“හුළඟ ට හේතුවක් ඇත. අප ජීවත්වන බැව් අපට නිතර නොදැනේ. ඇතැම් අවස්ථා අපට එය දන්වයි. සුළඟ ඔබ වෙලා ගන්නේ එහි ඇති යම් කර්තව්‍යයක් නිසාවෙනි. ඉන් ඔබ නලවයි. එය ඔබ සහමුලින්ම දැන ගනියි. ඔබේ ඇතුලාන්තය පවා.. අපට කළ හැක්කේ එය සමඟ යාම පමණි. එවිට අප රැකෙයි; වඩාත් ගැඹුරු වෙයි.”
හරුකි මුරකමි ගේ එම ප්‍රකාශය සමඟ ප්‍රියන්ත ලියනගේ ගේ “කොට තුවක්කු” ගැන අවශ්‍ය ප්‍රවිෂ්ටය ලැබේ යැයි හැඟෙයි. ජීවිතය යනු අපි අපේ තනි පාඩුවේ, අපේම ආකාරයකට ගෙවන, රස විඳින අපට ලැබුණු වරමක් නොවේ. ඒ රෝලර් කෝස්ටර් චාරිකාවකි. විවිධාකාර චලිතයන් මවන ත්‍රාසජනක නිමේෂන් ඔස්සේ අපි ඊළඟ අවස්ථාවට පිවිසෙමු. එය තීරණය කිරීමේ අවකාශය වුව අපට ලැබේදැයි යන්න සැක සහිතය. මා ‘කොට තුවක්කු’ කියවන්නට ගත්තේ එක් මද්දහනකය. යම් අහඹු රස බැලීමක් ලෙස කෙරූ අපිළිවෙල කියවීමකින් පසු උපන් කුතුහලය නිසා කළ කියවීම් වාර ගණනාවකින් පසුවද මට හැඟෙන්නේ මා සම්පූර්ණයෙන් ම පොත තවම කියවා නැති බවයි!
යුදගනාවේ අරවින්ද කොට කුවක්කුවේ කතා නායකයා නොවේ; නොවන්නේද නොවේ. මට හැඟෙන ලෙසට කොට තුවක්කු චරිත පෙරහරකි. ප්‍රධාන මාවතේ ඉන් කොටසක් පිය නගන අතරේ අතුරු මාවත් ඔස්සේ අවශේෂ චරිතයෝ මතුවෙත්: එයට එක් වෙත්; යළිත් ඇදෙත්.
ඇතැම් විට කසකරුවන් නිලමේවරු ලෙසද නිලමේවරු නැට්ටුවන් ලෙසද වෙස් මාරුවීම්ද ඒ අතර සිදුවේ. ද්විත්ව පීතෘභාවයක්ද ඒක මාතෘ භාවයක් ද ඇති මා සඳහන් කළ අරවින්දගේ සාමාන්‍ය උප්පැන්නයේනම් පියාගේ නම හිස් තැනකි. රැඩිකල් බව විලාසිතාවක් ලෙස නොපලඳිනවා යයි හැඟෙන ඔහු අප නෙත ගැටෙන්නේ උසස් පෙළ සිසුවෙකු ලෙසිනි. එසේ වතුදු මේ රැඩිකල් යෞවනයා ප්‍රේමය යයි හඟින යම් අනුරාගයක් නිසා හදින් බිඳෙන්නේද, ඒ බිඳීම ශෝචනීය වන්නේ ද, ඔහුගේ උත්පත්තියට හේතුවන පීතෘ යුගලය සහ මව සිය ජීවිත තුළ විඳි අසීමාන්තික කඨෝරවලින් දශමයකුදු නොලබා වන බැවිනි. සුළුගුණේ වැව් ගම්මානය ද, යුදඟනාව පාසල කේන්ද්‍රීය නගරයද පසුබිම් කොටගෙන මැවෙන චරිත දේශපාලනික, සාමාජීය, සංස්කෘතික සුළං මඟින් ඇති කරන ජීවන රිද්මයන් හා කුණාටු දෙදරීම්ද තුල විතැන් අවතැන් වෙමින් ගලයි. එම චරිත තාණ්ඩව, ලාස්‍ය ගුණයන්ද සම්මිශ්‍රිතව හමුවේ.
අරවින්ද ගේ එක් පියෙක් ද්‍රවිඩ ඩර්බාය; අනෙකා සිංහල හේමන්තය. මව පවන්‍යා ය. මෙහි ප්‍රබල ලෙස නැගෙන්නී ඈය. ඇය හුදු පැතලි චරිතයක් නොවන්නී ගැහැනියක සතු ශක්තීන්, දුබලතා මෙන්ම අනන්‍යතා ඉල්පවමින් විසල් පරිධියක් තුළ කතාව ගෙත්තම් කරන්නීය.
එමෙන්ම වත්සලාද යම් පමණකට කෘතිම බවින් යුතු වුව ද කතාවට මනා සංයෝජනයකි. ඇගේ චරිතය තුළ ඇයට සීමා කරන භූමිය තුළ ඇය ජීවත් වන්නීය. එමෙන්ම එය එසේ බැව් අපට දනවන්නීය. ඇගේ නිදහස් ලිංගිකත්වය තුළින් වියමන පැහැපත් වනවා මෙන්ම සජීවී බවක්ද එක්වේ.
විචාරක මිනුම් දඬු හෝ යම් පූර්ව දෘෂ්ටියක නොපිහිටා එක්තරා අන්දමක තවත් කියවීමක් ලෙස පමණක් මෙය ලියද්දී ඊ. එම්. ෆොස්ටර් ලියූ ‘ඇස්පෙක්ට්ස් ඔෆ් ද නවල්’ යන ලියමනද සිහිපත් වේ. ඔහු නවකතාවක මූලික ගුණාංගයක් ලෙස දකින්නේ එහි කතාන්දරයක් තිබීමයි. එමෙන්ම කතාවක් ඇදෙන්නේ කාලය ඔස්සේය. ‘කොට තුවක්කු’ වූකලි අදෘශ්‍යමානව තිබෙන කාලය සිදුවීම් වලින් අල්වාගෙන යම් යම් අවකාශවල රඳවා චරිත ඇසුරෙන් යෙදෙන පාපොච්චාරණ මාලාවක් ලෙසද හැඟේ. කතාවක් යනු, මුල මැද අග සහිත සම්ප්‍රදායික ආඛ්‍යානයක් නොවන බැව් කතුවරයා විසින් පසක් කරගෙන ඇතුවාක් මෙනි .
“යමක් සිදුවනුයේ එක් වරක් පමණක් නම් එය එසේ සිදු නොවී තිබුණා නම් ඊට වඩා හොඳ ය” යනුවෙන් ජර්මානු ආප්තෝපදේශයක් ඇත. ජීවිතයද එක් වරක් පමණක් සිදුවනවා වුවද අපට එහි සිදුවීම් තෝරා ගත හැක්කේ ඉතා අල්පවය. එවැනිම පරිශ්‍රයක් මේ නවකතාව තුළ ද නිමවේ. මෙහි දැකිය හැකි මා ප්‍රිය කරන දෙය නම් කතුවරයා යොදා ඇති බස් වහරයි. ලේඛකයා ම සඳහන් කරන්නාක් මෙන් එය පිරිසිදු ව්‍යාකරණ රාමුවට අයත් නොවේ. වියරණ බිඳුණු හෝ බිඳ දමා ඇති ආඛ්‍යානය පොතට ඔපකාරකයක් වේ. කතාව පෝෂිත වන ඇතැම් ප්‍රකාශ, හිත් ඇතුලාන්තයටම ගොස් රැඳේ.
“යුරේකා! මගෙ හිත කෑගහුව. මහින්දගෙ ඉතිහාසෙට කරල තිබුණු සරදමේ ඝනත්වය මං කුවේණිගෙ හිනාවෙන ඇස් අස්සෙන් දැක්ක.”(pg.29)
“… ඔයා මට කියල තිබුණ දුරදිග බලල වැඩ කරන්න ඕනෙ කියල. ඔයාගෙ උපදේශයට ගොඩක් ස්තූතියි. ඒත් අද අපිට ඕනෙ උපදේශ නෙමෙයි දේශයක්. අපේ තාත්තල දහඩිය කළගෙඩි ගණන් හෙළල ලූනු, මිරිස්, මිදි වගා කරල සරු කරපු මේ බිම අද මුඩුබිමක් වෙලා.. අද ඒකෙ හැම තැනම හමුදා කඳවුරු ඉදිවෙමින් පවතිනවා. යුද්ධයට මුවාවෙලා උන් අපේ බිම බලෙන් අල්ලගෙන.” (pg.57)
“ඒ නිසා අපිට හැම වෙලාවකම අපේ භයානකකම හංගන්න වෙනව. කොහේද? ලස්සන හිනාවක, කාරුණික වචනවල. මැරම්කන එකාට, මරන්න නියෝග දුන්නු එකා ගැන මැරෙන මොහොතෙත් හිතෙන්න ඕන ‘අනේ අර සර් මාව බේරගන්න ගොඩාක් උත්සාහ දැරුව’ කියල. හැමෝම හිතන්නෙ නයයි මුගටියයි නයි වෛරයි කියල. උන්ට වරදින්නෙ එතන.” (pg.119)
”77 හස්තිරාජ ආණ්ඩුව බලයට පත් විය. උදුලේ උමතු හස්තියෙකු මෙන් එයට කොට කර ගැසුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ගුරු පත්වීමක් ලැබිණි. එහෙත් එය සුදුසුකම් සපිරූ පත්වීමක් මිස දේශපාලන පත්වීමක් යැයි කීමට නොහැක්කේ උදුලේ සිංහල විශේෂවේදී ගෞරව උපාධිධරයකු වූ බැවිනි. සල්ලාලයාට ‘ගෑනු ඇන්නෑවේ’ කීවාක් සේ ඔහුගේ මුල්ම පත්වීම ලැබී තිබුණේද ද බාලිකා පාසලකටය.” (pg.139)
“වන බූටෑවට හත්දොහේ මුරුගසන් වැසි ඇදහැළෙමින් තිබිණි. සිරිපා කරුණා කරන්නට සමනල්ලු පැමිණෙමින් සිටියහ. උන්ගේ රැකවරණයට මරාගෙන මැරෙන්නට සූදානමින් ආරක්ෂක බඹරු මහ වනයේ තැන තැන සැඟවී උන්හ. උන්ගෙන් සැඟවී කිසිවෙකුට වනයට අතුල්විය නොහැකි විය. මෙම වනපෙතට ඇතුළුවන සමනලයන්ට පාර කිව්වේ පැණි කඩන්නට නිතර එහි යන ගැමියෙකි.” (pg.189)
“උරපතු දෙකක වැතිර විටින් විට ජීවිතයේ සරතැස නිවාගත් ඇයට එක් උරපත්තක පහස සඳහටම අහිමි වී ද, හේමන්ත නැති හුදෙකලාව ඇයට පියමං කර යා හැකිවේද? තවමත් හරියට මෝදු වී නැති පවන්‍යාගේ කුස අත ගෑ ඩර්බා ‘අපේ පැටියා’යි මිමිණීය. නින්දේ සිටියදීම පවන්‍යාගේ ශෝකී මුහුණේ සිනා ඉරක් ඇඳී ගියාය. තුරුල්ව නිදනා අහිංසකී ගැන ඩර්බාගේ සිත ආදරයෙන් පිරුණේය.” (pg.259)
එනම් කටවහර මෙන්ම ගම්වැසි වදනරුත් ද සපයමින් එක්තරා අනන්‍යතාවක් කතාව මුළුල්ලේම රඳවා ගැනීමට රචකයා සමත් වෙයි. මෙහි ”හිත් ඇතුලට රිංගන පුද්ගලයා”ද යම් විශේෂත්වයකි. එහෙන් මෙහෙන් එල්ලෙන කැබලි පුරුද්දන්නට හා ඉන් කතාව මැනවින් සංරචනය කිරීමට මේ ‘රිංගන්නා’ සිදු කරන්නේ අනගි මෙහෙයකි.
ස්මරණ ධාරාවන් වගුරවන මෙහි චරිතයෝ ඇතැම්විට එය පාලමක් මෙන් දිගු කර පාඨකයා හා බැඳෙති. මෙහි ඇතැම් කාලවකවානු මෙන්ම සිදුවීම් ද සිය ජීවිතයේ යම් තැනක යම් මොහොතක සිදුවුණා නේදැයි පාඨකයා විපිලිසර වෙයි. එමෙන්ම අතොරක් නොමැති සිද්ධි ගලනයන් මැදින් වුවද ප්‍රධාන කථා තේමාව සිය මාර්ගය නිසි පරිදි සටහන් කර ගනී. මෙතැනදී ලේඛකයාගේ ඔහු ම කියන පරිදි නොස්ටැල්ජියාව ඔහු මවන චරිත තුළින් මතු කරවීම ඇතැම්විට අහ්ලාදයක් වන්නා සේම අනෙක් අතට එය ගෙන එන්නේ යම් ඕලාරික ස්වභාවයකි.
පරණ සිත්තර පත්තර මැවූ චිත්තර කතාවකට සිය ජීවිතය සමපාත කරන්නට තරම්ම බොලඳියක් වීම ගැන පවන්යා කෙරේ ඇතැම් විට නොරිස්සුමක්ද මතුවේ. ස්පාටකස් හා ඩර්බා නිතර නිතර ඉස්මතු කරවීම තරමක අපහසුතාවයක්ද ගෙන දේ. එහෙත් පීකෝ අයියර්ගේ ලේඛන වලට යටින් තිබෙන ලා සාංකාවක පැහැයක්ද මෙහි තැවරී ඇතුවාක් මෙන් දැනේ. අතින් අල්වා ගත නොහෙන හිතේ තැවරෙන ඒ මෙලන්කලියාව අරවින්ද මුහුදු වෙරළේ ඉඳින දසුන දක්වාම උස් පහත් තානයකින් ගලායයි.
මෙහි හැම චරිතයක්ම සිය ජීවිතය තුළ අත්විඳින, පැටලෙන, හැරෙන සිදුවීම් අධිකතර වීමෙන් ඒකාකාරී බවක් දැන වූවත් එහිම යම් ත්‍රාසජනක සතුටක්ද ගැබ්වේ. එක් චරිතයක් මවන්නේ එක් ජීවිතයක් නොවේ. ඔහු හෝ ඇය සිය ජීවිතය කිහිපාකාරයකින් ජීවත් වූවා සේ දැනෙන හැඟීම ඇතැම් විට ලා විඩාබර බවක්ද කැඳවයි. අනෙක් අතට ඒ හැම චරිතයක්ම මනාසේ උස්මහත් කරන්නට රචකයා විසල් වෙහෙසක් ගත් බවද පෙනේ. ඇතැම් තැනක, දෙකක කතාවේ තේමාවෙන් බැහැර වෙන යම් සිදුවීම් ඇතත් ගලායන නැවුම් බවට එය එතරම් බාධාවක් නොවේ. උදුලේ සමඟ පවන්යාගේ සබැඳියාවද එබඳුය. ඔහුට පවන්යා ලිංගික අල්ලස් දීම හැඟෙන්නේ නොවටිනා ගනුදෙනුවක් ලෙසය. අරවින්ද පාසලට ඇතුලත් කිරීමට එසේ හැසිරීම කෙසේ හෝ සාධාරණීකරණය කළ හැකි වුවද අරවින්ද පාසලෙන් අස් නොකිරීමට ඇය උදුලේ ගේ යහන ට ගොඩවීම තරමක අභව්‍ය ලෙස හැඟේ. එමෙන්ම දෙපියවරුන් පිළිබඳ යම් අභිමානයක්ද ඒ ගැන සිය මව දෙස උපේක්ෂාවෙන්ද බලන නවයොවුන් අරවින්ද දැඩි ගෘංගාරය ආදරය ලෙස වරදවා වටහා ගැනීමද එක් කරන්නේ අඳුරකි. අනෙක් අතට වත්සලා වැනි නිදහස් මතධාරිණියකගේ ලිංගික හැසිරීම් ගැන යම් අදහසක් ඔහුට නොමැති වීමද ඉන් කම්පිත ඔහුගේ ජීවිතය සුවපත් කරන්නට ඔහුගේ මිතුරා හා බිරිඳ (කලක් අරවින්දට පෙම් බැඳි) ගන්නා වෙහෙසද තාත්වික බවේ තරමක පැල්මක් ඇති කරයි.
පළමු පෙළ ලේඛකයෙකු සතුවිය යුතු ගුණාංග විඳගත හැකි දෙයක් මිස තීරණය කළ නොහැකි බව විලා කැතර් නම් ලේඛිකාව කියා තිබේ.
‘කොට තුවක්කු’ සිය නම තුළම සංකේතාත්මකව අවුළුවන ජවය ඒ නමට ගෙනයා හැකි තරම් දුරකට නවකතාව ගෙන ගොස් ඇති දැයි හැඟෙයි. අනික් අතට කංචුකය පොතේ ප්‍රබලත්වය තරමක් මෘදු ලෙසින් ලඝුකර ඇතිදැයි ද සිතේ. කොටතුවක්කු තුළ ධ්වනිත වන යම් සුවිශේෂී බවක් ඇත.
ජඩ දේශපාලනය, ජාතිවාදය මෙන්ම ස්ත්‍රී පුරුෂ ප්‍රේමය හා ලිංගිකත්වයද පොතේ අනුකලන සාධකයෝ වෙත්. අවරෝධනය කරන ලද මනුෂ්‍ය ආශාවෝ එක් වෙත්. එමෙන්ම සත්‍ය ඇත්තේ හැමවිටම අන් තැනක බව හැඟවෙන සිදුවීම් මාලාවෝද වෙති. බිඳිය නොහෙන සමාජ සංසිද්ධීන් තුළද, දෛවය ගෙන එන යම් ප්‍රවණතා තුළද, හිමි අහිමිවීම් අතරද මෙහි පාත්‍ර වර්ගයා සැරිසරයි.
‘කොට තුවක්කු’ කියවිය යුතු නවකතාවක් බවට පත්වන්නේ එය බිහිව ඇති සන්දර්භය මගින් සාමාන්‍ය සිංහල නවකතාවක ඇති භාවාතිශය කියවීමකට වඩා වැඩි යමක් ලබා දෙන බැවිනි. විචාරක ටෙරී ඊගර්ටන් කියූ පරිදි නූතන විචාර ක්‍රමය ඇතිවූයේ පරම වූ ස්ථාවරයකට එරෙහි අරගලයක් ලෙසින් වුවද පසුව ඔහු කියා සිටියේ විචාරය හා සාහිත්‍ය අද කර්මාන්තයක් වී ඇති බවයි.
මුරකමිගෙන් ඇරඹූ මෙය කුන්දේරාගෙන් හමාර කරමි.
“වියැකීමේ හිරු බසින මොහොතේදී සියලු දේ ම එනම් ගිලටීනය පවා කාංසාවේ ඕරාවෙන් සුදිලේ”
කොට තුවක්කු අවුළුවන යථාර්ථයේ ඕරාව ඔබ දැකිය යුතුමය.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
