“අපිව දූෂණය කරන්න ඕනෙත් පිරිමින්ටමයි. අපිව දූෂණයෙන් ගලවන්න ඕනෙත් පිරිමින්ටමයි. ඒකවත් අපි තනියම කරගන්නවට පිරිමි කැමති නෑ. ඒ පුරුෂාධිපත්‍යය කියන ලෙඩේ හැටි” (224 පිට).
වීර මාතාවකගෙ ගැබෙහි මෝරන, වීර දරුවෙකු සේ පුරා පිටු 310කට නොඅඩුව දිග හැරෙන මේ නවකතාවේ අන්තර්ගත කතා ද්විත්වයකි. කාල අවකාශ දෙකක තරුණියන් දෙදෙනෙකු වන ‘උමා’ හා ‘සාරා’, ඔවුහු ජීවත්වන සමාජ ගර්භයන්ගේ සමාන වූත් අසමාන වූත් සමාජ සංසිද්ධී ඔස්සේ ඇවිද යති, විටෙක දණ ගාති, තවත් විටෙක නැවතී ගිමන් හරිති එහෙත් කිසිමවිටෙක ඔවුහු පලා නොයති.
උමා හා සාරා නවකතාවේ කතා නායිකාවෝ ය. උමාගේ ජීවිතයත් සාරාගේ ජීවිතයත් කෘතිය පුරා එක් එක් පරිච්ඡේදයට ආවේණික කරමින් සංකලනය කිරීමට කතුවරයා ගෙන ඇති උත්සහය අගය කළ යුතු ය. කතාව ඇරඹෙන්නේ පාඨකයාව වස්තු විෂයෙන් වෙන ම වූ විෂය පථයකට ගෙන ගොස් හුදකලා කර දමමිනි. අනතුරුව, කතුවරයා සංයමයෙන් හෙළි කරන මං සළකුණු පාඨකයාව කතාවේ සන්ධර්භයට ප්‍රවිෂ්ට කරවීමට සමත් වේ.
උමාගේ කතාව ඇරඹෙන්නේ වසර 36කට පමණ පෙරාතුව පැවති ලාංකීය භීෂණ කාල අවකාශය හා සම්බන්ධිතවය. මව, පියා හා සහෝදර සහෝදරයන් සමඟ උමා හැදී වැඩුණ මධ්‍යම පාන්තික කුටුම්භයේ ඇතුළතත් ඉන් පිටත් සිදු වූ කිසිවක් මධ්‍යම ප්‍රමාණික දේවල් වූයේ නැත. උමාගේ ජීවිතය, විටෙක අංශක එකසිය අසූවටත් තවත් විටෙක අංශක තුන්සිය හැටක පරිවර්තනයකටත් ලක් වීමට ගත වන්නේ, ආශ්වාස ප්‍රශ්වාස වේගයක් පමණි. සමාජ සම්මත සමචතුරස්‍ර විශ්වාස හා අගය පද්ධති, සිරිත් විරිත් කිසිවකට තමා කවුද යන්න හැඩගැස්වීමට උමා ඉඩ ලබාදෙන්නේ නැත. තමාව ද රැක ගත නොහැකි ගැමි තරුණියකව සිට තරුණියක් ලෙස පමණක් නොව මනුෂ්‍යයෙකු ලෙස පවා විඳිය හැකි පීඩාකාරී ම අත්දැකීම් මතින් ගොඩනැඟෙන උමා, නවකතාවක දැකිය හැකි තවත් එක් උසස් ම ගණයේ චරිත නිරූපණයකින් යුතු චරිතයක් ලෙස කතුවරයා ගොඩනංවා ඇති ආකාරය විශිෂ්ට බව පවසා සිටිය යුතුම ය.
අනෙක් පසින්, සාරාගේ ජීවිතය අංශක එකසිය අසූවට ද අංශක තුන්සිය හැටට ද, කිනම් ලෙස පරිවර්තනය වුව ද එය නැවත පැවති ප්‍රකෘතියට ගෙන ඒමට හෝ පැවති ප්‍රකෘතිය නවීකරණය කරමින් තම ජීවිතය තමාගේ ම බව ලොවටම හඬ ගෑමට සාරා අරගල කරන්නී ය.
විඳවීමෙන් පවා ජීවිතයේ විඳීම ම පමණක් සෙවීමට වෙහෙසන උමාත් සාරාත් මිනිස් දූවරු වුව ද තම ආත්ම අභ්‍යන්තරය ෆීනික්ස් පක්ෂියෙක් හා සම යැයි දැවෙමින් ඉපදෙමින් පමණක් නොව ඒ අළු මත අභිමානවත්ව සිටගෙන ලොවට ම කියා පෑමට සමත් වේ.
අධ්‍යාත්මික ඉගැන්වීම් ඔස්සේ බහුලව සාකච්ඡා වන මනුෂ්‍යයෙක් තුළ පවතින ස්ත්‍රී ශක්තිය (Feminine energy) සහ පුරුෂ ශක්තිය (Masculine energy), ‘ඩුඕ’ හි එකම ස්ත්‍රී ආත්මයක සිට ශරීර දෙකකට බෙදී වෙන්ව ජීවන පරිධිය වටා දිව යන ආකාරයක් ද දැකගත හැකිය. උමා ස්ත්‍රී ශක්තිය (Femine energy) කේන්ද්‍ර ගත කරමින් ද සාරා, පුරුෂ ශක්තිය (Masculine energy) කේන්ද්‍ර ගත කරමින් ද, ජීවිතයේ අභියෝග හා ගැටෙන ආකාරය කතාව පුරාවට ම දැකගත හැකි ය.
සිද්ධියකට සිද්ධියක් බිඳිය නොහැකි ආකාරයෙන් දම්වැලක පුරුක් සේ එක් කිරීමත් එම අවස්ථා හා සිද්ධි ජල ප්‍රවාහයක් සේ කතාවේ ආරම්භයේ සිට අවසානය තෙක් ම ගලා යාමත් කතුවරයා සතු පරිකල්පනාත්මක හා නිර්මාණාත්මක සහජ හැකියාව මනාව ඉස්මතු කර පෙන්වන්නකි.
‘ඩුඕ’ හි පරිච්ඡේද 68ක්, 310කට නොඅඩු වූ පිටු ප්‍රමාණයක අන්තර්ගත වී ඇත. එහි සෑම පරිච්ඡේදයක පවතින සංක්ෂිප්ත බව ප්‍රබන්ධය මනා පිටු පෙරළුමක් (Page turner) බවට පත් කිරීමට මූලික වූ හේතුවක් යැයි සිතිය හැකි ය. එහෙත්, පරිච්ජේදවල සංක්ෂිප්ත බව පරිච්ඡේදයක ගැබ්ව ඇති අන්තර්ගතයේ දැක ගැනීමට නොහැකි වීම කතුවරයා සතු නිර්මාණාත්මක හැකියාව නැවත ඉස්මතු කර පෙන්වන්නකි. සුරත් ද මැල්ගේ, ප්‍රබන්ධයේ පරිච්ඡේද ගොනු කිරීම රතිඤ්ඤා වැලකට ගින්දර තැබීමට දෙවැනි නොවේ. ගිනි පුළිඟුවේ ආරම්භය මඳ වේගයකින් ඇරඹුන මුත් ගිනි පුළිඟුවේ උණුසුම හා සිදු කළ හැකි කාර්යයේ ප්‍රබලතාව සුළුපටු නොවන බව ප්‍රත්‍යක්ෂ වන්නේ,එකකට එකක් නොදෙවෙනිව හෙණ හඩ නඟමින් පුපුරාගෙන යන රතිඤ්ඤා බඳු සිද්ධි දාමය සහෘද මනස අධිකම්පනීය ට්‍රෝමාවක් සමඟ අතරමං කර දමන හෙයිනි. එහෙත් ඒ කිසිත් නොවූවා සේ ඊළඟ පරිච්ඡේදය වෙනත් කාල අවකාශයක් ඔස්සේ ගොඩනඟමින් සුරත් ද මැල් ඇතිකරන්නේ ඩිස්නිලන්තයක් බඳු හැඟීමකි. ‘ඩුඕ’ යනු සුරත් ද මැල්, බළල් වෙස් ගෙන පාඨක හැඟීම් නම් මූසිකයන් සෙල්ලමට ගෙන ඉහළ පහළ විසි කරමින්, තළා පෙළා දමමින් ප්‍රීති වීමේ ප්‍රහර්ෂය විඳීමට ගත් වෑයමක් බව පැවසීමේ ද වරදක් නැත. එමෙන්ම ඔහු එය සාර්ථකව ජය ගෙන ඇති බව ද නවකතාව කියවා රසවිඳින ඕනෑම අයෙකුට ප්‍රත්‍යක්ෂ වන කරුණකි. කතුවරයාගේ බසෙහි වූ රසාලිප්ත සංක්ෂිප්ත බව, සිංහල සම්භාව්‍යය සාහිත්‍යයේ ‘අමාවතුර’ රචනයෙන් ගුරුළුගෝමීන්ති ඇති කළ ‘රසාලිප්ත සංක්ෂිප්ත බස’ නම් රචනා විධිය සිහි ගන්වන්නකි. 49වන පරිච්ඡේදය පිටු තුනකට සීමා වුව ද කතුවරයාගේ බසෙහි වූ එකී රසාලිප්ත සංක්ෂිප්ත බව, අන්තර්ගත සිද්ධි දාමය යථෝක්ත පැවසූ රතිඤ්ඤා සේ පුපුරුවා හැර ඇත්තේ මෙසේ ය.
“චූදිත මාවෝ නඩුකාරයා බවට පත් වී තීන්දුවක් දුන් නිසා නිමල් තාවකාලිකව පසු බැස්සා. එහෙත් පළිගැනීමේ චේතනාව අත් නොහළ නිමල් මාස කීපයකට පසු පොලිසියට ඔත්තුව දුන්නා. පොලිසියෙන් එයාට තොත්තුවක් දුන්නා. නිමල් ඉහින්න තමාගේ වල තමාම කපා ගත්තා. මාවෝ වෙනුවට කබල් ලොරියක් නිමල් ගිය බුලත් කොහුපිටිය පාරේ ගියා. ඒකේ නැඟල නිමල් එලොව ගියා” (229 පිට).
‘ඩුඕ’ (Duo) ලෙස නම් කිරීමෙන් ම කතුවරයා නවකතාව ද්විත්ව ප්‍රතිපාර්ශවීය කර තිබීම, එකකට සාපේක්ෂව අනෙක තේරුම් ගැනීමට පාඨකයාට කළ පෙළඹවීමක් යැයි සිතිය හැකි ය. එහි දී, සාරා හා උමා ජීවත් වන සමාජ ගර්භවල වෙනස, ඔවුන්ගේ පවුල්වල හා සිත්වල මුල් බැස ඇති විශ්වාස පද්ධතිවල වෙනස, තම හිතෛශීන්ගෙන් ලබන මානසික ශාරීරික හා භාවාත්මක සහයේ පවතින වෙනස මෙහි දී විශේෂව ම අවධාරණය කළ හැකි කරුණු ලෙස දැක්විය හැකි ය. පද්ධතියේ කුඩාම ඒකක වන පරමාණුවේ සිට මිනිස්සු, මිනිස් තීරණ, මිනිස් ක්‍රියාකාරකම් ආදී ලෙස අනෙකුත් විශ්වයේ පවතින සෑම දෙයක්ම ද එකිනෙකට සම්බන්ධිත බව මෙහි සඳහන් කරුණු ත්‍රිත්වය නවකතාව ඔස්සේ සියුම්ව විශ්ලේෂණය කරන්නෙකුට අවබෝධ කරගත හැකි ය.
නවකතාවේ ප්‍රධාන චරිත ලෙසින් උමා හා සාරා ඔස්සේ සුරත් ද මැල් පාඨකයා වෙත ගෙන එන විශ්ෂ්ට චරිත නිරූපණයට අමතරව නවකතාවේ හමුවන අවශේෂ චරිත ද අමතක කළ නොහැක. විවිධ සමාජ භූමිකාවන්ගෙන් පැමිණෙන, විවිධ මානසික තලයන් සහිත මිනිසුන් මෙන්ම වෘත්තියෙන්, ලිංගික දිශානතියෙන්, රුචි අරුචිකම්වලින්, දේශපාලන මතවාදවලින්, ධනයෙන්, බලයෙන්, බුද්ධිමත් බවින් මෙන්ම මානුෂීයත්වයෙන් පවා එකිනෙක වෙනස් හා අනන්‍ය ගති ලක්ෂණ රැගත් චරිත ගණනාවක් පරිච්ඡේද 68ක් පුරා විහිදෙන නවකතාවෙන් පාඨකයා හමුවට කතුවරයා රැගෙන ඒමට සමත් වේ. සෑම චරිතයක ම දැකිය හැකි අව්‍යාජත්වය හා විශ්වසනීයත්වය, වරද හෝ නිවරද කුමක්දැයි පෙරළා සහෘද පාඨකයාගෙන් අසන පැණයයි. නවකතාවේ මුල සිට අග දක්වා සෑම චරිතයක් ම හා ආත්මීයව බැඳී ඔවුන් හා සමාන්තරව ඇවිද යන පාඨකයා පෙරළා අසන විශ්වීය පැණය ද වරද හෝ නිවරද කුමක්ද යන්නයි. මනුෂ්‍යයන් තුළ ද, මනුෂ්‍ය සම්බන්ධතා තුළ ද, මනුෂ්‍ය සිතුම් පැතුම්, ක්‍රියාකාරකම් සියල්ලක් ම තුළ ද ගැබ්ව ඇති සංකීර්ණත්වය කවරාකාරදැයි පෙන්වා දීමට කතුවරයා ගෙන ඇති උත්සාහය විශිෂ්ට ය. ආරම්භයේ සිට අවසානය තෙක් ම කතා වින්‍යාසය තුළ පාඨක විශ්වසනීයත්වය ද ඉහළ නංවමින්, රෝලකෝස්ටර සංචාරයක ගෙන යන පාඨක හැඟීම් 68වන පරිච්ඡේදයෙන් අවසන් වන සේ කතුවරයා ගොඩනංවා ඇති සිද්ධි දාමය හා චරිත නිරූපණය විශිෂ්ඨ ය.
සංකේතමය, ද්වි-අරුත් සහිත, සියුම්ව හාස්‍ය උපහාසය රැගෙන සංක්ෂිප්ත වැකි මඟින් උපයුක්ත වස්තු විෂය නවකතාවක් ලෙස ගොඩනැංවීමටත් එය පාඨක රසවින්දනය උච්චත්වයට ගෙන යාමටත් සමත් ලෙස සුරත් ද මැල් උපයෝගී කරගෙන තිබෙන භාෂාව අගය කළ යුතුම ය.
“දවසක් උමා තර්ක ශාස්ත්‍රය අතිරේක පන්තියට නොගොස් නුවන් සමඟ කුරුලු කැලේ කෙළවර කාටත් වැඩිය නොපෙනෙන තැනක පිහිටි සල් ගසක් මුල හිටියේ තර්කයට ගෝචර නොවන පෙම්රස බලමින්. තර්කාභ්‍යාසයක් සේ තැම්බෙන්නත් ඉස්සර ලිපෙන් බාපු අමු තිත්ත කුණුහරුප වරුසාවක් ළඟ ළඟම වහින්න ගත්තා. උමාලත් හීනීයට ඒකට තෙමෙන්න ගත්තා. උමා ගහේ අතු දෙකක් ඈත් කර බැලුවා. කෙනෙක් ‘ඔබ පෙම් කරනා ඔබේ ඔබේ කුමාරි මට ද ආදරේ කියා තිබේ’ ගීතය ඇසැබි බසින් ගයමින් උන්නා” (63 පිට).
“සිහිසුන් වූ ලලිතව ඇතුළත් කළා රෝහලට. ඇයට හෘදයාබාධයක් වැළදිලා. පසුව ඇගේ හෘදය සුව වුණා. හදවත් වැළලුණා” (31 පිට).
පූර්ව අපර සන්ධි ගළපමින් කතුවරයා කතාංගයේ නිමාව සනිටුහන් කරන ආකාරය නව්‍ය හැඟීමක් හද තුළ ඇති කරවන්නකි. ‘පිරිමි ලෝකයක් තුළ විමුක්තිය සොයන තරුණියන්ගේ කතන්දරය’ ඩුඕ ලෙසින් ස්ත්‍රීවාදී දෘෂ්ටියක් ඔස්සේ රචනා කරන සුරත් ද මැල්, ස්ත්‍රිය, ස්ත්‍රිය වීමෙහිලා මානසිකව, කායිකව, අධ්‍යාත්මිකව ආදී වශයෙන් විඳි පීඩා හෝ වර්තමානයේ ද විඳිමින් සිටින පීඩා ගැඹුරු තලයකින් හෙළි කර නවතින්නේ නැත. පුරුෂ හස්තයක් නැතිව හෝ ඇතිව දෙපයින් සිට ගැනීමට ස්ත්‍රිය සතු හැකියාව හෝ නොහැකියාව ලිංග භේදය මත ඇති වන්නක් නොව, හුදෙක් ම එය තමා මානසිකව ශක්තිමත් වීම හෝ නොවීම මත තමා ගන්නා තීරණ මත ම පමණක් සිදු වන්නක් බව සුරත් ද මැල් එකිනෙකට වෙනස් කතා වස්තු දෙකක් සංකලනය කරමින් තම නවකතාව ඔස්සේ පෙන්වා දීමට සමත් වී තිබේ.
ඔහු, පරිච්ඡේද 68ක් පුරා සරලව ම නිර්මාණශීලීව වියමන් කර ඇත්තේ නොනැසී සිටීම නම් ස්වභාදහමේ සනාතනික දහමයි.
“Uma, you have a talent for survival. It’s almost legendary. Live long and shine! ” (311 පිට).
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
