කරනවා. ගංවතුර ගලලා ගෙවල් යටවෙලා තියෙද්දී ඒ මඩ වතුරේ ඉන්න මිනිසුන් වෙත උදව්වක් නොකර කුටියකට වෙලා ඒ ගැන ලියන කවි ‘කවි නොවේ නයි’ කියා ඔහු පවසනවා ඒ කවියෙන්.
ජීවත් වීම පවා ගැටළුවක් වෙච්චි කාලයක, මේ කවි තුළින් අපට ඒ යථාර්ථවාදී සමාජ කාර්යභාරයේ යෙදෙන කවියා මතු වෙනවා. මිනිසුන් තමන්ගේ සැබෑ විඳීම්, අත්දැකීම් කවි කරද්දී රචනය කරද්දී එවායෙ ලොකු වෙනසක් මම දකිනවා.
යුද්ධයෙන් පස්සේ උතුරට මුලින්ම පය තියලා එහෙ අවුරුදු හතරක් වැඩ කළ මම මේ පොත කියවද්දී මට දැනෙන දේ, කිසිදාක උතුරට පා තැබුවේ නැති දකුනේ හෝ කොළඹ හිටිය කෙනෙක් එහෙම නැත්නම් තමන්ගේ ඔළුවට පුරවාපු කතන්දර විශ්වාස කරන කෙනෙක් කියෙව්වනම් මේවා දැනෙන හැටි කොහොම වේවිද? ඒවගේම, පසුගිය ජන අරගලවලට පසුව, අහිතකර දුෂ්කර කාලවලින් රටම බැට කමින් ඉන්නකොට දැන් මේ පොත කියවන කෙනෙක් තුළ ඇති වැටහීම කුමක්ද යන මේ සියල්ල එකිනෙකට හාත් පසින් වෙනස් කියවීම් ගෙන එනවා නේද කියල මේ කවි කියවද්දී මට හිතෙනවා. දකුනේ ජන සමාජය මේ පොත කියවිය යුතුම කාලය මේ වර්තමානය බව වැටහෙනවා. ඒකට හේතුව එදා තිබුණු දකුණත්, අද තිබෙන දකුණත් කොටින්ම උතුර වගේම අද සෙසු ප්‍රදේශ වල ඉන්න පිරිසත් ඔවුන් දකින විඳින දුක සැප කරදර වෙනස් නිසා!
ඒ අදහසත් එක්ක මම එදා දකුණේ ඉඳන් උතුරට ගිහින් මම දැකපු උතුර, මම දැකපු සියල්ල පුපුරා ගිය වන්නිය, මැණික්ෆාම් පූන්තෝටම් කඳවුරු, ඉන්පසු ඔවුන් නැවත පදිංචි වෙද්දී ඒ ඒ ඉඩකඩම් ගම්මාන වලදී අපි දුටු දෑ එකින් එක මතක් වෙනවා. ඔවුන් පමණක් නොවේ ඒ දුක් කඳුළු එක්ක අපිත් බිඳුණ බව සඳහන් කළ යුතුමයි.
මේ කවි, කියවන්නාගේ හිත විශාල වපසරියක ගෙන යන වචන වලින් පොහොසත්. පරිකල්පනය සහ උපමා උපමේයයන් මනා සේ ඇතුලත් කළ හරි සාරවත් කවි මේ පොතේ තියෙනව. එවන් එක් කවියක කොටසක් පහත සඳහන් කරන්නම්.
“මරණයත් මරණයට පත් කොට, සොහොනුත් විනාශකර, සොහොනක්ම විය මේ නගරබිම” එකම වචනය නැවත නැවත කියෙවුනත් ඒ හැම විටකම වෙනස් අර්ථයක් ගෙන දෙනවා නොවෙද ?
මේ තමයි අපි ගිහින් වැටුණු උතුර, හෝ පුපුරාපු වන්නිය. මේ කවියේ සඳහන් ආකාරයේම කතා සිදුවීම් ඔබ මතක් කළොත් ඔබේ මගේ ජීවිත වල, මේ රටේ ඕනෑම තැනක හමුවෙනවා නොවෙද කියා මට හිතෙනවා.
කොහේ හිටියත් කොහොම හිටියත් මිනිසුන්ගේ බලාපොරොත්තු සහගත බව නොමියෙයි. ලෝකයම තමන් ඉදිරියේ කඩන් වැටුනත්, ඔවුන් තමන්ගේ එකම එක බලාපොරොත්තුව එක්ක හිත සවිමත් කර ගන්නවා නොවෙද කියා මේ කවි අපට මතක් කරනවා.
මේ කවිය එක්ක උතුරේ හමුවූ මෛතලී ගැන මට මතක් වෙනවා. මට ඇය හමුවුණේ උතුරෙදි. අපි දෙන්නම එකම වයසේ. එයාලා ඉඩම් වලට නැවත පදිංචියට යනකොට මම වැඩ කළේ මනෝ වෛද්‍ය ඒකකයේ. අපි යනවා ඒ කාලේ ගම්මාන වලට අපෙ ක්ලිනික් එන රෝගීන් බලන්න. එයාලාගේ ගෙවල් වලින් සමහර විට කතා කරනවා. සමහර විට එයාලා ක්ලිනික් නොආවොත් ඒ ඇයි බලන්න අපි යනවා. එහෙම යනකොට එයා හිටියේ ලා නිල් පාට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දුන්නු කූඩාරමක් අටවපු, වටේම සරුවට මොනවා හරි වගාවක් කරපු ඉඩමක. එයාලා බ්ලොක් ගල් වලින් බැඳගෙන තිබුනේ වැසිකිලිය. බාග ටකරන් දොර අදත් මේවා මගේ මතකයේ තියෙනවා.
“අනේ බලන්න්කෝ මේ රෙදි කූඩාරමක ඉන්න හැටි මොනවා හරි වුනොත් එයාලට… එයාලා කොහොමද බය නැතිව ඉන්නෙ” කියලා මෛතලියි අම්මයි තනියම ඉන්න එක ගැන මගේ සහෝදර වෛද්‍යවරයා මා එක්ක විස්සෝප වුණා. අපි අහනවා ඔවුන්ගෙන් මේ ගැන.
ඇය මට වටහා දෙනවා බය කියන්නේ මොකක්ද කියලා?
දැනටමත් මැරිච්ච මිනිසුන් වුණු අපිට මැරෙන්න මොනවද තියෙන්නෙ? මැරෙන්නේ කොහොමද කියන එක. ඉහත පෙන්වා දුන් කවිය සමඟ මට මේ සැබෑ ජීවන අරගල මතක් වෙනවා.
දෙවනුව, මම මේ පොතේ සඳහන් “අම්මාගේ නිවාස සැලස්ම” කියන කවිය තෝරාගන්නවා. ඒක තමයි ඔවුන්ගේ ජිවිතවල අවසානයේ සියල්ල සුන් වෙලා අහිමි වෙලා තිබුනත් ඔවුන්ට ජීවත් වෙන්න එකම බලාපොරොත්තුවක් ඇති කියලා මේ කවියෙන් පැහැදිලි කරනවා. ඒවගේම මැණික් ෆාම් වැනි කඳවුරු තුළදී මම දැක්කා මේ කියන දේවල් ම ඒ කියන්නේ තමන්ගේ අත් කකුල් අහිමි අම්මලා දරුවෝ එක්ක කඳවුරෙන් එළියට ගිහින් කොහොමද ඉතිරි වුණු දේ එක්ක ජීවිතේ දරාගත්තේ ගොඩනැගුවේ කියලා අපි එදා දැක්කා. ඒක මට අද දීපචෙල්වන්ගේ කවි වලින් දකින්න ලැබෙනවා. එදා ඒ අපි දැක්ක උතුර දකුණත් දැකිය යුතුයි කියා මම හිතනවා ඒකට මේ කවි කදිම පිටිවහලක් සපයනවා.
අම්මාගේ නිවාස සැලැස්ම
අටවපු බංකරයක හිඳ
අලුත් නිවසක් ගැන
සැලසුමක්
අම්මත් මමත්
අඳිමින් සිටියෙමු
පළමුව නිවසක්
ලිඳක්
වැසිකිලියක්
මෙපමණ දෑ ඇවැසිය
අපේ සැලැස්මට
අතුරුදන් වුවද
තාත්තාගේ කැඩපතින්
අම්මාගේ රතු තිලකය
ඔපවත් වෙයි
අතක් අහිමි
අම්මා
අපවද තුරුළු කරගෙන
තනි අතින්
නිවසේ සැලැස්ම අඳියි
සොහොන් බිම නිදන
අයියා සමඟද
අම්මා මේ සැලැස්ම ඇඳ තිබුණි……
දෙවෙනි කාරණාව ලෙස මම කියන්න කැමතියි, මේ කවි සර්ව කාලීනයි කියල. මම කවිය හෝ ප්‍රකාශනයන් තමන්ගේ හිත තුළ තිබෙන සංවේදනා එළි දැක්වුවත් කියවන්නා තුළ මේ සංවේදනා මටත් පොදුයි නේද? කියා දැනෙන බවක් මේ කවි තුළින් පෙනෙනවා.
මේ කවි තුලින් මම දකින බොහෝම සෞම්‍ය දෙයක් තමයි, එක් ජනවර්ගයක් කෙරෙහි වෛරයක් ඇති කරන හෝ චෝදනා කරන ස්වරූපයක් නැතිවීම. ඔහුගේ කවි හරහා ඔහු ගෙන එන කම්පනයන් උතුරේදී හෝ දකුණේදී අපි එකිනෙකා අත් විඳි කාරණා සමග සමපාත වෙනවා. මේ කවි බොහෝමයක ප්‍රදේශයක් ගැන සඳහනක් නෑ. ඒ නිසා මට හිතෙනවා මේ කවි කියවද්දී උතුරේ තිබුණු ප්‍රශ්න වගේම රටේ අනික් ප්‍රදේශවලද දශක ගණනාවක් තිස්සේ මේ රටේ පුරවැසියා කෙරෙහි පැවති අහිතකර තත්ත්ව බොහොමයක් මතකයට නැගෙනවා කියන එක.
අපේ රටේ මිනිස්සුන්ට අහිමි වීම් කියන එක අමුත්තක් නෙමෙයි. අපේ රටේ සිදුවුනු සහ වෙමින් පවතින ව්‍යසනවලට හේතුව ලෙස, බොහෝවිට පෙනි පෙනී තිබෙන සත්‍යය වුණත් පිළිගන්න බහුතරයක් වැඩිහිටි පරම්පරාව සෑහෙන කාලයක් ගැනීම දක්වන්න පුළුවන්.
මේ කවි කියවන සිංහලයන්ට වුනත් මේ කවි තමන්ගේ අතීතය හෝ වර්තමාන්‍ය සමග සමපාත කරගෙන කියවන්න පුළුවන්.
කාලයක් තිස්සේ සිදුවූ විවිධ දේ නිසා අපිට එකිනෙකා කෙරෙහි සැකයෙන් වෛරයෙන් බලන්න ගත වුනේ මිනිත්තු කිහිපයක්, එක හෙඩිමක් සහිත පුවතක්… හෝ රූපවාහිනියේ රූප පෙළක්.
බලන්න මේ කවිය
තුවක්කු සයනයේ යෙදුණු රැයක්… (පිටූව 18)
මගේ කාමරය වටකරගත්
වෘකයන්
රාත්‍රිය සපා කෑහ
උන්ගේ උල් නිය දත්වලින්
රැය ගොළුය
තුවක්කු අභියස
මගේ නිශාචර ගීතය
සුන්ව බිම වැටී තිබුණි
මගේ පෙම්බරිය
තවමත්
නිවසට ගොස් නැත
වෘකයන්
වීදිය සපා කා ඇත
බසයෙන් බැසගත් ඈ
නියරේ පා තබමින් යන්නීය
නිවසට යන අතරමග
වෘකයන් දහසක්
ඈ මග
හරස් කර තිබුණි
උදුරා විසි කළ
මගේ පාපැදියේ
ඇමිණූහ
බෝම්බ
කකුලට පැටලී
ගිලිහුණි සෙරෙප්පුව
ඉව කළ දඩ බල්ලෙකු
එය
ඇද දමයි
ජීප් රථයට
කාමරය පුරාත්
කාමර පුරාත්
ඌ ඉවකරයි
පොත්
පෑන්
ජීප් රථයේ ගොඩගැසෙයි
වෘකයන්
මා වටකර ළංවෙන විට
අත් ගැලවී
හිස වෙන්වී
සිටියෙමි මම
ඒ පුවත
වාර්තාකරයි රේඩියෝව
වචන මරණයට පත් කර
වළ දමා
තුවක්කු සයනයේ යෙදුණු රාත්‍රිය
පසුදා
ලෙයින් නැහැවුණු
පොත් පත් අතින් ගෙන
මමද ඇය ද
පිය මැන්නෙමු
සරසවිය වෙත
මේ කියවන දේවල් උතුරක් හෝ දකුණක් නැතිව වුණත් අපේ වත්මන් සමාජය තුළ කියවීමට ලක්වෙනවානම්, මෙය කියවන වැසියන්ට තමන්ගේ අතීතය හෝ වර්තමානය සමග සමපාත කරගෙන කියවන්න පුළුවන්. පා පැදිය බෝම්බය වෘකයො දඩයම් බල්ලෝ, මේ කොයි කාලෙක කොයි තැනකද කියා සඳහනක් නෑ නමුත් මේ ඔස්සේ අපට කොයි තරම් දුරක් හිතන්න පුළුවන්ද මම උතුර දිහා බලාගෙන දකුණ ද දකිනවා.
කළුවර සමග හෝ කළුවර රහිතව හෝ වට කරන වෘකයන්ගෙන් ගැලවෙන්න අපහසු කාල අප බොහෝ දෙනෙක් පසු කර තිබෙනවා. උතුරට ගිය මට, දිය අගල්, පඳුරු, ජලය සිඳුණු ඇලවේලිවල රාත්‍රිය පහන් කළ පිරිස් හමුවෙද්දී, තමන්ගේ තරුණ දරුවන් හංගාගෙන දින ගණන් අපහසු කාල පසුකළ පිරිස් මට මතක් වෙනව. සිවිලිමේ තිබ්බ කවුළුවෙන් රැයට ඇවිත් ඇතුල්වෙන එවකට විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ තමන්ගේ නොවන දරුවන් කිහිප දෙනෙක් රැක්ක මව්පිය යුවලක් ගැන කතා මට මතකයට නැඟෙනවා. මාධ්‍යයෙන් වාර්තා කරන බොහෝ දෑ, වචන මරා-ඉරා වළදමා සියල්ල යටපත් කළ කාලයක, පසුවදා කිසිවක් නොවූ ලෙස ජීවිතයේ ඉදිරි දේවල් කළ යුතු වුවද, ලෙයින් නැහැවුණු පොත් පත් පවා හංගන්න වුණු කාල මට මතක් වෙනවා. දීපචෙල්වන් කවියා එදා උතුර අත්වින්ද ඒ වේදනාවන් එසේ වචන කරද්දී මට මතක් වෙනවා මේ ලෝකයේ එවන් කම්පන දරාගෙන කොයි තරම් නම් දෙනෙක් ජීවත් වෙනවා නොවෙද කියලා. මේ කවි කියන්නෙත් එවන් මිනිසුන්. එවන් මිනිසුන් ගැහැනුන් කතාවක් නොවෙද? කියලා හිතෙන්න ගන්නවා. වෘකයන් විසින් නැති කරන ලද නින්ද හිතේ සහනය සහ අදරැතියන් අහිමි වීම් අදත් යුද ගැටුම්, දේශපාලන ගැටුම් මත්තෙහි සිදු නොවන්නේද? ඉතින් මේ කවි සර්වකාලින නොවෙද?
බලෙන් ඇද දැමූ යුද්ධයක අපි කොටස් කාරයෝ වුණා. අපි උපන්නේ යුද්ධය ඇවිලුණු දේශයක. අපි හැදී වැඩුනේ යුද බිය හිතේ පොදි ගහගෙන. උතුරේ වගේම දකුණේදිත් අපි මේ යුධ බිය දැක්කා, ඇහුවා. නමුත් අපි අපේ ගොඩ විතරක් පෙන්වන්න හැම තිස්සෙම උත්සාහ කළා. යුද්දෙට මැදිවෙච්චි කෙනෙක් යුද්ධය ඇති තැන්වල ජීවත් වුණු කෙනෙක් මිස, ඒ දේවල් රූපමය වශයෙන් දැකලා හෝ කතාවල කියවලා මේ හැඟීම් දැනීම් මේ ආකාරයෙන් දැනෙන්නෙ නෑ කියලා මට හිතෙන්න ගත්තේ, දැන් මාස ගණනාවක සිට අපි දකින ලෝක යුද්ධ හමුවේ, යුක්‍රේනයේ සහ ගාසා තීරයේ සිදුවන දේ එක්ක. ගාසා තීරයේ යුද්ධය ගැන අප්‍රමාණ සේ දුක්වන අපි, ඒ දුකේ ඇලී ගැලී ඉන්නේ නෑ. අපේ ජීවිතේ සෙසු වැඩෙහි යෙදෙනවා. යුද්දෙක පැටලී නැති නිසා අපිට එය, පෝස්ට් එකක් දැක්කම වීඩියෝ එකක් දැක්කම දුක් වෙන දෙයක් බවට පත්වෙලා තියෙනව. එතනින් එච්චරයි. උතුර ගැන කතාවත් ඒ වගෙයි! උතුරේ තාවකාලිකව හිටි මිනිස්සු, ඒ කියන්නේ මේ මං වගේ අය හැරුණුකොට, උතුරේ නොඉඳ ඒ තත්ත්වය නොදැක්ක මිනිස්සු උතුර නොදැක ඒ ගැන ලියූ මිනිස්සු එක්ක මේ සිදුවූ දේවල්වල හරි වැරැද්ද තේරුම් ගන්න කොච්චර විශාල කාලයක් ගියා ද කියලා ඔබ සිතා බලන්න පසුගිය කාලයේ සිදුවු ඛේදවාචක සමාජ විපර්‍යාස එක්ක.
ඒ නිසා මට හිතෙනවා දීප චෙල්වන් ලියූ අනූ පරිවර්තනය කළ මේ කවියේ මේ සිංහල පොත මනුෂ්‍යත්වය අවසන් වෙමින් තිබුණු කාලයක් අපේ ජන සමාජයට නැවත හිතන්න නැවත දැනුවත් වෙන්න යමක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා. ඔවුන් කවියේ සමාජ කාර්‍යභාරය ඉටු කරලා තියෙනවා. මේ පොත අපේ දරුවන්ට අපි කියවන්න දිය යුතුයි. අපි ඊළඟ පරම්පරාවට ඉගැන්විය යුතුයි අහිමි වීම් වල බරපතල කම සහ යුද්ධයක ඛේදනීය බව. මේ කවි පොත ලියූ දීපචෙල්වන් හට සහ එය පරිවර්තනය කළ අනූ සිවලිංගම් වෙත මගේ ප්‍රණාමය පුද කරනවා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
