සාහිත්‍යකරුවා සම්මත නිශ්චිත රාමුවකට කොටු නොවිය යුතුය. හෙතෙම සාහිත්‍යයේ නව ශානර, ආඛ්‍යාන විධික‍්‍රම වෙත අවධානය යොමු කළ යුතුය. විවිධ ආකෘතිමය අත්හදා බැලීම් සිදු කළ යුතුය. විවිධ මාදිලියේ තේමා රාශියක සංගෘහිත කාව්‍ය සංග‍්‍රහයක් වෙනුවට එක් නිශ්චිත තේමාවක් පසුබිම් කරගනිමින් තමන්ට ආවේණික වූ කාව්‍ය අනන්‍යතාවක් ගොඩනඟාගත් කිවිඳියක වන සඳරැසී සුදුසිංහගේ ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග‍්‍රහය පාඨක විචාරක පැසසුම් දිනාගැනීමට සමත් විය. 2022 වසරේ වසරේ හොඳ ම කාව්‍ය සංග්‍රහයට හිමි රජත පුස්තක සහ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ද්විත්වයෙන් ම පිදුම් ලැබුයේ ද මෙම කාව්‍ය සංග්‍රහය යි.
සාහිත්‍ය කෘතියක් තුළින් නිරූපණය වනුයේ කතුවරයා කෙටි හෝ දිගු කාලීන ව සිදු කළ පර්යේෂණයක ප‍්‍රතිඵලයකැයි කිව හැකි ය. සඳරැසී සුදුසිංහ විසින් රචිත ‘ගිනි වැදුණු පියාපත්’ එවැනි පර්යේෂණාත්මක කාව්‍ය සංග‍්‍රහයකි. මෙහි ග‍්‍රන්ථ නාමය වෙත අවධානය යොමු කිරීමේ දී පාඨකයා තුළ පැනයක් නැඟෙන්නට පුළුවන. කිසිවෙකුට හානියක් නොකරන පියාපතකට ගිනි වදින්නේ කෙලෙසක ද? මෙහි ප‍්‍රස්තුත තේමාවට අනුව පියාපත් නම් අපට දැනුම බෙදන පොත්පත් ය. ගින්නකට හසු වී ශේෂ වූ යාපනය පුස්තකාලය පිළිබඳ පුවත තේමා කර ගනිමින් රචිත කවි 110ක එකතුවකිින් කිවිඳිය අපව ආමන්ත‍්‍රණය කරන්නීය.
1981 වසරේ ජුනි පළමු වන දා ලංකාවේ යාපනයේ සිදු වූ කාලයේ වැලිතලාවෙන් යටපත් වූ ඛේදජනක සිදුවීමක් වන යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිදුවීම කිවිඳිය තුළ මහත් කම්පනයක් ඇති කර තිබේ. ඇයගේ සිතට නැගුණු ආවේගයන්, දුක්ඛ දෝමනස්සයන් සියල්ල ඇයගේ පන්හිඳෙන් කවියට නඟා ඇත. දෙවුන්දර තුඩුවේ උපත ලද ඇය නවකතාකාරියක, කිවිඳියක, පුරාවිද්‍යාඥවරිය මෙන් ම මාධ්‍යවේදිනියක ලෙස ස්වකීය දිවිපෙවෙත තුළ ලබාගත් අත්දැකීම් සහ දැනුම උපයෝගී කරගනිමින්, ඇයගේ ජන්මලාභයට පෙර දී සිදු වූ ලාංකීය ඉතිහාසයේ ඛේදනීය සිදුවීමක වගතුග සොයමින් අභියෝගාත්මක මාවතකට ප‍්‍රවිෂ්ට වී ඇත.
කිවිඳිය ස්වකීය කාව්‍ය සංග‍්‍රහය ආරම්භ කරනුයේ පැරණි සංදේශ කාව්‍යවල දක්නට ලැබෙන අන්දමේ ආසිරි කවියකිනි. අනතුරුව ඇය සන්දේශයක අන්තර්ගත තෙරුවන් වන්දනාවක් ලෙසින් පොත්ගුල් වන්දනාව සිදු කරයි.
“කුලුණු ධාරා ලොවට පතුරන
සහස් සත නෙත නිවා සනහන
ජාති, කුල, ගොත් බිඳක් නොතකන
මහා දම්කඳ දොවන ලොව හට
යාල්පානම් බුදුන්
වඳිනු මැන පහදවා තුන් සිත” (04 පිටුව)
පුස්තකාලයක් යනු දැනුම් කෝෂ්ඨාගාරයකි. කිවිඳිය මෙය පින්බිමක් ලෙස සලකමින් ‘යාල්පානම් බුදුන්’ ලෙස හඳුන්වයි. ඉන් නොනවතින ඇය ‘යාල්පානම් දළඳාව’, ‘යාල්පානම් සිරීපාදේ’, ‘යාල්පානම් රුවන්වැලිය’ හා ‘යාල්පාන මහා බෝධි පාමුල’ යනුවෙන් බෞද්ධ සිද්ධස්ථාන හා යාපනය සම්බන්ධ කරනු ලබන්නීය. ඉන් කිවිඳිය අදහස් කරනුයේ ආගමක්, දර්ශනයක් එක් නිශ්චිත භූමි භාගයකට, ජාතියකට, කුලයකට බෙදා වෙන් කළ නොහැකි බව යි. ඇය තවදුරටත් පවසා සිටිනුයේ පිරිත් සජ්ඣායනාවන් මෙන් ම තිරික්කුරල් කවි පවා ශ‍්‍රවණයෙහි ලා දෙවිවරුන් ප‍්‍රිය කළ හැකි බව යි.
“සාමා අමර සේම
කන්නගී කෝවලන් ද
සඳ කිඳුරි හා සඳකිඳුරා ද
මිහිදන් විය
එකම දවසක
එකම තැනක
එකම ගින්නක” (49 පිටුව)
ලෝකයේ පුස්තකාල ගිනිගැනීම් සියවස් ගණනාවක් තුළ වරින්වර සිදු වී තිබේ. ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලය, ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය, ජර්මනියේ ඇනා අමාලියා පුස්තකාලය ඉන් කිහිපයකි. යාපනය පුස්තකාලයට මෙම විනාශය උරුම වූයේ හුදු දේශපාලනික සහ වාර්ගික පළිගැනීමක් ලෙස නමුදු ඉන් සමස්ත ලාංකිකයන්ගේ ම දැනුම් පද්ධති එක ම මොහොතක, එක ම දවසක, එක ම ගින්නකින් විනාශ වූ බව කිවිඳිය පවසයි. ප‍්‍රාථමික ශ්‍රේණිවල දී හමු වූ සාමා, අමර, ඉතිහාස පොත්වල හමුවන කන්නගී, කෝවලන්, ජාතක පොතේ හමුවන සඳ කිඳුරා සහ සඳ කිඳුරිය පිළිබඳ සඳහන් සියලු පතපොත ක්ෂණයකින් දැවී අළු වූයේ වර්ගීකරණයකින් තොරව ය.
‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග‍්‍රහය දුලබ තේමාවකින් සුසැදි ය. මෙය නූතන කාව්‍යය තුළ මැදිහත්කාරක කාව්‍ය මාදිලියක් වන චක‍්‍ර නොහොත් මාලා කාව්‍ය (Cycle of poems) ගණයට ඇතුළත් කළ හැකි ය. මින් අදහස් වන්නේ කවියකු කිසියම් කාලසීමාවක් තුළ එක් තේමාවක් ස්වකීය ප‍්‍රස්තුතය කර ගනිමින් ඊට නාභිගත ව සිදු කරන කාව්‍යකරණය යි. විශ්ව සාහිත්‍යය තුළ පුස්තකාල ගිනිගැනීම් සම්බන්ධ ව ප‍්‍රබන්ධ නොවන කෘතියක් 2018 වර්ෂයේ දී ප‍්‍රකාශයට පත් විය. ඒ 1986 දී ලොස් ඇන්ජලීස් මධ්‍යම පුස්තකාලයේ ඇතිවූ ගින්න පිළිබඳ ව සුසාන් ඔර්ලියන් විසින් රචිත ‘The library book’ කෘතිය යි. මෙම කෘතිය තුළ එම පුස්තකාලයේ පුළුල් ඉතිහාසය සහ පොදුවේ පුස්තකාල පිළිබඳ ව ඔර්ලියන් තුළ පැවති පෞද්ගලික භක්තියත් නිරූපණය වේ. ඔර්ලියන් තුළ දක්නට ලැබුණු එම ගුණාංග සඳරැසී සුදුසිංහ තුළ ද එලෙසින් ම පැවති බව පහත කවියෙන් පිළිබිඹු වේ.
“අයිතියක් නැත නුඹට
හුස්ම ගන්නට මෙලොව
ගිනිතියා දෙවිවරුන්
බිහි කරන මව්කුසට” (57 පිටුව)
කාව්‍යකරණයේ දී බොහෝ කවීන් අජීවී වස්තූන්ට සජීවත්වයක් ආරෝපණය කරනු ලැබේ. මෙහි දී කිවිඳිය පුස්තකාලය ගිනිබත් වූ මොහොතේ එහි වූ පොතකට සජීවත්වයක් ආරෝපණය කිරීමෙන් ප‍්‍රකට වනුයේ කිවිදියගේ ප‍්‍රතිභාපූර්ණ බව යි.
“පාන්දර සයිරන් නළා හඬ
සමඟ මම ඇහැරිලා බැලූවා
අනේ දෙවියනේ අපේ පවුලම
නිදි ඇඳේ අලූ වෙලා හිටියා” (42 පිටුව)
සංදේශ කාව්‍ය තුළ මෙන් පුද්ගල වර්ණනා රැසක් මෙම කාව්‍ය සංග‍්‍රහයේ ‘ස්මෘති’ පරිච්ඡේදයෙහි හමු වේ. ඒ යාපනය පුස්තකාලයේ නිර්මාතෘ කේ. එම්. චෙල්ලප්පා, නාගරික කොමසාරිස් සී. වී. කේ. සිවඥානම්, ඇල්ෆ‍්‍රඞ් දුරෙයිඅප්පා සහ එවක පුස්තකාලාධිපතිනිය වූ රූපවතී නඩරාජා ඉන් කිහිපදෙනෙකි.
කිවිඳියගේ භාෂා භාවිතය සැලකීමේ දී සරල සුගම මෙන් ම විටෙක බහුශ‍්‍රැත බස් වහරක් උපයුක්ත කොටගන්නා අතර කාව්‍ය රසයට බාධාවක් නොවන පරිදී දමිළ වදන් සහ වාක්‍ය ඛණ්ඩයන් කාව්‍යයන්ට යොදාගෙන තිබේ. සීදනම් (දෑවැද්ද), තාන් (නැවුම්), අඩෙයාලම (සලකුණ), තුක්කම අමංගල් ශබ්දම් (දුක්බරම අසුබ කතාව), එදිකිරිදි යාල් පෝටු නූලකම් (යාපනය පුස්තකාලය ගිනි ගනී), කුරුදී (ලේ), නූලගම් (පුස්තකාලය), සේදිත්තාල් (පත්තර), අක දළ (කඳුළු), තෙන්නිලංගය (දකුණු ලංකාව) යන වදන් මීට නිදර්ශන වේ. කිවිඳිය පුරාවිද්‍යාඥවරියක වන හෙයින් ම ඇය ස්වකීය කාව්‍ය සංග‍්‍රහය තුළ සෙල්ලිපි වදන් භාවිත කරන්නට ඇත. ‘අගත අනගත චතුදිශ….’ කාව්‍ය රචනයේ දී සුභාෂිතය, යශෝදරාවත වැනි පැරණි කාව්‍ය මෙන් ම රැපියෙල් තෙන්නකෝන්ගේ ‘තම්මැන්නා සොහොන’ වැනි නූතන කාව්‍ය කෘති ද කිවිඳිය පරිශීලනය කර ඇත. ඡායාරූප භාවිතය තුළින් අදාළ සිදුවීමෙහි බරපතළකම පාඨකයා වෙත දැන්වීමට කිවිඳිය උත්සාහ කර ඇති බව පෙනෙන්නට තිබේ .
“ගැහැනු ළමයෙක්ගෙ උප්පැන්නෙ ලියද්දිම
දෑවැද්දෙ ප‍්‍රමාණය ලියන්නට
තීරුවක් වෙන් කළොත් නරකද?” (131 පිටුව)
ප‍්‍රධාන යන තේමාවට පරිබාහිර ව කිවිඳිය දුටු සමාජයේ නිෂේධනීය සංකල්ප සහ සමාජ ස්තරායනයන් දැඩි ලෙස ප‍්‍රශ්න කර ඇති බව ප්‍රකට වේ. වැඩිදුරටත් ඇය ප‍්‍රශ්න කරනුයේ“නිදහස් අධ්‍යාපනය යනු අයිසින් ලොසින්ජරයද? සහ “ස්ත‍්‍රී දූෂණය යනු මෙ බිම ඉහළ තනතුරු දෙන ප‍්‍රායෝගික පරීක්ෂණය” ආදී වශයෙනි. (132 පිටුව)
“සමාජයක් හෝ ජනකායක් හෝ සකස් කොට හික්මවමින් උසස් තැනක් කරා යවනු පිණිස දැනටමත් වැඩි බලයක් පාන්නේ ඒ ජනයාගේ සාහිත්‍යය වේ.”
(මානව විද්‍යාව හා සංස්කෘතිය : මාර්ටින් වික‍්‍රමසිංහ, 1974)
ආර්ථික, දේශපාලන, සමාජ සංස්ථා සහ ජනතා සිතුම් පැතුම් ආදී සමාජ බලවේගයන් එකට ගෙන සාහිත්‍යය බිහි වේ. එබැවින් සාහිත්‍ය පෝෂණය වන්නේ සමාජයේ පවතින පුද්ගල හා නිෂ්පුද්ගල බලවේගයන් තුළිනි. කවර ලේඛකයෙකුට වුව ද සමකාලීන සමාජ ඓතිහාසික බලවේගයන්ගේ දූරස්ථ වී ස්වකීය නිර්මාණ සිදු කිරීම අපහසු ය. එකී සාහිත්‍ය කෘති හරහා අදාළ යුගයට අයත් පුද්ගලයින් සතු දුර්වලතා මෙන් ම ප‍්‍රබලතා ද ධ්වනිත වීම ඊට හේතු වේ. සඳරැසී සුදුසිංහ අවධාරණය කරනුයේ 80 දශකයේ පුද්ගල කණ්ඩායමක් තුළ පැවති දුර්වලතාවයක් සමස්ත මානව දැනුම් කෝෂ්ඨාගාරයකට සිදු කළ විනාශයක් පිළිබඳ ව ය. මාර්ටින් වික‍්‍රමසිංහ ඉහතින් සඳහන් කළ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය වන සමාජයක් හෝ ජනකායක් සකස් කොට හික්මවීමේ භාරදූර කර්තව්‍යයට සඳරැසී සුදුසිංහ උරදී තිබේ. ඇයගේ අපේක්ෂාව වනුයේ එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවන අන්දමට ජනතාව හික්මවමින් ඔවුන් උසස් මානව ප‍්‍රගතියක් උදෙසා රැගෙන යාම යි. ජාති, කුලමල, ආගම් බේද දුරලා එක් රටක් එක් පුරවැසියන් කොට්ඨාසයක් ලෙස සිතිය යුතු බවත්, පටු දේශපාලන පළිගැනීම් සහ වාර්ගික අර්බුද සඳහා ජාතික වස්තූන් විනාශ නොකළ යුතු බවත් කිවිඳිය තම කාව්‍ය සංග‍්‍රහය තුළින් අවධාරණය කරන්නීය.
සඳරැසී සුදුසිංහ සිය ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග‍්‍රහය ඔස්සේ ස්වකීය කවීත්වය, දැනුම, උගත්කම සහ බුද්ධිමත්කම මෙන් ම නිර්ව්‍යාජ බව ද කදිමට නිරූපණය කර ඇත. එස්. ටී. කොල්රිජ් නමැති විචාරකයා පැවසූ පරිදි හොඳ ම වචන හොඳ ම පිළිවෙලට යොදමින්, සුමට භාෂා ශෛලියකින් අදූරදර්ශී පාලකයින් සහ අන්තවාදීන්ගේ මුග්ධභාවයෙන් ජාතියට අහිමි වූ මහාර්ඝ දැනුම් සම්භාරය පිළිබඳ ව පහන් සංවේගයෙන් යුතුව තතු ගෙනහැර දැක්වීමට සඳරැසි සුදුසිංහ කිවිඳිය සමත් වී ඇති බව සමස්ත පද්‍ය කෘතිය අධ්‍යයනයෙන් විචාරාත්මක ව පැවසිය හැකි ය.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
