චන්දන ගුණසේකර කතුවරයා විසින් රචිත සංසාර සක්මන් කුළුඳුල් නවකතාව කියවා හමාර කළේ පසුගිය සති අන්තයේ දී ය. මෙතෙක් කල් ඔහු විසින් පරිවර්තනය කරන්නට යෙදුනු ලෝකප්‍රකට නවකතා අතරේ ඔහුගේ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව ලෙස ද, පස්වෙනි මුද්‍රිත පොත ලෙස ද සංසාර සක්මන් පොත එළි දකින්නේ 2023 වසරේදීය.
පාසල් යන, නව යොවුන් වියේ සිටින මෙම කතාවේ ප්‍රධාන චරිතය සිතිල හා ඔහුගේ පවුල ඇතුළු නෑයින් ගේ ජීවන අන්දරය සමග මෙයට දශක ගණනාවකට කලින් සමාජයේ ස්වහාවය මනාව ගෙනහැර පාන සිත්තමක් අප සිතේ මතු කරනු ලබන්නන් මනා සංයමයකින් යුතු වාග් හරඹයකිනි.
මේ පොතේ දකින්නට හැකි මහත් වූ කාර්යය නම් කතුවරයා ගේ සාරවත් සෞම්‍ය බස් වහරයි. වැඩවසම් සමාජය දෙස තීක්ෂණ ලෙස බලමින් එහි අවර ස්වභාවය ගෙනහැර පාන අතරම පරිසර වර්ණනා සහ ජීවිතය පිළිබඳ දැක්මක්ද හරි අපූරුවට පුරුද්දා ඇති ගේත්තමක් ලෙස මෙය පෙනේ. රොට වැව, අනුරාධපුරය, පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර දෝලනය වන කතන්දරයේ මේ සියලු සිදුවීම් එක්ක අප ද රොට වැව ගියාක් මෙන් දැනුණු වාර අනන්තයි. එම පරිසරයේ හැටි කතුවරයා ඉතා අලංකෘතව සටහන් කර තිබෙන අයුරු කියවන කල, බොහෝ කල් විදෙස්ගතව කල් ගත කලද ඔහු තුළ තම ගම් ඉසව්ව පිළිබඳ ව ඇති දැනුම් සම්භාරය බොහෝ බව වැටහේ.
“මිහින්තලා කඳු වැටියත් ඒ මතට සුදට සුදේ දිලෙන චෛත්‍ය රාජයාත් දර්ශනය වන විට අම්මා මා අවදි කළාය. මලින් හා රතුවන් දුඹුරු පැහැති නවමු දලුවලින් පිරී ගිය අඹ උයන් ආදිය පසු කරමින් ධාවනය වූ බසය මිහින්තලය කඩපොළේ හතරමං හන්දියේ නතර කෙරිණි. අම්මාත් මමත් ඉන් බැස ත්‍රිකුණාමලය පාරට මාරු වීමු. ඒ මොහොතේ හිරු අහසේ චණ්ඩව දිලුණි. ඉඳහිට අම්මාව හැඳිනගත් ගැමියකු දෙන්නෙකු කරේ දමාගෙන සිටි තුවා අතට ගෙන අම්මා සමඟ ගරු සරු ඇතිව කතා කළේ බුලත් විට හෝ තලා කොළ සපා රත් පැහැ ගත් මුව තුළින් කහට ගැහී දුර්වණ වූ දසන් විදහාය. දත්වල කහට තිබුණත් ඔවුන්ගේ හදවත් නම් මිහින්තලේ චෛත්‍ය රාජයා මෙන් සුදෝ සුදින් බැබළෙන බව මට හැඟිණි”
(පිටුව 34, සංසාර සක්මන්)
මේ කාලය තුළ රන්මැණිකා සහ සිතිල අතර දළුලන නෑඹුල් ප්‍රේම යාත්‍රාව මොන තරම් සුපෙක්ෂාවෙන් ගමන් කළාද කියා මේ නවකතාව කියවද්දී හැඟුනි. නව යොවුන් කාලයේ හිතේ සක්මන් කරන ආදර බර හැඟුමන් අතරේ අධ්‍යාපනය මුල් කොට සිහිය පිහිටුවන හැටි ප්‍රධාන චරිතය තුළින් මනාව හසුරුවා පෙන්වයි. එය වඩා සුපසන් මෙන්ම යථාවාදී ප්‍රවේශයක් ලෙස මට හැඟේ.
විශ්ව විද්‍යාල ජීවිතයේ සිදුවන නවක වදය සහ එහි අවුල් සහගත බව නොසඟවා ලිවීම අගය කළ යුතුය. මේ සමාජයේ අප බැහැර කළ යුතු අකටයුතුකම් සහ ඒවායින් සිදුවන ශාරීරික මෙන්ම මානසික හානිය පිළිබඳව ද මේ අකුරු අතරේ හමුවේ.
”මෙවන් අප්‍රසන්න අත්දැකීම් බොහොමයකට අපට මුහුණ දෙන්නට සිදුවිය. ඒ හැම මොහොතකම මට මේ සියල්ල අත් හැර දමා ගෙදර දිව යන්නට සිතිණි. ඒත් ඒ සමඟම මට සිහිපත් වූයේ අම්මා සහ තාත්තාගෙ මුහුණත් රන් මැණිකාගේ ඒ අහිංසක මුහුණත් ය.”
(පිටුව 159, සංසාර සක්මන්)
තමන් දිහා හැරී බලන්න වඩියක් නතර නොවන මිනිසුන් තමන්ගේ චිත්ත ආවේග පාලනය කරගැනීමකින් තොරව තමන්ගේ සිතැඟි පරිදි කටයුතු කරද්දී පරම්පරා ගණනාවක් ඒ ක්‍රියාවල විස්සෝප කඳුළු අත් විඳින බව මේ කතාවේ චරිත සහ සිදුවීම් තුළින් මනාව ගෙන හැර පාන්නේය. කතාව අවසානයක් වනතුරු සිදුවන්නේ කුමක්ද, සිදුවූයේ කුමක්ද කියා අනුමාන කරන්නට බැරි තරම්ය. එනිසා උද්ගත වූ කුතුහලය නිසාම මේ පොත කියවාගෙන යන්නට පාඨකයා තුළ පෙළඹවීමක් ඇති වේ.
කඩුපුල් මලක් වන් සුන්දර රුවැත්තියේ
සේපාලිකා මල් ගොමුවේ සුවඳ තියේ
මගේ හද විලේ සුපිපුණු පෙම්බරාවියේ
පණ මෙන් රකින්නෙමි මම අප්සරාවියේ
(උපුටා ගැන්ම සංසාර සක්මන්)
මේ නවකතාව යම් චරිත කිහිපයක් ඔස්සේ ඒවා අතර දෝලනය වෙන බවක් හැඟෙන නමුදු කතුවරයා විසින් එම සිදුවීම් සවිස්තරාත්මක ලෙස සටහන් කර ඇති බව පෙනේ. කතුවරයා තුළ බද්ධ වි ඇති කවිකම් අවදි වී ඇති තැන් බොහෝ සෙයින් මේ පොත තුළ හමුවේ. එහෙව් අගනා කවි පද පේලි අතරේ දළුලන යොවුන් ප්‍රේමයට සිදුවන්නේ කුමක් ද? වැරදිකරුවන් කවුරුන්ද ? යන පැනය මතු කියවන අය වෙත ඉතිරි කරමින් කතුවරයාගේ ලේඛන දිවිය වෙත බොහෝ සුභාශිංසන එක් කරමි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
