“මෙය වනාහි ආර්ථිකයක්, හමුදාවක්, හෝ ජාතියක් ගොඩනගන්නේ කෙසේද යන්න පෙන්වන කෘතියක් නොවේ. මේ පොත වූ කලී මගේ සගයන් සහ මා මුහුණ දුන් ගැටලු ද, අප ඒවා විසඳා ගැනීමට ක්‍රියා කළේ කෙසේද යන්න දැක්වෙන විස්තර කථනයකි.”
ලී ක්වාන් යූ යනු ශ්‍රී ලංකාවේ අපට ආගන්තුක නමක් නොවේ. විශේෂයෙන්ම, 1950 වසරේදී, “සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් වනු දැකීම මගේ අභිලාෂයයි” යනුවෙන් එවකට සිංගප්පූරුවේ සිටි අගමැති ලී ක්වාන් යූ පැවසූ බව ශ්‍රී ලංකාව තුළ ප්‍රකට විණි. මෙයින් අදහස් වන්නේ, 1950 වසරේදි ශ්‍රී ලංකාව තිබූ තත්ත්වයත්, සිංගප්පූරුව තිබෙන්නට ඇති තත්ත්වයක් වේ. කෙසේ නමුත්, 2010 වසර වන විට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් පැවසූ කාරණය වූයේ, “ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් වනු දැකීම අපේ අභිලාෂය” බවයි. මෙම ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාව ආර්ථික දියුණුවෙහි ලා පැමිණි ඉබි ගමන පිළිබිඹු වනවා හා සමානවම, සිංගප්පූරුව ආර්ථික දියුණුව වෙත පැමිණි ජවසම්පන්න වේගයද පිළිබිඹු වේ.
සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයෙකු මෙන්ම, සිංගප්පූරුවේ තීව්‍ර සංවර්ධනයේ පුරෝගාමියා ලෙසින් ගරු බුහුමනට පාත්‍ර වන ලී ක්වාන් යූ විසින් රචනා කරන ලද “From Third World to First: The Singapore Story, 1965-2000” කෘතියෙන් විදහා දක්වන්නේ, සිංගප්පූරුවත්, එසේම සමස්ත ආසියානු ආර්ථිකයත් දියුණු වූ ආකාරයත්, සිංගප්පූරුවේ ආර්ථික සංවර්ධනය සඳහා ලී ක්වාන් යූ විසින් ගනු ලැබූ උපාය මාර්ගික ක්‍රියාමාර්ග සහ ඔහු ලබා දුන් නායකත්වයත් වේ. “තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට: සිංගප්පුරුවේ කතාව 1965 – 2000” ලෙසින් උපාලි රත්නායක අතින් සිංහලට පරිවර්තනය වී තිබෙන්නේ එම කෘතියයි.
“සිංගප්පූරුවේ ස්ථාවරත්වය, වර්ධනය සහ සමෘද්ධිය, ඉබේ පහළ වූවක් ලෙස සලකන අලුත් පරම්පරාවක් වෙනුවෙන් මම මේ පොත ලිව්වෙමි. ජාතිකවාදී ප්‍රතිපත්ති අනුගමනය කරනු ලබන, අලුතෙන් ස්වාධීනත්වය ලැබූ වඩාත් විශාල රාජ්‍යයන් මැද වර්ග කිලෝමීටර් 640 ක් වූ, ස්වභාවික සම්පත් වලින් තොර කුඩා රාජ්‍යයකට සිය පැවැත්ම රැක ගැනීම කෙතරම් දුෂ්කර වී දැයි ඔවුන්ට වටහා දීමට මට අවශ්‍ය විය” යනුවෙන් මෙම කෘතියට ප්‍රවේශය ලබාගන්නා හිටපු අගමැතිවරයා පවසයි. සැබවින්ම අප ද මෙම කෘතිය කියැවිය යුත්තේ එතැන සිටයි.
දුක්ඛිත තත්ත්වයක තිබූ කුඩා රාජ්‍යයක සිට…
1826 මලක්කාව සහ පෙනෙන රාජ්‍ය සමඟම සිංගප්පූරුව ද බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූ අතර, ඉන් අඩ සියවසකට ආසන්න කාලයකට පසු සිංගප්පූරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ක්‍රවුන් කොලනියක් බවට පත්විය. මෙසේ දීර්ඝ ගමනක් පැමිණි සිංගප්පූරුව 1965 වන විට නිදහස ළඟා කරගත්තත්, කිසිදු ස්වභාවික සම්පත් නොමැති දූපත් රාජ්‍යයක් වශයෙන්, සිංගප්පූරුවට භූ සිතියම තුළ කිසිදු තරගකාරීත්වයක් හෝ සැලකිය යුතු තැනක් අත්පත් කර ගැනීමට නොහැකි වූ කුඩා රාජ්‍යයක් ලෙසින් පවතින්නට සිදුවුණි. මේ වන විට රාජ්‍ය තුළ විරැකියාව ද, වාර්ගික අර්බුදයන්ද විශාල වශයෙන් පැන නැගෙමින් තිබිණි.
මෙසේ ඉතාමත් අසීරු, දුක්ඛිත අඩියක පැවැති, ගෝලීය ආර්ථිකය තුළ කිසිවෙකුත් ගණන් නොගන්නා තත්ත්වයක තිබූ කුඩා දූපත් රාජ්‍යය, වර්තමානය වන විට ගෝලීය ආර්ථිකයේ ශක්තිමත්ම දැවැන්තයෙකු ලෙසින් වර්ධනය කරන්නට, ගන්නට සිදුවූ තීරණයන්, ජනතාවට කරන්නට වූ කැප කිරීම්, ලී ක්වාන් යූ මෙම කෘතිය තුළ විදහා දක්වයි. එහිදී කිසිදු භාවාතිෂය දැක්වීමකින් හෝ, ප්‍රචාරණවාදී ආඛ්‍යානයකින් තොරව, හැකිතාක් අවංක භාවයකින්, සිංගප්පූරුව පැමිණි ගමන ගැන ලියන්නට ලී ක්වාන් යූ උත්සුක වී ඇති බව පෙනේ.
සිංගප්පූරුවේ සංවර්ධනයේ පදනම: මිනිස් සම්පත
ලී ක්වාන් යූ විසින් මෙම කෘතිය පුරාවටම ද සඳහන් කරන පරිදි, සිංගප්පූරුව යනු කිසිදු ස්වභාවික සම්පතකින් තොර කුඩා දූපතකි. කෙසේ නමුත් ඔහු මෙම කෘතිය තුළ මෙසේ සඳහන් කරයි.
“අප සතුව පැවති මහාර්ඝ වත්කම වූයේ අපේ ජනයා තුළ අප කෙරෙහි පැවති විශ්වාසය සහ ආත්ම විශ්වාසයයි”
“අප සතුව තිබූ අනෙක් වටිනා සම්පත වූයේ වෙහෙස නොබලා වැඩ කරන, සකසුරුවම් කමෙන් සහිත සහ අලුත් දේ ඉගෙනීමට කැමති ජනතාවයි.”
සැබැවින්ම, වර්තමානය වන විටද සිංගප්පූරුවේ තිබෙන ප්‍රධානතම සම්පත වන්නේ මිනිස් සම්පතයි. සිංගප්පූරුවේ ජනතාවට නෛසර්ගිකව උරුම වී තිබූ වෙහෙස නොබලා වැඩ කිරීම සහ අලුත් දේ ගැනීමට ඇති දැඩි කැමැත්ත, ඉහළ ශක්‍යතාවයකින් හෙබි, කුසලතා පරිපූර්ණ, ශ්‍රම බලකායක් බවටත්, දැනුම පදනම් ආර්ථිකයක විශාලතමයි සම්පත බවටත් පත්කරන්නට ගත් උපාය මාර්ගයන් පිළිබඳව ලී ක්වාන් යූ සිංගප්පූරුවේ කතාව තුළ නැවත නැවතත් සඳහන් කරයි. සිංගප්පූරුව මෙතෙක් හා ගමන තුළ, ගත් වැදගත්ම උපායමාර්ගික පියවරක් වශයෙන්, විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමයක් පිහිටුවීමත්, සිංගප්පූරු ජනතාව අනාගතයන් ගෝලීය ආර්ථිකයේ තරගකරුවන් වීමට පුරුදු පුහුණු කිරීමත් ගත හැක. ලී ක්වාන් යූ ගේ ප්‍රතිපත්ති, මූලිකවම විනයකින් යුතුව කටයුතු කරන කුසලතා පරිපූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා ඉවහල් වූ ආකාරය මෙම කෘතිය තුළින් පාඨකයාට පෙනී යයි.
දිළිඳු බවේ සිට ආසියාවේ ධනවතෙකු දක්වා ආ ගමනක්
තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට: සිංගප්පුරුවේ කතාව 1965 – 2000 කෘතිය තුළ ඉහළ ඉඩක්, සිංගප්පූරුව ඇදහිය නොහැකි ආර්ථික සමෘද්ධියක් ළඟා කරගත් ආකාරය විස්තරාත්මකව විදහා දැක්වීමට ලී ක්වාන් යූ විසින් වෙන්කරයි. සෘජු විදේශ ආයෝජනයන් ආකර්ෂණය කර ගැනීමේ සිට, අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් නිර්මාණය දක්වා ලී ක්වාන් යූ ගත් ප්‍රතිපත්තිමය තීරණයන් මෙන්ම උපාය මාර්ගික ක්‍රියාමාර්ගයන්ද, ඉතාමත් නිර්භීත ලෙසින් ලෝකය දැක්කත්, ඒවායේ නිර්භීත භාවයට අමතරව අති සූක්ෂම උපාය සැලසුම් ද ඒ පිටුපස ඇති බව කෘතිය තුළ පෙන්වා දෙයි. ඒ හා බද්ධ වූ දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය දිරිමත් කරන ප්‍රතිපත්ති ද, සිංගප්පූරුවට ලෝකයේ වඩාත්ම තරගකාරී ආර්ථිකයක් ලෙසින් නැගී සිටීමට ඉවහල් වූ බව ලී ක්වාන් යූ මෙහිදී විස්තරාත්මකව පෙන්වා දෙයි.
එසේම මෙම අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා, ලෝකයේ අනෙක් බලවතුන් සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට සහ ආර්ථික සබඳතාවයන්ට එළැඹුණු ආකාරයද ලී ක්වාන් යූ වැසැන්ගීමකින් තොරව සඳහන් කරයි. පොදු රාජ්‍ය මණ්ඩලය තුළ සිංගප්පූරුවේ හැසිරීමත්, වරක් තමන්ව කොළණියක් ලෙසින් යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය සමඟ නව සබඳතා ඇති කර ගැනීමත්, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සමඟ ප්‍රතිඵලදායක සම්බන්ධතා තර කර ගැනීමත්, එක්සත් ජනපදය සමඟ උපක්‍රමික ගිවිසුම් ඇති කර ගැනීමත් සිදුකළ අන්දම ලී ක්වාන් යූ විස්තර කරයි. එසේම සිංගප්පූරුව සංවර්ධනය සඳහා ගෙන ඒමේදී, ලී ක්වාන් යූ ඇතුළු සිංගප්පූරු නායකයින් කෙතරම් ලෝකයේ අනෙක් රටවල් දෙස බලමින් පාඩම් උගත්තේ ද, ආදර්ශයන් ලබාගත්තේ ද යන කාරණය ද ඔහු විස්තරාත්මකව දක්වයි. එසේම, දෙවන ලෝක යුද්ධයේදී සිංගප්පූරුවට බෝම්බ හෙළා ඉන්පසුව සිංගප්පූරුව යටත් කරගෙන සිටි ජපානය, චීනය වැනි ගෝලීය බලවතුන් සමගත් උපාය මාර්ගික සන්ධාන පෝෂණය කරමින්, මෙම සියලුම බලවතුන් සමඟ සම්බන්ධතා පැවැත්වුවත්, සෑම විටම මධ්‍යස්ථ ආස්ථානයක සිංගප්පූරුවේ විදේශ ප්‍රතිපත්ති තබා ගැනීමට කටයුතු කළ ආකාරයද ලී ක්වාන් යූ විස්තර කර දක්වයි.
මෙම කෘතිය තුළ ලී ක්වාන් යූ තමන් මෙම ගමන තුළ රඟ දැක්වූ භූමිකාව සම්බන්ධයෙන් උදම් ඇනීමක් සිදු නොකළත්, ගෝලීය බලවතුන් මෙන්ම මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි නිරන්තරයෙන්ම ආතතියකින් යුතු වූ අසල්වැසි රටවල් සමගත් සබඳතා සමතුලිතව තබා ගැනීම සම්බන්ධයෙන් ලී ක්වාන් යූ දැක්වූ රාජ්‍යතාන්ත්‍රික දක්ෂතාවය පිළිබඳව මෙම කෘතිය කියවන පාඨකයා නැවත නැවතත් විස්මයට පත්වෙයි.
“ප්‍රොපගැන්ඩා” නොවන අවංක ලිවීමක්
සිංගප්පූරුවේ විපුල සංවර්ධනය ළඟා කර ගැනීමට අගමැති ලී ක්වාන් යූ දැක්වූ නායකත්වය පිළිබඳව ලෝකයේ කිසිම අයෙකු තුළ සැකයක් නැති වුවත්, වසර තිහකට අධික කාලයක් තුළ එරට තිබූ එක පාර්ශ්වීය පාලනයත්, දැඩි විනයක් පවත්වා ගැනීම සඳහා ලී ක්වාන් යූ විසින් ගෙනගිය ඒකාධිපති පාලනයත් විවේචනයට ද පාත්‍ර වී තිබේ.
මෙම කෘතිය තුළ දැකිය හැකි විශේෂත්වය වන්නේ, එම විවේචනයන්ට පාදක කරුණු සම්බන්ධයෙන් ද ලී ක්වාන් යූ දැඩි අවංක භාවයකින් යුතුව ලියා තැබීමයි. ඔහුගේ පාලනය තුළ තිබූ අත්තනෝමතික ප්‍රවණතාවයන්, දැඩි මාධ්‍ය පාලනයන්, දේශපාලන විසම්මුතීන්ට එරෙහිව දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම් ආදී ඒකාධිපති පාලනය සම්බන්ධයෙන් මෙම කෘතිය තුළ ලී ක්වාන් යූ තර්ක කර සිටින්නේ, සිංගප්පූරුව අද වන විට පැමිණ තිබෙන සීඝ්‍ර සංවර්ධනය දක්වා ගෙන ඒමට එම පියවර අත්‍යවශ්‍ය වූ බවයි. සිංගප්පූරුවේ වේගවත් ප්‍රගතිය සඳහා ගෙවීමට සිදුවූ මිල මෙම පුද්ගල නිදහස මත පනවා තිබූ සීමාවන් බවයි. ලී ක්වාන් යූ මෙම අවංකව දක්වන අදහස් ඇතැම් විට ඔහුගේ පාලනය සාධාරණීකරණය කිරීමක් ලෙසින් දැකිය හැකි වුවත්, දේශපාලන දාර්ශනික මතවාදයන්ගේ සංකීර්ණතා සම්බන්ධයෙන් නැවත නැවතත් සිතා බැලීමට එම ලියවීම් පාඨකයාව පොළඹවයි.
සිංගප්පුරුවේ කතාව සමාප්තිය
පරිවර්තනය ද පිටු දහස ඉක්මවන ‘තෙවැනි ලෝකයෙන් පළමු ලෝකයට: සිංගප්පුරුවේ කතාව 1965 – 2000’ කෘතිය, හිටපු සිංගප්පූරු අගමැති ලී ක්වාන් යූ, සිංගප්පූරුව තුන්වන ලෝකයේ වියවුල් පිරි කුඩා රාජ්‍යයක සිට පළමු ලෝකයේ සුපිරි බලවතෙකු දක්වා ගෙන ඒමට කටයුතු කිරීමේදී මුහුණ දුන් අභියෝග සහ බාධක පිළිබඳවත්, මෙම විස්මය ජනක කර්තව්‍යය සඳහා රටේ නායකයා ලෙසට ගත් ක්‍රියාමාර්ග පිළිබඳවත් පාඨකයාව වෙහෙසකර නොවන, දැඩි ආයාසයකින් තොර වූ කියවීමක් ඔස්සේ දැනුවත් කරයි. එසේම කලාපයේ රටවල් වල සිට ලෝක බලවතුන් දක්වා, පසුගිය සියවසකට ආසන්න කාලය තුළ භූ දේශපාලනයේ සිදුවූ සීරු මාරුවීම්ද මෙම කෘතිය ඔස්සේ පාඨකයාට අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙයි.
එසේම මෙම දැවැන්ත කෘතිය, වෙහෙසකර අසීරු කියවීමක් නොවන ලෙසින් පාඨකයාට පිළිගැන්වීමට, කෘතිය සිංහලට පරිවර්තනය කළ උපාලි රත්නායක වෙතටද ගෞරවයෙන් කොටසක් හිමි විය යුතු බව නොකියාම බැරි වෙයි.
Discover more from The Asian Review සිංහල
Subscribe to get the latest posts sent to your email.
