තිමිරෙන් එතෙර හිඳ අපට අඬගසන ටම්බා.

“ජීවිතය ආලෝකය හා අන්ධකාරය එකිනෙක පසුපස හඹා යන අස්ථිර වූ චක්‍රයක කක්ෂයක් වැනියි. එය හරියට සෑම රාත්‍රියක් ම දහවල විසිනුත් සෑම දහවලක් ම රාත්‍රිය විසිනුත් ලුහු බඳිනවා වැනිය.” (247 පිට).

සීමිත නැවතුම්පොළවල තාවකාලික නැවතීම් සමඟ මන්දගාමීව ද ශීඝ්‍රගාමීව ද උපකල්පනාත්මක ගමනාන්තයක් කරා දිවෙන සමස්ත මානව ජීවිත, එක් මිනිස් වේශයකින් නැඟී සිටිය හැකි නම් ඒ ‘ටම්බා’ නොහොත් ‘ජෝර්ජ්ගේ’ වේශයෙනි. මානවයා,’මනසින් උසස්’ නැතහොත් ‘මිනිසා’  ලෙස ශිෂ්ටාචාරවත් වීමේ ගමනේ පිඬුවක් දැකිය හැකි නම් ඒ, ‘ටම්බා’ නොහොත් ‘ජෝර්ජ්ගේ’ වේශයෙනි. ‘ප්‍රමුදිත් ඩී. රූපසිංහගේ’ නිර්මාණාත්මක වෑයමක් වන, ‘Behind the Eclipse’ නවකතාව, එකී ටම්බා නම් ධෛර්යමත් මිනිසාගෙ අභියෝග රැගත්  දිවි මගේ, ඔහු බරට තැබූ අඩි සටහන් නැවත සොයා යෑමකි. ටම්බාගේ ජීවිතය ‘තිමිරෙන් එතෙරට’ නමින් සිංහල සහෘද පාඨකයා ඉදිරිපිට පුරා පිටු 340කට නොඅඩුව පරිවර්තනය කර ඇත්තේ රෝහණ කළුආරච්චි ය. 2013-2016 කාලවකවානුවේ බටහිර අප්‍රිකානු රටවල් වන ලයිබීරියාව, ගිනියාව හා සියෙරා ලියොන්වලට බලපෑ ‘එබෝලා වසංගතය’ පාදක කරගනිමින්, සත්‍ය සිදුවීම් ආශ්‍රයෙන් මෙම නවකතාව නිර්මාණය කර ඇත. ‘කිසි’ නම් ගෝත්‍රයට අයත් ‘ටම්බා’ නම් තරුණයාගේ ජීවිතය ආශ්‍රයෙන් උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් කතාංගය රචනා කිරීමට කතුවරයා උත්සුක වී ඇත.

නවකතාව රස විඳින්නෙකුට, කතාංගයේ පළමු අර්ධය ටම්බාගේ ජීවිත කතාව ලෙසත්, දෙවන අර්ධය ජෝර්ජ්ගේ ජීවිත කතාව ලෙසත් සිතීමට පුළුවන. ‘කිසි’ ගෝත්‍ර සංස්කෘතියේ පැලපදියම් වී ඇති සම්ප්‍රදායික අභිචාර විධි, සිරිත් විරිත් හා වත් පිළිවෙත් කතාංගයේ මුල් අර්ධයේ ඉතා විචිත්‍රවත්ව විස්තර වී ඇති අතර එය එකම අවකාශයක එක ම කාල රාමුවක ලෝක දෙකක් පවතින්නා සේ එහි ඇති පරස්පරරූපී ස්වභාවය මැනවින් විස්තර වී ඇත. සමකාලීන ලෝකයේ මිනිසා විසින් පරිසරය අතික්‍රමණය කිරීම සිදු වෙමින් පවතින අතරතුර, ලෝකයේ තවත් කොටසක පරිසරය විසින් මිනිසා අතික්‍රමණය කිරීම ප්‍රමුදිත් ඩී. රූපසිංහ අතින් මැනවින් චිත්‍රණය වේ.

මිනිසා කෙතරම් ශිෂ්ටාචාරවත් යැයි පැවසුව ද, තවමත් ඉහළ අදෘශ්‍යමාන බල සහිත ජීවියෙකුට, යම් නීතියකට හෝ කිනම් හෝ හෙජමොනියකට නතු වී සීටිමේ කැමැත්ත කතාව පුරාම මතු කර පෙන්වයි. එය විටෙක කැලෑවෙ නීතිය හෝ බලසම්පන්න දෙවියන් වහන්සේ කෙනෙකු විය හැකි ය. ඊට මිනිසාගෙ මානසික දුර්වල බවක් ද, තම ජීවිතය ඉහළ බල අධිකාරයක් මත පදනම් වේ යැයි සිතමින් දිවිතුරා ඒ මත එල්බාගෙන කෘතඥ වීමක් ද නැතහොත් තම හිසට ඉහළින් ක්‍රියාත්මක වන බලයක ආරක්ෂාව තමා සතු බව සිතමින් ස්වයං අභිප්‍රේරණයක් ඇති කර ගැනීමක් ද හෝ හේතු වෙනවා යැයි සිතිය හැකි ය. එහෙත්, සැමවිට ම කිනම් හෝ බලයකට එරෙහිව මිනිසා අරගල කිරීම, නැඟී සිටීමට වෙර දැරීම ටම්බාගේ නොනවතින අභියෝග සහිත ජීවිතය ඔස්සේ සියලුම මනුෂ්‍ය ජීවිත ස්පර්ශ කිරීමකි. අන්තර්වර්තී පුද්ගල ඝට්ටන, පුද්ගලාන්තර ඝට්ටන හා පුද්ගලයා හා සමාජය අතර ඝට්ටන, කතාංගයේ මූලිකව විශද වී පෙනෙන ටම්බා මුහුණ දෙන අභියෝගවල මූල බීජ වේ.

‘කුම්බා යකඩින් තැනූ දම්වැලක් බඳු විය. ඕල්ඩ් මෑන්, මගේ පියා සහ මම එහි කුඩා කොටස් වැනි විය. අපි එකිනෙකට දැඩි සේ බැඳී සිටි නමුත් දම්වැල එහි පුරුක් සොලවන සෑම විටම, ඒවා ගැටෙන නමුදු කිසිදින කැඩී වෙන්වී නොගියේය. ඇය පරම්පරා තුනක මධ්‍යය විය. එහි ආදරය, රාගය, තරහව, ද්වේශය සහ ගිජුකම සෑම දිශාවෙන්ම එකතු වූ අතර සෑම ප්‍රාණී වස්තුවක් ම විනාශ කල හැකි මහා සුළි කුණාටුවක් බවට පත් වී තිබුණේය.” (45 පිට).

කතාංගයේ ඝට්ටනය ආරම්භ වන්නේ, පියා හා පුතු අතර පවතින අරගලය පාඨකයා ඉදිරිපිටට විවිධ සිදුවීම් ආශ්‍රයෙන් ගෙනහැර දැක්වීමෙනි. මනෝවිද්‍යාඥ ‘සිග්මන් ෆ්‍රොයිඩ්’, ‘ඊඩිපස් සංකීර්ණය’ ඔස්සේ පෙන්වා දුන් කුටුම්භයක පවතින සවිඥානික හා අවිඥානික පිය-පුතු ගැටුම කතාංගයේ මැනවින් දැකගත හැකි ය. පුත්‍රයා, කෙතරම් පියා උත්කර්ෂයට නංවන්නේ ද ඒ හා සමානව අවිඥානිකව පියා කෙරේ ගොඩනැඟෙන එදිරිවාදීකම, අවසානයේ තම පියාගේ අඩිපාර ම තමාගේ ගමන් මඟ බවට පත් කරගැනීමට පුත්‍රයාව පොළඹවයි. ‘සිග්මන් ෆ්‍රොයිඩ්’ පැහැදිලි කර ඇති ආකාරයට පියාගේ බිරිඳ හෝ ලිංගික සහකාරිය වෙත පුතාගේ ආකර්ෂණය ඇති වීම, ටම්බා, ඔහුගේ පියා සහ පියාගේ සහකාරිය (කුම්බා) ආශ්‍රයෙන් කතුවරයා ඉතා සියුම්ව පෙන්වා දී ඇත. පසුව ජීවිතයක තීව්‍ර වන ඝට්ටන, ටම්බාගේ ජීවිතයේ විවිධ දිශානතිවලට අනන්‍යය සේ අභියෝග නිර්මාණය කරමින් ඉදිරියට රැගෙන යාම මනා ගලා යෑමක් සහිත කතා වින්‍යාසයකින් ප්‍රමුදිත් ඩී. රූපසිංහ ගොඩනංවා ඇත. ප්‍රිය විප්‍රයෝගය හා අප්‍රිය සම්ප්‍රයෝගය කතාංගයේ විශාල ස්කන්ධයක් සහිතව දිවෙන තේමාවකි. එමෙන්ම, පුද්ගලයා පරාරෝපණය වීම, මනුෂ්‍යත්වයට වඩා නෝට්ටුවේ බර වැඩි වීම ටම්බාගේ ජීවිතය හා ජෝර්ජ්ගේ ජීවිතය සමඟ එකිනෙක සංසන්දනාත්මකව විමසා බැලීමට පාඨකයා පොළඹවා ඇත්තේ නිරායාසයෙනි.

කතාංගයේ හමුවන විවිධ පෞරුෂ රැගත් අවශේෂ චරිත බොහොමයක් දැකගත හැකි අතර ඉන් ‘ඕල්ඩ් මෑන්ගේ’ චරිතය ප්‍රධාන ය.ටම්බාගේ සීයා වන ඔහු ගෝත්‍රයේ සිටි පරිණත ම පුද්ගලයා ද විය. ඔහුගේ පැවැත්ම හා ලොව පිළිබඳ ඥානය විශ්ව කෝෂයක් මෙන් ටම්බා සමඟ කතාංගයේ අවසානය තෙක් ම ගමන් කරයි. ජීවිතය පුරාවට මුහුණ දෙන සෑම අභියෝගයකට ම ටම්බාගේ විසඳුමට පාදක සටහන වන්නේ ඕල්ඩ් මෑන්ගෙන් කන වැකුණු ලෝකය හා පැවැත්ම පිළිබඳ ඥානයයි. එමෙන්ම, පුරා පිටු 340කට ආසන්නව ගලා යන කතාංගයෙන්, සහෘදයා වෙතට පැමිණෙන චරිත සියල්ල ම ඔවුනට ආවේණික දර්ශනයක්, ආගමක් හෝ කිනම් හෝ ජීවිතාවබෝධයක් ඔස්සේ ‘පැවැත්ම’ ඥානනය කරන ආකාරය නවකතාවේ සාර්ථකත්වයට ද හේතු වී ඇති බවට සැක නැත.

“කෙනෙකුගේ ජීවිතය කැබලිවලට ඉරා දැමීමට උත්සහ කරන බාහිර හා අභ්‍යන්තර බලවේග දෙක අතර සමතුලිතතාවය පවත්වාගෙන යාම ජීවිතයයි. නුඹ එක පැත්තක් අනෙක් පැත්තට වඩා බලවත් වීමට ඉඩ දුන්නොත්, ජීවිතය කැබලිවලට කැඩී යාවී.” (105 පිට).

“සබඳකම් නැමැති රෙදි කඩ වියනා නූල් වන්නේ ආශාවන්! නුඹ එ්ව නුඹ විසින් ම වියන අතර නුඹගේ ඇස් එවායින් ආවරණය කරගන්නවා.” (100 පිට).

ගෝත්‍රික ප්‍රජාවක් ලෙස ස්වභාදහම හා ඒකාත්මිකව ගොඩනගා ගත් දැනුම ඔස්සේ ද කතාංගයේ තවත් ප්‍රජාවක් පාදිලිවරු ලෙස යම් දෙවිකෙනෙකුට ගැතිව ආගමකින් ළඟා කර ගත් දැනුම ඔස්සේ මෙන්ම තවත්  ප්‍රජාවක් තාක්ෂණය හා විද්‍යාවෙන් ගොඩනගා ගත් දැනුම ඔස්සේ ද විවිධ දෘෂ්ටි කෝණ ආශ්‍රයෙන් පැවැත්ම හා ලෝකය වටහා ගැනීම සිදු කරන ආකාරය ඉතාම සිත් ගන්නා සුළු ලෙසින් කතුවරයා ලියා දක්වා ඇත.

දකුණු අප්‍රිකාවේ ගිනියාව, සියේරා ලියොන් සහ ලයිබීරියාවේ එබෝලා වසංගතය පැතිර යාම කතාවේ අවසාන අර්ධයේ දී ලියැවී ඇත්තේ කෙටි හුස්ම සහිතව පාඨක කුතුහලය වර්ධනය කරමිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රය, කුටුම්භගත මනුෂ්‍ය ජීවිත, සාමාන්‍ය ජනතාවගේ අදූරදර්ශී ක්‍රියාකලාප, සමාජ සංස්කෘතික විපර්යාස මෙහිදී කතුවරයා සියුම් ව ග්‍රහණය කරගෙන ඇති ආකාරය පැසසිය යුතු ය. එමෙන්ම, 34-44 පරිච්ඡේද පාඨක කුතුහලය තව තවත් ඉහළට ගෙනයන්නේ කතාංගයේ එක පෙළට සිදු වන අවස්ථා හා සිද්ධි, සහෘද මනෝභාවවල උච්චාවචනය තීව්‍ර කිරීමට සමානුපාතිකව ය.

ප්‍රමුදිත් ඩී.රූපසිංහ, උපයුක්ත කරගත් වස්තු විෂය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇති තිමිරෙන් එතෙරට (Behind the Eclipse) නවකතාව, මිනිසා හැල්මේ දුවන නොනවතින ජීවන අරගල කෙතරම් අනපේක්ෂිත, ගුප්ත, සුන්දර, බිහිසුණු හා වර්ණවත් ද යන්න සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වීමක් වැනි ය.

“අප දැන උන්නේ සෑම නා කපන වර්ෂාවකටම පසුව හිරු නැවතත් දීප්තිමත් වන බව සහ සෑම හැඬීමක්ම සිනාවක් සහ සතුටුදායක කාලයක් සඳහා සුදුසු වන බවයි. කාලය අවසාන වනතුරුම වැසි වසින්නේ නැතිවා සේම හිරුද සදාකාලිකවම දිදුළන්නේ ද නැත.” (19 පිට).


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment