අමුතු සන්ධ්‍යාවක, කඳුළු පනින කොමඩිය: ඩේවිඩ් ග්‍රොස්මන්ගෙන් හදවතට බර පාපොච්චාරණයක්!

අශ්වයෙකු බීම හලකට ගොඩ වෙයි.
“මොකෝ මූණ දික් කරගෙන? ජීවිතේ කළකිරිලද?” බාර්ටෙන්ඩර්වරයා අසයි.
“මං හිතන්නෙ නෑ” අශ්වයා පිළිවදන් දෙයි. ඒ ක්ෂණයකින් අශ්වයා පැවැත්මෙන්ම අතුරුදන් වෙයි.

මෙහිදී මාගේ බුද්ධිමත් සහෘදයන් සිහිපත් කර ගත යුතු කාරණාව වන්නේ, ප්‍රංශයේ උපත ලැබූ පුනරුද දාර්ශනිකයෙකු වන රෙනේ ඩෙකාට් විසින් “මම සිතමි, එබැවින් මම සිටිමි” යනුවෙන් පවසා ඇති බවයි.

අපි කතා කරමු නෙතන්යා!

මේ අතර, ඊශ්‍රායලයේ කුඩා නගරයක -නෙතන්යාවේ- රාත්‍රී සමාජ ශාලාවකට, මිටි, සිහින්, උපැස් යුවලක් ඇදට නාසය මත රඳවා ගත් විකාරකාරයෙකු ඇතුළු වෙයි.

“දෙන්න ඔබේ අත්පොළසන් නාදය දොවාලේ ජී වෙත.”

දොවාලේ ග්‍රීන්ස්ටයින් නැතිනම් දොවාලේ ජී, පෙනෙනා ලෙසට නෙතන්යාවේ මිනිසුන්ගේ ආදරයත්, හාස්‍යයත් දිනාගත්, නෙතන්යාව සිය සුන්දරිය, මියුසීය දෙව්දුව ලෙසින් සලකමින්, පිටු දෙසිය ගණනක් පුරා විහිළු සැපයීමට පැමිණ සිටින මේ මිටි, කෙසඟ මිනිසා, පළමු පිටු කිහිපය තුළදීම අපට තවත් සාහිත්‍යගත බැරෑරුම් විකාරකාරයෙකු සිහිපත් කොට දෙයි.

“තමන්ගේ විශාලත්වය හා බලන විට කුසීත, හෝන්දුමාන්දුවකින් යුතු වූ ඇතන්සය අවිස්සා නැගිටුවීමට ඇටමැස්සෙකු ඇවැසි විණ…” ෆෙලීචෙ රිවරේස්!

 හිටිවන විගඩම්කාරයෙකුගේ ජිවිතය…

හිටිවන විහිළු කරන්නෙකුගේ නැතිනම් Stand-up comedian කෙනෙකුගේ ජීවිතය කෙබඳු ද?

හිටිවන විහිළුකාරයෙකුගේ සන්දර්ශනයක් නැරඹීමේදී ඔබට ඔහු හෝ ඇය සමඟින් උරණ වීමට නොහැකි වෙයි. බොහෝ විට හිටිවන විහිළු කරන්නෙකුගේ අනුප්‍රාණය, එසේත් නැතිනම් “ගොදුර”, වේදිකාව ඉදිරිපිට මෙම සන්දර්ශනය නරඹා සිනාසී, සැහැල්ලු වීමට බලාගෙන සිටින ඔබ විය හැකියි. මේ විහිළු කරන්නා කෙලින්ම ඔබව ඉලක්ක කොට ගෙන, එදින රාත්‍රියේ  ප්‍රේක්ෂකාගාරය හරහා වන ඔහුගේ බලපරාක්‍රමය තහවුරු කර ගැනීමට නොපැකිළවම ඔබව “බයිට් එකට” ගත්තත්, ඔබට දේශපාලනික නිරවද්‍යභාවය පත-අට-එකට සිඳවූ මුහුණින් යුතුව අමාරුවෙන්  සිනාසී, ඔබත් විහිළු දන්නා බව පෙන්වා දෙමින් හිඳ සිටින්නට සිදුවේ. විහිළුකරන්නා මහේශාක්‍ය ලීලාවෙන් වේදිකාවේ පැදකුණු කරමින්, “මොකද මං අහන්නේ පිස්සු හැදෙන තරම් ලොකු බොටොක්ස් වඩියකුත් ලැබිල තිබෙන බව පේනවා, නොහික්මුණු  ලෙසට කුඩා කරපු පියයුරු ගැන කියන්න ඕන නෑනේ” යනුවෙන් ඔබේ ශරීරය පිළිබඳ නොසන්ඩාල කථා කියමින්, ඔබ රන් හාරන්නියක බව ව්‍යංගයෙන් පවසමින් උදාරම් ලෙසින් සිනාසුනත්, ඔබට නැඟිට, “බොඩිෂේමින් කරන්නෙපා පසික්කාටුවෝ!” කියා කෑගසන්නට නොහැකි වෙයි. මට මතක හිටි, නෙතන්යාවෙන් කිලෝමීටර් පන්දහකටත් මෙපිට, ලෝකයේ මෙහා කොනේ වේදිකාවක සිටි එක් හිටිවන විහිළුකාරයෙකු බොහෝ නිරවද්‍ය අයුරකින් පෙන්වා දුන් ආකාරයට, හිටිවන විහිළුකාරයෙකු සැබවින්ම නොසණ්ඩාල ඩොල්ෆිනයෙක් මෙනි.  ඩොල්ෆිනයා කෙතරම් නොසණ්ඩාල අවලමෙකු වුවත්, ඔබේ මුහුණටම කෙතරම් කැත කතා කියුවත්, ඔබට මිට මොළොවා ඩොල්ෆිනයාගේ හොට අනික් පැත්තට යන්නට එකක් අනින්නට නොහැකි වේ. මන්දයත්, කෙතරම් නොසණ්ඩාල අවලමෙකු වුවත් ඩොල්ෆිනයෙකු ඉතාම හුරුබුහුටි, කියුට් ප්‍රාණියෙකු බව කියමින් මුළු ලෝකයක් ඩොල්ෆිනයාගේ පැත්ත ගන්නා බැවිනි. අවසානයේ, සියල්ලන්ම එක්වී, මෙතරම් කියුට් ඩොල්ෆිනයෙකුට හොම්බට ඇනීමට ගිය ඔබ නොසණ්ඩාලයෙකු යැයි පවසනු ඇත.

නමුත් සැබවින්ම හිටිවන විහිළුකරන්නෙකුගේ ජීවිතය මෙසේ මහේශාක්‍ය, ප්‍රේක්ෂක අභිනන්දනයෙන් ආඩ්‍ය වූවක් ද? එය සැබවින්ම ඇස්බැන්දුමකට වැඩි නොවන බව දොවාලේ ජී ඔබට පවසනු ඇත. ඇතැම් හිටිවන විහිළුකාරයෙකු කරන්නාක් මෙන් දොවාලේ ජී ද, තමන්ගේ ප්‍රේක්ෂකාගාරය මෙම රාත්‍රියේ තමන්ගේ සදය උපහාසයන්ට, සරදම් වලට ඉලක්ක කර ගැනීමෙන් නොනැවතී, තමන්වමද උපහාසයට හසු කර ගනී. තමන්ගේ දුක්ඛිත අතීතයත්, ඊට නොදෙවෙනි දුක්ඛිත වර්තමානයත්, බීම හලේ දීප්තිමත් ආලෝකයෙන් මුවා වී තිබෙන තමන් හැඳ සිටින ශෝකයේ වැරහැලිත් තිත්ත උපහාස කතාවන්ගෙන් වර්ණ ගන්වා ප්‍රේක්ෂකාගාරයට විසි කරයි. නමුත් මෙය දිරවා ගැනීමට ප්‍රේක්ෂකාගාරය කෙතරම් සමත් වේද යන්නට පිළිතුරු සපයන්නේ, දොවාලේ ජී තමන්ගේ අතීතයත්, වර්තමානයත් කොණින් කොන ඉරා දමමින් පෙන්වාලිමට පටන් ගත් පසු ක්‍රමයෙන් හිස් වන ප්‍රේක්ෂකාගාරයයි.

කෙසේ නමුත්, එක්කෝ වඩාත් දැඩි සිතැති, නැතිනම් වඩාත් නරුම සිතැති, නැතිනම් වඩාත් යටිපෙළ කියැවීමට සමත්, එසේත් නැතිනම් නැගිට යෑමට නොහැකි තරම් බීමත් ප්‍රේක්ෂකයින් සහ තවත් එක් නොගැලපෙන ආත්මයක් පමණක් දොවාලේ ජී ගේ ඊනියා ස්වයං උල්ලාස පරිච්ඡේදය රාත්‍රිය සමඟ නිමාවක් දකින තුරු සිය පුටු වලට ඇලී සිටින්නට තීරණය කරයි. එක්කෝ දොවාලේ ග්‍රීන්ස්ටයින්, එක්කෝ මං!

කෙසේ නමුත් මෙම උපහාස රාත්‍රියට නොගැලපෙන ප්‍රාණියා, මෙම සමස්ත කථාන්තරයටම පර්යාවලෝකයක් එක් කරයි. හරියටම අටුවේ තිබී සොයාගත් පරණ ජිග්සෝ පෙට්ටියක වූ, දූවිලි වැකි, දුර්වර්ණ ජිග්සෝ හැඩයක්, ඊට කිසිසේත්ම නොගැලපෙන දිස්න දෙන නව ජිග්සෝ ප්‍රෙහේලිකා චිත්‍රයක මඳක් ගැලපෙන බවක් පෙනෙන තැනකට බලහත්කාරයෙන් සවි කොට ඇතිවාක් මෙනි. පරණ හම ගිය දිස්ත්‍රික් විනිශ්චයකාරයා, දොවාලේ ජීගේ කුඩා කළ මිත්‍රයා, දොවාලේ විසින් බලාත්කාරයෙන් අද මෙතැන රාත්‍රියට සාක්ෂ්‍ය දරන්නට ඇදගෙන පැමිණි අනුකූල නොවන ප්‍රේක්ෂකයා, අවිෂෙයි ලසාර්…!

එම පැරණි ජිග්සෝ හැඩයට ගැලපෙන තවත් ජිග්සෝ හැඩයක් මෙම රාත්‍රියේ නෙතන්යාවේ තිබෙන බව පාඨකයාට හැඟෙන මුත්, එම අනෙක් පැරණි ජිග්සෝ හැඩය, වේදිකාවේ සිට මෙම ජිග්සෝ ප්‍රහේලිකාව අවුල් ජාලීය ප්‍රවේශයකින් විසඳන්නට උත්සාහ කිරීමේ භාරදූර කර්තව්‍යය උරට ගෙන සිටී! එයට අවිෂෙයි ලසාර්ගේ අතීතාවර්ජනයන්ද යම් අර්ථයක් සපයයි.

මෙසේ මෙම අවුල් ජාලය කියවමින් සිටින පාඨක අපට, දොවාලේ ජීගේ කදුළු පනින කොමඩි නාටකය සැබවින්ම හදවතට බර පාපොච්ඡාරණයක් බව, ආත්මානුකම්පාවේ පසුතල චිත්‍රය, වේදිකාවේ එල්වූ සරදමක තිර රෙදි වලින් වසා ඉදිරිපත් කරනා දුක්ඛාලාපයක් බව ක්‍රමයෙන් පසක් වෙයි.

ජුදා අධිරාජ්‍යය අවිස්සා නැගිටවීමට පැමිණි නොහොබිනා හෝහපුට්ටෙක්!

දොවාලේ ග්‍රීන්ස්ටයින්ගේ පෞද්ගලික ජීවිතයේ දුක්ඛිත භාවය තවරා නොගත් විහිළු සියල්ලම පාහේ ප්‍රේක්ෂකාගාරය විසින් සාදරයෙන් පිළිගන්නා බව පෙනී යයි. කෙසේ නමුත්, ඊශ්‍රායලය වැනි රටක සිට ආදම් සහ ඒව ගැන විහිළු කරන්නට නිර්භය නම්, දොවාලේ ජීට කොටියෙකුගේ මුව තුළට හිස දමා ඌට විහිළු කතාවක් කීමට වුවත් හැකියාවක් ඇතැයි අපට සිතේ.

“ආ, දන්නවද වැඩේ නෙතන්යා, බයිබලය කියන්නෙ පිස්සු හැදෙන එකක්! ඒ වගේ එක දිගට කියෝගෙන යන්න පුළුවන් පොතක්! ඇත්තටම මම ඒක බොහොම අගය කරනවා. මේ තරම් සීමිතව කතා කරන කෙනෙක් නොවුනා නම්, මම කියනවා ඒක තමයි පොත් වලිනුත් පොත කියලා. ඒවගේම ඒකෙ පොඩි පොඩි නරක කෑලි පිරිලා! ඉතින් මොනවා උනත් බයිබලය කෙලින්ම කියනවා ‘ඒවා ඔහුගේ බිරිඳ බව මිනිසා දැන සිටියේය’ කියලා.” හරිනේ, කටහඬවල් කීපයක් පිළිතුරු දෙයි. “හරි, නියමයි! ලස්සනට වැඩේ කළා, ආදම් මහත්තයෝ ඔයා නම් නියම බඩුවක්. හැබැයි ඔයා ඒව අඳුරනවා කියන්නේ කොහොමද කියන එක ගැන අවධානයක් යොමු කරන්නෙ නෑ. ඒකෙන් කිසි දෙයක් කියන්නේ නෑ ඈව තේරුම් ගැනීම ගැන, කෙල්ලනේ මම හරිද?”

මේ අතර, දොවාලේ ජී, ඊශ්‍රායලය, රාජ්‍යය සහ පාලනය ඉලක්ක කර ගනිමින්ද විහිළු කරන්නට තරම් නිර්භය වන බවද පෙනෙයි.

 “අඩු ගණනේ පසුගිය විනාඩි දහයේදී මට වැටහුණා ගෙවන්නාගේ බර අනුව බදු ගණනය කරන්න ඕනෑ කියන කාරණේ – ඇඟ බද්දක්! මං ඔබෙන් අහන්නේ ඊට වඩා සාධාරණ දෙයක් මොකක්ද තියෙන්නේ? සරලවම ඒක තමයි ලෝකෙ තියෙන යුක්ති සහගතව දේ. මා බලකර සිටිනවා, ප්‍රගතිශීලි ඇඟ බද්දක් පනවන ලෙස! අමතර ටයර්, කළගෙඩි බඩවල්, පස්සවල්, කලවා, තෙල් මන්ද, පිරිමි තන්, ඊළඟට ගෑනුන්ගේ අත්වල එල්ලා වැටෙන අර පොඩි කොටස, තක්සේරුවලට පදනම් කරගන්න ඕනි… මගේ ක්‍රමයේ තියන හොඳ ගතිය තමයි කපටිකම්, වැරදි අර්ථ දැක්වීම් කරන්න බෑ! උඹ බර වැඩි කරගනින්, උඹම බදු ගෙවාපන්! ඒත් සිරාවටම මගේ මේ ජීවිතේට මට තේරුම් ගන්න බෑ සල්ලි හම්බු කරන මිනිහගෙන් බදු ගහන්නෙ ඇයි කියලා. මොකක්ද එකේ තියෙන තර්කය? අහන්න නෙතන්යා, හොඳට අහගන්න: සතුටින් ඉන්න බවට විශ්වාස කරන්න සාධාරණ කරුණු රාජ්‍යයට තියෙන මිනිස්සුන්ගෙන් විතරයි බදු ගහන්න ඕන. තමන්ටම හිනා වෙන්නෝ, තරුණයෝ, සෞඛ්‍ය සම්පන්න අය, සර්ව සුබවාදියෝ, දවාලට උරුහන්බාන්නෝ, රෑට කම්සැප ලබන්නෝ, ඔවුන් තමයි බදු ගෙවිය යුතු එකම පොහොර ගොඩවල්, ඒ වගේම උන්ට රෙදි නැති වෙන්න බදු ගහන්න ඕන!

දෙයියන්ගේ නාමෙට පරිවර්තකයා!!

“මට තියෙනවා නෙතන්යා ඔබට ප්‍රීතිදායක ආරංචියක් කියන්න. ඔබට විස්වාස කරන්න බැරිවෙයි ඔබ කොයිතරම් වාසනාවන්තද කියල. ඒත් අද, අගෝස්තු විසි වැනිදාට මගේ උපන්දිනයේ යෙදිල තියෙනව. ස්තුතියි, ස්තුතියි, ඔයගොල්ලෝ බොහොම කරුණාවන්තයි.” ඔහු නිරහංකාරව හිස තවයි. “ඔව්, ඒක හරි, ලෝකය අවුරුදු පනස් හතකට ඉස්සෙල්ලා ජීවත්වෙන්න ටිකක් අමාරු තැනක් බවට පත්වුනා. ස්තුතියි මයෙ රත්තරං කොල්ලො කෙල්ලො ටිකට.” ඔහු වේදිකාව හරහා ආඩම්බරයෙන් ඇවිද යන අතර මනංකල්පිත ප්‍රේක්ෂකයකු දෙස බලා මුහුණ ලිහිල් කර ගනී. “ඔයාල හරි හොඳ අය, ඇත්තමයි, ඔයාල මෙච්චරටම මට, ඒ තරම් ගොඩක් වැඩිත් එක්ක, යන ගමන් ඔයාලගේ චෙක් ටික පෙට්ටියට දාගෙන යන්න, සල්ලි නම් ෂෝ එකෙන් පස්සෙ මගේ පපුවේ අලවන්න, ගෑනියක් එක්ක ඉන්න කූපන් හෙම ගෙනැල්ල තියෙනවනම් මේ දැන් එන්න වේදිකාවට.”

මේ අතර, පිටු දෙසීයකට එහා විහිදෙන මෙම බුකර් ත්‍යාගලාභී නවකතාවෙහි තානය මැනවින් අල්ලා ගනිමින් එය පරිවර්තනය කළ පරිවර්තක හාදයා සම්බන්ධයෙන්ද වචනයක් කිව යුතු වෙයි. පිටු දෙසිය ගාණක් පුරා ඉවසිල්ලෙන් දොවාලේ ග්‍රීන්ස්ටයින්ගේ අසීරු ආත්ම භාෂණයත්, නර්මාලාපයෙන් ගහණ වූ හිටිවන කොමඩියත් සිංහලට පරිවර්තනය කළ අයෙකු නම් ඔහු දෙයියන්ගේ නාමෙට පරිවර්තකයෙකු යැයි අපි සිතමු.

දොවාලේ ජීගේ වාරණයෙන් තොර වූ අපහාසයන් සහ උපහාසයන්, එම ඉංග්‍රීසි පරිවර්තනයේ තානය මැනවින් අල්වා ගනිමින් පරිවර්තනය කිරීම දක්ෂ වැඩක් යැයි අපි හඟිමු. එය අපට ග්‍රොස්මන්ගේ අදහසම, ඔරිමජිනල් දොවාලේවම ලබා දුන්නේ යැයි සිතන්නට අපි කැමති වෙමු. ජෙසිකා කොහෙන්, තමුන් හීබෘ පොතට සාධාරණයක් ඉෂ්ට කලා කියන උපකල්පනයේ ඉඳන් තමයි අපි එහෙම කියන්නේ. අපිට හීබෲ බැරි නිසා මෙතැන සැකයේ වාසිය තමුන්ට!

කෙසේ වුවත්, “ඒ අමුතු සන්ධ්‍යාව” තව එක් වරක් සංස්කරණය වූවා නම් යෙහෙකැයි අපි දෙයියන්ගේ නාමෙට පරිවර්තක මහතාට සාදරයෙන් යෝජනා කර සිටිමු!

අංග සම්පූර්ණ වීම පැවැත්ම කෙරෙහි ප්‍රමාණවත්ය…

ඉතින් මේ නෙතන්යාව සිය සුන්දරිය කර ගනිමින්, සිය කඨෝර අතීතය සහ දුක්ඛදායක වර්තමානය එක් දිනක වේදිකාව මත සිට දිග හරින දොවාලේ ග්‍රීන්ස්ටයින්ගේ කොමඩි සන්දර්ශනයක් මත දිවෙන A Horse Walks Into a Bar නවකතාව, David Grossman විසින් 2014 දී ප්‍රකාශයට පත් කරනු ලබයි. මෙම කෘතිය “ඒ අමුතු සන්ධ්‍යාව” යන නමින්, මොහාන් ධර්මරත්න විසින් පරිවර්තනය කොට, සුසර ප්‍රකාශනයක් ලෙසින් එළි දැක තිබේ.

දොවාලේ ග්‍රීන්ස්ටයින් විසින් තමන්ගේත්, තම ප්‍රේක්ෂකාගාරය බවට පත් කොට ගත් අපේත් පැවැත්ම පිළිබඳව නිර්දයව ප්‍රශ්න කර සිටින මෙම අමුතු සන්ධ්‍යාව වාසනාවකට හෝ අවාසනාවකට මෙතැනින් අවසන් වෙයි.

“සංදර්ශනය ඉවරයි සේසරියා! ඔබට දෙන්න මට තියෙන්නේ එච්චරයි අදට දොවාලේගෙන් බෙදා දෙන්න තවත් කිසිවක් නෑ, ඒ වගේම, හෙටකුත් තියෙන එකක් නෑ. උත්සව මෙතෙකින් සමාප්තයි. පරිස්සමින් පිටව යන්න. ප්‍රවේශකයන් සහ ආරක්ෂක නිලධාරීන් කෙරෙහි අවධානය යොමු කරන්න. පිටවීමේ දොරටු අසල වාහන තදබදයක් තිබෙන බව මට දන්වා තිබෙනවා. හැමෝටම සුභ රාත්‍රියක්…”


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment