රන්දික කඩවතආරච්චි කියන්නේ වත්මන් නිර්මාණ ක්ෂේත්‍රයේ සිටින තරුණ මෙන්ම දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහු මුල්වරට ප්‍රකාශයට පත් කළ ‘පිරිනිවන් කඳු පාමුලින්’ නවකතාව පාඨක අවධානය දිනා ගත්තා. එය 2022 ස්වර්ණ පාඨක සම්මානය සඳහාද නිර්දේශ වුණා. ඔහු මේ වන විට පවුරු බිඳ, සහසසරංසි, භද්‍ර සහ මාගරට් නමින් කෘති කිහිපයක්ම පළ කර තිබෙනවා. අද මම කතා කරන්නේ ඔහුගේ නවතම නවකතාව ‘වරවණ්ණනී’ නවකතාව පිළිබඳවයි.
“ධම්මමිත්තා, මේ ආරාමේ ගණිකා මඩමක් නොකර උඹේ තියෙන රෙදි කඩමාලු ටිකත් අරගෙන එළියට බැහැලා යන අතක තොලොංචි වෙලා පලයන්. අපිට මේකෙ නිදහසේ වසන්න ඕනි.” (11 පිටුව)
‘වරවණ්ණනී’ නවකතාවේ කතා නායිකාව බවට පත්වෙන්නේ ධම්මමිත්තා තෙරණියයි. කතාව ආරම්භ වන්නේම පාඨකයා තුළ කුතුහලය දනවමින්. රන්දිකගේ සිනමාරූපී දෙබස් රචනය සිත්ගන්නාසුලුයි. ගිහි ජීවිතෙන් මිදී පැවිදි දිවියට පැමිණෙන තැනැත්තෙකුට හෝ තැනැත්තියකට එම දිවිය තෝරාගැනීමට බලපෑ කරුණු කාරණා තිබෙන්නට පුළුවන්. යම් නිවීමක් අපේක්ෂාවෙන් පැමිණි ධම්මමිත්තාව ආරාමයෙන් පන්නා දමන්නේ ඇයි? කතුවරයා කතාව අපට කියන්න පටන්ගන්නෙ කතාවේ උච්චතම අවස්ථාවකින්. පාඨකයා තවම ධම්මමිත්තා තෙරණියගේ අතීත කතාව දන්නෙ නෑ. කතුවරයා සමාජයේ සුලබව පැවතුණද ඇස නොගැටෙන තේමාවක් සිය නවකතාව සඳහා වස්තු විෂය බවට පත් කරගෙන තිබෙනවා. ස්ත්‍රියට ස්ත්‍රියක වීම නිසා විඳින්නට සිදු වන ගැහැට ගිහි මෙන්ම පැවිදි සංස්ථාවේදිත් විඳින්නට සිදු වන බව අනුවේදනීය වශයෙන් කතුවරයා අපට පෙන්වා දෙනවා. එමෙන්ම ගිහි පැවිදි සංස්ථා දෙකෙහිම අළු චරිතද සිටිනා බව පෙන්නුම් කරනවා.
“ඇයට දිවි තොර කර ගැනීමට අදහසක් පහළ වූයේ ඉන් පසු ය. මාර්ගයේ වේගයෙන් ඉදිරියට ඇදෙන බස් රථයෙන් එළියට පැනීමට හෝ, බසයෙන් බැස වේගයෙන් ඉදිරියට එන වාහනයකට පැන ජීවිතය නැති කර ගැනීමට තරම් සිතුවිල්ලක් ඇගේ යටි සිතේ දිදුලමින් තිබුණි.” (17 පිටුව)
ඇය තෙරණියක වශයෙන් සියදිවි නසා ගැනීමේ බරපතළකම නොදන්නවා නොවේ. නමුත් ඇය එම මොහොතේ පත්ව සිටි මානසික තත්වය හමුවේ ඇයට එවැනි සිතුවිල්ලක් පහළ වීම ස්වභාවිකයි. පුද්ගලයෙක් තම ජීවිතයෙන් සමුගන්නට උත්සාහ කරන්නේ තමා මේ ලෝකයට තවදුරටත් අයත් නොවේය යන සිතුවිල්ල පහළ වීමෙන්. ඇය සිතන්නේ තවදුරටත් තමන් සම්බුදු සසුනෙහි පැවිද්දට සුදුසු නොවන බවත්, තමන් කිලිටි වී ඇති බවත්ය.
“වේගයෙන් තැබූ අඩිවලට නතර වෙන්නට අණක් ලැබුණි. මාළිගාවේ දොර අගුලු ලා තිබුණි. ඇයට හිතේ අවනඩුව කියන්නට හැකියාවක් නොලැබුණි. දළඳා වහන්සේත් ඇයට පිටුපෑවා වැනි හැඟීමක් ඇයට දැනුණි.”
“දෙව්රම් වෙහෙරත් මෙහෙම සැරින් සැරේට වහලා ද දන්නෙ නෑ තිබුණේ?” (25 පිටුව)
කතුවරයා ඉස්මතු කරන පැනය සමාජය තුළ කාලයක් තිස්සේ කතිකාවට, සංවාදයට ලක්වෙන කාරණයක්. ප්‍රධාන ආගමික සිද්ධස්ථානවලට කාන්තාවගේ ඇතුළුවීම තහනම් වීම සංවාදයට ගැනුණත්, ඊට පිළියමක් මෙතෙක් ලැබී ඇති බවක් පෙනෙන්ට නෑ. කවි, ගීත, නවකතා වැනි සාහිත්‍ය ශානර ඔස්සේ මෙම ගැටලුව සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. අපට මෙහිදී නන්දා මාලනිය පවසන පානම්පත්තුවේ ඩිංගිරි අම්මා සිහිපත් වෙනවා. වසුන්දරාටත් මුහුණ දෙන්නට සිදුවන්නේ එම අත්දැකීමටමයි.
නවකතාවේ තුන්වන පරිච්ඡේදයේදි හමුවන කිරි අම්මා අපට සිහිපත් කරන්නේ කතුවරයාගේම ‘මාගරට්’ නවකතාව. ‘මාගරට්’ කෘතියේ ශෛලිය අපිට මෙතෙන්දි දකින්නට ලැබෙනවා. ග්‍රාමීය සමාජය තුළ මිනිසුන්ගේ දෙබස් සජීවී ආකාරයෙන් තාත්වික අන්දමින් ඉදිරිපත් කිරීමට කතුවරයාට පවතින්නේ විශිෂ්ට හැකියාවක්.
“ගෑනු අපි ඉවසන්නම ඉපදිච්ච ජාතියක් බං. අපි ඉපදිච්ච දවසෙ ඉඳලා විඳවන එකනේ කරන්නේ…” (28 පිටුව)
“කුප්පි ලාම්පු එළියෙන් ඇස් රිදෙනකම් පාඩම් කරලා පැදුරට වැටිලා නිදාගන්න හදපු ගොඩක් වෙලාවට වසුන්දරාගේ මුළු ඇඟ ම පිච්චෙන තරම් ස්පර්ශ දැනුණ දවස් තිබුණා. යටි කය දිගේ හෙමින් ඉහළට එන ඒ ගොරෝසු අත තමන් ජාතක කරපු මනුස්සයාගේ කියලා දැනෙද්දි අදටත් වසුන්දරාගේ ඇඟ ගිනි ගන්නවා.” (32 පිටුව)
තමන් ස්ත්‍රියක වීම නිසා විඳින්නට සිදු වන ඛේදනීය තත්වයන්ට යුවතියක් වශයෙන්ද, තෙරණියක් වශයෙන්ද ඇයට විඳින්නට සිදු වෙනවා. දියණියක වශයෙන් විඳින්නට සිදු වන ඛේදනීයම ඉරණමටත් ඇයට මුහුණ දීමට සිදු වෙනවා. නවකතාවේ ඇය මෙන්ම පාඨකයින්ද වඩාත් සංවේදීභාවයට පත් වන්නේ කිරි අම්මාගේ මරණයෙන්. කිසිවෙකුගේ සරණක් නොමැතිව හිඳි මොහොතේ තමන්ට පිහිට වූ පුද්ගලයාද තමාට අහිමි වීම සහ අතින් අතට හුවමාරු වීමත් සමග අවසානයේ ඇය ලොව්තුරු සුවය සොයමින් සසුන්ගත වෙනවා. නමුත් සංඝ සංස්ථාව තුළින්ද ඇයට අසාධාරණයක් සිදු වෙනවා. තරුණියක වශයෙනුත්, තෙරණියක වශයෙනුත් ගැහැනියකට විඳින්නට සිදුවන දරුණුතම ගැහැටවලට මුහුණ දෙන්නට පවා ඇයට සිදු වෙනවා.
“ජේන් අක්කේ අපේ බුදු හාමුදුරුවෝ කියලා තියෙනවා දවසක්, මහණෙනි ගංගා ජලයේ දිය හුළු අත්තක් දල්වා රත් කරන්නට නොහැකි සේ ගංගා ජලය හා සම කොට සියලු සත්ත්වයින්ටම මෙත් වඩන්නයි කියලා. ඉතින් අපිත් උන්වහන්සේගේ පරපුරේ අයනේ. අපිටත් එහෙම කරන්න පුළුවන්.” (189 පිටුව)
බුදුන් වහන්සේ කකචූපම සූත්‍රයේදි තමයි ඉහත විග්‍රහය සිදු කරන්නේ. ධම්මමිත්තා තෙරණියගෙ ඉවසීම ඉතා ඉහළ තලයක පැවතුනක්. ඇය අටලෝදහමින් කම්පා නොවන්නියක්. ඇයට අවසානයේ ශාන්තිය උදා වන්නේද ඇයගේ මෙම අපරිමිත මෙත් සිත නිසාවෙන්මයි.
“ජේන් නෝනා විලාප තැබුවා ය. ඒ හඬට විලියොන් පමණක් නොවේ එහා ගෙදර සීලවතීගේ ගෙපැළට රිංගමින් උන් කිරි මහත්තයා ද උඩ විසි වී ගියේ ය. ජේන් නෝනා ඇඳ යටින් එළියට පැන්නේත් ගැරඬියාට වඩා වේගයෙන් සයිමොන් ගේ මැදින් බඩගා ගියේත්, විලියොන් ඇඳෙන් බිමට පැන්නේත්, කිරි මහත්තයා ගම් සභා පාර දිගේ දිව්වේත්, සීලවතී වේගයෙන් දොර වැහුවේත් එකට ම ය.” (92 පිටුව)
තම කෘතිවල හාස්‍යමය රසය උපරිම තලයක රැඳවීමේ හැකියාව කතුවරයා සතුව පවතිනවා. ‘මාගරට්’ නවකතාව මෙයට කදිම නිදසුනක්. ‘වරවණ්ණනී’ නවකතාවේ අපට හමුවන ජේන් නෝනා, මිසි හාමි, සොයිදා වැනි චරිත කියවීමේදී අපගේ මතකයට නැඟෙන්නේ ‘මාගරට්’ නවකතාවේදී අපට හමුවුණු මිලි නෝනා, මාගරට්, චිං චිං නෝනා වැනි චරිත. නමුත් එම හාස්‍ය රසයට යටින් එම චරිත පිළිබඳ ගැඹුරු කියවීමක් පාඨකයාට ලබා දීමටද කතුවරයා සමත් වී තිබෙනවා. මෙහි ජේන් නෝනාගේ චරිතය ඊට කදිම නිදසුනක්.
“ඔබ කුසක් දරාගෙන උන්නත් භික්ෂුණියක්. භික්ෂුණියක් කියන අර්ථයම අත්හැරීම. ඔබ නිවීම හොයාගෙන පැවිදි වත දරාගෙන ගිහිවතේ නැති දුකුත් එකතු කරගන්න උනොත් ඔබ පරදිනවා ධම්මමිත්තා.” (260 පිටුව)
මෙහිදී අපගේ සිහියට නැගෙනුයේ බුදුන් වහන්සේ වැඩ සිටි සමයේ සිදු වූ සිද්ධි දාමයක්. ඒ නිග්‍රෝධ ජාතකයේ වර්තමාන කතාව ලෙසින් ඉදිරිපත් වන කුමාර කාශ්‍යප මාතාවගේ කතා පුවතයි. ඇයද ධම්මත්තා මෙන් ගිහි කළ ඇති වූ දරු ගැබක් සහිතව, ඒ පිළිබඳ නොදැන පැවිදි වූවා. සුමේධා ලොකු මෑණියෝ ධම්මමිත්තා ආරාමයෙන් නෙරපූ අයුරින්ම අතීතයේදී දෙව්දත් තෙරුන් කුමාරකාශ්‍යප මාතාව උපැවිදි කරන්නට සූදානම් වුණා. එවක ඇයට යුක්තිය ලබා දීමට බුදුන් වහන්සේ ඉදිරිපත් වුණා. උපාලි තෙරුන් කොසොල් රජුගේ ඉදිරියේ විශාඛාව කැඳවා ඇයව පරික්ෂා කරන්නට අවකාශ සලසා දුන්නා. එයින් ඇයගේ නිවැරදි බව සනාථ වුණා. ධම්මමිත්තා වෙනුවෙන් මෙකලද සුධර්මා තෙරණිය සහ සුජාත ලොකු හාමුදුරුවන් පෙනී සිටියා. මෙහිදී කතුවරයා අතීත සිද්ධි දාමයක නූතන පැතිකඩ පෙන්වා දීමට උත්සාහ ගෙන ඇති බව පවසන්න පුළුවන්. කරුණු කාරණා නිසි අයුරින් නොදැන කලබල වන්නෝ එකල මෙන්ම මෙකලද සිටිති. නමුත් සත්‍යය අවසානයේ ජය ගන්නා බව මින් ප්‍රකට වේ.
“ගැහැනුන් මලින් උපදිති, ගැහැනුන් ගින්නෙන් උපදිති, ගැහැනුන් දියෙන් උපදිති, ගැහැනුන් කඳුළෙන් උපදිති, ගැහැනුන් මඩෙහි උපදිති, ගැහැනුන් සිනා රැල්ලෙන් උපදිති. මලෙන් උපදින ගැහැනිය මඩෙහි ද, මඩෙහි උපදින ගැහැනිය මලෙහි ද නවතිති. ගැහැනුන් වරදෙහි බැඳෙති, ගැහැනු වරදෙන් මිදෙති. කෙසේ වුව ද වරදෙන් මිදෙන, සියල්ලෝ ම අවසන ලෝකය ම සුවඳවත් කරති.” (274 පිටුව)
ගැහැනිය ශක්තිමත්ය. ඇය ශක්තිමත් වී ඇත්තේ ඇය අත්විඳින දුකිනි; වේදනාවෙනි. ඇය විටෙක මලක් මෙන් සුවඳවත්ය. මෘදු මොළොක්ය. නමුත් ඇය නිරන්තරයෙන් ගින්නෙන් දැවෙන්නියකි. ඇය විටෙක මහා ගිනි නිවාලන දියත්තකි. මඩෙහි ඉපදී අපවාද විදින්නියකි. දුක නොපෙන්වා සිනා රැල්ලෙන් මුව සරසා ගන්නියකි. මඩෙහි උපදින පිනැත්තියක එම මඩෙන් උඩට විත් පියුමක් මෙන් බැබළෙන්නීය. නිවීමද සොයාගන්නීය. ඇතැම්විටෙක දැන හෝ නොදැන වරදෙහිද බැඳෙන්නීය. එය වටහාගෙන ඉන් මිදෙන්නීය. කෙසේ හෝ උත්තරීතර වරවණ්ණනියක වී අවසානයේ ඇය මේ ලෝකය සුවඳවත් කරන්නීය.
නවකතාවේ චරිත ගොඩනැංවීම, දෙබස් රචනය ආදිය ප්‍රශස්ත මට්ටමක පවතිනවා. කතුවරයා තම කෘතිය රචනා කිරීමේදී බහුලවම යොදාගෙන ඇත්තේ ග්‍රාමීය පරිසරයේදී අපට අසන්නට ලැබෙන අව්‍යාජ ගැමි බස් වහරයි. කෘතියේ පිට කවරය කෘතියට ආලෝකයක් ගෙන දී ඇති බව පැවසිය යුතුමයි. කෘතියෙහි වියරණ දොස් නැතුවා නොවේ. මීළඟ මුද්‍රණ වාරයකදී ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද අවසන් වශයෙන් යෝජනා කරන්නට කැමතියි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
