මොහාන් ධර්මරත්න පාඨකයින් හඳුනන්නේ පරිවර්තකයෙකු වශයෙන්. ඔහුගේ ප්‍රකට පරිවර්තන ලෙසින් ‘මිනිසා මූලද්‍රව්‍ය සොයාගත් හැටි’ (2021), ‘මුලා මංසල’ (2023) සහ ‘ඒ අමුතු සන්ධ්‍යාව’ (2023) කෘති හඳුන්වා දෙන්න පුළුවන්. නමුත් 2021 වසරේ ඔහු රචනා කරන ‘දඩයක්කාරයෝ’ නම් වූ පළමු කෙටිකතා සංග්‍රහයෙන්ම ඔහු දක්ෂ කෙටිකතාකරුවෙකු බවට පෙන්වා දී තිබෙනවා. මෙය ඔහුගේ පළමු කෙටිකතා සංග්‍රහය වුවද, එය කියවන පාඨකයින්ට ඔහුගේ ආධුනික බවක් පෙනෙන්නේ නැහැ. මෙහි ඇතුළත් ඔහුගේ කතා සරලත්වයේ සිට සංකීර්ණත්වය වෙත ගමන් කරන බවක් මට හැඟෙනවා. එසේ නැතිනම් යථාර්ථවාදයෙන් මායා යථාර්ථවාදී ලොවකට පාඨකයා රැගෙන යන බව පැවසුවත් එය නිවැරැදියි. ඉතින් අද අපි මොහාන් ධර්මරත්නගේ ‘දඩයක්කාරයෝ’ කෙටිකතා සංග්‍රහය පිළිබඳව කතා කරමු.
කුණු
“ඉන්ස්පෙක්ටර් මෙලෝ සිහියක් නැතුව නරක්වෙච්ච වට්ටක්ක කෑලි අස්සට ඇඟිලි ඔබන්න ගත්ත. තෙතබරි වෙච්ච කාඩ්බෝඩ් පෙට්ටිය දියවෙලා කැඩුනා. තෙමිච්ච මෝටර්සයිකල් සීට් එක උඩ වට්ටක්කයි බත් ඇටයි සීසීකඩ විසිරුණා.” (26 පිටුව)
කෙටිකතා සංග්‍රහයේ අපට හමුවන පළමු කතාව තමයි ‘කුණු’. මේ කතාවෙන් කතුවරයා අපට පවසන්නෙ කුණුවලටත් වඩා පිළුණු වුණු සමාජයක් ගැන. සමාජයේ අප දෛනිකව අත්දකින කටුක යථාර්ථය තමයි මේ කතාවෙන් ප්‍රකට වෙන්නෙ. සමාජයේ බොහෝදෙනා ඉතා ඉක්මනින් තමා ඇසූ, දුටු දේ පිළිබඳව නිගමනවලට එලඹෙනවා. ඒ විදියට තමයි තමන්ගෙ ඉතුරුවුණු රාත්‍රී කෑම පාර්සලය අරන් ගිය කථකයාට කුඩුකාරයෙක්ගෙ ගානට දාලා සලකන්නෙ.
නිදිමතක්, අහිංසකයෙක් සහ සුද්දෙක්
“…දණ්ඩනීති සංග්‍රහයට අනුව ඔහු කාන්තාවකට ලිංගික හිංසනයක් සිදුකළ පුද්ගලයකු වන බව සඳහන්වන දැන්වීමක් ඔහු ඉදිරිපිටම වූ ජනේලයට ඉහළින් අලවා තිබුණේය. ඒ දැන්වීමේ එක් පසෙකින් කඳුලක් වැටෙන ගැහැනියකගේ මුහුණක් මුද්‍රණය කර තිබිණි. එහි අනිත් පැත්තේ අඬන මිනිහෙකුගේ මුහුණක් තිබෙනු සුමනෙට මැවී පෙනුණේය. කොන්දොස්තරගේ මුහුණ ඒ දෙක මැදට වී සිනාසුණේය.” (31 පිටුව)
‘කුණු’ සහ මෙම කතාව කතුවරයාගේම අත්දැකීම් හැටියටයි පෙනෙන්නෙ. මෙම කෙටිකතාවෙන් කතුවරයා පවසන්නෙ සුලබ අත්දැකීමක්. නමුත් සුලබ අත්දැකීමක් වුවද, මෙම තේමාව කතාබහට ලක්වන්නෙ අවම වශයෙනුයි. බස් රථවල කාන්තාවන්ට සිදුවන අකටයුතුකම්වලදී මැදිහත් වීමට බොහෝදෙනා සිටියද, පිරිමින්ට සිදුවන අකටයුතුකම් ගැන සැලකිලිමත් වන්නේ කවුරුන්ද? සුමනෙට අත්වන ඉරණමේ පිළිබිඹුව නොවේද බස් රථයේ ජනේලයට ඉහළින් අලවා ඇත්තේ.
උපන් ලපය
“රජ්ජුරුවෝ තමන් කරපු අපරාධය මතක් වෙලා වෙවුලන්න ගත්තලු. දීඝායු ළඟ දණගහලා අභයදානය ඉල්ලුවලු. දීඝායුට ආයෙත් මතක් වුණාලු. තාත්තා දීපු අන්තිම අවවාදෙ, පුතේ ළඟ නොබලන් දුරම බලන්.” (45 පිටුව).
කතුවරයා මෙහිදී සම්භාව්‍ය සාහිත්‍යයේ ආභාසය ලබා තිබෙනවා. දීඝිතිකෝසල ජාතකයේ සඳහන් කතාවේ නූතන පැතිකඩ ඔහු ගළපන්නේ 88,89 භීෂණ සමයටයි. බොහෝ විට අප තීන්දු තීරණ ගන්නේ දුරදිග නොබලා ක්ෂණික වාසි බලාපොරොත්තුවෙන්. ‘ළඟ නොබලන් දුරම බලන්’ යන්නෙන් දුරදිග බලා කටයුතු කිරීමේ වටිනාකම පෙන්වා දෙයි. එවිට පශ්චාත්තාප වන්නට අවකාශ නොසැලසෙයි. නමුත් ළඟ නොබලා දුරම බලනවාට වඩා ළඟද බලා, දුරද බැලීම වැදගත්ය.
‘වසංගතය’ සහ ‘අන්තිම රැකවලා’
“මං ඒ දූපතෙන් පිටවුණා. ඒ මිනිස්සු බේරගන්න බැරිවීම ගැන මං තාමත් කනගාටු වෙනව. ඒත් මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. ඒගොල්ලන්ගෙ අර ජල පද්ධති, වගා බිම්, ගහකොළ, කඳුවැටි…මට ඒවා තවමත් මතක් වෙනවා.” (58,59 පිටු)
මොහාන් ධර්මරත්නගේ කෙටිකතාවල විද්‍යා ප්‍රබන්ධමය ගුණයද අන්තර්ගත බව ‘වසංගතය’ සහ ‘අන්තිම රැකවලා’ යන කෙටිකතා ද්වයෙන් ප්‍රකට වෙනවා. ‘වසංගතය’ කෙටිකතාව කොරෝනා වසංගත සමය පාදක කරගනිමින් රචනා කරලා තියෙනවා. ඔහු පවසන මෙම දූපත අන් කවරක් නොව ලංකාවම බව පෙනෙනවා. මෙහි සඳහන් වන ‘බුද්ධි ඝනකය’ මිනිසුන්ට කරන පරිහානිය ඔස්සේ වඩා බුද්ධිමත් වීම සහ තාක්ෂණික දියුණුව විනාශය කැඳවන බව පෙන්වා දෙනවා.
“මොනව ! මේ බුද්ධ වර්ෂ අටසිය විසිගණන් නේ ! ඔබවහන්සේට වැරදිලා.”
“මාමා බොහොම දරුණු විදියට අතරමං වෙලා වගෙයි,” මම චිත්තගුප්තට කීවෙමි. “මාමා රැකවල් කරපු තෙරුන්නාන්සෙල මේ වෙනකොට අපවත් වෙලා ඇති. මහාසේන රජ්ජුරුවොත් වැරදි තේරුම් අරගෙන හරිමඟට ආවනෙ… දැන් අපි උන්නාන්සෙට කියන්නෙ මින්නේරි දෙයියෝ කියල.” (153 පිටුව)
මෙහිදී කතුවරයා ඉතිහාසය, බුදුදහම, කාලතරණය වැනි විෂය කරුණු තම කෙටිකතාවට පාදක කරගෙන තිබෙනවා. පෞද්ගලිකව කෙටිකතා සංග්‍රහයේ මා ඉතා ප්‍රිය කරන කෙටිකතාව වන්නේද මෙයයි. විශේෂයෙන් කතුවරයා අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ අන්තර්ගත ‘අරක සූත්‍රය’ යොදා ගනිමින් කරන විග්‍රහය අපූරුයි. නූතනයේ සාහිත්‍යකරණයේ නියැලෙන බොහෝ කෙටිකතාකරුවන් ත්‍රිපිටක ආභාසය ලැබීම සාධනීය ලක්ෂණයක්. එය තවත් විශේෂ වන්නේ විද්‍යා ප්‍රබන්ධමය ගුණයෙන් යුත් කෙටිකතා රචනයේදී බටහිර විද්‍යාවට වඩා පෙරදිග විද්‍යාව විෂයෙහි දක්වන නැඹුරුවයි. අරක ශාස්තෘහු ගැන වදාළ දෙසුමෙන් ප්‍රකට වන්නේ අප අප්‍රමාදී විය යුතු බව නොවේද? චිත්‍රපටයේ රංගනයට පිවිසෙන නළුවන් 49වන දර්ශනයෙන් පසු අතුරුදන් වන්නේද එබැවින් විය නොහැකිද? අනෙක් වැදගත්ම කරුණ වන්නේ සිවුරක් පෙරවූ පමණින් පැවිද්දෙකු වන්නේද යන පැනයයි. කෙනෙක් ගතින් පැවිදි වුවද, සිතින් පැවිදි නොවූයේ නම් ඔහු පැවිද්දෙකු ලෙස හැඳින්විය හැකිද? වනාන්තරයකට පිවිසෙන කවරෙකුගේ සිතට වුවද ශාන්තියක් සැලසෙයි. මිනිසා සොබාදහමින් වියුක්ත වීමම ඔවුන්ගේ විනාශය නොකැඳවන්නේද? කතුවරයා චිත්තගුප්තගේ චරිතය ඔස්සේ අපව රැගෙන යන්නේ අනුරාධපුර යුගයේ මහසෙන් රාජ්‍ය සමයටයි. මෙම කෙටිකතාව ඔහුගේ කෙටිකතා රචනයේ නිපුණත්වය පෙන්වන්නක් බව කිව යුතුයි.
‘දෙයියන්ගෙ මීමා’
“වළාකුළුකන්ද වනාන්තරයට ඇතුළුවීම තහනම් !
දේශපාලන බලවතකුගේ මැදිහත්වීමෙන් නීති විරෝධීව එළිකරමින් තිබුණු වළාකුළුකන්ද නොඉඳුල් නිවර්තන වැසිවනාන්තරයෙන් අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් අට දෙනෙකුගේ මළසිරුරු සොයා ගැනීමත් සමඟ රජය විසින් මහජන ආරක්ෂාව උදෙසා මෙම තීරණය ගනු ලැබීය.” (67 පිටුව)
මෙහිදී කතුවරයා සොබාදහමේ ගූඪත්වය උත්කර්ෂයට නංවලා තිබෙනවා. ගූඪ භයංකරත්වය (grotesque) මෙම කෙටිකතාව උදෙසා පාදක කරගෙන තිබෙනවා. මෙම ගූඪ භයංකරත්වය ඇති කරලීම සඳහා කතුවරයා යොදාගෙන ඇත්තේ මංගර දෙවියන්ගේ ජනශ්‍රැතියයි. ස්වභාවික වැසි වනාන්තර විනාශ කිරීම පහුගිය සමයේ ලංකාවේ දකින්නට ලැබුණා. විල්පත්තුව, සිංහරාජය වැනි වනවඳුලු විනාශයට පෙලඹුණේ දේශපාලන බලවතුන්ගේ මැදිහත්වීමෙන්. එවැනි මැදිහත්වීම්වලට සාමාන්‍ය මිනිසුන්ට එරෙහි විය නොහැකි වටපිටාවක වනවඳුලේ ගූඪ භයංකරත්වය හෝ ක්‍රියාත්මක විය යතු බව ජනතාවගේ අපේක්ෂාවයි. වනාන්තර ගිනිතැබීමේ භයංකරත්වය ගැන වසර මිලියන 300කට පසු සක්‍රීය වූ දිලීරයක් පිළිබඳව සඳහන් කරමින් කතුවරයා පෙන්වා දෙයි.
‘ආච්චිගේ බෝඩිම’ සහ ‘සරුංගලේ’
මානව ජීවිතයේ හෘද සසලත්වය පෙන්වන කතා ද්වයක් ලෙසින් ‘ආච්චිගේ බෝඩිම’ සහ ‘සරුංගලේ’ කතා දෙක පෙන්වා දෙන්න පුළුවන්. කොරෝනා සමය පදනම් කරගෙන රචිත ‘ආච්චිගේ බෝඩිම’ කතාව ආරම්භයේදී තරමක් හාස්‍යමය බවකින් යුක්ත වුවද, සිසිලින් ආච්චිගේ චිත්ත අභ්‍යන්තරය වෙත පාඨකයා ගෙනයාමත් සමග පාඨක හදවත් සසලත්වයට පත් වේ. ‘සරුංගලේ’ කතාවේ පොඩි අංකල් චරිතයද අප සසලත්වයට පත් කරන චරිතයක්. කතුවරයාගේ කුඩා අවධියේ සිටි වීරයෙක් තමයි පොඩි අංකල් කියන්නෙ. වර්තමානයේ කාටූන් චරිත, නළුනිළියන්, ක්‍රීඩකයින් තම වීරයින් ලෙස සැලකුවත්, අතීතයේ තත්වය ඊට වෙනස්. කතුවරයාගේ සිත තුළ පොඩි අංකල් පිළිබඳව පවතින ලෙන්ගතුකම, භක්තියම ඔහු කෙටිකතාවේ චරිතයක් බවට පත් කරන්නට හේතු වී ඇතැයි මා අනුමාන කරනවා. ‘සරුංගලේ’ කතාව කියවද්දි අපට නිතැතින් මතකයට නැඟෙන්නේ ජී.බී. සේනානායකගේ ‘වෙසක් පහන’ කෙටිකතාවයි. මේ කෙටිකතා දෙකෙන්ම අවසානයේ අපට පසක් කරවන්නේ ජීවිතයේ පවතින අස්ථීරත්වයයි. ඒ යථාර්ථය ඇතුළේම කිසියම් ගූඪත්වයක් රැඳවීමටත් කතුවරයා උත්සාහ ගෙන තිබෙනවා. පොඩි අංකල්ගේ මරණය සිදුවූ අන්දම එයට නිදසුනක්. සරුංගලයට ඉංග්‍රීසි කොඩිය ඇන්දවීමත්, වවුල් සරුංගලයෙන් නයා සරුංගලය බේරා ගැනීමට රංජි යොදන ප්‍රයත්නය ස්පාඤ්ඤ ආර්මඩා නාවුක හමුදාවේ පරාක්‍රමය ඉදිරියේ දණ නොනැමූ නිර්භීත ෆ්‍රැන්සිස් ඩ්‍රේක්ට සමාන කිරීම කතුවරයා නිකරුණේ සිදු කළ දෙයක් ලෙස නොසිතෙයි.
‘සුල්ෆිකාර්’, ‘සුකන්‍යා’ සහ ‘දඩයක්කාරයෝ’
යථාර්ථයත්, මායා යථාර්ථයත් අතර ගනුදෙනුවක් වශයෙන් ‘සුල්ෆිකාර්’ කතාව හඳුන්වාදෙන්න පුළුවන්. මුදලින් ආඪ්‍ය වෙද්දි මුල අමතකවීමත්, මුදල් පසුපස නොනැවතී ඊට ලොබ බඳිමින් ගමන් කිරීමත් මනුෂ්‍ය ගති ස්වභාවයක්. අබ්දුල්ට සිදු වන්නේද එවැන්නක්. කතාවේ මායාමය කොටස වන්නේ ඔහුගේ අස්වාභාවික ලොතරැයි ජයග්‍රහණ කිහිපයයි.
“සුකන්‍යා මගේ නිර්මාණයක් නොවෙයි. මා කළේ ඇයට පණදීම විතරයි. මා හිතා හිටියේ ඈ මට අයිතියි කියලා.”
යදමින් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. ‘සුකන්‍යා’ කතාව යථාර්ථය සහ අද්භූතවාදය මත දිගහැරෙන්නක්. සුකන්‍යාගේ සම්මුඛ වීම මෙහි අද්භූතවාදයයි. මැදි වියට පැමිණි පිරිමියෙකුගේ සිතිවිලි පරාසය මෙහි යථාර්ථයයි.
“මං දඩයක්කාරයෙක්,” භික්ෂුව පිළිතුරු දුන්හ. දඩයක්කාරයාගේ ඇස් උඩ ගියේය.
“මොනව ! මට අදහගන්නත් බෑ තමුන්නාන්සෙ… හාමුදුරු කෙනෙක් දඩයං කරන එක මහ පවක්…”
මොහාන් ධර්මරත්න තම කෙටිකතා සංග්‍රහය යථාර්ථයේ සිට මායාමය ලෝකයකට අපව කැඳවාගෙන යාම ආරම්භ කරන්නේ ‘සුකන්‍යා’ කෙටිකතාවෙන්. ‘දඩයක්කාරයෝ’ සහ ‘අන්තිම රැකවලා’ කියන්නෙ එහි දිගුවක්. ‘දඩයක්කාරයෝ’ කතාවෙන් කතුවරයා පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ අපි හැමෝම යමෙකුගේ දඩයමක් නොවන්නේද යන කාරණයයි. ආහාර දාමය සැකසෙන්නේද මෙලෙසිනි. බලවතා විසින් දුබලතාව ගොදුරු කරගන්නවා. විටෙක බලවත් වන අයෙක් ඔහුට වඩා බලවතෙක් අබියස දුබලයෙක් විය හැකියි. දිවි දෙන ඉදිරියේ දඩයක්කාරයාට සිදු වන්නේ එය නොවේද? මෙම කෙටිකතාවෙන් පාඨකයාට ලැබෙන වැදගත්ම පණිවිඩය වන්නේ තමාගේ සතුරා අනෙකකු නොව තමන්ම බවයි. එබැවින් අප දඩයම් කළ යුත්තේ අන් කවරක් නොව අපට හීලෑ නොවී එහෙ මෙහෙ දුව පැන ඇවිදින අපගේම සිතයි.
අපි හැමෝම කාගේ හෝ දඩයමකි. විටෙක දඩයමක් වන අපිද දඩයක්කාරයෝ නොවන්නෙමුද? රාත්‍රී ආහාරයට ගත් බත් පාර්සලය ගෙන ගිය කථකයාද, බස්රථයේ ගමන් කළ සුමනේද, දුර නොබැලූ පියසිරිද, නිර්මාංශික පියවතී උපාසිකාවද, බුද්ධි ඝනකයේ අණසකට ගොදුරක් වූ මිනිසුන්ද, වලාකුළුකන්ද වනාන්තරය ගිනි තබන්නට ගොස් මියගිය පුද්ගලයින් අටදෙනාද, අර්ථසිද්ධි හිමියන්ද, මාලදිවයිනේ සුල්ෆිකාර්ට හසු වූ අබ්දුල්ද, දරුවන් ළඟ නොමැති සිසිලින් ආච්චිද, සරුංගල් යැවූ පොඩි අංකල්ද, සුකන්‍යා සිතුවම් කළ යදමින්ද, දිවි දෙනට ගොදුරු වූ දඩයක්කාරයාද, තෙරුන්නාන්සේලා ආරක්ෂා කළ චිත්තගුප්තද විවිධ ආකාරයෙන්, කාගේ හෝ දඩයමකට ලක් වූවන් නොවන්නේද?
සමස්තයක් වශයෙන් ගත් කළ පරිවර්තකයා අබිබවා කෙටිකතාකරුවා කරළියට පැමිණ ඇති බවක් පෙනෙනවා. නමුත් කෙටිකතාකරුවා යටපත් වී පරිවර්තකයා නැවත කරළියට පැමිණ තිබෙනවා. පරිවර්තකයා සහ සැඟවී සිටින දක්ෂ කෙටිකතාකරුවාද ආරක්ෂා කරගන්නට කතුවරයාට ආරාධනා කරනවා. මෙම කෙටිකතා සංග්‍රහයට පෙරවදනක් සපයන මහාචාර්ය සාලිය කුලරත්නගේ කෙටිකතාව සම්බන්ධ විග්‍රහය කෙටිකතාව පිළිබඳ උනන්දු වන්නන්ගේ අවධානයට ලක්විය යුතු බවද අවසන් වශයෙන් පවසන්න කැමතියි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
