වෘත්තියෙන් පුවත්පත් විශේෂාංග ලේඛකයකු මෙන්ම කතුවරයකු වන මොහාන් ශ්‍රියන්ත ආරියවංශ ග්‍රන්ථකරණයට පිවිස සිටින්නේ පරිවර්තකයකු හැටියටයි. The Asian Review Sinhala අප ඔහු හා කරන මේ කතාබහට පදනම් වන්නේ ඔහුගේ අළුත්ම පරිවර්තන කෘතිය වන 'අලිබාබා - ජැක් මා: චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය' නැමැති ග්‍රන්ථයයි.
Q: ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?
A: මුලසිටම මා වෘත්තීය වශයෙන් කටයුතු කළේ ප්‍රවෘත්ති පත්‍ර විශේෂාංග ලේඛකයකු සහ කතුවරයකු හැටියටයි. එහිදී දේශපාලන, සමාජාර්ථික විශේෂයෙන්ම සාහිත්‍ය කලා සම්බන්ධව මගේ යොමුවීමක් තිබුණා. මෙවැනි පසුබිමක් තුළ ලෝකයේ නව දේශපාලන සමාජ හා විශේෂයෙන්ම සාහිත්‍යයික ප්‍රවණතා හඳුණාගැනීමේ අවස්ථාවක් මට ලැබුණා. ඒ නිසාම මේ වෘත්තීය ජීවිතය මගේ ජීවන ශෛලියක් වුණා යැයි මා සිතනවා.
Q: එක් භාෂාවකින් ලියවුණ කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම ඔබ දකින්නේ කොහොමද?
A: එයද සෙසු නිර්මාණ කාර්යයන් හා සමානව යන ප්‍රති නිර්මාණ කලාවක් වෙනවා. නමුත් එය විශේෂයි. මන්ද ලේඛකයකුගේ පූර්ව නිර්මාණ ලේඛනයක් මෙහිදි අප හමුවේ තියෙනවා. නමුත් එය මුල් භාෂාව තුළ කියවෙන ප්‍රමාණයටම අකුරක් හෝ නෑර වෙනත් බසකට පෙරලීම පහසු කටයුත්තක් නොවේ. ඊට හේතුව තමයි භාෂා දෙකක් කිසිදාක එක සමාන නොවීම. අරුත් මතු කිරීමේදී එකම විලාශයක් නොගැනීම. මෙතනදී මුල් කෘතියට සාධාරණය ඉටුවීම යන්න ප්‍රතික්ෂේප කළ නොහැකියි. එසේ සාධාරණය ඉටු කරන තරමටම තමන්ගේ භාෂාවෙන් මුල් අරුත් විකෘති නොවන ආකාරයට සුගම නිර්මාණාත්මක ශෛලියකින් ඉදිරිපත් කිරීමේ වගකීමත් පරිවර්තකයකුට තියෙනවා. ඒ අනුව දක්ෂ පරිවර්තකයෙක් යැයි කියන්නේ මේ අරමුණු දෙක නිරාකූල තත්වයකින් ඉදිරිපත් කරන කෙනෙකුටයි. එය අභියෝගයක් වුණත් තමන්ගේ වූ අනන්‍ය නිර්මාණ ශෛලියකින් තමන්ගේ දේශයට වෙනත් දේශයක අත්දැකීමක් ඉදිරිපත් කිරීම තෘප්තිමත් සුන්දර කාර්යයක් යැයි මා සිතනවා.
Q: පරිවර්තනය සඳහා විදෙස් කෘතියක් තෝරා ගැනීමේදී ඔබ සළකා බලන නීර්ණායකයන් තිබෙනවා ද? ඒ ගැන පැහැදිලි කළොත්?
A: මූලික වශයෙන්ම දේශපාලන, සමාජාර්ථික මෙන්ම සාහිත්‍යයික වටිනාකමක් ඇති කෘති සම්බන්ධව මම විශේෂයෙන්ම හිතනවා. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ සෙසු විෂයන් කෙරෙහි මගේ උනන්දුවක් නැහැයි කියළා. මා කියන්නේ මගේ ජීවන අභිලාෂය සමග සැමවිටම පවතින විෂය පරාසයක් හැටියට සමාජ දේශපාලන ආර්ථික මෙන්ම සාහිත්‍යය යන විෂයන් බැඳී පවතිනවාය කියලයි. ඒ ගැන මා නිතරම සිතනවාය කියන එකයි. ඒ වගේම මේ කියන විෂය කරුණු සම්බන්ධව මට මගේම විග්‍රහයක්ද තියෙනවා. ඒ නිසා මා සැමවිටම වාගේ ඒ සම්බන්ධයෙන් ලිවීමට කැමැත්තක් දක්වනවා. පරිවර්තන කාර්යය මා සලකන්නේද ඊට අදාල ලිවීමක් හැටියටයි.
Q: ඔබ වඩාත් කැමැති වන්නේ ප්‍රබන්ධ පරිවර්තනයටද? නැත්නම් නිර්ප්‍රබන්ධ පරිවර්තනයටද? ඒ ඇයි?
A: මේ සම්බන්ධව විශේෂයෙන්ම බෙදීමක් කළ නොහැකියි. ඉහතින් මා විස්තර කළ විෂය කරුණුවලට අදාලව ඉදිරිපත් වන කෘතිය ප්‍රබන්ධයක් වේවා නිර්ප්‍රබන්ධයක් වේවා එය කුමක් වුණත් මා ඊට යොමුවීමට ඉඩ තියෙනවා. ශානරය කුමක්දැයි විමසා බැලීමක් සිදු නොකර මා ඊට යොමු වීම සිදු විය හැකි දෙයක් මෙන්ම සිදු කළ දෙයක් හැටියටද කියන්න කැමතියි. උදාහරණයක් හැටියට මගේ මුල්ම පරිවර්තන කෘතිය වුණේ ලොව පිළිගත් ලේඛකයින් කිහිපදෙනෙකුගේ දේශපාලන සමාජ ප්‍රතිනිර්මාණයන් වශයෙන් සැලකිය හැකි විශිෂ්ට ගණයේ කෙටිකතා එකතුවක්. එය අදටත් මම තෘප්තියෙන් යුතුව සිහි කරනවා.
Q: චරිතාපදාන කෘතියක් කියන්නේ නිර්ප්‍රබන්ධ වර්ගයකට අයත් විශේෂ ප්‍රවර්ගයක්. ඔබ පර්වර්තනය කළ අලිබාබා – ජැක් මා චරිතාපදාන කෘතියක්ම නෙවෙයි. ඔබ එය වර්ග කරන්නේ කුමන කාණ්ඩයකටද?
A: අලිබාබා – ජැක් මා කෘතිය චරිතාපදානයක් හැටියටම ගත නොහැකි වන්නේ එය ජැක්මාගේ දෘෂ්ටියෙන් ලියවුණු කෘතියක් නොවීම නිසා යි. එය ලියන්නේ ඩන්කන් ක්ලාක් නම් ලේඛකයෙක්. ඔහු ජනමාධ්‍යවේදියෙක් වන තරමටම ජැක් මා හා ඔහුගේ සමීපතමයින්ව ළගින්ම ඇසුරු කළ අයෙක්ද වෙනවා. ඒ අනුව මේ කෘතියේ ජැක්මාව විස්තර වන තරමටම ඔහුගේ ව්‍යාපාර පැවැත්ම එමෙන්ම රටේ ආර්ථික දේශපාලන හා සමාජ පසුබිම පිළිබඳව ඓතිහාසික නිරීක්ෂණයක්ද ඇතුලත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අලිබාබා ව්‍යාපාර ජාලය ජැක්මාගේ අදහසක්, ආරම්භයක් මෙන්ම පවත්වා ගැනීමක් වශයෙන් පවතිද්දී ජෝ ත්සායි නම් ඔහුගේ මිත්‍රයකු (ආර්ථිකය පිළිබඳව ඉහළ අධ්‍යාපනයක් සහ උගත්කමක් ඇති) ගේ මැදිහත් වීමෙන් එහි ඉහළම පරාසයට වර්ධනය වූ අන්දමත් මේ කෘතියෙන් නිරූපණය වෙනවා. මෙහිදී ජෝ ත්සායි ඉහළම වැටුපක් සහ රැකියාවක් අතහැරලයි එතරම් උසස් තැනක නොතිබුණු අලිබාබා ව්‍යාපරයට එකතු වෙන්නෙ. ඒ අනුව අලිබාබා ව්‍යාපාර සමූහයේ කීිර්තිනාමයට ජැක් මා තරමටම සමහර විට ඊටත් වඩා නිර්මාණශීලි දායකත්වයක් ජෝ ත්සායි ගෙන් ලැබෙනවා.
එහෙම බැලුවම මේ කෘතිය බටහිර සාහිත්‍ය විග්‍රහයට අනුව “සමකාලීන ඉතිහාසය” නම් විෂය පරාසයට ඇතුලත් කළ හැකියයි මා සිතනවා. “චීනයේ ඉන්ටනෙට් විප්ලවය” යන හැඳින්වීමද මා එයට ඇතුලත් කළේ ඒ නිසායි.
Q: ඔබ ජැක් මා කෘතිය පරිවර්තනය කරන්න විශේෂ හේතුවක් තිබුණද?
A: ඔව්. එය කියවා බැලීමේදී මට වැටහුණ කරුණ තමයි සභාපති මා ඕ සේතුං චීනය නව දේශපාලන මාවතකට යොමු කරමින් ඇති කළ දේශපාලන විප්ලවයට පසුව, ඔහුගේ ප්‍රතිරූපය තුළම නැගී එමින් තිබුණු අන්තර්ජාලය මුල් කොට ගත් වානිජ්‍ය අලෙවිකරණය තුළින් විප්ලවීය ආර්ථිකයක් චීනයේ නිර්මාණය වීම. මා මුලින් මා ඕ සේතුංගේ දේශපාලන විප්ලවයත්, ජැක්මා හා සමානව නැගී එමින් සිටි තරුණ ව්‍යවසායකයින්ගේ ඉන්ටනෙට් විප්ලවයත් චීනයට ලබා දුන් වෙනස්ම මුහුණුවරත්, ඒ තුළ පෙරළියකට ලක් වූ සමාජ විපර්යාසයත් මෙතනදී මට මහත් හැඟීමක් ලබා දුන්නා. අනිත් අතට ශ්‍රී ලංකාව තුළ පවා ඇති වී තිබෙන අන්තර්ජාල භාවිතාව හමුවේ මේ කෘතිය කිසියම් විදියක මාර්ගෝපදේශකත්වයක් මෙරට පාඨකයින්ට ලබා දේවි යැයි මට සිතුණා.
Q: ජැක් මා කෘතිය පරිවර්තනයේදී ඔබ මුහුණ පෑ අභියෝග මොනවාද?
A: ලොකුම අභියෝගය වුණේ තවමත් චීනය දෙස මා ඕ සේතුංගේ ප්‍රතිරූපය තුළින් දකින මෙරට පාඨකයින්ට ගෝලීය වෙළඳ ආර්ථිකය තුල චීනයේ ඩිජිටල් වෙළඳ අළෙවිකරණය ව්‍යාප්ත වූ ආකාරය හඳුන්වා දෙන්නේ කෙසේද යන කාරණයයි. තමන්ට ආගන්තුක කියවීමක් මොනම හේතුවක් නිසාවත් ඉවසීමකින් යුතුව කියවන්නට පොදු පාඨකයා පෙළඹෙනවාය යන කාරණය අපට හිතන්න බැහැ. ඒ නිසා ඉතිහාසය වෙනස් කරමින් චීනය නව මුහුණුවරක් ගැනීම පිලිබඳව දීර්ඝ පෙරවදනක් හරහා ලියා දක්වන්නට මට මෙහිදී සිදුවුණා. ඒ වගේම මේ නව සමාජ පරිසරය සහ වානිජකරණය චීන සමාජය තුල ප්‍රතිනිර්මාණය වූ ආකාරය ගැන පූර්ව අවබෝධයක් ලබා ගන්නත් මට සිදුවුණා. ඉතින් එය එසේ නොවුණා නම් මේ කෘතිය පාඨකයාට සමීපව ප්‍රදානය කිරීමට හැකිවේ යැයි මා සිතන්නේ නැහැ.
Q: ජැක් මා වැනි කෘතියක් පරිවර්තනය කිරීමේදී අන්තර්ජාලය, විද්‍යුත් වානිජ්‍ය, ජාලගත ව්‍යාපාර සහ ආර්ථිකය පිළිබඳ අමතර කියවීමක් අවශ්‍යයි. ඉතින්, මේ කෘතිය පරිවර්තනය කරන්න කොතරම් කාලයක් ගත වුණාද?
A: කෘතියක් වශයෙන් පරිවර්තනය කිරිමට වසර දෙකකට ආසන්න කාලයක් ගත වුණාය කියන්න පුළුවන්. ඊට හේතු වුණේ ඔබ පවසා ඇති ආකාරයට තොරතුරු අධ්‍යයනය කිරීමට සිදුවීමයි. ඩන්කන් ක්ලාක් නම් මෙහි මුල් කතුවරයා ජැක් මා සහ ඔහුගේ සමීපතමයින් සමීපව දැන සිටීම නිසා ඔහු මේ කෘතිය එක අතකට චරිතාපදානයක් ලෙසිනුත් අනිත් අතින් සමාජ ඉතිහාසයක් වශයෙනුත් ලියා දක්වන්නට සමත් ව තිබෙනවා. නමුත් ඔහුගේ එම කරුණු සහ වර්තමාන චීනයේ හැසිරීම පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට විශේෂයෙන්ම අන්තර් ජාලයට පිවිසෙමින් අධ්‍යයනයක යෙදෙන්නට සිදුවීම නිසා කෘතියක් පරිවර්තනය කරන සාමාන්‍ය කාලය ඉක්මවූ කාලයක් මේ කෘතිය වෙනුවෙන් වැය වුණා යැයි මා සිතනවා.
Q: යම් කෘතියක් පරිවර්තනය කිරීමේදී පරිවර්තකයාද ස්වයං තෘප්තිමත් භාවයකට පත් වෙනවා. ප්‍රබන්ධ කෘතියක් පරිවර්තනය කිරීමේදී මෙය විශේෂයි. ජැක් මා වැනි නිර්ප්‍රබන්ධ කෘතියක් පරිවර්තනයේදී පරිවර්තකයාට එවැනි තෘප්තියක් ලබන්න පුළුවන්ද?
A: ඔබ නිවැරැදිව කී ආකාරයට, ප්‍රබන්ධ කෘතියක් පරිවර්තනය කිරීමේදී ප්‍රබන්ධය තුළ එන අත්දැකීම් සහ කතා රසය පරිවර්තකයාට සියුම් තෘප්තියක් ලබා දෙනවා. ප්‍රබන්ධයේ එන අලංකාරවත් බව වෙනස්ම ලෝකයක් පරිවර්තකයා හමුවේ නිර්මාණය කරනවා. එහෙත් නිර්ප්‍රබන්ධ කෘතියකදී ඒ ආකාරයේම හැගීමක් පරිවර්තකයාට ලබා දෙනවා යැයි මා කියන්නේ නැහැ. නමුත් නිර්ප්‍රබන්ධ කෘතියකදී අපට හමුවන්නේ සැබැ සමාජ ඉතිහාසයක්. සැබෑ චරිත ගති ලක්ෂණ සහිත පුද්ගලයෙක් හෝ පුද්ගල සමාජයක්. ඒ අනුව අලිබාබා – ජැක් මා කෘතියට අදාලව කතා කළහොත් ප්‍රබන්ධ කෘතියකදී හමු නොවන ආකාරයේ සමාජ දේශපාලන මෙන්ම ආර්ථික ආඛ්‍යායනයක් මට හමුවුණා. කෘතියක් සමග ඉදිරියට යන විට ඇතැම් අවස්ථාවලදී මට සිතුණා මාද ඔවුන් සමග ජීවත් වනවාය කියා. එවැනි අත්දැකීමක් ලබන්නට මේ කෘතියේදි අපට හැකි වන්නේ මෙහි මුල් කතවරයා වන ඩන්කන් ක්ලාක් ඊට ලබාදී තිබෙන නිර්මාණාත්මක සාහිත්‍යයික කතා විලාසය නිසා යැයි මා සිතනවා. එක් අතකින් නිර්ප්‍රබන්ධ කෘතියක් වන තරමටම තවත් අතකින් ප්‍රබන්ධ කෘතියක කතා රසය ඇති වන තරමට ඔහු ඒ සාහිත්‍යයික විලාසය හසුරුවා තිබෙනවා. ඒ අනුව මා කළ පරිවර්තන කෘති අතර සුවිශේෂ කෘතියක් හැටියටයි අලිබාබා – ජැක් මා මා දකින්නේ.
Q: ඉදිරියේදී පාඨකයාට ඔබගෙන් කුමන ආකාරයේ පරිවර්තන කෘති බලාපොරොත්තු විය හැකිද?
A: ඔව්. මෙම කෘතිය මා හට ලබා දුන් සුසර ප්‍රකාශන සමාගම හා එක්ව, නව නිදහස් ප්‍රඥප්තියක් සමග බිහි වූ නව ලෝකය, නව ධනවාදී ආර්ථිකය එනම් අමෙරිකා එක්සත් ජනපදය නව ලිබරල්වාදී ආර්ථික දේශපාලනය හමුවේ මුහුණ පා ඇති තත්වය එහි කඩා වැටීම යලි නගා සිටුවීමට ගන්නා මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව දිග හැරෙන සමාජ සංවාදය මතු කරන කෘතියක්ද මේ වන විට පරිවර්තනය කෙරෙමින් තිබෙනවා. එමෙන්ම ජර්මනිය හා හිට්ලර්ගේ ආර්යවාදයෙන් උපන් දේශපාලන කෘතියක්ද ප්‍රකාශයට පත්වීමට නියමිතයි. කොහොමටත් අද මා සතුටක් ලබන කාර්යයක් හැටියට මේ පරිවර්තන කටයුතු හඳුන්වන්න පුළුවන්.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
