මේ වන විට නවකතා හතක් රචනා කළ අත්දැකීම් සහිත කතුවරයකු වන මලික් තුසිත ගුණරත්න, ලේඛනයේ විවිධ හැඩතල ඔස්සේ අත්හදාබැලීම්වල නිරත වූවෙකි. ඔහුගේ අලුත්ම නවකතාව වන සිල්වර් ටිප්ස් පදනම් කරගෙනයි අද The Asian Review Sinhala අප ඔහුත් සමග සංවාදයට එළඹෙන්නේ.
Q: මුලින්ම ඔබ ලේඛන දිවියට ප්‍රවිෂ්ට වූ ආකාරය පිළිබඳව සඳහන් කළොත්?
A: මගේ ලේඛන දිවිය ඇරඹෙන්නෙ පාසල් කාලයේ . මම හත, අට පන්තිවල ඉන්න කාලේ ගුරුවරිය කවියක් ලියන්න කියල ළමයින්ට කියනවා. මගේ කවිය මුළු පන්තියටම ඇහෙන්න කියවනවා. මාව ඇගයුමට ළක් කරනවා. එදා මට හිතුණා මට කවියක් ගැට ගහගන්න පුළුවන් කියලා. ළමා අවධියේ අම්ම, තාත්තා නිවසට ගෙන එන පත්තර හැම එකක්ම මම කියවනවා. මිහිර, තරුණි ආදිය පත්තර. අද මට හිතෙනවා ඒවා මගේ පරිකල්පන ශක්තියට අනියමින් කළ උත්ප්‍රේරණ හැටියට. පොඩි කාලෙ ඉඳන් කියවීම හරිම වැදගත්. පසු කාලෙ මම කවි කියල හිතාගෙන කිසියම් දෙයක් ලියනවා. පත්තර වලට තැපැල් කරනවා. හැබැයි පළ වෙන්නෙ නෑ.
Q: ‘සිල්වර් ටිප්ස්’ නවකතාව දක්වා ඔබේ නවකතාකරණය ගැන හැඳින්වීමක් කළොත්?
A: සිල්වර් ටිප්ස් කියන්නෙ මගේ හත් වෙනි නවකතාව. මම නවකතා ලියන්න පටන් ගත්තෙ 2015 වර්ෂයේ. ඒ නෙළුම් පොකුණ නවකතාවෙන්. ඒ වර්ෂයේම සඳ කඳු මුදුන නවකතාව මම ලියනවා. 2016 දී දක්ෂිණ ප්‍රේමය, 2017 දී මතක විසිරුණු තැනක, 2020 දී ස්වර්ණ සිහිනය සහ 2021 දී ශාක්‍යාදේවී මා අතින් බිහිවෙනවා.
Q: ‘සිල්වර් ටිප්ස්’ නවකතාව රචනා කිරීමට ඔබට වස්තු බීජය ලැබෙන්නේ කොහොමද?
A: සිල්වර් ටිප්ස් නවකතාවට වස්තු බීජය මම අහුලගන්නෙ අවට සමාජයෙන්. මම අවුරුදු 35 එකම ආයතනයක වැඩ කළා. මගේ රාජකාරියේ ස්වභාවය අනුව මට නිතරම සේවාදායකයන් සමග වැඩ කරන්න සිද්ධ වුණා. මම බොහෝ ස්ථාන වලට යනවා. දැන්වීම් නියෝජිත ආයතන, රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, අනෙකුත් පුද්ගලික ආයතන තමයි මගේ සේවාදායකයන් වෙන්නෙ. මං ඒ තැන්වලට ගියාම නිරීක්ෂයෙක් බවට පත් වෙනවා. විශේෂයෙන් දැන්වීම් ඒජන්සි වල තියෙන සංස්කෘතියට මම ආසා කළා. ඒගොල්ලො වැඩ කරන්නෙ හරිම නිදහස් අවකාශයක. ඒ වගේමයි මම ඇවිද්ද තැන්, මාවත්. බ්ලූමැන්ඩල් පාර, ආමර් ස්ට්‍රීට්, සංඝරාජ මාවත, කොටහේන, පිටකොටුව, ගාළු පාර. මම කොළඹ නොගිය තැනක් නෑ. ඔය සංචාරවලදි මා දකින දේ , මට ඇසෙන දේ මගේ විඥාණයෙ තැන්පත් වෙන්න ඇති. සිල්වර් ටිප්ස් ලියනකොට ඒවා ඔක්කොම මගේ පරිකල්පන ලෝකයට ඇතුළු වෙන්න ඇති.
Q: ‘සිල්වර් ටිප්ස්’ නවකතාව පිටුපස ඔබ කළ හැදෑරීම මොන වගේද?
A: විශේෂයෙන් කියලා හැදෑරීමක්, සොයා බැලීමක් කළේ නෑ. මා අවට ඇති සජීවී, අජීවී වස්තූන්වල නිරීක්ෂණය තමයි පළමුවෙන්ම කළේ. මට හමුවෙන මිනිසුන්, ඔවුන්ගේ හැසිරීම් රටා, ඔවුන් කිසියම් ක්‍රියාවකට දක්වන ප්‍රතිචාර , විශේෂයෙන් මිනිස් මුහුණු කියවන්න මම හරි කැමතියි. මගේ සේවාදායකයෙක්ගෙ, මගතොට හමුවෙන මිනිසුන්ගෙ, කෙළිලොල් දඟකාර යුවතියන්ගෙ, පාසලකට ගියොත් ඒ දෙමව්පියන්ගෙ, රෝහලකට ගියොත් ගිලනුන්ගෙ, උපස්ථායකයන්ගෙ, මාර්කට් එකට ගියොත් වෙළෙන්දන්ගෙ, බඩු ගන්න එන අයගෙ මුහුණෙ තියෙන ඒ හැඟීම් කියවන එක මගේ විනෝදාංශයක්. එලෙස මට හමු වූ අය සිල්වර් ටිප්ස් නවකතාවේ ඇති.
Q: නිර්මාණකරණයේදී ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ මොනවා ගැනද?
A: පාඨක විශ්වාසය තමයි මූලිකම දේ. ඒ විශ්වාසය නොබිඳී තියෙන්න ඕනි. ඒ විශ්වාස පළුදු වුණොත් නිර්මාණය පමණක් නෙවෙයි, ඉදිරි නිර්මාණද සමහර විට ලේඛකයාද පාඨක ලෝකයෙන් ප්‍රතික්ෂේප වෙලා වෙනවා. ඒ වගේම අපි ලියන දේවල් තේමාත්මකව අලුත් විය යුතුයි. අලුත් හැඩයෙන් ලිවිය යුතුයි. හැකි අවස්ථාවල අලුත් තාක්ෂණයත් එකතු කර ගත යුතුයි. මගේ ශාක්‍යාදේවී පොතේ අලුත් තාක්ෂණය උපයෝගී කරගෙන තියෙනවා. පොතේ ගීත දොළහක් තියෙනවා. කේතයන් දීල තියෙනවා. ඔබට අවැසි නම් ඒ ඔස්සේ එම ගීතය ඒ වෙලාවෙම අසන්නට පුළුවන්. මම ඒකට වෙනම චැනල් එකක් හදලා තියෙනවා යූ ටියුබ් එකේ. එහෙම අලුත් දේවල්වලට සිත යොමු විය යුතුයි.
Q: ‘සිල්වර් ටිප්ස්’ නවකතාව රචනා කරන කාලයේ ඔබේ දෛනික ජීවිතය ගෙවී ගියේ කොහොමද?
A: නවකතාවක් ලිවීම ආරම්භ කරනකොට මගේ ජීවිතයේ වෙනස්කම් සිද්ධ වෙනවා. සමහර විටෙක බිරිඳ අහනවා ඔයා නවකතාවෙද ඉන්නෙ කියලා. ඒ මම එයාට නිසි ලෙස ප්‍රතිචාර දක්වන් නැති වෙලාවල්වලදි. නවකතාව ලිවීම ආරම්භ කළාම මලික් තුසිත නෙවෙයි එතන ඉන්නෙ. කිසියම් වේශයකට, ආවේගයකට, පරිකල්පනයකට හසුව වෙස් මුහුණක් පැලැඳි කෙනෙක් තමයි එතන ඉන්නෙ. මේ කාලයේ මට වැඩියෙන් නිදහස අවශ්‍යයි. ඒ නිදහස සාහිත්‍ය ජීවිතයේ මට අවැසි ලෙස ලැබෙනවා. මම සාමාන්‍යයෙන් උදේ වරුවේ ලියන කෙනෙක්. සැඳෑ වරුවෙදි කතාවේ හෙට දවස ගැන හිතන කෙනෙක්. මගේ කල්පනා ලෝකය බිඳී ගියොත් නවකතාව වෙනස් තැනකට යන එක වළක්වන්න මට බෑ. ඒ හින්ද බිඳ නොගෙන පවත්වා ගෙන යාමයි කළ යුත්තෙ.
Q: පොතක නම කියන්නේ ඉතා වැදගත් දෙයක්. ‘සිල්වර් ටිප්ස්’ නවකතාවේ නාමකරණය ගැන ඔබේ අදහස මොකක්ද?
A: පොතකට තියන නම හරිම වැදගත්. මොකද මුලින්ම පාඨකයාගේ ඇස් යොමු වෙන්නෙ ඒ නමට. අපි නිරන්තරේ උත්සාහ කළ යුත්තෙ පාඨකයින්ගේ අවධානය දිනා ගන්න. මගේ මේ කෘතිය තුළ සිල්වර් ටිප්ස් ගැන කියවෙන්නෙ බොහොම අඩුවෙන්. නමුත් මෙහි එන ප්‍රධාන චරිතය අපිට පුළුවන් සිල්වර් තේ දල්ලකට සම කරගන්න. ඒකට ඕනි තරම් හේතු මේ කෘතියේ අඩංගුයි. පොත බලපු බොහො අය මට කතා කරල කියන්නෙ මේකේ සිප්වර් ටිප්ස් නෑනේ, හැබැයි අපි ප්‍රධාන චරිතයට සිල්වර් ටිප්ස් සමපාත කරගත්ත කියලා. ඒ හින්ද පාඨක අවධානයට පාත්‍ර වෙන නමක් තියෙන එක හරි වැදගත්.
Q: පොතක පිටකවරය කෘතියට කරන බලපෑම මොන වගේද?
A: නම වගේම තමයි පිටකවරය. පොත පිළිබඳව කිසියම් ඉඟි, රූපක, සංඥා ප්‍රමාණයක් සපයන විදිහේ නිර්මාණාත්මක කවරයක් තිබීම කෘතියට වාසියක්. ඒ වගේමයි වර්ණ. ඒවා ගැළපෙන්න ඕනි. කතාවේ තේමාව, නිමිත්ත එම්බෝස් වෙන කවරයක් විය යුතුයි. පොතකට කවරෙ වගේ අපි ගත්තොත් ඇඳුමනෙ. ඒ හින්දනෙ අපි ලස්සනට අඳින්න උත්සාහ ගන්නෙ.
Q: ‘සිල්වර් ටිප්ස්’ නවකතාවේ ප්‍රධාන චරිතය වන ‘වෙස්ටන්’ කිසිවිටෙකත් පාඨකයාට සම්මුඛ වන්නේ නැහැ. ඔබ මේ ආකෘතිමය වෙනස සිදු කළේ ඇයි?
A: මේ ප්‍රශ්නය ඉතාම වැදගත්. මම දන්න නවකතා ඉතිහාසය තුල කතානායකයා සැඟවී සිටික කෘතියක් ලංකාව තුළ මට හමු වී නෑ. හැබැයි ඔහු ජීවත් වෙලා ඉන්න, සජීවී චරිතයක්. මම අර කාරණේ පිළිබඳව ප්‍රමාණිකයන් කිහිප දෙනෙක්ගෙන්ම අහල බැලුවා. ඔවුන්ද කිව්වෙ ඔවුන්ටත් එවැනි කෘතියක් හමු වෙලා නැති බව. මම ලොකු උත්සාහයක් දැරුවා මේ සැඟවුණ චරිතය වටා අනෙක් චරිත සහ සිදුවීම් ගොඩනගන්න. ඒක සෑහෙන අසීරු කටයුත්තක් වුණා. මම හිතනවා ඒ අභියෝගෙ මම ජය ගත්ත කියල. මම නිර්භයව එහෙම කියන්නෙ පාඨකයන්ගෙ ප්‍රතිචාර නිසා.
Q: නවකතා රචකයින් නව ආකෘතිකමය අත්හදා බැලීම් සිදු කිරීමේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද?
A: නිර්මාණකරුවන් අකෘතිකමය අත්හදා බැලීම් කළ යුත්තෙ කතා තේමාවත් සමග එය කෙතරම් බද්ධ වේදැයිසොයා බැලීමෙන් අනතුරුව. වෙනස්කම්වලින් නිමිත්තට, චරිතවලට, සිදුවීම්වලට හානියක් වෙනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් මම කැමතියි අලුත් අකෘතිකමය වෙනස් කම් කරන්න. අලුත් දේවල් අත්හදා බලන්න. හැබැයි එයින් මගේ අභිලාෂයන් කඩ නොවිය යුතුයි. මම හැකිතාක් උත්සාහ කරල තියෙනවා අලුත් දේවල් කරන්න. පාඨක ප්‍රතිචාරවලින් මම මගේ විශ්වාසය තහවුරු කර ගන්නවා. අපි නොයෙක් ශානරයන් ඔස්සේ අලුත් දැනුම සොයා යා යුතුය. සොයාගත යුතුය. ආකෘතිය තුළ කතාව ගොඩ නැගීමෙන් අපේක්ෂිත අරමුණු ඉටු වේදැයි නැවත නැවතත් සිතා බැලිය යුතුයි.
Q: ආගමික සිද්ධස්ථාන අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවට භෞතිකමය සංවර්ධනය වෙත ප්‍රමුඛ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය කෙබඳුද?
A: අද අපේ ආගමික ස්ථානවල ආගම සහ දර්ශනය හැර අනෙකුත් හැම දෙයක්ම තියෙනවා. කෘතියෙනුත් මම ඒ අදහස කුළු ගන්වන්නට උත්සාහ කරල තියෙනවා. අද රටේ තියෙන සියලුම ආගමික සංස්ථා ගරා වැටිලා. ඔවුන් ආගම වෙනුවට කොන්ක්‍රීට් වනන්තර තම ශුද්ධ භූමි තුළ ඉදිකරමින් සිටිනවා. මම දන්න සමහර පන්සල් තියෙනවා නිදහසේ අඩියක් තියාගන්න බැරි. ඒ තරම් ගොඩනැගිලි, පිළිම වහන්සේලා. එහෙම පන්සලකට ඇතුළු වුණාම හිතෙනවා අපි මේ ඇවිල්ල තියෙන්නෙ කොළඹ 10 මාලිගාවත්තෙ මහල් නිවාසයකටද කියලා. සිද්ධස්ථායක් සතු විය යුතු නිස්කලංක බව, ශාන්තබව, හුදකලා අවකාශය අද නෑ. අද පුදපූජා, බණ දේශනා, පිංපෙත් දීම, පාංශුකූලේ දීම පවා ආර්ථිකමය ගනුදෙනුවක් බවට පත් වෙලා.
Q: ඔබ කවියෙක්; කෙටිකතාකරුවෙක් සහ නවකතාකරුවෙක්. ඔබ මේ ශානරවලින් ලේඛනයේ යෙදීමට වඩාත් කැමතිම ශානරය මොකක්ද?
A: ඔය ශානර තුනේම ලේඛනයේ යෙදීමට වඩා දුෂ්කර කටයුත්ත මොකක්ද කියලා මම කියන්නම්. ඔය ශානර තුනම මට නම් ආගන්තුක නෑ. වඩා අවධානයකින් කළ යුත්තේ කෙටිකතාවක් ලිවීම. මොකද අපි කෙටි වචන සමූහයකින් පාඨක සමූහයාගේ හදවතට වඩා හානිකර නොවන විද්‍යුත් කදම්භයක් එල්ල කළ යුතුයි. ඔවුන් නිද්‍රාවෙන් අවදි කළ යුතුයි. ඒ නිසා කෙටිකතාවට කිසියම් අමතර වෙහෙසක් දැරිය යුතුයි. ඒකෙන් කියන්නෑ නවකතාව ලේසියි කියලා. නමුත් නවකතාව ටිකක් දිගු නිසා අපිට බිළිඳව නළව ගන්න තියෙන ඉඩකඩ වැඩියි. කෙටි කතාවෙදි අපි පාඨක අවධානය රැකිය යුතුයි. ඔවුන්ව දිනා ගත යුතුයි. ඔවුන් ගිලිහී නොයන තත්වයට අපි කතාව ගොඩ නැගිය යුතුයි.
Q: ලංකාවේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයෙන් රචකයින්ට ලැබෙන සහයෝගය ගැන ඔබ තෘප්තිමත්ද? එහි සංවර්ධනය විය යුතු දෑ පවතිනවාද?
A: ප්‍රකාශකයන්ගේ සම්මාදම අඩුයි. ඒ අය පොත ප්‍රකාශයට පත් කරනවා විතරයි. අලෙවිය ගැන උනන්දුවක් නෑ. ඕනෑම කෘතියක් අලෙවිය වැඩි කරගන්න ප්‍රකාශකයින් උත්සාහ කළ යුතුයි. අද වෙලා තියෙන්නෙ පොත මාකට් කළ යුත්තේත් නිර්මාණකරුමයි. ඒකෙන් වෙන්නෙ නිර්මාණකරුට නව නිර්මාණයකට යන්න තියෙන අවකාශය අඩු වෙන එක. මහන්සිය වැඩි වෙන එක. විදේශයන්හි මේ තත්වය වෙනස්. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. අද මේ රටේ තත්වය අනුව පොතක් ප්‍රකාශනයට බාර ගන්න එකම ලොකු වැඩක්. ඒ අවදානම ගන්න ප්‍රකාශකයා ගැනත් අපි සිතිය යුතුයි.
Q: වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් මුහුණ පොතෙහි සිය නවකතා රචනා කරනවා. මුහුණු පොතෙහි නවකතා රචනය සම්බන්ධව ඔබ දරන ආකල්පය මොන වගේද?
A: මුහුණු පොතේ අපි කවුරුත් නිර්මාණ පළ කරනවා. ඒක සාධනීය තත්වයක්. මගේ පුද්ගලික මතය නම් දිගු නිර්මාණ ඔය අවකාශය තුළ පළ නොකළ යුතුයි යන්නයි. හේතුව දිගු නිර්මාණ කියවනවා අඩුයි. නමුත් එහෙම පළ කරන අය ගැන මම සතුටු වෙනවා. මොකද ඔවුන් එයින් තම ලේඛන දිවියට කිසියම් පන්නරයක් ලබා ගන්නවා ඇතැයි කියන සතුට මට තියෙනවා. දිගු හෝ කෙටි, ලියන එකයි වැදගත්. මේකෙ තවත් හොඳ පැත්තක් තියෙනවා. අපේ කාලෙ ලිව්ව කොළ මේ වන විට විනාශ වෙලා. නමුත් සයිබර් අවකාශෙ තියෙන ඒනා විනාශ වෙන්නෙ නෑ. කොහොමත් කවුරු, කවුරු හෝ ලියන එකයි වැදගත්.
Q: නවකතාකරණයට අවතීර්ණ වෙන්න කැමැත්තෙන් ඉන්න නවක රචකයින්ට ඔබ දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
A: ඒ අයට මම කියන්නෙ දිගින් දිගටම ලියන්න. තමුන් ලිව්වෙ නැහැයි කියල හිතල සංස්කරණය කරන්න. ක්ෂේස්ත්‍රය් ප්‍රමාණිකයන්ට පෙන්වන්න. අදහස්, උපදෙස් ලබාගන්න. මට කියවන්න ලැබෙන පොත් වල අඩුපාඩු මම කියල දෙනවා. වෙනස් කළ යුතු තැන් පහදනවා. හැබැයි අද එහෙම ආයාසයක් දරල ලියන අය අඩුයි. ක්ෂණිකව තමුන්ගේ නිර්මාණය පළ කරන්නට උත්සාහ ගන්නවා. මොන කෘතියක් වුණත් අලෙවි වෙනවා නම් ඒක සතුටුදායක පුවතක්.
Q: අවසාන වශයෙන්, ලේඛකයෙක් විදියට ඔබගේ අනාගත අපේක්ෂා මොනවාද, නවතම වැඩ කටයුතු ගැන කිව්වොත්?
A: අලුත් නිමිත්තක් සිතේ පැසවමින් තියෙනවා. මේ වනවිට මම චරිත සහ සිද්ධි ඒ වටා ගොනු කරමින් සිටිනවා. තාම බිත්තරෙන් එළියට එන්න පැටියට කල දවස උදා වෙලා නෑ. කිසියම් මොහොතක එය පිපිරේවි. ඒක නවකතාවක්.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
