THE WIND – UP BIRD CHRONICLE කියන්නේ හරුකි මුරකමි රචනා කළ තවත් විශිෂ්ට නවකතා පොතක්. සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන කියන විශිෂ්ට පරිවර්තකයා මේ පොත සිංහලයට පරිවර්තනය කරනවා දඟ කවන කුරුල්ලාගේ වංශ කතාව එහෙම නැත්නම් හොර පොල්කිච්චා කියලා.
පරිවර්තන පොත් කියවන්න කැමති සිංහල පාඨකයන්ට වගේ ම පරිවර්තන පොත් අතර විවිධත්වයක් මෙන් ම වෙනසක් බලාපොරොත්තු වන පාඨකයන්ට මුරකමි පොත් ඉතා හොඳ තෝරා ගැනීමක්. සිංහල සංස්කෘතියෙන් වගේ ම බටහිර සංස්කෘතියෙන් මිදිලා ජපන් සංස්කෘතිය කියවන්න ලැබෙන මහඟු අවස්ථාවක්. පොත ප්‍රමාණයෙන් විශාල වුණත් පටන් ගත් තැන සිට අවසානය දක්වා ම එපා වෙන්නෙ නැහැ. නීරස වෙන්නෙ නැහැ.
මුරකමි මේ පොතේ දී සමාජය සදය උපහාසයෙන් දකිනවා. පහර දිය යුත්තාට පහර දිය යුතු සුදුසු අවස්ථාව බලලා පහර දෙනවා. මුරකමි කතුවරයෙක් විදිහට සුවිශේෂි කෙනෙක් වෙන්නේ ඒ නිසා. ඔහුගේ නිර්මාණ හා සමාන වෙනත් නිර්මාණ නැහැ. ඔහු ලියන සෑම අදහසක් ම ඔහුට අන්‍ය වූ එකක්. දීර්ඝ කාලීනව නිර්මාණකරණයේ යෙදීමෙන් ඔහු ලද පරිචය ඒ නිර්මාණවලින් පෙනෙනවා.
ඔහුගේ පරිකල්පන ශක්තිය ඉහළ බව කියන්න පුළුවන්. ජීවන අත්දෑකීම් හා බොහෝ ඇසූ පිරූ තැන් ඊට එකතු වීමෙන් ඔහු බිහි කරන නිර්මාණ වෙනත් තලයක පිහිටනවා. පසුගාමී චරිත, ඉදිරිගාමී චරිත, කළු චරිත හා සුදු චරිත එකතු වුණු අළු චරිතවලටත් ඔහුගේ පොත්වල ඉඩක් තියෙනවා.
යථාර්ථය, ඉන් ඔබ්බට ගිය පශ්චාත් යථාර්ථවාදයක් ඔස්සේ මතු කරන්නට ඔහු උත්සහ දරනවා. හැබැයි ඔහුගේ පොත්වල අපි දකින මායා යථාර්ථවාදය සමස්ත පොදු කුලකයේ මායා යථාර්ථවාදි මෙන් ම අධියථාර්ථාදි පොත්වලින් වෙනස් වෙනවා. හොර පොල්කිච්චා අධියථාර්ථවාදය හා මායා යථාර්ථවාදය වෙනස් ලෙස යොදා ගත්ත පොතක්. ඒවා සාමාන්‍ය පරිකල්පනයෙන් ඔබ්බට යොදා ගනිමින් කුතුහලය රඳවා ගන්නවා. කතාව මෙහෙයවීම සිදු වන්නේ කුතුහලය ඔස්සේ කියන්න පුළුවන්.
ලෝකයේ ඕනෑම රටක් සෘජුව හෝ වක්‍රව මුහුණ දෙන තත්වයක් තමයි යුද්ධය කියන්නේ. ජපානය කියන්නේ දෙවන ලෝක යුද්ධය නිසා විශාල වශයෙන් පීඩාවට පත් වුණ රටක්. ලෝක යුද්ධ සමයේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට න්‍යෂ්ටික බෝම්බ හෙළනවා. එහි අතරු ප්‍රතිඵල අදටත් ජපානය පුරා දැකගන්න පුළුවන්. යුද්ධය ජපන් වැසියන්ට නුපුරුදු අත්දැකීමක් නෙවෙයි. හුරුපුරුදු අත්දැකීමක්. ඒ නිසාම මුරකමි මේ පොතට යුද්ධය අපූරු විදිහට ගළපලා තියෙනවා. යුද්ධයේ බිහිසුණු බව කියනවා.
නාඳුනන ඇමතුමක්. තත්පර දහයක් දෙන ලෙස කරන ඉල්ලීමක්. තත්පර දහයක් තුළ ටෙලිෆෝන් සෙක්ස්. ඒ ඉල්ලීම ගැනියක්ගෙන්.
අනේ මගේ ඒ තොල් පිරිමදින්න. හි-මී-ඊ-ඊ-න්. දැන් ඒවා විවර කරන්න. අන්න හරී… හිමී…ඊන්, හි…මීඊන්. ඔයාගේ ඇඟිලි ඒවායේ ගාවන්න. අනේ… අනේ… හි…මී…ඊන්. දැන් අනිත් අතෙන් මගේ වම් පියවුර අල්ලන්න. ඒ නිපලත් එක්ක සෙල්ලම් කරන්නකෝ.
විශේෂයෙන් ආදරය ලිංගිකත්වය වැනි කරුණු විවෘත මනසකින් දකින මුරකමි ප්‍රේමය සහ විශ්වාසය තුන්වන පාර්ශ්වයකගේ මැදිහත් වීමෙන් දෙදරා යන හැටි කියන්න මේ කතාව යොදා ගන්නවා. තමන්ගේ බොහෝ නිර්මාණවල වගේම මේ පොතේදිත් ලිංගිකත්වය උත්කර්ෂණය කරන මුරකමි, කෙනෙක්ට අනුව ලිංගිකත්වය විකුණන අසහනකාරයෙක් වෙන්න පුළුවන්. ඒනිසා මේ පොත් කියවන පාඨකයන් සංස්කෘතික රාමුවෙන් හා තමන්ට ආවේණික සිතිවිලිවලින් මොහොතකට මිදිලයි පොත කියවිය යුත්තේ.
ටෝරු ඔකාඩා තමයි කථානායකයා. ඔහු විවාහකයෙක්. ඔහුගේ බිරිඳ කුමිකෝ. ඔවුන්ට ඉන්නවා නොබෝරු වටායා කියලා පූසෙක්. මේ අය තමයි කතාව ප්‍රධාන චරිත. ඔවුන් මුල් කර ගෙනයි කතාව ගොඩනැඟෙන්නේ. මේ කියන පූසාගේ නම විශේෂයි. ඒකට හේතුව දැනගන්න නම් පොත කියවන්න ම ඕන.
අඟහරුවාදා: දඟ කවන කුරුල්ලා ඇඟිලි හයයි – පියයුරු හතරයි මෙහෙමයි පළමු පරිච්ඡේදය නම් කරලා තියෙන්නෙ.කතාව පටන් ගන්නෙ මේ විදිහට.
දුරකථනය නදදෙන විට මා සිටියේ මුළුතැන්ගෙය තුළ තැම්බෙන ස්ෆැගටි මුට්ටියක් වෙත උනන්දු වෙමින්, ගුවන් විදුලි යන්ත්‍රයෙන් ඇසුන රොසෙනිගේ හොර පොල්කිච්චා ගායනයට අනුව උරුවම් බාමිනි. පැස්ටාව උයන්නට ඒ වාදනය අපූරු ධෛර්යයක් සැපයීය.
කථකයා නැත්නම් මම නැමැත්තා මුල් කර ගත් උත්තම පුරුෂ දැක්මකින් කතාව පටන් ගන්නවා. කතාව ගලා යන්නෙ ඒ ආකෘතියෙන්. කොහොම වුණත් පොත පටන් ගන්නේ අඟහරුවාදා දවසක් ගැන කියලා. ඇඟිලි හයක් තියෙන මිනිස්සු ලෝකයේ ඕනෑ තරම් ඉන්න පුළුවන් එය සමාජයට ගැටලුවක් වෙන්නෙ නැහැ. හැබැයි පියයුරු හතරක් තියෙන ගැහැනියක් ගැන අපි අසා ඇත්තේ නැහැ. හැබැයි අපි දන්නවා පියයුරු තුනක් තිබුණු කුවේණි ගැන. හැබැයි සම්මතයේ තිබුණු පියයුරුවලට වඩා වැඩි පියයුරු හැම තැනදිම හැමෝටම ගැටලුවක් වුණා. ඒ තත්ත්වය සාමාන්‍ය විදිහට දකින්න මිනිස්සු කැමති නැහැ.
ටෝරු ඔකාඩාගේ පූසා අතුරුදහන් වීලාය.
ඔහුගේ බිරිඳද දිනෙන් දින ඈත් වන සැටියකි.
දුරකථන පිණිවුඩ අරුම පුදුම ලෙසින් එන්නට ගනී.
කථාවේ සාරාංශය මෙහෙම දක්වන්න පුළුවන්. ටෝරු ඔකාඩා මුලින් ම තමන්ගේ බිරිඳගේ නැතිවුණ සුරතල් පූසා සොයනවා. ඊට පසුව ඔහු බිරිඳ සොයනවා. මේ කතාන්දරය තමයි හොර පොල්කිච්චා. මේ සියලු හේතු දැන ගන්න වගේම කුතුහලය නැති කර ගන්න තියෙන එකම විසඳුම පොත කියවන එක.
කතාව ගලා යාමේ දී කුතුහලය දනවන බොහෝ ආරංචි එක්ක ගමක ඉපදිලා ගැඹුරක් රහිත පිරිසිදු ජීවිතයක් ගෙවූ ඔකාඩාගේ ජීවිතිය වෙනස් වෙනවා. ඔහු කෑම පිසින්නට පටන් ගන්නවා. පොත් කියවන්න පටන් ගන්නනවා. ජෑස් සංගීතය රස විඳිනවා. බීර වීදුරු ජීවිතයට එකතු වෙනවා. ඊට හේතුව ඔහු වඩාත් ආදරය කළ ආදරණීය බිරිඳගේ වෙන්වීම නිසා ඇති වූ පාළුව හුදකලාව වෙන්න පුළුවන්. ඔහු තුළ බිරිඳ නොමැතිව රැය පහන් කිරීමට ඇති අකමැත්ත එලෙස මතු වෙනවා වෙන්න පුළුවන්.
සමන් මල් සුවඳ මේ කතාවේ හැරවුම් ලක්ෂය. ඔහු ඒ සමඟ ගමන වෙනස් කරනවා. ඇයගේ ආඩම්බරකාර සොහොයුරා සියල්ලට ම හේතුව ද කියන ප්‍රශ්නය මතු වෙනවා. ඒ කතාව දැන ගන්න ඔබ පොත කියවිය යුතුමයි.
මුරකමි පොත්වල තියෙන අනිත් විශේෂත්වය තමයි පශ්චාත් යථාර්ථවාදී ප්‍රවේශය. නැත්නම් මායා යථාර්ථවාදී සහ අධියථාර්ථවාදී කියවීම. බොහෝ ලේකඛයන්ට වඩා වෙනස් මානයක් තුළින් ඔහු එම ප්‍රවේශ භාවිත කරනවා. පුද්ගල ජීවිතය තුළ ඔවුන් මුහුණ දෙන වඩාත් දරුණු වේදනාකාරි අවස්ථා නිසා පසුකාලීනව ඇති කරන ජීවිත බලපෑම විස්තර කරන්න ඔහු එය යොදා ගන්නවා. ඔහුගේ බොහෝ පොත්වල වගේ ම මේ පොතෙත් එය දැක ගන්න පුළුවන්. මේ පොතේ එන ක්‍රේටා කානෝගේ චරිතය පුරාම මේ කියන ලක්ෂණ දකින්න ලැබෙනවා.
ජපානය කියන්නේ මහායාන බුදු දහම අදහන රටක්. බෞද්ධ දර්ශනය ජපන් ජන ජීවිතයට සමීපයි. බෞද්ධ අස්ථිරතා ධර්මය අපූරු උපමා ඔස්සේ පෙන්වන්න මුරකමි හොර පොල්කිච්චා තුළ දී අමතක කරන්නේ නැහැ. එහෙයින් ඔහුගේ පොත්වල සැබෑ වෙනසට බෞද්ධ දර්ශනයේ සමීප ඇසුර සහ හික්මීම බලපා ඇති බව කියන්න පුළුවන්. ටෝරු ඔකාඩා තමන්ගේ බිඳවැටුණු විවාහය හා තම ජීවිතය තුළින් ම ජීවිතයේ සැබෑ යථාර්ථය හෙළි කර ගන්නවා. එය අපූරුවට කියන්නට ඔහු බෞද්ධ දර්ශනික අදහස් යොදා ගන්නවා. එය කතාවේ සරල බව යම් සංකීර්ණ අන්තයක් දක්වා ගෙන යනවා. එය කතාව පුරාම දකින්න පුළුවන්.
මුරකමි කතාව අවසන් කරන්නේ මේ විදිහට.
දෑස් පියාගෙන නිඳන්නට උත්සහ ගත්තත් නින්ද තවම ආයේ නැත. කිසිවෙක් හෝ කිසි දෙයක් නැති තැනෙක මා මොහොතකට පා වෙයි.
මුරකමි කියන්නේ නිදහස් හා ස්වාධීන ලේඛයෙක්. හැබැයි ඒ කියන නිදහස අනෙකාගේ නිදහසට බාධාවක් වන්නේ නැහැ. පාඨකයා මේ පොත් කියවන විට තම තමන්ට ආවේණික පාට කණ්ණාඩි ගලවන්න ඕන. එතකොට නිර්මාණයට වඩාත් සමීප වෙන්න පුළුවන්. හැම අයෙකුටම කියන්න කතාවක් තියෙනවා. මුරකමි මේ කියන්නේ නුඹේ කතාව වෙන්න පුළුවන්. මගේ කතාව වෙන්න පුළුවන්. ඒ බව ඒත්තු ගන්වන්න මුරකමි යථාර්ථවාදයේ මාන කිහිපයක් භාවිත කළ බව කියන්න පුළුවන්.
මුරකමි ඇසුර පොතකින් ලැබීමත් භාග්‍යයක්. ඔබ මුරකමි කියවන්නෙක් නම් හොර පොල්කිච්චා අත් නොහැරිය යුතු පොතක්.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
