නිසලව සිටි ගිරගද සසල කළ ෆිලොමිනාගේ අන්දරය

නූතන සිංහල නවකතාකරණයේ සුවිශේෂ ස්ත්‍රී භූමිකාවක් නිරූපණය කරන ලේඛිකාවක වශයෙන් දර්ශනා ශම්මි විජේතිලක හඳුන්වන්න පුළුවන්. ඇය ඉතා කෙටි කාලපරාසයකින් සාහිත්‍ය ලෝකයේ නමක් රැඳවූ ලේඛිකාවක බවට පත් වීමට සමත් වුණා. නවකතාකරණයෙහි පමණක් නොව කෙටිකතා, කාව්‍ය, ගීත රචනා, ශාස්ත්‍රීය කෘති මෙන් ම සංචාරක සටහන් කෘති රචනයෙහි ද ඇය නියැලී තිබෙනවා. ඇය රචනා කළ ගිරග සසල විය නවකතාව 2011 ස්වර්ණ පුස්තක සම්මාන උලළේ අවසන් වටයට නිර්දේශිත වුණා.

පාඨකයා සෘජු සසලත්වයකට පත් කරන නවකතාවක් වශයෙන් ගිරග සසල විය හඳුන්වා දෙන්න පුළුවන්. කෘතිය කියවා අවසන් කරන පාඨකයාගේ සිත අතිශය කම්පනයට පත් වීම විශේෂත්වයක්. නවකතාවේ නාමකරණයෙන් පවා කතුවරිය පෙන්වා දෙන්නේ එයයි. කෘතියක විශාලත්වයෙන් හෝ කුඩා බවින් කෘතියක අන්තර්ගතය පිළිබඳ විනිශ්චයකට එලඹිය නොහැකි බව පෙන්වන අපූරු නිදර්ශනයක් වශයෙන්ද මෙම නවකතාව හඳුන්වන්න පුළුවන්.

“උඹ මගේ ජීවිතයට විනාසෙ ඇතුල් කරේ ඔතනින්මයි. ඒ විනාසෙ මම එළියට ගන්නෙ ඔතනින්මයි. උඹවත් විනාස කරල. ඔව් උඹවත් විනාස කරලා.” (08 පිටුව)

මිනිසා ස්වභාවයෙන්ම විවිධාකාරයේ රැවටීම්වලට ලක් වේ.  එය සාමාන්‍ය දෙයක් වුවද, තමා ළඟින්ම සිටින සමීපතමයින්ගේ රැවටීම් දරා ගැනීම පුද්ගලයන් වශයෙන් අපට ඉතා අපහසු කටයුත්තක්. එසේම දොස්තර ජෙරාඩ් සූරියවංශට සිදු වූයේද එයයි. ඔහු ජෙරාඩ් වීමට පූර්වයෙන්ම කුඩා ජයදිත්‍ය වශයෙන්ද තමාට වරදක් කළ අයට සමාවක් නොදුන්නෙක් බව පැහැදිලියි. තමා තදින්ම විශ්වාස කළ අය තමා දරුණු විදියේ රැවටීමකට ලක් කළ බව දැනගත් ජෙරාඩ්ගේ කෝපය ක්‍රමයෙන් වෛරයකට පෙරලීම මෙම කතාව සමාරම්භයයි. ආගමික ආයතන දෙකක කුඩා කළ හැදී වැඩුණද, පුද්ගලයින්ගේ සහජ මනෝභාවයන්ගේ මතුවීම ජෙරාඩ්ගේ චරිතයෙන් අපට පැහැදිලි වෙනවා. ජෙරාඩ්ගේ වෛරයට ලක් වූ ෆ්ලෝරන්ස්ගේ චරිතය විමසා බලද්දි අපට පෙනෙන්නේ තමා ප්‍රිය කරන සහකාරිය හෝ සහකරු තෝරාගැනීමේ ස්වාධීන අයිතිය දරුවන්ගෙන් දෙමාපියන් උදුරා ගැනීමේ ඛේදවාචකය නොවේද? වසර ගණනාවක සිට තමා හා සිතින් නොබැඳුණු තරුණයෙකු අපේක්ෂාවෙන් ඉවසා සිටීමට නොහැකි වීම නව යෞවන වියෙහි පසු වූ තරුණියක වු ෆ්ලෝරන්ස්ගේ වරදක් ලෙස සැලකිය හැකිද?

“මේ කුණු සංසාරේ ගැහැනු ශරීරයක් ඇතිව උපදින්න එපා. වසූරියවත් හැදිලා මට තනිවෙන්නට ඇත්නම්. අනේ රත්තරනේ උඹේ බත් කටට මම උඹ අඩවන්නේ…” (17 පිටුව)

තම සැමියාගේ හැරයාමෙන් පසු සුකිනාවතී ඉසබෙල් අප්පුගේ ග්‍රහණයට ලක්වන්නේ ජයදිත්‍යගේ බඩවියත ගැන සිතමිනි. ඇය කායිකව හා මානසික වශයෙන් අත්විඳි පීඩාවෙහි ස්වභාවය ඇයගේ ඉහත ප්‍රකාශයෙන් පවා ප්‍රකට වෙයි. තම මවට අතිශයින් ආදරය කළ ජයදිත්‍ය ඇය ස්ත්‍රියක වශයෙන් විඳි වේදනාව දුටුවේය. සමාජයෙහි ස්ත්‍රියකව උපත ලැබීමෙන් අත්වන ඛේදය වඩාත් ප්‍රබලව ඉස්මතු වන්නේ සුකිනාවතීගේ චරිතයෙන් නොව නවකතාවේ පසුව අපට හමුවන ෆිලොමිනාගේ චරිතයෙනි. එවැන්නකට පසුබිම තම මවට අතිශයින් ආදරය කළ ජයදිත්‍ය විසින් සැකසීම ගැඹුරින් විමර්ශනය කළ යුත්තකි. 

“අපි හාමුදුරුගොල්ල බව හැබෑවයි. බුදු හාමුදුරුවන් දුන් දේ ගැන ආනිසංස වදාරළ තියෙන එකත් හැබෑවයි. ඒත් ඉතින් අපිත් ප්‍රායෝගික විදියට හිතන්න ඕන. ගමේ දුප්පතාගෙනුත් අපි දන් වේල ගන්නව. ඒත් අපෙන් කවදාවත් දානයක් පිරිකරක් දෙන්නෙ නැහැ. ඒව සාංඝික දේ, පන්සලේ දේ කියල අපි බණ දේශනා කරනවා…” (27 පිටුව)

නවකතාවේ අපට හමුවන සුවිශේෂ චරිත දෙකක් ලෙසින් පණ්ඩිත හාමුදුරුවන්ගේ චරිතය සහ පාදිලි උන්නාන්සේගේ චරිතය හඳුන්වා දෙන්න පුළුවන්. ආගමික සංස්ථාව සියුම් විවේචනයකට ලක් කිරීමට කතුවරිය මෙහිදී උත්සාහ ගෙන තිබෙනවා. ඇයගේ මෙම ප්‍රයත්නය සාධාරණ බවකින් යුක්තයි. ආගමික සංස්ථාවන්හි පවතින ප්‍රායෝගිකව නොහිතීමේ ගුණය වත්මන් සමාජයේද එලෙසින්ම අපට දකින්නට ලැබෙනවා.

“මිදුලේ සාදා ඇති පොකුණ මැද කිරිගරුඬ පැහැවූ  රුවකි. එය බිම බලා සිටින කාන්තා ඉරියව්වක් පෙන්නුම් කරන අතර, වතුර මලකින් ඇගේ හිසට පතිත වන වතුර රැලි නැවතත් පොකුණට එකතු වේ.” (37 පිටුව)

නවකතාවේ හමුවන ප්‍රබල සංකේතයක් ලෙසින් මෙම පොකුණෙහි සිටින කිරිගරුඬ ගැහැනු රුව පෙන්වා දිය හැකියි. ‘වෙදර් ෆීල්ඩ්’ නිවසේ ඇති මෙම මූර්තිය නවකතාවේ අවසානය දක්වාම අඛණ්ඩව කතා තේමාවත් සමග සම්බන්ධව පවතින්නකි. 

“තවමත් නිදන ඇඳුම පිටින් හඬමින් සිටින ෆිලොමිනා දැකීමෙන් ඇයගේ සිතට මහා ශෝකයක් පිවිසුණි. තම දියණියගේ රූපශ්‍රීය ඒ ආකාරයට රැගෙන ආ ඇගේ එකම මිනිබිරිය සමඟම නිරුවතින් ඇඳ උඩ ඇති වෛද්‍ය ජෙරාඩ්ගේ සිරුර දුටුවාය. මෙය මිනිබිරියගේ කාමරයයි.” (60 පිටුව)

සිය මවගේ මරණයෙන් පසු ‘මව් මරා උපන් එකියකය’ යන කැළැල ෆිලොමිනාට උරුම වෙනවා. ඇය කුඩා කල සිටම වෙනස් දැරියක වූවා. මවගේ සෙනෙහස අහිමි වීම, පියාගේ දරදඬු ක්‍රියා කලාප, සමාජානුයෝජනය වීමට අවස්ථාවක් නොලැබීම වැනි කාරණා නිසාවෙන් නිවසටම කොටු වූ, බාහිර සමාජයෙන් වියුක්ත වූ දැරියක් බවට පත්වීමට ෆිලොමිනාට සිදු වුණා. වෛද්‍ය ජෙරාඩ්ගේ සහ වෙදර් ෆීල්ඩ් නිවසට අරක්ගත් මූසල ගුප්තමය බවෙහි කූටප්‍රාප්තිය ආරම්භ වන්නේ ජෙරාඩ්ගේ මරණයෙනි. ෆිලොමිනාගේ කාමරයෙන් වහනය වන මෙන්තෝල් සුවඳ ඔස්සේ කතුවරිය පාඨකයා වෙත කලින් සිටම යම් ඉඟි ලබා දුන්නද, එහි සැඟවුණු සත්‍යය හෙළිදරව් වන්නේ ජෙරාඩ්ගේ මරණයෙනි. ඔහුගේ නිරුවත් මළ සිරුර ෆිලොමිනාගේ කාමරයේ ඇඳ මතින් හමුවීම ඔස්සේ පාඨකයා වඩාත් කම්පිත බවට පත් වෙයි. නිවසේ මෙහෙකාරිය වූ ඉසබෙලාගේ මරණය සිදු වන්නේද මෙම රහස් සම්බන්ධය නෙත ගැටීමෙනි. මෙහිදී අපට හමුවන්නේ පියා සහ දුව අතර ඇතිවූ ලිංගිකමය සබඳතාවක් පිළිබඳ හෙළිදරව්වකි. එය ෆිලොමිනාගේ අනුදැනුම මත සිදුවූවක් නොවන බවට මෙන්තෝල් සුවඳ සාක්ෂි දරයි. මෙහිදී අපට සිහියට නැගෙන ලාංකේය නිර්මාණ කිහිපයක්ම පවතී. කේ. කේ. සමන් කුමාරගේ ‘සර්පයකු හා සටන් වැද’ කෙටිකතාව, අශෝක හඳගමගේ ‘අක්ෂරය’ චිත්‍රපටය සහ චරිත අත්තලගේගේ ‘දුවේ’ ගීතය ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. ඊඩිපස් මිත්‍යාවට අනුව මෙය හඳුන්වන්නේ ‘ව්‍යභිචාරය’ නමිනි. ව්‍යභිචාරය යනු සමීප ඥාතීන් අතර ඇතිවන ලිංගික සම්බන්ධයයි. මෙයට ග්‍රීක සාහිත්‍යයේ අපට හමුවන සුවිශේෂම නිදර්ශනය වන්නේ සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’ නාට්‍යයයි. ජෙරාඩ් තම දියණිය සමග ලිංගිකව හැසිරීමට හේතුව පැහැදිලිව සඳහන් නොවේ. ඔහුට වෙනත් ගැහැනුන් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීමට කොතෙකුත් අවකාශ පැවතුණි. තවත් විවාහයක් පවා සිදු කරගැනීමට හැකියාව තිබුණි. මෙහිදී ඔහු තම දියණිය සමගම ලිංගිකව හැසිරීමෙන් ඔහු තුළ දහර වෛරය පැවතුණි යැයි අපට සිතිය හැකිය. මනෝවිශ්ලේෂණවාදයට අනුව ‘දහර වෛරය’ යන්නෙන් හැඟවෙන්නේ කුඩා ළමුන් කෙරෙහි ඇතිවන පසමිතුරු හෙවත් වෛරී ආකල්පයයි. ෆ්ලෝරන්ස් කෙරෙහි ඔහු තුළ වූ වෛරය ෆිලොමිනා නෙත ගැටෙන වාරයක් පාසා ඔහු තුළ දැල්වුණා විය හැකිය.

“සංසාරේ මේ තරම් පවක් කරල තියෙයි කියල හිතනවද මේ සීදේවි මූණ දැක්කම? අනේ අප්පේ, ගෙවාගන්න බැරි පවක් කරන්න ඇති. උපදින කොටම මව් මැරිල. යන්තම් ළමිස්සියක් වෙනකොට පියා මැරිලා. කසාද බැඳලා දෙතුන් දොහෙන් ස්වාමියා මැරිලා… වනේ හතුරකුට එපා මේ වගේ කරුමයක් වෙන්න…” (87 පිටුව)

ෆිලොමිනාගේ චරිතයෙන් දිස් වන්නේ නූතන පටාචාරාවකගේ ස්වභාවය නොවේද? ඇයට අවශ්‍ය වන්නේ බෙහෙත් ප්‍රතිකාර නොව ආදරය, කරුණාව සහ රැකවරණයයි. ඇයට නොලැබෙන්නේද එයමයි. මුදල්, දේපළ, යානවාහන වැනි භෞතික වටිනාකමින් යුතු සියල්ල ඇය සන්තක වුවද, ඇයට ආධ්‍යාත්මිකව හිමිවිය යුතු දෑ කිසිවක් ඇයට හිමි නොවේ. ඇයගේ ජීවිතයේ පවතින ඛේදනීයම ස්වභාවය වන්නේ වසන්තය උදාවත්ම, ඒ පසුපසම තද ශීත කුණාටු හමාගෙන පැමිණිමයි. එම කුණාටුවලින් රැගෙන යන්නේ ඇයගේ ජීවිතයේ වටිනාම වස්තූන්ය. 

“ෆිලොමිනා ජෙරල්ඩින් ඩි සේරම් දැන් කාන්තිය. නිකම්ම කාන්ති නොව ‘පිස්සු කාන්තිය’. විල්බාගේ සේවකයින් විල්බා නැති තැන ඇයව හඳුන්වන්නේ ‘පිස්සු කාන්ති’ ලෙසය.” (95 පිටුව)

ෆිලොමිනාගේ ජීවිතයේ ඛේදනීයම ඉරණම ආරම්භ වන්නේ විල්බාගෙනි. ඔහු තුළ ඇය කෙරෙහි යම් ස්නේහයක් පැවතුණද, බීමත්කම, සූදුව, මුදලට පවතින ගිජුබව විසින් විල්බාගේ යහගුණ ගිලගෙන ඇත. එබැවින් ඔහුව පාඨකයාට දිස්වන්නේම කළු චරිතයක් ලෙසිනි. ස්ත්‍රියකට සිදු විය හැකි දරුණුම ගණයේ සිද්ධිදාමයන්ට ෆිලොමිනාට මුහුණපාන්නට සිදු වන්නේද ඔහු නිසාවෙනි. මෙහිදී පාඨකයාගේ හදරැඳි චරිතය බවට පත්වන්නේ රත්නාය. රත්නා ඇයගේ ගැලවුම්කරුවා බවට පත් වූයේය. 

“අනේ කුණු සංසාරේ… අම්ම අප්ප කවුද කියන්න දන්නේ නැහැ… කතා කළාට කතා කරන්නෙ නැහැ. පොත් මල්ලක් තුරුලු කරගෙන ඉන්නව. ඒකත් සිංහල නම් බැරිය. ඉංග්‍රීසි මැට්‍රිකියුලේසන් එකට ඉගෙන ගන්න වගේ බැලුවොත් පොතේ එල්ලිල. එක පොත දහ දොළොස් වතාව කියවන සිරිතක් තියෙද? එක්කො බලාගත් අත බලාගෙන ඉන්නව… මූණකටේ වැදගත් පාටකුත් තියෙනව. උඹ මගේ ගාවට වුණේ  අද දවසේ. දරුවෙක් වෙලා ඉන්න ඇති ඉහත සංසාරේ…” (106 පිටුව)

ෆිලොමිනාගේ මිත්තණිය, ටෙරෝන් සහ ඩොක්ටර් ඩෙනිස්ට පසු ෆිලොමිනාට හමුවන සොඳුරු මිනිසුන් දෙපළ බවට පත් වන්නේ රත්නා සහ චාලට්ය. මෙහිදී රත්නා සහ චාලට් සුවිශේෂ වන්නේ ඔවුන් ෆිලොමිනා රැකබලා ගත්තේ කිසිදු ඥාති සම්බන්ධයකට හෝ ලාභ ප්‍රයෝජනයකට නොවීම නිසාය. ෆිලොමිනාගේ වසන්තය නැවත උදාවන්නේ ඔවුන්ගෙනි. නැවත ඇය සොයා ශීත කුණාටුව හමා ආවේ ඔස්ට්‍රේලියාවෙනි. එය කුණාටුවක් නොව වසන්තයක් යැයි ඔබ පවසනු නිසැකය. නමුත් ඇයගේ අවසන් ඛේදය ආරම්භ වන්නේ සිඩ්නිගේ විවාහ යෝජනාවෙනි. එය තවදුරටත් ඉක්මන් කරන්නේ වෙද හාමුදුරුවන්ගේ ආරක්ෂක ප්‍රතිකාරය වූ නෑඹුල් පොල්ගසක පොල් ගෙඩියෙනි. 

“ගාඩ්නියා මල් සුවඳ සමඟ අතීතයේ ෆිලොමිනාට දැනුණ මෙන්තෝල් සුවඳ ඇයට දැනුණි. ඇය දෑස් පියාගෙන සඳලුතලේ වැට අල්ලා ගත්තාය. සුදු පැහැ ගවුමක් හැඳ මුදු ගැසුණු රැලි කොණ්ඩය ලිහී විසිරී සිටින ඇයද සඳ එළිය වැටී කිරිගරුඬ ප්‍රතිමාවක් සේ දිස් වුණේය. සඳ දෙස බලමින් ඇය ඉතාමත් සැහැල්ලුවෙන් හිනැහෙන්නට වූවාය.” (133 පිටුව)

ගාඩ්නියා මල් සුවඳින් ඇයගේ මතකයට නැගුණේ පියාගෙන් තමන්ට සිදුවූ අකටයුත්ත නොවේද? ඇය දෑස් පියා මෙතෙක් තමන් මුහුණ පෑ අඳුරුම අඳුරු මතක ගොන්න සිහිපත් කළා විය යුතුය. ඇය වැට අල්ලා ගත්තේ ඇයට තවදුරටත් අල්ලා ගැනීමට කිසිවක් නොමැති හෙයින් විය හැකිය. සිඩ්නිගේ විවාහ යෝජනාව ඇයට සිහි වන්නට ඇත. චාලට් අම්මාගේ විලාපය ඇයට සිහිවන්නට ඇත. ඉසබෙලා අම්මාගේ හදිසි මරණය ගැන ඉඟියක් ඇයට දැනෙන්ට ඇත. මව නොමැති වූ ඇයට මව්වරු සිවුදෙන්නෙක්ම සිටියෝය. ඒ මිත්තණිය, ඉසබෙලා, කරලැයින් සහ චාලට්ය. ඇයට ඇගේම නොවන සහෝදරයෙක්ද සිටියේය. ඒ රත්නාය. රත්නාගේ සහ චාලට් අම්මාගේ මුහුණු දකින්නට ආසාවක් ෆිලෝමිනාට ඇති වූවා විය හැකිය. එයට බාධාවක් වූ විල්බාද දැන් නැත. නමුත් ඇයගේ උපතේ පටන් සෙවණැල්ලක් සේ පැමිණෙන අවාසනාව එවිගසම ඇයට සිහිපත් වූවා විය හැකිය. ඒ අවාසනාවේ ගොඳුරු බවට රත්නා, චාලට් අම්මා හෝ සිඩ්නි පත් නොවිය යුතු බව ඇය ඇයටම තදින් අවධාරණය කරගත්තා විය හැකිය. ඇයට මේ සියල්ලෙන් නිදහස් වන්නට සිතුණා විය හැකිය. ඉතාමත් සැහැලුවෙන් හිනැහෙමින් ඇය සඳලුතලයෙන් පිටතට පියැඹුවා විය හැකිය. අත්තටු නොමැති හෙයින් පහළට වැටුණු ඇය කිරිගරුඬ ප්‍රතිමාව දරාගත්තා විය හැකිය. මෙතෙක් කල් බිම බලා හිඳි කිරිගරුඬ ප්‍රතිමාව නිවී සැනසුණු හිනාවක් පෑවේ මේ අහිංසක ගැහැනියගේ නිවී සැනසීම වෙනුවෙන් විය යුතුය. නමුත් එය තාවකාලික නිවී සැනසීමක් බවත්, සංසාරයේ ඇයගේ ගමනාන්තය තවදුරටත් දීර්ඝ වූ බවත් දන්නා පාඨකයිනි, අපට ගිරගක් මෙන් නිසලව සිටිය හැකිද? නිසල ගිරගද සසල වේ නම් අප සසල නොවී සිටින්නේ කෙසේද? එබැවින් කියවන්න. සසලත්වයට පත්වන්න. සංසාරයේ බියකරු බව වටහාගන්න. 


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment