ලිලැක් සහ ලයිලැක් කියන්නේ මෑතකාලීනව රැල්ලක් වුණු කවි පොත් දෙකක් කිව්වොත් හරි. මේ පොත් දෙක ලියන්නේ යේශා ෆර්නෑන්ඩු. දම්පාට පිට කවරයකින් සැරසුණු මේ පොත් දෙක නොකිය වූ අය නැති තරම්. තරුණ පිරිස ඉතා ආදරයෙන් වැළඳ ගත්ත පොත් දෙකක්. මේ තරම් ජනප්‍රිය, ජනතා ආදරය දිනපු පොත් දෙකක් නම්, නොකිය වූ අය නැත්නම්, හැමෝම මේ පොත් කියවලා නම්, ඇයි මං මේ පොත් ගැන කතා කරන්නේ කියලා ඔබ හිතන්න පුළුවන්. ඒකට හේතු දෙකයි. එකක් පොත්වල තේමාව. අනික ඔබත් මං වගේ රැල්ලට පොත් නොකියවන කෙනෙක් නම්, මේ පොත් මඟහැරිලා නම්, මේ පොත් කියවන්න මගේ අදහස් උත්තේජනයක් වෙයි.
තේමාව, ආදරය හා විරහව. විරහවට ඇයි මිනිස්සු මෙච්චර කැමති? ඇයි මෙච්චර විරහව රස? ඇයි ඒක මෙච්චර මාකට් වෙන්නෙ කියලා ඔබ හිතයි. ඒකට හේතුව පෙම් කරන නොකරන හැමෝම විරහවට කැමති වීම. ආදරය කරලා වෙන්වෙලා විරහව විඳින්න පුළුවන්. ඒක පාර්ශ්වික පෙමක් නිසා විරහව විඳින්න පුළුවන්. කොහොම වුණත් විරහව වේදනාවක්. විරහවට පුළුවන් හොඳ වගේ ම නරක මිනිස්සු ඇති කරන්න. ඒ වේදනාව වඩාත් කලාත්මක දේවල් බිහි කරනවා කියන්න මේ පොත් හොඳ උදාහරණයක්. විරහව නිසා ම මරා ගන්න සමාජයක විරහවට කවියක් ලියලා, දුක දිය කරන්න පුළුවන් තරම් පරිණත වෙන්න පුළුවන් නම් ඒක වටිනවා. මේ පොත් කියවපු එක් කෙනෙක් හරි එහෙම වෙනවා නම් ඒක මේ පොත්වලින් වෙන සමාජ මෙහෙවරක්.
අවාසනාවන්ත වූ වංචාකාරී වූ, අහිමි ප්‍රථම ප්‍රේමයක හිමිකරුවෙකුට සිතන්නට බොහෝ දේ තිබෙනවා. කෙනාගෙන් කෙනාට වෙනස් එම හැඟීම් සංසන්දනය කරන්නට බැහැ. අමතක කළ නොහැකි වුව ද මිහිදන් කළ හැකි එවැනි මතක කවීන්ට රස ගඟුලකි.
කිසිදාක “ආදරෙයි” නොකී
නිහඬ පෙම්වතුනි
තරු වුණත්
බැරිම තැනදී පිපිරුණි
ලයිලැක් පොතේ එන මං කැමති ම කවියක්. මේ කවිය ඒක පාර්ශ්වික ආදරයක් ගැන. ඒ නිසයි ආදරය මුවින් ප්‍රකාශ වෙලා නැත්තේ. අපි දන්නවා ඈත අහසේ දිලෙන තරු නිවි නිවී දැල්වෙලා එළිය අඩුවෙලා කාලයත් සමඟ පිපිරෙනවා. ඒ කියන්නෙ විනාශ වෙනවා. ඒ විනාශය සමානයි ඒක පාර්ශ්වික ආදරයක දී ඒ තැනැත්තා හෝ තැනැත්තිය එය අත්හැර දැමීමට.
මම තවම නැගිටිමි!
ඔබේ උග්‍රම තිත්ත තඩි බොරු සමඟ
ඔබට මා පහත් කොට පුරාවත ලිවිය හැක
කිලිටිම තැනක මා පාගා දැමිය හැක
වන් සයිඩ් ලව් එකක් එහෙම නැත්නම් ඒක පාර්ශ්වික ආදරයක් ඕනෑම කෙනෙකුට කොන්දේසි විරහිතව ඇති වෙන්න පුළුවන්. ඒත් ලංකාව වගේ රටක ගෑනු ළමයෙක් එවැනි දෙයක් සිදු කිරීම දරුණු ගණයේ අපරාධයක් සේ සලකන්න පුළුවන්. අපේ සමාජයේ කෙල්ලෙකුට බැහැ කොල්ලෙක්ට ආදරෙයි කියලා මුලින් ම කියන්න. ඒක කොල්ලන්ට අයිති වැඩක් වගේ සම්මත වෙලා තියෙන්නෙ. බැරි වෙලා හරි සම්මත ක්‍රමය වෙනස් වුණොත් ආදරය හිමි කොල්ලා ආදරය කරන කෙල්ලව පහත්, නින්දිත, චරිතය හොඳ නැති කෙනෙක් විදිහට හංවඩු ගහන්න පුළුවන්. මේ කියන තැනැත්තිය රැවටීමට ලක්වුණු කෙනෙක්. ඒත් ඇය නොසැලී ඉන්නවා. ආදරය එක්ක.
ඇතැම් හිස්තැන්
හිමි හිමින් පිරෙන අතරේ
ඇතැම් හිස් තැන්
කිසිදාක නොපිරේ..
සාමාන්‍යයෙන් හිස්තැන් කාලයත් එක්ක පිරවෙනවා. එත් මේ කතාව එකතු නොවුණු වන් සයිඩ් ලව් එකක් ගැන. මේ කතාව රේල් පිල්ලක් වගේ ආදරයක් ගැන.
ශූරතා, සමශූරතා
මිසක
අනුශූරතා නොමැත
ප්‍රේමයේ
ආදරයේ දී දෙදෙනාම ජය ලබනවා. නැත්නම් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු දිනනවා. ඒ කතාවල අනුශූරයින් ඇත්තේ නැහැ. මේ කවිය ඒ ගැන.
ලස්සනම වචන ගැළපුණු තැන අදහස් කියන්නෙම කවියක්. යේෂා ඇත්තටම දක්ෂ කවිකාරියක්. ඒ කවීත්වය ලැබුණේ අත්දැකීම් සහ පොත පත කියවීමෙන් ඇය ලැබූ පරිචය නිසා වෙන්න පුළුවන්. ආදරය, විරහව ඇතුළු ඕනෑම තේමාවක් ගැන කවි ලියන කවීන් ඕන තරම් ඉන්න පුළුවන්. හැබැයි ඔවුන් කොයිතරම් දැනෙන්න ලියනවද කියන එක ගැටලුවක්. යේෂාගේ කවි දැනෙනවා, ඒකයි මේ පොත් රැල්ලක් වුණේ. පළමු පොත් දෙකෙන් ම මෙතරම් ජන ආදරයක් දිනා ගත්තේ. ඇගේ භාෂාව ඉතාම පොහොසත්. වචනවල දුප්පත්බවක් ඇයට නැහැ. හැබැයි ඇය සතු වචනවල පොහොසත් බව තවත් කෙනෙකුට එක් අතෙකින් මේ කවි දුරස් වීමට හේතුවක් වෙන්න පුළුවන්.
පුරුදු ඇබ්බැහි වෙනකොට
අත්හැරීමක් කියන්නෙම දුකකට
දන්නවද…..?
පුරුදු වෙන්න හොඳ නැත්තෙම ‘මිනිස්සුන්ට’
පුරුදු තමයි දවසක ඇබ්බැහියක් බවට පත් වෙන්නේ ඒක අපි දන්න සරල ඇත්ත. පුරුදු අත්හරිනවා කියන්නෙම දුකක්. මේ ගැන ගැඹුරින් බුදුහාමුදුරුවොත් කිව්වා. ඒ නිසා ම අතිශය භයානක මිනිස්සුන්ට ඇබ්බැහි වීම. මේ කවියෙන් කියන්නෙ මිනිස්සුන්ව අතේ දුරින් තියා ගන්න කියන එක නෙවෙයි ද? මේ හැම කවියක ම තියෙන්නෙ සරල අදහසක්. හැබැයි ඒ අදහස කියපු විදිහ නිසයි මේවා මෙච්චර වැදගත්. වක්‍රව කියන ඇතැම් අදහස් සෘජුව කියනවට වඩා කන හරහා මොළයට වඳිනවා. අපි ඒ ගැන හිතන්න පොළඹවනවා.
මේ කතාව ලිලැක් ඔක්තොම්බ්‍රියානු සුන්දරිය ගැන. යේෂා ලියනවා මෙහෙම.
ප්‍රේමනීය මිනිසුනි,
අතැර යනවිට යම්තැනක්,
තබා යන්න එහි ඔබ සිටි බවට..
සියුම් ටින්කර්බෙල් දිලිසුමක්,
සිහින් කැෆෙන්මය උණුසුමක්!
මතක අපව ජීවත් කරනවා. මරණීය වේදනා ගෙන දෙනවා. වේලාවකට අපට නොමැරී ජීවත් වෙන්න හුස්ම දෙන්නෙ මතක. සුන්දර මතකවලට අපි කැමතියි. එක් ආදරණීය මතකයක් කෙනෙක්ට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. උණුසුම් වැළඳ ගැනීමක් වෙන්න පුළුවන්. වෙන් වුණත්, ආදරණීය හදවතකට පුළුවන් කෙනෙක්ට ආදරණීය මතකයක් වෙන්න.
එකතැනක රැඳුනේ
කවදාද
කියනවද
ගඟක්
ආදරය කියන්නේ
සියදිවි නසාගැනීමට
තව නමක්!
ගඟක් නම් ඒක ගලන එක නියතියක්. ආදරයත් ඒ වගේ. ආදරයට දෙන්න පුළුවන් ගැඹුරු ම නිර්වචනයක් මේක. මේ කියන්නෙ, ආදරය කියන්නේ දිවි නසාගැනීමක් කියන පටු අර්ථයෙන් නෙවෙයි. ඉන් ඔබ්බට සිතන එක ඔබට බාරයි.
පෙන්නුවට වගේ කියල
නොනැවෙන යකඩයක්
ගැහැනියක් කියන්නේ
තනිකරම රෝස මල් කඩයක්
මේ කවිය ඇතුළේ ගැහැනිය සැඟවිලා තියෙනවා කියලයි මට හිතන්නෙ. ගැහැනු ඇතුළතින් මෘදුයි. පිටට රළුයි. කවියා මේ සරල ඇත්ත කියන විදිහ වෙනස් වගේ ම රහයි.
සියක් තරු එළි අතර
දෙනෙත් විදි අකුණ නුඹ
දහස් වර “ආදරෙයි” මිමිණු
නොලත් හිමිකම නුඹ
නිර්මාණයක් ඇතුළේ මට මාව හම්බෙනවා කියන්නේ ඒක වාසනාවක්. විඳින්න ආස හැඟීමක්. ඒ වෙලාව ආසම මොහොතක්. අත්හැරෙයි කියලා දැනෙන්නෙ බයක්. ලෝබකමක්. මේ කවි කියවන බොහෝ තැන්වල මට මාව මුණ ගැහුණා. ඒකට මං ගොඩක් කැමතියි. අත්හැරුණු ප්‍රේමයක නටබුන් අතරේ සැරිසරන මට කවිවලින් කියා ගන්න බැරිවුණ බොහෝ තැන් යේශා රසට ම කියලා තිබුණා.
යේශා සිංහල වචනවලට මෙන් ම ඉංග්‍රීසි වචනවලට ද එක සේ ප්‍රිය කරන්නියක්. පිදුම වෙනුවට භාවිත කළ ඩිවෝටය නම් වචනය ඊට එක් උදාහරණයක්. ඇය සිංහලය තරහ කර ගෙන නැහැ. ඒත් ඉංග්‍රීසි බස යාළු කර ගන්නවා. එය බලන්න ලස්සන සිදු වීමක්. යේශා රස කවියෙන් පාඨකයා හැඟීම්බර කරන්නියක්. ඇයගේ භාෂා රටාව ඊට බාධාවක් වෙන්නෙ නැහැ. ඇය පාඨකයා ප්‍රේමයෙන් පුරවන්නට සමත්. ලයිලැක් පොතේ මෙහෙම කියනවා.
මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
“ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?”
“නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.”
“ඒ කොහොමද?”
“ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”
මේ සරල කවි ගැන වරු ගණන් කියන්න පුළුවන්. පිටු ගණන් ලියන්න පුළුවන්. හැම කවියක් ම එහෙමයි. හැම වචනයක් ම රහයි. සුන්දරයි. කවි ඇතුළේ තියෙන්නෙ ඇත්ත. ඒ නිසයි දැනෙන්නේ මේ කවි මයාකාරියක් ලියපු මයා කවි දෝතක් විදිහට. ප්‍රේමයේ ගැඹුර ඇයට තරම් රසට මට කියන්න බැරි නිසා ම ඇය මට පුදුමයක්, මායාවක්. ඇය පරිපූර්ණ කළ නොහැකි හැඟීම් කවි කරන්නියක්.
ලිලැක් සහ ලයිලැක් හුදු ප්‍රබන්ධයක් පමණක් ම නොවේ. ඉන් සියයට අනූවක් ම විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය ඇයගේ හදවත.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
