කැන්වසය තුළ පෙනෙණ නිරුවත් මිනිසා කවුද?

වර්තමාන කෙටිකතා කලාවේ ස්වහාවය සැබෑ ලෙස තක්සේරු කළ හැක්කේ අප ජීවත්වන සමකාලීන සමාජයේ ස්වභාවයට අන්තර්සම්බන්ධිතවය.

මෙසේ ලිිවීමේ අදහස පහළ වූයේ සත්‍යපාල ගල්කැටිය සහෘදයාගේ නවතම කෙටිකතා පොත කියවීමෙන් අනතුරුවය. කලාකරුවාද ඇතුළුව අප ජීවත් වන්නේ ධනේශ්වර ක්‍රමයේ අන්ත ජරාජීර්ණ යුගයක බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලාංකීය කෙටිකතාකරුවන් ද නවකතාකරුවන් ද ඇතුළු බොහෝ දෙනෙක් තවමත් උත්සාහ කරනුයේ අන්තර්ගතයට අනුකූලව තමන්ගේ නිර්මාණය බිහිකිරීමටය. ලාංකීය සාහිත්‍යය තුල මෙතෙක් ආ ගමන්මග පිරික්සා බැලූ විට මේ සම්බන්ධයෙන් අපට යම් පොටක් පාදාගත හැකිය. ලාංකේය සාහිත්‍ය ලෝලීන් බොහෝ දෙනෙකු එවකට ප්‍රචලිතව පැවති රුසියානු සාහිත්‍ය කෘතිවලට ආසා කලේ, එවකට පැවති සමාජ දේශපාලන චලිතය තුළ ඒවා අපේ ජීවිත මෙන්ම ඓතිහාසිකත්වය මතද අපේ ආශාවන් හා සමපාත වූ නිසයි.

නූතන කෙටිකතා කලාව තුළ, සිදු විය නොහැකි දේවල් සුජාතකරණය කිරීම ඇරඹෙන්නේ ෆ්‍රාන්ස් කෆ්කාගෙනි. සල්මන් රුෂ්ඩි, මාකේස්, ආදීන්ගේ කතාවල පදනම හාස්‍යයයි. මෙය ඇත්තෙන්ම වැරදියට තේරුම් ගැනීමක්. කෆ්කාගේ Metamorphosis කෘතිය, රුෂ්ඩිගේ Midnight’s Children කෘතිය මේ සඳහා හොඳ උදාහරණ ය. සයිමන් නවගත්තේගම මෙහි ලාංකීය උදාහරණය යි. ලාංකේය සන්දර්භය තුළ, වියහැකි දේවල් මෙන්ම විය නොහැකි දේවල්ද යොදාගැනීම මුලින්ම ඇරඹෙන්නේ සයිමන්ගෙනි. ඔහු එය කාල් යුංග් මෙන්ම එරික් ෆ්‍රොම්ගේ ආභාෂයෙන්, මහායාන බුදුදහමේ විඥාණය තුළින්, ෆ්‍රොයිඩියානු අවිඥාණය තුළින් පිළිබිඹු කළා. ජනකතා, ආගමික සාහිත්‍යය, දෘෂ්ඨාන්ත, චාරිත්‍ර-වාරිත්‍ර, ඕපාදූප, සාමුහික දිවා සිහින, සහ ව්‍යභිචාර විග්‍රහ කිරිමට යොදා ගැනුණා.

පුද්ගල අධ්‍යාත්මයේ සංකේන්ද්‍රණය වන සමාජ, දේශපාලන, සංස්කෘතික හා මානව විද්‍යාත්මක චලනයන්ගේ හා සමාජ දේශපාලන තලයන්හි සංකේන්ද්‍රණය වන පුද්ගල අධ්‍යාත්මික අන්‍යොන්‍ය බව බොහොමයක් කෘතිවලින් නිරූපණය වුණා.

දැන් අපි කතාබහට ලක් කරන කතුවරයා වන ගල්කැටියගේ අරණ තුල අරම කෙටිකතා සංග්‍රහයේ එන කතා, ඉහත කී විය නොහැකි දේවල් මෙන්ම විය හැකි දේවල් ද මනාව යොදාගෙන නිර්මාණය වුවක්. අරණ තුල අරම කෙටිකතා සංග්‍රහය තුළ ඇති පදම් බියකරු මෙන්ම හාස්‍යජනක දේවල් ද මනාව මුසුකොට තිබේ. මෙය කුන්දරාට අනුව නූතනවාදී කතා කලාවේ යථාර්ථවිරෝධී විලාසිතාවයි.

ගල්කැටිය තම කෘතියෙන් බරපතල දෙයක් නොපවසයි. ඔහු මුලින්ම කෘතිය තුලින් පාඨකයා සමග සම්බන්ධයක් ගොඩනගා ගන්නට උත්සාහ ගනී. මෙහි ඇති විශේෂත්වය නම්, ඔහු ගොඩනගන ආකෘතිමය වෙනසයි. මෙකී ආකෘතිමය වෙනසම ඔහුගේ කෙටිකතාවේ සාර්ථකත්වයේ රහසයි. දැන් අපි කෙටිකතා හතකින් සමන්විත ඔහුගේ කෘතියට නාභිගත වෙමු.

ව්‍යාග්‍රා කෙටිකතාව පටන්ගන්නා ආකාරය බලන්න.

“කලක් සපුමල්ගම ජාතික පාසලේ බුද්ධ ධර්මය උගන්වන ගුරුවරයා ලෙස කටයුතු කළ රත්න ධර්මසාර…”

මෙමගින් භාෂාව සංකේත පද්ධතියක් ලෙස යොදාගනිමින් පාසල ගැන අපට යම් අර්ථයක් ගොඩනගා ගැනීමට සලස්වයි.  එසේම තව දුරටත් එම ගුරුවරයා සංස්කෘතික මිනිසෙක් ලෙස හදුනාගැනීමට සලස්වයි. තමන් වෙනත් පාසැලකට මාරුවීමක් ලබා යන දවසේ තමන් උගන්වමින් සිටි පාසලෙන් සංවිධානය කරනු ලැබු උත්සවයෙන් අනතුරුව, ඔහුට පාසලෙන් දෙන ත්‍යාගයට අමතරව සම්ප්‍රදායෙන් බැහැරව පෙරළා ඔහුද පාසලට ත්‍යාගයක් පිරිනමනු ලබයි. අවසානයේ ඔහු නික්ම ගියපසු, ඔහු විසින් පාසලට පිරිනමන ලද ත්‍යාගය පිරික්සා බැලිමේ දැඩි කුතුහලයෙන් යුක්තව එය විවෘත කර බැලු පසු සියළුදෙනා වික්ෂිප්ත වෙති. “ඊයා…” කියා ගුරුවරියක් ලැජ්ජාවෙන් අහක බලාගනියි, නිරුවත් පුරුෂයකුගේ චිත්‍රයක් පාසලට ප්‍රදානය කිරීම හැම දෙනාටම ප්‍රශ්නයක් වන අතර, ගුරුවරුන්ගේ විවිධ දෘෂ්ටිවාද තුළ චිත්‍රයට විවිධ අර්ථ ගැන්වේ. ඇත්තෙන්ම ඔවුනට තෑග්ගක් වශයෙන් දුන් මේ චිත්‍රය අවබෝධ කරගත නොහැකිව විදුහල්පති කාමරය තුල එල්ලනු ලබයි. මෙම චිත්‍රය ශිෂ්‍යයන් සහ ගුරුවරුන් හේතුවක් ඇතිව හෝ නැතිව වරින් වර බලන්නට පැමිණීම නිසා, අවසානයේ දී විදුහල්පති චිත්‍රය වෙනත් තැනක එල්ලන ලෙස නියම කරයි. අනතුරුව සියළු දෙනා නිරුවත් මිනිසා සමග සම්බන්ධයෙන් දුරස් වෙති. නමුත්, පාසලේ එක් ගුරුවරියක් එම නිරුවත් මිනිසාගේ චිත්‍රය සමග අනන්‍යවීමට පටන් ගනී.

තම ස්වාමිපුරුෂයා උසස් අධ්‍යාපන කටයුත්තකට විදේශගත වීමත්, තනිකමින් සහ පාලුවෙන් සිටින තරුණ ගුරුවරිය පාසලේ ගුරුනිවසේ ඇයගේ තනියට සිටින ගැහැනියක සමග නතරව සිටී. පාසලේ සිටින ගුරුවරයා ධර්මසාර නතරවී සිටිනුයේ ඊට ආසන්න ගුරුනිවාසයකය. ඇය තම ස්වාමියාගේ තාවකාලික සමුගැනීම තුළ, තම අසල්වැසි, තවමත් තනිකඩව, විවාහ වන වයස පසුකරමින් සිටින ධර්මසාර කෙරේ මිත්‍රශීලීව සිටීමත්, ඇයගේ අවිඥානික ආශාව ඔහු වීමත් නිසා, නිරුවත් චිත්‍රය දැකීම තුලින් ඇයගේ අවරෝධණය කරන ලද ආශාවන් නැවත නැවත මතුවීමට පටන්ගනියි. තම මර්දිත ආශාවන් නිරුවත් මිනිස් චිත්‍රය තුළින් ෆැන්ටසිකරණය කරයි, මෙය කතුවරයා කෙතරම් අපූරුවට සිදුකර ඇත්දැයි මෙම කතාව තුළ සෙවීම ඔබට බාර කටයුත්තකි.

රුෂ්ඩි Midnight’s Children කෘතියෙන්,  පුපුරා ගිය යානයකින් පොළොවට වැටෙන තම වීරයන් දෙදෙනා උසුඵ විසුළු කරමින් ඇදවැටීමත්; ගල්කැටිය අරණ තුළ අරම කෘතියෙන්, ත්‍යාගයක් ලෙස ප්‍රධානය කරන ලද නිරුවත් මිනිස් චිත්‍රය යථමය මානයේ රදවා තබමින් කරන ආකෘතිමය වෙනස කෙටිකතාවට ගෙන එන ආකාරය ප්‍රශස්ත නොවන්නේද? භාෂාව සංකේත පද්ධතියක් ලෙස යොදාගැනීම, එක් එක් වස්තූන් සහ චරිත ගොඩනගන ආකාරය කෘතිය පුරාම මනාව පිළිබිඹු කෙරේ. පැරණි සාම්ප්‍රදායික මිනුම් දඬුවලට හසු නොවන නූතනවාදී එළඹුම කියවාගැනීමේ යතුර දැන් අප සතුය.

කැන්වසය තුළ පෙනෙණ නිරුවත් මිනිසා නැමැති චිත්‍රය හිස් හැඟවුම්කාරකයකි. එය අනෙකුත් හැඟවුම්කාරක සමග එකතුවී අර්ථයක් ජනනය කරයි. සමුද්‍රා නැමැති ගුරුවරිය සොයන්නේ හුදු ලිංගික සන්තර්පණයම නොවේ, ආදරයයි. තමා තුළ නැති, තමාවත් නොදන්නා, තමා අනෙකා තුලින් සොයන දෙයයි. මෙය දෙදෙනාටම අවිඥානිකයි.

තවද, චිත්‍රයේ සිටින මිනිසා එයින් එළියට ඒම හරහා සමාජ සම්මතය කඩා බිඳ දැමීමක් සේම, පවතින ව්‍යුහයෙන් ගැලවී වෙනත් ව්‍යුහයකට ගමන්කරන ආකාරය අඟවයි. මෙය විය නොහැකි දෙය විය හැකි ලෙසම පෙන්වන කිසියම් මායාමය හැඟීමකි.

සඳ සමග රමණය කෙටිකතාව තුළ ද සමන්තට ස්ත්‍රී සිරුර සමග තිබෙන සංවාදයේදී, ඔහුට ස්ත්‍රිය තේරුම්ගැනීමට තිබෙන අපොහොසත්කම හේතුවෙන් ඒ සදහා භාෂාව රෙටොරිකයක් ලෙස යොදාගනියි. ගැහැනියගේ ආශාව කුමක්දැයි සොයාගැනීම සමන්තගේ උත්සාහයයි.

උදේට පාසලේ සංගිත ගුරුවරියක් වන ආරණ්‍යා සහ හවසට සැහැල්ලු ඇදුමකින් සැරසී සංගීත භාණ්ඩයක් වාදනය කරමින් සිටින ආරණ්‍යා සිදංගනාව නැමති හැඟවුම්කාරකය අසමත් වන තැනදී, මෙම චරිත දෙක හරහා සමන්තගේ අසමත්කම තුළ කථාව තවත් අර්ථවත්ව ගලා ඒමට සලස්වන බව පෙනේ. එසේම සමන්තගේ රැකියාව තුළ ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ සංස්කෘතික ජීවිතයෙන් පරිභෝජනවාදය තුළට පොලාපනින අතර, ඔවුනගේ ජීවිත දැඩිලෙස පරාරෝපණයට ලක්වීම තුළින් අතෘප්තිය කරා ගමන්කරයි. භාෂාවේ අලංකාරෝක්ති සහ භාෂාව සංකේත පද්ධතියක් ලෙස යොදාගැනීමත්, ආත්මීයත්වය ප්‍රකාශමාන කිරිම ඇතුළු, ආකෘතිමය වෙනස තුල දක්නට ලැබෙන සාර්ථකත්වය  පැසසිය යුතුවේ.

තමාගේ ආශාව භික්ෂු වෙස් ගැනීම නොව තවුස් වෙස් ගැනීමය යනුවෙන් අරණ තුළ අරම කෙටිකතාව තුළ සමකාලීන සමාජයේ භික්ෂුව පිළිබඳ ගොඩනගා ඇති කතිකාව බලවත්ය. පරිභෝජනවාදයේ වඩ වඩාත් ගිලිසිටින මිනිසාට, වඩ වඩාත් තමාගේ අනෙකා අහිමිව යාම තුල ඔහුට හමුවනුයේ පාරිභෝගික අර්චනයන් තුලින් ඇතිවන ඒකාකාරි අතෘප්තිකර වේදනාවයි, සමාජ විගලිතභාවයයි. මේ අතෘප්තිකර වේදනාවෙන් ගැලවීම සඳහා ගොඩනගන ෆැන්ටසිය තමයි අරම, අතෘප්තියෙන් ගැලවෙන්න අපම හදාගන්නා ෆැන්ටසිය. අවසානයේ එය අපේම ප්‍රබන්ධයක්. මිනිස් ආශාව ව්‍යුහගත වී ඇති ආකාරය කෙබදුද? 

රචකයා කියන්නට යන දේ සහ රචකයා අතර පරතරයක් ඇතිවෙයි. මෙය මතුවන්නේ ලිවීම පටන්ගන්නා විටමය. මෙම පරතරය නිර්මාණය කරන්නේ භාෂාව විසින්. තමන් කීමට යන දේ කියාගැනීමට භාෂාව ප්‍රමාණවත් නොවන බව ඔහු දනී. භාෂාව යනු පාරභෟතික ප්‍රපංචයක් නිසා, අපට පෙනෙණ සවිඥානික ලෝකය එලෙසින්ම පිලිගැනීමට සුදානම් නොවීම තුළ, භාෂාව සහ රචකයා අතර ගොඩනැගෙන පරතරය පුරවාගනු ලබන්නේ භාෂාමය වු ෆැන්ටසි නිර්මාණය කිරිමෙනි. සාහිත්‍යකරුවකු බිහි වන්නේම මෙන්න මේ ආත්මය සහ වස්තුව අතර හිඩැස ෆැන්ටසිමය සම්ප්‍රාප්තියකින් පුරවනු ලැබීමෙනි.

ප්‍රෙඩ්රික් ජෙම්සන් සිය The Politicial Unconscious ග්‍රන්ථයේ දක්වන පරිදි, කිසියම් දෙයක් දෘෂ්ඨාන්තයක් ලෙස ගතහොත් සාම්ප්‍රදායික කියවීමකට වඩා ගැඹුරු වූ අර්ථකථනයක් ඉල්ලා සිටියි. අප විසින් විචාරයට ලක්කරන, නැවත කියවන කෘතිය දේශපාලනමය සහ සංස්කෘතිකමය සමාජ පරිවර්තනයක් දැකීමට බලකර සිටියි. ඒ සදහා විභවයක් නිර්මාණකරුවා තුලින් පිටතට ආ යුතුවේ.

ප්‍රෙඩ්රික් ජෙම්සන් යෝජනා කරන මෙම උපායශීලී විස්ථාපනය තුළින් රටක ඛේදවාචකයකට තුඩුදුන් හේතු විවේචනය කිරිමේ සදාචාරවාදි භාෂාවක් අපට නිර්මාණය කරගත හැකිවේ. මෙය හඹා යාම මේ යුගයේ කාර්යභාරය නොවන්නේද?


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment