“අර්බුදය යට ගහලා, එහෙම එකක් නෑ වගේ ඉන්න පුළුවන්” – මොහාන් ධර්මරත්න

අද අපේ කතාබහට එකතු වන්නේ කතුවරයකු මෙන්ම පරිවර්තකයකු වන මොහාන් ධර්මරත්න. ඔහුගේ ස්වතන්ත්‍ර කෘති තුනක් සහ පරිවර්තන කෘති හතරක් මේ වන විට පාඨකයන් අතරට ගොස් තිබෙනවා. මැදපෙරදිග වැඩබිම් සාහිත්‍ය කෘතියක් වන 'කැකෑරෙන වැලි' ඔහුගේ එක් ස්වතන්ත්‍ර නිර්මාණයක්. ඔහු සමග අපේ අද සාකච්ඡාවට පදනම් වන්නේ ඔහුගේ දඩයක්කාරයෝ කෙටිකතා සංග්‍රහයයි.

Q: මුලින්ම ඔබ ලේඛන දිවියට ප්‍රවිෂ්ට වූ ආකාරය පිළිබඳ විස්තරයක් කළොත්?

A: මගේ මවගේ පියා හොඳ කියවන්නෙක්. ඔහු සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකෙහිම ප්‍රවීණයෙක් වගේම භාෂා දෙකෙන්ම කියවීමෙහි යෙදුණා. ඔහු කියවූ පොත්වල කතන්දර මා ඉතාම කුඩා වයසෙදි ළඟින් තියාගෙන කියලා දෙන පුරුද්දක් තිබුණා. පසුකාලෙක, මේවා මට පාසල් අවධියේ ඉඳලම ලියන්න පටන්ගන්න හේතු වෙන්න ඇති. ලිවීමට තිබුණු සහජ කුසලතාව, අටේ පන්තියෙදි විතර ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා පාසලේදි ලැබුණ අවස්ථා එක්ක අඛණ්ඩව පෝෂණය වුණා. ඒ වගේම මගේ සීයා නිසා ගෙදර ඇති වී තිබුණු කියවීමේ පරිසරය, සීයාගේ සහ අම්මාගේ පොත් එකතුව, හැම ඉරිදාම ගෙදර හැමෝම එකතුවෙලා පිටු බෙදාගෙන සති අන්ත පත්තරේ කියවන එක වගේ කියවීමේ ව්‍යාපෘති හින්දා ලිවීමේ කුසලතාව වර්ධනය වෙන්න ඇති. මගේ ලිවීම සම්බන්ධයෙන් අමතක නොකළහැකි තවත් කෙනෙක් තමයි එවකට මාතර රාහුල විද්‍යාලයේ මගේ සිංහල ගුරුතුමා වූ එච්. එබ්ලිව්. කවිරත්න මහත්මයා.

Q: ඔබ බොහෝ අය හඳුනාගෙන සිටින්නේ පරිවර්තකයෙකු විදියට. ඔබගේම ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහයක් පළ කරන්න ඔබ පෙලඹෙන්නෙ ඇයි?

A: ඒක අහම්බෙන් වුණ දෙයක්. ඊට කලින් මම කෙටිකතා රැසක් කියවල තිබුණෙ නෑ. කෙටිකතාව ගැන විවිධ නිර්වචන දැනගෙන හිටියෙත් නෑ. පට්ට ආධුනිකයෙක් කියන්න පුළුවන්. කෙටිකතා හැටියට කියවල තිබුණෙ 1960 ගණන්වල අගභාගයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මගේ අම්මාගේ බැච් එකේ ශිෂ්‍ය ශිෂාවන්ගේ කෙටිකතා නිර්මාණ ඇතුළත් කෙටිකතා සංග්‍රහයක් ‘පාර තළන රෝල’ කියල; ඒකෙ තිබුණු කතාවලට මම වශී වුණා – මේක කියවද්දි මගේ වයස 12ක් විතර ඇති මං හිතන්නේ, ඊට පස්සේ තරුණයෙක් විදියට රුසියානු සහ සෝවියට් කෙටිකතා කියෙව්වා.

කොවිඩ්-19 කාලේ ගෙදරට වෙලා ඉන්නකොට කම්මැලිකම යන්න කෙටිකතා ලියන්න ඕන කියල අදහසක් ඇති වුණා. පළවෙනි කතාව ලිව්වට පස්සේ මට නොනවත්වාම කෙටිකතා ලියන්න අදහස් ආවා. ඇතැම් මිතුරන්ගෙනුත් එහෙම ලියන්න දිරිගැන්වීම් ලැබුණා. පේරාදෙනිය සරසවියේ මහාචාර්ය සාලිය කුලරත්න මහතා මේ කෙටිකතා කියවලා ඒවා පළකරන්න පෙලඹවීමක් ඇති කළා. මම ඇත්තටම කෙටිකතා ගැන ශාස්ත්‍රීය කියවීමකට ගියේ ‘දඩයක්කාරයෝ’ පළ කළාට පස්සේ දැනුණු තිගැස්මක් නිසයි.

Q: ‘දඩයක්කාරයෝ’ කෙටිකතා සංග්‍රහයට පාඨක⁣යින්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

A: දඩයක්කාරයෝ කියන්නේ ට්‍රයල් එකක් වගේ. මේ කතාවලට මට හොඳ ප්‍රතිචාර දක්වපු මගේ මිතුරන් ඇතුළු සහෘද පිරිස කෙටිකතාව ගැන ගැඹුරින් පිරික්සන්න හැකි අය නෙවෙයි. ඒ අය බොහෝවිට වින්දනයක් ලබන්න පුළුවන් කතාවක් හොයන අය විතරයි. නමුත්, කෙටිකතාව ගැන යම් ප්‍රාමාණික දැනුමක් තිබුණු පුහුණු පාඨකත්වයකින් හෙබි මිතුරෝ මට ඒවයෙ තිබුණු සියුම් අඩුලුහුඬුකම් පෙන්වා දුන්නා. ඊට පස්සෙ මම ලියපු කෙටිකතාවලට හොඳ පදනමක් වැටෙන්නේ මගේ කියවීම සහ දැනුවත් මිතුරන්ගේ ප්‍රතිචාරවලින්. මෙයින් පසුව මම සිංහලෙන් ලියූ කෙටිකතා එකක්වත් තවම මුද්‍රණය වෙලා නෑ. හැබැයි ඒ කෙටිකතාවලින් හතරක් මේ වන විට බංග්ලා බසට පරිවර්තනය වෙලා තියෙනවා. ඉන් තුනක් බංග්ලාදේශයේ පසුගිය වසරේ (2023) පළවූ ‘බොද්ලේ ජවා මුක්’ නැමැති කෙටිකතා සංග්‍රහයට ඇතුළත් වෙනවා. ඒ කෙටිකතා සංග්‍රහය නම් කර තිබෙන්නේ මා රචනා කළ ‘සුනඛසං වරුසාව’ නැමැති කෙටිකතාවේ බොද්ලේ ජවා මුක් නැමැති බංග්ලා පරිවර්තනයේ නමින්මයි.

Q: සිංහල කෙටිකතා කලාවේ හෝ විශ්ව කෙටිකතා කලාවේ ඔබ අනුගමනය කරන හෝ ඔබ වඩාත්ම කැමති කෙටිකතාකරුවා කවුද? ඔහුට හෝ ඇයට ඔබ ප්‍රිය කරන්නේ ඇයි?

එක්කෙනෙක් කියලා කියන්න බෑ. විදේශික කෙටිකතාකරුවන්ගෙන් මම පුෂ්කින් සහ ගෝර්කිට කැමතියි. පුෂ්කින්ගේ කෙටිකතාවල කුතුහලය, ගූඪබව තියෙනව. මම ඒකට කැමතියි. ගෝර්කිගෙ හොඳම කෙටිකතා ටික තියෙන්නෙ ‘මක්සිම් ගෝර්කිගේ තෝරාගත් කෙටිකතා’ කියන කෙටිකතා සංග්‍රහයේ. ඒ කතාවලින් මිනිස්සුන්ගේ ස්වභාවය අමු අමුවේ එළියට ගේනව – මකාර් චුද්රා, මගේ ගමන් සගයා, ඉසෙර්ගීල් මැහැල්ල වගේ කතාවල.

ලාංකික කෙටිකතාකරුවන්ගෙන් මම ප්‍රභාත් ජයසිංහගේ සහ නිශ්ශංක විජේමාන්නගේ ලිවීම්වලට වඩාත් කැමතියි. මේ දෙදෙනාගේ කතා කියවූ පසු මම හුඟක් දුරට කල්පනා කරන්න පෙලඹෙනවා. ඒ කල්පනාව ඇතුළේ ඒ කතාව අස්සෙ තියෙන මං කලින් නොහිතපු මගේ කතා ගොඩක් එළියට එනවා. තව කැමති කෙටිකතාකරුවෝ ඉන්නවා. නව පරපුරේ ලේඛකයකු වන රංගන ආරියදාසගේ කෙටිකතාවලට මම ඉතාමත් කැමතියි.

Q: ‘දඩයක්කාරයෝ’ කෘතියෙහි ඇතුළත් කෙටිකතා බොහොමයකට පාහේ ඔබේ පෞද්ගලික අත්දැකීම් පාදක වී ඇති බවක් පෙනෙනවා. ඒ ගැන සඳහන් කළොත්?

A: ඔය හැම කෙටිකතාවකම යම්කිසි විදියක පෞද්ගලික දෙයක් නැත්තෙ නෑ. ඒක ඇතැම් විට හුදු කල්පනා මාත්‍රයක් විතරක් වෙන්නත් පුළුවන්. සම්පූර්ණයෙන්ම පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන් ලියවුණ කෙටිකතාවක් දඩයක්කාරයෝ තුළ නෑ.

‘කුණු’ කෙටිකතාව සම්පූර්ණයෙන්ම කල්පනා මාත්‍රයක්. යුද්ධය පැවති සමයේ මගේ සේවා ස්ථානය තිබුණෙ කොල්ලුපිටියෙ. දිවා ආහාර විවේකය වෙලාවේ කාර්යාලයෙන් බැහැරට ගිහින් කෑම පැකට්ටුවක් අරගෙන ආපහු කාර්යාලයට එන ගමන් අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදා තිබුණ පොලිස් මුර කුටියක් පහුකරගෙන එන්න තියෙනවා. ඒත් ඒ නිලධාරීන්ට මගේ අතේ තියෙන කෑම පාර්සලේ ගැන වගක් නෑ වගේ. මම හිතුවා, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කෙනෙකුට ඕනනම් තමන්ගෙ පාර්සලේ කෑම පැකට් එකක් වගේ පේන්න අරන් යන්න බැරි නෑ නේද කියල. ඔය සිතිවිල්ල ටිකෙන් ටික දළු දාලා තමයි අවසානයේ බොහෝ කාලයකට පස්සේ ‘කුණු’ ලියන්න හේතු වුණේ.

‘සරුංගලේ’ කෙටිකතාවේ එන යෝධ සරුංගලය හැදීම සහ උඩ යැවීම මගේ කුඩා කාලයේ මතකයක්. ඒ කතාවේ එන පොඩි අංකල් කියන්නේ සැබෑ චරිතයක්. ඔය සරුංගල් කඩන් යන, ඒවා පස්සෙන් මහ දුරක් ගිහින් ආපහු අරන් එන දේවල් හැම සරුංගල් සමයකම සිද්ධ වෙන සාමාන්‍ය දේවල්. අනිත් හැම දෙයක්ම පරිකල්පනයෙන් කළ නිර්මාණයක්. ඒ තරම් දුරකට මගේ ඍජු පෞද්ගලික අත්දැකීම් ඇතුළත් වුණ එකම කෙටිකතාව ‘සරුංගලේ’ විතරයි.

Q: ඔබ ‘දඩයක්කාරයෝ’ කෘතියේ කෙටිකතා පෙළගැස්වීමේදී කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කළාද? ඒ ඇයි?

A: ඔව්. මොකද ඒ කෙටිකතා දිහා බලනකොට මටම හිතුණා මේවා අතර ක්‍රමික වෙනස්වීමක් දකින්න පුළුවන් බව. වඩාත් යථාර්ථවාදී හැඩයක් ඇති කෙටිකතා මුලට අරගෙන, විද්‍යාත්මක කාරණා මත ලියවුණු ඒවා මැද තියලා, තරමක දාර්ශනිකබවක් ඇති කෙටිකතා අන්තිමට පෙළ ගැස්වූවා, පාඨකයා ටිකෙන් ටික ගැඹුරට ගෙනියන විදියට.

Q: විද්‍යා ප්‍රබන්ධමය කෙටිකතා රචනයට ඔබ රුචිකත්වයක් දක්වනවාද? විද්‍යාත්මක කාරණා කෙටිකතා රචනයට යොදා ගැනීමේ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොමද?

A: ඇත්තටම ඒකෙන් මම ලොකු වින්දනයක් ලබනවා. What if…? කියල යමක් ගැන කල්පනා කළොත් ඒක හොඳ විද්‍යා ප්‍රබන්ධයකට මුල වෙන්න පුළුවන්. මේ විදියට හිතනකොට එන අදහස් හරියට පිස්සන්ගේ සිතිවිලි වගේ. හැබැයි එක කාලෙකදි කවදාවත් කරන්න බැරි දේවල් වගේ පෙනුණු රොකට් යානා, පෘථිවියෙන් පිටතට යාම, ජාත්‍යන්තර ඍජු දුරකථන ඇමතුම්, ඉගෙනගන්නා යන්ත්‍ර වගේ බොහොමයක් දේවල්වල මූල බීජ පර්යේෂකයන්ගේ හිතට ඇතුළු වෙන්නේ විද්‍යා ප්‍රබන්ධමය කෙටිකතා තුළින් තමයි. මේක හොඳ ප්‍රවණතාවක්. හැබැයි කෙනෙක් හිතන්න හොඳ නෑ විද්‍යා ප්‍රබන්ධයක ඉන්න චරිතවලට විදේශික නම් තියෙන්න ඕනය, ඒකේ සිද්ධි සිදුවෙන්න ඕන වෙන රටකය, ඒවයෙ රොබෝලා, විද්‍යාගාර, පිටසක්වල ජීවීන් වගේ දේවල් තියෙන්න ඕනය කියල. විද්‍යාව කියන්නේ ඒවා නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාවකට හෝ නවකතාවකට සුදුසු අමුද්‍රව්‍ය මේ ලංකාවේ අපේ අවටම තියෙනවා. ඒවා පරිකල්පනයෙන් අල්ලගන්න එකයි වෙන්න ඕන. උම්මග්ග ජාතකයේ එන මහෞෂධ පඬිතුමාගේ උමං කර්මාන්තය පිළිබඳ විස්තරයේ, “එක් ඇණයක් මිරිකාලූ සැණින් සියළු පහන් නිවී යන්නේය” වගේ දේවල්වල තියන්නෙ විද්‍යා ප්‍රබන්ධයක හැඩරුව. ක්‍රිස්තු පූර්ව 500 දි විතර දේශනා කළායැයි සැලකෙන මේ කථාවේ විදුලිබලය භාවිත කිරීමක් ගැනයි සඳහන් වෙන්නේ. එතකොට ඒක සිදුවුණ ශිෂ්ටාචාරය මොන වගේ දියුණු එකක්ද? බෞද්ධ සාහිත්‍යයේත් අපට හමුවෙනවා විද්‍යා ප්‍රබන්ධවලට හොඳ වස්තු බීජ.

Q: වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් මුහුණු පොතෙහි සිය කෙටිකතා රචනා කරනවා. කෙටිකතාවලටම වෙන්වූ සමූහ පවා පවතිනවා. මුහුණු පොතට කෙටිකතා රචනා කිරීම සම්බන්ධව ඔබ දරන ආකල්පය මොන වගේද?

A: නරකයි කියන්න බෑ. මගේ මුල් කෙටිකතා එහෙමත් මුහුණු පොතේ මම පළකළා. වෙන්න පුළුවන් නරකම දේ තමයි මිතුරන්ගෙන් ලැබෙන ප්‍රශංසාව සැබෑ එකක් නොවුණොත් රචකයා මුළාවකට වැටෙන එක. එහෙම වෙලා, තමන් හොඳ රචකයෙක් කියල ව්‍යාජ තක්සේරුවක ඉන්න ඇතැම් අය මට හමුවෙලා තියෙනවා. ඒගොල්ලන්ට ඒ හැඟීමෙන් මිදෙන්න බැරුව ඉන්නේ. වැදගත්ම දේ තමයි ප්‍රශංසාවෙන් ඇඳගන්නෙ නැතුව ඉඳීම. ලේඛකයෙක් මොනවා ලිව්වත්, ඒවා ලියන්නේ තමාගේත් පාඨක පිරිසකගේත් වින්දනය සඳහා මිසක් ප්‍රශංසා බලාගෙන වෙන්න බැහැ. ලියන දේ දිනෙන් දින ගුණාත්මකබවින් වැඩි කරගන්න මහන්සි වෙනවා මිසක, පැසසුම් හෝ වෙනත් දේවල් ගැන බලාපොරොත්තුවෙන් ලිවිය යුතු නෑ. මුහුණු පොතෙන් බිහිවූ, හොඳ නිර්මාණ කරපු ලේඛක ලේඛිකාවන් ඉන්නවා. මම හිතන්නේ ඒ අය අර ව්‍යාජ ප්‍රශංසාවෙන් මුළා නොවුණ අයයි කියල.

Q: සිංහල කෙටිකතාවලට සම්භාව්‍ය සාහිත්‍යය, ත්‍රිපිටකය සහ ජනශ්‍රැති යනාදියෙන් ලබාගත හැකි ආලෝකය ගැන ඔබ මොකද හිතන්නේ?

සම්භාව්‍ය සාහිත්‍යයේ එන චරිත, සිදුවීම්, සහ ජනශ්‍රැතිවල එන මායාමය ලක්ෂණ කෙටිකතාවකට නව රූපක හදාගන්න උදව් කරගන්න පුළුවන්. ඒවා අසා හෝ කියවා තිබෙන කෙනෙකුට, එමගින් කෙටිකතාවක පාඨක අත්දැකීම තීව්‍ර කරන්න පුළුවන්. මට හිතෙනවා ග්‍රීක, හින්දු පුරාණෝක්ති, ත්‍රිපිටකයේ එන කර්මය, පුනර්භවය, ලෝක විෂය සම්බන්ධයෙන් බුද්ධ දේශනාවේ සඳහන්වන ඇතැම් කරුණු, ‘කැලේ බණ්ඩාර’, ‘රත්නකම්බිලි’, ‘කඩවර’ වැනි ජනශ්‍රැතිවල කෙටිකතාවකට – මට නම් විද්‍යා ප්‍රබන්ධයකට – හොඳ අඩුම කුඩුම තියෙනව කියල.

ප්‍රභාත් ජයසිංහගේ ‘දකුණු පියයුර’ , රංගන ආරියදාසගේ ‘මෙකල කිසිවෙකුත් කෙහෙල් ලෙලි මතින් ලිස්සා වැටෙන්නේ නැත’, ගිහාන් සචින්තගේ ‘ලිලිත් සහ ලිලී මල්’, මක්සිම් ගෝර්කිගේ ‘ඉසෙර්ගීල් මැහැල්ල’ , ගාර්ෂියා මාකේස්ගේ ‘A Very Old Man With Enormous Wings’ වගේ කෙටිකතාවලට පුරාණෝක්ති, ජනශ්‍රැති සහ දේව කථාවල ආභාසය ලැබිල තියෙනවා.

Q: ඔබගේ දෙවන කෙටිකතා සංග්‍රහය පිළිබඳව හෝ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා සංග්‍රහයක් පිළිබඳව අපට බලාපොරොත්තුවක් තබාගත හැකිද?

A: කෙටිකතා සංග්‍රහයකට කෙටිකතා එකතු වෙමින් තිබෙනවා. ඒවා අතර විද්‍යා ප්‍රබන්ධත් තියේවි. ඒවා මොන විදියට සංග්‍රහ කරලා එළි දකීවිද කියලා දැන්ම කියන්න අමාරුයි. කොහොම වුණත්, විද්‍යාත්මක දැනුම ඉහළින්ම තියෙන පිරිසකට විතරක් වැටහෙන විදියේ ‘හාර්ඩ්කෝ’ විද්‍යා ප්‍රබන්ධ ලියන්න මගේ අදහසක් නෑ. ඒ වෙනුවට, ස්ටීවන් ස්පීල්බර්ග් කියන විදියට අපි වගේ පෘථග්ජනයින් අතරේ අප අවට සිදුවිය හැකි දේවල් තමයි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ.

Q: සමකාලීන සමාජ අර්බුද පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමෙහිලා කෙටිකතාව යොදාගත හැකි ආකාරය පිළිබඳව සඳහන් කළොත්?

බොහෝ විට මානවීය අර්බුද හංගලා යටගහන සිරිතක් අපේ සමාජයේ තියෙනව. අර්බුදය වහලා තිබ්බම එහෙම අර්බුදයක් නෑ වගේ ඉන්න පුළුවන් නේ. නමුත් ඒකේ ප්‍රතිඵලය භයානකයි. කෙටිකතාව ස්වභාවයෙන්ම මේ වගේ හංගපු දේවල් නිරාවරණය කරන්න යොදාගන්න පුළුවන්.

උදාහරණයක් කිව්වොත්, ප්‍රභාත් ජයසිංහගේ ‘මකර තොරණ’ කෙටිකතාවේ හතර පෝයට සිල් සමාදන් වෙන උපාසක මහත්තයාට සිද්ධ වෙනවා පන්සලේ මකර තොරණේ ඉන්න මකරාට කන්න පණ ගැහෙන මාලු ගෙනැත් දෙන්න. පන්සලේ ආරක්ෂාවට ඉන්න මකරා යන්න ගියොත් කියල බයට, උපාසක මහත්තයට සිද්ධ වෙනවා හොරෙන් මාලු බාන්න. සිස්ටම් එක රැකගන්න මිනිස්සුන්ට තමන්ගේ ප්‍රතිපත්ති පාවාදෙන්න සිද්ධවීම ගැනයි, එහෙම පාවාදීලා මොකුත් වුණේ නෑ වගේ ඉඳීම ගැනයි මේ කියන්නෙ.

ඒ වගේම තමයි මාකේස්ගේ ‘A Very Old Man With Enormous Wings’ කෙටිකතාවේ (මේ කෙටිකතාව මා පරිවර්තනය කළා ‘නිදහස් වීම‘ නමින්) පෙලායෝගේ ගෙදරට කඩාවැටෙන දේවදූතයා එක්ක ලතින් භාෂාවෙන් කතාකරන්න හදලා අසාර්ථක වෙන ගොන්ගාසා පියතුමා කියන්නේ දෙවියන්ගේ භාෂාව කතා කරන්න බැරි මොහු දේවදූතයෙක් වෙන්න බෑ කියලයි. දෙවියන් වෙනුවෙන්ම පවත්වාගෙන යන සිස්ටම් එකක් ඇතුළේ පවා හැබෑ දේවදූතයෙක් බොරුකාරයෙක් වෙන්න පුළුවන් බව ඒකෙන් පාඨකයාට මතක් කරදෙනවා.

Q: ආධුනික කෙටිකතාකරුවෙකුට තම ප්‍රථම කෙටිකතා සංග්‍රහය ප්‍රකාශයට පත් කිරීමේදී එල්ල වන අභියෝග මොනවාද?

මේක සංකීර්ණ තත්වයක්. එක පැත්තකින් ග්‍රන්ථ ප්‍රකාශකයෝ කෙටිකතා පොත්වලට වෙළඳ වටිනාකමක් නැහැ කියලා ඒවා ප්‍රකාශනයට බාරගැනීම අවම කර තිබෙනවා. ඔවුන් නිතරම බලන්නේ නමගිය කෙටිකතාකරුවන්ගේ කෙටිකතා පමණක් ප්‍රකාශනය කරන්න. මොකද ඒවා විකුණන්න පුළුවන්. කෙටිකතා ටිකක් ප්‍රකාශකයකුට ඉදිරිපත් කළාම අහන්නේ, ‘අයියෝ නවකතාවක් නැද්ද?’ කියලා. මේ ප්‍රවණතාව නිසා කියවීමට කෙටිකතා පොත් ඇත්තේ අඩු ප්‍රමාණයක්.

අනිත් අතට පාඨකයාත් පොතේ පිටු ගණනට සාපේක්ෂව ඒකෙ මිළ සලකා බලන ස්වභාවයක් පේනවා. කෙටිකතා පොතක් ගන්න යන වියදමට තව ටිකක් එකතු කරලා නවකතාවක්ම ගන්නවා කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි කෙටිකතාවේ රසය වෙනමම එකක්. නවකතාව ටෙස්ට් මැච් එකක් නම් කෙටිකතාව T-20 එකක් වගේ. ඒ රසය වෙන කිසිම දේකින් ලබන්න බෑ.

Q: නිර්මාණකරණයේදී ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ මොනවා ගැනද?

හැම නිර්මාණයකදීම මගේ මූලික උත්සාහය වුණේ පාඨකයාට මැදින් අතහැර දමන්න නොහිතෙන, බාධා රහිතව කියවිය හැකි නිර්මාණයක් බිහි කිරීමයි. එය සාර්ථක වී තියෙනවාද කියා පාඨකයන් තමයි කියන්න ඕන.

Q: සාහිත්‍ය ශානර අතරින් කෙටිකතාව විෂයෙහි පවතින පාඨක නැඹුරුව ඔබ දකින්නේ කොහොමද?

කෙටිකතාව මේ වෙද්දි තාක්ෂණිකව නවකතාව පහුකරගෙන ඉදිරියට ගිහින් තියෙනව කියල මම හිතනව. නූතන කෙටිකතාව කියවන්න පුහුණු පාඨකයෙක් අවශ්‍යයි. ඒ හින්දා තවමත් පැරණි කෙටිකතා ආකෘතිවල හෝ සරල කෙටිකතාව තුළ හිරවී ලියන කෙටිකතාවලට පුහුණු කෙටිකතා පාඨකයන් අතර පය ගහන්න තැනක් නෑ. කෙටිකතාවක් කියන්නේ කෙටියෙන් ලියන කතාවකට නෙවෙයි. දැනුවත් ප්‍රකාශකයන් සහ පාඨකයන් අතින් බොහෝවිට මෙවැනි කෙටිකතා ප්‍රතික්ෂේප වීම සිදුවන්නේත් මේ නිසා.

Q: ලංකාවේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයෙන් රචකයින්ට ලැබෙන සහයෝගය ගැන ඔබ තෘප්තිමත්ද? එහි සංවර්ධනය විය යුතු දේවල් පවතිනවාද?

මේ ගැන ටිකක් දීර්ඝව කියන්න ඕන. පොදුවේ ගත්තම තෘප්තිමත් වෙන්න බෑ. ලංකාවේ ප්‍රකාශකයන් වැඩි දෙනෙක් තමන් ප්‍රකාශයට පත්කරන පොත් පාඨකයන් අතරට ගෙනයන්න ඕනෑ කියල හිතන්නෙ නෑ. පාඨකයෝ පොත් හොයාගෙන ඇවිත් සල්ලි දීලා පොත් අරන් යාවි කියලා ඒ අය හිතන බවක් පේන්න තියෙනවා. සමහර ප්‍රකාශන ආයතනවලට ගිහින් ඔවුන්ගේ ප්‍රකාශනයක් ගැන විමසීමක් කළත්, එහෙම පොතක් තියෙනවද කියා පාඨකයාගෙන්ම අහන අවස්ථා තියෙනවා.

ඉතින් ඔබවහන්සේ මගෙන් අහපු මේ ප්‍රශ්නය තුළම තිබෙනවා ප්‍රශ්නය මොකක්ද කියල. අපේ ලේඛකයා ලිවීමට අමතරව තමන්ගේ නිර්මාණය විකුණගන්න ප්‍රකාශකයාගෙන් ප්‍රකාශකයාට ඇවිදින එක නවතින්න ඕන. බටහිර ලේඛකයා කරන්නේ නිර්මාණකරණයේ යෙදීම පමණයි. ඔහුව, ඔහුගේ නිර්මාණය ප්‍රකාශකයෙකුට සම්බන්ධ කරවන්නේ සාහිත්‍ය නියෝජිතායතනය, නැතිනම් literary agency විසින්. කෘතියක් පාඨකයන් අතරට ගෙනයාමට වගේම, නවක ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ උසස් මට්ටමකට රැගෙන ඒමට අවශ්‍ය සාහිත්‍යයික මඟපෙන්වීම් කිරීමත් සාහිත්‍ය නියෝජිතායතන විසිනුයි කෙරෙන්නේ. ඒවා නොමිලයේ මෙන්ම යම් ගාස්තුවකට යටත්ව සිදු කරනවා.

තමන්ගේ නිර්මාණය ප්‍රතික්ෂේප වෙනකොට ලේඛකයාට ආතතියක් ඇති වෙනවා. සමහරවිට ඔහු හෝ ඇය ඒ හින්දාම ආයෙත් ලියන්නෙ නැති වෙන්නත් පුළුවන්. ලාංකික ලේඛක ප්‍රජාවට නම්, බෙල්ජියමේ බ්‍රසල්ස් හි ලියාපදිංචි The Asian Literary Agency සාහිත්‍ය නියෝජිතායතනයේ ශාඛාවක් තිබෙනවා. වෙනත් රටවල, අපේ අසල්වැසි ඉන්දියාවේ පවා ලේඛකයෝ සාහිත්‍ය නියෝජිතායතනයක් හරහා තමයි ප්‍රකාශකයා එක්ක සම්බන්ධ වෙන්නේ. ලේඛකයාගේ හැම ගැටලුවකදීම සාහිත්‍ය නියෝජිතායතනය තමයි මැදිහත් වෙන්නෙ. ලේඛකයන්ට තියෙන්නේ ලිවීම විතරයි. ඉතිරි සියලු දේ කරන්නේ ඔහුගේ හෝ ඇයගේ සාහිත්‍ය නියෝජිතයා.

Q: අවසාන වශයෙන්, ලේඛකයෙක්, පරිවර්තකයෙක් විදියට ඔබගේ අනාගත අපේක්ෂාවන් මොනවාද?

මිනිස්සු වෙනස්කරන්න පුළුවන්, මිනිස්සුන්ට වෙනස්වෙන්න සිය ඇතුළාන්තයෙන්ම බල කරන ශ්‍රේෂ්ඨ නවකතා කීපයක් පරිවර්තනය කරන්න ඉදිරි අවුරුදු කීපය තුළ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාවේ මෙතෙක් ලියා නැති තේමා ඔස්සේ ස්වතන්ත්‍ර නවකතා කිහිපයක් ලියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment