කාර්ය බහුල ජීවන රටාව ඇතුළේ වුනත් ගොඩක් කැමැත්තෙන් පොත් කියවීමෙහි යෙදෙන ගමන් පොත් පිළිබඳ ව ඔත්තු මිතුරන් අතරේ බෙදා ගනිද්දි, ඒ වගේ ලැබුණු ඔත්තුවකට කියවපු පොතක් තමයි රෝස මුසැන්ඩාස් පිස්සුව.
මේ පොත ලියන්නේ සුසන්ත මූණමල්පේ. මූණමල්පේ ගොඩක් දෙනා දන්නේ කවර නිර්මාණකරුවෙක් විදිහට. හැබැයි මේ පොත ඔහු තුළ ඉන්න කතාකාරයා අවදි කරනවා. ඉන් අදහස් වෙන්නේ නැහැ ඔහු ලියන්න ගන්නේ මේ පොතෙන් කියලා. ඔහු ලියනවා. ඒවා ජනතාව අතරට පොතක් විදිහට එන්නේ මේකත් එක්ක. කෙටිකතා හයක් පිටු හැට හතරක් ඇතුළේ කරන වික්‍රමය තමයි විශේෂත්වය. ප්‍රමාණයෙන් කුඩා කතා.
ඉතාම කුඩා පොතක් මේ තරමට උමතුවක් වෙන්න පුළුවන්ද? ඔව්, ඒකට දෙන්න තියෙන පිළිතුර තමයි ඔව් කියන එක. පොතක ප්‍රමාණය අදාළ වෙන්නෙ නැහැ. හරය තමයි වැදගත්. පළවෙනි කෙටිකතා පොත සාර්ථක වීමම සුසන්ත ලැබු ජයක්. ඒ සාර්ථක වීමට ප්‍රබල හේතුවක් තමයි පොතේ නම: රෝස මුසැන්ඩාස් පිස්සුව. මේ නම වෙනස්. ඒ වෙනස හින්දම කෙනෙක් පොත අතට ගන්නත් කියවන්නත් පෙළඹෙන්න පුළුවන්. මුසැන්ඩාස් කියන්නෙ ටිකක් විතර ලොකු මල් ගහක්. ඒකේ මල් කිනිත්තක් විදිහට හැදෙන්නෙ. ඒ වගේ දෙයක් පොතකට මුල් වෙන්න පුළුවන් ද? ඒක තමයි වෙනස පාඨකයා සහ නිර්මාණකාරයා අතර. අපට නොපෙනෙන ලෝකයක් ඔහු දකිනවා. නොවටින දෙයක් වුණත් වැදගත්ව දකින්න ඔහුට පුළුවන්.
පළවෙනි කතාව, ස් – මරණය සහ ගස් මරණය. මේ කතාව කියන්නේ ගසක් සහ මතකය ගැන. ගස් කතා කරන තැන් අපි දකිනවා සාහිත්‍ය ඇතුළේ බොහෝ තැන්වල. මේ කතාවත් ඒ වගේ. කතාව කියවලා ඉවර වුණාම දැනෙන්නේ කම්පනයක්. ඒක හරියට ම දැඩි ඉහිලුම් නොදෙන ගතියක් වගේ කියන්න පුළුවන්. එදිනෙදා ජීවිතයේ මා විඳි ඇතැම් අත්දැකීම් මේ කතාවේ අත්දැකීමට සමාන වීම ඊට ප්‍රබල හේතුවක් වෙන්න පුළුවන්. තනිවුණ එහෙම නැත්නම් හුදකලා වුණ ගැහැනියක් එක්ක දුක සැප බෙදා ගන්න කතා බහ කරන කොස් ගහක්. කොස් ගහ මරණයෙන් බේරා ගන්න බැරි වුණ ගැහැනියක්. ඒ දුකට ගහත් එක්ක මැරිලා ගිය ගැහැනියක්. ගිමාරා මේ කතාවේ කථානායිකාව. ඇය එහෙම කෙනෙක්.
දැන් පේනවනෙ දිගටම මේ පැත්තෙ කඩවල් කඩ කඩා හදනවා, අලුත් මූණවල් හයි කරනවා. මේ පාර මේ පැත්තෙන් පාර පළල් කරනවනෙ, අඩි දහයක් පස්සට ගන්නයි යන්නෙ බිල්ඩින්. (9 පිටුව)
කතාව පටන් ගන්නෙ මෙහෙම: කතාව කියන්නෙ තුන්වෙනියෙක්. කතාව පටන් ගන්නෙ ගස කරන දරුණු චෝදනාවක් එක්ක. ඒක කන්කෙඳිරියක් කියන්නත් පුළුවන්. ඒක ඇහෙන්නෙ ගිමාරා හාමිනේට. ඒ චෝදනාව ගසට වෙන අසාධාරණය ගැන. ඒක වෙන්නෙ සමාජයෙන්. මිනිසුන්ගෙන් විතරක් නෙවෙයි, සතුන්ගෙනුත්. අපි කවදාහරි එහෙම දෙයක් හිතලා තියෙනවාද? ඒ නිසයි මේ පරිකල්පනය විශේෂ. හුදෙකලා ගැහැනිය ගිමාරාටයි, කොස් ගසටයි තියෙන්නෙ සමීප ඇසුරක්. ඒක ගැඹුරුයි.
ගිමාරාලා මේ සමාජයේ ඕනෑ තරම් ඉඳලා තියෙනවා. ඉන්නවා. තමන් වඩාත් ආදරය කරන දෙයක් හෝ කෙනෙක් බේරගන්න නොහැකිව අසරණ වුණු ගැහැනු සහ පිරිමි මේ සමාජයේ ඕනෑ තරම්. ඒ මිනිසුන්ගේ ආත්මීය විලාපය මේ කතාව ඇතුළේ දැනෙන්න ගන්න තැනදි කියවන අපි කතාවට ඇලෙන්න ගන්නවා. එතන තමයි කතුවර බලාපොරොත්තුව ඉටු වෙලා ඔහු සාර්ථක වෙන්න පටන් ගන්නේ.
විජිතගේ වළලු විජිතය මේ පොතේ එන වෙනස් කතාවක්. හිත ඇඳ බැඳ ගන්න කතාවක්. විජිත බස් කොන්දොස්තර කෙනෙක්. මේ කතාව කියනනේ විජිතගේ ජීවන දර්ශනය ගැන. ඒක සංකීර්ණ වගේ ම ගැඹුරුයි කියන්න පුළුවන්.
“කොල්ලො ඔහෑටි වළලු දානවයෑ” අදාළ කතාව ඇරඹුනේ එහෙම.
මොන පොතේ ද මිස් කොල්ලන්ට වළලු දාන්න එපා කියලා තියෙන්නේ? (38, 39 පිටු)
සමාජය හැම වෙලේම සර්ව සාධාරණ ද? පීඩනයට ලක්වන්නේ, අසාධාරණයට ලක් වන්නේ ගැහැනු විතරද? ඒකට ගැළපෙන ම උත්තරය තමයි ලිංගය මොකක් වුණත් සමාජය සර්ව සාධාරණ නැහැ කියන එක. සමාජය ඉන්නෙ බෙදුම් කටුවක් අතේ අරන්. වෙන් කරන්න, බෙදන්න බලාගෙන. මේ කාරණාව හින්දා ගැහැනු-පිරිමි දෙගොල්ලම අපහසුතාවට පත් වෙනවා. කොණ්ඩෙ වවන්නේ කබ්බෝ, කොණ්ඩෙ වවලා, කරාබු වළලු දාලා ටැටූ ගහන්නේ රස්තියාදුකාරයෝ, මල්වැටුණු කුඩ අරන් යන පිරිමි ගෑනු භාග, හොඳට අඳිනවානම් මහත්වරු. සමාජයේ මිම්ම හරි පටුයි. මේකට හේතුව ලිංග භේදයට ඔබ්බෙන් ගිය වෙනත් බෙදීම්. කාර්යයන්, වර්ණ, ගතිගුණ, ඇඳුම් පැළඳුම්, බඩු භාණ්ඩ වර්ග වෙලා. ඒ බෙදීම ගැහැනු මිනිස්සු දෙකොටස ම අපහසුතාවට පත් වෙනවා.
විජිත මේ කියන බෙදීමට එරෙහිව කතා කරනවා වගේ ම නැඟී සිටින කෙනෙක්. ස්වාධීන චරිතයක්. ඔහු දාන හැම වළල්ලකටම කතාවක් තිබුණා. ඒ කතාව දැන ගත්තාම අපි හිතන්න ගන්නවා හැම පුංචි දේකට ම ආවේණික කතාවක් තියෙනවා කියන කාරණාව. මිනිස්සු තමන්ගේ කතාව හැර අනිත් කතා අමතක කරන එක අසාධාරණ බව දැනෙන්න ගන්නවා. අනෙකාට ගරු කිරීම අවශ්‍යයි කියන දේ මතක් කරනවා. පොත පතෙන් ඔබ්බට ගිය සමාජ දැනුමක් සහ අත්දැකීම් එක්ක පරිණත වෙන විජිතගේ ජීවිතාබෝධය උපාධියකින් ගන්න බැරි තරම්. ඒක අපට වඩා විශාලයි. ඒක ගැඹුරු වෙන්නෙ ඒ නිසා.
විජිත තුසිතාට ආදරය කරනවා. තවත් වළල්ලක් එකතු කර ගැනීම හැර ඒකට වෙන හේතු තිබුණේ නැහැ. හැබැයි තුසිතා විජිතට ආදරය කරන්න විශේෂ හේතුවක් නැති වුණත් වළලු ගැන හාර හාර අහනවා. තුසිතා තමන්ට කියලා වළල්ලක් හදා ගන්නවා. එතන දී විජිත වළලු දාන එක සදහටම නතර කරනවා. ඒක හරියට සමහර මිනිස්සුන්ගේ ජීවිතය වගේ.
කතා පොතේ එන රෝස මුසැන්ඩාස් පිස්සුව තවත් එක වෙනස් කතාවක්. ඒ කතාව චරිත කිහිපයක එකතුවක්. විවිධ කාල එහෙම නැත්නම් යුග ගැන කතාවක්. යුද්ධයේ බිහිසුණු බව නැවත මතක් කිරීමක්. ජාතික කොඩි සමඟ සීල් තැබූ මිනි පෙට්ටි දකුණට එවූ යුගය සිහිපත් කරන කතාවක්. හදවත කම්පා කිරීමට සමත්. සමාජය අවධි කරන්නට දරන උත්සහයක්. හෘද සාක්ෂිය අවධි කිරීමක්.
මිදුල රැහැ රැහැ හිටපු මල්කාන්තිගෙ උදලු පාරෙන් කැපිච්ච තණකොළ, මුල්, පසුත් එක්ක කලවම් වෙලා ගොඩගැහෙන්නහේ පරණ මතකයන් ගොඩ ගැහෙන්න ගත්තා, කඳු ගැහෙන්න ගත්තා. (27 පිටුව)
සාගර සහ සොහොන් අරලියා මේ පොතේ අවසාන කතාව. ඒක ආගන්තුක දෙන්නෙක්ගේ ලියුම් හුවමාරුවක්. ලියුම් හුවමාරු කර ගත්තු අය බෝඩිමේ කාටත් රහසක්. හැබැයි ඒ අය නොලියවුනු සම්ප්‍රදායක් රකිනවා. බෝඩිමට එන කවුරුත් ඒ ලියුම් විසි කරන්නෙ නැහැ. කුණු කූඩෙට දාන්නේ නැහැ. ඒ අය ඒ ලියුම් කියවනවා. තාක්ෂණය දියුණු වුණත් ලියුම් ලියපු සහ ලියුම් නොලියන අයත් ලියුම් කියවන්න කැමතියි. ඒ තුළ තියෙන රසයට කැමතියි. ඒක හේතුවක් වෙනවා ලියුම් විනාශ නොවී ආරක්ෂා වෙන්න.
කාලෙන් කාලෙට බෝඩිම මාරු කරන එක මගේ එක විනෝදාංශයක්. එහෙම මාරු කරාම හැමදේම වෙනස් වෙනවා. මම කැමති ඒකට. (56 පිටුව)
මේ කතා හයේම ආවේණික රසයක් තියෙනවා. හුරුබුහුටි යි. ඉන් අදහස් වෙන්නේ නැහැ ගැඹුරු තේමා කතුවරයා කතා නොකළ බවක්. ගැඹුරු තේමා අපූරු මෙන්ම නැවුම්ව ගෙන එන කෙටිකතාකරුවා, බුහුටිකම සුරකින්න අමතක කරන්නේ නැහැ. මේ කතාවල මං දකින අනෙක් විශේෂත්වය තමයි කතාවල එන ඇතැම් චරිත රත්නපුරෙන් එන චරිත වීම. ඒ චරිතවල අක්මුල් රත්නපුරයට සම්බන්ධ බව පේනවා. මේ කෙටිකතාවල භාෂාව සරල යි. අව්‍යාජයි. කොහොම වුණත් මේ කෙටිකතාවල ආධුනික, ආගන්තුක බවක් පේන්නෙ නැහැ. ඊට කතුවර හැකියාව ඉවහල් වෙනවා.
සුසන්ත මූණමල්පේගේ රෝස මුස්සැන්ඩාස් පිස්සුව පිස්සුවෙන් වගේ කියවන්න පුළුවන් කෙටිකතා අහුරක්. පොත් පිංචකට වඩා ලොකු, අතට ගත්තාම සැහැල්ලුවට දැනෙන මේ කෙටිකතා පොත කොයිතරම් බරද කියලා දැනෙන්නේ ඒ කතා හයම එක හුස්මකට කියවගෙන කියවගෙන ගියාට පස්සේ. සුසන්ත මේ කාලයට ගැළපෙන විදිහේ කතාකාරයෙක්. නම රැන්ඳු කලාකාරයෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දක්ෂයෙක්.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
