සම්මානලාභී ලාංකික නවකතාකාරියක වන විරාජිනී තෙන්නකෝන් සමග අද අප කතාබහක යෙදෙන්නේ ඇය තවත් සම්මාන වටයක මුවවිට සිටින අතරයි. නවකතා තුනක සහ කෙටිකතා සංග්‍රහ දෙකක කතුවරිය වන ඇගේ සියලුම කෘති ලංකාවේ ප්‍රකට සම්මාන උලෙළවල ජයග්‍රහණ ලබා හෝ කෙටිලැයිස්තුව දක්වා පැමිණ හෝ තිබීමෙන්ම ඇගේ ලේඛන කෞශල්‍යයේ වපසරිය ප්‍රකට කෙරෙනවා. The Asian Review Sinhala වෙනුවෙන් අද ඈ සමග අපේ කතාබහ 'මකරානන්දය' නවකතාව මත පදනම් වෙනවා.
Q. වෘත්තියක නියැලෙන කෙනෙක් විදියට ලේඛන කටයුතු සඳහා ඔබ කාලය කළමනාකරණය කර ගන්නෙ කොහොමද?
A.මම පූර්ණකාලීනව ලේඛනයේ යෙදෙන කෙනෙක් නෙමෙයි. ඒක නිසා ලිවීමෙිදී කාලය කරගැනීම පිළිබදව මම වැනි ලේඛිකාවක් විවිධ පුරුදු ඇති කරගැනීම වැදගත්. පුරුදු කියන එකෙන් මම අදහස් කළේ රැකියාව අතරතුර ලේඛනයේ යෙදිය හැකි ආකාරයේ වැඩපිළිවෙළක් අප වැන්නවුන් සොයා ගත යුතුයි කියන එකයි. ඒ අනුව මට පුළුවන් වෙලා තියෙනවා ඕනෑම පරිසරයක, ඕනෑම අවස්ථාවක, ඕනෑම කාල විපර්යාසයකදී ලිවීමට. මට අවශ්‍ය වන්නේ නිර්මාණාවේශය පමණයි. ඒ නිසා කාලය කළමනාකරණය ස්වභාවිකව සිද්ධ වෙනවා.
Q. ඔබ මුලින්ම සාහිත්‍යකරණයට ප්‍රවිෂ්ට වෙන්නෙ කෙටිකතාකාරිනියක විදියට. ඔබේ ලේඛන දිවිය ආරම්භ කළ ආකාරය පැහැදිලි කළොත්?
A. පාසල් කාලයේ ඕනෑම කුඩා දැරියක යෙදෙන ආකාරයට ආරම්භයක් විදිහට මමත් ලිවීමෙි යෙදුණා. නමුත් කවුරුත් මට කියලා නෑ ‘ඔයාට ලියන්න පුළුවන්’ කියලා. හැබැයි මගේ කුඩා කාලය ගෙවෙන්නේ හුස්ම නොගෙන පොත් කියවන පිරිසක් මැද. ඒ නිසා මමත් බහ තෝරන කාලයේ ඉඳලාම බරසාර සාහිත්‍යමය තොටිල්ලක නැළැවෙන්න පටන් ගත්තා. මගේ ලිවීමෙි ආරම්භයට ඉදිරියෙන් තිබෙන්නේ මගේ කියවීම කිව්වොත් ඒක නිවැරදියි.
Q. නිර්මාණයකදී ඔබ වඩාත් සැලකිලිමත් වන්නේ මොනවා ගැනද?
A. මගේ අතින් ලියැවෙන නිර්මාණවලදී වගේම මම කියවන්නට කැමති සාහිත්‍යමය නිර්මාණ තෝරා ගැනීමේදීත් මම වඩාත් සැලකිලිමත් වන්නේ සම්පූර්ණ නිර්මාණයම එක මිටට ගත් විට එහි ඇති නෑඹුල් අපූර්වත්වයේ ගිනිකණ වැටෙනසුලු බවටම පමණයි.
Q.ඔබගේ පළමු නවකතාවම සම්මානය රැසකින් පිදුම් ලබනවා. නිර්මාණ දිවියේ එම සංධිස්ථානය දිහා ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
A. මගේ පළමු නවකතාවම සම්මානයට ලක් වීම අහඹුවක් නෙමෙයි. එම නිර්මාණය වෙනුවෙන් මම වෙහෙසුනා. අදත් මකරානන්දය ඉඳලා හිටලා අමුත්තෙක් වගේ කියවනකොට මට අපමණ සතුටක් දැනෙනවා, මම ඒ වෙනුවෙන් ලබාදුන් නිර්මාණ වෙහෙස අපතේ නොයෑම ගැන හිතලා.
Q. ‘මකරානන්දය’ නවකතාව රචනා කරන්න ඔබට වස්තු බීජය ලැබෙන්නේ කොහොමද?
A. ඈත වෙරළබඩ පෙදෙසක කුඩා පිරිමි දරුවෙකුගේ වම් කනෙහි පැලඳි කරාබුවක් තමයි ආරම්භක වස්තු බීජය. මම ඒ ගැන මකරානන්දය අවසානයේ කියලා තියෙනවා.
Q. ‘මකරානන්දය’ නවකතාව රචනා කළ පසු ආධුනික නවකතාකාරිනියක් විදියට ඔබට මුහුණ පාන්නට සිදු වූ අභියෝග ගැන විස්තර කළොත්?
A.මකරානන්දයෙන් පසු මේ දක්වා මා යෙදුණු සෑම නිර්මාණයකටම මා ආධුනිකයි. මෙහෙම හිතන්න, මම නිර්මාණ පනහක් ඉදිරිපත් කළ පසුත් පනස් එක්වන නිර්මාණයට මා ආධුනිකයකු ලෙස අභියෝගයන්ට මුහුණ දෙනවා. මොකද මගේ සෑම නව නිර්මාණයකම බැඳී පවතින නව්‍යතාවය සහ අත්හදාබැලීම් විසින් මා ආධුනිකයෙකු බවට පත්කොට වඩා උසස් නිර්මාණයක් බිහි කිරීමේ අභියෝගය මගේ මේසය උඩින් තබනවා.
Q. ‘මකරානන්දය’ නවකතාවේ සංකේත භාවිතය හොඳින්ම දක්නට ලැබෙනවා. ඔබ හිතන විදියට නිර්මාණ කෘතියක් සාර්ථක කර ගැනීමට සංකේත භාවිතය ඉවහල් වෙන්නෙ කොහොමද?
A. අපි මෙහෙම කියමු. ගංගාවක් සිතුවමට නගනවා නම්, දක්ෂ සිත්තරා දැනගන්න ඕනි ගංගාවේ ගලා බැස්ම, ගංගාවේ පැහැය, ගංගාවේ නැළවිල්ල, එහිම ඇති ලතැවිල්ල. ඒ වගේ නවකතාව විසින් ඉල්ලා සිටින සංකේත ලේඛකයා හදුනාගත යුතුයි. අනෙක් අතට ඒක ප්‍රහේලිකාවක් වගේ. විසඳීම මඳක් වෙහෙසකරයි. එහෙත් විසඳූ පසු දැනෙන සුවය විශ්මිතයි. සබුද්ධිමත් පාඨකයා ලේඛකයා සමග එකම මේසයක වාඩිවෙලා සව් දිය පුරන එක අවස්ථාවක් තමයි නවකතාවේ එන සංකේත පාඨකයා විසින් කියවා ගන්නා අවස්ථාව. පාඨකයා සහ ලේඛකයා සම සිත් ඇත්තන් බවට පත් වන්නේ අන්න එතනදි. ඉතිං නිර්මාණයක් සාර්ථක කරගන්න එක උපක්‍රමයක් තමයි සංකේත භාවිතය.
Q. ‘මකරානන්දය’ නවකතාව ලියවී දැනට වසර පහකට අධික කාලයක් ගත වුණත්, තවමත් එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔබට මෙතෙක් ලැබී ඇති පාඨක ප්‍රතිචාර ගැන ඔබට මොකද හිතෙන්නේ?
A. කවුරුහරි ඔය විදිහට මගෙන් අහන ඕනෑම වෙලාවක මම කියන්නේ “ඒක නියමයි” කියලා. ඇත්තටම මට ඕනි එහෙම. නිලා කූරක් වගේ සූස් ගාලා ක්ෂණිකව නිවිලා යන පාඨක ප්‍රතිචාර නෙමෙයි. නිවී සැනසිල්ලේ වසර පුරා ගලා එන ප්‍රතිචාර මාව තව තව නිර්මාණ කෙරෙහි සුමට ලෙස තල්ලු කර හරිනවා.
Q. ‘මකරානන්දය’ නවකතාව රචනා කිරීමේදී එහි භාෂා භාවිතය සම්බන්ධයෙන් ඔබ මුහුණ දුන් අභියෝග මොනවාද?
A. මකරානන්දයේ භාෂාව ගැන මට එහි ආරම්භයේ සිටම අවබෝධයක් තිබුණා. භාෂා භාවිතය මෙහෙම විය යුතුයි කියන තීරණයක මම හිටියා. මකරානන්දයේ කොටස් තුනක සංයෝගය තුළ තුන්වන කොටසේ භාෂාව අනෙක් කොටස් දෙකටම වඩා වෙනස්. නවකතාවක භාෂාව හරියට ඔබ ගංගාවක් තරණයට යොදා ගන්නේ නැවක්ද, බෝට්ටුවක්ද, රුවල් නැවක්ද කියලා ගඟට බැසීමට පෙර තීරණය කර ගන්නවා වැනි වැඩක්. ගංගාවේ ගැඹුර දන්නේ ඔබ. ඉතිං එහි ගමනාන්තයට සුදුසුම වාහනය තෝරා ගැනීමට තරම් ඔබ දැනුවත් විය යුතුයි. එවිට එය තවදුරටත් අභියෝගයක් නෙවෙයි.
Q. වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් මුහුණ පොතෙහි සිය නවකතා රචනා කරනවා. මුහුණු පොතෙහි නවකතා රචනය සම්බන්ධව ඔබ දරන ආකල්පය මොන වගේද?
A. මුහුණු පොතේ ලියැවෙන කවි, කෙටිකතා මමත් රසවිඳින අවස්ථා තියෙනවා. ඒත් නවකතා මම රසවිඳලා නෑ. මං හිතන්නේ මට රස විඳින්න බැරි වෙයි. නවකතාවක් කියැවීමෙි පරිසරය මුහුණු පොත තුළ මට නෑ.
Q. ‘මකරානන්දය’ නවකතාව ටෙලිනාට්‍යයකට හෝ චිත්‍රපටයකට නඟන්නට ඔබට අදහසක් තිබෙනවාද?
A. මට සල්ලි තිබුණා නම්, මම මකරානන්දය ටෙලි නාට්‍යයකට නඟනවා.
Q. නවකතාකරණයට අවතීර්ණ වෙන්න කැමැත්තෙන් ඉන්න නවක රචකයින්ට ඔබ දෙන්න තියෙන පණිවිඩය මොකක්ද?
A. මුලින්ම කියවන්න. ඉන් පස්සේ ලියන්න.
Q. ඔබ දකින සිංහල නවකතාවේ නව ප්‍රවණතා මොනවාද?
A. මම මෙහෙම උත්තර දෙන්නම්. ලේඛකයෙක් නිතරම තමන්ගේ නිර්මාණයේ විවිධත්වයෙන් යුතු නව්‍යතාවයන් අත්හදාබැලීම් වගේම උසස් පරිකල්පනයෙන් පෝෂණය කරගන්නා නෑඹුල් ඉදිරිපත් කිරීම් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒත් මට හිතෙනවා අපේ සිංහල නවකතාව තාම කොතනක හරි හිරවෙලා කියලා. හේන් ගොවියෝ සාර්ථක වෙන්නේ එහා හේනේ බඩඉරිඟු වවනකොට මෙහා හේනේ වට්ටක්කා හරි වෙනත් බෝගයක් හරි වැව්වොත් විතරයි. හැමෝම බඩඉරිඟු වැව්වොත් විකුණගන්නත් බෑ. කන්න කෙනෙකුත් නෑ.
Q. ලංකාවේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයෙන් රචකයින්ට ලැබෙන සහයෝගය ගැන ඔබ තෘප්තිමත්ද? එහි සංවර්ධනය විය යුතු දෑ පවතිනවාද?
A. වර්තමානයේ පොත් ප්‍රකාශන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒක හොඳ තත්වයක්. හැබැයි ඔවුන් ඔවුන්ගේ කර්මාන්තශාලාවෙන් එළියට දෙන දේවල්වල ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වෙන්න ඕනි. පාඨකයාට සහ සාහිත්‍යයට අජීර්ණය නොවන දේවල් සමාජගත කරන එක ඔවුන්ගේ වගකීම.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
