ප්‍රංශ-ජර්මානු යුද්ධයට මැදි වූ පරිත්‍යාගයක ශාපය

ලාංකේය පාඨකයින් අතර ජනප්‍රිය ප්‍රංශ කෙටිකතාකරුවා වන්නේ ගී ද මෝපසාංය. ‘ලණු කෑල්ල’ සහ ‘දියමන්ති මාලය’ වැනි කෙටිකතා මෙම ජනප්‍රියත්වයට හේතු විය. අද මම ඔබට හඳුන්වා දෙන්නේ ගී ද මෝපසාං රචනා කළ කෙටි නවකතාවක් වන ‘Ball of Fat’ කෘතිය පිළිබඳවයි. මෙය කෙටි නවකතාවක් ලෙසින් සලකනු ලැබුවද, මුල්කාලයේ මෙම කතාව මෝපසාංගේ රචනා කළ කෙටිකතාවකි. 1880 වසරේදී එමිල් සෝලා විසින් ප්‍රංශ-ජර්මානු යුද්ධය පිළිබඳව කෙටිකතා සංග්‍රහයක් පළ කරන ලදී. මෙම කෙටිකතා සංග්‍රහයට මෝපසාන්ගේ ‘Ball of Fat’ (තෙල් බෝලය) කෙටිකතාව ඇතුළත් කර තිබේ. මෙම කතාවෙහි පවත්නා විශේෂත්වය වන්නේ මෙය මෝපසාං රචිත පළමු කෙටිකතාව වීමයි. මෙම කෙටිකතාවට පාඨකයින්ගේ නොමඳ ප්‍රතිචාරයක් හිමි වූ අතර ප්‍රංශ විචාරකයින්ගේ අවධානය මෝපසාං වෙතට යොමු වූයේද මෙම කතාවෙනි. 2023 වසරේදී මෙම කෙටි නවකතාව නිස්සංක පෙරේරා විසින් ‘පරිත්‍යාගයක ශාපය’ නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

තුවක්කු ප්‍රහාරක හමුදා ඛණ්ඩ එකිනෙකට පසුපසින් මංකොල්ලකරුවන් මෙන් ගමන් කරති.පරාජයට පළිගන්නෝ”, “සුසානයේ පුරවැසියෝ”, “මරණයේ පාර්ශ්වකරුවෝවැනි යුද්ධමය සටන් පාඨ ඒ කණ්ඩායම්වල ප්‍රදර්ශනය වුණේය.(07 පිටුව)

1870දී ආරම්භ වූ ප්‍රංශ-ජර්මානු යුද්ධයට මෝපසාං යුද භටයෙකු ලෙසින් සම්බන්ධ වූ අතර 1871දී ඔහු යුද සේවයෙන් නිදහස් වූයේය. හෙතෙම තමන් ලැබූ අත්දැකීම් උපයුක්ත කරගනිමින් මෙම කෘතිය රචනා කර තිබේ. යුද්ධයකින් පරාජය වූ යුද සෙබළුන්ගේ මානසික ස්වභාවය සහ ඔවුන්ගේ හැසිරීම් රටාව අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මෝපසාං මෙම නවකතාවේදී සමත් වී ඇත. 

…අපගේ පැවැත්ම හෝ විනාශය වෙනත් කෙනෙකුගේ අනුකම්පාව මත තීරණය වන විට ඔහුට රිදවීමෙන් කවර නම් ප්‍රයෝජනයක් වේද? ඔහුගේ සතුටට හේතු වන පරිදි කටයුතු කිරීම ඔහුට එරෙහි වීමට වඩා නිර්භීතකමක් විය හැකිය.(11 පිටුව)

යුද්ධය පරාජය වූ පසු ප්‍රංශ වැසියන්ගේ ආකල්ප සහමුලින්ම වෙනස් වූ ආකාරය මෙයින් නිරූපිතය. පෙර රොවෙන් නගරයේ වැසියෝ මෙලෙස නිවට වූවන් නොවූහ. ඔවුහු සතුරාට එරෙහිව නැඟී සිටියහ. නමුත් මේ මොහොතේ ඔවුන්ගේ දේශප්‍රේමය සහ ආක්‍රමණශීලීත්වය ඵලදායී හෝ ප්‍රඥාගෝචර නොවීය. යුද පරාජයක් ලැබූ වැසියන් තුළ පවතිනුයේ ස්වකීය ජීවිත පිළිබඳ අවිනිශ්චිත බවකි. එම අවිනිශ්චිත බව හමුවේ ඔවුන්ගේ නිර්භීත හැඟීම් සහ දේශප්‍රේමී හැඟීම් වියැකී යාම පුදුමයක් නොවේ. 

කෝනුඩෙ අසලින් එම අසුනේම වාඩි වී සිටියේ සමාජ ව්‍යවහාරයෙහිකාමුක කිරිල්ලියක්ලෙස හැඳින්වුණු තරුණියකි. ඇය පුෂ්ටිමත්ය. ඒ ශාරීරික ලක්ෂණ නිසා ඇයටතෙල් බෝලයයන විකට නමක් ද ආරෝපණය වී තිබුණේය.(21 පිටුව)

මෙම කෙටි නවකතාවේ ප්‍රධාන චරිතය වන්නේ මෙම ‘තෙල් බෝලය’ නමැති තරුණියයි. ඇය වෛශ්‍යාවක් වූවාය. ගී ද මෝපසාංගේ බොහෝ නවකකා, කෙටිකතාවල මෙවැනි වෛශ්‍යාවන්, සල්ලාලයන් හමු වේ. මෙවැනි චරිත යොදාගැනීම නිසා තත්කාලීන ආචාරධර්මවාදින්ගේ විචේචනයටද හෙතෙම ලක් වූයේය. ඔහු ස්වකීය නිර්මාණ සඳහා එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල සමාජ සම්මතයෙන් අශ්ශීල යැයි සලකනු ලබන තේමා භාවිත කළේය. එයින් මිනිස් චර්යාවෙහි පවතින රහස්‍ය අංගෝපාංග නිරාවරණය වූ බැවින් එම රටවල විචාරකයින්ගේ නිර්දය විවේචනවලට ලක් වීමට මෝපසාන්ට සිදු විය.

තෙල් බෝලය බෝඩෙයෝ වයින් බෝතලය පාර්සලයෙන් පිටතට ගෙන මූඩිය ඇරියාය. පිරිස අතර ආසාවත්, පැකිළීමත් හැඟවෙන ලකුණු පැතිර ගියේ ඇය සතුව තිබුණේ එකම එක වීදුරුවක් වීම නිසාය. ප්‍රභූ සමාජය විසින් පහත් සේ සලකනු ලබනතෙල් බෝලයවැන්නකුගේ වීදුරුව තොල ගෑම අනෙකුත් ගමන් සගයින්ට චාරිත්‍රානුකූලව වාරණය වී තිබුණේය.(28 පිටුව)

ප්‍රංශයේ පමණක් නොව මෙම කාරණය පොදුවේ සෑම ප්‍රභූ පිරිසක් සතුවම පවතින පොදු කරුණකි. නමුත් විපතකට පත් වූ අවස්ථාවකදී සමාජ ස්තරායන කරුණු වියැකී යාම ආයාසයකින් තොරව සිදු වන්නකි. මුලදී යම් අකැමැත්තක් පෑවද, අවසානයේ තෙල් බෝලය සමග ආහාර ගැනීමට ප්‍රභූ පිරිස පෙලඹෙන්නේද එබැවිනි. නමුත් එම සාමානාත්මතාව පිළිබඳ හැඟීම ප්‍රභූන් තුළ පවතින්නේ දියෙහි එබූ රබල් බෝලයක් පරිද්දෙනි. අවස්ථාව ලද සැණින් ඔවුහු තම සුපුරුදු ප්‍රභූත්වයටම පත් වන්නාහ. අවසානයේ තෙල් බෝලෙගේ පරිත්‍යාගය ශාපයක් වන්නේද එබැවිනි.

ගණිකාවක් වුව ද මේ ගැහැනියගේ ආකල්පය තාර්කිකය. ජාතියේ සතුරන් ආසන්නයේම සිටිය දී කෙනෙකුගේ ලිංගික ආස්වාදය සඳහා දායක නොවන්නට ඇගේ දේශභක්තිය ප්‍රබල වීම ඔහුගේ සිතෙහි ද දේශාභිමානය උද්දීපනය කළ සෙයකි.(44 පිටුව)

මෝපසාං මෙහිදී පාඨකයින් තුළද තෙල් බෝලය කෙරෙහි පැහැදීමක්, ගෞරවයක් ඇති කිරීමට සමත් වන්නේය. ඇය වෛශ්‍යාවක් වුවද, ඇය තුළ පවතින දේශාභිමානය ප්‍රංශ ප්‍රභූන් සතුවද දක්නට නොලැබේ. ඇය ප්‍රභූන් වෙනුවෙන් (තම සගයින්) වෙනුවෙන් සිදු කළ කැපකිරීමද ඇයගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නකි. ඇය තම ආහාරපාන ඔවුන් සමග බෙදා ගැනීමෙන් නොනැවතී ඇයගේ ශරීරයද ඔවුන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් පර්සියානු යුද නිලධාරියාට පරිත්‍යාග කරන්නීය. 

සතුරු පාර්ශ්වයේ යුද්ධ ජනරාල්වරුන් සෑම දෙනාටම සම්භෝග පහස ලබාදෙමින් තමා සමග යහන්ගත වන්නට ඉඩ සලසා ඔවුන් වසඟ කරගෙන, ඔවුන් වහල් අතවැසියන්ගේ මට්ටමට දුර්වල කරගත් ක්ලියෝපැට්රා ගැන තොරතුරු පවසන ලද්දේ අතිශය ප්‍රශංසාත්මකව මෙන්ම ගෞරවාන්විතවය.(62 පිටුව)

තමන්ගේ ගැලවීම උදෙසා ‘තෙල් බෝලය’ නමැති තරුණිය යොදා ගැනීමේ නිර්දය උත්සාහයක ප්‍රභූ කණ්ඩායම නිරත වෙති. පිරිස අතර සිටි කන්‍යා සොයුරියද ආගමික මතවාදය යොදා ගනිමින්, සියල්ල සාධාරණීකරණය කර තෙල් බෝලය බිලී බා ගන්නා ආකාරය කතුවරයා මෙහිදී ඉදිරිපත් කර තිබේ. ක්ලියෝපැට්රාට ඔවුන් ලබා දුන් ගෞරවය තෙල් බෝලයට හිමි වන්නේද? එවැන්නක් අවස්ථාවාදී ප්‍රභූ සමාජයෙන් බලාපොරොත්තු විය හැකිද? තෙල් බෝලය පිළිබඳව පාඨක සසලත්වය ඇති වන්නේ මෙහිදීය. 

සඟයින්ගේ ප්‍රතික්ෂේප කිරීම ගැන ඇගේ සිතෙහි පිරී තිබුණේ අප්‍රසාදයකි. ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බිලි වී කාමතුර ප්‍රසියන් මිනිහාගේ තිරිසන් ආලිංගන ඉමහත් පිළිකුලෙන් විඳ දරාගත් තමාට ඔවුන් මේ අයුරින් ගුණමකු වීම ඇයට සන්තාපයටත්, කෝපයටත් කරුණු වී තිබුණේය. ඇය පසු වුණේ ඔවුන් සැම දෙනාම වෙනුවෙන් කළ පරිත්‍යාගය ගැන පශ්චාත්තාප වෙමින්, තමා ගැනම උපන් කළකිරීමෙන් තැවෙමින්ය.(76 පිටුව)

ඇය සිදු කළ පරිත්‍යාගය ඇය වෙතම පාරා වළල්ලක් ලෙසින් පැමිණියාය. යුද්ධය සහ ප්‍රභූ පැලැන්තිය සතුව පවතින මනුෂ්‍යත්වයෙන් තොර ගති ස්වභාවය මෝපසාං මෙම නවකතාව ඔස්සේ තියුණු විවේචනයකට ලක් කර තිබේ. මොහුගේ කෙටි නවකතාවෙන් ප්‍රකට කරනුයේ කුඩාවෙහි මහත්වයයි (Small is Big). කුඩා නවකතාවක් වුවද, මෙයින් ඉදිරිපත් කරන සිද්ධිදාමය ඉතා විශාල වූවකි. තෙල් බෝලයට සහ ප්‍රභූ කණ්ඩායමට අවසානයේ කුමක් සිදු වේද? පරිත්‍යාගය නොසලකා හැරීමේ ශාපයට ඔවුන් නිතැතින්ම ලක්වනු ඇත.

ව්‍යාකූල තත්වයන් හමුවේ (යුදමය තත්වයකදී) එම තත්වයන්ට අවස්ථානුකූලව මිනිසුන් මුහුණ දෙන ආකාරයත්, තමා පත්ව ඇති අගතියෙන් ගැලවීම උදෙසා ඕනෑම දෙයක් සිදු කරන්නට පෙලඹෙන ආකාරයත්, අවස්ථානුකූලව ප්‍රතිචාර දක්වන ආකාරයත්, එලෙස ප්‍රතිචාර දැක්වීම උදෙසා ඔවුන් අනෙකාව පොලඹවා ගන්නා ආකාරයත්, ඒ සඳහා බල කරන හේතු සාධකත් විවරණය කරන සාර්ථක නිර්මාණයක් වශයෙන් මෝපසාංගේ ‘Ball of Fat’ කෙටි නවකතාව හඳුන්වා දිය හැකිය. 

“සතුරන්ගෙන් දිවි ගලවා ගත්තට
නිදහස සොයමින් දිව යනවා
සතුරන් අපගේ මඟ අවුරාගෙන
අප බිලි ගන්නට සැරසෙනවා
අප සැම වෙනුවෙන් අපේම සගයෙක්
සිරුරේ ලේ මස් දන් දෙනවා
ඒ බිලි වීමම සාපයක් වෙලා 
පස්සෙන් එළවාගෙන එනවා.” (80 පිටුව)


Discover more from The Asian Review සිංහල

Subscribe to get the latest posts sent to your email.

Leave a comment