මලික් තුසිත ගුණරත්න අපේ නිර්මාණ ක්ෂේත්‍රයේ සිටින ප්‍රතිභාසම්පන්න ලේඛකයෙක්. ඔහු විටෙක කවියෙක්; විටෙක කෙටිකතාකරුවෙක්; විටෙක ගේය පද රචකයෙක්; විටෙක නවකතාකරුවෙක්. ඔහු මේ වන විට නෙළුම් පොකුණ (2015), සඳ කඳු මුදුන (2015), දක්ෂිණ ප්‍රේමය (2016), මතක විසිරුණු තැනක (2017), ස්වර්ණ සිහිනය (2020) සහ ශාක්‍යාදේවී (2021) නමින් නවකතා හයක් රචනා කර තිබෙනවා. ඔහුගේ නවතම නවකතාව තමයි ‘සිල්වර් ටිප්ස්’. 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළලේ අවසාන කෘති 12 අතරට මෙම නවකතාව දැනට නිර්දේශ වෙලා තියෙනවා. අද කතා කරන්නේ ඒ ‘සිල්වර් ටිප්ස්’ නවකතාව පිළිබඳවයි.
“ජීවිතේ සියලුම දේ ඩැහැ ගන්නට යක්ෂයෙකු සිටී. දවසේ පැය විසිහතර පුරාම ඔහු සක්‍රීයය. තමා පමණක් නොව පවුල් කුටුම්භයටද ඔහු නිරන්තරේ රක්ත දෑස් එල්ල කරයි. එම බැල්ම විචක්ෂණශීලීය. ආක්‍රමණශීලීය. තම පවුල් රූකඩවල නූල් අතැතිව සිටින්නේ ඔහුය.” (40 පිටුව)
මෙම නවකතාවේ ප්‍රධාන චරිතය තමයි ‘වෙස්ටන්’. හැබැයි නවකතාවේ කිසිම තැනක අපිට මේ චරිතය සජීවීව සම්මුඛ වෙන්නෙ නෑ. ප්‍රධාන චරිතය සෑම මොහොතකම ඉස්මතු වන්නේ සෙසු චරිත සිදු කරන විස්තර කිරීම්, දුරකථන ඇමතුම්, අතීතාවර්ජන සහ සංවාද මගින්. මෙහිදී ප්‍රධාන චරිතය වන වෙස්ටන් සෙසු චරිතවලට කරන බලපෑම ඉතාම දැඩියි. කතුවරයා ඉතා ප්‍රබල චරිතයක් ලෙසින් මෙම චරිතය සංවර්ධනය කර තිබෙනවා. ඔහුගේ ‘වෙස්ටන්’ නමැති නාමයද ඉතා නුහුරු එකක්. කතුවරයා සඟවා තබන චරිතයක් යොදා ගනිමින් ආකෘතිමය වෙනසක් සිදු කිරීමට උත්සාහ ගෙන තිබෙනවා. සාම්ප්‍රදායික නවකතාකරණයෙන් අත්මිඳී නව ආකෘති හඹා යාම සිදු විය යුත්තක්. නවකතාවේ ආරම්භයේ සිට තරමක් දුරට ගමන් කිරීමේදී ඔබට ප්‍රහේලිකාමය ස්වභාවයක් ඇති විය හැකියි. එසේම චරිත විශාල ප්‍රමාණයක්ද ඔබට සම්මුඛ වෙනවා. නමුත් එමගින් නවකතාවේ ජීව ගුණයට හානියක් වෙලා නැහැ. නවකතාවේ ගලා යාමත් සමග කතුවරයා මේ පැටලිලි එකිනෙක සීරුවට ලිහා දමනවා.
“විහාර මන්දිරය ගොඩනගන අවස්ථාවේදී ඊට ආධාර කරන්නැයි විහාරාධිපති හිමියෝ නිර්මලාට මතක් කර සිටියහ. ඒ ඒ පිළිමවලට යන වැය ශීර්ෂ ලියූ පත්‍රිකාවක්ද පෙන්වූහ.” (32 පිටුව)
ආගමික ස්ථාන ලෝකෝත්තර දියුණුව පසෙකලා ලෞකික දියුණුව වෙනුවෙන් ගමන් කරන ආකාරය කතුවරයා උත්ප්‍රාසාත්මකව පෙන්වා දෙනවා. ආගමික ස්ථාන තමන් වෙතට පැමිණෙන සැදැහැවතුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් උපකාර කරනු වෙනුවට හුදු ආයතනික භෞතික සංවර්ධනයක් වෙනුවෙන් මූල්‍යමය ආධාර පැතීම කතුවරයා මෙහිදී සියුම් විවේචනයට ලක් කරනවා.
“රදැල්ල පිහිටි වතුයායක හොර රහසේ වගා කරමින්, පර්යේෂණ මට්ටමේ ඇති ලොව මිල අධිකතම ‘සිල්වර් ටිප්ස්’ තේ තවාන මාලන් විසින් නිරීක්ෂණය කරන ලදැයි යන පුවතද තෙෂාරාගේ සිතේ ගිනිදැල් අවුළන්නට සමත් වී තිබුණි.” (295 පිටුව)
නවකතාවේ නාමය අපට හමුවන්නේ එක් තැනකදී පමණයි. කතුවරයා සිය නවකතාව පුරාම සංකේත වැඩි වශයෙන් භාවිත කර තිබෙනවා. ‘අඹ ගහේ මුල’, ‘සුමන සමන් දේව ප්‍රතිමාව’, ‘දෙවොල් මඩුව’, ‘ෆ්‍රීඩම්’ එවැනි සංකේත කිහිපයක්. නවකතාවේ නාමයත් එවැනිම සංකේතයක් ලෙසිනුයි මම දකින්නේ. සිල්වර් ටිප්ස් කියන්නේ ඉතා මිල අධික, ඉතා දුර්ලභ තේ විශේෂයක්. මෙම සිල්වර් ටිප්ස් මගින් සංකේතවත් වන්නේ වෙස්ටන්ගේ චරිතය විය යුතුයි.
නවකතාවේ අපට පරම්පරා තුනක් දකින්න ලැබෙනවා. ඉතා කුඩා පරිච්ඡේද වෙන් කරන අනුමාතෘකා සිත් ගන්නා සුළුයි. ‘ශෝකී චලනය’ , ‘කළු අඳුරු බුබුල’, ‘රතු වයින් සහ රෝස මල් ටැටුව’, ‘මවු ඉවුර’, ‘ගුවන් යානයේ එල්ලුණු සමනලයා’, ‘ඇසි පිය සලන ලිපිය’ එයට නිදසුන්. එමෙන්ම පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට ටෙලිනාට්‍යයක දර්ශන තල මෙන් පාඨකයා දර්ශන තල තුනක් වටා ගමන් කරවනවා. එම ලක්ෂණය අධිවේගී කියවීමකට පාඨකයාව පොලඹවනවා. නවකතාවේ දකින්නට ලැබෙන චරිත සියල්ලම පාහේ වෙස්ටන්ගේ අත්ලෙහි නැටවෙනවා. සමාජයේ ජීවත්වන පුරවැසියන් වශයෙන් අප සියලුදෙනාම තවෙකකුගේ ඕනෑ එපාකම් වනුවෙන් පරිහරණය වන බව සැබෑවක්. විටෙක එය දැනුවත්ව ස්වකැමැත්තෙන් මෙන්ම නොදැනුවත්වද සිදු වෙනවා.
“යසෝ… ඔයා දන්නවද සමහර දේවල් ජීවිත කාලය පුරාම අපිව රිද්දනව. එක මොහොතකදි ඒ දේ අපිව පිරිමදිනව වෙන්න පුළුවං. ඒත් ඒක ටික කාලයයි. දිගින් දිගටම අපිව රිද්දනකොට අපි ඒ රිදීමට පුරුදු වෙනව. ඒක තව දුරටත් රිදීමක් වෙන්නැති තත්වෙට පත් වෙනව.” (66 පිටුව)
බොහෝ කාලයක් දිස්සේ අපේ ජීවිතවලට දුක්ඛ දෝමනස්සයන් පැමිණෙන විට පැමිණෙන දුක් පැණි රස යැයි සිතන්නට පුරුදු වීම සාමාන්‍ය දෙයක්. රිදීමට පත්තියම් වූ ස්ත්‍රී චරිත දෙකක් අපට මෙම නවකතාවේදී හමුවෙනවා. ඒ ග්‍රිසිල්ඩා සහ නිර්මලා. නවකතාවේ අපට ජීවිතේ නිදහස විඳින කෙලිලොල් චරිත කිහිපයක් හමු වෙනවා. ඇන්ජලෝ, තෙෂාරා, ක්‍රිස්ටිනා, මාලන්, වෙස්ටන් එම චරිතවලට නිදසුන්. නමුත් නවකතාවේ අවසානයේ අපට හමුවන්නේ එම කෙලිලොල් චරිත නොවේ. බොහෝ පරිණත බවට පත් වූ, ජීවිතයෙන් පාඩම් උගෙන ගත්, ඉතිහාසය නැවත ලියන චරිත. නවකතාවේ ආරම්භයේ සිට අවසානය දක්වාම පාඨක හද බැඳගත් චරිතය බවට පත්වන්නේ ග්‍රේෂන් වීරරත්න හෙවත් වීරේයි.
“සමහර මරණ සිදුවන්නේ නන්නාඳුනන වෙඩික්කරුවන් අතිනි. ආණ්ඩුවේ නිල හමුදාත් සමහර විටෙක හැඳුනුම්පතක් නැති තත්වයට පත් වී ක්‍රියා කරති. පාතාල ඝාතනයන් සිදු වන්නේ දෙනෝ දාහක් මිනිසුන් බලා සිටියදීය. සියල්ල බැර වෙන්නේ තරුණ නැගිටීමේ ගිණුමටය.” (169 පිටුව)
කතුවරයා 88,89 භීෂණ සමය පිළිබඳවද සිය නවකතාවේ සඳහන් කරයි. බොහෝ නවකතාවලට සුලබව මෙම අඳුරු යුගය පාදක කරගනියි. නමුත් මෙහි විශේෂත්වය වන්නේ අඳුරු යුගය පවා අනවශ්‍ය ආකාරයෙන් තම නවකතාවට ඇතුළත් කරගැනීමෙන් කතුවරයා වැලකී සිටීමයි. එකල බොහෝ දමිළ ධනවතුන් විදෙස්ගත වූ බවත්, ඔවුන්ගේ දේපළ මෙරට විසූවන් අත්පත් කරගත් බවත් හෙළි වේ. නිර්මලාගේ පියා වූ ෂන්මුගදාසන්ට සිදු වූයේද එවැන්නකි.
“ඉස්සර අපි කොච්චර නිදහසේ හිටියද. මං කිව්වෙ නියුඩ්… දැං මට එහෙම ඉන්න බෑ.” (309 පිටුව)
නිදහස වෙනුවෙන් සටන් කළ තෙෂාරාගේ දිවිය වෙනස් වන්නේ ඇයටත් නොදැනිමයි. වෙස්ටන්ගේ බලපෑම ඇය වෙතද තදබල බලපෑමක් එල්ල කර ඇත. සද්භාවයෙන් ආරම්භ වූ ‘ෆ්‍රීඩම්’ ව්‍යාපෘති වාණිජමය අරමුණු වෙත හැරෙන්නේද එබැවිනි. අවසානයේ තම මූලික අරමුණ පසෙකලා කළු සල්ලි හොයන්නට ඇය උත්සුක වෙනවා. තෙෂාරාට පෙර ගෙවූ නිදහස් දිවිය අහිමි වී යනවා. ඇයට භෞතිකව තම වස්ත්‍රවලින් නිදහස් වීමටද නොහැකි වන්නේ එබැවිනි.
“ඒ ටුව එකට වියදං කරල තියෙන්නෙ ‘ෆියුච’. මෙයා මෙහෙට ජොයින් වෙන්නත් ඉස්සෙල්ල ඉඳං සර්විස් එක දීල තියෙන්නෙ ඒ ගොල්ලන්ට.” (317 පිටුව)
ව්‍යාපාරික ලෝකයේ සිදුවන කූට උපක්‍රම පිළිබඳ අපූරු විග්‍රහයක් මෙම නවකතාවේ අවසාන භාගයේදී අපට හමු වෙනවා. ‘ඒ ග්‍රේඩ්’ සහ ‘ෆියුචර්’ නම් වූ චොක්ලට් ආයතන දෙක අතර තරගය මෙයට කදිම නිදසුනකි. ප්‍රතිලාභ, විදේශ සංචාර ආදී කූට උපක්‍රම හරහා පුද්ගලයින් දඩයම් කරගන්නා ආකාරය මෙහිදී හෙළිදරව් වෙනවා. කතුවරයා අපට පෙනෙනා සමාජයේ අපට නොපෙනෙන සමාජ කලාප වෙත ගමන් කරමින් ඒවායේ නිරුවත පිළිබඳව තමා ලද අත්දැකීම් නවකතාව ඔස්සේ පාඨකයා වෙත රැගෙන විත් තිබෙනවා. නවකතාව පිටුපස සුවිසල් පර්යේෂණමය දායකත්වයක් පවතින බවද පෙනෙන්නට තිබෙනවා.
“පිළිමයේ ඉනෙන් පහළ, ලිංගේන්ද්‍රිය ආශ්‍රිත කොටසේ උලකින් හාරා දමන ලද විසල් කුහරයකි. අපරාධය කළේ කවුදැයි ඇය හාමුදුරුවන් විමසීය. උන්වහන්සේ කිසිවක්ම නොදන්නා බව පැවසූහ.” (322 පිටුව)
කතුවරයා මෙහිදී සංකේතාත්මකව ඉදිරිපත් කරන්නේ වෙස්ටන්ට අවසානයේ අත්වූ ඛේදනීය ඉරණමයි. බොහෝ රැකියාවල නියැලෙමින්, බොහෝ ස්ත්‍රීන් ඇසුරු කරමින්, සමාජයේ සෑම අහුමුල්ලකම කරක් ගැසූ වෙස්ටන්ට මෙවැනි ඉරණමක් අත්වීම පුදුමයක් නොවේ. ඔහුගේ මරණයෙන් පසුව පවා ඔහු විසින් ඇති අර්බුදයේ ප්‍රතිවිපාක ජීවත්වන්නන්ට විඳින්නට සිදුවන බව ක්‍රිස්ටිනා, තෙෂාරා, ඇන්ජලෝ වැනි චරිත නවකතාව අවසානයේ පත්වන ඉරණමෙන් පෙනී යයි.
නවකතා පොත අතට ගන්නා පාඨකයා මුලින්ම වශීකෘත වන්නේ එහි පිට කවරයටයි. වර්තමානයේ පොතක පිට කවරයකින් එහි ඇතුළාන්තය නිරූපණය වන අවස්ථා ඉතා විරලයි. එහෙත් සමස්ත නවකතාවේ සාරය ‘සිල්වර් ටිප්ස්’ පිට කවරයෙහි අන්තර්ගතව පවතිනවා.
සමස්තයක් වශයෙන් ගත් කළ මෑත කාලීනව රචනා වූ ප්‍රශස්ත නවකතාවක් වශයෙන් මලික් තුසිත ගුණරත්නගේ ‘සිල්වර් ටිප්ස්’ නවකතාව හඳුන්වා දෙන්න පුළුවන්.
“දරු පැටියා අසලදී හැඟීමක් ලෙසින් “ආදරය” පමණක් ප්‍රකාශ විය යුතු බව කියන්නට ඇයට සිතෙයි. කිරිකැටියා ඇවිදින තෙක් වඩා ගැනීමේ ශක්තියද, ජීවිත කාලය පුරා දරා ගැනීමේ ශක්තියද තිබිය යුතු යයි කියන්නට ඇයට සිතෙයි.
එහෙත් ඇය ඒ කිසිවක්ම නොකිව්වාය.” (345 පිටුව)
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
