ආදරය හිටිවන කවියක් ද, නැතිනම් කල් ගෙන සෙමෙන් පබැඳූ පෙම් කවක් ද?

සුමුදු සියුමැලි යොවුන් ප්‍රේමයේ ප්‍රහර්ෂයත්, අනංග හී සරින් දැල්වුණු ප්‍රේමයක ශෘංගාරයත් සේම කැපකිරීම, අව්‍යාජයත්වය හා දරාගැනීමේ පරමාදර්ශීය ආත්මීය ප්‍රේමයත්, පුරුෂයෙකු මැදි කර ගත් සමකෝණී ත්‍රිකෝණයක්ව, කෝණ ත්‍රිත්වයේ අංශකය එකිනෙක සීරුමාරු කරමින් පුරා පිටු 300කට ආසන්නව ගලා යන ‘පිරිනිවන් කඳු පාමුලින්’ යනු ‘රන්දික කඩවතආරච්චිගේ’, නිර්මාණාත්මක වෑයමකි. සිසිලින්, ගුණවතී හා ලීලා සමඟ එකිනෙක වෙනස් ජීවන පරිච්ඡේද ගණනාවක් වසමින් දිග හරිමින් සෝමපාලගේ ජීවිතය ප්‍රබන්ධය පුරා ගලා යයි.

හැත්තෑව හා අනූව දශකය තෙක් ලාංකීය ගැමි සමාජ කාල අවකාශයේ පිඬුවක් පිරිනිවන් කඳු පාමුල හුස්ම හෙළන ජීවිත නියෝජනය කරන මුත්, කඩවතආරච්චි, මනුෂ්‍යත්වයේ සනාතන දහම වන ප්‍රේමයේ කියවීමක් සහෘදයාට තිළිණ කිරීමට ඉන් උත්සුක වී ඇත.

ගතින් මෙන්ම සිතින් ද දුරස්ව එකගෙයි වෙසෙන ජීවිතත්, ගතින් ඈත්ව සිතින් බැඳී ඉන්නා ජීවිතත් මෙන්ම ගතින් පමණක් මොහොතකට බැඳී සුව පහසක් පතමින් දිවි ගෙවන ජීවිතත් කොතෙක්දැයි යන්නට පිරිනිවන් කන්ද සාක්ෂි දරයි. ඒ කවුරුන් හෝ හැල්මේ දිව යන්නේ තම ජීවිතයේ හිස් වූ ස්ථාන පිළිසකර කර දිය හැකි අයෙක් වෙනුවෙනි.

“ගුණවතී පිටි ගුළිය රවුම් කරන්නට පටන් ගෙන දැන් බොහෝ වෙලාවක් ගෙවී ගොසිනි. බිඳී ගිය හැළියක අඩිය රවුම් කර රොටී තැටියක් හදා දුන්නේ සයිමන් අයියා ගෙදර ආපු වෙලාවක ය. ජනේරුවේ හීතල හුළං කුස්සිය පැත්තෙන් ගොඩ වී ලිප ළඟටම ගලා එයි. හීතලට ඇඟ හී දඬු පිපෙයි. ලිපේ දැල්ල තවමත් බුර බුරා නොනැගෙනනේ පොල් කට්ට තවමත් පත්තු වී නැති නිසා ය. සෝමපාල තවමත් තද නින්දේ ය. ඔහු ගැඹුරින් හුස්ම ගන්න හඬ කුස්සියටත් ඇසේ. ගලා එන හීතලත් එක්ක ඔහුට තුරුලුව මදක් නිදන්නට ගුණවතීට සිතෙයි. ” හිතේ තිබුණාට ඒ වගේ දේවල් ඉතිං කොහොම කරන්න ද?” සිතුවිල්ල එහෙම්ම සුසුමකින් සුළඟට මුදා හළ ගුණවතී නැවතත් පිටි ගුළිය රවුම් කළා ය.” (09 පිට).

කඩවතආරච්චි ආරම්භයේදි ම කතාංග දේහයේ බර මෙලෙස සහෘදයා වෙත ගෙන එන්නේ මනා පරිසර වර්ණනාවකින් යුතුව ය. ඒ ඔවුනොවුන් හා සමීපව, දුරස්ව ජීවත්වන අඹුසැමියන් වන සෝමපාල හා ගුණවතී පාඨකයා වෙත හඳුන්වා දෙමිනි. ඒ අතර ම ගුණවතීගේ දෙමාපියන් වන ජුවානිස් මුදලාලි හා බේබි නෝනා පමණක් නොව ගුණවතීගේ සහෝදරිය වන නැන්සි හා හරමානිස් ද ආදරය යන්නට අර්ථකථනයක් සපයන්නට පොදිකන කැපී පෙනෙන චරිත ලෙස කතාංගයේ දැකගත හැකි ය.

අම්මෙක් අප්පෙක් නැති සෝමපාලට මාපිය හිඩැස පුරවන්නට මාපියන් වන් ස්නේහයක් දුන් බේබි නෝනටත් ජුවානිස් මුදලාලිටත් කෘතගුණ ලෙස, ඔවුනගේ බාල දියණීය මෙන් ම තමා දිවියේ අප්‍රිය ම කරන ස්ත්‍රිය වන ගුණවතී සමඟ විවාහ වීම ට සිදු වේ. ඒ තම හිරිමල් යොවුන් ප්‍රේමය ඛේදනීය ලෙස නිමා වූ විරහවේ ගිනි පුළිඟු අළු යට දැවෙමින් තිබියදී ය. සෝමපාල එදා සිට ම දුනුකදෙණිය අස්වද්දමින් පිරිනිවන් කඳු පාමුල තම ඵලදාව දෙස බලමින් සැනසුන අතර, ගුණවතී ජීවමාන පිරිනිවන් කන්දක්ව, පිරිනිවන් කඳු පාමුල සෝමපාල වෙනුවෙන් නොසැලී සිටියා ය.

සෝමපාලත් ගුණවතීත් විටින් විට අතීතෙට සිතින් පිය මනින විට, සහෘද පාඨකයාට ප්‍රබන්ධයේ වර්තමාන සිද්ධි දාමයේ මුල්, කෙතරම් දුරකට අතීතයේ දිව ඇති ද ප්‍රත්‍යක්ෂ කරගැනුමට රුකුලක් සපයයි. ප්‍රබන්ධයේ සිදුවන ලීලාගේ චරිතයේ මැදිහත් වීම, කතාංගය කුතුහලයෙන් තීව්‍ර කරවයි. ලීලාත් ගුණවතීත් එක ම තුලාවක හිඳුවා උතුම් ස්ත්‍රිය කවුරුන්දැයි පාඨකයාට වටහා ගැනීමට මෙන්, අගනා වූ සිද්ධි දාමයකින් ගුණවතීටත් ලීලාටත් කඩවතආරච්චි දමා ගසා ඇති සෙයකි. විටෙක ගුණවතීගේ පාර්ශවය බරින් වැඩි වන අතර, තවත් විටෙක ලීලාගේ පාර්ශවයත් බරින් වැඩි විය යුතු ය යන උභතෝකෝටිකයට පාඨකයා නතු වේ. එය තවත් තීව්‍ර වන්නේ සෝමපාලගේ ප්‍රතිචාර හමුවේ ය. එහෙත්, කතාංගයේ එකදු චරිතයක් කලු හෝ සුදු වන්නේ නැත. වටපිටාව කලු හෝ සුදු වන විට, ඔවුන් අළු පැහැ ගත්තා පමණි. එතරම් ම අවකාශය කලු ව අඳුරු වන විට, තම මනස අභියෝග හමුවේ තනිව සටන් වැදීමට අපොහොසත් වන විට, ඔවුහු දෙවියන්ගේ පිහිට ද පැතූ හ. පිං බල මහිමෙන් සුරපුරයට ගිය දෙවියන්ගෙන් පව් කිරීමට සහය පැතූහ. කාලයේ ඇවෑමෙන් කෝපය සංසිදුණු පසු ඔවුහු දේව කන්නලව්ව ආපසු ගත්හ. පිරිනිවන් කඳු පාමුල ගැමියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ ක්‍රමවේදය එතරම් ම සරල හා පහසු බව කඩවතආරච්චි ප්‍රබන්ධයේ ගෙනහැර දක්වා ඇත. එහෙත් ඔවුන්ගේ පිළිතුර, සැමවිට ම උත්තරීතරය. මිය නොගිය මනුෂ්‍යයත්වයේ යශෝරාවය ඒ තුළ දෝංකාර දේ. කතාංගය රසවිඳින පාඨකයා මඳකට නවතා ස්වයං ආත්ම කථනයකට යොමු කිරීමට කඩවතආරච්චි එය අවස්ථාවක් කර ගත්තා මෙනි. කෙතරම් වෛර කළ ද ඔවුහු සමාව දුන්හ. සමාව ගත්හ. ආදරේ කළහ. රැක බලාගත්හ. සදා නොවෙනස් පිරිනිවන් කන්ද සේ සදා නොවෙනස්ව උතුම් මිනිසත් බව ඔවුනොවුන් තුළ පැවතුණි.

එසේම කඩවතආරච්චි, කතාංගය පුරාම ස්ත්‍රිය විෂයෙහි හෙළන සානුකම්පිත දෘෂ්ටිය ප්‍රබලව දැකගත හැකි වන්නේ, පරමාදර්ශී ස්ත්‍රී රූප නොවන ගුණවතීගේ හා ලීලාගේ සරල ගැමි ගැහැනු චරිත ඔස්සේ ය. තම ආශාවන් හමුවේ ද තම ළබැඳියන් වෙනුවෙන් ද සිදු කරන අන්තර් පුද්ගල හා අන්තර්වර්තී පුද්ගල ගැටුම ඔස්සේ ගුණවතීගේ හා ලීලාගේ චරිත ගොඩනැගී ඇත.

ඒ ආකාරයෙන්ම සානුකම්පිත දෘෂ්ටියක් කඩවතආරච්චි, පුරුෂයා වෙත ද දක්වා තිබීම දැකගත හැකි ය. ගම තුළ ක්‍රියාත්මක බල අධිකාරය තුළ ශක්තිමත්ව සිටි ජුවානිස් මුදලාලි වැන්නෙක්ගේ ඉල්ලීමක් හමුවේ කෘතගුණ දැක්වීමට සේ තම ජීවිතය ම කැප කරන සෝමපාල ඒ සඳහා කදිම නිදසුනකි. එපමණක් නොව, අවශේෂ චරිතයක් වන හරමානිස් පවා තම ජීවිතයේ නීරස බව සමඟ හුදෙකලා අරගලයක යෙදෙන අයුරු සියුම් ව කතාංගයේ ගෙනහැර දක්වා ඇත.

උච්චාවචන සමඟ ඇඳී යන කතාංගයේ අවසානය කෙසේ නම් විය යුතු දැයි යන්න, ආරම්භයේ සිටම කඩවතආරච්චිගේ මනසේ සිතුවමක්ව වර්ණ ගැන්වී තිබුණා හෝ නොතිබුණා විය හැකිය. එහෙත් ඔහු යථාර්ථවාදී තලයක ඉඳ චරිත සීරුමාරු කිරීම ඉතා ම තාත්විකව සිදු කර ඇති ආකාරය පැහැදිලි වන්නේ, හතළිස් හතර වන පරිච්ඡේදයෙන් පසුව ය.

‘ගම්පෙරළියේ’ දී වික්‍රමසිංහ, නන්දා හා පියල් එක් කිරීමේ අභියෝගය සාර්ථකව ජය ගත්තේ, නන්දාගේ සැමියා හා දරුවා කතාවෙන් ඉවත් කර දැමීමෙනි. එහෙත් වික්‍රමසිංහ එය සිදු කරේ මනා හේතුඵල සම්බන්ධයක් ගොඩනඟමිනි. නන්දාගේ සැමියාගේ මරණය වික්‍රමසිංහ ස්වභාවික පසුබිමක් යටතේ ගොඩනැගුවේ ය. ඇගේ දරුවා මිය ගියේ, ද ස්වභාවික හේතුවක් යටතේ ය. එනම්, උපතේ දී පෙකණිවැල කැපූ කතුර මළ කා තිබූ හෙයිනි. කඩවතආරච්චි ද එවන් වූ අවස්ථාවක වික්‍රමසිංහගේ මඟ ගත් ස්වභාවයක් දැකගත හැකි ය. එහෙත්, ඔහු ද යථාර්ථවාදී රාමුවෙන් පිටට පය නොතබා මනා හේතුඵල සම්බන්ධයක් ඔස්සේ තම අභියෝගය සාර්ථකව ජය ගෙන ඇත.

“මොහොතක් සෝමපාල දෙස එක එල්ලේ බලා හුන් ගුණවතී, සෙමෙන් ඔහුගේ අත ගෙන ඇගේ කෙසඟ පියයුරක් මත තබා ගත්තාය. කිසියම් නුහුරු තෙත් ගතියක් ඒ තන්පුඩු මත තැවරී ඇති වග එකෙණෙහිම සෝමපාලගේ ඇඟිලි තුඩුවලට දැනුණි. සීරුවෙන් අතමුදා ගත් ඔහු ඇඟිලි තුඩු දෙස මෙන්ම ඇගේ පියයුරු දෙස ද විමසිල්ලෙන් බැලීය. ඇගේ හැට්ටය සහ තමාගේ ඇඟිලි තුඩු පෙඟී ඇත්තේ මව්කිරෙන් බව ඊළඟ මොහොතේ සෝමපාලට වැටහිණි.” (282 පිට).

ඇතැම් පුද්ගල විෂමතා හාස්‍යයෙන් යුතුව ඉදිරිපත් කිරීම ආඛ්‍යානයේ නැවුම් බව ඇති කිරීමට මෙන් ම සහෘදයා කතාංගය වෙත ඇඳ බැඳ තබා ගැනීමේ හැකියාව ඔප්නංවා ඇති රචනාමය උපක්‍රම ලෙස හදුනාගත හැකි ය. ‘අනුන්ගෙ ඇහේ පොල් කෙන්ද පේනවා, ඒත් තමන්ගේ ඇහේ පොල් පරාලේ පේන්නැ’ යන ලාංකීය ජනශ්‍රැතියේ හමුවන වහරට, සාක්ෂි සපයන කඩවතආරච්චි, තම ප්‍රබන්ධයේ බොහෝ තැන්වල ජීවමාන කර ඇති එවැනි චරිත කිහිපයකි. නිරන්තරව තම මළපහ තම පයටම යට කරගන්නා සීලවතී ඉන් ප්‍රධාන ය. එමෙන් ම, එකිනෙක ප්‍රතිවිරුද්ධ පුද්ගල පෞරුෂ ප්‍රබන්ධය ඔස්සේ පාඨකයා හමුවට ගෙන ඒම කඩවතවතආරච්චි කිහිපවිටෙක ම සිදු කර ඇත. ඒ අතර, ගුණවතී හා නැන්සිත්, වජිර හිමි හා ධම්මාරාම හිමිගේ චරිතත් ප්‍රධාන වේ. පාඨකයාට එම චරිත දෙස සංසන්දනාත්මක විනිශ්චයකට එළැඹීමට මං තනා පසුව, පාඨකයාට ඔවුන්ව ඔවුන් ලෙස ම පිළිගැනීමට ඉඩ හැර කඩවතආරච්චි පසෙකට වී බලා සිටිනා සෙයකි.

පිරිනිවන් කඳු පාමුලින්, රචනා උපක්‍රම අතින් පොහොසත් කරමින් රස වෑහෙන සේ ගොඩනඟා ඇති නවකතාවක් බව කිව හැකිය. නැවුම් පරිසර වර්ණනාත්, නව්‍ය උපමා රූපක හා සංඛේත භාවිතයත් අගය කළ යුතුය. කතා සන්ධර්භයට ගැළපෙන භාෂාවක් භාවිත කර තිබීම ද මෙහි ලා විශාල කර්තව්‍යයක් සිදු කිරීමට වැදගත් වී ඇත. ව්‍යංග්‍යාර්ථවත් යෙදුම් භාවිත ය ද විශාල චමත්කාරයක් කතාංගයට එක් කර තිබෙන බවට සැකයක් නැත. අවස්ථා හා සිද්ධි නිරූපණ‍යේ දී කතුවරයා මේ සියල්ල මුහු කොට බස හසුරුවා ඇති ආකාරය පාඨකයා කතාංගයේ වික්ෂිප්ත කරවන සුළු ය.

”ජැස්ටින් දනිපනියේ නැගිට පසුපස නොබලා දිව්වේ ය. සිදු වූ දේ සිතාගත නොහැකිව ඩිංගිරි අන්දුන් කුන්දුන් වී උන්නේ ය. නැන්සිට නැගිට ගන්නට බැරිව කෑගසමින් දැගලුවාය. ඩිංගිරි ඉක්මනින් නැගිට නැන්සිව අතින් ඇද්දේ ය. පුවක් ගස් අතරින් පාත් වූ සඳ එළියයට මක් විවර වූ නැන්සිගේ පියයුරු යුග්මය රන් පැහැයෙන් පෙනුණි. ඒ දුටු ඩිංගිරිගේ ඇස් ගිණිකන වැටුණේ ය. කොට්ටේරුවෙකු කෙටූ බෙනයකට කොහේදෝ ගසක අවදිව උන් කොබෙයියකු රිංගා ගත්තේ ය.” (139 පිට).

2022 ස්වර්ණ පාඨක සම්මාන අවසන් වටයට නිර්දේශිත රන්දික කඩවතආරච්චිගේ ‘පිරිනිවන් කඳු පාමුලින්’, ආදරය හිටිවන කවියක් ද? කල් ගෙන සෙමෙන් පබැඳූ පෙම් කවක් ද? ආදී ලෙස අර්ථකථන සැපයීමට උත්සුක වන බවට පාඨකයාට ඒත්තු ගන්වන නිරිමාණයක් බව පැහැදිලි ය.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment