ලංකාවේ දකුණු කෙළවරේ උපන් සඳරැසී සුදුසිංහ මාතර මහාමායා බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය ලැබුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබාගත් ඇය මව්බිම පුවත්පතේ මාධ්‍යවේදිනියක හැටියටද කටයුතු කර තිබෙනවා. දකුණු කෙලවරේ උපන් කෙනෙකු හැටියට යාපනය පිළිබඳව සඳරැසී දක්වන උනන්දුව සහ ආදරය නිසා ඇය කැපී පෙනෙන අතර, ඈ වඩාත්ම පාඨකයන් අතරට පිවිසියේ ගිනි වැදුණු පියාපත් කාව්‍ය සංග්‍රහයෙන්. The Asian Review සිංහල වෙනුවෙන් අද අපේ කතිකාව සඳරැසී සුදුසිංහ සමගයි.
Q. ඔබ නිර්මාණ ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ ‘සිත් අහස’ කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින්. ඔබගේ නිර්මාණ දිවියේ ආරම්භය සිදු වුණේ කොහොමද?
A. මම කුඩා කාලේ ඉඳලා ලියන්න කියවන්න ඇල්මක් දැක්වුවා. මගේ තාත්තාගෙන් මට ඒ දේවල් ලැබුණා කියල මම හිතනවා. මගේ කවි, කතා, ලියවිලි අතරින් ප්‍රකාශයට පත්වෙන්නේ කවි පොතක්. ඒ තමයි ‘සිත් අහස’ කවි පොත. මම විශ්වවිද්‍යාලෙ සිව්වන වසරේ ඉගෙන ගනිමින් ඉද්දි තමයි මේ පොත එළිදැක්වුවේ. ඒ තමයි මගේ නිර්මාණ ජීවිතේ දොරට වැඩුම.
Q. ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහය රචනා කරන්න ඔබව පෙලඹවූ සිදුවීම හෝ සිදුවීම් මොනවාද?
A. මම කුඩා අවධියේ පොතපතට බොහෝ ආශාව දැක්වුවා. ඒ කාලේදී අහන්න ලැබුණා යාපනේ තිබුණ ලොකු පුස්තකාලයක් ගිනි තියල තියනවා කියල. ඒ කතාව මගේ හිත ඇතුළේ තැන්පත් වෙලා තිබුණා. ඊට පස්සේ කාලෙක තවදුරටත් ලෝකය හදාරද්දී මේ සිද්ධිය මතුවුණා. ඒ ගැන හොයල බලන්න පිස්සුවක් ඇති වුණා. මාධ්‍යවේදිනියක් වීමත් ඒ සඳහා බලපෑමක් කරන්න ඇති. ඒ නොසන්සිඳෙන සෙවීම තමයි පොතක් වෙන්නේ.
Q. ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහය රචනා කරන කාලයේ ඔබගේ දෛනික ජීවිතය ගෙවී ගියේ කොහොමද?
A. දෛනික ජීවිතය ගෙවුණේ සමහර සතිඅන්ත යාපනයට යමින් තොරතුරු සොයමින් අදාළ පුද්ගලයන් විමසමින් ගෙවිල ගියා. හැබැයි හැම රැයක්ම ගෙවල දැම්මේ මේ සඳහා තොරතුරු හොයන්න වෙහෙසෙමින් හා නිර්මාණකරණයේ යෙදෙමින්. සමහරවිට මම පාන්දර හතර පහ වෙනතුරු කියෙව්වා, වැඩ කරා. විදේශයන්හි ජීවත්වන ඇතැම් පුද්ගලයන් හා සම්බන්ධ වෙමින් තොරතුරු විමසමින් සමහර රාත්‍රීන් නිදිවර්ජිතව ඉන්න වුණා. දවල් දවසේ රාජකාරියට යාමත් කරා. ඒ අතරේ මගේ උසස් අධ්‍යාපන කටයුතුවලත් යෙදෙන්න සිදු වුණා. එක මේ පොතෙහි අන්තිම දවස් වෙද්දී මට මගේ තාත්තා අසනීපෙන් සිය නිසා ඔහුව බලා ගැනීමටත් සිදු වුණා.
Q. යාපනය පුස්තකාලය ගිනි තැබීම සම්බන්ධ ඔබගේ ආකල්පය සහ හැදෑරීම ශාස්ත්‍රීය කෘතියකින් හෝ නවකතාවකින් පාඨකයා වෙත ගෙන යාම වෙනුවට ඔබ එයට කවිය මාධ්‍යය කරගන්න කල්පනා කළේ ඇයි?
A. මම මේ තොරතුරු හෙව්වේ මුලින්ම කුතුහලය නිසා. ඒ දැනුණු හැඟීම් මම පිට කරේ කවිය හරහා. එය ප්‍රකාශයට පත් කිරීම අරමුණු කරගෙන ලිවීම ආරම්භ කරේ නෑ. පසුවයි තීරණේ කරේ තවදුරටත් මේ පිළිබඳ අධ්‍යයනය කරලා කවි පොතක් ලෙස ප්‍රකාශයට පත් කරන එක හොඳයි කියන එක. එය නවකතාවක් ශාස්ත්‍රීය පොතක් නොවුණේ ඒ නිසා.
Q. ‘ගිනි වැදුණු පියාපත්’ කෘතියට 2022 වසරේ හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි රජත පුස්තක සහ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ද්විත්වය හිමි වෙනවා. ඔබගේ නිර්මාණ දිවියේ මෙම සංධිස්ථානය ගැන ඔබ මොකද හිතන්නේ?
A. කවදාකවත් මට මේ සම්මාන ලැබෙයි කියල හීනෙකින්වත් හිතල තිබුණේ නැහැ. ඒ සම්මාන මට ලොකු සතුටක් රැගෙන ආවා. ඒ වගේම හිතට බරකුත් එකතු කරා.
Q. ‘ගිනි වැදුණු පියාපත්’ කෘතියට ලැබුණු පාඨක ප්‍රතිචාර කොහොමද?
A. මුලින් මම බය වුණා මේ මාතෘකාව මොන විදියට පාඨකයා භාරගනීද කියන එක ගැන. මගේ ගුරුවරු වුණු මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, ආචාර්ය මහින්ද රත්නායක, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, මහාචාර්ය සසංක පෙරේරා වගේ මිනිස්සු මගේ පැත්තේ හිටගෙන මගේ බය නැති කරමින් මාව දිරිමත් කරා. පොත ප්‍රකානයට පත් කළ විට මම පුදුමයට පත් කරන යහපත් ප්‍රතිචාර ලැබුණා. අදටත් මට සතුටක් ඒ යහපත් වැලඳ ගැනීම ගැන.
Q. ලෝක ඉතිහාසයේ පවා මෙවැනි පුස්තකාල ගිනිතැබීම්, ගිනිගැනීම් සිදු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබ හැදෑරීමක් කළාද? ඒ ගැන විස්තර කළොත්?
A. මම මේ ගිනි තැබීම ගැන සොයද්දී ලෝකයේ පුස්තකාල ගිනි තැබීම් ගැන සොයල බැලුව. එතකොට අපිට ඉතිහාසයේ සිදු වුණු මෙවන් ඛේදවාචකයන් මුණ ගැහුණා. ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ පොත්ගුල ගිනි තැබීම, ලංකාවේ රජ දවස සිදුවුණු පොත්පත් ගිනි තැබීම, මිසරයේ ටොලමි රජු කරවූ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය ඔමාර් නම් ආක්‍රමණිකයා ගිනි තැබීම, රුසියාවේ සරායේවෝ පුස්තකාලය ගිනි තැබීම වැනි සිදුවීම් අධ්‍යයනය කරා.
Q. මෙම කාව්‍ය සංග්‍රහය කියවීමේදී ඔබ තුළ සිටින පුරාවිද්‍යාඥවරියත් අපට හමුවෙනවා. පුරාවිද්‍යාවේ සහ කවියේ ගැළපීම ගැන ඔබ මොකද හිතන්නේ?
A. අපි හැම වෙලාවකම අපේ නිර්මාණ තුළින් අපිවත් පාඨකයාට මුණ ගස්වනවා. ඒක නිරායාසයෙන්ම සිදුවන දෙයක්. ඉතින් මම ඉගෙන ගත්තු විෂයන් වුණත් මේ සඳහා යම් බලපෑමක් ඇති කරලා තියනවා. පුරාවිද්‍යාව කියන්නේ සමස්ත මානවයාගේ සංස්කෘතිකමය තත්ත්වයන් සාක්ෂි ඇතිව විමසීම. ඒ සියලු සිදුවීම්, සාක්ෂි එක්තරා කාව්‍යමය පෙළගැස්වීමක්. විකල්ප පුරාත්ත්වයන් හමුවේ අපිට කවිය එක්තරා ප්‍රකාශන මාධ්‍යයක් කියල කියන්න පුළුවන්. ඉතිහාසමය කාරණා කවිය ඇතුළේ කතා කරද්දී මට මගේ විෂය ඊට සම්බන්ධ කරන්න සිදු වුණා. හෝමෝ ඉරේක්ටස්ගේ කවිය, බ්‍රාහ්මී අක්ෂර කියවීම, කඩදාසි සොයාගැනීමේ ඉතිහාසය, පොසිල, සංගම් සාහිත්‍යය, කුමාරස්වාමි, සීගිරිය, මහාචාර්ය පරණවිතාන, මයෝසීන හුණුගල් ආදී බොහෝ සිදුවීම් වචන මගේ ඉගෙනීමේ මතක ඵල. ඉතින් ඒවායින් අර පුරාවිද්‍යාඥවරිය හමුවෙනවා.
Q. කෘතිය රචනා කිරීම සඳහා කළ පර්යේෂණය සහ දත්ත රැස් කිරීම සඳහා ඔබ ගත් වෙහෙස ගැන සඳහන් කළොත්?
A. ඒ ගැන කිව්වොත් මම මනසත්, ගතත් අප්‍රමාණව මහන්සි කරා. යාපන ගමන, නිදිවැරූ දවස් වගේම දහසක් රාජකාරි මැද හැකිතරම් තොරතුරු සොයමින් ඒවායේ නිරවද්‍යතාව තහවුරු කර ගැනීම, සාක්ෂි සෙවීම ආදී කාරණා මම පර්යේෂණ නිබන්ධනයකට වන මහන්සියට නොදෙවෙනිව කරා. මම වෙහෙස වුණු තරමටම ආචාර්ය චේරන් රුද්‍රමූර්ති, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන වැනි මිනිසුනුත් මහන්සි වුණා. උදාහරණයක් විදියට පුස්තකාලය ගිනි ගන්න කාලය වනවිට එහි සේවය කළ ප්‍රධාන පුස්තකාලයාධිපතිනිය සොයා ගැනීමට රට රටවල මිතුරන් බොහෝ ගණනක් හා සම්බන්ධ වෙන්න සිදු වුණා. ඒ වගේම මේ පුස්තකාලයේ නිර්මාතෘ කේ. එම්. චෙල්ලප්පාගේ ගෙදර හොයාගෙන යාමත් ඒ වගේ අමතක නොවෙන වෙහෙස වූ කාර්යයන්.
Q. ඔබ දකුණේ තරුණියක්. නමුත් යාපනය සමග ඔබගේ අත්‍යන්ත සම්බන්ධයක් පවතින බව අපිට පේනවා. කොහොමද ඔබ යාපනයට මෙතරම් සමීප වුණේ?
A. මම යාපනයට කවදා ඉඳල කැමති වුණාද කියල මම දන්නේ නැහැ. ඒත් කුඩා අවධියේ ඉඳල ඒ පැත්තට ආශාවක් තියනවා. හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක්. කොහොම වුණත් ඒ සංස්කෘතික විවිධත්වයට අමතරව මිනිස්සු විදියට බලද්දී ඒ පොදුවේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටීම නිසාම උතුරත් එක්ක මම බැඳෙන්න හේතු වෙන්න ඇති. මොකක්හරි කියාගන්න බැරි ශක්තියක් මාව උතුරු අහසට තියල ඇණ ගහල කියල මට හිතෙනවා.
Q. ‘ගිනි වැදුණු පියාපත්’ කාව්‍ය සංග්‍රහය ගැන ආපස්සට හැරිලා බලද්දි ඔබට මොකද හිතෙන්නේ?
A. සමහර දේවල් කරන්න මේ දෛවය හෝ විශ්වය අපිට පවරලා තියනවා. ඒක මේ ජීවිත කාලයේ කළ යුතු වගකීමක් සහ යුතුකමක්. මේ කාව්‍ය සංග්‍රහයත් එවන් වගකීමක් වගේ මට දැනෙන්නේ. සමස්ත මිනිස් වර්ගයා වෙනුවෙන් වගේම ලංකාවේ දකුණේ මිනිසුන්ගේ නිරවද්‍යතාවය හා පොදුවේ උතුරේ මිනිසුන්ගෙන් සමාව අයදීමක් මේ මගින් සංකේතාත්මකව දැක්වෙනවා කියල මට හිතෙනවා. මොකද පොදුවේ සමස්තයක් දකුණේ මිනිස්සු මේ අපරාධය හෙළා දකිනවා. ඒකට වගකිවයුතු වෙන්නේ දේශපාලකයෝ පමණයි.
Q. ඔබේ අලුත් නිර්මාණයක් පාඨකයින් වෙත තිළිණ කරන්න ඔබ බලාපොරොත්තුවෙන් ඉන්නවාද? ඒ ගැන යම් සඳහනක් කළොත්?
A. අලුතින් නිර්මාණ කීපයක් කරන්න කටයුතු කරමින් තියනවා. ඒත් උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් ඒ සියල්ල මඟ නතරව තියනවා.
Q. ආධුනික කවිකිවිඳියන්ට ලබා දෙන්න යම් උපදෙසක් ඔබට තිබෙනවාද?
A. තමන්ගේ නිර්මාණ සඳහා මහන්සි වෙන්න. හිතට දැනෙන දේ නිර්මාණයක් බවට හරවන්න ඒ නිර්මාණ දැල්වෙන්න පටන් ගන්නවා, එළිය බෙදනවා බොහෝ කාලයක්.
Q. නූතන සිංහල කවියේ නව ප්‍රවණතා ගැන ඔබ මොකද හිතන්නේ?
A. නූතන සිංහල කවිය නව අත්හදා බැලීම්, නව මානයන්, ආකෘතීන් අතර හුස්ම ගනිමින් ඉන්නවා. ඒක සතුටට කාරණාවක්. කවියට ඉරි අඳිමින්, කොටු අදිමින් සීමා මායිම් දාන මානසිකත්වයන් අඩුවෙමින් තියෙනවා.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
