ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහගේ ‘අවිකාරයන්ගේ කවිකාර ලියවිලි’ දුටු සැනින් ඇතුලත එකදු පිටුවක් හෝ කියවන්නටත් ප්‍රථමයෙන් මතකයට ආවේ ඇලෙක්සැන්දර් පුෂ්කින්ගේ ’කපිතන්ගේ දියණියෝ’ නවකතාවයි. එහි මුල් පරිච්ඡේදය සිය ආරම්භය මෙසේ සනිටුහන් කරන බැවිනි.
“වුනානම් සෙබළෙක් ආරක්ෂක බලකායේ,
හෙට වන විට ඔහු ඇත කපිතන් නිළයේ.
සේවය කළොත් සේනාවේ එය ඕනෑ නැතිය.
ගැම්මකි සෙබළ පැවසුම් නම් අපූරුය.”
‘ගැම්මකි සෙබළ පැවසුම් නම් අපූරුය’ යන්න කවිකාර ලියවිලි හා වැටෙන්නේ එකම රේඛාවකට බව හැඟෙයි. ලුතිනන් කර්නල් එදිරිසිංහ මනරම් කන්චුකයකින් හා නිමාවකින් යුතු සිය පොත තුළ සංචිත කරන්නේ යම් හෙයකින් අඥාත ප්‍රකාශනයන්ය ඒ ප්‍රකාශනයන් ඇත්තෙන්ම කාව්‍ය ශානරයට ඇතුළත් කිරීමට පිළිවන. එම පද පේලි යනු, යුද්ධය විසින් අසමමිතික කරණයට ලක් කළ අතේ අවි දරමින් වුවද හිතේ කවි පූදින්නට ඉඩහළ ඒ සටහන් සිය වටපිටාවේ තැනක ප්‍රදර්ශනයට මුදා හැරි අපේම සොල්දාදුවන්ගේ සැඟවුණු දිගු කතන්දරවල සංක්ෂිප්තයයි.
ලාල් හෑගොඩ කවියා සිය කවි පොතක පෙරවදනේ මෙසේ සඳහන් කරයි.
“කවියක් පායාගෙන එන විට මම එකල කලබල නොවූයෙමි. සමහරවිට කෙටි සටහනක් තබා පසුව ලියන්නෙමි. අද එය ඉවර කරනතුරු ඉස්පාසුවක් නැත. හදිසි අනතුරක් වේදෝයි බෝම්බයකට හසුවේදැයි බියක් මා ළඟ තිබිය හැකිය.”
මේ කවිද එසේ සන්ත්‍රාසනීය පරිසරයක දිගහැරුණු ඒවා නොවන්නට හේතු නොමැත. මරණය මගින් නිමා වන ජීවිත පරිච්ඡේදය හැමට පොදු උරුමයක් වුවද යුද්ධය ඒ පරිච්ඡේදයට එක් කරන්නේ අවිනිශ්චිත බවේ විශාල තැන්පතුවකි. එවැනි පසුබිමක් තුළ සිය සිතුවිලි වදන් ප්‍රකාශනයක් ලෙස දැක්වීම ම සොල්දාදුවන් තුළ හුස්ම ගන්නා කලාකරුවා සියමග සොයා යන සේයාව දනවයි. එ කව් තුළ උපමා, රූපක හෝ ව්‍යංගයන් අවමය. කවියක් සෞන්දර්යාත්මකව මතු කිරීමට යොදන උපක්‍රම (poetic devices) එහෙමටම නැත. නමුත් රස විඳින්නා තුළ කම්පනය මුසු යම් පරිකල්පනයක් අවුළු වීමට සමත් ජවයක් මේ නාඳුනන කවිකාර සොල්දාදුවන් මතු කරන්නේ සිය සේවාව හා බැඳුණු ජීවිතයේ විවිධ පැතිකඩවල දිසෙන, දිවෙන සේයාය.
යුද කවි සාහිත්‍යයක් සාහිත්‍ය ලෝකය තුළ සජීවීකරණය වන්නේ යුද්ධයන්ගෙන් විනිර්මුක්ත වූ ලෝකයක් කිසිදා නොපැවතුණු හා නොපවතින නිසාවෙනි. රෝමානු කිවිවර Horace විසින් ප්‍රකාශිත සුප්‍රසිද්ධ “Dulce et decorum est pro patria mori” යන්නෙන් කියැවෙන තමාගේ උපන් බිම වෙනුවෙන් මිය යාම සොඳුරු බැව් මෙන්ම අයිතියක්ද වන බැව් උපහාසයට ලක් කරමින් Rupert Brooke ලියන ලද ‘The Soldier’ යන සුප්‍රසිද්ධ කාව්‍ය මෙහිදී සිහිපත් වේ. එය යුද්ධයේ ඇති ඍණාත්මක නිසරු වපසරිවල සැබෑ විවරණයකි. එමෙන්ම යුද කවියේ පියා ලෙස සැලකෙන Wilfred Owen සිය ‘Anthem for doomed youth’ හි කියවෙන යුද බිමට බට සොල්දාදුවන්ගේ හංස ගීතයද, Stephen Crane සිය ‘War is kind’ කාව්‍යයේ ‘හඬන්න එපා යුද්ධය කාරුණිකයි.’
(Do not weep, War is kind) කීමෙන්ද ඉතා සදය ලෙස යුුද ශ්‍රී විභූතිය මගින් අතුරන ලද රොමැන්තික සළුව ඉවත් වෙයි. ඉන්පසු අපට පෙනෙන ඉමේජය ඉතා භයංකර එකකි.
යුද කවි පිළිබඳව ‘The power of brevity in war poetry’ යන අගනා ලියවිල්ල ලියූ ආර්. බාර්ටල් සහ ඩියනා ග්‍රෑන්ඩ්බරි පවසන්නේ යුද කවි වල සංක්ෂිප්ත බව මෙන්ම බලය ගැනයි.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කාව්‍යයක් ඔවුන් අමුණන්නේ එය සනාථ කරනු පිණිස වෙයි. නමුත් එහි තවත් කර්තව්‍යයක් ඇත.
“නට්සින්ට අනතුරු ඇඟවීමයි!
ජෙනරාල්, ඔබේ යුද ටැංකිය ශක්තිමත් යන්ත්‍රයකි.
ජෙනරාල්, ඔබේ ගුවන් යානය ද ශක්තිමත් යන්ත්‍රයකි.
ජෙනරාල් මිනිසා ප්‍රයෝජනවත් යන්ත්‍රයකි. ඔහුට පියාසැරියද , මරන්නට ද පුළුවන. නමුත් ඔහුගේ එක් දුබලකමකි.
ඔහුට සිතන්නට පුළුවන.”
‘ඔහුට සිතන්නට පුළුවන’ යන අවසන් පුපුරන සුලු පදය දැවැන්ත අරුතක් එක්කරයි. සිතන්නෙ, තීරණ ගන්නේ මනුෂ්‍යයාය, යන්ත්‍ර නොවේ. යුද්ධයද තීරණයක ප්‍රතිඵලයකි.
‘කවිකාර අවිකාරයන්’ මෙහිදී තෙවැදෑරුම්ව සිය අත්දැකීම්වල දැක්ම වදන්වලට බර කරයි. ඇත්තෙන්ම එතනදී නේද, ලුතිනන් කර්නල් එදිරිසිංහ කියන අවිකාරයන් ගේ උපසංස්කෘතිය මතු වන්නට පටන් ගන්නේ? විප්‍රවාසී නාඳුනන සොල්දාදුවා සිය නොස්ටැල්ජියාව, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය හා බැඳුණු කුටුම්භයන් දිගේ ගෙන යන අතර තවත් අතකින් එය සිය රැකියාවේ ඇති අසාධාරණ විභේදනයන් වල හඬක් ද වේ. ඇතැම් කවි ඉහත දෙයාකාරයෙන්ම මිදුනු දේශප්‍රේමය හා බැඳුණු වියමන් ය.
“ඒයි කොල්ලෝ මෙහෙ වරෙන්
ඉන්න තැනක් හදාපං
හොඳට වහල හදාපං
වටේ සුද්ද කරාපං
වැලි කොට්ටත් තියාපං
හොඳ ඇඳකුත් තියාපං
මෙට්ට දෙකක් දමාපං
තෙමුනොත් තොට බලාපං”
මෙම කවියේදී අපිට හමුවන්නේ වහල් සේවයකට ආසන්න සේවයක යෙදෙන සොල්දාදුවෙකි. ඔහුගේ පූජනීය තේවාව එම ලැබෙන අණ පිළිපැදීමයි. කිවියර ටෙනිසන් කියූ, “ඔවුන් ඉන්නේ අණ පිළිපැදීමට හා මියැදීමට මිස ඒ කෙසේද කියා ප්‍රශ්න කිරීමට නොවේ.” (Theirs not to reason why theirs but do and die) යන්නද ඒ පක්ෂපාතිභාවයේ උපරිමය පසක් කරයි. ඇමරිකානු වහල් ප්‍රජාවගේ වැඩ සිංදු (work songs) වලට කෙටි නෑකමක් කියන මෙම කව මගින් අප සාමාන්‍යයෙන් දකින නිලලත් අවිකාරයන්ගේ යුනිෆෝමය විනිවිදන ඇතුලාන්තයන්හි වෙනම පදාසයක් මතුවෙයි. එය දුක් බරය, අඳුරුය.
“උණුසුම නොමැති සයනය ඉකි ගසන විට
කඳුලැලි පිසිනවද කොට්ටය තුරුලු කොට
හිමිසඳ නිවාඩුව ලැබගෙන ආ දිනට
සත්තයි සිනා පිරෙනවා නුඹගේ මුවට”
යුද බිම යනු එක් එක් මාදිලි වල විරහ වේදනා තෝතැන්නකි. සාමාන්‍යයෙන් එහි පවතින කඨෝර බවට අමතරව, චිත්ත සන්තානයන්හි සුසුම්, දූලි හුළඟක් සේ නිරතුරුවම නැගෙනා, පෙළනා ප්‍රියයන්ගෙන් ඈත්වීමද ඒ ඈත්වීම්වල කම්පනයන්ද දරා සිටිය යුතුමය. අනියත බව කැටුව එන සංකල්පනා සේම ඒ සංකල්පනාවලින් මතු කරන නෙක පැහැයන්ගෙන් ද මතක පොත පිරැවේ.
‘සටන් වදින වීර පුතකු බිහි කළ නුඹ අම්මේ
බිව් කිරිවල එඩිය පාමි සහතිකමයි අම්මේ
රුහිරු බින්දු පොළෝ තලය සිප ගත්දා අම්මේ
නුඹේ කුසේ මතු සසරෙත් ඉපදෙන්නයි අම්මේ’
මව් පුතු ස්නේහය ස්වභාවයෙන්ම ඉතා ප්‍රබලය. අපේ සොල්දාදුවන්ට යුද බිමේ කුරිරු බව හා රැඳෙන වේදනා සමග නිරතුරු සිය මව්වරුන්ගේ ආදරණීය හදවත සිහිපත් වීම ඇතැම් කවි වලින් ප්‍රතිරාව නංවයි. අව්‍යාජ ලෙස පැන නැගෙන හද වදන් තමා සේවයේ යෙදෙන වටපිටාවෙන් සොයා ගත් කුමන හෝ පසුතලයක් මත ලියා තබන්නට සොල්දාදු කවියා ගන්නා තැත, යුද බිමෙන් ඈත, පහසු කලාපවල දිවි ගෙවන මිනිසුන්ට ගලපා ගැනීමට අසීරු ප්‍රහේලිකාවකි. ප්‍රබුද්ධ කවීන් නොයෙක් සෞන්දර්යාත්මක අච්චුවල ඔබ්බවා අනේක විධ හැඩතල වලින් නිමවන කවි හා සැසදීමේදී මේ කවි පරිපූර්ණත්වය අතින් සිහින් වීම කෙනෙකුට තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැකි වුවත් එවැනි කාව්‍ය ප්‍රයෝග නොයොදා සිය සිතැඟි තථ්‍ය ලෙස පද පෙළක පුරන්නට ගත් වෑයම යම් සුවයක් නොකැඳවයි ද!
කවිය කලාත්මක ප්‍රකාශනයක් වුවද කෙනෙකුට සිය ආකල්ප හා මුහුවෙන චිත්ත ප්‍රවාහයන් බහාලන්නට සුදුසු ආත්මීය එළිදරව් ද මෙම නිර්මාණවල කැටි වෙයි. නොයෙක් සිත් රිදවුම් මගින් දැනෙනා ආතතීන් අවම කරගන්නට අපට මෙන් යුධ බිමක ක්ෂණික උපදේශන සේවා නොමැත. සතුරු ආක්‍රමණ පිළිබඳ නිරන්තර විමසිලිමත් බවින් යුතුව හද රිදුම් පිරිමැද ගැනීමද කළ යුත්තේ අතේ අවි දරන නිමේෂයන් තුළදීමය. සියලු ලැදියාවන්, බැඳියාවන් හෝ නැමියාවන් තුළ කවර අන්දමින් කැරලි ගැසුවා වුවද, කවිකාර සොල්දාදුවන්ට ඒ සමඟම උනනා දේශප්‍රේමයක්ද ඇත. (දේශප්‍රේමයක් ද ඇත. යැයි කීම ගැන සමාවන්න. ඒ ලංකාවේ ඇතැමුන්ට නම් ජාතිවාදයට කියන වෙනත් නමක්. ඒ එසේ හැඟෙන අවස්ථා දුලබ නොවන බව මගේ හැඟීමයි.)
“උපන් බිමේ බල උරුමය රැකගන්න
සටන් කෙරුම සතුටක් හිමි සෙබලුන්ට
ඉතින් යමව් කොටි කඳවුරු වනසන්ට
රට රැක ගනිමු අපේ පරපුරෙ දියුණුවට”
ලුයිස් රෑම්ස්ගේ, ‘ෆීමේල් සෝල්ජර්ස්’ යන පද්‍යය තුළ මෙසේ ලියැවෙයි.
“ඇය සෙබළියක් නොකරයි ඇගේ නිල ඇඳුම,
ඇගේ හද හා ශක්තියයි කරවන්නේ ඇය වඩාත් නිර්භය.”
(“The uniform does not necessarily make her a soldier,
but her heart and strength that make her bolder”)
කවිකාර අවිකාරියන් ගැන ප්‍රවිෂ්ටයක් එ කව ලබාදෙනු ඇතැයි හඟිමි.
“සීතල වැඩි යහනෙ උණුසුම නැතුවාද
දියණිය සමඟ ඔබ නිවසේ තනි නේද
ජීවන මගේ ඔබ මට අත් වැල යෝද
මා සැමියෙකු වෙලා ඔබ බිරිඳක වීද”
මෙම කවිය හා ලුයිස්රෑම්ස්ගේ ඉහත දැක්වූ කවිය අතර ඇති සාම්‍යත්වය ඉතා සරල සූත්‍රයක්. භාවාතිශය කැළඹිලි වලින් යම් පමණකට සන්නද්ධ වුවද අපේ සොල්දාදුවරිය දැන වූ අදහස තුළ ගැබ්වෙන යථාර්ථය ක් ඇත. ඒකාකෘතික ව (stereotype) ගොඩනඟන හෝ ගොඩනැඟෙන ලද ඇතැම් රාමු තුළ යම් යම් සේවාවන් ව්‍යුත්පන්න වී ඇති නිසා රට වෙනුවෙන් යුද වැදීම පුරුෂ පාර්ශ්වය පමණක් සතු බැව් සිතන සමාජයක සෙබළියකගේ භූමිකාව අභියෝගාත්මකය. මෙහිදී ඒ අවිකාරිය එම අභියෝගය දිනා ගත්තා පමණක් නොව අපේ ඒ සම්ප්‍රදායික රාමුව පිළිබඳ ප්‍රශ්න කරන්නීය. සාමාන්‍ය සමාජය විසින් ජන විඥානය හසුරුවන්නේ පුරුෂාධිපත්‍යය පිළිබඳ මනා අභිමන් රඳවමිනි. එම නිසා අප අසා ඇත්තේ දේශයේ ‘මුර දේවතා එලි’ මිසක දේශයේ ‘මුර දේවතාවියන්ගේ එලි’ දැල්වෙන බව නොවේ. එලෙස සිතන සමාජයට එක අතකින් මෙම කවිකාර සෙබළිය ගසන්නේ අතුල් පහරකි.
මට දැනෙන්නේ ‘අවිකාරයන්ගේ කවිකාර සිතුවිලි’ තුළ යුද්ධය හා එහි නොයෙකුත් බලපෑම්, පාර්ශ්වයන් මෙන්ම ලුතිනන් කර්නල් සුජිත් පැවැසු ආකාරයට දිග ඇරෙන සංස්කෘතියක්ද රඳවා ඇති බවයි. ඒ සංස්කෘතිය පවසන්නේ රටක නොලියු ඉතිහාසයයි. එහි ගොඩ නැගීම්, බිඳ වැටීම් මෙන්ම යථාර්ථයන්ද, ෆැන්ටසිද සුලභය. නොසිතූ විරූ තරම් කල් ඇදුණු යුද්ධයකින් ඇති කරන ලද ප්‍රාමාණික සංසිද්ධීන් අතර මේ පොත එක්තරා අපූර්ව ගවේෂණයක් නැවුම්ව, නෙත-සිත අතර තබයි. තාරුණ්‍යයේ මුදු වර්ණවත් සිහිනද සමාජ යථාර්ථයන් ගේ අළු පැහැයද අනෙක් පසින් දේශප්‍රේමය පිළිබඳ දෘෂ්ඨින්ද වෙන් වෙන්ව නැගී එකම කැන්වසයක් මත සිතුවමක රැඳෙයි. එහෙයින් ‘අවිකාරයන්ගේ කවිකාර සිතුවිලි’ සාමාන්‍ය කවි පොතකින් තරමක් ඔබ්බට ගිය දැකුම් තලයක් ප්‍රදර්ශනය කරයි. මේ පොතේ මා කැමති කවියකින් මෙය හමාර කිරීමට ඉඩ දෙන්න.
“කුංජන්
උඹ මැරුණොත් අපේ ඈයො හිනාවේවි
හරි සතුටින්
අපි මැරුණොත් උඹලගේ අය උඩ පැන පැන සතුටුවේවි.
උඹත් නොමැරී
අපත් නොමැරී
අපි දෙගොල්ලෝ හිනාවෙන්නේ කවද්ද කුංජන්.”
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
