දිග්ගෙයි නටන මහගේලා.

හිමිදිරි පාන්දර මුළු හතරදිබ්බාගයම වහං කරමින් තිබූ වැහි අඳුරු දැන් ආ ගිය අතක් නැත. එතෙක් වෙලා කළු වලාවකට මුවා වී උන් හිරු මණ්ඩලය පැල්මඩුලු අහස ආලෝකවත් කරමින් වැඩ හිඳියි. අව්වැල්ල වැටී නෙළුම් පොහොට්ටුවල ඇති පිනි බිංදු රිදී පැහැයෙන් දිලිසෙයි. ( 11 පිටුව)

සබරගමුව මහා සමන් දේවාලයේ පුරාණ සිරිත් විරිත් පෙරදැරි කරගත් ඇසළ මහ පෙරහැර මංගල්‍යය ඇසුරු කර ගත් සිද්ධි කිහිපයක් තමයි රන්දික කඩවතආරච්චිගේ ‘භද්‍ර’ නවකතාවට පාදක වෙලා තියෙන්නෙ. දිග්ගෙයි නැටීම සබරගමුවට ආවේණික පුජා චාරිත්‍රයක්. මෙය පාරම්පරිකව එන රාජකාරියක්. දිග්ගෙයි නැටීමෙහි විශේෂත්වය වන්නේ මේ රාජකාරිය කාන්තාවන්ට උරුම වීම. අප දන්නවා පෙරහැර රාජකාරි පැවරෙන්නේ පිරිමින්ට. හැබැයි රත්නපුර මහා සමන් දේවාලේ  දිග්ගෙයි නැටීම ගැහැනුන්ට අයිති කාරියක්. දිග්ගේ නටන මහගේලා මේ චාරිත්‍රය ඉටු කරන්නේ ඉතාමත් භක්ති ආදරයෙන්. ඔවුන් එය පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන්නෙත් තමන්ට ලැබුණු භාග්‍ය අනාගතයට පවරා දීමේ උතුම් අදහසින්. මේ කතාව කියන්නේ එවැනි පිරිසක් ගැන.

කොහොමත් අපිට ආයෙ එන්ඩ ලැබෙන්නෙත් එළිවෙන ජාමෙට නොවැ. හොඳට බලාගනිල්ලා කෙල්ලනේ සපරගමුවේ මාණික්කේ මහගේලා කොහොම අද නටයිද කියලා. ඔය කොයි කාගෙත් නැටුම් සූත්තර අකා මකා යන්න අපි නටන්න ඕනියි කියලා හිතට ගනිල්ලා. (31 පිටුව)

දේවාල රාජකාරි, ඒවාට වෙන් වූ මිනිස්සුන්ගේ ජීවිත ගැන වගේ ම අදින් වසර ගණනකට පෙර සබරගමුව සමාජය හා සංස්කෘතිය ගැන කතාවක්. කතුවරයා සබරගමුවේ කෙනෙක්. එය එසේ වීම මේ පොතට ආලෝකයක් කියන්න පුළුවන්. ඒ භාග්‍යයත් එක්ක ඔහු ලියන මේ පොත ඉතා ම රසවත් මෙන් ම හරවත් එකක් වෙලා තියෙනවා. සමන් දේවාල පෙරහැර චාරිත්‍ර සහ සමන් දේවාලය ගැන ලියවුණු පොත් පත් විරලයි. ඉන් අදහස් වෙන්නේ නැහැ ඒවා ලියවිලා නැහැ කියලා. සබරගමුව බොහෝ විට වසරක් පසා මුහුණ දුන් දවස් හතලිස් පහේ ගංවතුර අවස්ථාවල දී සබරගමුව ගැන ලියවුණු ඇතැම් වටිනා පුස්කොළපොත් සහ පොත්පත් විනාශ වෙලා තියෙනවා.

රන්දික නොබියව මෙවැනි තේමාවක් ලියන්නට උත්සාහ දැරීම සතුටට කරුණක්. ඒ උත්සාහය සහ කැපවීම තුළ ඔහු සාර්ථක නිර්මාණයක් බිහි කර ඇති බව කියන්න පුළුවන්. ඔහුගේ පොත් එකිනෙකට වෙනස් නිර්මාණ වනවා වගේ ම, ඔහු වටා කිසියම් පාඨක පිරිසක් ඇඳ බැඳ තබා ගැනීමට ඒ නිර්මාණ සමත්වෙනවා. රන්දික ඒ ඔස්සේ ගොඩනැගෙන තරුණ නිර්මාණශීලි ප්‍රතිභාපූර්ණ ලේඛයෙක්. ඔහු තරුණයෙක් වීම ම මෙවැනි අත්හදා බැලීම්වලට පොළඹවන්නට හේතුවක් වන්නට ඇති.

‘භද්‍ර’ හුදෙක් කතාවකින් ඔබ්බට ගිය පර්යේෂණාත්මක ගණනයේ නවකතාවක් කියන්නත් පුළුවන්. පර්යේෂණාත්මක කියූ සැණින් ඔබ හිතන්න පුළුවන් මේ පොත කලාත්මක ගුණයෙන් අඩුව, ශාස්ත්‍රීය ගුණවලින් වැඩි නිසා ද එහෙම කියන්නෙ කියලා. නැත්නම් මේ පොත නීරස නිසා ද එහෙම කියන්නෙ කියලා. එහෙත් මං එයින් අදහස් කළේ මේ පොත කිසියම් අධ්‍යයනයක් සහිතව පොතපත ඇසුරු කර ගෙන රචනා කර ඇති බව. කතුවරයා ඒ බව පොත අවසානයේ දී ත් සඳහන් කර තිබෙනවා.

කතාව කියවනකොට දැනෙන දෙයක් තමයි කතුවරයා මනා දැක්මක් සහ දිශානතියක් සහිතව මේ ලියමන සිදු කර ඇති බව. ඔහු නවකතාකාරයෙක් ලෙස බොහෝ දේවල් අධ්‍යයනය කරන්නට මෙන් ම ඒවා අලුත් මානයකින් පරිකල්පනය කරන්නට කැමති කෙනෙක්. හැබැයි මේ කතාවේ දී ඒ පරිකල්පනය, ඔහු ඇසුරු කර ගත් මූලාශ්‍රයට පරස්පර වෙන්නෙ නැහැ. විකෘතියක් වෙන්නේ නැහැ. එය සැබෑ ලෙසින් සාර්ථක පරිකල්පනයක්.

පෙරහැර චාරිත්‍රවලට අමතරව ආගම, සමාජය සහ සංස්කෘතිය ගැන කාරණා මේ පොතේ විවරණය කරනවා. එකල සමාජය ඉතා ධාර්මික සහ අවශ්‍යතා සීමිත සමාජයක්. හැබැයි ගුණවත් මෙන්ම දුර්ජනයින් ඉඳලා තියෙනවා. රන්මල්ගොඩ මහ කුමාරිහාමි, බස්නායක නිලමේ, හුනුවල විදානේ මේ චරිත ධාර්මික චරිතවලට නිදසුන් වශයෙන් දක්වන්න පුළුවන්. වීරවර්ධන, ලැයිසා වැනි අය දුර්ජන චරිත. හැබැයි මේ හැමෝටම ආවේණික අළු චරිත ස්වභාවයක් තියෙනවා. කළු හෝ සුදු චරිත ලෙස ඉරකින් වෙන් කර දක්වන්න බැහැ. කතුවර රන්දික මේ සියලු රචනා උපක්‍රම දන්න කෙනෙක්. ඒ දේවල් කලාත්මක ගුණය ආරක්ෂා කරමින් භාවිත කරන්නෙක්. කතාව පුරා අනවශ්‍ය හා නොගැළපෙන දීර්ඝ විස්තර ඇත්තේ නැහැ. සුදුසු දේවල් සුදුසු ලෙස යොදා ගෙන තිබෙනවා.

ඔහු ශූර කතාකාරයෙක්. භාෂාව හැසිරවීමට දක්ෂයෙක්. අපි ජීවත් වෙන්නේ විසිඑක් වන සියවසේ. එහෙත් ඔහු කතාව කියන්නේ අදින් වසර එකසිය පනහකට වැඩි ඉතිහාසයක් ගැන. ඔහු සොයා බැලීම්වලින් කළ අත්හදා බැලීම් සාර්ථකයි. ඒ බව කියන්නේ එය පාඨකයාට දැනෙන නිසා. රස නිසා. චරිත මනඃකල්පිත නමුත් සැබෑවක් ලෙස දැනෙන නිසා. කාලයෙහි වෙනස හෝ භාෂාව ඊට බාධාවක් වෙලා නැහැ.

ඔන්න කෙල්ලනේ මං ගේ පිළිකන්නෙන් කළේ නමලා වතුර පොල්කට්ට අරන් කුස්සියෙන් ගෙට එනකොටත් මිනිහා ගේ ඇතුළේ. කරෝල කෑලි හත අටක්ම මිරිස්ගල උඩිනුත් තියලා. මිනිහා වතු පොල්කට්ට අරගෙන බීගෙන බීගෙන ගියා. මනමාලකම ඇස්වලින් පිරිලා. මහහත්තිලව්වයි. (122 පිටුව)

කතාව ඇතුළේ විඳින්න කරුණු ගොඩක් තිබෙනවා. දැන ගන්න, ඉගෙන ගන්න කරුණු තියෙනවා. එපාවීමක් සිදු වෙන්නේ නැහැ. එක හුස්මට කියවා අවසන් කරන්න පුළුවන්. ඒත් මේ පොත අතිශය සරල පොතක් ලෙසින් බැහැර කරන්න බැහැ. පිටු ප්‍රමාණයෙන් කුඩා වීමත් කතාව රසවත් වීම වගේ ම අලුත් තේමාව කතා රුචිය ඇති වන්නට හේතු වෙනවා. රන්දික සංකීර්ණ කරුණු සරලව දෙන්න දන්න කෙනෙක්. එය පාඨකයා දැඩිව ආකර්ෂණයට සමත්. මේකේ ලුණු ඇඹුල පමණට තියෙනවා, පදම නියමයි කියන්න පුළුවන්.

ඔහුගේ බස සබරගමුවේ ගැමි බස් වහර. ගැමි ජීවන සුවඳ වහනය කරවන්නක්. අලුත් උපමා දකින්න පුළුවන් කතාව පුරා ම. කතාව ආරම්භය මස්ඉඹුලගේ පොතක් කියවන වගේ දැනුණත් එය දිගින් දිගට ම වෙන්නේ නැහැ. රන්දික කියන කතුවරයා ඔහුට ආවේණික රටාවක් ගොඩනඟනවා.

කතාවේ අනෙක් විශේෂත්වය තමයි ධර්ම කරුණු ඇතුළත් වීම. ඒ කරුණු කතාවෙන් වියුක්තව ආයාසයෙන් කියන්නෙ නැහැ. කතාව ගලා යන අතරතුර ඊට රුකුල් සපයමින් ඒවා දක්වා තිබෙනවා. කතුවරයාගේ අරමුණ සමන්දේවාලය පදනම් වූ කතාවක් කීම. එහි දී ඔහු හාමුදුරු චරිතයක් යොදා ගන්නවා. උන්වහන්සේ සුපේශල මෙන් ම ශික්ෂාකාමි කෙනෙක්. මහරහතුන් වැඩි මඟ යන කෙනෙක්. ඒ චරිතය තුළින් ධර්ම කරුණු ගෙන හැර දක්වනවා.

සම සීල, සම ශ්‍රද්ධා, සම චාග, සම ප්‍රඥා වඩවමින් පැමිණි භවයන්හි දානයෙන් අපොහොසත් වූ තැනෙක ඇය ධනයෙන් පිරිහුණු තැනෙක උත්පත්තිය සකස් කරගත්තාය…(203 පිටුව)

දැන් සම වියපත් වී ඇත. සම්පූර්ණයෙන්ම තැනින් තැන් තැන්වල හම රැලි වැටී ඇත…. (167 පිටුව)

මිනිස් ජීවිතයේ යථාර්ථය, අනිත්‍ය ස්වභාවය කතුවරයා දක්වා තිබෙන්නේ මෙහෙම. එහෙත් ඔහුගේ අරමුණ බණක් කීම, උපදේශ දීම හෝ මුල් කාලීන සිංහල නවකතාවල දී මෙන් ආගමක එන ධර්ම කරුණු වර්ණනා කරන එක නෙවෙයි.  ඔහුට අවශ්‍ය වෙනස් කතාවක් කියන්න.

කතාවේ දී සත්ව චරිත දෙකක් යොදා ගන්නවා. කාල ඇතා සහ සංඛ වඳුරා. සතුන්ගේ ගුණ වර්ණනා කිරීමේ ලක්ෂණය දකින්න පුළුවන්. එය සම්භාව්‍ය  සිංහල සාහිත්‍ය පොතක් කියවූවා වැනි හැඟීමක් ඇති කරනවා. රන්දික පරිසරයට කැමති කෙනෙක්. ඒ බව පැහැදිලියි කතාව තුළදිත්. පරිසරය කියන්නෙත් එක්තරා කලාවක්. ඔහු එය දක්ෂ අයුරින් යොදා ගන්නවා කතාව කියන්න.  

කතාව අවසානය විශේෂ එකක්. ජාතක කතාවක් කියවූවා වැනි හැඟීමක් දැනෙනවා. අතීත කථාව, වර්තමාන කථාව එක්ක කළ සමෝධානය ඊට හේතු වෙන්න පුළුවන්. ඉන් අදහස් වෙන්නේ නැහැ මේ පොත ජාතක කතා කියවන ශ්‍රැති ගෝචර ශෛලියෙන් කියවන්න පුළුවන් කියලා. වෙනස් අත්දැකීමක් ගන්න, ඔබ මේ පොත කියවන්න. මේක වෙනස් පොතක්. වෙනම රහක්.

කොහොම වුණත් ධර්මය හැසිරෙන්නා ධර්මය විසින් රකින බව මේ කතාවේ මූලික හරය බව කියන්න පුළුවන්. පිරිස් තුනක් ගැන කතාව කියමින් අවසානය එක තැනකට ගේනවා. ඒ කියන්නේ හරය පැහැදිලි කරනවා.

මා කියන දේ විඳින්න වගේ ම දකින්නත් ඔබ පොත කියවිය යුතුයි. රන්දික කඩවතආරච්චි ඔබ හැඳින ගත යුතු විදිහේ කතාකාරයෙක්. මේ පොත ඔබ කියවිය යුතු විදිහේ පොතක්. අත්නොහළ යුතු පොතක්. අනාගතයේ සිංහල නවකතාවට සුබ ලකුණක් එක් කළ පොතක්.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment