“අපි හැමෝටම ඉන්නව කුලප්පුවෙන්න බලාගෙන ඉන්න හරකෙක්.”

රජරට වැව්බැදි රාජ්‍යයේ මිනිසුන්ගේ ජීවන අන්දරය රැගත් ‘මකරානන්දය’ නවකතාව 2019 වර්ෂයේදී හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන්ද, විද්‍යෝදය හා ගොඩගේ සම්මාන යන සම්මාන ත්‍රිත්වයෙන්ම පිදුම් ලැබුවා. විරාජිනී තෙන්නකෝන් මෙහි කතුවරියයි. ‘කැමෙලියා’ නමින් ඇය සිය දෙවන නවකතාවද පසුගිය වසරේ ප්‍රකාශයට පත් කළා.

නවකතාවේ සමාරම්භය සනිටුහන් වන්නේ සේපාල නැමැති අනුරාධපුර නගර සභාවේ සේවකයෙකුගෙන්. හෙතෙම මහජන පුස්තකාලයෙහි සේවා කාලයේදී පොත් කියවීමෙහි රුසියෙකු බවට පත් වෙනවා. මේ කාලයේදී ඔහුට හමුවන සුවිශේෂ චරිතය වෙන්නෙ ඩික්සන් අයියා. නගර සභාවේ කුණු ලොරියෙහි වැඩ කරන හෙතෙම රැකියාවට බෙහෙවින් ලෙන්ගතුයි. ජීවිතය හා රැකියාව පිළිබඳව අපූරු පාඩමක් සේපාල ඩික්සන් අයියාගෙන් ඉගෙන ගන්නවා. ඒ කුමන අන්දමේ රැකියාවක නියැලුණත්, ඊට ආදරය කළ යුතු බව.

තඹුත්තේගම ඒ.ජී ඔෆිස් එකෙහි රාජකාරි බාරගත් සේපාල හට එහි පැරණි රෙකෝඩ් රූම් එකක ලිපිගොණු ලැයිස්තුගත කිරීම භාර වෙනවා. එහිදී ඔහුට නවකතාවෙහි දෛවෝපගත සිද්ධි දාමයන් රැගත් ෆයිල් කවරයක් හමුවෙනවා. ඒ 1977 වර්ෂයෙන් ආරම්භ වුණු නොච්චියාගම, ඇලපත්ගම හා වැවේගම කේන්ද්‍ර කරගත් පාඨක හද දිනූ තඹර ථූප, කුකුරුමාන හා මණිචෝර යන කතා වස්තු ත්‍රිත්වයයි.

තඹර ථූප කතා වස්තුවේදී අපට හමුවන සුවිශේෂ චරිතය තමයි නංහාමි අත්තා. මහ පන්සලේ මෙන්ම රදළ පවුල්වල කෙනෙහෙලිකම්වලින් මිරිකී තැලී පොඩිවන ඇලපතගම ගම්වාසීන් වෙනුවෙන් වෙහෙරක් තනනා ඒ අපූරු මිනිසා තමයි නංහාමි අත්තා කියන්නෙ.

“නිසල වුවද ගැඹුරු වැව මැද ඇය සටන් කරන ලද්දේ හිතුවක්කාර වැව් දිය සමග නොව ඇය උපතින් ගෙන ආ ගැහැනුකම සමගය.”  (37 පිට)

වැවේ රාජකාරිය සඳහා ගමෙන් ඔරුවේ නැඟුණු පළමු ස්ත්‍රියාව බවට පත් වෙන්නෙ රන්මැණිකා. ඇගේ සැමියා රන්බණ්ඩා. ඔහු සිය පවුල කෙරෙහි නොසැලකිලිමත්. පච්චයාගේ බූරුපොළ තමයි ඔහුගේ නිවහන. සිය කිරිකැටියාගේ බරින් නිදහස් වීමට ප්‍රථමව මාළු වට්ටිය හිස මත තබා ගන්නට  රන්මැණිකාට සිදු වූයේ ඒ නිසයි.

නවකතාවෙහි පාඨක හද දිනූ චරිතය බවට පත් වන්නේ සෝමේ. ඇය රන්මැණිකාට මවකට තරම් ස්නේහයක් දැක්වූවා. රන්මැණිකාද ඇයට සැලකූයේ තමන් වැදූ දියණියකට වගේ. සෝමේගේ පාසල් ගමන නතර වන්නේ ගමේ පාසල වසා දැමීමෙන්. නංහාමි අත්තාගේ ථූප කර්මාන්තයට මහ පන්සලෙන් මෙන්ම ග්‍රාමසේවකගෙන්ද නොයෙකුත් බාධා එල්ල වෙනවා. නංහාමි අත්තා ඒ කිසිවකින් සැලෙන්නේ නෑ.

“අපි හැමෝටම ඉන්නව කුලප්පුවෙන්න බලාගෙන ඉන්න හරකෙක්. ඌ අයාලෙ යනව කියල දැනගත්ත සැණින් කෙවිට වනලා ආපහු හරි තැනට ගන්ට ඕනි” (112 පිට)

මිනිස් චිත්ත සන්තානයෙහි ස්වරූපයත්, එය හික්මවා ගත යුතු බවත් අතරමඟදී කරත්තයෙහි ගමන් කළ භික්ෂූන් වහන්සේ මනාව විග්‍රහ කරනවා. මහේච්ඡතාව  අප වියවුලට පත් කරන බවත්, අල්පේච්ඡතාව හමුවේ අප දිවි මඟ සරල වන බවත් එහිදී විග්‍රහ වෙනවා.

“ඇත්තද මැණිකක්කේ ඔය නුවර දළදා මාලිගාවෙ පෙරහැරට ගෑණු නටන්නෙ නෑ කියන්නෙ. එතකොට සිරිමා බෝ හාමුදුරුවන්ගෙ උඩ මළුවට ගෑනුන්ට යන්ට දෙන්නෙත් නෑලු. කිලි හන්දලු.” (120 පිට)

මෙහිදී කතුවරිය සමාජයෙහි උඩුදුවා ඇති ප්‍රබල ගැටලුවක් පාඨකයා අභිමුඛයට ගෙන එනවා. ශ්‍රී  මහා බෝධිය දඹදිව සිට වඩමවාගෙන පැමිණියේ සංඝමිත්තා තෙරණියයි. හේමමාලා කුමරිය සිය කෙස් කලඹෙහි දන්ත ධාතූන් වහන්සේ තබාගෙන පැමිණියා. ඔවුන් දෙපළම කාන්තාවන්. එහෙත් ලාංකීය ආගමික සංස්කෘතිය තුළ ඔවුන් මුළුගැන්වීම බලවත් අසාධාරණයක්.

නවකතාවේ සුවිශේෂ චරිත ද්විත්වය තමයි ලොකු හාමුදුරුවෝ සහ කුඩා කොලු ගැටයා. මංමුලා වී ඔවුන් තම ඉරණම් ගම වූ  ඇලපත්ගමට පැමිණෙනවා.

“ දැං රාජාලියා සහ ලොකු හාමුදුරුවන් අතර සිටින්නේ කොලුවාය. උන් වහන්සේට රාජාලියා නොපෙනෙන්නේ කොලුවා නිසාය.” (134 පිට)

කුකුරුමාන කථා වස්තුව ආරම්භ වෙන්නේ රාජාලියෙකු පිළිබඳව පවසමින්. නවකතාවේ කතුවරිය යොදාගත් ප්‍රබල සංකේතයක් ලෙසින් රාජාලියා හඳුන්වා දෙන්න පුළුවන්. රාජලියාගෙන් ආධ්‍යාත්මික විමුක්තිය පිළිබිඹු කරනවා.

“අනේ මං පෙරහැරේ ලස්සන දැක්කෙ ඊට පස්සෙයි බුදු නංගියේ. ඒත් එතකොට මං ඉක්මන් වෙලා ගිනිබෝලකාරයෙක් බදාගෙන අහවරයි. දැන් ඉතින් නිතරෝම පිච්චි පිච්චි ජීවත් වෙනව.” (148 පිට)

රන්බණ්ඩා හා විවාහ වීමෙන් රන්මැණිකා  පත්වූ අසරණතාව පිළිබඳව මින් විග්‍රහ වෙනවා. කතුවරිය මෙය ඉදිරිපත් කළ ආකාරය සිත්ගන්නා සුලුයි. අප බොහෝවිට තීරණ ගැනීමේදී ඉක්මන් වෙනවා. අවසානයේ අප ගත් තීරණ සම්බන්ධයෙන් පශ්චාත්තාප වෙනවා.

“අම්මේ ඇයි නංහාමි ආත මැරෙන්න කලින් දෙයියෙක් වුණේ නැත්තෙ.”
“එහෙම තමයි පුතේ මිනිස්සු දෙවිවරු වෙන්නෙ මළාට පස්සෙ.” (163 පිට)

ජීවත්ව හිඳිනා මිනිසුන් පිළිබඳව කිසිදු තැකීමක්, ප්‍රශංසාවක් සමාජයෙන් සිදු වෙනවා අඩුයි. ඔවුන්ගේ මරණයෙන් ඉක්බිති ගුණ වැනීම අනවශ්‍ය දෙයක්. ජීවත්ව හිඳිනා කළ රැවුම්, ගෙරවුම් පානා සමාජයම නංහාමි අත්තාගේ මරණයෙන් පසු ඔහු දේවත්වයෙහිලා අදහනවා.

“ගොඩ ඉන්න එකා හිතනව වැව මැද සැපයි කියල. වැව මැද ඉන්න එකා හිතනව වැව් ඉවුර සැපයි කියල. මේ සැසඳීම අත්හරින තාක් කොතන හිටියත් සැපක් නෑ කියලා හිතේ තියාගන්ට.” (166 පිට)

ලොකු හාමුදුරුවන් පොඩි හාමුදුරුවන් හට පවසන දෙයෙහි ධර්මානුකූල පැතිකඩක් අන්තර්ගත වෙනවා. අප බොහෝවිට අපට සැපයැයි සිතන බොහෝ දේ තවකෙකුට දුකක් බවට පත්විය හැකියි. අප කළ යුත්තේ සැසඳීම නොව අත්හැරීමයි.

“මාළුත් දැං උන්ගෙ කැමැත්තෙන්ම දිවි නහගන්ට ලෑස්ති වෙලා වගේ නැන්දෙ. දැලකට පැටලැවෙන්නෙ නැතිව ඉදලද කොහෙද උන්ටත් සාංකාව” (197 පිට)

සෝමේට සිදුවූ විපත කතුවරිය පාඨකයා අභිමුඛයෙහි තබනුයේ සංකේතාත්මකවයි. මැලතියන් ටැංකිය නෙළුම් පොහොට්ටු තළා දමනුයේ අනුකම්පා විරහිතවයි. ඉන් කම්පනයට පත් ඇය ජීවිතය පිළිබඳ සුවිශාල කලකිරීමකට පත් වෙනවා.

“ඔරුවක් ඉස්සරහට යන්න නං දෙපැත්තම හබල් වදින්ට ඕනි කෙල්ලෙ. හරියට ජීවිතේ සැප දුක වගේ. එක පැත්තක විතරක් හබල් ගැහුවොත් වෙන්නෙ ඔරුව එකතැන කැරකෙන එක විතරයි.” (198 පිට)

ජීවිතයෙහි දුක සැප සම්බන්ධයෙන් පාඩමක් රන්මැණිකා විසින් සෝමේට කියා දුන්නා. සෝමේ දුක පැත්තට පමණක් හබල් ගෑ ඔරුවක් වගේ. එබැවින් ඇයගේ ජීවිතය වැවේ ගම් සීමාවේ එක්ටැම් විය.  

“ඇත්ත ලෝකෙ දකින්න නැති මේ වගේ මවාගත්ත දේවල් ඇයි මිනිස්සු නිර්මාණය කරන්නෙ?”
“මිනිස්සු කැමතියි මනඃකල්පිතව හරි සර්ව සම්පූර්ණ වෙන්න.” (207 පිට)

සැබෑ ලෝකයේ දිවි ගෙවීමට වඩා මිනිසුන් ප්‍රිය කරනුයේ මවාගත් ෆැන්ටසියක දිවි ගෙවීමටයි. ඒ පියවි ලෝකයේ තමාට කළ නොහැකි දෑ සිදු කිරීමට ඉන් අවස්ථාව හිමි වන නිසයි. අප බොහෝවිට ඇතැම් චිත්‍රපටවල දිගහැරෙන සිද්ධි දාමයන් දෙස ආසක්‍තව බලා හිඳිනුයේ එවැනි දෑ අපට පියවි ලෝකයේදී අත්විඳිය නොහැකි නිසයි.

“ඒ වුණාට ගෑණු අපි හරි ඉක්මනට මොළොක් වෙන ජාතියක් සෝමේ. හිතේ හයිය තිබ්බත් අපිටත් වරදින වෙලාවල් එනව.” (237 පිට)

කටුනායක වෙළෙඳ කලාපයේ රැකියාවට යාමට සැරසෙන සෝමේ තම වීරවරිය බවට පත් කරගන්නේ රන්මැණිකා නැන්දාය. සමූපකාරයේ රාත්තලේ පඩි බාගෙන් කළ වික්‍රමය ඊට හේතුවයි. එලෙස විකුමන් පෑ රන්මැණිකා බේකරි මුදලාලි ඉදිරියේ පරඩැල් පතක් බවට පත් වෙනවා. පොල් ගස්, සුළඟ හා වැස්ස යන ස්වභාවික වස්තූන් උපයුක්ත කොට ගනිමින් කතුවරිය ඛේදවාචකයක අමිහිරි සටහන් එකිනෙක පත්තිරු මත ලියනවා.

“අපේ ලංකාවේ මිනිස්සු හරිම අවාසනාවන්ත ජාතියක් යුද්ධයක් නැත්‍තං ගංවතුරක් හරි නියයක් හරි එනව. ආරක්ෂාවට කියල අතට දෙන පලිහෙනුත් මිනී මරන්ට පුළුවන් කාලයක් මේක.” (242 පිට)

කතුවරිය මෙහිදී ලාංකීය භීෂණ කාලවකවානුව පිළිබඳව යම් විවරණයක් සිදු කරනවා. උතුරේ යුද්ධය මෙන්ම 88,89 භීෂණයේ අඳුරු සෙවණැලි අතරින් ඇය ඇවිද යනවා. ලොකු හාමුදුරුවන්ට පොඩි කොලුවා මුණ ගැසෙන්නේද යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් විදියටයි.

“නාරද පන්සල්වලට දේවාල ඕනි නෑ. පන්සලේ තියෙන්න ඕන බුදු හාමුදුරුවෝ සිහිපත් වෙන ස්ථාන තුන විතරයි. දෙයියො ඉන්න ඕන මිනිස්සුන්ගේ හිත්වල මිසක් බොල් පිළිම ඇතුළේ නෙවෙයි.” (247  පිට)

ජීවිත කාලසීමාවේ මිනිසුන් විඳින දුක්ඛ දෝමනස්සයන්හි අදෝනාව කියන්නට කෙනෙක් ඔවුනට නැත. ඒ හේතුවෙන් සමාජයේ පන්සල කේන්ද්‍ර කරගත් දේවාල සංස්කෘතියක් බිහි වුණා. හින්දු ආගමේ හා සංස්කෘතියේ බලපෑම මත දේව සංකල්පය බුදුදහම වෙත ආරෝපණය වුවද, පෙනෙනා දෙවියන් පසෙකලා නොපෙනෙන දෙවියන් යැදීමට තරම් මිනිසුන් බුද්ධිමත්භාවයෙන් තොර වී ඇත. මිථ්‍යා දෘෂ්ටිය නැමැති ගනාන්ධකාරයෙහි වෙලෙමින් ආලෝකයක් නොදැකම දේවාල පසුපස රොද බඳින මිනිසුන් අපට කොතෙකුත් දකින්නට ලැබෙනවා. ලොකු හාමුදුරුවන් පවසන කාරණය සත්‍යයක්. දෙවියන් සිටිය යුත්තේ මිනිසුන්ගේ හිත්වල මිස බොල් පිළිමවල නොවේ.

ඳින්නට ලෙන් දොරක් ඉතිරි නොකර එය විවෘත කර තැබිය යුතු යැයි අවසානයේ උන්වහන්සේ අධිෂ්ඨාන කළ දින රාත්‍රියේ ද්වන්ද සටන ජය පැරදුමකින් තොරව අවසන් විය.” (251 පිට)

නවකතාවේ ප්‍රබල සංකේත ද්වයක් නිරූපණය වෙනවා. ඒ මකරා හා රාජාලියා. මකරාගෙන් පොඩි හාමුදුරුවන්ද, රාජාලියාගෙන් ලොකු හාමුදුරුවන්ද සංකේතවත් කෙරෙනවා. ලෙන් දොර බිඳ පලාගිය සිංහබාහු මෙන් නාරද හිමියන්ද තම ගුරු හිමියන් සමග ද්වන්ධ සටනකට එළඹෙනවා. තම ගෝල හිමියන්ගේ චරිත ස්වභාවයන් මැනවින් වටහාගත් ගුරු හිමියන් බිඳින්නට ලෙන් දොරක් ඉතිරි නොකොට එය විවෘත කර තබනවා.

“අසාධාරණේ වෙන්නෙ දෙමළාගෙන් සිංහලයට විතරක් නෙමෙයි නාරද. සිංහලයන්ගෙන්ම සිංහලයට වෙන්නෙත් අසාධාරණේ.” (256 පිට)

නාරද හිමියන් දෙමළ ජාතිය හෙළා දකිනුයේ තමන්ද දමිළ ජාතිකයෙකු බව නොදැනයි. බොහෝවිට අප තවත් ජාතියකට නින්දා කරනුයේ අප තුළ පවතින පටු දෘෂ්ටිය නිසා. එසේම එක් ජාතියක වෙසෙන මිනිසුන් අතර වුවද අසාධාරණකම් සිදු වෙන්න පුළුවන්.

“එදා එක් නොදියුණු ගම්මානයක පහළ වූ කුඩා දාගැබක් සිහිවන ලෙස මේ සුවිසල් කොලොම්පුරයට ඉහළින් නෙළුම් පොහොට්ටුවක් පිපේවි යැයි පද්ම ශ්‍රී සිහිනෙන්වත් නොසිතූවකි…” (286 පිට)

අනුරාධපුර නොච්චියාගම පිහිටි ඇලපත්ගම නම් දුෂ්කර ගම්මානයෙහි නංහාමි අත්තා නිර්මාණය කළ තඹර ථූපයේ නූතන පිළිබිඹුව කොළඹ නෙළුම් කුළුණෙන් පද්ම ශ්‍රී දුටුවා. සම්බුලා නාටකය පිළිබඳ කතිකාවෙන් ස්ත්‍රීත්වය උසස් තන්හිලා තැබීමට කතුවරිය උත්සාහ ගෙන තිබෙනවා. ලාංකේය ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ විවේචනයක නියැලෙන ඇය වාණිජකරණය, ගරහිත දේශපාලනය හමුවේ බලාපොරොත්තු මත නැටවෙන ජනයා පිළිබඳ අපූරු විග්‍රහයක් සිදු කරනවා.

“අවසානයේ මකරාගේ ආක්‍රමණශීලීත්වය හමුවේ පරාජය වන සිංහයා නර්තනයකින්ම ඉවත්ව යන්නව වූයේ රැස්ව සිටි පිරිස අත්පොළසන් ප්‍රශංසාව මකරාට හිමිවෙද්දීය.” (332 පිට)

ලංකාව චීනයේ ආධිපත්‍යයට නතු වීමේ ඛේදවාචකය කතුවරිය සංකේතාත්මකව විවරණය කරලා තියෙනවා. මකරා සමග කළ සටනින් සිංහයා පරදින විට හුරේ දමන ලාංකිකයන් කතුවරිය සියුම් උපහාසයට ලක් කරනවා.

“මට දුවගෙ නම අහන්නත් බැරි වුණානෙ. මොකක්ද නම?”
“නෙළුම්මාලා”
“නෙළුම්මාලා…?”  (363 පිට)

මැලේසියාවේ සුප්‍රසිද්ධ බතික් රෙදිපිළි නිෂ්පාදන ආයතනයක නිර්මිත මකර සිතුවම රැජිනගේ අවධානයට පවා ලක් වෙනවා. මේ බව ඩෙනිස්ගෙන් දැනගත් පද්ම ශ්‍රී ඩෙනිස්ගේ සම්බන්ධීකරණයෙන් ඔවුන් සම්මුඛ වෙනවා. ඒ පෝල් හා සෝමේ. සෝමේගේ හා පද්ම ශ්‍රීගේ හමුව දෛවයේ සරදමක් බඳුයි. තඹර ථූපයෙන් ආරම්භව නෙළුම් කුළුණ, පද්ම ශ්‍රී ආයතනය හරහා ගමන් කළ පද්ම ශ්‍රී අවසානයේ සෝමේගේ දියණිය වන ‘නෙළුම්මාලා’ අබියස නතර වෙනවා.

උසස් සාහිත්‍ය කෘති කියවීමෙන් පාඨක මනස දැනුමෙන් මෙන්ම උසස් ගුණ යහපත්කම්වලින්ද පුරවාලනවා. දශක කිහිපයක් පුරා ගලා යන රජරටින් කොළඹට සංක්‍රමණය වන ඇලපත්ගම, කොළඹ හා මැලේසියාව කේන්ද්‍ර කරනු ලබන ඒ අපූරු වූ මිනිසුන්ගේ ජීවන අන්දරය හෙළි කළ කෘතහස්ත යථාර්ථවාදී නවකතාවක් ලෙසින් ‘මකරානන්දය’ හඳුන්වන්න පුළුවන්.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment